ගැහැනියකට ජයගත නොහැකි අභියෝගයක් නැහැ

සිරස වැඩසටහන් නිෂ්පාදිකා කාංචනි පල්ලේපිටිය
දෙසැම්බර් 29, 2022

 

වර්ෂ 2012 මැගේ ජීවන ගමන් මගේ විශේෂ සටහනක් තබන්නට මංපෙත් විවර විය. ඒ සිරස මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධ වීමට අවකාශ ලැබීමත් සමඟයි. අන්තර් ජාතික වැඩසටහනක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙමින්, එය නව මුහුණුවරකින් ප්‍රේක්ෂකයාට ග්‍රහණය කර ගැනීමට සිරස ‘ලක්ෂපති’ වැඩසටහන සමත් විය. එහි නිෂ්පාදිකාවක ලෙස කටයුතු කිරීමට හැකි වීම ද ඈ ලද භාග්‍යයකි. සිරස ‘ලක්ෂපති’ වැඩසටහන ඔස්සේ විශේෂ ස්ථාන රැසක ඇයගේ හැකියාව පෙන්නුම් කෙරිණි. ඈ සිරස ‘ලක්ෂපති’ වැඩසටහනෙන් ඔබ්බට ගොස් විවිධ වැඩසටහන්වලට ඇගේ දායකත්වය ලබා දුන්නාය. නිවේදිකාවක්, නිෂ්පාදිකාවක්, රේඛීය නිෂ්පාදිකාවක් හා වැඩසටහන් අධ්‍යක්ෂවරියක් යන භූමිකා රැසක් තුළින් විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නමක් රැඳවීමට ඉතා කෙටි කාලයක් තුළ ඈයට හැකි විය. මේ, ප්‍රේක්ෂක අවධානය වඩාත් ග්‍රහණයට ගත් කවුරුත් හඳුනන ‘සිරස ලක්ෂපති’ වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කළ කාංචනි පල්ලේපිටියයි.

ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට ආගමනය වෙන්නේ කොහොමද?

2012 වර්ෂයේ සැප්තැම්බර් මස එක් දිනෙක තමයි මම සිරස ආයතනයට එකතු වෙන්නේ. ඒ ආ ගමන හරිම සුන්දර ගමනක්. මුලින්ම චන්දන සූරියබණ්ඩාර සර්ගේ ලක්ෂපති වැඩසටහන නිෂ්පාදන කණ්ඩායමත් එක්ක එකතු වුණා. මේ වැඩ සටහනේ තිබුණු හැම දෙයක්ම මම ඉගෙන ගත්තා. ඒ තුළින් මම ලොකු අත්දැකීමක් ලැබුවා. වැඩසටහනක් කොහොමද කරන්නේ කියන එක න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම මේ තුළින් මට ලැබුණා. 2015 විතර වෙනකම් මම එක දිගටම වැඩ කරනවා. සහාය නිෂ්පාදිකාව ලෙස ලක්ෂපති වැඩකරන ගමන් වෙනත් විවිධ වැඩසටහන්වලත් සම්බන්ධ වුණා. 2018 වර්ෂයේ Voice Teen  එකේ පටන් ගැන්මත් සමග වගකීම් සම්භාරයක් රේඛීය නිෂ්පාදිකාව Line producer)  හැටියට මම වැඩ කරන්න පටන් ගන්නවා. මේ කරන අතරතුරේ මට අටවන අදියරේ දිගටම ලක්ෂපති එකේ නිෂ්පාදිකාව හැටියට කටයුතු කරන්නට අවස්ථාව හිමිවෙනවා. ලක්ෂපති වැඩසටහන අවසන් කරන තෙක් එහි නිෂ්පාදිකාව හැටියට කටයුතු කරනවා. මේ විදියට ආපු ගමනින් තමයි අලුත් වැඩසටහනට මට අවතීර්ණ වෙන්නට අවස්ථාව ලැබුණේ.

