වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
‘ජෝති රාත්‍රිය’ අඛණ්ඩවම නිවේදනය කළේ මමයි

වසර පනහකට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ඉසව්වල සිය නම සේම රුව පවා ඉතා ස්ථාවර ලෙස රැඳ වූ ඔහු අදටත් ඒ සියල්ල අසන්නන්ගේ මතකයේ ඉතිර කර තිබීම සුවිශේෂ වේ. එක් අවධියකදී සිය පෞරුෂවත් කටහඬ සමඟ ගුවන් විදුලිය, ප්‍රසංග වේදිකාව මෙන්ම රූපවාහිනියේ ද කාර්ය බහුල සන්නිවේදකයකු වශයෙන් කටයුතු කළ ඔහු තවදුරටත් ජනතා අවධානය දිනාගනු ලැබුවේ ජනප්‍රිය ලේඛයකු ගීත රචකයකු චිත්‍රපට, නිෂ්පාදකවරයකු හා අධ්‍යක්ෂකවරයකු ලෙස එක් එක් අවධීන්හි කටයුතු කළ සුවිශේෂ ආකාරය හේතුවෙනි. ඒ අනුව දීර්ඝ කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ සිය හැකියාව ප්‍රකට කළ ප්‍රවීණ නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහ සමඟ කළ සාකඡාවක් ඇසුරින් සැකසුණු ලිපියකි මේ,
කරුණාරත්න අබේසේකර වැනි කෘතහස්ත සන්නිවේදකයකුගේ මුණ ගැසීම ඔබට බලපෑවේ කොහොම ද?
මේ ක්ෂේත්‍රයේ මගේ මුල් ගුරුතුමා ලෙස එතුමාගේ ගුරුහරුකම් තමයි මගේ වෘත්තීය දිවිය ආලෝකවත් කළේ. එතු මාගේ වැඩසටහන් වලින් සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිස කටයුතු කරන්න පටන්ගෙන දැන් වසර පනහකට අධික කාලයක්. එතුමා හැම අංශයකින්ම දක්ෂ කෙනෙක්. ප්‍රවෘත්ති නිවේදනයට සම්බන්ධක මැදිිරියේ කටයුතු, විස්තර විචාරය ආදී හැම අංශයකටම කටයුතු සඳහා එතුමා පරිණත බවක් දැක්වුවා. ඒ කාලයේ නවකයකු ලෙස මයික්‍රෆෝනය හැසිරවීමේ සිට බොහෝ දේ මම දැන උගත්තේ එතුමාගේ වැඩසටහන් වලට එක් වී ලද අත්දැකීම් ආශ්‍රයෙනුයි. 1967 මම සහන නිවේදකයකු බවට පත්වුණේ. කරුණාරත්න අබේසේකර මහතා තමයි මට මුලින්ම වෙළෙඳ වැඩසටහනක් බාර දෙනු ලැබුවේ. ඒක එතුමා සමඟම කළ වෙළෙඳ වැඩසටහනක්, ‘ඉලාස්ටෝ ලාලිත විලාසිතා’ නමින්. ඒ සඳහා නිවේදිකාවක් වෙනුවට එතුමා සම්බන්ධ කරගනු ලැබුවේ මාවයි. එතුමා වැඩසටහන ඉදිරිපත් කරද්දී මම තමයි එහි දැන්වීම් කියෙව්වේ. එය තමයි මගේ මුල්ම වැඩසටහන වුණේ.
සහන නිවේදකයකු වුණාට පසු මට කරන්න ලැබුණු මුල්ම වෙළෙඳ වැඩසටහන තමයි ‘ආදර කුසුම් - සුහද පැතුම්’ කියන වෙළෙඳ වැඩසටහන. කුසුම් පීරිස් සමඟයි. මම ඒ වැඩසටහන ඉදිරිපත් කළේ. ඉන්පසු දිගටම මම වෙළෙඳ වැඩසටහන් කළා. එක්තරා කාල තිබුණා සතියකට වෙළෙඳ වැඩසටහන් දාහතක් විතර කළා. මම තමයි ඒ කාලේ වැඩිම වෙළෙඳ වැඩසටහන් ගණනක් කර තිබුණේ.
එවැනි විශේෂත්වයකට පදනම් වූ කාරණා මොනවාද?
මං හිතන්නේ ඒ මගේ හඬ නිසයි. පැහැදිලි නිරවුල් ගැඹුරු හඬක් මට තිබුණේ. මම හිතන්නේ ඒවා තමයි ප්‍රධාන සාධක. කරුණාරත්න අබේසේකර මහතාගේ මඟ පෙන්වීමත් මට විශේෂ බලපෑමක් වුණා.
