කලින් කලට නිර්මාණවල හැඩතල වෙනස් වෙනවා

තිර පිටපත් රචක, රංගන ශිල්පී ලක්ෂාන් වත්තුහේවා
දෙසැම්බර් 29, 2022

ටෙලිනාට්‍ය තිර රචකයකු, රංගන ශිල්පියකු ගීත රචකයකු මෙන්ම කථිකාචර්වරයකු ලෙස කටයුතු කරන ලක්ෂාන් වත්තුªහේවා සිය නිර්මාණ කාර්යයේදී ඉසවු ගණනාවක් ස්පර්ශ කරන්නට සමත් වූවෙකි. එසේම සිය නිර්මාණ ක්ෂේත්‍රයේ ස්වභාවයන් මැනැවින් තේරුම් ගෙන කටයුතු කළ හැකි නිර්මාණකරුවකු ලෙස හැඳින්විය හැකි ලක්ෂාන් සිය අත්දැකීම්, ක්ෂේත්‍රයේ නූතන ප්‍රවණතා ආදී පිළිබඳ සිය අදහස් පළ කළේ මෙසේය. විශේෂයෙන් ටෙලි තිර රචකයකු ලෙස අත්දැකීම් රැසක් සහිත ඔහු නූතන පරපුර පිළිබඳ විශාල බලාපොරොත්තු සහිතව ද කතා කරයි. එමෙන්ම සමාජ මාධ්‍ය තරුණ පරපුරේ දැනුම, අවබෝධය පෝෂණයෙහිලා දක්වන දායකත්වය අගය කරන ලක්ෂාන් වැඩිදුරටත් දක්වන අදහස් විමසා බලමු.

මම මුලින්ම මේ ක්ෂේත්‍රයට පිවිසුණේ රංගනයෙන්. පි‍්‍රයන්ත කොළඹගේ මහත්මයාගේ අකුරෙන් අකුරට කියනන කෙටි චිත්‍රපටයෙන්. ඒ 2000 වසරේ. ඊට පසු ඒ වසරේම එන්න පෙරේරාගේ පුංචි වීරයෝ නාට්‍යයටත් සම්බන්ධ වුණා. ළමා නළුවකු විදියට එහි ප්‍රධාන චරිතයක් කළේ. 2003 වසර වන විට නාලක ස්වර්ණතිලකගේ ‘දඟමල්ල සහ අමුතු ඉස්කෝලෙ’ නාට්‍යයට රංගනයෙන් දායක වුණා.

2006 - 2007 කාලය තුළ ස්වර්ණවාහිනියේ නිවේදකයකු ලෙස කටයුතු කළා. ඒ හේමනලීන් කරුණාරත්න මහතා යටතේ. 2008 වසරේ තමයි මම උසස් පෙළ කළේ. ඩී.එස්.සේනානායක විදුහලේ මම උසස් පෙළ කළේ. ඒ වසරේ කලා අංශයෙන් හොඳම ප්‍රතිඵල ලබා ගත්තේ ගණිත අංශයේ වසර එකහමාරක පමණ කාලයක් ඉගෙනුම ලබමින් සිට අවසන් මාස හයේ කලා අංශයේ අධ්‍යයන කටයුතු සඳහා යොමු වීමෙනුයි. 2009 දමිතා අබේරත්න නිෂ්පාදනය කළ නිලන්ත කුමාරසිරි අධ්‍යක්ෂණය කළ ‘රිදී තාරකා’ නාට්‍යය සඳහාත් රංගන ශිල්පියකු විදියට දායක වුණා. නතාශා පෙරේරාත් සමඟ එහි ප්‍රධාන චරිතය කළේ ඉන්පසු නාට්‍ය රැසකටම රංගනයෙන් දායක වුණා. නාට්‍ය විසිපහකට තිහකට පමණ රංගනයෙන් දායක වී තියෙනවා.

පිටපත් රචකයකු විදියට ගොඩනැඟුණේ කොහොමද?

