අවුරුද්දකට චිත්‍රපට 500කට වඩා උපසිරැසි සකසනවා

උපසිරැසි සටහන් හා හඬ කැවීම් ශිල්පිනී සඳුනි රෂිකා පොතුපිටිය
දෙසැම්බර් 1, 2022

 

 ජීවිතේ නොයෙක් බාධක කම්කටුලු මැඩගෙන ඇය මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීරණ වූවාය. වාණිජ විෂය දහරාවෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවත් ඇය කලාවට දැඩි ලෙස ඇලුම් කළාය. නුගේගොඩ අනුලා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවකද වූවාය. පාසලේදී කලාවට සම්බන්ධ යම් කටයුත්තක් සිදුවෙනවා නම්, ඇය එහි පෙරමුණ ගෙන කටයුතු කළාය. සිරස TV, ශක්ති TV, TV 1 යන නාලිකා ඔස්සේ ප්‍රදර්ශනය වන දෙස්, වි‍ෙදස් සිනමාපට මෙන්ම වාර්තාමය වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් සඳහා උපසිරැසි සටහන් කරන්නට මැය සමත්ය.

ඇය සඳුනි රෂිකා පොතුපිටියයි.

ඔබ මෙවැනි අංශයක් තෝරා ගන්නේ ඇයි ?

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ අයට විවිධ දක්ෂතාවයන් තියෙනවා. මට ඇති දක්ෂතාවය තමයි, උපසිරැසි සටහන් කරන එක. මම මේ දේ කරන්නේ හරිම සතුටින්. හැමෝටම මේ දේ කරන්න බැහැ. අනෙක, අද දකින දේ නෙවෙයි හෙට දකින්නෙ. විවිධත්වය තුළ ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඕනෑම වැඩ සටහනකට (වාර්තාමය වැඩ සටහනකට, සිනමාපටයකට, වෙළඳ දැන්වීමකට) උපසිරැසි ඇතුළත් කරනවා කියන්නේ හරිම වගකීමෙන් යුතුව කළ යුතු කාර්යභාරයක්. අකුරක් එහා මෙහා ගියොත් අවුරුදු විස්සක, තිහක පළපුරුද්ද තිබුණා වුණත් වැඩක් නෑ. වගකීමෙන් හා අවබෝධයෙන් වැඩ නොකළ බව ඔප්පු වෙනවා. ඒ නිසා මම වගකීමක් ඇති දෙයක් තමයි තෝරාගෙන තියෙන්නෙ. මගේ භාෂා ඥානයත් එකතු කර මේ වගේ ක්ෂේත්‍රයක නියැලෙන්න ලැබීම ගැන අද මම සතුටු වෙනවා.

 

උපසිරැසි සපයන්නෙකුට භාෂා ඥානය අතිශය වැදගත් නේද?

විවිධ භාෂාවන් ප්‍රගුණ කිරීම තමයි මෙහි තියෙන වැදගත්ම දෙය. මට භාෂා හතරක් පුළුවන්. දෙමළ ඉංග්‍රීසි, හින්දි සහ සිංහලයි. පාසල් යන කාලේ ඉඳන් මට හොඳට බරනඥ කරන්න පුළුවන් කමක් තිබුණා. ඒ ආභාසය නිසා මේ ක්ෂේත්‍රයේ නියැළෙන්න මට ගොඩක් පහසු වුණා. මේ සියලු නිර්මාණවලට උපසිරැසි සැපයීමේදී භාෂාව අනිවාර්යයි. අද ශ්‍රී ලංකාවේ වැඩි හරියක්ම හින්දි සහ දෙමළ සිනමාපටයි නරඹන්නේ. එවිට දෙමළෙන් යන ඒවට සිංහලෙන් ද, සිංහල උපසිරැසි යන ඒවාට දෙමළ සහ ඉංග්‍රිසි උපසිරැසි ද ගැළපිය යුතුයි.

 

ඔබ සිනමාපට කොපමණ ප්‍රමාණයකට උපසිරැසි සපයලා තියෙනවා ද?

