වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
බොහෝවිට ගී පද රචනාවලට ප්‍රස්තුත වූයේ සමාජයේ අපි අත්විඳින දේවල්

මෙරට ගී පද රචනා කලාව තුළ අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමි, පූජ්‍ය පාතේගම ඥානිස්සර හිමි, පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද හිමි ඇතුළු මෙකී නොකී භික්ෂූන් වහන්සේලාගෙන් ගී පද රචනා ක්ෂේත්‍රයට ඉටුවනුයේ නොනිමි මෙහෙවරකි. උන් වහන්සේලාගේ පූර්වාදර්ශය ලබමින් ගීතයෙන් යම් සමාජ මෙහෙවරක නියුතු වන්නට පැමිණි තවත් එවන් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේ ගීත රචනා කලාව පිළිබඳ විමර්ශනයට මෙවර මේ ඉඩ වෙන්වන්නේය.
උන් වහන්සේ අති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමියන්ය. කොළඹ බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනයේ, ධර්මායතනාධිපති වශයෙන් වැඩ වාසය කරන උන්වහන්සේ ගේ ගීත රචනා කලාවේ ආරම්භය බෞද්ධ දර්ශනයත් බෞද්ධ ආගමික පසුබිමත් ඇසුරින්ම ගොඩනැංවුණකි. උන් වහන්සේ විසින් විරචිත බොහෝ ගීතයන්හි ප්‍රස්තුතය වී ඇත්තේ බුදුන් වහන්සේ දේශනා කළ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටම අදාළ දේය.
‘මගේ ගීත රචනා කලාව ආරම්භ වෙන්නේ මම කොළඹ බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනයට ආවට පස්සෙයි. මේ ස්ථානයේ මම ‘ධම්මදීප පදනම’ කියලා සම්ිතියක් ඇති කළා. ඒකෙන් බහුතරයක් කළේ සමාජ සත්කාරක. ප්‍රජා සත්කාරක සේවාවන්. මේක පටන් ගත්තේ සුනාමිය ආපු කාළේ. මේ පදනම මඟින් අපි ත්‍රිකුණාමලයේ චෛත්‍යයක් හැදුවා. කින්නියා පැත්තේ තමයි ඒක හැදුවේ. ඒක අපි නම් කළෙත් ධම්මදීප ස්ථුපය කියලා. මේ චෛත්‍යය ශාසනයට පූජා කිරීමේ උත්සවය නිමිත්තෙන් මට හිතුණා ගීතයක් ලියන්න ඕන කියලා. ඒ ගීතය තමයි මගේ අතින් ඉස් ඉස්සරලාම ලියවුණු ගීතය වුණේ. මේ ගීතය සංගීතවත් කරලා ගායනා කළේ ජගත් වික්‍රමසිංහ සමඟ ජනනාත් වරකාගොඩයි.
ශාසනික කටයුත්තක් මුල් කරගෙනම තම ගීත රචනා ක්ෂේත්‍රයේ ආරම්භය සනිටුහන් කරන පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමියන්ට නැවත වතාවක් ගීතයක් රචනා කරන්නට සිත් වන්නේ අහම්බයකිනි. උන්වහන්සේට අයත් අනුරාධපුරයෙහි පැවති වෙනත් පන්සලක් වෙත යන අතරවාරයේ මඟතොට දී දුටු දර්ශනයක් උන්වහන්සේට ඊට වස්තු බීජ සැපයුවේය.
‘මුල් ගීතය ලියලා ටික කාලයක් ගතවුණා. දවසක් මගේ අනුරාධපුරේ තිබෙන පන්සලට යන්න යන ගමනෙදි තලාව ප්‍රදේශයේ බිම තියාගෙන බුදු පිළිම හදලා විකුණන තැනක් මම දැක්කා. එදා මාත් එක්ක හිටිය ටිරෝන් ෆොන්සේකා කියන මගේ හිතවත් ගෘහ නිර්මාණ ශිල්පී මහත්මයෙක්. එතුමා කතෝලිකයෙක්. එතුමා මේ බුදු පිළිම බිම තියෙනවා දැකලා මගෙන් ඇහුවා, හාමුදුරුවනේ බුදු පිළිම මෙහෙම තියෙන එක හොඳ නෑ නේද? කියලා මටත් ඊට පස්සේ හිතුණා ඒක හොඳ නෑ නේද කියලා. ඒ සිද්ධිය මුල්කරගෙන තමයි මට ඊළඟ ගීතය ලියන්න හිතුණේ.