මට පිටපත් රචකයකු වෙන්න මඟ පෙන්වුයේ දේවින්ද කෝන්ගහගේ කියන අධ්‍යක්ෂවරයායි. මගේ ලිවීමේ හැකියාව දුටු දේවින්ද අයියා මාව ඔහුගේ සහය රචකයා ලෙස නිර්මාණ කාර්යයේදී සම්බන්ධ කරගනු ලැබුවා. එහිදී බොහෝ දේ මට ඉගෙන ගන්න හැකිවුණා. ඔය අතරවාරයේ නිවේදකයකු විදියටත් යම් කාලයක් කටයුතු කළා. 2009 මගේ පළමුවැනි නවකතාව නිකුත් කළා. ඒ මිහාරා කියන නවකතාවයි. මම රචනා කළ පළමුවැනි ටෙලි නාට්‍යය වන්නේ සසර වස්සානය කියන ටෙලි නාට්‍යයයි. එය දෙරණින් විකාශය වුණේ. ඉන්පසු ටෙලි පිටපත් රචනයට මුලික අවධානයක් දී කටයුතු කළා. ඒ අතර දේවින්ද කෝන්ගහගේ ගේ චිත්‍රපට දෙකක රඟපෑමටත් එක්වුණා. ඒ ගිරිවැසිපුර හා භවතරණ චිත්‍රපට දෙකේ, වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසත් කාලයක් කටයුතු කළා.

මේ දිනවල පිටපත් රචනා කටයුතු වල දිගටම නියැළී ඉන්නවා. මගේම අදහසකට අනුව රචනා කරන ‘ඇද බාස්’ කියන නාට්‍යයේ කටයුතුත් මේ දිනවල කරගෙන යනවා.

මා ලියු ගීත කීපයකුත් ඒ අතරේ තියෙනවා. යූ ටියුබයේ ඒවා නැරඹිය හැකියි.

ඔබේ අධ්‍යයන කටයුතු කොහොම ද සිදු කෙරුණේ?

මම 2013 දීයි ශාස්ත්‍රවේදී උපාධිය සම්පුර්ණ කළේ. (සිංහල විශේෂවේදී) 2018 වසරේදියි කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය සම්පුර්ණ කරනු ලැබුවේ.

මේ වන විට සිංහල විෂය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කටයුතු කරනවා.

ඔබ මේ ක්ෂේත්‍රයේ දකින නූතන ප්‍රවණතා මොනවාද?

මේ මොහොතේ මම හිතනවා ලොකු පිබිදීමක් තිබෙනවා කියා. මේතරම් අසීරු කාලයකදීත් නාට්‍ය ටිකක් නිර්මාණය වෙනවා. චිත්‍රපට නිදහස් වෙනවා. ගීතයක් රසවිඳින විඳින බැලුවොත් එහි පදමාලාවට ආසක්ත වන ප්‍රමාණය දැන් ඉහළයි. ඒ කියන්නේ වචන මත පදනම් වෙලා නිර්මාණවලට එකතු වන පිරිසේ වැඩිවීමක් තියෙනවා. මේ ප්‍රවණතාව දකින්නේ විශේෂයෙන් තරුණ පරම්පරාව අතෙර්යි. ඒකට හේතුවක් තමයි ෆේස්බුක් කවිය. එහිදී දකින්නේ අලුත් පරම්පරාව ගතානුගතිකත්වයෙන් මිදිලා අලුත් අනුභූතීන් සොයාගෙන යන විදියයි. ඒ වගේම නිර්මාණත්මක දේ පිළිබඳ ඔවුන්ගේ ප්‍රවේශය ඉහළයි. ඒකට ලොකු හේතුවක් තමයි සමාජ මාධ්‍ය. ඩිජිටල් මාධ්‍යවල බලපෑමත් සමඟ කියවීම හා සංකල්පවලින් පෝෂණය වීම යන කාරණා දියුණු වී තියෙනවා. මේ නිසා තරුණ දරුවකුට පවා දේශපාලනය, ලිංගිකත්වය පිළිබඳ දැනුම්වත් බවක් තිබෙන අතර සමාජ ප්‍රශ්න පිළිබඳ සවිඥානික බවකින් යුක්තයි. එහෙම හැදෙන අලුත් පරපුර පිළිබඳ අපට බලාපොරොත්තුවක් තබාගන්න බැරි කමක් නෑ. විශේෂයෙන් අද තමන්ගේ නව නිර්මාණයක් එළි දක්වන්න උත්සාහ කරන පිරිස ඉහළයි.

