නිළිය කියන වචනයට මං අකැමැතියි

රංගන ශිල්පිනී තිලක්ෂණී රත්නායක
ජනවාරි 5, 2023

ප්‍රේක්ෂකයා දැඩි සේ තමිලිනීට ආදරෙයි

රංගන ජීවිතයේ ආරම්භය ඔබ කොයි ආකාරයෙන් ද පටන් ගන්නේ?

2011 වසරේ නෙරංජන් චන්ද්‍රදිත්‍ය නිෂ්පාදනය කළ රියැලිටි කෙටි නාට්‍ය තුළින් මම හා පුරා කියා රංගනයට පාතැබුවා. ඒ දවස්වල තිබු නාට්‍ය උලෙළ කීපයක්ම එය නියෝජනය කළා. ප්‍රතිභා සම්මාන උලෙළ රාජ්‍ය නාට්‍ය උලෙළ රාජ්‍ය කෙටි නාට්‍ය උලෙළ මේ උලෙළවලදී මට ඇගැයීම් සම්මාන හිමිවුණා. ඒ සම්මානනීය ඇගැයුම මාව දිරිමත් කළා කලාව හැදැරීම සඳහා ඒ වෙනකොට මම පාසලෙන් ඉවත්වෙලා පරිගණක අධ්‍යාපනය හදාරමින් හිටියේ මගේ රංගනයට ඇගැයීම් ලැබෙනකොට මටත් ආශාවක් ඇතිවුණා රංගනය ගැන ඉගෙන ගත්තා. විනිශ්ච මණ්ඩලවල හිටිය කෞලශ්‍යා ප්‍රනාන්දු, ප්‍රසන්නජිත් අබේසුරිය මාව උනන්දු කළා. මේක තව ඉගෙන ගන්න ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන් කියල කෞශල්‍යා ප්‍රනාන්දු මට කිව්වා. සෝමලතා සුබසිංහ මහත්මියගේ රංග ආයතනයක් තියෙනවා ඒකට එකතු වෙලා මේ ගැන වැඩිදුර හැදෑරීමක් කරන්න කියලා. ඒ අනුව මම ඒ සඳහා ඇතුළත් වුණා. ඒ ගමන අදටත් මම එනවා. පාසල් වල පෙන්වන ළමා නාට්‍ය සඳහා සහභාගි වෙනවා. ඒ රංගායතනය නියෝජනය කරමින්.

මොනවගේ වේදිකා නිර්මාණ ගොන්නක් සමඟ ද ඔබ පේ‍්‍රක්ෂකයන් අතරට එක්වන්නේ?

සෝමලතා සුබසිංහ මහත්මියගේ සියලුම නාට්‍ය වල මම රඟපෑවා. හිමකුමරිය, රත්මලී, ගමරාළ දිව්‍ය ලෝකෙට, විකෘති, පුංචි අපට දැන් තේරෙයි, වලස් පවුල ආදී ගොඩක් නාට්‍ය වල මම රඟපෑවා. ඒ නාට්‍ය අදටත් අපි පවත්වාගෙන යනවා. ඒ අතරේ කෞශල්‍යා ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ මාස් නාට්‍යයේ රඟපෑවා. අපි කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ නාට්‍යය කළේ මේ නාට්‍ය බලන්න ඇවිත් හිිටියා. අශෝක හඳගම මහත්තයා මට කතා කළා. ඒ දවස්වල රූපගත කිරිම් කරමින් හිටිය ඔහුගේ ඇගේ ඇස අග චිත්‍රපටයේ දර්ශනයක් වෙනුවෙන්. එහි සහය අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ දමින්ද මඩවල මට කතා කළා. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයි. චිත්‍රපටයට ඇක්ටර් කෙනෙක් හොයනවා. කැමති නම් ප්‍රසන්න විතානගේ මහතා හමුවන්න කියලා. ඒ අනුව ඔවුන් මාව තෝරගත්තා. මම මුලින්ම චිත්‍රපටයක රඟපෑවේ ඇගේ ඇස අග. නමුත් මුලින්ම තිරගත වුණේ උසාවිය නිහඬයි චිත්‍රපටය.