අලුතින් ආරම්භ කරපු ඒ වැඩසටහන ගැන කියන්න කැමතිද?

ලක්ෂපති වැඩසටහනෙන් පස්සේ අපි අන්තර් ජාතික වැඩසටහනක් හැටියට “මනි ඩ්‍රොප්” වැඩසටහන තමයි ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. මීට පෙර අවසන් කළ ලක්ෂපති වැඩසටහන සහ අලුතින් පටන් ගත්ත "මනි ඩෙුාප්" වැඩසටහනත් චන්දන සූරියබණ්ඩාර යන්ගේ අධීක්ෂණය යටතේ තමයි සිදු වෙන්නේ. ලොකු වගකීමක් එක්ක මේ වැඩසටහන මට හම්බ වෙන්නේ පැංචයිස් වැඩසටහනක් හැටියටයි. රේඛීය නිෂ්පාදිකාවක්, නිෂ්පාදිකාවක් හැටියට එනකොටත් සෑහෙන වගකීමක් දරන්න සිදු වෙනවා. සිදුවන හැම කාර්යයක්ම මනසේ තියාගෙන වැඩ කරන්න ඕනෑ. එක තැනකින් වත් අතපසුවීමක් වෙන්න බැහැ. එහෙම අතපසු වීමක් වුණොත් මේ වගේ වැඩසටහනකට ලැබෙන ප්‍රතිචාර අඩු වෙනවා. ශක්‍යතා වාර්තාවට අන්තර්ජාතික වශයෙන් අපිට ගැටලු මතුවෙන්න පුළුවන්. පැංචයිස් වැඩසටහනක් මිලදී ගන්නා විට ගිවිසුම්ගත වන ආකාරයට අන්තර්ජාතික වශයෙන් සියලුම දේවල් තිබිය යුතුයි. එවැනි වැඩසටහනක් කරනවා කියන්නේ හරිම අමාරු දෙයක්. ඒත්, මගේ ටීම් එක සහ මගේ ගුරුවරයාගේ අනුදැනුම නිසා මම ඒ ගමන ඇදගෙන යනවා කිසිදු ප්‍රශ්නයකට මුහුණ නොදී.

 

“Money Drop” වැඩසටහනට වැඩිය ඔබ ප්‍රිය කරන්නේ ලක්ෂපති වැඩසටහනට නේද?

මම ඒ වැඩසටහනට කොහොමත් ආදරෙයි. මගේ පළමු වැඩසටහන නිසා. ඒ වගේම මම නිෂ්පාදිකාවක් ලෙස පය තබන්නේ ලක්ෂපති වැඩසටහන නිසයි. මේ වැඩසටහන වෙනස්ම ආරකට ගෙන යන්නට මට හැකි වෙනවා. වෙනස්ම කළ වැඩසටහනක් නිසා කා අතරත් ජනප්‍රියත්වයට පත්වෙනවා. ඒ අන්තර්ජාතික වශයෙන්. ඒ වගේම පිටපිටම හොඳම වැඩසටහන ලෙසට මට 2019 /2020 වර්ෂයන් සඳහා සම්මාන ලැබෙනවා. මේ වැඩසටහන නිෂ්පාදන කටයුතුවලට දායක වූ සියලුම දෙනා වයස අවුරුදු 30ට අඩු තරුණ පිරිසක්.

පුරුෂාධිපත්‍යය බිඳ දමන්නට ද මේ සැරසුණේ ?

 

මම කවදාවත් පුරුෂාධිපත්‍යය බිඳ දමන්නට නෙමෙයි වැඩ කටයුතු කළේ. ඕනෑම ක්ෂේත්‍රයක ගැහැනියකටත් වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නපු එක විතරයි මම කළේ.

