මම සොයන්නේ මට දැනෙන දේ

‘රං කොල්ලා’ අධ්‍යක්ෂ, රංගන ශිල්පී සුමිත් රත්නායක
දෙසැම්බර් 8, 2022

- මට තිබුණේ සාමාන්‍ය තරුණයකුගේ ප්‍රාර්ථනා නෙවෙයි
- මගේ ජීවිතේ පි‍්‍රයතම විනෝදාංශය තමයි තිරපිටපත් කියවීම
- කලා මුදලාලි කෙනෙක් වෙන්න මට ඕනෑ නැහැ

ඔබ ඔබේ පළමු සිනමා අධ්‍යක්ෂණය සඳහා තෝරා ගන්නේ සාහිත්‍ය කෘතියක්. ශාන්ති දිසානායකගේ ‘රං කොල්ලා’ නව කතාව තෝර ගන්න හේතුව කුමක්ද?

මම චිත්‍රපටකරණයට එන්න කලින් අධ්‍යක්ෂවරයකු විදියට පැමිණෙන්නේ ටෙලි නාට්‍ය වලින්. මගේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටත් මම පාදක කරගත්තේ ශාන්ති දිසානායකගේ ‘හිරු මඬල’ කියන නවකතාව. අනිත් පැත්තෙන් මම හැදුණ වැඩුණ පරිසරය වෙන්නේ අනුරාධපුරය. එතකොට ඒ ආශි‍්‍රතව මම දැකපු, මම විඳපු දේත් එක්ක තමයි මගේ නිර්මාණ වපසරිය ගොඩනැගෙන්නේ. 

මගේ ජීවිතේ පුංචි කාලේ පටන් ගොඩනැගෙන විදියත් මගේ නිර්මාණ ජීවිතේට දැඩි විදියට බලපානවා. අනුරාධපුරේ තඹුතේතේගම ප්‍රදේශයේ උපන්න මට හරිම ලස්සන ළමා කාලයක් තිබුණා. විශේෂයෙන් අද උපදින දරුවන්ට නොලැබෙන. මම ඒ ගමේ ජීවිතය හරියට වින්දා. මගේ අම්මගේ ගම නිකවැරටිය. ඒ පරිසරයත් මම හරියට වින්දා. පරිසරයත් එක්ක මගේ තිබුණු සහ සම්බන්ධතාවයත් එක්ක තමයි මම කලාකාරයෙක් වෙන්නේ.

මේ කලාකාමීත්වය ඇතිවෙන්න ගමෙන් ලැබෙන දේ බොහොමයි. අපි මුලින්ම නරඹන්නේ වේදිකා නාට්‍ය නොවෙයි. ගම්වලට එන ගීත නාටක. ඇත්තම කාරණය ඒවා හරිම ලස්සනයි. මේ ගීත නාටක කරන ගැමියෝ ඉස්කෝලෙ ගිය නැති නූගතුන් වුණාට හරිම කලාකාමී අදහස් තිබෙන පුද්ගලයෝ. ඔවුන් හරිම ලස්සනට ඒ නාට්‍ය නිර්මාණය කරල තිබුණා. ඒ ඇසුරින් තමයි මගේ කලාකාමී අදහසුත් පෝෂණය වෙන්නේ.

අපේ පුංචි හිත කලාවට යොමුවෙන්නේ මේ වගේ පරිසරයකුත් එක්ක. මගේ පරිසරයට මම අදටත් පුදුම තරම් ආදරෙයි. අද පරිසරය මොන විදියට වෙනස් වෙලා තිබුණත් මම ඒකට ආදරෙයි. අද අපි වතුර මලකින් නෑවත්. එදා වැවට පැනල පීනල නාපු අතීතයට හරිම ආදරෙයි. ඒ ආශ්වාදය හරි පුදුමයි. ඒ ඔස්සේ තමයි මම ජීවිතය, කලාව හොයන්නේ. මම අදටත් ආසම සාහිත්‍යකරුවා තමයි සයිමන් නවගත්තේගම. සයිමන් ගේ සාහිත්‍ය තුළ තියෙන්නෙත් ඔය මම කියපු දේවල්ම තමයි. පස්සේ කාලෙක ඔහු මට සමීපව ඇසුරු කරන්නත් ලැබුණා. තරුණ සේවා නාට්‍ය පාසල හරහා. ඔහු මගේ වීරයෙක්. මම එතුමාගේ පතපොත බොහොමයක් පරිශිලනය කරන්න පටන් ගත්තා.