උසාවිය නිහඬයි’ චිත්‍රපට නිර්මාණයත් සමඟ ඔබත් සිනමාවට විරාමයක් තියනවද?

නෑ. ඊට පස්සේ මම ලලිත් රත්නායකගේ විෂම භාග චිත්‍රපටයේ රඟපානවා. ඒක අන්තර්ජාතික මට්ටමේ ඇගයීම් පවා ලබනවා. සිනමා උලෙළ කීපයක්ම නියෝජනය කරමින්. මටත් ඒ අතරින් ඇගැයීම් කීපයක්ම ලැබෙනවා. ඊට පස්සේ මම එසේ දේශපි‍්‍රය ගේ දූස්රා චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. ඩිලංක රංගනාත්ගේ ඩිංගා චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මේ වෙනකොට දූස්රා, ඩිංගා චිත්‍රපට දෙක තිරගත වෙන්නත් තියෙනවා.

මාධ්‍ය ත්‍රිත්වය තුළින් ඔබ වඩාත් ආශාවක් දක්වන්නේ කවර මාධ්‍යයේ රංග ශිල්පිණියක් වෙන්න ද?

මේ අංශ තුන ඇතුළේ ඇක්ටර් කෙනෙක්ට තියන රැකියාව හරි සීරියස්. එකිනෙකාට සන්සන්දනය කිරීම අමාරු කාර්යක්. ඒ මාධ්‍ය තුන තුළ වැඩ කරන්න වෙන වෙහෙස විවිධයි. පුද්ගලිකව මම කැමතියි වේදිකාවේ නිරන්තරයෙන්ම වැඩකරන්න. වේදිකාව තුළ ඇක්ටර් කෙනෙක් විධියට පවත්වා ගත යුතු පුරුදු ටිකට මම කැමැතියි. කැමරාව තුළ වුණත් වැඩ කිරීම සඳහා වේදිකාවේ ලබන පුහුණුව හරි වැදගත් වෙනවා.

මේ දවස්වල ඔබ තමිලිනී. කොහොමද ඔබට මේ චරිතය ලැබෙන්නේ?

සුරාජ් මාපාගේ කතාවක් තමයි නොනිමි තුළ දිගහැරෙන්නේ. ඔහු තමයි මාව මේ සඳහා තෝරගත්තේ. මේ නාට්‍යයේ මං රඟපාන්න තොර ගන්න පෙර මම මේතරම් දීර්ඝ ටෙලි නාට්‍යයක රඟපාල තිබුණේ නෑ. මීට පෙර මම රඟපාල තිබුණු තණමල්විල කොල්ලෙක්. මාණික්කාවත, කුහුඹියෝ ටෙලි නාට්‍ය රූපගත කරල ඉවර වෙලා තමයි විකාශය වුණේ. කතාව දැනගෙන සම්පුර්ණයෙන් ඉවර කරපු ටෙලි නාට්‍ය තමයි විකාශය වුණේ. නමුත් නොනිමි ඊට හාත්පසින් වෙනස් මේ ටෙලි නාට්‍ය විකාශය වන අතරතුර රූපගත කිරීම් සිද්ධ වෙන නාට්‍යයක්. නමුත් මට චරිතය නිරූපණය කිරීමේදී ඒක ගැටලුවක් වුණේ නෑ. අපේ කණ්ඩායම තුළ විශ්වාස කළ හැකි පිරිසක් සිටීම නිසා, නිෂ්පාදනයෙන්, වේශ නිරූපණයෙන්, අධ්‍යක්ෂණයෙන් කැමරාකරණයෙන් මේ හැම අංශයෙන්ම අපිට තියන විශ්වාසය චරිතයේ කතාවේ ගුණාත්මකභාවය ආරක්ෂා කරන්න ලොකු ශක්තියක් වෙනවා.

චරිතය ගැන පිටපතේ ලියැවෙන කොට සුරාජ්මාපා ඔබව හිතේ මවාගෙන තිබිල තියනවද?

