එදා අප වටා තිබූ පසුබිම ආලෝකයක් වුණා

ජනප්‍රිය ගායක අනිල් භාරතී
දෙසැම්බර් 22, 2022

 

ජනපි‍්‍රය ගායක අනිල් භාරතී විසින් සිය නවතම නත්තල් ගී එකතුව මේ  වනවිට සංගත තැටියක් ලෙස නිකුත් කොට තිබේ. මෙරට නත්තල් ගීත ගායනයේ වැඩිම දායකත්වයක් දැක්වූ ගායකයා ද වන ඔහු නිකුත් කර ඇති ගීත එකතුව හා දශක පනහකට අධික සිය ගායන දිවියේ සංධිස්ථාන පිළිබඳ මතකය අවදි කළ ආකාරයයි මේ.

 

ඔබේ ගායන දිවියේ සංධිස්ථානයක් බඳු බෙත්ලෙහෙම් පුරේ ගීතයට ලාංකේය සමාජයේ ඇති ඉහළ ප්‍රතිචාරය පිළිබඳ ඔබට දැනෙන්නේ කුමක්ද ?

බෙත්ලෙහෙම් පුරේ ගීතය 1972 ගායනා කළේ. එය එක රැයින් ජනප්‍රිය වූ ගීතයක් බවට පත් වුණා. ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුඛ ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමේ ඉඳීද්දීයි මම මේ ගීතය ගායනා කළේ. මේ ගීතය නිර්මාණය කළේ ක්ලැරන්ස් විජේවර්ධනයි.

එවකට ක්ලැරන්ස් විජේවර්ධනට වුවමනා වුණා නත්තල් ගීයක් නිර්මාණය කරන්න. විශේෂත්වය වුණේ කිතුනු නොවන බෞද්ධ අයකු ලවා මෙහි පදමාලාව ලියවා ගැනීමට ඔහුට තිබූ ඕනෑකමයි. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ ප්‍රවීණ ගේය පද රචකයකු වූ කරුණාරත්න අබේසේකරයි. ඒ මොහොත වනවිටත් එහි තනුව හදලයි තිබුණේ. ඊට පදමාලාවක් නිර්මාණය කර දෙන්න කියායි ක්ලැරන්ස්, කරුණාරත්න අබේසේකර මහත්මයාගෙන් ඉල්ලුවේ. එතනදී අබේසේකර මහතා නත්තල පිළිබඳ පණිවිඩයක් හරි ලස්සනට ඒ තනුවට ගළපා දුන්නා. එය මැවී පෙනෙනසුලු පදමාලාවක්. එවැනි ගීයක් ගායනා කරන්න ලැබීම මගෙ වාසනාවක් වැනියි. එලෙස එක රැයින් ජනප්‍රිය වන්න නම් තනුව පදමාලාව හා ගායනය යන අංශ තුනම සාර්ථක විය යුතුයි. මේ ගීතය එබඳු ගීයක්. මේ ගීතය ගායනා කිරීමෙන් පසු නත්තල් ගීත ගායනය සඳහා විශාල වශයෙන් ආරාධනා ලැබුණා. එවකට තිබුණෙ කැසට් පට. එබඳු නත්තල් කැසට් පට සඳහා  ගායක ගායිකාවන් කීපදෙනකුගේම ගීත එක් කරලයි ඒ කාලෙ කැසට් පට නිකුත් කළේ. ඒ කාලෙ ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද, මර්වින් පෙරේරා ආදි කිතුනු ගායක ගායිකාවන් ලවා කළ කැසට් පට බොහෝ ජනප්‍රිය වුණා. ඒ සඳහා නිරන්තරයෙන් මාවත් සම්බන්ධ කර ගනු ලැබුවා. ඒ ආකාරයට හතළිහකට අධික නත්තල් ගී ප්‍රමාණයක් මා ගායනා කර තියෙනවා. ඉතින් කාලයත් එක්ක කැසට් පට භාවිතයෙන් ඉවත්ව යෑමත් සමඟ බොහෝ දෙනෙක් මට යෝජනා කළේ මේ නත්තල් ගීත අභාවයට යන්න දෙන්න එපා කියලයි. ඒ නිසා නව පරපුරටත් ඒවා අසන්න ඒ ගීත ටික සී ඩී පටයකට නඟන්න හිතුවා. එහිදී ජනතාව අතරට ගිය හොඳම නත්තල් ගීත දොළහක් සහිතව මේ සී ඩී තැටිය එළිදැක්වූවේ. එහිදී කිසිම වෙනසක්  නොකරමින්  නව තාක්ෂණය යටතේ සංගීතය මුසු කරමින් ඒ ගීත තැටිගත කිරීම කළා. එය සිදු කළේ මීට වසර කීපයකට උඩදීයි. නමුත් පසුගිය සමයේ රටේ ඇති වූ වාතාවරණය සමඟ එය සුවිශේෂ ව එළිදක්වන්න ලැබුණෙ නෑ Original Christmas songs Anil Bhareti  ලෙසයි එය නම් කර තියෙන්නේ.  දැන් ඒ සී ඩී තැටිය ජනගත කර තිබෙන නිසා මා ආරාධනා කරනවා හැමෝටම ඒ ගී මේ උත්සව සමයේ රස විඳීන්න කියාත්. ඒ ගී පිළිබඳ කතා කරන්න කැමැති නම් 0777748503 අංකය ඔස්සේ මා සමඟ කතා කරන්න ඔබට පුළුවන්.

