රංගනය කියන්නේ ජීවිතය ඉගෙනීම මම ඒ හැදෑරීමට කැමැතියි

රංගන ශිල්පී සුරාජ් මාපා
ජනවාරි 5, 2023

 

කලාකරුවෙකු වීමට සහජයෙන් ලද කුසලතාවයන්ට අමතරව සංවේදී හදවතක් ද තිබීම යුතුමය. ඔහු විවිධ කෞෂල්‍යයන්ගෙන් හෙබී කලාකරුවන් ඕනෑම රටක බිහිවනුයේ ඉතාම කලාතුරකිිනි. සරසවියෙන් අද සුහද පිළිසඳරකට එක් වුයේ තාරුණ්‍යයේ දක්ෂ කලාකරුවකි. වේදිකාවේදී ඔහු නර්තන ශිල්පියෙකි. රිදී තිරයේ ද පුංචි තිරයේ ද ඔහු කඩවසම් රංගන ශිල්පියෙකි. ඔහු නමින් ඔබ කවුරුන් හොඳින් හඳුනන ‘සුරාජ් මාපා’. රිදී රැයක් සංගීතමය වැඩසටහන් පුහුණුවීම් අතරතුර කාර්ය බහුලව සිටියත් සරසවිය සමඟ පිළිසඳරට එක් වුයේ සුපුරුදු ප්‍රියංකර සිනහවෙන් යුතුවය.

ඉතිං කොහොමද මේ දිනවල කලා කටයුතු?

මේ දවස්වල ‘නොනිමි’ ටෙලි නාට්‍යයේ වැඩකටයුතු එක්ක තමයි කාලය ගත වෙන්නේ. සංස්කරණ කටයුතු එක්ක ටිකක් කාර්යය බහුලයි. දැන් රීදි රැයක් එකට පුහුණුවීම් කරනවා.

මෑතක දී පැරිසියේ ‘මිස් ශ්‍රී ලාංකික රූප රැජින’ තරඟයට සහභාගී වුණා නේද?

ඔව්. මම විනිශ්ච මණ්ඩලයේ හිටියා. ඒ වැඩසටහන් අරමුණ වුණත් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය උපකරණ සහ පිළිකා රෝගින්ට අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගන්න ආධාර මුදල් එකතු කිරීම, පුණ්‍යමය වැඩසටහන්, ඒකට දායක වීමට ලැබීම ගැන මම අවංකවම සතුටු වෙනවා.

‘නොනිමි’ ටෙලි නාට්‍ය පේ‍්‍රක්ෂකයින්ට අලුත් ටෙලි නාට්‍යය අත්දැකීමක්. ඔබට ඒ ටෙලි නාට්‍යය ගැන මොනවගේ අදහසක් ද තියෙන්නේ?

ඒ නාට්‍යය හරහා අපි සාකච්ඡා කරන්නේ යුද්ධයේ අඳුරු සෙවනැලී නිසා රටට සමාජයට සිදුවුණ බලපෑම. ඒ අමානුෂිකත්වය ගැන. වර්තමානයේ නිර්මාණ තුළින් ත්‍රිවිධ හමුදාව රටට කළ සේවය ගැන කතා කරනවා අඩුයි. යුද්ධය නිසා රටට අහිමි වුණ හමුදා නිලධාරීන් සොල්දාදුවන් ගැන අද සමාජය අමතක කරලා දාලා තියෙන්නේ. ඉතිං ඇත්තටම ඔවුන්ට ඒ ගෞරවය දෙනවා අඩුයි. ඒක තමයි ප්‍රධානම හේතුව. එතකොට අපි ගුවන් හමුදා - නිලධාරීයාට හරහා අපි කථා කරන්නේ යුද්ධය නිසා ඇතිවුණු ගැටලු ගැන. දෙමළ - සිංහල ගැටුමක් රටේ නැහැ. ඒ වගේම අපිට එකට ජීවත් වෙන්න පුළුවන් කියන පණිවිඩය මේ නාට්‍ය හරහා සමාජයට රැගෙන යනවා. යුද්ධය ඉවරයි කිව්වාට සමහර තැන් වල යුද්ධය ඉවර වෙලා නැහැ මීට වඩා මිත්‍රත්වයක්. ගෞරවයත්, අවබෝධයක් ජාතීන් අතර මිනිස්සු අතර ඇති වුණොත් මේ රට මීට වඩා ලස්සන වෙයි. අපි කවුරුත් කැමති නැහැ. තවත් යුද්ධයකට ගිහින් ජීවිත නැති කරන්න. නැවත යුද්ධයක් ඇති නොවීමට මිිනිස්සු එකතු වෙලා එකා වගේ සිටිය යුතුයි කියන දේ තමයි ටෙලි නාට්‍යය හරහා අපි ගේන්න උත්සහ කරන්නේ.