ඔහු සොයා සොයා ඉඳලා තියෙනවා. තමලිනී කෙනෙක් පෙනුම හුරුව හැකියාව ඒ හැම දෙයක් ගැනම තියන කෙනෙක් සොය සොයා ඉන්නකොට දසුන් පතිරණ තමයි මම ගැන ඔහුට කියල තියෙන්නේ. තිලක්ෂිණිට කතා කරන්න. ඔය වගේ හුරුවක් තියන අත්දැකීම් තියන කෙනෙක් එයා කියල ඊට පස්සේ සුරාජ් අයියා මගේ පින්තූරයක් බලල තියනවා. ෆේස්බුක් එකේ දෙමළ විධියට මම ඇදල ඉන්න. ඊට පස්සේ තමයි ඔහුට සහතික වෙලා තියෙන්නේ හොයපු තමිලිනී මම කියලා.

තමිලිනී ඔබේ ජීවන අත්දැකීමක් ද?

මගේ ජීවිත කාලය තුළ ජනවාර්ගික ගැටලුව මම යම් තාක්දුරට දැක්ක දෙයක් තේරුමක් නැති කාලේ දැක්ක වගේම තේරුමක් තියන කාලේ ඒක අවසානයක් දැක්කා. ඒ අත්දැකීම් එක්ක ඒ අර්බුදය ගැන මගේ ඔළුවේ යම් අදහසක් තිබුණා. මම කොළඹ කොටහේනේ ඉපදුණ දා ඉඳලා හැදුණ කෙනෙක්. මගේ වටපිටාවේ ඉන්නෙම දෙමළ, කතෝලික, හින්දු අය. ඒ දෙමළ ආභාසය මගේ පරිසරයේ තිබුණා. මම පොඩි කාලේ සෙල්ලම් කළේ දෙමළ යාළුවෝ එක්ක. මම චතුර ලෙස දෙමළ කතා කරන්න පුළුවන්. රටේ තිබුණ වාතාවරණය එක්ක මගේ යාළුවෝ කැනඩාව නෝර්වේ රටවලට ගියා. අපි අතර තිබු සම්බන්ධකම් දුරස් වුණත් අදටත් සමාජ මාධ්‍ය හරහා ඒ සබඳතා පවතිනවා. මට විශාල වශයෙන් දෙමළ යාළුවෝ පිරිසක් ඉන්නවා.

අදටත් ඔබට චතුර ලෙස ද්‍රවිඩ බස හැසිරවිය හැකිද?

බෑ. පිටපතක තියෙන දෙයක් මට පාඩම් කරල කියවන්න පුළුවන්. ඒත් ඒ දෙමළ භාෂාව කතා කරන පරිසරයක් තුළ ජීවත්වීම නිසා ඒ කතා කරන දේ තුළ තියෙන දෙමළ හුරුව මා තුළිනුත් දකින්න තියෙනවා. භාෂාව හැසිරවීම තුළ ඇත්තටම යම් සංවිධානයක හිටිය කාන්තාවකට අද සමාජයේ මෙහෙම රස්සාවක් කරල මෙහෙම ඉන්න පුළුවන් ද එහෙම ඉන්නවද කියන ප්‍රශ්නය අපට තියෙනවා. මම ආරාධනය කරනවා. පේ‍්‍රක්ෂකයාට ඔබට එහා පැත්තේ තමිලිනී ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ ළඟම ඔබේ නිවසට එහායින් ඉන්න පුළුවන් ඒකට සවිඥානික වෙන්න. දැනීම් හැඟීම් වලට අපිට ජාති භේද නෑ. අද වෙනකොට ප්‍රේක්ෂකයා දැඩි සේ තමිලිනීට ආදරෙයි. තමන්ට දැනෙන හැඟීම් තමිලිනීටත් දැනෙනවා. ඒ මනුෂ්‍යත්වයට තමයි මට ආරාධනා කරන්න තියෙන්නේ. මට ඒ චරිතය හරහා පේ‍්‍රක්ෂකයන්ට කියන්න තියෙන්නෙත් මේ මනුෂ්‍යත්වය ගැනයි.

ඔබේ වාග් විලාසය දමිළ නිර්මාණ වෙත ඔබ කැන්දාගෙන යන බවක් හැඟෙන්නේ නැද්ද?

