වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
සිහින නෙළුම් මල් ගීතය පසුපස සංවේදී අත්දැකීමක් තියෙනවා

අද මා අභියස සිටින්නේ ඔබ අප කවුරුත් හඳුනන කැන්ඩි ලමිස්සි ය. 70 දශකය අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වූ කැන්ඩි ළමිස්සි නැමැති ආන්දෝලානාත්මක ගීතය ගයමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි ඇය බටහිර සංගීත ක්ෂේත්‍රය තුළ මුද්‍රාව තැබූ ගායිකාවකි. වසර 50 ක කාල පරාසයක් පුරා අඛණ්ඩ ජනප්‍රියත්වය දිනා ගනිමින් බටහිර සංගීත ක්ෂේත්‍රය තුළ සිය අනන්‍යතාවය ගොඩනගාගත් ඇය ගායනයෙන් පමණක් නොව සංගීත ඥානයෙන් ද පොහොසත් ය. බටහිර සංගීත ක්ෂේත්‍රය තුළ ඉහළින්ම වැජඹී සිටින ගායිකාවක ලෙස ඇයගේ නාමය හැඳීන්විය හැකිය.
ඇය මරියසෙල් ගුණතිලක ය.
මරියසෙල් ගායනා ක්ෂේත්‍රයට පිවිසෙද්දී ඇගේ වයස අවුරුදු 10කි. ජෝන් ද සිල්වා ගේ මුනුපුරකු වු මාකලන්දගේ රාජ් භද්‍ර ද සිල්වා ඇගේ පියා ය. සංගීත ඥානය ඇයට උරුම වූයේ ඇගේ පියාගෙනි. නානා මාදිලියේ සංගිත භාණ්ඩ වලින් ඇඟේ නිවස පිරි ඇත. ඇය ගිටාරයේ තත් පිරිමදිනවිට ඇය පුංචි දැරියකි.
අඩසිය වසරක් ගායන ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ මරියසෙල් ගුණතිලක ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 700 කට ආසන්න වන අතර ගීත ගැයු කැසට් පට සහ සංයුක්ත තැටි සංඛ්‍යාව තිහක් පමණ වේ. යොවුන් සිහින ලෝකෙ, රණ මොනර යි, ලෝකෙ වටේ, නාමල් ඉතිරෙන, ළහිරු වැටෙන වෙලේ,ඉස්සර ළපටි කුරුම්බා, මුළු රැයක් පුරා, ඔබ මගේ කියා ගැයූ ගී, හද තුළ නොමැකෙන, නෙළුම් මලේ පෙති කඩලා, වෙස් මුහුණු බැඳන්, තුරුළේ,රෝස මල් යහන, ආදී ගීත ගණනාවක් ගැයූ අදටත් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය කිරුළ හිමි ඇය සංගීත ඥානයෙන් ද පිරිපුන් ගායිකාවකි
මගේ මතකය හරි නම් ඔබ observer talent search වැඩසටහනෙන් දොරට වැඩිය ගායිකාවක් ?
ඔව්... ලේක්හවුස් ආයතනයේ ඔබ්සවර් පුවත්පත සංවිධානය කළ observer talent search වැඩසටහන තමයි මාව ගායිකාවක් කිරීමට පසුබිම සලසා දුන්නේ.
ඒ 1969 වසරේ. මම පුංචි සන්දියේ පටන් ගිටාර් වාදනය කරනවා ගීත ගායනා කරනවා. මගේ වයස එතකොට අවූරුදු 10 විතර ඇති. මගේ කටහඬ ඇහිලා අපේ අසල්වැසියෙක් වන fire flys සංගීත කණ්ඩායමේ මෙල්රෝයි පීටර්, Observer Talent Search වැඩ සටහනට සහභාගි කරවීම සඳහා අයැදුම් පත්‍රයක් මගෙන් බලෙන්ම ඉල්ලලා ගත්තා. මට එතරම් තේරුමක් නෑ. ඒ කාලේ.
