රෝගී දරුවන් පිළිබඳ මා ලැබූ බොහෝ අත්දැකීම් කවියට නැඟුණා

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මනෝරි ගමගේ
ජනවාරි 19, 2023

- කවි පොතක් එළි දැක්වීමට ලැබීම සතුටක්
- කවියකින් අර්ථකථනයක් ලබා දෙන්න කවි හතරක් පහක්වත් තිබිය යුතුයි
මං සිංහල භාෂාවට කුඩා කල සිටම ඇලුම් කළ කෙනෙක්
ඇත්තටම අරුත දනවන කෙටි කවි ලියන්න අපහසුයි

පහන් තරුවක් විලස උදයක 
සවස් තරුවකි තවත් දවසක 
ඉදින් හිමියනි බැතින් පුද දෙමි 
පන්හිඳක පිපි පතොක් මල් මිට 
හෙමින් සුළඟට විදා මුදු පෙති 
වියැකී යන පෙර හෙට 

මහාචාර්ය මනෝරි ගමගේ වෛද්‍යවරිය ගේ පත් ඉරුවක පිබිදුණ පතොක් මල් කාව්‍ය සංග්‍රහයේ පිදුම යි. ඒ පුදනු ලැබුවේ ඇගේ සැමියා වන ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍යවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය පීඨයේ මහාචාර්ය ශල්‍ය වෛද්‍ය විශේෂඥ භවන්ත ගමගේට ය.

ජීවිතයේ සත්‍ය සොයා යමින් ඒ දෙස යථාර්ථවාදීව බලමින් සමාජ සංස්කෘතික දේශපාලන කරුණු කාරණා මෙන්ම අසාධාරණකම්, විෂමාචාර, උස් මිටි තැන් කෙරෙහි අවධානය යොමු කරමින් ඇය සිය පන්හිඳ මෙහෙය වුයේ නිර්මාණශීලී ප්‍රවේශයකටය. සාහිත්‍ය රසය උද්දීපනය කරමින් සඳැස්, නිසදැස් පද්‍ය ආර ඇසුරු කරගනිමින් ඇය කළ කාව්‍ය නිර්මාණ තුළින් පසක් වන්නේ කලා කෞශල්‍යයන් ඡන්මයෙන් ලද උරුමයක් බවයි. වෙද නළාව වෘත්තිය කරගත් මේ කිවිඳිය දරු පැටවුන්ගේ සුව සෙත වෙනුවෙන් දිවා රෑ නොබලා අති වෙහෙසක් දරමින් රෝගාතුර වූ දරුවන් ඇකයේ හොවා ගෙන එන අම්මාවරුන්ගේ නෙනඟ කඳුළු පිස දැමුවේ සංවේදී වූ හදවතිනි.

වෙද නළාව හසුනොවු මිනිස් ජීවිතයේ ඇතුළාන්තය සිය කාව්‍ය සංකල්පනා මඟින් නිර්මාණශීලීව ඉදිරිපත් කරන කිවිදියක වූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මනෝරි ගමගේ ය.

පතොක් මල් පිපුණෙ කෙලෙස ද කියා අසන්නට පෙර මම කැමතියි ඔබේ සිංහල භාෂාවේ ප්‍රගුණත්වය පිළිබඳ දැනගන්නට?

මං සිංහල භාෂාවට කුඩා කල සිටම ඇලුම් කළ කෙනෙක්. මගේ මව සහ පියා සිංහල ගුරුවරු දෙපළක්. අපේ නිවස පොත් ගුලාවක්. රචනා, කවි, පමණක් නොවෙයි ඕනෑම වර්ගයක පොත් අපේ නිවසේ තිබුණා. සති අග පුවත්පත් සියල්ලම මගේ තාත්තා මිලදී ගන්නවා. කුඩා කල සිටම පොත් පත් සමඟ පැවැති ඇසුර නිසා මගේ සිංහල භාෂාව ප්‍රගුණ වුණා. මම නිතරම පොත පත කියවීමට පි‍්‍රය කළා. පත්තර කැබැල්ලක් බිම වැටී තිබුණත් මම එය අරගෙන කියවනවා. ඒ දිනවල ටියුෂන් පන්ති නොතිබුණත් මගේ මව සහ පියා වාර විභාග ආසන්නයේදී දරුවන්ව නිවසට ගෙනවිත් ඔවුන්ට සිංහල, රචනා, කවි, විචාර ආදිය උගන්වනවා. මම ඒවාට හොඳින් ඇහුම්කම් දුන්නා. මගේ සිංහල භාෂාව පෝෂණය වුණේ වුණේ එලෙසින්.