මේ මෑත කාලයේ ලංකාවේ මඩකලපුව යාපනය වව්නියාව වාවාකච්චෙරිය ප්‍රදේශවල ඉන්න, දෙමළ සිනමාකරුවෝ එක්ක ඔවුන්ගේ කෙටි චිත්‍රපටවල වැඩකළා වගේම වෙබ් සීරියස් එකක් කළා. ඒ අයත් එක්ක වැඩ කිරීම තුළ ලැබූ පන්නරය වගේම ඒ කෙටි චිත්‍රපට වල රඟපෑම තුළ ලැබු අත්දැකීම් මට හේතු වුණා. තමිලිනී කියන චරිතය ගොඩනගන්න.අපට ටෙලි පිටපතට ලැබෙන කාලය තුළ කළ හැකි රංගනය අවමයි. ඒ අවම රංගනය උපරීමයෙන් කරන්න මගේ දමිළ යහළුවන්ගෙන් ගොඩක් උපදෙස් ගන්නවා. වොයිස් මැසේජ් පවා ඔවුන්ව යොමු කරල මගේ රංගනයට උපරීම දායකත්වයක් ලබාගන්න. ඒ තරමට මගේ වැරදි හදාගෙන තමයි මම තමිලිනීට ජීවය දෙන්නේ.

ඔබට හිතෙන්නේ නැද්ද නොනිමි පිටපත සම්පූර්ණයෙන් ලියවී තිබුණා නම් මීට වඩා හොඳින් තමිලිනීව ජීවත් කරන්න තිබුණා නේද කියලා?

ඒකට දෙපැත්තක් තියෙනවා. සම්පුර්ණයෙන් රචිත නිර්මාණයක ගමන පහසුයි. ඒකේ අවසානය අපි දන්නවා. ඒකට එකතු කළ යුතු දේ මොකක්ද කියල නමුත් මේ වගේ අලුතින් ලියැවෙන පිටපතක් ගත්තම නළුවටත් තියනවා චරිතය පිළිබඳ පොඩි අයිතිවාසිකමක් මට පුළුවන් තව ඒ චරිතය වැඩි දියුණු කරන්න තව තව දේවල් එකතු කරන්න. ඒක අධ්‍යක්ෂ, පිටපත් රචක, නළුවා විසින් අපි මුලින් දුටු චරිතය ඔළුවේ තියාගෙන ඒකට අපිට යමක් එකතු කරන්න පුළුවන්.

නාට්‍ය ජනපි‍්‍රය වෙන කොට චරිතෙ ජනපි‍්‍රය වෙනකොට මෙවැනි මොහොතක රචකයා දන්නේ නෑ නේද කතාවේ අවසානය. මේ ඛේදවාචකයට මේ වෙන කොටත් ගොඩක් නිර්මාණ ගොඳුරු වුණා නේද?

නිර්මාණකරුවන් විධියට අධ්‍යක්ෂ, පිටපත් රචකයා, කැමරා ශිල්පියා මේ හැම කෙනෙක්ම තමන් සිටිය යුතු තැන් පිළිබඳ දැඩි විශ්වාසයෙන් තමයි මේ සඳහා දායක වෙන්නේ. නිර්මාණයක ගුණාත්මකභාවය පේ‍්‍රක්ෂකයාට සම්පේ‍්‍රෂණය කළ යුතු දේ මොකක්ද කියන දර්ශනයක් මේ නිර්මාණ කරුවන්ට තිබිය යුතුයි. ඒ විශ්වාසය මට මේ අයත් එක්ක තියන නිසා මම මේ නිර්මාණයේ වැඩ කරනවා. නැත්තම් එහෙම නැති අයගේ නිර්මාණ මම භාර ගන්නේ නෑ.

හැම නිර්මාණකරුවෙකුගේම නිර්මාණ ඔබ භාර ගන්නවාද?

නැහැ. අදාළ පුද්ගලයාගේ දර්ශනය ඔහු නිර්මාණ කරන්න පෙලඹෙන්නේ ඇයි කියන දේ ගැන මම සැලකිලිමත් වීම මත තමයි මම නිර්මාණයක් සඳහා දායකවෙන්නේ.