රංගනය ද නර්තනයට ද ඔබ එක ලෙසින්ම දක්ෂයි. ‘සුරාජ් මාපා’ කියන චරිතය තුළ තවත් දක්ෂතා ඇති කියලා හිතන්නේ නැද්ද?

මම රංගනයත් නර්තයත් කරනවා. ඊට අමතරව ව්‍යපාර කටයුතුත් කරගෙනම යනවා. දන්නේ නැහැ මම තවත් දේකට දක්ෂ ද කියලා. මම තාම ඉගෙන ගන්නවා. මම දක්ෂයි කියලා කිසිම දෙයක් නවත්වලා නැහැ. මම තව තවත් ඉගෙන ගන්නවා. රංගන කටයුතු නර්තන කටයුතු එක විදිහටම කරගෙන යනවා. ඉස්සරහට වැඩ ගොඩක් කරන්න තියෙනවා.

නැවතත් නර්තන ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ද?

ඔව්. තියෙනවා. ඒකට කාලය වෙන් කරගන්න මේවා නිර්මාණ කරලා ඉවර වෙන්න ඕනි. ඊට පස්සේ අලුත් නර්තන ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ අවුරුදු 20 ක නර්තන අත්දැකීම් එක්ක එකතු වෙලා කරන ප්‍රසංගයක්. ඒ නිසා වෙනස් සහ අලුත් අත්දැකීමක් වෙයි පේ‍්‍රක්ෂකයාට ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙතෙක් ලැබුණ චරිතවලට අමතරව වෙනස්ම විදියේ චරිතයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ද?

ඔව්. මම ලැබෙන ඕනෑම චරිතයක් කරනවා. ඒ වගේම එකම නිර්මාණයක ද්විත්ව චරිතයක් (ච්ධභඡතඥ ඒජබඪදඨ) කරන්න ආසාවක් තියෙනවා. මානසික මට්ටම දෙකක චරිත දෙකක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ආසාවක්.

රංගනය ජීවිතයේ දී අකරතැබ්බයන්ට මුහුණ දුන් අත්දැකීම් ඕන තරම් ඇති. එකක් මතක් කරන්න පුළුවන් ද?

‘උත්තරා’ චිත්‍රපටය කරන කොට පානදුරේ එක පාලමකින් පනින්න තිබ්බා. රූගත කිරීම් කළේ රෑ ගඟත් හොඳටම සැරට ගලනවා. ඒත් පැන්නා මම ගඟට පැන්න මොහොතෙම මාව වතුර පාරට අහුවෙලා ගහගෙන ගියා. පස්සේ ලණු දාලා අල්ලා ගත්තා මාව කට්ටිය.එහෙම තමයි ගොඩට ආවේ. ඒ සිදුවීම අමතක වෙන්නේ නැහැ.

චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක චරිතයට ප්‍රවිෂ්ට වෙන්න පෙර සුදානම් වෙන්නේ කොහොමද?

මම අධ්‍යයනයක් කරනවා චරිත ගැන. පුළුවන් තරම් උත්සාහස කරන්නේ ඒ චරිතයට සාධාරණයක් කරන්න. අධ්‍යක්ෂවරයා ගෙන් විස්තර අහා ගන්නවා චරිතය ගැන. අධ්‍යක්ෂවරයා සමඟ සිදුවන සාකච්ඡාව ගොඩාක් වැදගත්. ඒ වගේම පිටපත හොඳට කියවලා එකේ වචනයට එහා ගිය යටි අර්ථය හඳුනාගන්න ඕනා. චරිතයට අදාළ සමාජ තත්තවයන් තියෙනවා. ඒවා අවබෝධ කර ගන්න ඕනා. පිටපත් රචකයා සමඟ සාකච්ඡා කරලා ඔහුගේ අදහස් ලබා ගන්න පුළුවන්. කාලය තියෙන තරමටම කරන්න පුළුවන් අධ්‍යාපනයත් ගැඹුරු වෙනවා.