ඒවත් එක්ක තමයි මට ශාන්ති දිසානායකව හම්බ වෙන්නේ. ඇයත් මේ ග්‍රාමීය ජන ජීවිතය සමඟ හැලහැපෙමින් ජීවත් වෙමින් ලියන කෙනෙක්. ඇගේ බොහෝ නිර්මාණවලත් පැලපදියම් වෙලා තියෙන්නේ ඈ ජීවත් වන, ඈ විඳින යාය 04 ප්‍රදේශයේ ජනජීවිතය. මම හැමවෙලේම හොයන්නේ මට දැනෙන දේ. ඇගේ නවකතා මට සමීප වෙන්නේ ඒ නිසා. මේවා කියවන කොට කියාගන්න බැරි පුදුම හැඟීමක් ඇති වෙනවා. එහෙම කරන නිර්මාණය මට පෙරළා ශාන්ති කර්මයක් වෙනවා. මගේ නිර්මාණ කරන්නේ මම විඳින්න. මම රචනයක් කරනවනම් කරන්නේ හරිම ආසාවකින්.

ශාන්ති දිසානායකගේ නිර්මාණවල මම දකිනවා අකුරු අස්සේ හැංගිච්චි පුදුමාකාර රසයක්. ඒක තවදුරටත් වර්ධනය කරන්න පුළුවන් කියල හිතෙනව මට රූප මාධ්‍යය හරහා. ඒ නිසා තමයි ඇගේ මේ පොත මගේ පළවැනි සිනමා නිර්මාණය කරන්න තෝරගත්තේ.

අපි සුමිත් රත්නායකව හඳුන ගන්නේ නළුවෙක් විදියට. පස්සේ කාලෙක ඔබ අධ්‍යක්ෂවරයකු, තිර පිටපත් රචකයකු, ගීත රචකයකු වැනි විවිධ භූමිකා ඔස්සේ අප හඳුනාගන්නවා. ඔබේ මුල් වටපිටාව නිර්මාණය වෙන්නේ කොහොමද?

මම මුලින් කිව්ව කාරණයක් එක්ක, මම ඉගෙන ගන්නේ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ. අපිට හොඳ ගුරුවරු හිටියා රසාස්වාදය පිළිබඳ දැනෙන. ඔවුන් කොළඹින් ඉතාම ඉහළ ගණයේ නාට්‍ය ගෙනවිත් අපට පෙන්වනවා. අපි පුංචි කාලේ ඉඳලා පෝෂණය වෙන්නේ එහෙම. පුංචි කාලෙ ඉඳලම මොකක්දෝ ඇඟ ඇතුළෙ ක්‍රියාත්මක වෙනවා කලාකරුවකු වීමේ වුවමනාව. මම දන්නේ නෑ. ඒක මොන සංසාර පුරුද්දක් ද කියලා. එහෙම දෙයක් මට දැනුණා. එහෙම නැතුව මගේ පවුලේ ආභාසයක් හෝ වෙනත් ඇසුරක් මට තිබුණෙ නෑ. මොකක්දෝ හැඟීමක් තිබුණා. මම කලාකරුවෙක් වෙනවා කියලා. ඒක මට කොහෙන් ආවද කියන්න මම දන්නේ නෑ.