නිළියක් කියන හැදින්වීමට ඔබ අකමැති කෙනෙක් බවට කතාවක් තියෙනවා නේද?

නිළිය කියන වචනයට මම ඇත්තටම කැමති නෑ. ඒක මේ ක්ෂේත්‍රය තුළ අවභාවිතා වෙලා තියෙන නිසා. මම කියන්නේම මම ඇක්ටර් කෙනෙක් කියලා. ඒ තරමටම ඔය නිළිය කියන වචනය අද අවභාවිත වෙලා තියෙනවා. මම කනබොන අදින පලදින හැටි පේ‍්‍රක්ෂකයට වැදගත් නෑ කියලයි මම හිතන්නේ. අද ඒ දේ හොයල බලන්න අන්තර්ජාලය තියෙනවා. මගේ කාර්යභාර්ය ඇක්ටර් කෙනෙක් කියන්නේ කවුද මොන වගේ කෙනෙක් ද කියලා මිනිස්සුන්ට පෙන්වා දෙන එක.

අද නිළියට අත්වෙලා තියන ඉරණම නිසා ද ඔබ ඔය ආකාරයට පවසන්නේ?

ඔය නාමකරණයේ තියන ප්‍රශ්නයේ දී නිළිය කිව්වහම ඒක ලිංග භේදයකට අයත් වෙනවා. නමුත් දොස්තර, ඉංජිනේරු කිව්වහම ඒ අදාල වචනයෙන් කතා කරනවා. ‘ඒක ප්‍රගුණ කළ යුතු ශිල්පියක් ඒ වගේම තමයි රංගනය ඒකත් ප්‍රගුණ කළ යුතු ශිල්පිනියක්. ඒක නිසා මම ඇක්ටර් කෙනෙක් ලෙස හඳුන්වනවාට තමයි කැමති.

නිළියක් දෙස මේ රටේ බලන කෝණය තුළ ඔබට මෙවැනි රංගනයක නියැලෙන්න. දෙමාපියන්ගේ ආශිර්වාදය හිමි වුණා ද?

නෑ. මම මුලින්ම ගියේ වේදිකා නිර්මාණවලට ඒ නාට්‍ය පටන් ගත්තේම රෑ බෝ වෙලා. හයට ගෙදර ඉන්න කියන ගෙදරක හය හමාරට නාට්‍යයක් පටන් ගන්න කොට කවර කතාද. මුල් අදියරයේ ඔය ප්‍රශ්නය තිබුණා. මම දෙමාපියන්ට පැහැදිලි කළා. මම කරන දේ මේකයි මම පුහුණු වන දේවල් ඇවිත් බලන්න. නාට්‍යවල දර්ශන ඇවිත් නරඹන්න කියලා මුල් කාලයේ ආව ඒ අයටම තේරුණා මෙහෙම දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ කියලා. ඒ අනුව ඇතිවන සම්බන්ධතා මත සමාජයේ තියන මතිමතාන්තර වලින් එහාට ගොස් වැඩ කරන පිරිසක් ඉන්නවා කියන දේ මේ අයට වැටහුණු නිසා. මගේ ගමනට ලොකු ශක්තියක් වුණා. සෝමලතා සුබසිංහ, කෞශල්‍යා ප්‍රනාන්දු, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ දමින්ද මඩවල වගේ පිරිසක් මා වටා සිටීම දෙමාපියන්ට වුණත් කරුණු අවබෝධ කරලන්න මට ලොකු ශක්තියක් වුණා. ඔයා කරන දේ ඔයාට විශ්වාස නම් ඔයා කරන්න. එතැනින් එයාට අපි බලපෑම් කරන්නෑ කියලා. මගේ දෙමව්පියොත් මට අවසානයේ කියා සිටියා.

එකිනෙකට වෙනස් චරිත නිරූපණය තුළ මේ සඳහා වස්තු බීජ ඔබ සොයාගන්නේ කොහොමද?

කාරණා තුනක් මත. එකත් මගේ ජීවන අත්දැකීම් දවසින් දවස මුහුකුරායාමත් සමඟ අපි කළ යුත්තේ අවට පරිසරයට සවිඥාන වීම, අනික මම හදාරනව පුහුණු වෙනවා. සමාජයෙන් මම උකහ ගන්නා දේවල් යොදාගන්න විධිය. ඒ හැම දෙයක්ම එකතුවෙලා තමයි අදාල චරිතයට අවශ්‍ය වපසරිය ගොඩනගන්නේ.

