හොඳ නිර්මාණයකට දායක වීමේ සතුට මුදලට ගන්න බෑ

රංගන ශිල්පිනී කුමාරි සේනාරත්න
දෙසැම්බර් 29, 2022

වේදිකාවට අසීමිතව ආදරය කරන ඈ මේ වනවිට පුංචි තිරය තුළ මෙන්ම රිදී තිරය තුළ ද තම රංගන වපසරිය පතුරා ඇත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර අසීමිතව ලබමිනි. 2009 වසරේ නුවන් විජය ශ්‍රීීගේ ප්‍රවේසමෙන් වේදිකා නාට්‍යයෙන් හා පුරා කියා රංගනයට අවතීර්ණ වූ ඈ මේ වන විට ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක රංග ශිල්පිනියක් වී හමාරය. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි, ළංවී ටෙලි නාට්‍ය නිර්මාණ ඔස්සේ පුංචි තිරයේ ප්‍රේක්ෂකයන් හා එක්ව සිටින ඈ මල්වඩම් අනවශ්‍යයි, රූකඩ රාජ්‍යය, අලුත් හොරෙක් ඕනෑ, සාක්කි, හොරුත් එක්ක මහත්වරු, රයිගමයයි ගම්පලයයි වේදිකා නාට්‍ය ඔස්සේ මේ දිනවල ප්‍රේක්ෂක හද බැඳ සිටින්නීය. ඈ නමින් කුමාරි සේනාරත්න ය.

 

 

වේදිකාවට අසීමිතව ආදරය කරන නිළියක් ඔබ?

වේදිකාව මගේ පණ කිව්වොත් හරි. ඒ තරමටම මම වේදිකාවට ආදරෙයි. මම වේදිකාවෙන් තමයි කලාව හඳුනාගන්නේ. කලාවට අවතීර්ණ වන්නේ නුවන් විජය ශ්‍රී ගේ ප්‍රවේසමෙන් වේදිකා නාට්‍යයේ වාසනා කියන චරිතයත් සමඟ.

වාසනා කියන චරිතය සැබැවින්ම ඔබට වාසනාව ගෙනාවා කිව්වොත්?

මම එක සිතින් ඒක පිළිගන්නවා. ඒ චරිතය රඟ පෑමත් සමඟ මට චන්ද්‍ර ශ්‍රී වික්‍රමගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ රතු එළිය වේදිකා නාට්‍යයේ බියුලා ගේ චරිතය රඟපාන්න ආරාධනා ලැබුණා. ඒ ආරාධනයත් සමඟ මට ප්‍රසිද්ධ වේදිකාවේ බියුලා ලෙසින් රට වටේ ගමනක් යන්න ඇරඹුමක් ආරම්භ කළා. ඒ ඇරඹුම සමඟ මට වේදිකා නාට්‍ය රැසක රඟපාන්න ආරාධනා ගලා ආවා. අපේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ මේ වෙනකොට එවැනි ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය දොළහකට වැඩි ප්‍රමාණයක මම විවිධ චරිත රඟපාල තියෙනවා.

වේදිකාව තුළ ජනපි‍්‍රය චරිතයක් බවට පත් වන ඔබ වඩාත් වේදිකාවේ ජනපි‍්‍රය වුයේ මොන චරිත මොන නිර්මාණ ඔස්සේ ද?

මල්වඩම් අනවශ්‍යයි. රූකඩ රාජ්‍යය සාක්කි, අලුත් හොරෙක් ඕනේ. වේදිකා නාට්‍ය නිර්මාණවල මගේ රංගනය වඩාත් පේ‍්‍රක්ෂකයන් අතර ජනපි‍්‍රය වුණා. ඒ අතරින් මල්වඩම් අනවශ්‍යයි නාට්‍යයේ සිල්වියා මාව පේ‍්‍රක්ෂකයන් අතර අමතක නොවන චරිතයක් බවට පත් කළා.

වේදිකා රංගනය කැටුව ඔබ විදේශ ගත වෙනවා නේද?

මල්වඩම් අනවශ්‍යයි. අලුත් හොරෙක් ඕනේ නාට්‍ය දෙක කැටුව මම විදේශ ගත වුණා. සිංගප්පුරුව, ඕමානය රටවල මේ නාට්‍ය දෙක වේදිකා ගත වුණා. විශාල පේ‍්‍රක්ෂක ප්‍රජාවක් සමඟ ඒ රටවල දී අපිට අසීමිත පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා.

