වෘත්තීය ගෞරවය රැකගැනීමයි මට වැදගත් වුණේ

රංගන ශිල්පිනී, නිවේදිකා, නිෂ්පාදිකා මධුකා මඩවල
දෙසැම්බර් 15, 2022

 

 ඔබ වඩාත් ආසා කරන වෘත්තිය නිවේදන කාර්ය කිව්වත් අද වෙනකොට ඔබ ඒ සඳහා ආසයි බයයි වගේ හැඟෙන්නේ?

මම ආයෙත් ප්‍රවෘත්ති කියන්න යයි. ප්‍රවෘත්ති කියනවා කියන්නේ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මේක හරියට භාවනාවක් වගේ වැඩක් ඒ සඳහා කැපවෙන්න ඕනේ. ප්‍රවෘත්ති කියන එක මම සම්පුර්ණයෙන් නතර කරල නෑ. මම සමහරවිට ඉදිරියේදී කියයි.

දිගටම මම නිවුස් රීඩර් කෙනෙක් වශයෙන් කටයුතු කරන්න කොට මට නම් මගේ ආත්ම අභිමානය රඳවාගෙන මේ වෘත්තියේ තියන ගෞරවය කෙලසන්නේ නැතුව කටයුතු කරන්න මට අවශ්‍ය වූ නිසා මම කරගෙන ආ කටයුත්තෙන් අයින්වෙලා පැත්තකට වුණා. ඔය අතරේ ඊර්ෂ්‍යාව කුහකත්වය පිරි පුද්ගලයොත් නැතුවත් නොවෙයි.

මට වෙන ආයතනවලින් හොඳ ඔෆර් එකක් දෙන්නම් එන්න කියලත් ආරාධනා කළා. නමුත් ප්‍රවෘත්ති නිවේදිකාවක් කියල මුලින්ම මාව හඳුන්වාදුන්නේ අයි.ටී.එන්. එක මෙතැනදී මම හිතුවා වෙන නාළිකාවකට යනවා නම් මම යන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස නොවෙයි කියල මම බොහෝ විට බලාපොරොත්තු වුණේ එවැනි ආයතනයකට ගියොත් වැඩසටහන් නිවේදිකාවක් ලෙස යන්න. මගේ මේ අදහස වැරදි වෙන්න පුළුවන්. මම හිතුවේ මම අයි.ටී.එන් මේන් නිවුස් රීඩර් නම් මට පුළුවන් තාක් කල් එතන ඉන්නවා මම වෙන ආයතනයට යනවා නම් නිවුස් රීඩර් කෙනෙක් වෙන්නේ නෑ කියලා.

ප්‍රවෘත්ති නිවේදිකාවක් පමණක්ම වීම තුළ ඔබට හැඟෙන්නේ නැද්ද ඔබ එකම දේකට කොටු වෙලා කියලා?

ඕක හුඟාක් දෙනෙක් අහන දෙයක්. හැකියාව තිබිල අපි එකම දේට කොටුවෙලා ඉන්නේ කියලා. මම නම් කාගෙන්වත් තව දෙයක් මට කරන්න දෙන්න කියල ඉල්ලුවේ නෑ. කාගෙන්වත් තව වැඩසටහන් දෙන්න කියල පස්සෙන් ගියේ නෑ. මේ හින්දද මම දන්නේ නෑ මට ඒ අවස්ථා නොලැබුණේ. ලැබුණ දේ කරගෙන ඉන්නවා හැරෙන්න ඉල්ලගෙන කරන්න නොයෑම මගේ පෞද්ගලික දුර්වලතාවයක් ද මම දන්නේ නෑ.

 

වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව වෙන්න ඔබට හැකියාවක් ලැබුණාද?

නෑ මම දන්නෑ ඇයි කියලා. ආයතන වශයෙන් මමත් ඒ සම්මාන සඳහා ඉල්ලුම් කළා. නමුත් ලැබුණේ නෑ. 2015 -2016 කාලය වන විට අයි.ටී.එන් මේන් නිවුස් රීඩර්ස්ලා වුණේ. මම සහ ඉම්රාන් හමීඩ් ඒත් අපි දෙන්නට සම්මාන ඇගැයීමක් ලැබුණේ නෑ. අපි දන්නේ නෑ ඇයි කියලා.