 

ගායන ක්ෂේත්‍රයේ දශක පහක ගමන් මඟ නැවත ආවර්ජනය කළොත් මතකයට නැඟෙන්නේ මොනවාද ?

මම දශක පහක් සංගීත ක්ෂේත්‍රයේ සිටින කෙනෙක්. කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය ඔස්සේයි ගායනයට පිවිසුණේ. ඒ ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුඛ ගෝල්ඩන් චයිම්ස් සමඟයි. පසුව ක්‍රමයෙන් ස්වාධීන ගායකයකු ලෙස ගොඩනැඟුණා. එදා මෙදා තුර එකසිය පනහකට අධික ගීත ප්‍රමාණයක් ගායනා කර තියෙනවා. මුලින්ම ගායනා කළේ ' අද වෙයි ඉරුදින' කියන ගීයයි. ක්ෂේත්‍රයේ මාව හඳුනා ගත් හැරවුම් ලක්ෂ්‍යය ඒ ගීතයයි. ඊට පසු ක්ලැරන්ස් මට ගීත දහයක් පමණ නිර්මාණය කර දුන්නා. කවදත් මම ගයන්නේ මගේම ගීත පමණයි. අනුන්ගෙ ගීත ගයන්නෙ නෑ. මගේ ම අනන්‍යතාවක් ගොඩනඟාගෙනයි මම ගීත ගායනා කළේ. ඒ අවධියේ සංගීත කණ්ඩායම්වල නිර්මාණය වූ ගීත බොහෝ විට හැඳීන්වූයේ සංගීත කණ්ඩායමේ නමින්මයි. මුල් ගායනය කළ ගායකයාගේ නමින් නොවේ. ඒ නිසා සංගීත කණ්ඩායම්වල නිර්මාණය වූ ගීත ගැයූ මුල් ගායක ගායිකාවන් හට තමන්ගේ නමක් මතු කර ගැනීමට බැරි වූ අවස්ථා තිබුණා. ඒ සමහර ගායක ගායිකාවන් යම් විට ගැයුවේ එක් ගීයක් ම පමණක් වූ අවස්ථා තිබුණා. යම් අවස්ථාවල ඒ එක ගීයම එක්වරින් ජනප්‍රිය වූ අවස්ථා තිබුණා. නමුත් මුල් ගායකයා සමහර විට මතු වුණේ නෑ. පසුකාලීනව එම ගිත කණ්ඩායමේ වෙනත් අයකු ගායනා කළ අතර ඒ ගීත පසුව ගායනා කළ අයගේ නමින් වඩා ප්‍රසිද්ධ වූ අවස්ථාත් තිබුණා. හැත්තෑව දශකය කණ්ඩායම් සංගීතය අතිශයින් ජනප්‍රිය වූ කාලයක්. ලා සිලෙනියන්, ලොස් කැබෙරෙලොස්, ලා බම්බාස් ආදි කණ්ඩායම් ගොඩක් ප්‍රචලිත වූ කාලයයි. ඒ කාලෙ ඝෝෂාකාරී සංගීත ක්‍රමයකට නොවෙයි මිනිස්සු හුරුවී සිටියේ. ගායකයොත් අඩුයි. අද වාගෙ ෂෝ එකකට ගායකයො විශාල පිරිසක් හිටියෙ නෑ.  කැලිප්සො සංගීත කණ්ඩායම් තමයි මුලින්ම ජනප්‍රිය වුණේ. ඊට පස්සෙ තමයි ඉලෙක්ට්‍රික් ගිටාර් ආදි  වාදනය කළ කණ්ඩායම් ඉදිරියට ආවේ.

 

ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ඇසුර කෙබඳු ආකාරයකටද බලපෑවේ ?

ඔහුගේ ආශ්‍රය වාසනාවක්. මම ජනප්‍රිය වුණේ ගෝල්ඩන් චයිම්ස් ඇසුරෙනුයි. ඔහු මට මුණ ගැසුණ හොඳ කණ්ඩායම් නායකයෙක්. ඔහුගේ ඇසුර, දැනමුතුකම්, හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබීම ආදි  ප්‍රබල හේතු වුණා මගෙ සාර්ථකත්වය ගොඩනැඟෙන්න. තවමත් පවතින්නේ ඒ ජනප්‍රියත්වයයි. එදා අප වටා තිබූ පසුබිමම අපට ආලෝකයක් වුණා. ක්ලැරන්ස් විජේවර්ධන දක්ෂයෙක්. සංගීත ක්ෂේත්‍රය වෙනස් කළ කෙනෙක්. සහජ දක්ෂතාව පෙරදැරිව සාර්ථක වූ කෙනෙක්. හොඳීන් නිරීක්ෂණය කළොත් හැම ගායකයකුටම වාගේ  ඔහු ගීයක් නිර්මාණය කර දී තිබුණා.  මිල්ටන් පෙරේරා ගායනා  කරන සිකුරුලියා වැනි ගීයක් ඊට හොඳ උදාහරණයක්. එබඳු ගීයක්  ක්ලැරන්ස් අතින් නිර්මාණය  වූවාදැයි  හිතා ගන්නත් අමාරුයි. ඔහු  එතරම්ම ශක්තියක් හා  හැකියාවක් තිබූ දක්ෂ  තනු නිර්මාපකයෙක්.

 

 

සමුද්‍රිකා වර්ණකුල

[email protected]