රජමැදුරේ - සිරියහනේ
සැතපුණ හිමි සඳුනේ
මහමඟ අයිනේ
තද හිරු උණුසුම
මහ වරුසා මැද
සෙවණක් නොලැබුණි දෝ
මේ ගීතය මගේ අතින් ඊට පස්සේ ලියවුණා. මේ ගීතය මම සංගීවත් කරන්න දුන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ට. එතුමා ගීතය බලල කිව්වා අපි මේක සුනිල් එදිරිසිංහයන්ට දෙමු. එතුමාට තමයි මේක හොඳටම ගැළපෙන්නේ කියලා. හැබැයි ටික කාලයක් යයි කිව්වා. කොහොම හරි අවුරුද්දකට විතර පස්සේ එතුමා මට ගීතය වොයිස් කරලම ගෙනත් දුන්නා. ඉතින් මේ ගීතය මම අපේ ත්‍රිකුණාමලයේ ආනන්ද නායක හාමුදුරුවන්ට අහන්න යැව්වා. මහනායක හාමුදුරුවෝ සින්දුව අහලා හරියට සතුටු වුණා. උන් වහන්සේ බොහෝ දෙනෙකුට මේ ගීතය අහන්න සලස්වලත් තිබුණා. ඒ කාලේ කඨින පින්කම් කාලයක්. අගලකඩ සිරි සුමන හාමුදුරුවන්ගේ පන්සලේ මම හැමදාම බණට වඩිනවා. එදා ගියාම උන්වහන්සේ කිව්වා චන්දකිත්ති හාමුදුරුවන්ට අද සප්‍රයිස් එකක් තියනවා කියලා. මගේ බණ පටන් ගන්න කලින් මේ සින්දුව දැම්මා. ඒකෙන් පස්සේ තමයි මට දිගටම සින්දු ලියන්න ආසාව ඇතිවුණේ.
චන්දකිත්ති හාමුදුරුවන්ගේ ආසාවත් සමඟම හැකියාවත් උන්වහන්සේට මොනවට පිහිටා තිබූ නිසා මේ කාර්ය වඩ වඩාත් උන්වහන්සේට පහසු කාරණාවක් වන්නට ඇති. එසේම උන්වහන්සේ ඒ වෙනුවෙන් තමන් විසින් වඩවා ගත යුතු දෑ වඩවා ගන්නට ද නොපසු බට වූයේය. තමන් වහන්සේට පෙර මේ ක්ෂේත්‍රයට පිවිසි, තමන්ට පූර්වාදර්ශ සැපයූ යතිවරයාණන් වහන්සේලාගේ මෙන්ම මෙරට විශිෂ්ට ගණයේ ගේය පද රචකයන්ගේ නිර්මාණ ඇසුර මෙහිදී උන්වහන්සේට වඩා වැදගත් විය.
‘මම ගොඩක් ස්වයං අධ්‍යයන කටයුතුවල නියුතු වුණා. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ගේ ගීත, පාතේගම ඤාණිස්සර හිමියන්ගේ ගීත, පල්ලේගම හේමරතන හිමියන්ගේ ගීත වගේම ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක හිමියන්ගේ ගීත මම අධ්‍යයනය කළා. ඊළඟට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර වැන්නෝ ලියපු ගීත ගැන උනන්දු වුණා. රත්න ශ්‍රී විජේසිංහ, බණ්ඩාර ඇහැළියගොඩ වැන්නන්ගේ ගීත අධ්‍යයනය කළා.
බණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා මා ලවා බෞද්ධයා නාලිකාවේ බණක් කියනවා. ඔය ඇසුරත් එක්ක එතුමා මට පොත් දෙක තුනකුත් දුන්නා. ඒවත් මම අධ්‍යයනය කළා. සුනිල් සරත් පෙරේරා මහත්මයත් මගේ හිතවත් දායක මහත්මයෙක්. එතුමාගේ ඇසුරත් මගේ ගීත රචනා කලාවට ලොකු දිරි ගැන්වීමක් වුණා. මම අලුතින් සින්දුවක් ලිව්වොත් අනිවාර්යයෙන්ම පල්ලේගම හේමරතන හාමුදුරුවන්ට යවනවා. උන් වහන්සේ ගුණ දොස් කියල මට වට්ස් ඇප් පණිවිඩයක් හරි දානවා. ඔය වගේ ඇසුරක් සමඟ තමයි මම ගීත රචනා කලාවට අවතීර්ණ වෙන්නේ.
චන්දකිත්ති හාමුදුරුවන් විසින් මේ වන විට ලියා ඇති ගීත ගණන 300ට ආසන්නය. ඉන් ගායන කර ඇත්තේ ගීත 78ක් පමණය. මෙරට ගීත ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ගායක ගායිකාවන් රැසක් මේ ගීත ගායනා කර ඇති අතර, ප්‍රවීණ ජනපි‍්‍රය සංගීතඥයන් රැසක් උන්වහන්සේගේ ගීත සංගීතවත් කර ඇත.
‘ආචාර්ය රෝහණ වීරසිංහ, නාලක අංජන කුමාර, නවරත්න ගමගේ, මහින්ද බණ්ඩාර, සමන්ත පෙරේරා, ජනනාත් වරකාගොඩ, ජගත් වික්‍රමසිංහ, රෝහණ ධර්මකීර්ති, සදීප්ත ගුණවර්ධන ඇතුළු පිරිසක් මගේ ගීත සංගීතවත් කර තිබෙනවා. ගීත ගායනයෙන් විශාරද නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, ජගත් වික්‍රමසිංහ, මහාචාර්ය කෝලිත භානු දිසානායක, මරියෝ ආනන්ද, හර්ෂණ නානායක්කාර, ප්‍රදීපා ධර්මදාස, දමයන්ති ජයසුරිය ඇතුළු පිරිසක් එක්වෙලා තිබෙනවා.
මට මතකයි මීට අවුරුදු 4ට විතර කලින් මම නත්තල් ගීතයකුත් රචනා කළා.
සීත ඉමේ ඈත කොනේ
ආකාසේ තනි තරුවක්
රෑට දිලී හීන් හඬින් රහස් කියනවා
බෙත්ලෙහෙමේ කුමරු උපන් බව පවසනවා.
මේ ගීතය මහින්ද බණ්ඩාර සංගීතවත් කරල සමන්ත පෙරේරා විසින් ගායනා කළා.
චන්දකිත්ති හිමියන්ගේ ගී පද රචනාවලට බොහෝ විට ප්‍රස්තුත වූයේ සමාජයේ අප අත්විඳිනා දේවල්ය. මේ සියල්ල දෙස බෞද්ධ දාර්ශනික ඇසකින් බලමින් ගීත රචනය කරන්නට උන් වහන්සේ සැමවිටම උත්සාහ ගත්තේය. ගීතය හරහා ජනතාවගේ සිතුවිලි යහපත වෙත වෙනස් කිරීම උන්වහන්සේගේ මූලික අභිප්‍රාය විය.
‘මම පාරේ බුදු පිළිම දැකලා ලියපු සින්දුව අනුරාධපුරේ එස්.එස්. පී මහත්තයා අහලා තිබුණා. එතුමා මේ පාරේ යනකොට ඒක දැකලා ඒ බුදු පිළිම ටික උඩ තැනකින් තියන්න කටයුතු කරලා තිබුණා. මට සතුටුයි මගේ ගීතයෙන් යම් ප්‍රයෝජනවත් දෙයක් ඉටුවුණා කියලා.
මම ටී.එම්. ජයරත්න මහත්මයාට ගීතයක් ලිව්වා. ඒ ගීතයෙන් කියවෙන්නේ කෙකටිය මලක් ගැන. කෙකටිය මල කියන්නේ හැඩ මලක් නොවෙයි නේ. එච්චර සුන්දරත්වයක් නෑ. බඹරු එන්නෙත් නෑ. මේ ගීතයෙදී මම කෙකටිය මලට උපමා කළේ රූපයෙන් අඩු තරුණ යුවතියක්.