කටහඬ පරීක්ෂණ පැවැත්තුවා. මම එයින් තේරුණා. ගැස්ටන් de rosairo තමයි මගේ කට හඩ පරික්ෂා කළේ. ඔහු එකවර පැවසුවා Jetliners ගායක කණ්ඩායමේ මායා සිත්තම්පලම් හා සමාන කමක් මට තිබෙන බව. ඔහු පැවසූ කතාව නිසා මට විශාල ධෛර්යයක් ඇති වුණා. එදා පටන් Observer Talent Search වැඩසටහන වෙනුවෙන් මම පෙර පුහුණුවීම් කළා. ඒ සියලු පෙර පුහුණුවීම් මට ලබා දුන්නෙ මගේ පියා විසින්. කටහඬ පුහුණු කරනවා. ගිටාර් පුහුණුව ලබා දෙනවා. පාන්දර පහට නැගිටලා මට පුහුණුවීම් කරන්නේ. තරගය තිබුණෙ ගෝල්ෆේස් හෝටලේ බටහිර ගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන Dalreen Arnolda,, මිනෝන් රත්නම්, වින්ස්ටන් ජයවර්ධන, ට්‍රෙවන්ස් ෆොන්සේකා, හැරල්ඩ් සෙනෙවිරත්න, කීර්ති ශ්‍රී කරුණාරත්න තමයි විනිසුරුවන් ලෙස සිටියේ මට අදහගන්නත් බෑ. මාව තේරුණා. එදා මට ලැබුණු මුදල් ත්‍යාගය වටිනාකම රුපියල් 250 යි. වෙනත් විවිධ තෑගි මට ලැබුණා.
ඔබ ගායිකාවක් පමණක් නොවෙයි සංගීත ඥානය ඔබට තිබෙනවා එයට පසුබිම සැලසුණේ කොහොමද?
කුඩා කල සිටම අපේ ගෙදර සංගීත භාණ්ඩ තිබුණා. මම සම්භාව්‍ය සංගීතය හදාරපු කෙනෙක්. ගිටාර් වාදනය ඉගෙන ගත්තෙ වින්සන්ට් ජයවර්ධනගෙන්. අපට අවශ්‍යයි කියන ඕනෑම සංගීත භාණ්ඩයක් තාත්තා මිලදී ගෙනත් දුන්නා. ඒ නිසා මට බොහෝ සංගීත භාණ්ඩ වාදනය කිරීමට හැකියාව තිබෙනවා. ගිටාර් පමණක් නොවෙයි විදුලි ඕගනය, පියානෝ, ඩ්‍රම්ස් ආදී සියල්ලම වාදනය කළ හැකියි.
වාදනයෙන් ලැබූ ආභාසය මගේ සංගීත ඥානය පොහොසත් කළා. එයින් ලද වාසිය වන්නේ යම්කිසි ගීතයක් නිර්මාණය වෙද්දී විවිධ වූ වාද්‍ය භාණ්ඩ යෙදිය යුතු ස්ථාන පිළිබඳ මට දැනුමක් අවබෝධයක් ලැබීමයි. ගීතයට උචිත ආකාරයට සංගීත මෙවලම් යොදමින් ගීතය වඩාත් පෝෂණය කිරීමට එය ඉවහල් වුණා.
ඔබ කුඩා කල සිටම සංගීත කණ්ඩායම්වල සම්බන්ධ වූ කෙනෙක් නේද?
ඔව්... ප්‍රථමයෙන් මට අවශ්‍ය වුණා ගැහැනු ළමයින්ගෙන් පමණක් සමන්විත සංගීත කණ්ඩායමක් බිහි කිරීමට. ඇත්තටම ඒ වන විටත් මට වයස අවුරුදු 11 ක් පමණ ඇති. ගැහැනු ළමයින් ගෙන් පමණක් සමන්විත සංගීත කණ්ඩායම ආරම්භ කළා. මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දුන්නේ මගේ පියා. සංගීත කණ්ඩායමේ පුහුණුවීම් සිදු කළේ පෝය දවසේ fire flyers සංගීත කණ්ඩායමේ පිරිස තමයි අපට පුහුණුවීම් කළේ .
