මා හඳුනාගත්තේ ‘තාදි’ ටෙලි නාට්‍යයෙන්

යොවුන් රංගන ශිල්පිනී නෙත්මි අශින්ෂා
ජනවාරි 26, 2023

 

ටික්ටොක් හරහා තමයි මම ගොඩක් ජනපි‍්‍රය වුණේ

 

මලල ක්‍රීඩා තමයි මම ගොඩක් කැමැති

2017 වසරේ පටන් ෂෝෂල් මීඩියාවල ඈ ප්‍රසිද්ධ වුයේ චොකෝ ක්වීන් සික්ස් ලෙසිනි. (Choco Queen Six) දැන් ඈ යළිත් සමජ මාධ්‍යයේ සැරිසරන්නට පටන්ගෙන ඇත්තේ චොකෝ ක්වීන් ටුවෙන්ටි වන් ලෙසිනි. (Choco Queen Twenty one) ඉන්දියන් කෙල්ල (Indian Girl) නමින් ද මීඩියා හී ප්‍රසිද්ධියට පත්ව සිටින ඈ නමින් නෙත්මි අශින්ෂා ය. වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිනියක් ටෙලි නාට්‍ය චිත්‍රපට රංගන ශිල්පිනියක්. මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙසින් කලා ක්ෂේත්‍රයේ ගමනක් අරභා ඇති ඈ මුල්වරට රංගනයට අවතීර්ණ වනුයේ චරිත් අබේසිංහගේ තාදි ටෙලිනාට්‍යයේ රංගනයත් සමඟය.

 

 තාදි ටෙලි නිර්මාණය ඔබව නිළියක් බවට පත් කරනවානේද?

මගේ හිතවතෙක් වූ පැතුම් එම්. ඒකනායක තමයි මාව තාදි ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ චරිත් අබේසිංහට හඳුන්වලා දුන්නේ. තාදි ටෙලි නිර්මාණයේ සමන්තිගේ යාළුවා වුූ නිමේෂාට රඟපෑවේ මම.

 දිගටම රංගන ශිල්පිනියක් වන්න ද ඔබ හිතුවේ?

තාදි ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණේ අහම්බෙන්. මගේ පුංචි කාලේ ඉඳලා ලොකු ආශාවක් තිබුණා රඟපෑමට. නමුත් ඒ සඳහා අවස්ථාවක් ලැබෙනකම් තමයි බලාවුන්නේ. තාදි ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වනවාත් සමඟ මට මගේ යාළු මිත්‍රයන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්න ගත්තා. ඒ ප්‍රතිචාරයත් සමඟ මට රඟපෑමේ ආශාව තවත් වැඩිවුණා.

 ටී.වී කොමර්ෂල් වෙනුවෙන් ඔබට ගොඩක් ආරාධනා එහෙමත් ලැබෙනවා නේද?

ඔව්. තාදි රඟපෑමත් සමඟ මට ටී.වී. කොමර්ෂල් ගොඩක් ලැබුණා. විවිධ අංශයෙන් ඒ අතර බිස්කට් ප්‍රචාරක දැන්වීම්, අයිස්ක්‍රීම් ප්‍රචාරක දැන්වීම්, සෙලියුලර් ෆෝන් කාඩ් දැන්වීම්, පරිගණක ප්‍රචාරක දැන්වීම් ආදී කොමර්ෂල් දැන්වීම් බොහොමයක මට රඟපාන්න ලැබුණා.

 සිනමා නිර්මාණයකටත් ඔබට දායකවන්න අවස්ථාව උදාවෙනවා නේද නොසිතූ මොහොතක?

ඔව්. නුවන් රංජන් අධ්‍යක්ෂණය කළ කලම්බු සැටලයිට් චිත්‍රපටයෙන් තමයි මම චිත්‍රපට රංගනයට එක්වන්නේ. මේ චිත්‍රපටය යු ටියුබ් මුවි එකක් (You Tube Movie)


 මියුසික් වීඩියෝ සඳහාත් ඔබ මේ වන විට රංගනයෙන් එක්වෙලා.

සුලංගි ප්‍රනාන්දුගේ මියුසික් වීඩියෝවකට රංගනයෙන් එක්වුණා. ඊට අමතරව නුවන් රංජන් අධ්‍යක්ෂණය කළ මියුසික් වීඩියෝ දෙකක් සඳහා මම මේ වන විට රංගනයෙන් වගේම ගායනයෙනුත් සම්බන්ධ වෙලා තියෙනවා.

 ඒ කියන්නේ ඔබ මේ වන විට ගායිකාවකුත් වෙලා?

නුවන් රංජන් අධ්‍යක්ෂණය කළ මියුසික් වීඩියෝ දෙකේම ප්‍රධාන චරිතය රඟපාන්න ලැබුණා. වගේම එහි ගායනය සඳහාත් මට අවස්ථාව ලැබුණා. පාට පාට ලෝකයක් ගෙනාව සුරඟනා.... මේ ජීවිතේ සුන්දරයි....ගීත දෙක ගායනාකරමින් තමයි මම ගායිකාවක් බවට පත්වන්නේ. තව මාස කීපයක් ඇතුළත මේ මියුසික් වීඩියෝ දෙක එළිදකියි. මන්දාරම් නමින් දැනට සියලු රූපගතකිරීම් ගීත පටිගත කිීරිම් අවසන් කරල තියෙන්නේ.

 ටෙලි නාට්‍ය රංගනය සඳහා නෙත්මිට වෙනත් ආරාධනා නැද්ද?