 

රට තුළ පවතින අර්බුදකාරී වටපිටාවක් තුළ සිනමා ශාලා වැසී යන කාලවකවානුවක චිත්‍රපට නිෂ්පාදකවරියක් වීම ගැන ඔබට බියක් ඇතිවෙන්නේ නැද්ද?

මම හුස්ම ගන්න එක දෙයක් තමයි සිනමාව. මම ඉපදුණාට පස්සේ මගේ ගෙදර වටා තිබුණේ ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග ගේ පින්තූර. මගේ අම්මා තාත්තා කියන්නේ සිනමාවේ පේ‍්‍රක්ෂකයෝ. කොටින්ම කියනවා නම් චිත්‍රපට පිස්සෝ. අපේ ගෙදර වටේම තිබුණේ විජයගේ ගාමිණිගේ පින්තූර. මගේ ගෙදර සාමාජිකයන් දැක්කට පස්සේ මම කුඩා සන්ධියේ ඉඳල දැක්කේ. මේ අපේ ජනකාන්ත නළුවන්ගේ පින්තූර. මම ආදරය කරන්නේ ඒ පින්තූර වලට. මට නොතේරෙන වයසේ ඉඳල හෝල්වලට මාව අරන් යනවා. අම්මා, තාත්තා චිත්‍රපට පිස්සෝ නිසා මට නොතේරෙන දේවල් වුණත් ඒවා මගේ කන් ඇතුලේ තිබුණා. මට කිසිම අරමුණක් තිබුණේ නෑ. චිත්‍රපට නිෂ්පාදිකාවක් වෙන්න. හැබැයි මමත් චිත්‍රපට පිස්සෙක් කිව්වොත් හරි. අධික ලෙස චිත්‍රපට බලන කෙනෙක් මම. ලෝකෙ හැදෙන එක චිත්‍රපටයක් හරි මම දවසට බලනවා ඒක මගේ විනෝදාංශය.නිරන්තරයෙන් මේ දේවල් එක්ක ඉන්න කොට අපිට දකින්න තියනවානේ පුදුමාකාර සිනමාවක්. මේ සිනමාව ඇතුළේ අපිට මිනිස්සුන්ට දෙන්න පුළුවන් දෙයක් තියනවානේ. විනෝදය විතරක්ම නොවෙයි. මම බලන ඔය චිත්‍රපට එකතුව ඇතුළේ සිංහල චිත්‍රපට නෑ. මම අධික ලෙස මලයාලම් චිත්‍රපට බලනවා. මම කැමැතියි ඒ මං බලන චිත්‍රපට අතර සිංහල චිත්‍රපටයක් තියනවා දකින්න. අපේ තාත්තා අම්ම කියනවා 70 දශකයේ අපිට තිබුණේ පිස්සු හැදෙන සිනමාවක් කියලා.

අපි ඒ වකවානුවේ ඉපදිලත් නෑ. ඒත් ඒ වචන ටික ඇහෙන කොට අපේ ලේ වලට ඒක දැනෙනවා එහෙම කර්මාන්තයක් තිබුණා නම් එහෙම තිබුණ රටක් ඇයි අද හිගන්නෝ වෙලා තියෙන්නේ. ඇයි අපිට මේකට යම් දෙයක් කරන්න බැරි ද? මම දෙයක් කරන්න බය නැති කෙනෙක්. අපේ අය හුඟාක් ඉන්නේ වැඩක් කරන්න අතගහන්න බය අය. අපි හැමෝම බය වුණොත් කවුද දෙයක් කරන්නේ මේක මගේ පෞද්ගලික මතය.