ඔබේ රංග භූමිකාව වේදිකාවට සීමානොවී පුංචි තිරයට රිදී තිරයට පවා ඇදී යනවා නොවේද?

පුංචි තිරයෙත් රිදී තිරයෙත් මම රංග ශිල්පිනියක් ඒත් මගේ වඩාත් කැමැත්ත වේදිකාවට. වේදිකාව මම කොහොමත් අමතක කරන්නේ නෑ. කොපමණ වැඩ තිබුණත් වේදිකා නාට්‍යයකට ආරාධනාවක් ලැබුණොත් කාල කළමනාකරණයක් ඇතුව ඒ දේ මම සතුටින් බාර ගන්නවා. රිහසල් වුණත් මම මඟ අරින්නේ නැතුව ඒ වෙනුවෙන් කැප කිරීම් කරනවා. ටෙලි නාට්‍යයක චිත්‍රපටයක ෂුටින් ලැබුණොත් දුර ගැන හිතල ඒ දේවල් මම භාර ගන්නේ නෑ. ඒත් වේදිකා නාට්‍යයක් නම් මම දුර බැහැර ගැන බලන්නේ නෑ. සතුටින් භාර ගන්නවා.

වේදිකාවෙන් ආවත් ජනපි‍්‍රයවෙනකොට වේදිකාව අමතක කරන ශිල්පීන් ඉන්න කාල වකවානුවක ඇයි ඔබ ජනපි‍්‍රයත්වය තුළ හිදිමින්ම වේදිකාවට මෙතරම් ආලය කරන්නේ?

කැරැක්ටර් එකක් ගත්තත් ඒක වේදිකාව තුළ අපිට දැනෙන විධියට කරන්න පුළුවන්. මම කුමාරි සේනාරත්න වුණත් වේදිකාව තුළ මම ඒ චරිතය කරනකොට එතැනදී ඒ නිර්මාණයේ චරිතය තුළ ඉන්න හඳුන්වන කෙනෙක්. එතැනදී මේ කුමාරි සේනාරත්න නෑ. ඒ චරිතය එක්ක තමයි අපි එතැනදි ජීවත් වෙන්නේ. පේ‍්‍රක්ෂක ප්‍රතිචාරත් එතනැදී අපිට සජීවීව අත්විදින්න හැකියාව ලැබෙනවා. අපි නාට්‍ය ඇතුළේ අපි රඟපාන දේ අපේ සහෝදර ශිල්පීන් රඟපාන දේ එහිදී පෞද්ගලිකව අපි අත්විදිනවා. ටෙලි නාට්‍යයක චිත්‍රපටයක අපි රඟපාන කොට වැරදුණොත් දහපාරක් වුණත් ගන්න පුළුවන්. ඒත් වේදිකා නාට්‍යයක් වැරදුණොත් වැරදුණා තමයි. ඒ තරම් ඒ රංගනය සජීවී අපිට දෙයක් කතා කරන්න පුළුවන් වේදකාව තුළ ඒ තරම් රංගන වපසරිය පුළුල්.

වේදිකාව තුළ පුළුල් පරාසයක රඟපෑම තුළත්. කැමරාව තුළ එක්තරා රාමුවක් තුළ රඟපෑම තුළත් ඔබට ගැටලුකාරී බවක් ගෙන දුන් නැද්ද?

වේදිකාව ඇතුළේ එහෙට මෙහෙට යන්න හේතුවක් ඇතුව නිදහස තියනවා. නමුත් ෆේ‍්‍රම් එකක් තුළ ඒ දේට කොටු වෙනවා. නිදහසේ අපේ චරිතය රඟපාන්න වේදිකාව තමයි අංක එක. රාමුවක් තුළ කොටුවීම ගැටලුවක් තමයි. රඟපෑම තුළ ලස්සන සිදුවීම් සිද්ධ වෙන්නෙත් වේදිකාව තුළ.

මේ වෙන කොට ඔබ කොතරම් ටෙලි නාට්‍ය ප්‍රමාණයක් රඟපාල ඇද්ද?

ටෙලි නාට්‍ය ඒකාංගික ප්‍රසංගික වශයෙන් ගත්තම හතළිහකට වැඩි ප්‍රමාණයක් රඟපාල තියෙනවා.