ගොඩක් වෙලාවට අපි ‘මේකප් ටෙස්ට්’ එහෙකට යනවා. වේශ නිරූපණ ශිල්පීයා සමඟ එකතු වෙලා බාහිර ස්වරූපය වෙනස් කරලා අදාළ චරිතයට සාමාරෝපණය වෙනවා. ඒ මඟින් අදාළ චරිතයට පෙර සුදානමක් වෙන්න පුළුවන්. ඇත්තෙන්ම චරිතයට ආවේශ වෙනවා කියන්නේ ඒ චරිතයේ අතීතය, වර්තමානය මේ ඔක්කෝම හොඳින් අවබෝධ කරගෙන කළ යුතු දෙයක්.

පිටපතේ යම් යම් වෙනස් කම් කරන්න උත්සාහ කරනවා ද?

අපිට අදහසක් තිබ්බොත් අපි අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරනවා. අවසාන තීරණය ගන්නේ අධ්‍යක්ෂවරයා. සමහර වෙලාවට, අධ්‍යක්ෂවරයාට අපේ අදහස් අරගෙන චරිතයට තවත් දෙයක් එකතු කරනවා. නළුවා සහ අධ්‍යක්ෂවරයා අතර සුහදතාවයන් තමයි චරිතය එළියට එන්නේ. නළුවාගේ මනසේ බොහෝ වෙලාවට තියෙන්නේ එකට අදාළ චරිත විතරයි. ඒත් අධ්‍යක්ෂවරයාට අදාළ චරිත, චරිත වටා ගෙතුªණු සිදුවීම් මාලාවක්, කතාව ගලා යන ආකාරය, ගැටුම් අවස්ථාව මොනවගේ ද මේ හැමදේම එයාගේ මනසේ තියෙනවා. එතකොට සමහර වෙලාවට අපි දරන අදහස් නොගැළපෙන්නත් පුළුවන් වගේම ගැළපෙන්නත් පුළුවන්. අවසානයේ අධ්‍යක්ෂවරයා තමයි තීරණය කරන්නේ චරිතය ගැන. ඒත් කථාව චරිතයට අවශ්‍ය දේවල් දෙන්න පුළුවන්.

ඔබ ආදරය කරන ගරු කරන රංගන ශිල්පීන් කවුද?

මම හැම නළුවන්ට කැමති. මහේන්ද්‍ර පෙරේරාට මම ගොඩාක් කැමැතියි. එතුමාට චරිත ගැන ලොකු අධ්‍යයනයක් තියෙනවා. ඊට අමතරව මම අනෙක් රංගන ශිල්පීන් ගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හිටපු රංගන ශිල්පීන්ගෙන් මම ගාමිණී ෆොන්සේකාට විජය කුමාරතුංගට, ජෝ අබේවික්‍රමට ආදරේ ඒ වගේම මම ගොඩාක් ආදරය කරන නළුවෙක් තමයි ශේෂා පලිහක්කාර, මම හැම රංගන ශිල්පියාටම ආදරය කරනවා. ගරු කරනවා. අපිට එයලාගෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. මම ඒ දේවල් ඉගෙන ගෙන මගේ ගමන යනවා.

අපේ රටේ රංගන ක්ෂේත්‍රය තුළ ඔබ දකින දුර්වලතා මොනවාද?

නවක කලාකරුවන්ට තම හැකියාවන් පෙන්වන්න තියෙන අවස්ථා අඩුයි කියලා හිතෙනවා. නාට්‍යයක් කරලා ඒක පෙන්වාගන්න අවුරුදු 10ක් විතර බලන් ඉන්න වෙනවා. අද තරුණ පීරිස් යූ ටියුබ් හරහා අලුත් ගීත නිර්මාණ කරගෙන ඉදිරියට යනවා. යූ ටියුබ් (කධභ කභඡඥ) හොඳ වේදිකාවක්. ඒ දේම ටෙලි නාට්‍ය අංශයෙනුත් වෙන්න ඕනා

ලංකාවේ සිනමාව ගොඩගන්න ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ ගන්න තීරණ මොනවාද?