ගැහැනියක් හැටියට මට ලොකු වගකීමක් ආවා මේ වැඩසටහන කරගෙන යන අතරතුරදි. මේ ක්ෂේත්‍රය තුළ බොහෝම අඩු පිරිසක් තමයි නිෂ්පාදිකාවන් සහ අධ්‍යක්ෂවරු ගැහැනුන් ඉන්නේ. ඒ ගොන්නට වැටීම ගැනත් මම අදටත් සතුටු වෙනවා. මම හැමවෙලේම හිතන දෙයක් තමයි ගැහැනු පිරිමි කියලා වෙනසක් තියෙනවා කියලා හිතන්න හොඳ නෑ කියන එකයි. එසේ නොසිතුවොත් ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම කෙනෙකුට ඉදිරියට යෑමට හැකියාව තියෙනවා.

 

ඔබේ වෘත්තිය ක්ෂේත්‍රයේ ගැහැනියකගේ අණකට වැඩ කරන්න පිරිමින් සූදානම්ද ?

එහෙම ප්‍රශ්න තියෙනවා කියලා කියන්නත් බැහැ. නෑ කියලා කියන්නත් බෑ. නමුත්, ගැහැනියකට පුළුවන් ඒ හැම දෙයක්ම කළමනාකරණය කරන්න. පුරුෂාධිපත්‍යය තියෙනවා කියලා හිතන්නේ ඔවුන් යම් කටයුත්තක හෝ ස්ථානයක ආයතනයක මූලික පුටුවේ හිඳ ගත්තොත් පමණයි. ඒත්, ගෙදරකදී හැමවෙලේම අම්මා නැත්තම් ස්ත්‍රිය තමුන්ගේ බිරිඳ නේද ඒ හැම දේකටම මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ. එතැනදි පුරුෂාධිපත්‍ය මතු වෙනවාද?මෙන්න මෙවැනි සරල උදාහරණ ඉදිරිපත් කරලා පෙන්වන්න පුළුවන්. මට අභියෝගයක් මතු වුණා. හැබැයි මට ප්‍රශ්නයක් මතු වුණේ නෑ මේ කිසිම අවස්ථාවක වැඩසටහන් කරන විටදීවත්. මම කිසිවිටෙකදී තළාපෙළා වැඩ කරන්න පුරුදු වෙලත් නෑ. මම වැඩ කරන පිළිවෙතක් තියෙනවා. ඒ ක්‍රමානුකූල විදිහට තමයි වැඩ කරන්නේ. ඒ ක්‍රමයට ඔවුන් සියලු දෙනාම අපිත් එක්ක එකට එකතු වෙලා වැඩ කරනවා. මේ අපේ දෙයක් කියන ආකල්පය සිත් තුළ රඳා පවතිනවා. මම හැමවෙලේම විශ්වාස කරන්නේ පිරිමියෙකුට වැඩිය නායකත්වයක් ගැහැනියකුට දීමට හැකි යි කියන සංකල්පය පමණයි. මගේ ගමන් මගේ සාර්ථකත්වය නිසා සම්මාන සෑහෙන ප්‍රමාණයක් ලැබුණා.

 

ඔබේ මේ සාර්ථක ගමන් මඟේ පිටුපස සිටින්නේ කවුරුන්ද?

මේ ගමන් මගේ පිටුපස සිටින පුද්ගලයන් අරයා මෙයා කියලා කියනවාට වැඩිය මම ඇත්තටම කෙළින් කියන්න කැමතියි. ඔහු යෝධ ශක්තියක්. ඔහු මේ ගමන් මඟ අපිට දෙන්නෙ හරි අමාරු වගකීම්. හැම මොහොතකම හැම තත්පරයකම හිතන්නේ තරුණ පිරිස් තමයි ඉදිරියට එන්න ඕන කියන එකයි. එහෙම මේ ක්ෂේත්‍රය තුළ සිටින පිරිස් හරි අඩුයි. මට දුන්නු අභියෝගය හරි අමාරුයි. දරාගන්න අමාරු සමහරක් දවසට අඬපු වාර අනන්තයි. ඒත්, ඒ අභියෝගය කොහොමහරි ජයගෙන මම ඒ ගමන එන්න දැඟලුවා. එහෙම වැඩ කරන්න බැහැ කියලා ගිය කාලෙකුත් තිබුණා. ඒ ශක්තියට සාපේක්ෂව මම සමානයි කියලා කවදාවත් හිතන්නේ නැහැ. එකම දේ තමයි හිතන්නේ පුළුවන් අයුරින් ඒ දේ ඉෂ්ට කළා කියන එක පමණයි. මාව විශ්වාස කරලා ඒ දුන්න අභියෝග භාර ගත්ත නිසයි, අද නිෂ්පාදිකාවක් හැටියට, අධ්‍යක්ෂකවරියක් හැටියට මෙතැනට එන්නට ලැබිලා තියෙන්නේ. මේ හැම කර්තව්‍යයක් පිටුපස සිටින්නේ චන්දන සූරියබණ්ඩාර නැමැති මහා වෘක්ෂයයි. ඊට අමතරව මගේ පවුලේ හිතවතුන් වගේම යාළු මිත්‍රාදීන්නුත් උදව් කළා.