මම මුලින්ම නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ පහ වසරේ ඉගෙන ගනිද්දි. සුමිත් සමරසිංහ කියල සහෝදරයෙක් අපේ ඉස්කෝලෙට ඇවිත් මාව තෝර ගන්නවා. එතනින් තමයි මගේ නාට්‍ය කලා ජීවිතය පටන් ගන්නේ. ඊට පස්සේ අනුරාධපුරේ. තඹුත්තේගම හරියේ තිබුණු කලා පරිසරය මගේ කලා ජීවිතේට බලපානවා. තුෂාර සමන්ත හේරත් කියලා සහෝදරයෙක් හිටියා එයත් නාට්‍ය කරනවා. මේ නාට්‍යවල මම පුංචි කාලේ රඟපානවා. පසු කාලීනව මම ළමා නාට්‍යයක් කරනවා. ඒක උතුරු මැද කලා උළෙලේ දී සම්මාන රැසක් දිනාගන්නවා. ඊළඟ අවුරුද්දෙත් මම කරපු නාට්‍යය හොඳම නළුවා. හොඳම නාට්‍යය ආදී සම්මාන ගන්නවා. එහෙම තමයි මගේ කලා ජීවිතේ මූලාරම්භ වෙන්නේ. මෙහි විශේෂත්වය තමයි ඒ කාලෙ ඉඳන්ම මම අධ්‍යක්ෂණය කියන එක කරනවා. රඟපාන ගමන්ම මේක මම කරන්නේ ඇත්තටම නළුවෙක් වෙන්න තියෙන උවමනාව නිසයි. ඒ නිසා මම දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව අධ්‍යක්ෂණයත් කරගෙන ගිහින් තියෙනවා.

ඔබ කොළඹට එන්නේ නළුවෙක් වීමේ වුවමනාවට ද?

ඔව්. මම ඒ වෙනකොට ප්‍රාදේශිය වශයෙන් නළුවකු විදියට කටයුතු කළා. මහවැලි නාට්‍ය උළෙල, උතුරු මැද නාට්‍ය උළෙල වැනි දේට සම්බන්ධ වෙලා. ඉන් එහාට යන්න තමයි කොළඹට එන්නේ. මම තරුණසේවා සභාවේ නාට්‍ය පාඨමාලාවට බැඳිලා නාට්‍ය කලාව ඉගෙන ගන්නවා. රංග ශිල්ප ශාලිකා නාට්‍ය පාඨමාලාවට බැඳිල රඟපෑම සහ ආනුෂාංගික කලා සියල්ල මම ඉගෙන ගන්නවා. අධ්‍යක්ෂණය, පිටපත් රචනයේ සිට මම ඉගෙන ගන්නවා. ඒ සමඟම මහා ඇඳුරු මඬුල්ලක සෙවණත් මට හිමිවෙනවා. ප්‍රවීණතම නාට්‍ය ශිල්පීන් තමයි අපිට උගන්වන්න එන්නේ. ඒ ඇසුරින් අපට හොඳ පදනමක් මේ සඳහා ලැබෙනවා.

ඔබ නළුවෙක් වෙන්නේ කොහොමද?

මේකට සම්බන්ධ වුණාට පස්සේ පුදුම උනන්දුවකින් ඒක හදාරන්න මම පටන් ගත්තා. ජීවිතේ වෙන කිසි දෙයක් තිබුණෙ නෑ. සාමාන්‍ය තරුණයකුට තිබෙන ප්‍රාර්ථනා මට තිබුණේ නෑ. මම තරුණසේවා නාට්‍ය පාසලට ඇවිත් ඉන්නකොට මුල් භාගයේදීම මට මුණ ගැසෙනවා. බුද්ධික දමයන්ත කියන නාට්‍යකරුවා ඔහුගේ ‘දවස තාම ගෙවුණෙ නෑ.’ කියන නාට්‍යයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි නළුවෙක් විදියට නොවෙයි. පෙළ මතක් කිරීම සඳහායි සම්බන්ධ වෙන්නේ. ඒක මගේ ජීවිතේට ලොකු අත්දැකීමක් එක් කළා. පෙළ මතක් කරන්නා කියන්නේ මුළු නාට්‍යයම ඔහුට කට පාඩම්. ඒකෙන් නළුවෙක් වීමට අවශ්‍ය විශාල වපසරියක් මට දැනගන්න ලැබුණා. කොයි වෙලාවකවත් මට බුද්ධික දමයන්ත රඟපාන්න දීලා නෑ. නමුත් මේ හැමදේම කරන්නේ රඟපෑමේ අමාරුවෙන්. පස්සේ කාලෙක මට බන්දුල ජයවර්ධනයන්ගේ ‘ස්වර්ණමාලී’ නාට්‍යයේ රඟපාන්න ලැබෙනවා. එතනින් තමයි මගේ ප්‍රසිද්ධ වේදිකාවේ රංගනය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ වේදිකාවේ බොහෝ නාට්‍යවලට මම රංගනයෙන් එක්වෙනවා. 2006 රාජ්‍ය නාට්‍ය උළෙලේ මම හොඳම නළුවා වෙනවා. ඔය අතරේ තමයි මම විමලරත්න අධිකාරිගේ ‘ ගජමන් නෝනා’ නාට්‍යයෙන් ටෙලි නාට්‍ය පැත්තට යොමු වෙන්නේ.

ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ කොහොමද?

ජීවිතේ වරින්වර අධ්‍යක්ෂණය කියන කාර්යය මතු වුණු ආකාරය ගැන මම මීට පෙර සඳහන් කළා. ඒක තව දුරටත් සාක්ෂාත් කර ගන්නේ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරමින්. ඒ තමයි ‘මද්දහන’ ටෙලි නාට්‍යය. ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වෙනවා. ඒ වසරේ සුමති සම්මාන රැසක් ලැබෙනවා. ඊට පස්සේ මම ‘මහපොළොව‘ කියල තව ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා.

තිර පිටපත් රචනය කෙරේ ඔබේ උනන්දුව ඇතිවෙන්නේ කොහොමද?

මගේ ජීවිතේ පි‍්‍රයතම විනෝදාංශ තමයි තිරපිටපත් කියවන එක. පොතපත කියවීමත් මගේ ජීවිතේ කොටසක්. මම තිරපිටපත් රචනා කරන්නේ හුදු තිරපිටපත් රචකයෙක් විදියට නොවෙයි. මම කරපු තිරපිටපත් බහුතරයක් නවකතා පාදකර ගෙන කරපුවා. එහෙම වුණත් තිරකතාව තුළ රූපමය විදියට කරන්න උත්සාහ කරනවා.

සාහිත්‍ය කෘති ඇසුරින්ම තිරපිටපත් ගොඩනඟන්න කැමැති ඇයි?

මම හිතනවා මම සාහිත්‍යයට ලොල් කියලා. මගේ තිරපිටපත ඔස්සේ සාහිත්‍ය කෘතියට වැඩි අගයක් දෙන රූප ගොඩනඟන්න මම හැමවිටම උත්සාහ කරනවා. හැබැයි මේ ක්‍රියාව එක් අතකට ලොකු අභියෝගාත්මක දෙයක්. මොකද සාහිත්‍ය කෘතියක් ඇසුරින් තිරපිටපතක් ලියනකොට තව කෙනෙකු මවාගත් රූපයක් තමයි මම ආයෙත් මවන්නේ. මම කරන්නේ නවකතාවට එහා යන්න උත්සාහ කිරීමයි. නවකතාවෙන් යැපෙන්න උත්සාහ කරන්නේ නෑ. නවකතාව ඝාතනය කරන්නේ නෑ. මම උත්සාහ කරනවා ඒ රසය මරන්නෙ නැතුව දෙන්න. මොකද මම ඒ මුල් රචකයාට හරි ආදරෙයි. මම කෘතියට දැඩිව අවංක නිසා ඒ ආශිර්වාදයත් හම්බ වෙනවා ඇති. මොකක් හරි මගේ සාර්ථකත්වයක් තියනව නම් ඒ මම මුදල පසු පස හඹා නොයෑම කියල මම විශ්වාස කරනවා. කලා මුදලාලි කෙනෙක් වෙන්න මට ඕන නැහැ. එතනදී මම හිතනවා සොබාදහම හරි අපි අදහන කවුරු හරි ඒ දිහා බලාගෙන ඉන්නවා කියලා. මා දිහා ද්වේශ සහගතව බලන කෙනෙකුට කියන්න පුළුවන් මම නිර්මාණකරණයට ගත්ත කෘති විනාශ කරල තියනව කියලා.

සිනමා අධ්‍යක්ෂණය ඔබට ආධුනිකයි. ටෙලි සහ සිනමා මාධ්‍යය ඔබ වෙන්කර ගත්තේ කොහොමද?