ගුණාත්මකභවයෙන් කවි ලියන්නට ඔබට ආභාසය ලැබුණේ කෙලෙස ද?

මගේ අම්මට හොඳට ලස්සනට කවි ලියන්න පුළුවන්. අම්මගේ ආභාසය නිසා වෙන්නට ඇති. මම මුල්වරට කවි ලියන්නට පටන් ගත්තේ 9 වැනි ශ්‍රේණියේ දෙවි බාලිකාවේ ඉගෙන ගන්න කාලේදී. නමුත් ආසාවට ලිව්වට කවි එකතු කළේ නැහැ. පසුව වෛද්‍ය විද්‍යාලයට තේරුණා. ඒ සමය අතිශයෙන් කාර්ය බහුලයි. විශේෂඥ වෛද්‍යවරියක වූ පසුවයි මම නැවතත් කවි ලියන්නට පටන් ගත්තේ. මම කවියට ආදරෙයි. ඒ නිසා වර්තමානයේ කෙතරම් කාර්ය බහුල ජීවිතයක් ගත කළත් ලද හැම අවස්ථාවකම කවියක් ලියන්නට මම පෙළඹෙනවා. 

පතොක් මල් පිපෙනන්ට පෙර ඔබ ලොක්ඩවුන් නොකළ සිතුවිලි නමින් කාව්‍ය ග්‍රන්ථයක් එළි දැක්වුවා නේද?

කොරෝනා සමයේ නිවාස අඩස්සියේ සිටින කාලය තුළ මගේ මනසේ සිතුවිලි සමුදාය මෙන්ම ඇසු දුටු දේ පාදක කරගෙන ලොක්ඩවුන් නොකළ සිතුවිලි කවියට නැගුණා. මගේ මුල් කවි පොත ගැන මට ඇත්තේ සතුටක් මිශ්‍ර දුකක්. කවි පොතක් එළිදැක්වීමට ලැබීම සතුටක්. දුක එම කවිවල බරක් නැතැයි සිතීම. නමුත් කවි හා සබැඳි අත්දැකීම් මගේ කවි සිත එදිනට වඩා වෙනත් මානයකට ඇද බැඳ තබා තිබෙනවා.

පතොක් මල් කවි සංකල්පනා තුළින් ඉදිරිපත් කර තිබුණු ව්‍යාංගාර්ථ පුර්ණ භාවය පිළිබඳව කතා කරමු.

මම ලියන බොහෝ කවි වල අර්ථ කිහිපයක් සැඟවී තිබෙනවා. ව්‍යාංගාර්ථයෙන් ඉදිරිපත් කිරීමේදී උඩු අර්ථය යටි අර්ථය යන දෙකම තුළින් මිනිස් චින්තනය අනුව විවිධ අර්ථකථන වලට ඔවුන්ට එළැඹිය හැකියි. උදාහරණයක් ලෙස මගේ සෝදුපත් බලන්න නැමති කවියේ අරුත බොහෝ දෙනා දුටුවේ සෝදුපත් බලන්නෙකු ලෙසයි. නමුත් මම එම කවිය ප්‍රබන්ධ කළේ ගැහැනියක හෙවත් අම්මා නැමැති චරිතය පසුබිම් කරගෙන