පුංචි තිරයේ (ඔබ වඩාත් පේ‍්‍රක්ෂකයන් අතරේ ජනපි‍්‍රය චරිතයක් වුණේ?

මේ දවස්වල නම් රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ ඇනී ගොඩක් ජනපි‍්‍රයයි. ළංවී නාට්‍යයේ ෂෙරීනුත් ගොඩක් ජනපි‍්‍රයයි. මේ දවස්වල කොහේ ගියත් ඇනීට වගේම ෂෙරීනුත් පේ‍්‍රක්ෂකයෝ අතර ජනපි‍්‍රයයි. දෙරණ නාළිකාවේ විකාශය වී අවසන් වූ සිත් ටෙලි නාට්‍යයේ ශ්වේතටත් හොඳ පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා.

මේ දවස්වල රැල්ල වෙරළට ආදරෙයි. ටෙලි නිර්මාණයේ ඇනීටට මෙතරම් මිනිස්සු ඇයි ආදරේ කියල ද ඒ චරිතයට ජීවය දුන් ඔබට හැගෙන්නේ?

නාට්‍යය පටන් ගන්න කොටම මගේ ස්වාමියා වැල්ලෙ මිනිස්සු අතින් මැරුම් කනවා. එහිදී ඇතිවෙන ඛේදවාචකයත් එක්ක තමයි ඇනීට පේ‍්‍රක්ෂකයෝ ඒක රාශි වෙන්නේ. තරුණ කාන්තාවක් ළමයි දෙන්නෙක් එක්ක තනි වී සමාජයෙන් එන යෝජනා ගැටුම් එක්ව ඇතිවෙන ප්‍රශ්න සමඟ ගලා යන චරිතයක් තමයි ඇනීට මේ ඇනීට. වත්තේ මිනිස්සු සමඟ ජීවත් වන විධියට ගොඩක් මිනිස්සු කැමැතියි.

අද ඔබව ටෙලි නාට්‍යයේ රඟපාන චරිතයෙන් සමාජයේ ආමන්ත්‍රණය කරන්න පෙලඹිලා ද?

ඔව්. කුමාරි සේනාරත්න කියල නෙමෙයි අද මට කතා කරන්නේ ඇනීට කියලා.

නිළියක් හැටියට රඟපාන්න ලැබෙන හැමදෙයක්ම අද ඔබ බාරගන්නව ද?

නැහැ. මම අද වෙනකොට මගේම කියල ව්‍යාපාරයකුත් පටන් අරන් තියෙනවා. ඒ කටයුතුත් එක්ක තමයි මම රංගයෙත් යෙදෙන්නේ. මට වැඩක් ලැබුණහම මම ගොඩක් දේ හිතනවා. මේක මට සුදුසු ද මට දෙයක් කරන්න පුළුවන් දෙයක්ද කියන දේ. බොහෝ දුර බැහැර ෂූටින් තියන දේවල් මම භාර ගත්තෙත් නෑ. වේදිකා නිර්මාණයක් නම් මට දුර ගැටලුවක් නෑ. පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට වුණත් මම යනවා. ටෙලි නාට්‍යවල ළඟ ලෝකේෂන් තියනවා නම් මට හරියන චරිතයක් තිබුණොත් භාර ගන්නවා. නිදහසේ මගේ ව්‍යාපාරය කරගෙන ඉන්නවා.

ව්‍යාපාරයත් සමඟ රංගනයේ නියැළීම අද ඔබ කරන්නේ විනෝදාංශයට ද?

මම මුල් කාලයේ රඟපෑම තුළින් මුදලක් ඉපයෙව්වා. ජීවිතය හොඳින් ගලාගෙන ගියා. විජය නන්දසිරි මහතා නැතිවීමත් සමඟ අපිට වේදිකාව නැතිවෙලා යන්න පටන් ගත්තා. ඊට පස්සේ පාස්කු ප්‍රහාරය කොවිඩ් පැමිණීමත් සමඟ තව තවත් මේ ගමන තුළ රැඳීම දුෂ්කර වුණා. ඒ නිසාම ව්‍යාපාරයක් විධියට කොස්මැටික් (රූපලාවණ්‍ය ද්‍රව්‍ය) මම තෝරගත්තා.