ආධුනිකයි කියන්නෙ මම මේ වනතුරු එකම සිනමා පටයකවත් රඟපාල නෑ. චිත්‍රපට රඟපාන්න අවස්ථාව ලැබුණත් වාසනාවකට හෝ අවාසනාවකට ඒ අවස්ථා ඔක්කොම මඟහැරුණා. එහෙම කිසිම අත්දැකීමක් නැතිව තමයි මම සිනමා පටයක් අධ්‍යක්ෂණය කරන්න එන්නේ. නමුත් එතෙනදි මට දැඩිලෙස මා ගැන විශ්වාසයක් තිබුණා. අදටත්, කවදත් මට මං ගැන විශ්වාසයක් තියනවා. ටෙලි කලාවයි. චිත්‍රපට කලාවයි ගැන හිතනකොට එතැන තියෙන්නේ මහ තිරය සහ පුංචි තිරය අතර ගනුදෙනුවක්නේ. එතනදි මම හැම වෙලාවෙම මාධ්‍ය අඳුනගන්න උත්සාහ කළා. මම මහා ප්‍රාඥයෙක්. මට මෙහෙම කරන්න පුළුවන් කියන එක නෙමෙයි මම කියන්නේ. මම කරපු වැඩේ සාර්ථක ද අසාර්කථ ද කියල මම දන්නෙත් නෑ. ඒක තීරණය කරන්න ඕන පේ‍්‍රක්ෂකයෝ. නමුත් කුමක්දෝ වාසනාවකට ඒ හඳුනාගැනීමේ ශක්‍යතාවය මට ලැබෙනව හෝ මම හොයාගන්නවා.

ඔබ ‘රංකොල්ලා’ චිත්‍රපටයට තෝරා ගන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණතම නළු නිළි පිරිසක්. ඔවුන් සමඟ ඔබ ලද අත්දැකීම් මොනවද?

ඒක ඇත්තටම රසවත් අත්දැකීමක්. මට ක්ෂේත්‍රයේ ප්‍රවීණතම නිළි අයිරාංගනී සේරසිංහ. හේමසිරි ලියනගේ, චාන්දනී සෙනෙවිරත්න, ජයලත් මනෝරත්න, ගීතා කාන්ති ජයකොඩි වැනි අය සමඟ වැඩ කරන්න ලැබුණා. මම පිටපත ලියනකොටම තමයි මේ චරිත සමඟ ගනුදෙනු කරන්නේ. හිතේ මැවුණු ඇත්තම චරිත ටික තමයි ඔය චිත්‍රපටිය තුළ පෙන්නේ. ආචාර්ය ජයලත් මනෝරත්න ගත්තම ලංකාවේ හිටපු අතිශයින්ම ජනපි‍්‍රය, ඒ වගේම ප්‍රවීණතම නළුවෙක්. ඔහු මට හීනයක්. ඒ ගොල්ලන්ගේ නාට්‍ය දිහා බලල අපි හැදෙන්නේ. ජයලත් මනෝරත්න කියන්නේ ගාමිණී ෆොන්සේකාගෙන් පස්සේ මේ රටේ පහළ වුණු සුපිරිම නළුවෙක්. මම ඒ චරිතයට ඔහුව තෝරා ගෙන මගේ නියෝජිතයෙක් ඔහුට කතා කළාම ඔහු කියන්නේ ‘ සුමිත්ට කියන්න මාව ප්‍රශ්නයක් කරගන්න එපා කියලා.’ කියලයි. මම ගැන තියන විශ්වාසය, ඔහු මං දිහා බලාගෙන ඉඳල තියෙනවනේ. ඒක කොච්චර ලොකු දෙයක්ද මං වගේ කෙනෙකුට. ඒක මට සහ මගේ නිෂ්පාදක කණ්ඩායමට ලොකු ශක්තියක් වෙනවා. මේ හැමදෙනාම මට ලොකු සහයෝගයක් දැක්වුවා හැමපැත්තෙන්ම. ඒ අය මට හිතුණේ මගේ චිත්‍රපටයේ රඟපාපු පොඩි දරුවෝ වගේම පොඩි දරුවෝ වුණා කියලයි. රංගනයට ආවට පස්සේ මේ මහා පුරුෂයෝ පොඩි දරුවෝ වගෙයි. නමුත් මේ හැමෝම මං ගැන ලොකු විශ්වසයකින් ඉඳලා තියෙනවා. ඒක පුදුමාකාර ආශ්වාදනීය කාලයක්.

චිත්‍රපටය තිරගත වෙන මේ මොහොතේ ඔහු හිිටියා නම්?