දැනට අවුරුද්දකට සිනමාපට පන්සියයකට එහා ගිය ප්‍රමාණයකට උපසිරැසි සපයලා තියනවා. මගේ සේවා කාලය තුළ සිය දහස් ගණනකට උපසිරැසි සපයපු එක හරියට දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. පොඩ්ඩ එහා මෙහා වුණොත්, තවත් රාජකාරි කරලා වැඩක් නැහැ. ප්‍රේක්ෂකයන් අපි ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. කිසිදු භාෂාවක් දන්නැති සිනමා පටයකට සිංහල භාෂාවෙන් උපසිරැසි කියවමින් තමයි සිනමාපටය රසවිඳීන්නේ. ඒ රසය හරියට දෙන්න ඕන නිසයි අපි හරි දේ කළ යුතුයි කියලා කිව්වේ.

 

ක්ෂේත්‍රය තුළ ඔබ වැනි අය ගැන අවධානය යොමු නොවන්නේ ඇයි?

අද බොහෝ විට කතා කරන්නේ අධ්‍යක්ෂකවරයකු, තිර පිටපත් රචකයෙකු,නිෂ්පාදකයකු නළුවකු හා නිළියක ගැන පමණයි. තිරෙන් පිටුපස සිටින ගොඩක් දෙනෙක් ගැන කතා කරන්නේ නැහැ. මම අද ගොඩක් සතුටු වෙනවා සරසවිය පත්තරෙන් තිරය පිටුපස සිටින අයට අවස්ථාව ලබා දුන්න එක ගැන. පත්තරේ අ,ආ, කියන තැන ඉදන් සිදුවෙන ක්‍රියාවලිය වගේම කාර්යභාරයක් මෙතැනදීත් සිදු වෙනවා. යම් වැරැද්දක් සිදු වුණොත් නැවත නිවැරදි කරලා පසු දිනට විකාශනය කරන්න බැහැ. යම් ගුවන් කාලයක් එදිනට පමණයි වලංගු වෙන්නේ. මම දකින විදිහට වගකීමෙන් වැඩ කරන අය ගැන ගොඩක් කතා කරනවා අඩුයි. අද කලාව තුළ තියෙන්නේ නියම ස්වරූපය නෙවෙයි. ගොසිප් කලාව පමණයි. කැලේ පිපෙන මල් වල සුවඳ විඳීන්නේ මලේ අගය දන්න අය පමණයි.

 

වැඩසටහනකට උපසිරැසි ඇතුළත් කිරීමේදී, එය ගලාගෙන යන පිළිවෙත අනුගමනය කරන්නේ කොහොමද ?

මුලින්ම වැඩසටහන නිර්මාණය කරලා තියෙන ආකාරය බලලා, වැඩසටහන නරඹලා එයට අදාළ තිර පිටපත ලියාගෙන තමයි මූලික පියවරට සූදානම් වෙන්නේ. අපි කණ්ඩායමක් හැටියට තමයි වැඩ කරන්නේ. ඕනෑම වැඩසටහනක්, සිනමා පටයක්, සඟරාමය සහ වාර්තාමය වැඩසටහනක්, සහ අනිකුත් සියලුම වැඩසටහන් කරද්දී තිර පිටපත් රචකයන්, පරිවර්තකයන්, සෝදුපත් කියවන්නන්, උපසිරැසි ඇතුළත් කරන්නන්, සංස්කරණ ශිල්පියා, වැඩසටහන් අධ්‍යක්ෂක නිෂ්පාදක සහ අධීක්ෂණ අධ්‍යක්ෂකවරයා ඇතුළත්ව කාර්ය මණ්ඩලයක් මෙයට අනුගත වෙලයි ඉන්නේ. පෙළි තුනකින් යුතු උපසිරැසියක් තමයි ඇතුළත් කළ යුත්තේ. අවසාන වශයෙන් උපසිරැස ඇතුළත් කර හය, හත් ගමනක් නිරීක්ෂණය කරලා තමයි අවසාන තීරණයට එන්නේ. ඒ විදිහට අවසන් වන වැඩසටහන හෝ සිනමාපටය නැත්නම් වෙනත් කුමන හෝ වැඩසටහනක් මුදාහරින්නේ ඉන්පසුවයි. සරලව කිව්වට මෙහි ගැඹුර සෑහෙන්න වැඩියි. ප්‍රායෝගිකව අත්වින්දොත් පමණයි එහි මුල සිට අවසානය දක්වා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරියට පුවත්පතක් එළිදකිනවා වගේම තමයි. මේ සියලු දේවල් සිදු වන්නේ පැය භාගේ, පැය, පැය එකහමාර, පැය දෙක, වැඩසටහනකට අනුවයි. විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් තරඟ කරන්නේ ගුවන් කාලය අනුවයි. ඒ නිසා ගුවන් කාලයත් සමඟ තමයි අපි තරඟයට දුවන්නෙ.