‘හැඩකාර මල් අතර
නුඹේ රුව නොරැඳුණත්
රොන් සොයන බිඟු පෙළට
නුඹේ සුවඳ නොදැනුණත්
මද පවනෙ නැළවෙන්න
හිරු කිරණෙ නැහැවෙන්න
නුඹත් ආසයි නේද හීන් කෙකටිය මලේ
මේකෙන් මම අදහස් කළේ ධර්මයේ තිබෙනවා උපධි සම්පත්තිය සහ උපදි විපත්තිය කියලා. උපදි සම්පත්තිය කියන්නේ උපතින්ම ලැබෙන සම්පත්, රූපය ගත්තොත් උත්පත්තියෙන්ම ලැබෙන දෙයක්. නමුත් ඒ රූපයම පස්සේ උපධි විපත්තියට හේතු වෙන්න පුළුවන්. ඒක නිසා කෙකටිය මල් මුල් කරගෙන මම ලිව්වේ ලස්සන, සුවඳැති සුන්දර මල්වලට තිබෙන ආකර්ෂණය ඔබට නැති වුණාට ඔබ දුක් වෙන්න එපා. ඒකෙන් ඔබට ලොකු ආරක්ෂාවක් තියනවා කියන එකයි.
තරුණ කාන්තාවකට රූපය ටිකක් අඩු වුණාම පොඩි මානසික දුකකුත් ඇති වෙනවනේ. එහෙම දුක් වෙන්න එපා. කියන්න තමයි මම ඒ ගීතය ලිව්වේ.
මගේ ගීත රචනා කිරීමේ කලාව වැඩි වැඩියෙන් වර්ධනය වුණේ ඇත්තටම ඛ්ධමඪඤ කාලේ. ඒ කාලේ දාන මාන කටයුතුත් අඩුයි. සාමාන්‍යයෙන් මට ධර්ම දේශනා වලට ලැබෙන ආරාධනා වැඩියි. අවුරුද්දකට බණ 400ක් විතර කියනවා. නමුත් ඛ්ධමඪඤ කාලේ මේ මුකුත් නෑ. ඒ නිසා මට හොඳ විවේකයක් ලැබුණා. දායකයෝ පන්සලට එන්නෙත් නෑ. ඒ විවේකයේදී මම දවසට ගීත දෙකක් විතර ලිව්ව අවස්ථාත් තිබුණා. ඇත්තටම කිව්වොත් ගීත ලියන්න ලියන්න තමයි ඒ හුරුව එන්නේ. මට සිද්ධාර්ථ හාමුදුරුවොත් කිව්වේ නිතරම ලියන්න කියල තමයි. ඒ කාලේ මම ඛ්ධමඪඤ උපහාර ගීතයකුත් ලිව්වා.
‘තෙරුවන් විරුවන් නැතිදා
මව්බිම හෙළනා පණ අවසන්. කියලා. මේ ගීතය හර්ෂණ දිසානායක ගායනා කළා.
ස්වාමීන් වහන්සේ කෙනෙකු වශයෙන් ගීත රචනා කිරිමේදී භාෂා භාවිතය පිළිබඳ අලුතින් යමක් ඉගෙන ගන්නට උන්වහන්සේලාට අවශ්‍ය නොවේ. පාලි, සංස්කෘත, ප්‍රාකෘත, වගේම බුත්සරණ, සන්දේශ කව්‍ය ඇතුළු බොහෝ පැරැණි ගද්‍ය හා පද්‍ය ග්‍රන්ථයන්හි ඇසුර උන් වහන්සේලාට නිතැතින්ම හිමි වේ.
චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ද පැවිදි දිවියට ඇතුළත් වී ඇත්තේ උන්වහන්සේට අවුරුදු 12ක් වැනි කුඩා අවදියකදීය.