ඒ හැඟීම කියන්න මට වචන නෑ. මෙතන තියන ලොකුම හිඩැස ඒකයි.

මේ චිත්‍රපටය කරල කොච්චර කල් ද? ඒ වන විට මනෝරත්නයන් අසනීපෙන්ද හිටියේ?

චිත්‍රපටය කරන කොටත් ඔහු රෝග පීඩා සමඟ තමයි හිටියේ. නමුත් කිසිම වෙලාවක ඒක පෙන්නුවේ නෑ. පස්සේ අපට අවස්ථාවක් ලැබෙනවා මනෝ අයියට සහ සරත් අයියට මේ චිත්‍රපටය පෙන්වන්න. 2019 දී වගේ ඔවුන්ට ඒක ලොකු සතුටක් වුණා.

ඇයි මෙච්චර කල් මේ චිත්‍රපටය පෙන්වන්න ප්‍රමාද වුණේ?

සිනමාවට වෙලා තියන දේ නිසා. මේක ඇතුළේ ලොකු මාෆියාවක් තියනවා. ඒ මාෆියාවට ‘රං කොල්ලා’ අහුවුණා. 2018 වෙනකොට මේ චිත්‍රපටය කරල ඉවරයි. සිනමාවේ ද ප්‍රශ්න නොතිබුණා නම් 2019 මේ චිත්‍රපටය පෙන්වන්න තිබුණා. ඒ මොහොතේ චිත්‍රපට සංස්ථාවේ පාලන අධිකාරියත් මේකට වග කියන්න ඕන. දේශපාලන බලඅධිකාරියට යටවෙලා ඒ මොහොතේ මේ චිත්‍රපටයට එන්න දෙන්නේ නැතුව ඒ වෙනුවට වෙන චිත්‍රපටයක් එනවා. ඒක නිසා තමයි මේ චිත්‍රපටය මෙච්චර ප්‍රමාද වුණේ.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කුඩා දරුවෙක්. දරුවෙක් අධ්‍යක්ෂණය කිරීම පහසුද? මේ දරුව කොහෙන්ද හොයා ගත්තේ?

ඇත්තටම චිත්‍රපටයේ හැටියට රං කොල්ලෙක් නේ ඕන. අපි ලංකාව පුරාම හොයනවා. මට දැනුණේ ලස්සන, හුරුබුහුටි දරුවෙක් මේකට ඕන කියන එකයි. දරුවෝ හොයන්න අපි නිශ්ඵල ගමන් ගියා. අන්තිමේට මේ දරුවා හම්බ වුණේ කිරිබත්ගොඩින්. මේ දරුවා බලන්න ගෙදරට ගියාම මේ පොඩි එකා කෙළින්ම මගේ ඔඩොක්කුවට ආවා. ඒක මහා සංසාරික පුරුද්දක් වගේ ඔඩොක්කුවට ඇවිත් වාඩි වුණා. ඊට පස්සේ එධපඬඵඩධන වලට සම්බන්ධ කර ගත්තා. එක තැන එක මොහොතක් නොහිටිය දරුවෙක් තමයි අද රංකොල්ල වෙලා ඉන්නේ.

චිත්‍රපටය පුරාම දිවයන චරිතයක් නොවුණත් ඔබ මේ චිත්‍රපටයේ රඟපානවා. අධ්‍යක්ෂණයයි රඟපෑමයි එකට කිරීම පහසුද?

මට ඔය අත්දැකීම තිබුණා ‘මද්දහන’ ටෙලි නාට්‍යය කරලා. ඒක හරි රහයි. මම කියන්නේ නෑ මට වඩා ඩිරෙක්ටර් කෙනෙක් මට හම්බවෙලා නෑ කියලා. මගේ ඩිරෙක්ටින්වලින් මගේ නළුකම තව ඉස්මතු වෙනව කියලා මට හිතෙනවා. ඇත්තටම මම මේ චිත්‍රපටයේ රඟපාන්න හිටියේ නෑ. නමුත් අර පොඩි පුතාගේ සහ මගේ ස්වරූපයන් සමාන නිසා බොහෝ දෙනෙක් කිව්වා මට රඟපාන්න කියලා. නමුත් අද වන විට මට හිතෙනවා මම මේ චිත්‍රපටයේ රඟපාපු එක ගොඩක් හොඳයි කියලා. මට කිසිම අපහසුතාවයක් දැනුණේ නෑ.