මම ‘මද්දහන’ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළාට පස්සේ ඒක ගෙනත් එඩිටින් ටේබල් එකේ බලනකොට මට මතක් වුණේ ‘පරසතු මල්’ චිත්‍රපටය. මට ලොකු ලෝබකමක් ආවා. ‘මද්දහන’ ටෙලි නාට්‍යයක් වීම නමුත් මේක චිත්‍රපටයක් වුණා නම් කියල මේක මට දැනිච්ච දේ පෞද්ගලිකව. මේක ලෝභ සිතුවිල්ලක් ඒක නිසාම තමයි මම සුමිත්ට යෝජනා කළේ අපි චිත්‍රපටයක් කරමු කියල. එතකොට සුමිත් කිව්වේ විශාල අර්බුදයක් තියන වෙලාවක චිත්‍රපටයක් කරන එක අවදානම් කියල ඒත් මට ඕනෙ වුණා චිත්‍රපටයක් කරන්න. කොහොම හරි ඔය කතා බහ අපි දෙන්නා අතරේ යන කොට ශාන්ති දිසානායක මහත්මිය අපිට දුන්නා. රං කොල්ලා පොත, මද්දහන කළ හිරුමඬල පොතත් ශාන්ති දිසානායකගේ. ‘මද්දහන’ ටෙලිය කරල ඒක ශාන්ති දිසානායකට පෙන්නන්න ගිය වෙලේ ඇය අපිට දුන්නා ‘රං කොල්ලා’ පොත. පොත කියෙව්වාහම හරිම ලස්සන කතාවක්. මේ සුන්දර පොත අපේ පළමු චිත්‍රපටය හැටියට ගේන්න තියනවා නම් හොඳයි කියල මට හිතුණා. මම මේක ඒ මොහොතේ නිෂ්පාදනය කරන්න හිතුවේ නෑ. නිෂ්පාදකයෙක් හෙව්වා ලංකාවේ ඉන්න දැවැන්ත නිෂ්පාදකයන්ට කතා කළා කවුරුවත් කැමති වුණේ නෑ.

ඇයි ඒ නිෂ්පාදකයෝ ඔබගේ ආරාධනය ප්‍රතික්ෂේප කළේ චිත්‍රපට අධ්‍යක්ෂණයට ඔබේ සැමියා වූ සුමිත් නවකයෙක් නිසාද?

නෑ. අපේ රටේ තියන ලොකු ප්‍රශ්නයක් තමයි මනුස්සයෙක් කරන පළමු වැඩේට අත දෙන්න ලේසියෙන් කෙනෙක් කැමති වෙන්නේ නෑ. අපේ රටේ කෙනෙක් නැගිටින කොට නෙමේ අත දෙන්නේ. යම් දෙයක් ලැබුණොත් විතරයි අතදෙන මුවාවෙන් හරි ඒකට දායක වෙන්න කැමැති වෙන්නේ. මේක මම දකින්නේ අපේ රටේ පුද්ගලයන් තුළ තියන දුර්වලතාවයක් විධියට. කෙනෙකුට නැගිටින්න අතදෙන්න අපේ මිනිස්සු හරි ලෝබයි. කුහකයි.

 

ඔබ චිත්‍රපටයක් කරල අපුරු පාඩමක් ඉගෙන ගත්ත නිෂ්පාදිකාවක් නොවෙයිද?