ජෝති රාත්‍රිය ඒක පුද්ගල ප්‍රසංගය පිළිබඳ මතකය අවදි කරමු.
ජෝති රාත්‍රිය ඒක පුද්ගල ප්‍රසංගයේ ආරම්භක නිවේදකයා වූයේ මමයි. ඒ කාලෙ දවසක් රෝයි මෙලෝනියස් කියන මහත්මයා පැමිණ කිව්වා ජෝතිපාල මහත්මයාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් ආරම්භ කරන්න අදහස් කරගෙන් සිටින බව. එහි සම්බන්ධීකාරක හා යෝජනාකරු ලෙස එදා එතුමා කියා සිටියේ ජෝතිපාල මහතා මාව මේ සඳහා සම්බන්ධ කරගන්නා ලෙස යෝජනා කළ බවයි. ඒ වනවිට එච්. ආර්. ජෝතිපාල මහතා සමඟ මගේ විශාල සම්බන්ධයක් තිබුණෙ නැතත් මාව මේ ප්‍රසංගයේ නිවේදන කටයුතු සඳහා යෝජනා කරගන්නා ලෙස එතුමා කියා තිබුණා. ඒ විදියට තමයි අපි අතරේ සම්බන්ධයක් ඇතිවුණේ. ඊට පස්සේ එතුමා සමඟ විශාල සම්බන්ධයක් ගොඩ නැඟුණා. අපි හොඳ මිතුරන් වුණා. එතුමා මියයන තෙක්ම ජෝති රාත්‍රියේ නිවේදන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ මෙහෙයවූයේ මමයි. ඒ කියන්නේ අතරතුර ප්‍රසංග කීපයක් පමණක් අතහරුණු කොට එතුමා කළ සෑම ප්‍රසංගයකම නිවේදන කටයුතු මෙහෙයවූයේ මමයි.
ඒ ප්‍රසංගයට සම්බන්ධ අමතක නොවෙන සිද්ධිත් බොහෝ තියෙනවා. එතුමා හරිම සුහදශීලීයි, කාරුණිකයි.ප්‍රසංගයකට සම්බන්ධ වී ඉන්න වෙලාවට ධ්‍යානයකට සම වැදුණු විදියටයි ඔහු වැඩ කළේ. ඒ කටයුත්ත හරියටම කරන්නයි ඔහුට ඕනෑ වුණේ. ප්‍රේක්ෂකයන් ඔහුට වශී වී සිටියේ. මම නම් හිතන්නේ එදා මෙදා තුර වැඩිපුරම මිනිසුන් අතරට ගිය ප්‍රසංගය එයයි. පොඩි මිනිහගේ මිනිහ තමයි ජෝතිපාල. වැඩිම ජෝති රාත්‍රිය ප්‍රසංග ප්‍රමාණයක් පැවැත්වුණේ මරදාන ටවර් රඟහලේ.එක ළඟ ළඟ ප්‍රසංග ගණනාවක් ඒ කාලෙ පැවැත්වුණා. ඒ වුණත් පුදුම සෙනඟක් හිටියේ. ටිකට් ගන්න විදියක් නැතිව හැරී ගිය මිනිස්සු හිටියා. ස්ටැන්ලි පීරිස් මහත්මයාගෙ ෆෝචූන්ස් වාදක මණ්ඩලය තමයි ප්‍රසංගය මුල සිට අග දක්වාම මෙහෙයවූයේ. කීර්ති පැස්කුවල්, මහින්ද බණ්ඩාර වැනි හොඳම වාදකයන් තමයි එදා එය මෙහෙයවූයේ.
ගායනයේදීවත්, වාදනයේදීවත් ඒ ප්‍රසංගයේ කිසිම වැරැද්දක් වුණේ නෑ. සජීවී ප්‍රසංගයක් වුණත් ජෝතිපාල මහත්මයගේ සිට වාදක මණ්ඩලයේ සාමාජිකයන් දක්වා පුදුම විදිහට, පිළිවෙළට නිවැරැදිව ඒ ප්‍රසංගය කළේ. ජෝතිපාල මහතා හරිම කැපවීමකින් ඒ ප්‍රසංගයේ කටයුතු කළේ.
ඒ යුගයේ ශ්‍රාවකයා හරිම විමසිලිමත්. ඔවුන් එදා නිවේදයකු පිළිබඳ සැලකිලිමත් වුණේ කොයි විදියට ද?