විජය නන්දසිරි නැතිවීමත් සමඟ වේදිකාවේ කඩා වැටීමක් ගැන ඔබ කියනවා. ඒ අදහස සමස්ත වේදිකාවටම වලංගුයි කියල ද ඔබ කියන්නේ?

මාසයට නාට්‍ය දර්ශන විස්සක් විසි පහක් දිව්ව නාට්‍ය ඔහුගේ මරණයත් සමඟ නාට්‍ය අටට නවයට බැස්සා. අපි දැනුම්වත්ව මේ ගරාවැටීම සිද්ධ වුණා. ඊට පහු කාලයේ ආදේශක නළුවන් සමඟ ඒ වැටීමෙන් තරමක් අපිට ගොඩඑන්න ලැබුණා.

පුංචි තිරයේ වගේම ඔබ රිදී තිරයේත් කැපී පෙනෙන රංගන ශිල්පිනියක් නොවේද?

ටෙනිසන් කුරේගේ තැන්ක්යු බර්ටි චිත්‍රපටයෙන් තමයි මම සිනමාවට හා පුරා කියා එක්වන්නේ. ටෙලි නාට්‍ය රංගනයත් එක්ක ගත්තොත් මම සිනමා නිර්මාණ සඳහා දායකවෙලා තියෙන්නේ අඩු ප්‍රමාණයක. කුසල්, ආලෝකෝ උදපාදි, සිද්ධාර්ථ, ගෞතම ආදී චිත්‍රපට කිහිපයකම රඟපෑවා. උදයකාන්ත වර්ණසුරියගේ රිදී සීනු, රන්දික විජේමාන්නගේ අග්නි මා රඟ පෑ ඉදිරියේදී තිරගත වෙන්න තියන චිත්‍රපට කීපයක්.

සිනමා නිර්මාණ අතුරින් ඔබ වඩාත් ජනපි‍්‍රය වුණේ?

‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ නිගණ්ඨ සේවිකා වගේ චරිතය ඒක ගොඩක් මිනිස්සුන්ට දැනුණ චරිතයක් වුණා.

රඟපෑමට තියන ආශාව නිසාම නිර්මාණ සොයා යන නිළියක් ද ඔබ?

රඟපෑමට තියන ආශාව තියෙන්නේ මට වේදිකාවට විතරයි. ආරාධනයක් ලැබුණොත් ස්ක්‍රිප්ට් එක අරන් අධ්‍යක්ෂවරයා හා කතාබස් කර රඟපාන නළු නිළියන් ගැන සොයා බලා බොහෝ විට නිර්මාණය බාරගන්නවා. මේ වෙනකන් මම කිසිම කෙනෙක්ගෙන් කැරැක්ටර් ඉල්ලල කෝල් කරල නෑ. මගේ දක්ෂතාවයක් කවුරු හෝ දැක්කා නම් ඒ දක්ෂතාවය මත මට වැඩක් ලැබුණා මිසක් මම ෆෝන් එක අරන් අයියේ් වැඩක් පටන් ගන්නවා නේද කියල අහන තත්ත්වයට මම කොහෝත්ම අද වෙනකම් පත්වෙලා නම් නෑ. ඒතැනට මම වැටිල නෑ. කාලෙට අනුව මට හිමි තැන ලැබෙයි. මම හෙමින් ගමනක් ආපු කෙනෙක්. ප්‍රසිද්ධිය සෙව්වේ නෑ. හොඳ නිර්මාණ විතරයි හෙව්වේ. ප්‍රසිද්ධිය කියන දේ අපිට එක තැනකදී මාත් එකක් විතරයි. හැබැයි හොඳ නිර්මාණයකට දායක වුණා කියන හිතේ සතුට සල්ලි වලට ගන්නත් බෑ.

ආප්ප බානවා වගේ ස්ක්‍රිප්ට් කලාවක් තුළ නේද අද මේ ටෙලි නාට්‍ය හැදෙන්නේ?