මගේ මේ රං කොල්ලා චිත්‍රපටයේ අයිරංගනී සේරසිංහ මහත්මිය රඟපානවා. ඇය චිත්‍රපටයේ ෂූටින් වලට ගිහින් එන වෙලාවක මගෙන් ඇහුවා ළමයෝ දන්නවද දැන් මගේ වයස කීයද කියලා එතකොට එතුමියට තිබු වයස ඈ මට ප්‍රකාශ කරල මෙහෙම කිව්වා. මම මේ වයසට ඉගෙන ගත්ත ලොකුම දේ තමයි ළමයෝ මේ ලෝකේ ඉන්න නරකම සතා මනුස්සයා කියලා. අපි ඔක්කෝම අද හිඟන්නෝ හයි ක්ලාස් ද ලෝ ක්ලාස් ද කියල නෑ අපි ඔක්කෝම එකම බෝට්ටුවේ අපිට දක්ෂයෝ ඉන්නවා. හොඳ සශී‍්‍රක පොළවක් තියෙනවා. හොඳ ජල උල්පත් තියෙනවා ඒත් ඇයි අපි මේවා තියාගෙන හිඟා කන්නේ. මේ කිසිවක් නැති රටවල් අද පොහොසත්. වෙන රටවල දක්ෂයට දක්ෂතා දැක්කම උදව් කරනවා. ඒත් අපේ රටේ ටැලන්ට් කෙනෙක් කියල දකින කොට ඔහුට හෝ ඇයට කැපිලි දානව වට්ටල දානවා. මේක ජාතික රෝගයක් මේ රෝගය හොඳ වෙනකන් අපිට රටක් ජාතියක් විධියට ඉස්සරහට යන්න බෑ. විශේෂයෙන් මේ රෝගය වැඩි වශයෙන් තියෙන්නේ අපේ සිංහල ජාතිය අතර.

 

සිනමාව කියන්නේ රටකට කන්න දෙන්න පුුළුවන් කර්මාන්තයක් කියල ඔබ පවසා සිටිනවා නොවේද?

දැන් බලන්න පසුගිය කොරෝනා කාලයේ ඉන්දියාවේ නළුවෝ නිළියෝ තමන් හම්බ කරගත් ධනය ජනතාව ජීවත් කරවන්න පරිත්‍යාග කරනවා. ඒත් අපේ නළු නිළියෝ ජීවත් කරන්න බඩුමලු දෙන්න වුණා. ජනතාවට මොකක්ද මේ තත්තවය. කෘෂි කර්මාන්තයයි, සිනමාවයි හරියට නගා සිටුවනවා නම් රටකට කන්න දෙන්න පුළුවන්. අලුත් අධ්‍යක්ෂවරයකුට අලුත් නිෂ්පාදකයකුට එන්න දෙන්නේ නෑ. එනවාට බයයි. පුරුදු වෙච්ච පිරිසක් සමඟ හැමදාම එකම තැන පල්වෙවී තියනවා හැරෙන්න ඉස්සරහට යන්නෑ. චිත්‍රපට පෝලිමක් තියාගෙන ඉන්න ඕනෙ නෑ. ඕක ඉවර කරන්න ඕනෙ තරම් විධි ක්‍රම තියනවා කරන්නේ නෑ.

 

ඔබට මේ චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැයවත් කවර් කරගන්න බැරි වුණොත් චිත්‍රපට නිෂ්පාදනයෙන් සමු ගන්නවාද?

මම මේ චිත්‍රපටය කළේ නැත්තම් සුමිත් රත්නායක කියන අධ්‍යක්ෂවරයා බිහිවෙන්නේ නැනේ. මම ණය වෙලා හිතවතුන්ගේ මුදල් ආධාර එකතු කර ගෙන මේ නිෂ්පාදනය කළා. චිත්‍රපටයක් කිරීමට වඩා එය පෙන්න ගැනීමේදී තියන අභියෝග වැඩියි. තවම මම හිතල නෑ තවදුරටත් නිෂ්පාදකවරියක් ලෙස සිනමාවේ රැදෙනවද ඉවත් වෙනවද කියල මට හැම වෙලාවේම හිතෙනවා. මගේ පරමාර්ථයත් එක්ක ස්වභාව දහම ගැළපෙයි කියල. මගේ මේ නිෂ්පාදන කර්තව්‍ය තුළ ආගමනේ දෙව්දත්ලත් හිටියා. දෙව්වරු හිටියා මේ දෙකොට්ඨාසයම මේ මනුලොව ඉන්නවා. පේ‍්‍රක්ෂකයන් අතරත් ඉන්නවා. උත්කර්ෂවත් සිනමාවක් දකින්න ආශා කරන පිරිසක් ඒ වගේම තමයි සිනමාව විනාශ වෙලා වලපල්ලට ඇඳගෙන වැටෙනකන් බලාඉන්න කොට සතුන් මේ අතර ඉන්නවා.