 

උපසිරැසි ක්ෂේත්‍රය තුළ කිසිවකු සම්මානයකට පාත්‍ර වී නැහැ නේද?

මේ තාක් උපසිරැසි සපයන්නකු සම්මානයට සහ සහතික පත්‍රයක්වත් හිමි වෙලා නැති කලාවක් තියෙන්නේ. හැම සම්මානයක්ම සහතිකයක්ම හිමි වන්නේ තෝරා ගත්ත කොටසකට පමණයි. ඒ තෝරා ගත්ත කොටස්වලින් අපිව අයින් වෙලයි ඉන්නේ. එයට හේතුව මොකක්ද කියලා අපිත් හොයනවා. සමහරවිට ගොඩක් දෙනෙක් හිතන්නේ අපි කාර්යභාරයක් ඉෂ්ට නොකරන කේෂ්ත්‍රයක් කියලා. අපි ගැනත් හොයලා බලලා අපිටත් නියම අගයක් වටිනාකමක් දෙනවා නම් කොච්චර වටිනවද කියලා හිතෙනවා නේද? ඒ දවස කවදා එයිද කියලා අපිත් බලාගෙන ඉන්නවා.

 

ඔබ වෙනත් ඉසව් කරාත් දක්ෂතාවයන් දක්වන්නියක් නේද?

මම මේ වනවිට කාටූන් චිත්‍රපට සහ දෙමළ සිනමාපටවලට හා වෙනත් නාට්‍යවලට හඬ කැවීම් ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. පෝයදින ටෙලි නාට්‍ය සහ ටෙලි නාට්‍ය කිහිපයකම රංගනයෙන් දායක වෙලා තියෙනවා. මට වෙනත් නිර්මාණ කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලැබුණා. එහෙත් මම කරන රාජකාරිය අනුව ටිකක් විවේකය අඩුයි. ඒ නිසා ඉඩ ලැබෙන විදිහට අනිත් නිර්මාණවලට මම දායක වෙනවා. මගේ ලොකු හීනයක් තියෙනවා සිනමාපටයකට දායක වෙන්න. මට උපසිරැසි නිර්මාණ ශිල්පිනියක ලෙස අවුරුදු පහළොවක පළපුරුද්දක් තියෙනවා. ඒ දේවල් එක්ක මගේ ජීවිතේ කලාවට තියෙන්නේ ලොකු බැඳීමක්. ඒ නිසා වෙනත් ඉසව් කරා ගවේෂණාත්මක දේවල් සොයන්නට මම හරිම කැමතියි.

 

වැඩසටහනකට උපසිරැසි සැපයුමේදී කොපමණ කාලසීමාවක් ගත වෙනවාද?