තිතක් අග තියන්නි 
කොමාවක් කරන්නි 
තිත ද හරි කොමාව ද 
නොදැන පසුතැවෙන්නි

මම ලියන කවි බොහොමයක්ම අර්ථ දෙකක් නිරූපණය කරනවා. නිදහස් කවි වලට වඩා හතර පද කවි ලියන්නට මම කැමැතියි. හතර පද කවි වල රිද්මයක් අනුගත වෙනවා. මා ලියූ නූතන ගජගා වන්නම මිනිස් අලි ගැටුම ගැන හොඳම විග්‍රහයක්

හෙමින් ඇවිද හඬ නොනැගෙන 
තාලෙට හැමදා හේනට එන්නේ 
හොඬින් තැලෙන පැල එක එක වාරෙට 
බිමට වැද නිදියන්නේ 
 හදින් නැගෙන අප ගිනි ජාලාවට 
මුළු ලොව අළු වී යන්නේ 
අහන්න මහතුනි හැමදාම මෙහෙමයි ගජගා අපිත් නටන්නේ 

ඔබේ පතොක් මල් කාව්‍ය සංකල්පනා කෘතියේ කවි බොහොමයක් ප්‍රශස්ත මට්ටමේ තිබෙන බව කවි පිළිබඳ ඇසූ පිරූ තැන් ඇත්තන්ගේ අදහසයි. ඒ පිළිබඳ කතා කරමු.

මම කවි 80ක් ලිව්වා. එයිනුත් 50 ක් තෝරා පතොක් මල් කාව්‍ය සංග්‍රහය නිකුත් කළේ.

ඇතැම් සුප්‍රසිද්ධ කවියන්ගෙන් මට ගුරුහරුකම් ලැබුණා.

ඉතා කෙටි කාලයකදී කවිය හා බැඳී නීතිරීති මාත්‍රා යවහන් ආදී විවිධ වූ දේ මා ඉගෙන ගත්තා. සමහරවිට රිද්මෙට අවශ්‍ය පරිදි සක්ක පද යොදන අවස්ථා තිබෙනවා. ඒවා නොකළ යුතු බව සම ඉගෙන ගත්තේ දක්ෂ කාව්‍ය රචකයන්ගෙන්. ඒ පිළිබඳ මට ඇත්තේ සතුටක්. කවියක් ඉදිරිපත් කිරීමේදී සෘජු ලෙස නොව එය වක්‍රකාරව ඉදිරිපත් කිරීම පිළිබඳව මම උගත්තා පසුකාලීනව කවි පොත් පරිශිලනය කරමින්. මම කවි පොත් මිල දී ගෙන ඒ පිළිබඳ පුර්ණ අධ්‍යයනයක යෙදුණා. විශේෂයෙන්ම මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දරයන් ඒ සඳහා මට උදව් කළා.

කවියක අකෘතියට අනුකූලව කවි පදවැල් අමුණා එයට අනුගත වී කවි ලියන්නට මම පටන් ගත්තා. කවියක් ලියා එය දහ දොළොස් වතාවක් නැවත කියවා මවිසින්ම එහි හරි වැරදි හදා ගත්තා.

සෝදුපත් නැමැති කවිය මම තිස් වතාවක් නැවත කියවා හරි වැරදි හැදුවා. කවි නැවත නැවත කියවීමෙන් එහි අඩුපාඩු මට හදා ගන්නට හැකි වුණා. උපමා රූපක වාවිධ කාව්‍යාලංකාර සුදුසු පරිදි භාවිතයට මම උනන්දු වුණා. මගේ පතොක් මල් කවි ප්‍රශස්ත මට්ටමේ තිබෙනවා. යැයි අසන්නට ලැබීමත් ආධුනික කිවිඳීයක් ලෙස මට සතුටක්.

මගේ ඇතැම් කවි පද හතරේ ඒවා නමුත් කවියකින් අර්ථකථනයක් ලබා දෙන්නට කවි හතරක් පහක්වත් තිබිය යුතුයි. ඇත්තටම අරුත දනවන ලෙස කෙටි කවි ලියන්නට අපහසුයි. නමුත් මම උත්සාහ කළා. පද හතරකට පමණක් සීමා වන පරිදි මේ අයුරින් මේ කවි පද නිර්මාණය කරන්නට එය සාර්ථක බව බොහෝදෙනා පැවැසුවා.