පසුව ජූනියර් Rydamiers කණ්ඩායමේ ගායිකාවක ලෙස කටයුතු කරන්නට මට අවස්ථාව හිමි වුණා. පසුව එමරල්ඩ්, Midnight mist,, මදාරා ආදි සංගීත කණ්ඩායම් ගණනාවක සම්බන්ධ වී කටයුතු කළා. බොහෝ විට ගායනා කළේ බටහිර ඉංග්‍රීසි ගීත. ඊට අමතරව මම ගුවන් විදුලියේ ඉංග්‍රීසි අංශයේ ගීත ගායනා කළා. ඉන්පසුව ඉන්ද්‍රානි පෙරේරා ඇතුළු ත්‍රී සිස්ටර්ස් කණ්ඩායමේ ගීත ගායනා කළා. ඒ අතර වාරයේ සියැක් නායක රෝහිත ජයසිංහ මට ආරාධනා කළා. ඔහුගේ ප්‍රසංගවලට ගීත ගායනා කිරීමට පැමිණෙන ලෙස. එහිදී මම වැඩිපුර ගායනා කළේ ඉන්ද්‍රානි පෙරේරා සහ Three Sister's ගීත. එදත් අදත් හෙටත් මම ඉන්ද්‍රානිට ගරු කරනවා. හේතුව ඇය කිසි දිනක ඇගේ ගීත ප්‍රසංග වේදිකාවේ එදා මම ගයද්දී මට අකුල් හෙළුවේ නැහැ. ඇය මට ආශීර්වාද කළා.
ඔබ ක්ෂේත්‍රයට පිවිසියේ කැන්ඩි ලමිස්සි සමඟ විශාල ජනප්‍රියත්වයක් දිනා ගෙන. අපි අතීතයට ටිකක් යමු
කැන්ඩි ළමිස්සි මගේ ගායන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයයි. මෙම ගීතය නිර්මාණය වුණේ අහම්බෙන්. Blue Sapphire බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් වාදක කිටෝ චන්ද්‍රසේන විහිළුවට වගේ ගීතයක් රචනා කළා. ඒ ගීතය විශේෂයෙන්ම කාන්තා පක්ෂයට පොඩි උපහාසයක් දැක්වීම සඳහා ලියැවුණු ගීතයක්.
මේ කාලයේ මට අවශ්‍ය වුණා මගේම කියලා ගීතයක් නිර්මාණ කරන්නට. මට මතක් වුණා කැන්ඩි ළමිස්සි ගීතය යෝග්‍යයි කියා. මම කිටොගෙන් ගීතය ඉල්ලුවා. ඔහු මට ලිඛිතව ගීතය දුන්නා. මෙහි පදමාලාව ඇතැම් ස්ථාන මම කාන්තාවකට ගායනා කිරීමට උචිත වන පරිදි වෙනස් කළා. ගීතේ තනුව ඇමරිකාවේ කපු කොටුවල ගායනා කරන පැරැණි ගීතයක තනුවක්. එය අපේ සංගීතයට ගැළපෙන ආකාරයට වේග රිද්මයානුකූලව මම වෙනස් කළා. මෙම ගීතය මම එමරල්ඩ් කණ්ඩායමත් සමඟ ‘ආකාස කඩේ’ ගායනා කළා . පුදුම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එම ගීතයට ලැබුණා. ගීතය කෙතරම් ජනප්‍රිය වූවාද කියතොත් මගේ තාත්තා තීරණේ කළා ගීතය පටිගත කරන්නට. මේ ගීතය පටිගත කළේ ජෙම්ටෝන් ලේබලය යටතේ. ගීත තැටි 250 එකවරම නිකුත් කළා. දින තුනකින් සියල්ලක්ම විකිණී අවසන්. ගීතය පැය 24 කින් ලංකාව පුරා නන් දෙස ජනප්‍රිය වුණා. තරුණ පරම්පරාව ඉතා ආදරයෙන් ගීතය වැලඳගත්තා. නමුත් ප්‍රබුද්ධ ඇතැම් පිරිස් මාව නිර්දය ලෙස විවේචනයට ලක් කළ හේතුව ළමිස්සි කියන වචනෙ භාවිත කිරීම නිසා.