ඒ කාලෙ එක ගුවන් විදුලියයි තිබුණෙ. පෞද්ගලික නාලිකා බිහි වී තිබුණෙත් නැහැනෙ. රූපවාහිනිය තිබුණෙත් නෑ. ඒ නිසා ගුවන් විදුලිය ඇසුවේ නැතිනම් අහන්න දෙයක් තිබුණෙ නෑ. ඒ නිසා අපව නිරන්තරයෙන් ජනතා අවධානයට ලක් වුණා. නිවේදන කටයුතු අතර සිදුවන අපේ කටහඬේ ඇතිවන සුළු වෙනස්කමක් පවා මිනිස්සු හඳුනාගත්තා.
ආ ඒ මෙන්න මෙයා තමයි ඒ.ඒ කතා කරන්නේ අහවලා. අද එයාගේ හඬ අමුතුයි. ආදි වශයෙන් ඔවුන් හරි ඉක්මනින් එදිනෙදා අපව නිරීක්ෂණය කරන පුරුද්දක් තිබුණා. හඬින් ඔවුන් අපව හඳුනාගත්තේ ආයාසයෙන් තොරවයි. අපි දින කීපයක් ගුවන් විදුලියේ කතා කළේ නැතිනම් ඒ ගැනත් ඔවුන් සැලකිලිමත් වුණා. ඒ වගෙ පසුබිමක් එදා තිබුණේ.
සාමාන්‍යයෙන් ගුවන් විදුලිය අසන ශ්‍රාවකයකුගේ වැඩිම ළැදියාව තියෙන්නේ කුමක් සඳහා ද?
එතනදි අපේ සුහදතාව මුලිකයි. ගුවන් විදුලියේ ඇසෙන හඬ වාගෙම සජිවි හමුවකදි වුණත් අපේ එක වදනක් පවා ඔවුන්ට විශාල බලපෑමක් කරනවා. මඟ තොටකදී අපි හමු වී එක වදනක් කතා කළොත් ඔවුන්ට හරි සතුටුයි. විශාල ළෙන්ගතුකමක් අප ගැන තියෙන්නේ. මැදිරියක නිවේදන කටයුතු කරද්දී අපි කතා කරන ශෛලියට තමයි ඔවුන් කැමති. ආදරණීයව, ළෙන්ගතුව කතා කිරීම තමයි ඔවුන් අපේක්ෂා කළේ.
ඒ කාලයේ ගීත ප්‍රචාරය කිරීමේදී සැලකිලිමත් වූ කාරණා මොනවාද?
ශ්‍රාවකයා අහන්න කැමති ගීත තමයි අපි ප්‍රචාරය කළේ. ඒවාගෙම ආදර ගීත මිනිස්සු හැමදාමත් ප්‍රියකළා. ආදර ගීත අතරීනුත් විරහ ගීතවලට තමයි ශ්‍රාවකයන් වැඩියෙන්ම කැමති. ඉතින් ඔවුන්ගේ රුචි අරුචිකම් මැනවින් තෝරාබේරාගෙන ඔවුන්ගේ රසවින්දයත් නැංවෙන විදියටයි. වැඩසටහන් කළේ.
90 දශකයේදී ඔබ චිත්‍රපට නිෂ්පාදනයට හා අධ්‍යක්ෂණයටත් පෙලඹුණා. ඒ ක්ෂේත්‍රයේ අත්දැකීම් මොනවාගෙද?
මම චිත්‍රපට අටක් හදන්න දායක වුණා. එයින් සාර්ථකම එක තමයි හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ මල්සර දෝණි චිත්‍රපටය. එහි ගීත කුමාරසිංහ, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා ආදීන් ප්‍රධාන චරිත කළේ. නමුත් 70 දශකයේ මෙන් 90 දශකයේ චිත්‍රපට නිර්මාණය එතරම් ලාභදායක වුණේ නෑ. නමුත් 92 කළ මගේ පළමු වැනි චිත්‍රපටය මල්සර දෝණි සාර්ථක වුණා. ඉන්පසු චිත්‍රපට නම් එතරම් ආදායම් ඉපැයුවේ නෑ.
ඔබ ලේඛයකු විදියටත් අත්දැකීම් ලැබු කෙනෙක්.