‘මම පැවිදි දිවියට ඇතුළත් වුණේ අවුරුදු 12දි. මගේ ගම මාතර තලල්ලේ. අවුරුදු 10 1/2 ක් වෙනකම් මම ඉස්කෝලෙ ගියා. ඒ තල්පාවිල මිහිඳු ආදර්ශ විද්‍යාලයට පහේ පන්තියට පාස් වුණාට පස්සේ මම මහණ වෙන්න ගියා. මැදවත්ත වජිරඥාන ධර්මායතනයේ මම අවුරුද්දකුත් මාස 03ක් ඉඳලා මහණ වුණා.ඒ කාලෙත් මට ගීත, කවි ගැන උනන්දුවක් තිබුණා. පැලෑනේ සුවිනීත හාමුදුරුවෝ කියලා පණ්ඩිත හාමුදුරුනමක් හිටියා. උන්වහන්සේ දහම් පාසල් දවසට අපිට කවි, ගීත කියලා දෙනවා. පැලෑනේ වජිරඥාන මහ නායක හාමුදුරුවන්ගේ කවි තමයි කියලා දෙන්නේ. උන්වහන්සේ ධම්ම පදය පාලි ගාථා වලට කවි ලියල තිබුණා. ඒ කවි අපේ ති‍්‍රකුණාමලේ ආනන්දා හාමුදුරුවෝ තමයි සම්පූර්ණ කළේ. මට මතකයි පන්සිල් වලටත් ලස්සන කවි ලියල තිබුණා.
පාණාති පාතා වේරමනී සික්ඛා පදං සමාදියමි කියලා මේ කවිය අයට කියල දෙනවා.
‘කිසිම සතෙක් නොමරමි
මම නොමරවමි
මරණ අයට කිසිසෙත්
අනුබල නොදෙමි
කිසිවකු නොවෙසවමි
හැමටම සුබ පතමි
මෙලෙස පළමු සික පද සපුරා රකිමි
මේවා අපි පුංචි කාලේ ඉගෙන ගත්තා. ඒ කාලේ මම පත්තරවලටත් කවි ලිව්වා. මහරගම ධර්මායතනයේ ඉගෙන ගන්න කාලේ එහේ තිබුණා සඟරාවක්. ඒ සඟරාවට මම ලිව්වා. ඒ ආසාව යටපත් වෙලා තිබිලා තමයි පස්සේ මතුවෙලා ආවේ. මහණ ජීවිතේ ඉගෙන ගත්තු පාලි ත්‍රිපිටකය. සංස්කෘත, ප්‍රාකෘත වගේම කවි සිළුමිණ, සිදත් සඟරාව, සන්දේශ කාව්‍ය මේ හැම දෙයක්ම අද ගීත රචනයට වගේම බණ කියන්නත් ප්‍රයෝජනවත් වුණා.
තලල්ලේ චන්දකිත්ති හිමියන් රාජකීය පණ්ඩිත විභාගයෙන් ද උසස් ලෙස සමත් වූ හිමි නමකි. ඉදින් උන්වහන්සේගේ භාෂා භාවිතය පිළිබඳ හෝ භාෂා දැනුම පිළිබඳ තවත් කිවයුතු නැත. ජීවිතය ගෙඩනැගෙන ළදරු වියේ ගිහි දිවියේ පටන්, පාසල් අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය සේම, සුන්දර ගැමි දිවියේ ආස්වාදය විඳි උන්වහන්සේට මේ සියලු අතීත මතක තම නිර්මාණ කාර්යයට මහත් උපාංගයන්ය.
‘පැවිදි දිවිය තුළ අපට ගීත ශ්‍රවණය කිරීම අකැපයි කියල නෑ. අපට යම් ශබ්දයක් ඇසෙනවා නම් ඒක වළක්වන්න බෑනේ. එතකොට ඒක ශ්‍රවණය කරන්න වෙනවා. නමුත් ඒ ශ්‍රවණය අනුව ගීතය මුමුනන්න ගත්තොත් ඒක අකැපයි. ඔය විදියට ශ්‍රවණය කරපු ගීත අතරින් මගේ හිතට හරියට දැනුණා එකක් තමයි ‘මහ බෝ වන්නම’ ඒ වගේ දේවල් ඇහෙන කොට සාහිත්‍ය අධ්‍යයනයට ලොකු උනන්දුවක් ඇති වුණා. ඊට පස්සේ ගීත ලියන්න ගත්තා. ඇත්තටම ඒකෙන් නිරාමිස පී‍්‍රතියක් ලැබෙනවා. ඒක තවත් තීව්‍ර වෙන්නේ ඒක අහලා සමාජයට යමක් වුණා කියලා දැනුණම.