ක්ෂේත්‍රයට පැමිණි මුල් අවදියේදීම ඔබ ජීවිතයට මහා අනතුරක් සිදුවුණා. ඔබගේ ජීවිතේ ගැලවුණේ පුදුමාකාර ලෙස. ඒ පිළිබඳ කතා කරමු
අපි සංගීත කණ්ඩායම (Midnight Mist) නුවරඑළිය ප්‍රසංගයකට සහභාගි වී නැවත නිවෙස බලා ඒමේදී බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදුවුණා. එකපාරටම අප පැමිණි වාහනය පාරෙන් ඉවතට විසිවී ප්‍රපාතයට ඇද වැටුණා. වාහනය පෙරළමින් ප්‍රපාතයට යද්දී වාහන සිටි පිරිස එකිනෙකා විසිවී එළියට වැටුණා. වාහනය කළු ගලක වැදී නතර වෙද්දි අවසානයට වාහනයෙන් විසිවුණේ මම. මගේ තුනටිය කැඩුණා. මම ලේ ගංගාවක් මැද. අම්මා මගේ ළඟ ඉඳන් අඩනවා. එදා මේ ලෝකෙන් සමුගන්නට තිබුණු මොහොතක්. නමුත් මගේ වාසනාවට වාහනයක් පෙරළෙනවා මහත්මයෙක් දැකලා වහාම අපි වැටුණු තැනට ඔහුගේ වාහනය රැගෙන ආවා.මිනිස්සු බොහොම අමාරුවෙන් මාව වාහනයට දමා නුවරඑළියෙ රෝහලට ගෙනාවා. ඒ වන විටත් මගේ තුනටිය කැඩිලා, ඉල ඇට තුනක් කැඩිලා, උරහිස් ඇටේ පැනලා, ලේ ගලනවා. මාව රෝහලට ගෙනවිත් තිබූ මොහොතේ සැත්කම සිදු කළ වෛද්‍යවරයා කෑම එකත් පසෙක දමා ඇවිත් මට සැත්කම සිදු කළා. ඇත්තටම ඒ දවස්වල රෝහලේ X-ray Machine කැඩිලා යටිතල පහසුකම් බොහොමයක් අඩුයි. අසීරු අවස්ථාවක්. දින තුනක් ගත වෙනකම් මගේ ජීවිතේ පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි යැයි වෛද්‍යවරයා පැවැසුවා. වෛද්‍යතුමා හැකි උපරිමය යෙදුවා මගේ ජීවිතේ බේරගන්න.නුවරඑළිය රෝහලේ සමහර බෙහෙත් වර්ග තිබුණෙ නැහැ. තාත්තා කොළඹ ඉඳන් බෙහෙත් එවනවා. දෙවියන් වහන්සේගේ හාස්කම තුළින් මගේ ජීවිතය බේරුණා. මාස එකහමාරක් මම රෝහලේ ඇඳ මත හිටියේ. මම ක්ෂේත්‍රයට පැමිණ ජනප්‍රිය වී සුළු කලකින් මෙවැනි බිහිසුණු අවාසනාවන්ත අමිහිරි අත්දැකීමකට මුහුණ දීමට සිදුවුණා. විශේෂයෙන්ම මගේ තරුණ වයසෙදි. අද මම ආපස්සට හැරී බලද්දී මගේ ජීවිතේ ගැන මට පුදුමයි. මම එදා මියගියා නම් අද මරියසෙල් කෙනෙක් නැහැ.
ඔබගේ ගායන දිවියට ආලෝකයක් වූයේ ක්ලැරන්ස් විජේවර්ධන ඔබ සොයා පැමිණියා ද ? එසේත් නොමැති නම් ඔබ ඔහු සොයාගෙන ගියාද ?