එහෙම නැතුවා නොවෙයි. රඟපාන්න දර්ශන තලයට ගියහම ස්ක්‍රිප්ට් එක ලැබෙන අවස්ථාත් තියෙනවා. එහෙම නැත්තම් රඟපාන්න යනකොට ෆෝන් එකට ස්ක්‍රිප්ට් එක ලැබෙන අවස්ථාත් තියෙනවා. මම කැමති කලින් ස්ක්‍රිප්ට් එක බලල චරිතෙ මොකක් ද කියල හඳුනාගෙන අධ්‍යක්ෂවරයා සමඟ චරිතය ගැන කතා කරලා ඒ චරිතය ගැන මටත් ස්වයං අධ්‍යනයක් කරල රඟපාන වැඩකට. අපි නිර්මාණයක් බාර අරන් කරගෙන යනකොට ඒ චරිතය මොකක්ද කියල දන්න නිසා ස්ක්‍රිප්ට් එක ෆෝන් එකට ආවත් මම රඟපාන අවස්ථා තියෙනවා. නමුත් වැඩක් භාර ගැනීමේදී මට ස්ක්‍රිප්ට් එක අත්‍යවශ්‍ය දෙයක් මොකද මම කැමති නෑ නොදැන ගිහින් අතරමං වෙන්න.

මේ ආකාරයට ක්ෂණික ස්ක්‍රිප්ට් වලට රඟපාන්න ගිහින් ඔබ කරගන්නේ ඔබේ ප්‍රතිරූපයට හානියක් නොවෙයිද?

හානියක් වෙන්න පුළුවන්. අධ්‍යයනයක් නොමැතිව රඟපාන්න යාම තුළ චරිතය කළාට පස්සේ තමන්ටම පසු තැවෙන්න වෙන අවස්ථා තියෙයි. මීට වඩා මම දෙයක් මේ තුළින් කරන්න තිබුණානේ කියල. ඒත් අද ට්‍රෙන්ඩ් එක ක්ෂණික ස්ක්‍රිප්ට් නම් ක්ෂණික ඇට් කරන්න ගිහින් අන්තිමට අපිම කරගන්නෙත් අපි විසින් අපිවම විනාශ කර ගැනීමක් කියන එක නම් ෂුවර්. එහෙම රඟපාල පසුතැවෙන අවස්ථා ඕනෙ තරම්.

ටෙලිනාට්‍ය කර්මාන්තය කඩා වැටීම එක හේතුවක් නේද මේ ආකාරයට රඟපෑම මේ ආකාරයට පිටපත් රචනය

අනිවාර්යෙන්ම ඔව්. ඒකෙ දෙකක් නෑ. කතාව සහතික ඇත්ත. මේක මට තනියෙන් කළ හැකි දෙයක් නොවෙයි. අපිට ඉහළින් ඉන්න අධ්‍යක්ෂවරු නිෂ්පාදකයෝ මේ ප්‍රශ්නය තේරුම් ගන්න (ඕනෙ දෙයක් අපිට ඉහළින් ඉන්න ප්‍රවීණයෝ කියන පිරිස් මේ ඛේදවාචකය ගැන කතා නොකරනවා නම් අපිට කවර කතා ද?

රංගනය තුළ එකිනෙකට වෙනස් මාධ්‍ය ත්‍රිත්වයක් තුළ රංගනයේ නියැලීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

කැමරාවක් ඉදිරියේ රඟපෑම ගැන හිතේ කතුහලයක් තිබුණා. ප්‍රවීණ නළු නිළියන් සමඟ වැඩ කිරීම තුළ මගේ ආධුනික බව ගැන මට හිතේ චකිතයක් තිබුණා. ඒත් මම වාසනාවන්ත වුණා. මට රඟපාන්න ලැබුණු හැම කෙනෙක්ම හරි සුහද ශිල්පීන් වුණා. විජය නන්දසිරි, සරත් කුලාංග, කුමාර තිරිමාදුර වගේ ශිල්පීන් අපි නවකයෝ කියලා තළාපෙළා දමන්න උත්සාහ කළේ නෑ. ඒ අය අපි කරන සුළු චරිතය වුණත් එයාලගේ මට්ටමෙන් ඇදගෙන යන්න තමයි හැම වෙලාවෙම උත්සාහ ගත්තේ. මම ඕපපාතිකව ආ රංග ශිල්පිනියක් නොවෙයි. වේදිකාව තුළ අත්දැකීම් ලබාගෙන තමයි පුංචි තිරයේ රීදි තිරයේ කැමරාව ඉදිරියට පැමිණියේ.

කුමාරි රංගන ශිල්පිනියක් වන්නේ අහම්බෙන් ද?