ඔබට අලුතෙන් පැවරූ වගකීම “Money Drop”  කොහොමද?

අන්තර්ජාතික සන්නාමයක් යටතේ කරන වැඩකට අවස්ථාව දීම ගැන ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා. ඒත්, පළමුවරට කළ ලක්ෂපති ඇතුළෙ තිබුණු ගති ලක්ෂණ මෙතැන දකින්නට අමාරුයි. ඒ තුළ සතුට, විනෝදය, දැනුම, ගවේෂණාත්මක දේවල්, සියලුම දේවල් අන්තර්ගත වෙලා තමයි ඒ වැඩසටහන අන්තර්ජාතික වශයෙන් මුදා හැරියේ. ඒ වගේ වැඩසටහනක් තවත් නිර්මාණය කරලා නැති තරම්. ලක්ෂපතියට ඉදිරිපත්වෙන එක්කෙනෙක් තෝරාගන්න කොට ගොඩක් දේවල් හිතන්න තියෙනවා. ථධදඥර ඤපධන කියන්නේ ඊට හාත්පසින්ම වෙනත් වැඩසටහනක්. මම හැම වෙලේම බලන්නේ ලක්ෂපතියට ඉදිරිපත් වුණ පිරිස් නෙමෙයි ථධදඥර ඤපධන එකට ගෙන්න ගන්න දඟලන්නේ. ලක්ෂපතිය ට ආපු පිරිස වුණේ දැනුම බෙදා ගන්න, ජීවිතේ බෙදාගන්න ආපු පිරිස් පමණයි. ඒත්, ථධදඥර ඤපධන එකට එන්නේ ජීවිතේ විඳීන්න එන පිරිස් පමණයි. ඒ එන සියලු දෙනාගේම සතුට සඳහා පවතින්නේ මුදල් රැගෙන යාම පමණයි. ප්‍රේක්ෂකයන්ට විනෝදාස්වාදය දෙන්න පුළුවන් පිරිසක් තමයි මම හැමවෙලේම ගේන්න දඟලන්නේ. ක්‍රමවේදයන් ගණනාවකට යටත් වෙලා තමයි ඔවුන් තෝරාගෙන එයට ඉදිරිපත් වෙන්නේ. මේක අන්තර්ජාතික වශයෙන් තියෙන වැඩසටහනක් නිසා එයට අනුගත වෙන්නට සිදු වෙනවා.

 

වැඩසටහනක් නිෂ්පාදනය කරද්දී මතුවෙන ගැටලුවලට බයද ?