තාදිවල රඟපෑමත් සමඟ මට ටෙලි නාට්‍ය කීපයකටම කතා කළා. රඟපාන්න එන්න කියලා. විශේෂයෙන් දෙවැනි ඉනිම, රේස්, සංගීතේ ටෙලි නාට්‍ය සඳහා ඒ ආරාධනා ලැබෙන කොට මම ගොඩක් අසනීප තත්ත්වයෙන් හිටිය නිසා ආරාධනා මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා.

 නෙත්මි ගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

රංගනය පැත්තෙන් වගේම පොටෝ ෂුට් පැත්තෙන් ඉදිරියට යන්න තමයි කැමති.

 ඔබ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙසත් ජනපි‍්‍රය චරිතයක්?

මෝස්තර නිරූපණ ශිල්පිනියක් විධියටත් මම කටයුතු කරනවා. ඒකත් මම බොහොම කැමැත්තෙන් කරන දෙයක්. රූපලාවණ්‍ය ශිල්පිණි චාන්දනී බණ්ඩාරගේ රූපලාවණ්‍ය ඇකඩමියේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයකදී මාව (එළිසබෙත් රැජන) Queen Elisabeth ලෙසින් හැඩගැන්වුවා. වගේම එහිදී මම ජයග්‍රහකයා බවටත් පත්වුණා.

 Tik Tok  හරහාත් ඔබ අද වෙනකොට ගොඩක් ජනපි‍්‍රය චරිතයක්.

මේ හරහා තමයි මම ගොඩක් ජනපි‍්‍රය වුණේ. කොමඩි වැඩ, සින්දු මම ටික්ටොක් හරහා ඉදිරිපත් කිරීමත් සමඟ මට මේ පිළිගැනීම නිරායාසයෙන් ඇතිවුණා.

 රඟපෑමට ගායනයට වගේම ක්‍රීඩාවටත් ඔබ ළෙන්ගතු තැනැත්තියක්?

මම ගොඩක් පි‍්‍රයකරන දෙයක් ක්‍රීඩාව මලල ක්‍රීඩා සඳහා තමයි මම ගොඩක් කැමති. සුගතදාස මලල ක්‍රීඩා සංගමය හරහා තමයි මම ක්‍රීඩාවට යොමුවන්නේ.

 වරක් ඔබ රූපරාජිනි තරඟයන් පවා නියෝජනය කරනවා නේද?

2019 වසරේ මිස් ශ්‍රී ලංකා රූපරාජිනි තරඟය පවා නියෝජනය කරන්න මට අවස්ථාව හිමිවුණා. ඒත් පාස්කු ප්‍රහාර බෝම්බ පිපිරීමත් සමඟ ඒ තරඟය අතරමැද නතර වුණා. ඉදිරියේදී මම මිසිස් ශ්‍රී ලංකා රූපරාජිනි තරඟය නියෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා.

 කලා ක්ෂේත්‍රයේම සහකරුවෙක් තමයි ඔබේ අතගත්තෙත්?

මගේ සැමියා නුවන් රංජන්. ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක්. ඔහු අධ්‍යක්ෂවරයෙක්. මුලින්ම නුවන්ව මට හමුවන්නේ වන් ගෝල්ෆේස් හෝටලයේදී, එහිදී ඔහු මට පවසා සිටියා මගේ චිත්‍රපට නිර්මාණයක් සඳහා ගැහැනු ළමයෙක් හොයනවා. ඒ හොයන හැඩය පෙනුම ඔයා ළඟ තියනවා. කැමැති නම් රඟපාන්න මෙන්න මේ ලිපිනයෙන් මාව හමුවන්න කියල ඒ අනුව තමයි මම ඔහුව හඳුනාගත්තේ. මම ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතු කලම්බු සැටලයිට් චිත්‍රපටයේ රඟපාන කාලයේ අපි අතර ඇතිවන මිත්‍රත්වය පසුව ආදරයකට පෙරළෙනවා. අවසානයේ ඔහු මගේ ආදරණීය සැමියා බවට පත්වෙනවා. අද මගේ ළඟම විවේචකයා ඔහුයි. මගේ තනිනොතනියට මා ළඟම සිටිමින් මාව කලාව තුළ ගමනක් යන්න දිරිදෙන්නේ නුවන්. ඒක මට ලොකු ශක්තියක්.

 පවුලේ තොරතුරු කොහොමද?

මට අයියලා තුන්දෙනෙක් එක අක්ක කෙනෙක් ඉන්නවා. මේ අයත් අම්මත් මම රඟපාවට කැමැතියි.

 මේ දවස් වල කලාකටයුතු එහෙම කොහොමද?

මගේ සැමියා නිර්මාණය කළ මන්දාරම් මියුසික් වීඩියෝවේ වැඩ කටයුතුවල තමයි වැඩිපුර නියැළිලා ඉන්නේ. අපේ බලාපොරොත්තුව පෙබරවාරි මාසයේ අපේ පේ‍්‍රක්ෂකයාට ශ්‍රාවකයන්ට එය තිළිණ කරන්න. කෝවිඩ් වසංගතය වගේම රට තුළ පවතින ව්‍යාකූල වටපිටාව තුළ ප්‍රධාන පෙළේ නිර්මාණයන් වෙනුවෙන් තවම ස්ථිර ආරාධනා නම් ලැබුණේ නෑ. හැම දෙයක්ම තවම කතාබහ කිරීම් වලට පමණක් සීමා වෙලා. රඟපාන්න ආරාධනා ලැබුණොත් චරිතය ගැන සොයල බලල සතුටින් භාර ගන්න මම සුදානම්.

 

 

[email protected]

 

ඡායාරූප - මහේෂ් නිශාන්ත