මතකෙට අරන් ගතකළ පෙම්බර හවස් මලකට සුවඳ වේ විහිදෙන අහස් සුළඟට කියන ඉඳහිට සුන්දරම රහස් ගහකට වුණත් ඇති හරි ලස්සනම දවස්.

වෘත්තියෙන් ඔබ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්. ගිලන් වූ දරුවන් කරපින්නාගෙන එන මව්වරුන්ගේ අත්දැකීම් කවියට නැඟුවේ නැද්ද?

ඒ අත්දැකීම්වලට මම හරි සංවේදී වුණා. විශේෂයෙන් ලිංගික අතවරවලට ලක්වූ දරුවන් මා සේවය කරන වාට්ටුවේදී අනන්තවත් මට මුණ ගැසුණා. ලොකුම ඛේදවාචකය ඒ දරුවන් ලිංගික අතවරවලට යොමු වු හැටි ඒ පිළිබඳව ඔවුන්ගෙන් අසා දැනගැනීමට තිබෙන අපහසුතාවය එය අතිශයින් සංවේදීජනක අවස්ථාවක්. 

පිපි පොඩිවුණු මලක 
යකෙකුගේ දැඩි අතක 
තෙත්ව ගිය ඇස් දෙකක 
ඔබේ සිවුමැළි සිතට 
කෙලෙස තව දුක් දෙම්ද 
වුණේ කොහොමද කොහෙද 
කොහොම මම අසන්නද

අම්මා තාත්තා මෙන්ම ඥාතීන්ගෙන් වධ හිංසා ලබන දරුවන් පවසන කතා අසන්නටත් බැරිතරම් වේදනාකාරී. අම්මා පිටස්තර පුද්ගලයෙක් සමඟ එක් වී අන්තර්ජාලය ඔස්සේ විකුණන ලද අවුරුදු පහළොවේ වයසැති දියණිය මගේ වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ කවි පද ලිව්වේ ඒ දරුවා වෙනුවෙන් ඇහැරිලා පමණි ඔබ දකිනු රිසියෙන් ලොවම කිම වුණේ පරවෙන්න ඇස් ඇරපු මුල්දිනම හප කළේ කවුද වග දන්නවා මුළු රටම ඇයි දුවේ නැති කළේ ඔබේ හෙට ඔබේ මව එක්තරා අත්දැකීම් තිබෙනවා තැලසීමියා හැදුණු දරුවෙක් පිළිබඳව. ඒ දරුවා මගේ වාට්ටුවේ හිටියේ දරුවාට තැලසීමියා තත්ත්වය ඇති බව හඳුනා ගත්තෙත් මම අවුරුදු 19 ට පෙර අදත් ඔහු විවිධ සංකුලතාවලින් පෙළෙනවා. මේ අවස්ථාවේ ඒ දෙමව්පියන් අම්මා විදින වේදනවා මට හොඳට දැනෙනවා. මම ඒ ඇසුරෙන් කවි පන්තියක් ලිව්වා. නමුත් එය පළ නොකළේ දරුවාගේ නමට කැළලක් ඇති වේ යන හැඟීමෙන්.

ඔබ ගීත රචිකාවක් ?

“හමා දස අත සුවඳ අරගෙන” මා විසින් රචිත එකම ගීතය ගායනා කරන්නේ ක්‍රිෂාන්ත එරන්දක සංගීතය දර්ශන වික්‍රමතුංගගෙන්.

ඇත්තටම මෙය කවියක්. කවිය ගීතයක් බවට මම පත් කළා. සෑම මසකටම වරක් ලන්ඩන් කවි සඳහා කවි ලියනවා. මෙවර නූපන් පුතුට යන නමින් කවියක් ලියා පළ කළා.

වෛද්‍ය මමෝරී ආදරණීය දියණියන් දෙදෙනකුගේ මාතාවකි.