මම කුඩා කාලයේ පටන් කැමැත්තක් දැක්වුවා නළු නිළියන්ට. විජය කුමාරතුංග, ෂාරුක් ඛාන්, සබීතා පෙරේරා මේ වගේ අයගේ පින්තූර මම කුඩා කාලයේ එකතු කළා. පුංචි කාලයේ මම සබීතා පෙරේරාට ලියුම් පවා ලිව්වා. සමහර ලියුම් වලට මගේම ගෙදර ඇඩ්‍රස් එක ලියලා ආපහු මම දාපු ලියුම මටම ඇවිත් තිබුණා අවස්ථාත් තිබුණා. ඒ කාලේ මම වඩාත් ආශා කළ නිළිය වුණෙත් සබීතා. නළු නිළියන්ට ආශ කළාට මට නිළියක් වෙන්න එහෙම ආශාවක් තිබුණේම නෑ. මගේ පවුලේ හිතවතෙක් තමයි නුවන් විජය ශ්‍රී. ඔහු දවසක් මට යෝජනා කළා එයාගේ ප්‍රවේශමෙන් නාට්‍යයේ රඟපාන්න එන්න කියලා. ආශාව තිබුණට මට බය තිබුණා. මේක කරගන්න පුළුවන් ද කියල ස්ක්‍රිප්ට් එක කියෙව්වා. මට දැනුන විධියට. චරිතය කළා වාසනා කියන දඟකාර දැරියගේ චරිතය. කීපවතාවක්ම නාට්‍යය වේදිකා ගත වුණා. ඒ රඟපෑම දැකල තමයි මට ‘රතු එළියට’ රඟපාන්න ආරාධනය කරන්නේ. මම රඟ පෑ හැම නාට්‍යයක්ම දැකපු කෙනෙක් තමයි මට (ඔවුන්ගේ නාට්‍ය නිෂ්පාදනයන් සඳහා ආරාධනා කරන්නේ රංගනයෙන් එක් වෙන්න.

ඔබ කැමති මොන වගේ රංගන ශිල්පිනියක් හැටියට හඳුන්වනවට ද?

මම වේදිකාවෙන් ආපු නිළියක් නිසා මට වේදිකා නිළියක් කියල ආමන්ත්‍රණය කරනවට මම කැමතියි.

සම්මානනීය ඇගැයුමට එහෙම ඔබ තවම නිර්දේශ වුණේ නැද්ද?

සාක්කි, මායාවෝ, මල් වඩම් අනව්‍යශයි. නාට්‍ය තුනම රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කළා. මේ නාට්‍ය තුනම දෙවන වටය දක්වා නියෝජනය වීමක් සිද්ධ කළා.

මාධ්‍ය ත්‍රිත්වයක් තුළ ඔබ රංගන ශිල්පිනියක් වූ පමණින් මේරටට යම් සේවාවක් කළා කියල ඔබට ආත්ම තෘප්තියක් තියෙනවාද?

කලාව කියන දේ ලොකු තැනක තිබිය යුතු දෙයක් විධියටයි මම දකින්නේ. අපි හැමෝම එකතු වුණා නම් අපි හැමෝගෙම හිත් හොඳ වුණා නම් මේ කලාව මීට වඩා ලස්සන තැනක තිබිය යුතු දෙයක්. එකිනෙකා පරායාමේ අපේ මිනිස්සු තුළ තියන පුරුද්ද නිසා මේක කරගන්න බැරි වෙලා තියෙනවා. එකමුතුකම නොමැති වීම තුළ අපිට කළ හැකි සේවාව සඳහාත් ඕනේ තරම් ගැරහිලි කැපිලි කෙටිලි.

මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විසින්ම තමන්ගේ ක්ෂේත්‍රය විනාශ කරනවා කියන චෝදනාව ද ඔබ එල්ල කරන්නේ?

අපිත් එක්ක ඉන්න අපේම අය විසින්මයි අපේ මේ කලා ක්ෂේත්‍රය විනාශ කරන්නේ. පිටින් ඇවිත් කවුරුවත් මේ ක්ෂේත්‍රය විනාශ කරන්නේ නෑ. ඒක අපි අවංකව පිළිගත යුතුයි. අපි අපේම ප්‍රශ්න එක්ක තමයි ඒ විනාශය සිද්ධ කරගන්නේ.