වැඩසටහනක් නිෂ්පාදනය කරද්දී වූවද අධ්‍යක්ෂණය කරද්දී ද මතුවෙන ගැටලු නිසා තමයි වැඩසටහන සාර්ථකම කරගන්න පුළුවන් වෙන්නේ. මම කිසිම මොහොතක ප්‍රශ්නවලට බය නැහැ. මගේ ජීවිතයේ මට ලැබුණු ප්‍රශ්න සහ අභියෝග තමයි මට ලැබුණු ලොකුම අභියෝගය ජීවිතය ජයගන්න. ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම අභියෝගයක් තුළින් ඉදිරියට යන පිරිස් වැඩියි. ලෝකයේ පහළ වුණු නායකයන් අතර ඒ සියලු දෙනාටම අභියෝග සහ ප්‍රශ්න මතුවීම තුළින් තමයි ඔවුන් ජයග්‍රහණය, අරමුණ කරා ගෙන ගිහින් තියෙන්නේ. මම විශ්වාස කරන දෙයක් තමයි මම වගේ තවත් දහස් ගුණයක් මේ පරම්පරාවේ බිහිවිය යුතුයි. විවිධ අංශ සඳහා කාන්තාවන් මගේ පරම්පරාවේ විතරක් නෙමේ නව පරම්පරාවේත් වැඩි පිරිසක් ආ යුතුයි. ස්ත්‍රී පාර්ශ්වය සහ පුරුෂ පාර්ශ්වය යන දෙකම එක හා සමානව ක්ෂේත්‍රය තුළ දක්ෂතාවයන් පෙන්නුම් කළ යුතුයි. මම හිතන්නේ ඉන්න පරම්පරාව යනකොට නව පරම්පරාවක් ඇවිත් මෙය භාරගත යුතුයි.

 

ජීවිතේ වෙනස් කරන්න ඕනෑයි කියලා හිතන ඔබ කොහොමද ඒ ආකල්ප වෙනස් කරන්නේ ?

ජීවිතයට හැම මොහොතකම අභියෝග නම් අන්න එතැන තමයි විසඳුම හොයන්න පුළුවන් එකම තැන. මෙතැන තමයි ආකල්පය වෙනස් කරන්නේ. අද වන විට කලා ක්ෂේත්‍රයෙ වැඩිහරියක්ම රැඳී සිටින්නේ පිරිමි පාර්ශ්වයයි. ඒත් ඔවුන්ට උරෙනුර ගැටිලා වැඩ කරන කාන්තා පිරිසක් බිහිවෙලා තියෙනවා. සාම්ප්‍රදායික සමාජය තුළ අපට පැවරුණු රාජකාරි කොටසක් තියෙනවා. ඒ රාජකාරි සියල්ලමත් කරලා අපි අපේ ගමන යන්න කර ගන්න ඕන දේවල් අපි කරනවා. ලෝකේ හඬ පෞරුෂ ගත්තොත් ඉන්දියාවේ ලතා මංගෙෂ්කාර් හඩ පරද්දන්න හඬක් තිබුණාද? එහෙමත් නැත්නම් වේදිකා නිළියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලන චරිතයක් වෙන්න පුළුවන්. නිවේදිකාවක්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක්, වෛද්‍යවරියක්, ලේඛිකාවක් වෙන්න පුළුවන්. ඕනෑම ක්ෂේත්‍රයක ඔවුන්ගේ දක්ෂතාවයන් ඉහළින් පෙන්නුම් කරනවා නම් කාන්තාවන්ට ඕනෑම මොහොතක ඕනෑම ක්ෂේත්‍රයක ඉදිරියට එන්න පුළුවන්. ඔවුන්ගේ සිතීමේ ශක්තිය හා අධිෂ්ඨානය තමයි තිබිය යුත්තේ. ඕනෑම කාන්තා චරිතයක් ඇතුළේ වෙලාවට වැඩ කිරීමේ හැකියාව පිළිවෙළ ඉදිරියට යාමේ තියෙන දක්ෂතාවය, මැනවින් පෙන්නුම් කරනවා. ඒ ගොන්නට වැටෙන චරිතයක් දෙසට මාත් ගණනය කරන්න පුළුවන් කියලා මම හිතනවා.

 

අධ්‍යක්ෂවරියක්, නිෂ්පාදිකාවක් ලෙස ඉදිරි ගමන් මඟ ඔබ දකින්න කැමති කොහොමද?