ලංකාවේ සිනමාව ගොඩගන්න මට තනතුරක්, අවස්ථාවක් ලැබුණොත් මම නවක අයට ඉදිරියට එන්න අවස්ථාවක් හදනවා. සිනමා පාඨමාලා, රංග ආයතන වැඩියෙන් බිහි කරනවා. මේ ක්ෂේත්‍රයට එන්න අදහසක් තියෙන නිෂ්පාදකවරු අතර විශ්වාසයක් ගොඩනඟනවාට. වෙනත් රටවල සිනමා පාඨමාලා අවසන් වුණහම ඒ නවක පිරිස් නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඕනා. එම නිර්මාණ ඇගැයීමට ක්‍රමවේදයක් මේ රටතුළ හදන්න ඕනා. නව නිර්මාණ හරහා ඇති කරන්න ඕනා. ජයග්‍රහණය කරන අයව අගයන්න ඕනා. සම්මාන ප්‍රදානය කරන්න ඕනා. එතකොට තමයි සිනමාව වටා පිරිස එකතු වෙන්නේ. නවක අධ්‍යක්ෂවරු රට තුළ ඉන්නවා. එයාලට අත දෙන්න ඕනා.

සමහර අවස්ථා වල නිෂ්පාදකවරු අතරමං වෙනවා. ඔවුන්ට නිර්මාණයක් කළ පසුව අදාළ මුදල ඔහුට ලබා ගත හැකි ක්‍රමයත්, නිසි පිළිවෙළක් තිබිය යුතුමයි. ඒකත් අපේ රටේ ක්‍රමවත් නැහැ. එතකොට අලුත් නිෂ්පාදකවරුන් මේ කලා ක්ෂේත්‍රයට එනවා. මං දකින විදිහට සිනමාව ගොඩනැඟුªවොත් රටක හැම අංශයටම ගොඩගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඉන්දියාව දියුණු වෙන්න ඒක හේතුවක් සිනමාවට අලුත් ඇදුම් විලාසිතා, රූපලාවණ්‍යය උපකරණ මේ හැමදේම එන්නේ සිනමාව හරහා සිනමාව තුළින් අනිත් කළංගයන් පවා දියුණු වෙනවා. ගායක ගායිකාවන් පවා මතු වෙන්නේ ඉන්දියාවේ සිනමාව හරහා.

ඒ වගේම වැදගත්ම දේ තමයි. අපේ රටේ කලාකරුවා ආරක්ෂා කරන ක්‍රමවේදයක් නැහැ. සමාජ මාධ්‍යය හරහා කලාකරුවන් පිළිබඳ අසත්‍යය තොරතුරු වපුරනවා. ඒවා නිගමනය කරන ක්‍රමවේදයක් නැහැ. ඉතිං මුහුණු පොත් පරිශිලනය කරන අය දැනගන්න ඕනා අපි අවමන් කරන්නේ අපේම රටේ කලාකරුවන්ට කියන එක. ඒක උඩබලාගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක්. සමාජ මාධ්‍යය තුළ කලාකරුවා ආරක්ෂා කරන ක්‍රමයක් තිබිය යුතුයි. මුහුණු පොත පරිශිලිනය කරන අය වුණත් තමන් හුවමාරු කරන පෝස්ට් වල අන්තර්ගතය ගැන සැලකිලිමත් වෙන්න ඕනා. තමන් තමන්ට වග කියන්න ඕනා.

මුල් වකවානුවේ දී ලැබුණ චරිත ආයෙම ලැබුණොත් කලින්ට වඩා හොදින් කරන්න පුළුවන් කියලා හිතෙනවා ද?

මගේ මුල්ම නාට්‍යය ‘මගේ සඳ ඔබ’ මම හිතනවා ඒ චරිතයෙම ආයෙත් කරන්න බැහැ කියලා. මොකද මම රංගන ක්ෂේත්‍රයට ආව මුල්ම කාලේ තිබුණ නැවුම් බව, ඒ අලුත් බව දැන් නැහැ.

ඔබ කැමතිම චිත්‍රපට අධ්‍යක්ෂවරු කවුද?

මම හැම අධ්‍යක්ෂවරයාගෙන්ම ඉගෙන ගන්නවා. මම වඩාත්ම කැමති ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට, පතිරාජ මහතාට ඒ වගේම වසන්ත ඔබේසේකර වැනි අධ්‍යක්ෂවරුන්ට මම කැමති.