අද වෙනකම් සෑම නිර්මාණයක්ම ඔබව සොයන් ආවා මිස ඔබ එම නිර්මාණ සොයා ගිය කෙනෙක් නොවෙයි නේද?

මම කවදාවත් කාටවත් කතා කරල නිර්මාණ අරන් නෑ. ලැබුණු නිර්මාණය හොඳින් කළා. ඒක දැකපු කෙනෙක් මට සුබ පැතීම සිද්ධ කළා. නව නිර්මාණයකට කතා කළා.

ඔබ ආපුගමන ගැන ආපසු හැරිල බලන කොට මොකද හිතෙන්නේ?

මම ආපු ගමන හරිම ලස්සනයි. ඒ ගමනේ ආපසු හැරිලා බලන කොට කොහේවත් කළු පැල්ලමක් නෑ. මට ඕනෙ තැනක යන්න පුළුවන් තනියම මට මම ගැන සතුටුයි. මගේ ජීවිතයේ අරම වුණා මෙහෙම වුණා කියන්න තැනක් මම හදන් නෑ. මම හරි ලස්සන පාත් එකක් හදාගෙන ඒ දේ දිගේ යනවා. අදටත් මට පාරෙ වුණත් ඉන්න පුළුවන්. ඒ තැන මම හදාගෙන තියනවා. කාගෙන්වත් කතාන්දර අහන්න මම වැඩ කරලත් නෑ. මේ කුමාරි සේනාරත්න එහෙම කතාන්දර නිර්මාණය කරන කෙනෙකුත් නොවෙයි.

අද නිළියක් නළුවෙක් දිහා සමාජය බලන්නේ වපර ඇසින් නේද? විශේෂයෙන් නිළියන් සමාජයේ හඳුන්වන්නෙත් නොහොබිනා වචන ආමන්ත්‍රණයෙන් නොවේද?

අද අපේ අයට වෙලා තියෙන්නේ හම්බ කරගත්ත මුදල වියදම් කරන විධිය දන්නැතිකම එතකොට වෙන්නේ ජීවත්වෙන්න සල්ලි මදිකම. ඒක නිසා (ඔවුන් ජීවිතය අනාගන්නවා. ඒක නිසා අපි උපයන මුදලට සරිලන ජීවිතයක් අපි හදාගන්නවා නම් මේ ප්‍රශ්නය නෑ. නොදන්න ලෝක අල්ලන්න යන්න ඕනෙ නෑ. අපිට තියන සීමාවක් තියනවා. ජීවත් වෙන්න. අන්න ඒ ලෝකේ සතුටින් කාලබීලා ඉන්නවා නම් කිසි කෙනෙකුට අතපාන්නේ නැතුව ජීවත් වෙනවා නම් අන්න ඒක තමයි මනුස්සයෙක්ගේ ජීවත් විමේ හරි තැන. මම කියන්නේ අපිට දේකට කතාකරන කොට අපිත් ගොඩාක් දේවල් හිතන්න ඕනේ. අපේ පවුල් පසුබිම, පාරක බැහැල යන්න පුළුවන් පසුබිමක් අපිට නැත්නම් කරන වැඩෙන් ඇති ඵලේ මොකක්ද

ඔබ ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්න නිළියක් ද?

නැහැ කරන නිර්මාණයට මුලිකත්වය දීල රඟපාන්න දින මට තියනවා නම් මම පිටපත ගැන සැලකිලිමත් වී නිර්මාණයක් බාරගන්නවා හැරෙන්න. ලැබෙන ලැබෙන නිර්මාණ බාර අරගෙන රෑ දවල් දෙකේ ෂූටින් කියන නිළියක් වෙන්න මුළු දොඩම් ගොඩම බදාගන්න මම හරි බිසී නිළියක් වෙන්න මම කවදාවත් උත්සාහ ගන්නේ නෑ. රඟපාන නිර්මාණ ප්‍රමාණය වැඩි වුණාම සමහරු හිතනවා එයා තමයි වැඩකාරයා කියලා හැබැයි රංගනයේදී කරන වැඩේ ගුණාත්මකභාවය කොච්චර දුරට සාර්ථකද කියන එක ප්‍රශ්නයක්.

කුමාරි බොහොම ආශාවෙන් රඟපාන්න බලාපොරොත්තු වන චරිතත් ඇති නේද?