 

එදා වේල කන්න බැරි ගතමනාවක් සොයාගන්න බැරි කාලයක චිත්‍රපටයක් බලන්න සිනමාශාලාවකට පේ‍්‍රක්ෂකයෝ අද එයිද?

අපේ සම්පත පේ‍්‍රක්ෂකයෝ ඔවුන් නැත්තම් සිනමාවක් නෑ. අපි නිෂ්පාදකයෝ හැටියට චිත්‍රපට කලාට වැඩක් නෑ පේ‍්‍රක්ෂකයෝ ඒවා නරඹන්නේ නැත්තම්. හරියට නිකන් මේ ප්‍රශ්නය කිකිළි ද බිත්තරේ ද වගේ ඇයි අපි මේ තත්ත්වයට වැටුණේ මිනිස්සු හැටියට අපි මොනයම් හෝ සබඳතාවයකින් එකිනෙකාට බැදිල තියනවා. මේ දාමයේ යම් තැන ක පුරුකක් කැඩුණොත් එතනින් විකෘතිතාවයක් ඇති වෙනවා. අපිට කවදාවත් ගැලවෙන්න බෑ. අද වේලක් කාල හරි චිත්‍රපටයක් බැලුවොත් කවදාහරි සිනමා කර්මාන්තය රැඳිල තියෙයි. එහෙම වුණොත් කවදාහරි සිනමාවේ දියුණුවක් ඇතිවුණ දවසක සිනමාව ජනතාවට කන්න දෙයි.

 

රං කොල්ලා අපේ දේශීය පේ‍්‍රක්ෂකයන්ට කොයි ආකාරයෙන් ද සමීප කරන්න ඔබ උත්සාහ ගන්නේ?

මේ චිත්‍රපටය තිරගත කරගන්න තිබුණේ 2018 - 2019 කාලවකවානුවේ නමුත් චිත්‍රපටයට ලොකු බලපෑමක් එල්ල වෙලා. ඒ ගමන නවතාලන්න සිද්ධ වුණා. ඒ මොහොතේ අපේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න තිබුණා නම් සාර්ථකභාවය ගැන දෙගිඩියාවක් නෑ. එදා මගේ චිත්‍රපටය එළියට දාන එක වළක්වපු චිත්‍රපටයට දිට්ඨ දම්ම වේදනීය කර්මය අත්වුණා. මේ චිත්‍රපටය අවුරුදු පහක් පුංචි දරුවෙක් වටා විහිදිලා සුන්දර අපේ රටේ පරිසරයත් එක්ක හැදුණු චිත්‍රපටයක්. අද වෙනකොට අපි ගෙවා දමන්නේ කොරෝනා පශ්චාත් අවධිය මේ තත්ත්වය තුළ වැඩිහිටියන් වගේම දරුවොත් පසුවන්නේ මානසික ව්‍යාධියකින් මේ වගේ වටපිටාවක් තුළ මේ වගේ චිත්‍රපටයක් නරඹන්න පුළුවන් නම් ඒක මනසටත් ලොකු සැහැල්ලුවක් වේවි. මම රං කොල්ලා නිෂ්පාදනය කරල පේ‍්‍රක්ෂකයට දීල තියෙන්නේ පවුලේ කාටත් නැරඹිය හැකි පවුලේ චිත්‍රපටයක්.

 

හා පුරා කියා නිෂ්පාදනය කළ චිත්‍රපටයට නළු නිළියන් තෝරාගැනීමේදී ඔබට විශේෂ වූ අයත් සිටියා ද?