ඔබ මෙතරම් රංගනයට ඇලුම් කරන හේතුව?

ඒක මගේ ඇග ඇතුළෙන් එන දෙයක්. ජීවිතයේ එක්තරා අවස්ථාවක. මට හිතෙනවා මම ආශා මේ දේට මම ඒක සොයා යා යුතුයි කියලා. ඒ සොයා යාම තුළ මට කවුරුවත් බාධා කළේ නෑ. මට රංගනය කියන විෂය හමුවුණේ සාහිත්‍ය හරහා කියලයි මට හැඟෙන්නේ. මගේ රසවින්දනය කියන කොටස මඟහැරිල තියනවා. මේ දේ මගේ කොහේ හරි තැනක වැඩකරමින් තිබුණා. හැබැයි මට ඒ දේ තේරුම් ගන්න පුළුවන් වුණේ සාහිත්‍ය කියන විෂය ඇතුළේ. ඒ විෂය හරහා මම පොත පත කියවන විට මට අවබෝධ වුණා. ඒ තුළ රංගනය කියල විෂයක් තියෙනවා. එහෙම තමයි මම රංගනය හමුවුණේ. හැමෝම ගොඩක් මහන්සි වෙනවා මේ ක්ෂේත්‍රයේ ඉඩක් හදාගන්න. ඒත් මම අහම්බබෙන් ගිහින් ඒ දේ හදාගත්තා.

වේදිකාවෙන් පටන් ගත් නිසා ඔබේ ගමන මෙතරම් සාර්ථක වුණා කියල ද ඔබ හිතන්නේ?

ඔව්. වේදිකාවේ තියන පුහුණුව හා කණ්ඩායම් හැඟීම වේදිකාවේ පුහුණුව තුළ මම කණ්ඩායමක් තුළ කොහොමද කොටසක් වන්නේ කියල නිර්මාණය තුළ කොටසක් වන්නේ කොහොමද කියල. මගේ දැනුම කොහොමද යොදවන්නේ කියලා. මේ පාඩම් ටික මුල් අවධියේ මට ලැබුණු නිසා. මට පුළුවන් වුණා යම් කිසි පුහුණුවක් ඇතුව ප්‍රවීණයන්ගේ අදහස් අහල මගේ දේත් එකතු කරල මේ ගමන යන්න. මට ඉඩ පහසුව තිබුණා. වේදිකාවේ ලැබුණු ඒ පුහුණුව තුළ මම සැමදාටම යාවත්කාලීන වුණා.

නොනිමි හැරෙන්න. මීට කලින් ඔබ වඩාත් ජනපි‍්‍රය වූ ටෙලි නිර්මාණ මොනවද?

අතිශයින් ජනපි‍්‍රය වුණේ තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ සුලෝගේ චරිතය. කූඹියෝ ටෙලි නාට්‍යයේ උළුගෙදර සෙව්වන්දි. මාණික්කාවත ටෙලි නාට්‍යයේ සුගුණහාමි. ඉදිරියේ දී විකාශය වෙන්න තියන ආරියරත්න ඇතුගලගේ සිසිවන උවන ටෙලි නාට්‍යයේත් මම කැපී පෙනෙන චරිතයක් කළා.

මේ දවස් වල වේදිකාවේ නිර්මාණදායකත්වය කොහොමද?

විකෘති නාට්‍යයේ පාසල් දර්ශන සඳහා සහභාගිවෙනවා. ලබන මාසයේ පැවැත්වෙන රාජිත දිසානායකගේ නාට්‍ය උලෙළේ දී සිහින හොරු අරන් නාට්‍ය සඳහා රංගනයෙන් එක් වෙනවා.

තිලක්ෂිණී නිර්මාණකරුවන් පසුපස නිර්මාණ සොයායන්නියක් ද?