මම මාස හයක් කොන්ත්‍රාත්තු අත්සන් කර තිබුණා. සංගීත ප්‍රසංග පැවැත්වීම සඳහා කත්මණ්ඩු නුවර. ඒ කාලේ තුළදී දවසක් ක්ලැරන්ස් මාව හොයාගෙන අපේ ගෙදරට ඇවිල්ල මම නොසිටි නිසා ක්ලැරන්ස් අම්මට පණිවුඩයක් දී තිබෙනවා. මම ලංකාවට පැමිණි වහාම ඔහු මුණගැසෙන්නට කියා. මම ලංකාවට පැමිණියාට පසු ඔහු මුණගැහෙන්න ගියා. ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ වෘත්තියෙන් සංගීතඥයෙක් පමණක් නොවෙයි, නිර්මාණශීලී සංගීතඥයෙක්, ගායකයෙක්, පද රචකයෙක්, මහා දැවැන්ත චරිතයක්. ඔහුගේ නිර්මාණ හැකියාව පිළිබඳව රටම දන්නවා. ඔහුගේ නිර්මාණ සඳහා මාව දායක කර ගැනීම ඔහු මට ඇරයුම් කළත් මා තුළ පැවතියේ බියක් සහ චකිතයක්. හේතුව ඔහු වැනි දැවැන්ත චරිතයක් ඉදිරියේ මම ඉතා සුළු කෙනෙක් වීමයි.
නිර්මාණවලට මාව සම්බන්ධ ගැනීම පමණක් නොව පර්යේෂණාත්මක වූ විශේෂ නිර්මාණ සඳහා ඔහු භාවිත කළේ මගේ කටහඬ. පසුව ඔහු මාත් සමඟ එක්වී ‘මදාරා’ නැමති සංගීත කණ්ඩායම ආරම්භ කළා. ‘මදාරා’ සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ශිල්පිනිය මෙන්ම ගායිකාව වුණෙත් මම. ක්ලැරන්ස් මට නිර්මාණය කළ ගීත අතිශය ජනප්‍රිය වුණා. අදටත් ප්‍රසංග වේදිකාවේ මම ගායන ගීත බොහෝ ගීත නිර්මාණය වුණේ ඔහු අතින්. ඒ සමඟම ස්ටැන්ලි පීරිස්ගෙ සංගීතයට මා ගායනා කළ ගීත අදටත් ජනප්‍රියයි.
ඔබ චිත්‍රපට පසුබිම් ගීත ගායිකාවක් නේද?
චතුමධුර, ආදරණීය වස්සානය, ආදර රත්නේ, චලිත රංගාලී, Heart FM, සිංහයන්ගෙත් සිංහයා, ඇගේ වෛරය ආදී චිත්‍රපට කීපයකට පසුබිම් ගීත ගැයුවා.
සිහින නෙලුම් මල් පොකුරු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කළා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා
මේ ගීතය ඔබ ආ ගමන් මඟ වෙනස් කළ ගීතයක්. කතා කරමු ඒ පිළිබඳව?
අදටත් නෙතු අග කඳුළු කැට පුරවාගෙන සංවේදීව මම මේ ගීය ගයන්නේ උත්තරීතර මව් පදවිය මට උරුම කර දුන් මාගෙ පුතු ටෙෂාන් කෙරෙහි බැඳුණු උතුරා ගිය දරු සෙනෙහසින්.
මේ ගීතය පිටුපස එක්තරා සිද්ධියක් තිබෙනවා. මට පුතා ලැබෙන්නට සිටිද්දී දරුවා පිළිබඳ තිබුණේ අවිනිශ්චිත තත්ත්වයක්. බොහෝ දෙනා කිව්වේ දරුවා මට අහිමි වේවි කියා. නමුත් වෛද්‍ය විල්ප්‍රඩ් පෙරේරා ස්කෑන් කරල බැලුවම දරුවාගේ හදවත ගැස්සෙන රාවය ඔහුට දැනුණා. ඒක දුටු පසුවයි ඔහු නිගමනයකට ආවේ බයවෙන්න එපා දරුවා ජීවත් වෙනවා කියා. මේ ගීතය ගයන හැම මොහොතකදීම ඒ සිද්ධීන් මගේ මතකයට එනවා. ගීතය ලිව්වෙ අජන්තා රණසිංහ. දවසක් අපේ ගෙදරට ඇවිල්ල දරුවා දිහා බලාගෙන හිටියා. පුතා පිළිබඳ තොරතුරු සියල්ල මාගෙන් විමසා ඔහු සින්දුව ලිව්වේ. තනුව සහ සංගීතය රොෂාන් ද සිල්වා ගෙන්. පුතාගේ පළමුවැනි උපන්දින තෑග්ග තමයි මේ ගීතය. 1994 මේ ගීතය පටිගත කරද්දී මගේ හදවත සංවේදී වුණු වාර අනන්තයි. ඇස්වල කඳුළු කැට පුරවාගෙන ගීතය ගායනා කළේ. පාන්දර 4 ට ගීතයේ පටිගත කිරීම නිමවුණේ. ඇත්තටම මේ පද මාලාවේ පමණක් නොවේ සංගීතයත‍් හැඟීම්බර යි. මව සහ පුතු අතර තිබෙන නොබැඳී සෙනෙහස සංගීතයෙන් සහ පද රචනාවෙන් පසක් වෙනවා. මේ ගීතය පුතාලා සිටින මව්වරුන් කාටත් පොදුයි.