මම බොහෝ වෙලාවට ප්‍රායෝගික සංසිද්ධීන් වස්තු විෂය කරගෙන ගීත ලියල තියෙනවා. දවසක් මම ජ්චජඥ ඕධධඬ එකෙන් එක සංවේදී කතාවක් කියෙව්වා. ඒකේ තිබුණේ දඹුල්ල නුවර පාරෙදි එක පිරිමියෙක් ගැහැනු කෙනෙක් සහ දරුවෙකු බස් එකකට නග්ගලා පාර පනින කොට වාහනේක හැප්පිලා මිය යනවා. දඹුල්ල රෝහලේ දී මෙයාව පරීක්ෂා කරන කොට සාක්කුවේ තිබිලා හැඳුනුම්පත හමුවෙනවා. එක හාමුදුරු නමකගේ. මෙයා පැවිදි දිවියේ ඉන්න ගමන් ගිහි දිවියේ දේවලුත් කරල දරුවෙකුත් ඉන්න කෙනෙක්. පැවිදි වෙලා හිටිය පන්සලේ හාමුදුරුවන්ට ඒ ගමේ දායකයෝ මෙයාගේ මිනියවත් බාර ගන්න දෙන්නේ නෑ. නමුත් අම්මා ඇවිත් මිනිය බාර ගන්නවා. අම්මම පන්සිල් සමාදන් වෙලා පැන් වඩලා පාංශු කූලේ දෙනවා. ඒකටවත් පන්සලේ හාමුදුරුවන්ට එන්න ගමේ දායකයෝ දෙන්නේ නෑ. අම්මටත් දොස් කියන්න පටන් ගත්තා සඟු සතු දේවල් කාලා පවු පුරවගත්තා කියලා. මරණින් සතියකට විතර පස්සේ අර අම්මා පන්සලට ගිහින් හාමුදුරුවන්ට කියනවා සාංඝීක දේවල් කාලා මගේ පුතා ණය වුණා කියලා ගමේ මිනිස්සු මටත් දොස් කියනවා. ඒ නිසා මගේ මේ ඉඩම් කෑල්ල පන්සලට පූජා කරලා මගේ පුතා ඒ ණයෙන් බේරනවා කියලා අර අම්ම තමන්ට තිබුණ එකම ඉඩම පන්සලට පූජා කරල යනවා. ඔය කතාව මගේ හිත හරියට රිදෙව්වා. මට හිතුණ ඒකට සින්දුවක් ලියන්න ඕන කියලා.
‘මා බත සරිකළේ මේ ඉඩමය හේනේ
පූජා කරමි එය අපේ හාමුදුරුවනේ
මා පුතු වලඳාපු සඟබත් ඇට ගානේ
කළ පව් ගෙවී සැනසේවා නිර්වාණේ....
කියලා මම ඒකට ගීතයක් ලිව්වා. මේ ගීතය නාලක අංජන කුමාර සංගීතවත් කරල දිස්නා අතපත්තු ගායනා කළා.
ඔය වගේ මගේ හිත කම්පා කළ සංවේදී කළ සමාජ සංසිද්ධි ඇසුරෙනුත් මම ගීත රචනා කරලා තියෙනවා. ඛ්ධමඪඤ රැල්ලක් ඇවිත්. ඒක අරන් ආපු එක බ්‍රැන්ඩික්ස් සොයුරියට ලොකු හිත් වේදනාවක් ආවා. මතක ඇති, ඇයටත් මම ගීතයක් ලිව්වා.
මා වියනා සළු පිළි ගෙන
ඔබේ නිරුවත වසා දමා
නෙත් දහසක් මවෙත යොමා
ඔබ මා නිරුවත් කෙරුවා
කොහොමත් ඉදිරියට ගීත 100ත් විතර එකතුවක් පොතක් වශයෙන් කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. දැනට ගායනා කරලා තිබෙන ගීත සංයුක්ත තැටි කීපයකට අරන් දායක දායිකාවන් අතරේ නොමිලයේ බෙදල දීලා තියෙනවා. මේවා මුදල් හම්බ කරන්න කරන දේවල් නොවෙයි. ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන දේවල්. ඒ වගේම මේවට උදව් කරන ගායක ගායිකාවන් සංගීතඥයන් ඇතුළු හැම දෙනාටත් පින් දෙන්න ඕන.
සේයාරූ - නිශ්ශංක විජේරත්න