උදාහරණයක් ලෙස යූ ටියුබය ඇතුළේ සාහිත්‍යයට ඇති ප්‍රවණතාව ඉහළයි. තමාගේ අදහස වඩා පහසුවෙන් හා වේගවත්ව ඉන් සමාජයට මුදා හරින්න ලොකු ඉඩකඩක් වීම ඊට හේතුවයි. ඒ සමඟ නිර්මාණත්මක ගුණයත් ටිකක් ඉහළ මට්ටමකට පැමිණ තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම අපේ පරම්පරාටවත් වඩා අලුත් පරපුර ටිකක් නිර්මාණශීලියි කියලත් හිතෙනවා. විශේෂයෙන් මතවාදමය වශයෙන් පෝෂණයක් ලබන්න සමාජ මාධ්‍ය විශාල හේතුවක් වෙලා තියෙනවා. ඝෘණාත්මක පැති නැත්තේ නෑ. හැබැයි ඊට වඩා සාධනීය පැති ගණනාවක් අපට දකින්න පුුළුවන්. ඒ නිසා මේවා හරියට නියාමනය කර හරි දිශානතිය අනුව යන්න, මෙහි අන්තර්ගතය උකහාගන්නේ කොහොම ද කියා පුංචි කාලෙ සිට ඉගැන්නුවොත් අලුත් පරපුරට බොහෝ දේ කළ හැකි වෙයි.

ඒ කොපමණ දේ තිබුණත් අලුත් පරපුරට ඇති බාධාකත් එමටයි නේද?

ඊට ප්‍රධානම හේතුව අපේ අධ්‍යාපනයයි. නැතිනම් එහි බලපෑමයි. කැමැත්ත හෝ සංකල්ප කාලයෙන් කාලයට වෙනස් වන සුලුයි. එහිදි සම්භාව්‍යමය සාහිත්‍යය පමණක් හෝ නැතිනම් පුරාතන ගද්‍ය හෝ පුරාතන පද්‍ය ආදී දේ පමණක්ම නොවෙයින සාහිත්‍යය කියන්නේ. එක් පැලැන්තියකට හෝ ක්‍රමයකට සීමා වූ භාෂාධිපත්‍යයක්, හෝ අධ්‍යාපන රටාවක් තමයි තියෙන්නේ. එය බොහෝ දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න හරි අසීරුයි. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් විය යුතුයි. ඒ සඳහා ආකල්පමය වෙනස්කම් සිදුවිය යුතුයි. මොකද තරුණ දරුවෝ බුද්ධිමත්. ඒ වගේම ඔවුන්ගේ අකමැත්තක් නෑ. යහපත් දේ වැලඳ ගන්න. මම ඒ අත්දැකීම ලැබු කෙනෙක්. ගුරුවරයකු විදියට මට ලංකාව පුරා දරුවන් මුණ ගැහෙනවා. ඒ දරුවන්ට වටිනා කියන නිර්මාණ අහන්න දකින්න නොලැබෙන එකයි ගැටලුව. ඒවා හරියට ඔවුන්ට අහන්න දුන්නා නම්, හරි ලෙස සන්නිවේදනය කළා නම් ඔවුන් බොහෝ සංවේදී වෙයි. දරුවන් තුළ ඒ සඳහා සංවේදී හදවතක් තියෙනවා. උඹලට ඒ හදවත නෑ කියා නිරන්තරයෙන් ගහන විට ඒ හදවත හදන්න බැරි වී යනවා. සිදු වී තියෙන්නේ ඒකයි. පාසලෙන්, ප්‍රාථමික අංශයෙන්ම එය ආරම්භ කළ යුතුයි. අලුත් විදියට දෙයක් හිතන දරුවෙකුගේ ඒ සිතුවිලි නවත්වා, නෑ උඹ හිතන්න ඕනෑ මෙහෙමයි කියා හිරකරද්දී අලුත් පරම්පරාවකට හැදෙන්න ඉඩක් තියෙන්නෙ කොහොමද?

මේ වාතාවරණය යටතේ ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් මොනවාද?

ඊළඟ මාර්තු මාසය වන විට මගේ ඊළඟ නවකතාව වන අම්බපාලි නිකුත් කරන්න අරමුණු කරගෙන ඉන්නවා.

එය මොනවගේ නවකතාවක් ද?

එය ගැහැනු පිළිබඳ පුරුෂයන් සිතා සිටින විදිය පිළිබඳ ගැහැනු දෘෂ්ටි කෝණයෙන් ලියැවුණු නවකතාවක්. බොහෝ අයගේ අත්දැකීම්, අදහස් සමඟ අවුරුදු පහක පමණ කාලයක් තිස්සේ ලියු පොතක්. ඒක පර්යේෂණයක් විදියට එළියට එන අලුත් නවකතාවක්.

නූතන පිටපත් රචකයන්ට බොහෝ චෝදනා එල්ල වෙනවා නේද?