කතා කරල කිසිම නිර්මාණයක් මම අරන් නෑ. මම නිර්මාණායක වැඩ කරන විධිය දකින කෙනෙක් ඔවුනගේ නිර්මාණ සඳහා මාව ගන්න එක තමයි මෙතෙක් සිද්ධ වුණේ. මට ගොඩක් අය කතා කරන්නෑ. කතා කරන්න අය සීමිතයි. ඒ නිසා තෝරාබේරා ගැනීමත් මට ගැටලු සහගත නෑ. මම අකැමැති නිර්මාණ තිබුණොත් මම ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරපු කෙටි චිත්‍රපට ටෙලි නිර්මාණ තියනවා මටත් නිර්මාණ බොහොමයක් එකවර කරන්න බෑ. මට උපරීම නිර්මාණ දෙකක් වෙනුවෙන් ශ්‍රමය යොදන්න පුළුවන්. එකපාර චරිත දෙකක් උපරීමව කරන්න හැකියි. ඒ නිසාම මට කතා කරන පිරිසක් සීමිතයි.

ඔබ හැම නිර්මාණයක්ම භාර ගත්තේ අධ්‍යයන කාර්යක් විධියට ද?

ඔව්. රඟපෑ ගොඩ වැඩි කරගන්න මට වුවමනාවක් නෑ. ලංකාව තුළ සිනමා පාසල් රංග පාසල් ප්‍රමිති තත්ත්වයෙන් නැති නිසා මම හැම නිර්මාණයකම වැඩ කරන්නේ මුල ඉඳල මම මොන සම්මානේ ගත්තත් පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබුවත් අලුත් නිර්මාණයකට ගියාහම බිංදුවේ ඉඳලා වැඩ කරනවා. ඒක මගේ පුහුණුවේ කොටසක්. ඒකේ පරමාර්ථය මාව දවසින් දවස ඇක්ටර් කෙනෙක් ලෙස වැඩිදියුණු කිරීම, ඒ පරමාර්ථයෙන් ගත්තොත් මට නිර්මාණ දහයක් පහළොවක් එක පාර කරන්න අමාරුයි.

තාම තිලක්ෂිණී ඉගෙන ගන්නවා?

මම බලාපොරොත්තු වන තත්ත්වයක් තියනවා අපි විශ්වාස කරනවා අපි දකින අනෙකුත් නිර්මාණ වල තියන තත්ත්වයට පත්වෙන්න. මට ලැබෙන හැම නිර්මාණයක් තුළම මගේ අරමුණ හැම වෙලාවේම උසස් නිර්මාණයක් ඉදිරිපත් කරන්න. ඒ නිසා මම රඟපෑවත් තවම ඉගෙන ගන්නවා.

ඇක්ටර් කෙනෙක් හැටියට ඔබේ ඉලක්කය?

ඊළඟ පරම්පරාවට මේක දායාද කරන්න. මගේ ජීවිතයේ මම පරෙස්සම් කරගෙන තියනවා. අනෙක් නිර්මාණ වල ඇක්ටර්ස්ල කරපු දේවල් බලල ඒ ඇක්ටර්ල ගෙන් මම උත්ප්‍රේරණය ලබල තියනවා. මටත් ඕනේ මට වගේම තවත් පරම්පරාවක් ඇතිවෙනවා දකින්න. ඒ අය මෙයින් උත්පේ‍්‍රරණයක් ලබනවා දකින්න. අන්න ඒ පරම්පරාවේ පුරෝගාමීයෙක් වෙන්න තමයි මම වැඩ කරන්නේ. මිනිස්සුන්ගේ ඇගේ හැඟීමක් ඇති කරන්න. මට උදවු වෙන්න පුළුවන් නම් මගේ රංග කාර්ය සාර්ථකයි ගොඩක් දුරට.

ඔබ ගුරු කොට තකන නළුවෙක් හෝ නිළියක් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවාද?

නෑ. මම හැම පුද්ගලයාගෙන්ම හොඳ හෝ නරක ඉගෙන ගන්නවා. ඒ හමුවන කෙනාගෙන් මට ඕන දේ මම ගන්නවා. එපා දේ අයින් කරනවා.

මේ දවස්වල නොනිමි සඳහා කොයි වගේ ප්‍රතිචාරයක් ද ඔබට තියෙන්නේ?