 

අපි හැමවෙලේම හිතන්න ඕන අලුත් දෙයක් ගැනයි. නිර්මාණශීලී විදිහට වැඩ කරන්නයි. ඉස්සර වගේ නෙවෙයි, ප්‍රේක්ෂකයා දැන් බලාපොරොත්තු වෙන්නේ නැවුම් මුහුණුවරකින්, නැවුම් බවකින් දකින්නට ඕනම දෙයක්. ඒ දේ නිෂ්පාදිකාවක් හා අධ්‍යක්ෂකවරියක් හැටියට අවබෝධ කරගෙන ඔවුන් බලාපොරොත්තු වෙන දේ දිය යුතුයි. ඒ දේවල් කිරීම තමයි මගේ ඒකායන අරමුණ වෙන්නේ. හැමදාම අපි සිතිය යුත්තේ ජාති වශයෙන් වෙන් වෙන්නව ගමන් කිරීමක් නොවෙයි. එකම ජාතියක් ලෙස හැම ක්ෂේත්‍රයකම ඉදිරියට ආ යුතුයි කියන එකයි. තරුණ පිරිස් වෙත ඉඩදිය යුතුයි මගේ සංකල්පය හැමදාම රඳා පවතින්නේ එතැනයි. money drop වැඩසටහනේ ඉන්න සියලුම දෙනා හොඳ ධාරිතාවයක් තියෙන වයස අවුරුදු 20 ගාණන් අධ්‍යක්ෂකවරයාගේ සිට තරුණ පිරිස්. ඒ අතර කාන්තා නියෝජනය වැඩියි. මෙන්න මේ ආකල්ප තමයි, මම ඉදිරියේදී දකින්න කැමතිම දේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ.

 

ඔබගේ වෘත්තීය ක්ෂේත්‍රය ගැන නව පරම්පරාවට කියන්න තියෙන්නේ මොනවාද ?

මම මේ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන විට මට ප්‍රවීණයන්ගෙන් ගොඩක් සහයෝගය ලැබුණා. ඒ ලැබුණු සහයෝගය නිසා තමයි, අද මෙතැන මම ඉන්නේ. මට ඒ අවස්ථාව හිමි වුණාට ක්ෂේත්‍රයේ අනිත් අයට ඒ අවස්ථාව හිමිවෙන්නේ නැහැ. සමහර ප්‍රවීණයන් කැමති නෑ තව කෙනෙකු ඉදිරියට එනවට. මට හමුවුණ ප්‍රවීණයෝ සියලුම දෙනා අපි ඉදිරියට එනවට තමයි ඔවුන් බලාපොරොත්තු වුණේ. තවත් පරම්පරාවක් හැදීම තමයි ඒ සියලු දෙනාගේම අධිෂ්ඨානය. මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඕනෑම කෙනෙකුට මම දෙන උපදෙස තමයි, කිසිම විටක ක්ෂේත්‍රයට එන්න බය වෙන්න එපා කියන එකයි. මාධ්‍ය කියන්නේ හොද මාවතක්. ඒ එන ගමන නිවැරදි දිශාවට ගමන් කළෝ ජිවිතය ඒකාකාරී නැතිව බෝරීන් නැතිව සුන්දරව විඳින්න පුළුවන්. ලස්සන අදහස් තුළ ජීවත් වන පිරිස්වලට මේක හොඳ තෝතැන්නක්. නිර්මාණශීලිව හිතන, වැඩ කරන්න පුළුවන් සියලු දෙනාටම එන්න කියලා තමයි කියන්නේ. ගෙදර ඉදන් වැඩි හරියක් රූපවාහිනිය ඉදිරියේ කාලේ ගත කරන තරුණ ගැහැනු ළමුන්ට කාන්තාවන්ට හොඳ නිර්මාණ බිහි කරන්න නම් මේක හොල්ලලා පෙරළන්න පුළුවන් නිර්මාණශීලී අදහස් තියෙන කාන්තාවන් මේ මාවත භාර ගත යුතුමයි.

 

[email protected]