හරිම ලස්සන දර්ශන තල දැක ගන්න ලැබෙනවා. මේ චිත්‍රපටයේ කොහේද රූ ගත කළේ?

කතාවේ පසුබිම තියෙන්නේ අනුරාධපුරය කේන්ද්‍ර කරගෙනනේ. රූගත කළේ තඹුත්තේගම. ගල්ගමුව මහව, ආශි‍්‍රතව, ඇත්තටම දෛවයේ හාස්කම් වගේ. මොකද මේ වෙලාවේ මගේ කැමරා අධ්‍යක්ෂවරයා අනිවාර්යයෙන් මතක් කරන්න ඕන. අපි දෙන්නා අතර තිබෙන සහ සම්බන්ධතාවය සමපාත වීම තුළ තමයි ඕක ඔය විදියට හැදෙන්නේ. මගේ මද්දහන මහපොළව ටෙලි නාට්‍ය දෙකත් ඔහු කළේ.

චිත්‍රපටයේ සංගීතය සියල්ල අබිබවාගෙන මතුවෙන අවස්ථා තිබෙනවා.

ඒ අබිබවාගෙන එන එක හොඳයි. එයාටත් අවස්ථාවක් තියෙන්න ඕනනේ. සංගීතය රූප රාමුවලට වඩා ඉහළ යනවා වගේම පහළ යන අවස්ථාත් තිබෙනවා. අපි ඒකට ඉඩ දෙන්න ඕන. රූපයෙන් කියන්න බැරි දේවලනෙ අපි සංගීතයෙන් කියන්න ඕන. මගේ නිර්මාණ සියල්ලටම සංගීතය සැපයුවේ දර්ශන රුවන් දිසානායක. ඔහුගේ සංගීතය මට හරියට දැනෙනවා. අපි අතර තිබෙන කතා බහ සමඟ අපි හිතන්නේ සුභාවිතය රැක ගන්න නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕන කියලයි. පටු අරමුණුවලින් තොරව මිනිස්සුන්ට බලන්න රසවිඳින්න පුළුවන් දේවල් දෙන්න ඕන කියන තැන මම ඉන්නවා.

දැන් ඔබේ චිත්‍රපටයට සහයෝගයක් ලැබෙනවාද?

මම එන්නේ චිත්‍රපට සංස්ථාවෙන්. එතනින් එනකොට රිද්මා මණ්ඩලයේ සීමිත සිනමා ශාලා ටිකක් තමයි තියෙන්නේ. තව සී.ඊ.එල්. තියනවා. ඊ.ඒ.පී තියනවා. සිලෝන් තියටර්ස් තියනවා. සිලෝන් තියටර්ස් නම් ඊ.ඒ.පී. එකත් එක්ක එකතු වෙලා යන්නේ. ඊ.ඒ.පී මණ්ඩලයෙන් අපි සිනමා ශාලා ඉල්ලුවා නමුත් ලැබුණෙ නෑ. දැන් තිරගත වෙන්නේ නිව් ඉම්පීරියල් කුරුණෑගල. රත්නපුර, යටියන්තොට, පී.වී.ආර්. කේ.සී.සී. නුවර ඇතුළු සිනමා ශාලා 30ට ආසන්නව තිරගත වෙනවා.

ඔබ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද? ලංකාවේ සිනමාවේ තියන මේ තත්ත්වය ඔබ සිනමාවේ තවදුරටත් ඉන්න උත්තේජන සපයනවද?

ඇත්තටම කිවුවොත් සිනමාව හැර යන්න උත්තේජන සපයනවා. මේ චිත්‍රපටය මේ තරම් කාලයක් හරි රැඳුණේ මනෝ අයියා නිසා. ඔහු චිත්‍රපටය බලල අපෙන් ඉල්ලීමක් කළා. චිත්‍රපටය විකුණන්න එපා කියලා. චිත්‍රපටය විකුණුවා නම් ‘රංකොල්ලා’ අපි ළඟ නෑ. එහෙම අවස්ථා ආවා. අපි දානපතියෝ නොවෙයිනේ සල්ලි හිරකරල තියාගන්න.

සේයාරූ - නිශ්ශංක විජේරත්න