වෘත්තීමය රචකයෙක් විදියට මගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි ලියන එක. අපි ලියන දේ තුළ නිෂ්පාදකයා රැකගන්න විදිය ඒ වගේම විකාශය කරන නාළිකාව රැකගන්න කොහොමද ආදි සාධක ගණනාවක් පිළිබඳ ලියද්දි අපට හිතන්න වෙනවා. ඒ අවස්ථාවේදී ප්‍රායෝගික තලයේ ගැටලු සියල්ලක් පාහේ අපට සලකා බලන්නත් සිදුවෙනවා. ඒ නිසා අපට කාලය අනුව හැඩගැහෙන්නට සිදු වී තියෙනවා. පිටපත් ලිවීමත් ඒ වගේ. ඒ නිසා ඒ මොහොතේ පවතින වාතාවරණයට අනුව කෙනකුට ලියන්න හැකිනම් ඔහු දක්ෂ නිර්මාණකරුවෙක්. කතාවේ මුලික පදනමක් රැකගෙන තිබෙන සම්පත් හා අදාළ නිර්මාණකරුවන් දායකත්වයට ගත හැකි වන සේ පිටපතක් ලියන්න පුළුවන් නම් ඇත්තටම දක්ෂයෙක්. අද ජීවන රටාව වෙනස්. එදා සතියට දවසයි නාට්‍යයේ කොටසක් බැලුවේ එදා මිනිස්සු ඒ ක්‍රමයට හැඩ ගැහිලයි හිටියේ. එදා ජිවන රටාව සංකීර්ණ එකක් වුණේ නෑ. හැබැයි අද එසේ නොවේ. සංකීර්ණ ජීවන රටාවක් ගෙවන අද මිනිස්සුන්ට සතියට වතාවක් නාට්‍යයක් නරඹන්න දුන්නොත් බලන එකක් නැතිවෙයි.

නමුත් මෙය පරිහානියේ ලකුණක් නොවෙයිද?

කාලයෙන් කාලයට නිර්මාණවල හැඩතල වෙනස් වෙනවා. උදාහරණයක් විදියට කේ.ජයතිලක හා සුජීව ප්‍රසන්නආරච්චි ගත්විට කවුද වැඩියෙන් හොඳ කියා ඇසුවොත් පිළිතුරු දෙකක් තිබෙන්න පුළුවනි. සමහරවිට වැඩියෙන් විකිණෙන නිර්මාණය බාල නිර්මාණයක් කියා කියන්නත් පුුළුවනි. හැබැයි රස විඳින පුද්ගලයාගේ සොබාවය අනුවයි එය වෙනස් වෙන්නේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන චින්තන රටාව හැඩගැසෙන පරිසර සාධක බොහෝ තියෙනවා. ඒක සාපේක්ෂ නිසා අපි එක තැනක රැඳෙන්න උත්සාහ කළොත් මුළුමනින් ඒ ක්‍රමයම නැතිවෙන්නත් පුළුවන්. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑනම් අපට නැවත මුලටම යන්න සිදුවෙයි. හරි ක්‍රමයක් හදන්න සිදුවෙයි. ඒ හේතුවෙන් නිර්මාණවලට පහර දී වැඩක් නෑ. හැබැයි කොතැනක හරි වෙනසක් සිදු වී තියෙන නිසයි තරුණ පරපුර නැවත ගුණාත්මක දේට යම් තාක් ඇලුම් වෙන්නේ. හැබැයි හැමෝම වැඩියෙන්ම බනින සමාජ මාධ්‍ය ඔස්සේ තමයි එය සිදු වී තියෙන්නේත්. කොහොමත් පෑන්, පැන්සල් කඩදාසි තව ටික කාලයයි ලෝකයේ පවතින්නේ. කාලයක් යතුරු ලියනය කළා. අලුත්ම ප්‍රවණතාව කටහඬයි. ඒ නිසා කාලයත් සමඟ ලියනවා කියන ක්‍රමයේත් වෙනස්කම් රැසක් වුණා. හැබැයි හැඟීම් පවතීවි. අකුරුත් පවතීවි. ඒ නිසා අපි එක් ක්‍රමයකට ලඝුවන එක කළ නොහැකි දෙයක්. එය අන් සියල්ලටත් පොදුයි. හැබැයි ක්‍රමය වෙනස් වුණාත් අපට මූලික හරයන් එලෙසම තබාගන්න බැරි කමක් නෑ.

 

 

[email protected]

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න