ඔබ කැමතිම ගායකයා කවුද?

මම හැම ගායකයෙකුටම, හැම ගීතයකටම කැමති කෙනෙක්. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට කැමැත්තක්, ගෞරවයක් තියෙනවා. එතුමාගේ ගායනයට, එතුමාගේ දැනුමට මම ගරු කරනවා ආදරය කරනවා. එතුමා ලාංකික සංගීතය තුළ විශාල වෙනසක් කළ කෙනෙක්.

චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න අදහසක් තියෙනවාද?

චිත්‍රපට කලාව වෙනම විෂයක්. ඒක හොඳට හදාරන්න ඕනා. මම යන්නේ අඩියෙන් අඩිය යන ගමනක්. ඒ නිසා මට චිත්‍රපට අධ්‍යක්ෂණය ගැනත් හදාරලා පිවිසෙන්න පුුළුවන් වෙයි. ඒකට කාලයක් යයි.

අලුතෙන් නිර්මාණය වන චිත්‍රපට ටෙලි නාට්‍ය ගැන ඔබට හිතෙන්නේ කොහොමද?

හොඳ නිර්මාණ බිහි වෙනවා. හොඳ නිර්මාණ නැහැ කියලා කියන්න බැහැ. ඒත් කෙරෙන ප්‍රමාණය අඩුයි. හොඳ නිර්මාණ බිහිවන ප්‍රමාණය අඩුයි. කලාවේ අරමුණ ප්‍රේක්ෂකයා, රසිකයාව ආනන්දයෙන් ප්‍රඥාාව කරා රැගෙන යන එක, එතකොට කලාව ඔස්සේ රසිකයාට, රටේ මිනිසුන්ට අළුතෙන් හිතන්න යමක් දෙනවා. නව බුද්ධියක් ලබාදෙනවා. ඒ දේ කලාව තුළින් සිදුවිය යුතුයි.

ඉස්සර රූපවාහිනිය මඟින් හොඳ දේවල් සමාජයට ගෙනාවා. ඒවට අපි තවමත් ආදරය කරනවා. ඒ රැල්ල ආයෙත් ඇති කරන්න ඕනා. මම දරන මතයක් තමයි උසස් කලා කෘතිවලට පුළුවන් සමාජයත්, රටක් වෙනස් කරන්න. හොඳ නිර්මාණවලින් මිනිසුන් යහමඟට ගන්න පුළුවන්.

සමාජයට ඔබ දෙන පණිවිඩය මොකක්ද?

බුද්ධිමත්ව වැඩ කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. බුද්ධිමත්ව ජිවිතය දෙස බලන්න පටු දැක්මකින් නැතුව වගකීමෙන් සහ වගවීමෙන් ක්‍රියාකරන්න කියලා තමයි හැමෝගෙන්ම ඉල්ලන්නේ. මේ රටේ මේ තත්ත්වයට වැටෙන්න හේතුව ජනතාවගේ පටු බුද්ධිය පුළුල්ව නොහිතන එක ප්‍රධානතම දුර්වලකම, ප්‍රශ්න ඇති කරන්නේ. ඒවට මුහුණු දෙන්නෙත්, අන්තිමට ප්‍රශ්න වලින් පීඩනයට ලක් වෙන්නෙත් ජනතාව. මීට වඩා බුද්ධිමත්ව හිතලා රට ගැන හිතලා. තමන්ගේ දරුවෝ ගැන හිතලා තමන්ට දරුවෝ නැතිනම් අනුන්ගේ දරුවෝ ගැන හිතලා. මීට වඩා හොඳ තැනකට අපේ රට ගන්න පුළුවන්. ලංකාව ඉතාම සුන්දර රටක්, මේ රට දාලා යන එක විසදුමක් නොමෙයි. ස්වභාව ධර්මය ගත්තත් රටේ පිහිටීම ගත්තේ මේ රට අංක එක.

මිනිස්සු අනාගතය ගැන හිතලා තීරණ ගන්න ඕනා. විනයක් ඇතිව ජීවත් වෙන්න ඕනා. ආගම් වලට, ජාතීන්ට, මනුෂ්‍යත්වයට ගරු කරමින් බුද්ධිමත්ව ජීවත් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

 

[email protected]