දැනටත් බණ්ඩාරවෙල අවට මෙහි රූපගත කිරීම් තවදුරටත් සිදුකරනවා. මම විවිධ කටයුතු සඳහා ගියහම හුඟාක් අය හම්බ වෙනවා. නොනිමි පේ‍්‍රක්ෂකයෝ මඟ දි හඳුනාගෙන පින්තූරයක් ගමු කියලා යෝජනා කරන අයත් ඉන්නවා.

තමිලිනීට ජීවය දෙන තිලක්ෂිණී තමිලිනීව දකින්නේ කොහොමද?

ඇය ශක්තිමත් ගැහැනියක්. මානසික වශයෙන් ශක්තිමත් ගැහැනියක්. ඕනෙම වෙලාවක එයා විශ්වාසකරන දර්ශනය වෙනුවෙන් පෙනී සිටිනවා. තමිලිනීව අපි සැබෑ ජීවිතයේදී දකින්න කැමති දෙමළ මනුස්සයෙක් යුද්ධයකින් පසු අපි උදා කරල දෙන්න ඕනෙ. පරිසරය දෙමළ තැනැත්තියක් වූ ඇයට ඒ දේ ලැබුණා ද නැද්ද අපිට ඒ දේ කරන්න හැකි වුණා දකින ප්‍රශ්නය තියනවා. හැබැයි එහෙම වුණානම් අපේ එහා පැත්තේ ඉන්නේ. ඒ තමිලිනී. ඒක තමයි මට තමිලිනී හරහා කියන්න ඕනෙ වුණ දෙය. යම්කිසි කාලයක අවි අත දැරූ කෙනෙක්. දැන් මේ වෙනකොට එයාගේ ආධ්‍යාත්මික ශක්තියෙන් ජීවිතයට මුහුණ දෙනවා. එයාට ඒ සටන ගෙනියන්න අවි අතේ නෑ. එයා ඒක කරන්නේ මනුෂ්‍යත්වයෙන් එහෙම විරුවෝ හැම ජාතියකම ඉන්නවා. තමිලිනීගේ මනුෂ්‍යත්වය අපි වැඩ කරන තැන අපේ අසල්වාසීව ඉන්න පුළුවන් ඒකෙනාව මනුෂ්‍යත්වය තුළින් දකින්න තේරුම් ගන්න හැකි වීම නිසා දැනටමත් පේ‍්‍රක්ෂකයා තමිලිනීට සංවේදී වී හමාරයි. ඒක තමයි මම ලැබු ජයග්‍රහණය ක්ෂේත්‍රයේ ඉන්න අයගෙනුත් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණා. මට ඕනේ ක්ෂේත්‍රයෙන් බාහිරව ඉන්න අයගෙන් ලැබෙන ප්‍රතිචාරය ඒක මගේ ඉදිරි කටයුතුවලට වඩාත් වැදගත්.

ඉදිරියේදී තිරගත වීමට ඇති දුස්රා චිත්‍රපටය ඔබව සුවිශේෂයි නේද?

චන්න දේශප්‍රියගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ දූස්රා මගේ පළමු ප්‍රධාන චිත්‍රපට රංගනය. මම ගොඩක් කැපකිරීම් කරල රඟපෑ චිත්‍රපටයක්. කාලය ශ්‍රමය දරල මහන්සි වී කරපු නිර්මාණයක්. මගේ සිනමා ජීවිතයේ වෘත්තාන්ත චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන පළමු නිර්මාණය මේක. ලක්ෂාන් අබේනායක, සජිත ඇන්තනී මෙහි මාත් එක්ක රඟපානවා. මම මෙතෙක් ඉගෙන ගත්ත සෑම දෙයක්ම මෙහි රංගනය සඳහා මට භාවිතා කරන්න හැකියාව ලැබුණා. මගේ සිනමා චාරිකාවේ බලාපොරොත්තු සහගත නිර්මාණයක් තමයි දූස්රා. සිනමාව සදාතනිකයි. කියන තැන මම ඉන්නවා.

 

 

සේයාරූ - වාසිත පටබැදිගේ

[email protected]