පුතා ඉන්නේ ලංකාවේද?
නැහැ. ඔහු දැන් ඉන්නේ එංගලන්තෙ පී.එච්.ඩී කරන්නට එංගලන්තෙට ගියා. මගේ ජීවිතේ එකම ප්‍රාර්ථනය මගේ පුතා. එයා හොඳ ළමයෙක්. ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇතිව ජීවත්වන කෙනෙක්. කෙනෙකුගේ දුක දකින්න පුළුවන් සංවේදී හදවතක් ඔහුට තිබෙනවා. කලාවට ආදරේ වගේම කලාවට දක්ෂයි. ඊට වඩා ප්‍රිය කරන්නේ අධ්‍යාපනයෙන් ඉහළට යන්නට. ඔහු ඉංජිනේරුවෙක් හැටියට කටයුතු කරන්නේ.
ඔබ කලා ක්ෂේත්‍රයට පැමිණ වසර 50ක් ඉක්ම වී තිබෙනවා. තරුණ පරපුර හා කරට කර ගී ගයමින් අදත් ඔබගේ ජනප්‍රියත්වය අඛණ්ඩව පවත්වා ගෙන ආ ගායිකාවක්. ක්ෂේත්‍රයේ පැවැත්මට ලෙහෙසි පහසු කාර්යයක් නොවේ නේද?
ජනප්‍රියත්වය පවත්වාගෙන යාම සඳහා ඕනෑම කලාකරුවෙකුට පදනමක්, ඉලක්කයක්, කැපවීමක් තිබිය යුතුයි. ගායන හැකියාවට අමතරව මා සංගීතය ප්‍රගුණ කළ කෙනෙක්. සංගීත ඥානය ගීතයක් ජනප්‍රිය කරවීම සඳහා බොහෝ සේ ඉවහල් වන බව මම විශ්වාස කරනවා. මම හිමින් ගමනක් පැමිණි කෙනෙක්. මුල් යුගයේ ‘කැන්ඩි ළමිස්සි’ අතිශය ජනප්‍රිය වුණා පමණක් නොවේ පසුකාලීනව මම ගායනා කළ බොහෝ ගීත ජනතාව ආදරයෙන් වැළඳගත්තා. ඒ ගීත ශ්‍රාවකයින්ගේ සවන්පත් මත අදත් රැඳී තිබෙනවා.
මම කිසිදාක හිස උදුම්මාගෙන ජීවත් වන කෙනෙක් නොවෙයි. වේදිකාවේ මම මරියසෙල් ගුණතිලක වුණත් නිවසේ මම සාමාන්‍ය කාන්තාවක්. කා සමඟත් හොඳීන් සිටීම මගේ ප්‍රාර්ථනය. මම බටහිර සංගීත ක්ෂේත්‍රයෙන් බිහිවූ ගායිකාවක්. ඒ යුගයේ මගේ සිහින කුමරියන් වූයේ ඩෙල්රින් සහ මිනෝන් අදටත් මම ඒ දෙදෙනාට ආදරෙයි. ඒ වගේම ඉන්ද්‍රානි පෙරේරා ට මම ගරුත්වය දක්වනවා.
සේයාරූ - දයාන් විතාරණ