ජයලත් මනෝරත්න මහතාව මෙහිදී විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. සුමිත් කිව්වා මේ චරිතයට වෙන කවුරුවත් හරියන්නේ නෑ. මනෝ අයියා ඇරෙන්න කියලා. මම මමෝ අයියාට කතා කළා. මනෝ අයියා චිත්‍රපටය භාරගත්තේ නැත්තම් අපි චිත්‍රපටය කරන්නෙත් නෑ කියන මතයේ හිිටියා. මම පිටපත දීල මනෝ අයියාගෙන් ගාණ ඇහුවා. ඒ පාර ඔහු කිව්වා සුමිත්ට මට ගණන් කියන්න බැහැ ඔයාල මේ චිත්‍රපටය කරන්න ඕනේ සුමිත් සිනමාවේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න ඕනේ මාව ගැටලුවක් කරගන්න එපා. සුමිත් කළ ‘මද්දහන’ බැලුවා මම ආසාවෙන්. සුමිත්ගෙන් ඩිරෙක් වෙන්න කියල ඔහු අතින් මෙවැනි දෙයක් බිහි වෙනවා දකින්න මම ආසයි. සිංහල සිනමාව වෙනුවෙන් මට මේදේ කරන්න ඉඩ දෙන්න කියල මම මනෝ අයියාට හිතාගන්න බැරි ගාණක් දුන්නා. ඒක එයාට පුදුමයක්. ලොකු ඇගි‍්‍රමන්ට් ගහල ලොකු නිෂ්පාදකයෝ සල්ලි නොදුන් අවස්ථා තියනවා. මම සල්ලි ගැන කතා නොකර හිතන්නේ නැති ගාණක් ඔහුට දුන්නා කියලා එයා මට කිව්වා. මනෝ අයියාට ලොකු ආශාවක් තිබුණා චිත්‍රපටය කරල ඉවර වුණාට ඒක බලන්න මම ඔහු වෙනුවෙන් විශේෂ දර්ශනයක් පෙන්නුවා. මට දවස ගාණේ කතා කරල කිව්වා මගේ පවුලේ අයත් එක්ක මේක බලන්න ඕනෙ කියල. මම අද සතුටු වෙනවා එදා මට ඔහු වෙනුවෙන් ඒ දර්ශනය පෙන්නන්න ලැබීම ගැන. ඒ වෙනකොට මම හිතල තිබුණේ වියදම් ටික කවර්කරල චිත්‍රපටය කාටහරි විකුණන්න. නමුත් මනෝ අයියා මගෙන් ඉල්ලීමක් කළා. නංගී පුළුවන් නම් මේ චිත්‍රපටය විකුණන්න එපා ලොකු සටනක් තියෙයි. හැබැයි උඩු ගං බලා පීනන්න වෙයි. දැන් එදා මනෝ අයියා කිව්ව විධියට මම හැලහැප්පීම් ගොඩක් මධ්‍යයේ උඩුගං බලා පීනමින් ඉන්නවා. සිනමාවේ තියන මාෆියාවට එරෙහිව

 

අත්දැකීම් ලැබු නිවේදිකාවක් වශයෙන් මේ ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තු වන නවකයෙකුට ඔබ දෙන පණිවිඩය මොකක්ද?

අතිශය දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. දක්ෂතාවයෙන් පමණක් ඉදිරියට යන්න ඕන කියන අරමුණ තියෙන්න ඕනේ. නිවේදක නිවේදිකාවක් කියන කෙනා ගිරා පෝතකයෙක් නොවිය යුතුයි. තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ. හරි දේට හිසනමනවා වගේම වැරදි දේට කොන්ද කෙළින් තියාගෙන අභියෝග කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. එහෙම නොවුණොත් තමන් කරන වෘත්තිය ඉවරයි. කිසිම ක්ෂේත්‍රයක වැඩකරන්න බයවෙන්න ඕනෙ නෑ. ප්‍රවෘත්ති කියනවා කියන්නෙත් කොළේ බලන් කියන එකම නෙමේ. ඒ සඳහා හොඳ පෙර සුදානමක් තිබිය යුතුයි. හැම අංශයක් ගැනම දැනුමක් තිබිය යුතුයි අපි නිරන්තරයෙන් සතත අභ්‍යාසයේ යෙදෙන්න ඕනේ.

ජාතික රූපවාහිනියට, ස්වාධීන රූපවාහිනියට මම මේ වෙලාවේ විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. නිවේදිකාවක් හැටියට මම මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන්න අවස්ථාව උදාකරදීම පිළිබඳ.

 

 

[email protected]