එක වැඩ සටහනෙන් වැඩසටහනට කාල සීමාව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දිනයක්, දින දෙකක් ඇතුළත සියල්ලම ඉවර කරන්න පුළුවන්. වැඩසටහන විකාශනය වන දිනය අනුව තමයි වැඩසටහන නිමා කරන්නේ. ඒත්, බලාපොරොත්තු වන දිනයට ඉක්මනින් නිර්මාණය කළ වැඩසටහන් ඉවර කරනවා. මාසයක් ඇතුළත පන්සියයක්, හයසියයක් වැනි නිර්මාණ සංඛ්‍යාවකට උපසිරැසි සපයනවා. වැඩසටහනෙන් වැඩසටහන විවිධත්වය නිසාම මේ උපසිරැසි සැපයම හරිම විනෝදජනකයි. ඒ නිසා මම මේ කටයුත්ත කරන්නේ හරි සතුටින්. මගේ ජීවිතේම මෙතනට කැප කරලයි මම වැඩ කරන්නේ. ආසාව නිසා කාලය ගත වෙනවා දැනෙන්නෙත් නැහැ. මේ නිර්මාණකරණයට යොමු වුණාට පස්සේ අතරමැද දී දාලා යන්න බෑ. වැඩක් භාර ගත්තාම ඒ වැඩේ ඉවර කරලම තමයි අපේ කණ්ඩායමේ සියලු දෙනාම යන්නේ.

 

වැඩසටහනක හෝ වෙනත් නිර්මාණයක උපසිරැස සැපයීමේදී කොපමණ මුදලක් අය කළ හැකිද?

නිර්මාණයෙන් නිර්මාණයට මිල ගණන් වෙනස් වෙනවා. මේ සියලු දේවල් සිදු වෙන්නේ මම පෙර සඳහන් කළ ආකාරයට හා සමාන ගුවන් කාලයත් එකකයි. සමහර වෙලාවට භාෂාව එක්වුවත් මිල ගණන් වෙනස් කරනවා. මට කවදාවත් මිල ගණන් තීරණය කරන්න බෑ මම ආයතනයකට බැඳීලයි ඉන්නේ. මම මිල ගණන් ගැන සඳහන් කරන්න දන්නෙත් නෑ. ඒත්, ආයතනවලින් බැහැරව වැඩ කරන අය ඔවුන්ට හිතුමතේ මිල ගණන් තීරණය කරනවා. ඒ හැකියාව, කාලය අනුව හා නමට තියෙන ප්‍රසිද්ධිය අනුවයි. උපසිරැසි නිර්මාණ කරණයේ යෙදෙන්නන් ඉතාම අතළොස්සක් නිසා එයට තියෙන වටිනාකමත් වැඩියි.

 

ඔබත් ආදරය විඳලා ඇති ?

සියලුම දෙනා ආදරේට ආදරේ කරනවා. පිරිමි ගැහැනු භේදයකින් තොරව ආදරය ලැබෙන්නත් ඕනේ. ආදරේ කරන්නත් ඕනෑ. මම ඒ දෙකම හොඳට විඳල තියෙනවා. ඕනම සත්ත්වයෙකුට වගේම මනුෂ්‍යයාටත් ආදරය දුන්නොත්, ආදරය නිරතුරුවම ලැබෙනවා. ආදරේ මුවාවෙන් වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන සමාජයක් අද නිර්මාණය වෙලා තියෙන්නේ. තමන් ජීවත්වන පවුල් පසුබිම හා සමාජයීය කේන්ද්‍රීය පසුබිම තුළ නියම ආදරයක් සොයන්නකුට නියම ආදරය දෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් තේරුම් ගන්නෙ නැති කම තමයි අද තියෙන්නේ. මම හැමදාමත් ආදරෙන් තමයි ජීවත් වෙන්නේ.

 

ඔබේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය සහ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ අම්මා ඇතුළුව පවුලේ සියලු දෙනාම මට හොඳ සහයෝගයක් දෙනවා. ඒ වගේම මගේ යහළු මිත්‍රාදීන්, ඥාතීන් සියලන්ම මගේ ගමන පිටු පස සිටිනවා. මම යම් දුරක් ආවානම්, ඒ සියලු දෙනාගෙන්ම ලැබුණු ආශීර්වාදය හා උපදෙස් නිසයි. මගේ ජීවිතේ බලාපොරොත්තු ගොන්නක් තුරුලු කරගෙන මම ජීවත් වෙන්නේ නැහැ. අද දවසේ හිතන්නේ කාට හරි උදව්වක් කරලා තවත් කෙනෙක්ගෙ ජීවිතයක් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ කරන්න තමයි. මම කරන දේ අනුව මට හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන්.

 

 

[email protected]