මම ගොඩක් කැමතියි මෙහෙණින් වහන්සේ කෙනෙක්ගේ චරිතයක් කරන්න. එක පාරක් ඒවගේ චරිතයක් මට ලැබුණා. මම කැමැත්තෙන් හිටියා හිස මුඩු කරන්න. ඒ්ත් ගෙදරින් දැඩි විරෝධයක් ආවා. මම කොණ්ඩේ කපනවාට මගේ සැමියා අම්මවත් කුලප්පු කරගෙන මගේ ආශාවට දැඩි විරෝධයක් පාල මම මෙහෙණින් වහන්සේ කෙනෙක්ට රඟපාන්න හිස මුඩු කිරීම වැළැක්වුවා. ඒත් අදටත් මම ආශයි මෙහෙණින් වහන්සේ කෙනෙක්ට රඟපාන්න. හැබැයි අදත් මම එහෙම දේකට තට්ටේ ගෑවොත් මගේ හස්බන්ඩ් මාව ගෙදරටවත් ගන්න එකක් නෑ.

රංගන ශිල්පිනියකට අමතරව ඔබ හඬ කැවීම් ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා නේද?

සිරසේ බන්දු මලිත් හෙට්ටි ආරච්චි තමයි මට ඩබින්වලට මුලින්ම ආරාධනා කරන්නේ. පොප් කෝන් කියල සිරසේ කොමඩි ඩ්‍රාම එකක් කළා එකේ රෝසිට ඇට් කළේ මම. කාටුන් වැඩසටහන්, මේ ආදරයයි, වීරකාටුන්, දේශපාලන කමර්ෂල් ආදී බොහොමයකට මම හඬ කැවීම් අංශයෙන් දායක වෙලා තියෙනවා.

ඔබට මේ ගමන එන්න ආලෝකයක් වූ අත් උදව් කරුවොත් ඇති නේද?

චින්තක කුලතුංග, කීර්ති රත්නායක, නුවන් විජය ශ්‍රී, සංජුල දේවාරත්න, පි‍්‍රයන්ත රංජන්, ජූඩ් ශ්‍රීමාල්, සරත් කුලාංග, විජය නන්දසිරි මට මේ ගමන එන්න ලොකු ශක්තියක් අත්කර දුන්නා. මගේ පවුලේ කවුරුවත් මට රඟපාන්න එනවට කැමති වුණේ නෑ. මම හිතුවක්කාර ගමනක් තමයි රංගනයට එන්න ආවේ. ඒත් අද මගේ පවුලේ සියලු දෙනාගේම ආදරය මගේ ගමනට ලැබිල තියෙනවා.

රංගනයට ගිහින් නේද ඔබේ ස්වාමියත් ඔබට හමුවන්නේ?

කීර්ති රත්නායකගේ විෂුවල් එකකට රූපගත කරන්න නුවර එළියේ ගිහින් ඉන්න කොට තමයි මට සංජුල හම්බවෙන්නේ ඒ හදාගත්ත ආදර කතාව විවාහය දක්වාම පැමිණෙනවා. අපි 2010 වසරේ විවාහ වෙනවා. අපි දෙන්නා හමුවන්නට පෙර කොහේදිවත් ඊට කලින් හමුවෙලා තිබුණේ නෑ. ඒත් මට මේ පුද්ගලයා කොහේ හෝ දැකල මගේ හිතේ රූපකායක් රැදිල තිබුණා. කොහොම හරි ඒ කැරොකේ විෂුවල් එකේ දී අපි දෙන්නා එකට හමුවුණා. අර මගේ හිතේ තිබුණ රූපකාය යළිත් මගේ දෑස ඉදිරිපිට ජීවමාන වුණා. අපි අතර හැඳුනුම්කමක් ඇති වි ඒක ආදරයකට පෙරළුණා. අද මම පිළියන්දල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගන්න දින්හස් දින්සිත් පුතාගේ අම්මා. පුතා අභිනය රංගනයට හරි ශූරයෙක්. ඒත් පුතා නම් කවදාවත් රංගනයට නම් එන එකක් නෑ. දෙමව්පියන් හැටියට අපි දෙන්නා ගෙවන අවිවේකී ජීවිතය දැකල.

 

[email protected]

සේයාරූ - ශාන් රූපස්සර