ඔව්. මං පොත් හයක් පමණ ලියුවා. මුලින්ම ලියුවේ එරන්දි කියන නවකතාවයි. ඊළඟට සතුටයි කිරුලු අපේ. කියන නවකතාවයි ලිව්වේ. ඒක එරන්දි නව කතාවේ දෙවැනි කොටස විදියට ලියුවත් තනි නවකතාවක් විදියට වුණත් කියවන්න බාධාවක් නෑ. ඊළඟට නදීශානි කියන නව කතාවයි ලිව්වේ. ඒක මං ලියපු නදීශානි කියන ගීතයටත් ටිකක් සම්බන්ධ විදියටයි ලිව්වේ. ජය ශ්‍රී ධර්ම ශ්‍රී කියන පොත මගේ චරිත කතාව ඇසුරු කරගෙන ලියු එකක්. ගුවන් විදුලි ඉතිහාසයෙන් ලැබු අත්දැකීම් ඇසුරින් එය රචනා කළේ. ඊළඟට පොතක් ලියුවා නිවේදක සිහිනය සැබෑ කරගත්තේ කෙසේ ද නමින්. නිවේදකයකු වීමට ඒ සඳහා කෙසේ සුදානම් විය යුතු ද යන්න වාගෙම ඒ සඳහා සපුරාගත යුතු සාධක ඒ ග්‍රන්ථයේ කතා කරනවා. ඊළඟට දෙතොළඟ හසරැලි හා සඳ වියන යට කියන පොත් දෙක තමයි ලිව්වේ. දෙතොලග හසරැලි පොතත් ගොඩක් ජනපි‍්‍රය වුණා.
ඔබ ආරම්භ කර තිබෙන නිවේදන පාඨමාලාවේ කටයුතු කොහොමද සිදුවෙන්නේ.
එය ආරම්භ කළේ 2004 වසරේ දැන් ඊටත් අවුරුදු 18ක් සම්පුර්ණයි. ඒ යටතේ පාඨමාලා 50ක් සම්පුර්ණ කර තියෙවා.
ඒ සඳහා මුලිකව හේතු වුණේ භාෂාව පිළිබඳ විශාරදයන් කාලයක් පුරා දැරූ අදහසුයි. පෞද්ගලික නාලිකාවල නිවේදක නිවේදිකාවන්ගේ භාෂා භාවිතය පිළිබඳ ගැටලු ඔවුන් බොහෝවිට මතු කළා. ඔවුන්ගේ කතා බහෙන් භාෂාවට විශාල හානියක් වනවාය කියලයි ඔවුන් මතු කළේ. ඉතින් ඒ පිළිබඳ ඇති වූ සංවාදය සමඟ ඊට පිළියමක් ලෙස මේ පාඨමාලාව ආරම්භ කිරීමට අදහස් කළා. ඇත්තටම එය බෙහෙවින් සාර්ථක වුණා. එහිදී මගේ රසිකයන් වී සිටි පිරිස් ඔවුන්ගේ දරුවන් හා මුණුපුරන්වත් මේ පාඨමාලාව සඳහා යොමු කළා.
විශේෂයෙන් නව පරපුරට ඔවුන්ගේ නිවේදක සිහිනය ජයගන්න මඟ පෙන්වන්නයි මට ඕන වුණේ. ඉතින් ඒ වැඩපිළිවෙළත් මේ දිනවල සාර්ථකව සිදුවෙනවා.
ඔබ ලියූ ගීත රචනා පිළිබඳත් කතා කරමු.
අබේවර්ධන බාලසූරිය වෙනුවෙන් ලියූ ‘සිහිවටනය සේ’ ගීතය, ‘නදීශානි’ ගීතය, ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය වෙනුවෙන් ලියූ ‘වසර ගණන් ඇසුරේ සිටියත්’ ගීතය, චන්ද්‍රකුමාර් කඳනආරච්චි මහතා වෙනුවෙන් ලියූ ‘ඈත භවේ’, ‘වීණා’ වැනි ගීත වගේම දයාරත්න රණතුංග වෙනුවෙන් ලියූ ‘අදුරුතුමාණෙනි’ ගීතය ලෙස්ලි ප්‍රනාන්දු වෙනුවෙන් ලියු ‘මුහුදු තෙරේ සැන්දෑවේ’ ගීත විශේෂයි. මම මගේ දුව උරේෂා රවිහාරි වෙනුවෙන් ලියු එකම ගීතය වන ‘සඳ කිරණේ’ ගීතයත් විශේෂයි. උරේෂා වෙනුවෙන් ලියූ ‘සඳ කිරණේ’ ගීතය චිත්‍රපට ගීයක්.