වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
එකෝමත් එක රටක “සිල්වෙස්ටර් ආයෙමත්”

කලා ක්ෂේත්‍රය පුරා ඇය දශක කිහිපයක් විවිධ මාධ්‍යයන්ට සම්බන්ධ වෙමින් ලත් අත්දැකීම් සම්භාරය අති සුවිශේෂියි. නිළියක වශයෙන් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් ඇගේ රඟ සොබාව අපි නොයෙක් වර දැක ඇත්තෙමු. විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ රංගනයට එක්වීමෙන් ලද අත්දැකීම් පරිචය මෙන්ම තමන් විසින් ඉගෙන ගන්නා ලද යමක් වී නම්, එම අධ්‍යයනයන් ද සමඟින් මෙවර ඇගේ උත්සාහය වූයේ තමන් සතු දේ තවත් පිරිසකට නොමසුරුව ලබා දෙන්නටය. එම උත්සාහය තව දුරටත් සිහිනයක් නොවන්නට ඇයට සවියක් වන්නට ඇගේ කල්‍යාණ මිතුරියක් ද මේ ගමනට එක් වූවාය. මේ දෙදෙනාගේ අභිප්‍රාය දැන් මල්ඵල ගැන් වී හමාරය.
මේ මිතුරියන් දෙදෙනා වන්නේ මාධනී මල්වත්ත ගේ සහ තිළිණි වීරසිංහය. දෙදෙනාගේම මිත්‍රත්වයට පාලම සදන්නේ ද කලාවමය. කලාවේදී මුණ ගැසුණ මේ මිතුරියන් දෙදෙනාටම අවශ්‍ය වූයේ කාලාන්තරයක් පුරා තමන් කලාවෙන් ඉගෙන ගත් දෑ තමන් පුහුණු කර ගත් දේ, තමන් ලබාගත් අත්දැකීම් නව පරපුරකට ලබාදීමේ ඕනෑකමය. මේ ඕනෑකම නොයෙකුත් බාධක මධ්‍යයේ ඔවුන් දැන් ළඟා කර ගෙන හමාරය. නාට්‍ය කලාව පිළිබඳ ත්‍රෛමාසික පුහුණු පාඨමාලාවක් ආරම්භ කළ ඔවුන් දෙදෙනා එම ආධුනික පුහුණුකරුවන් සමඟ කළ නිර්මාණ කාර්යයක් පිළිබඳ කතා බහකටය අපේ මේ පිවිසුම.
අලුතින් එළි දැක්වූ නාට්‍යය ගැන සඳහන් කරමින්ම අපේ කතා බහ ආරම්භ කරමු.
අපි අලුතින්ම කරපු නාට්‍යයේ නම ‘සිල්වෙස්ටර් ආයෙමත්’ මේක අපි කරන්නේ ‘ඩිතිරැම්බය ඇකඩමි ඔෆ් තියටර් ආට්ස්’ කියන අපේ නාට්‍ය ඇකඩමියෙන්. මමත්, මගේ මිතුරිය තිළිණි වීරසිංහත් එකතු වෙලා තමයි මේ ඇකඩමි එක ආරම්භ කළේ. තෛ‍්‍රමාසික පුහුණු වැඩමුළුවක් තමයි මේකෙන් අපි කරගෙන යන්නේ. අපේ ඇකඩමියේ ඉන්නවා ලංකාවේ විවිධ පළාත්වල ළමයි. මේ ළමයි සමහර දෙනෙක් වේදකාවක් දැකලවත් නෑ. තවත් සමහරු ඉන්නවා කවදාවත් වේදිකා නාට්‍යයක් දැකල නැති අය. මෙහෙම දරුවෝ ටිකක් තමයි අපිත් එක්ක මේ පුහුණු ඇකඩමියට එකතු වෙලා. ඔවුන්ගේ තෛ‍්‍රමාසික පුහුණුව ඉවරවෙලා මේ නාට්‍යය කරන්නේ.
කොහෙද මේ ඇකඩමිය පවත්වාගෙන යන්නේ?
නාඩා ආයතනයේ තමයි පවත්වාගෙන යන්නේ මේක මාස තුනක වැඩමුළුවක්. මේ අපේ ඇකඩමියට සම්බන්ධ වුණු පළමු ළමුන් කණ්ඩායම. ඇත්තටම මේක මේ දරුවන්ගේ කල එළි මංගල්‍යයක් වගේ. මේ නාට්‍යය අපි පෙන්වූයේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී. සමහර දරුවෝ ඒ වගේ තියටර් එකක්වත් දැකල නැති අය ඉන්නවා. මේ නාට්‍යයට ළමයි 32ක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාම මේ නාට්‍යයට සම්බන්ධ වුණා.
මේකේ විශේෂත්වය තියෙන්නේ මේක වැඩ මුළු නාට්‍යයක් වීමයි. වැඩමුළු නාට්‍යයක් කරන්නේ කොහොමද කියන ඒකට හොඳ අත්දැකීමක් මේ තුළින් ලබාගන්න පුළුවන්. මේ නාට්‍යය අපි හඳුන්වන්නේ ‘එකෝමත් එක රටක’ කියලයි.
මේ නාට්‍යය පිටපත් රචනයත් ඔවුන්ගේමද?
නැහැ. ප්‍රවීණ නාට්‍ය රචකයකු වන සුනන්ද සිල්වා මහතාගේ තමයි නාට්‍ය පිටපත. පිටපතේම තිබුණා මේක ටිකක් යුරෝපයට බර ගතියක්. ඒ නිසා අපි හිතුවා ඒක යුරෝපයට බර කරන්න. ඒ නිසා පසුබිම සඳහා අපි යුරෝපය තෝර ගත්තා. ජනතාවට අත්දකින්න සිද්ධ වෙන දේශපාලන, ආර්ථික, සමාජීය ව්‍යසනය තමයි මේ නාට්‍යය හරහා සියුම්ව කතා කරන්නේ. බොහෝ නිර්මාණවලට දේශපාලනය ප්‍රස්තුත වෙනවනේ. අපේ මේ නිර්මාණය ඇතුළෙත් යටින් දේශපාලනය කතා කරනවා. පසුගිය 20 වැනිදා තමයි මේ නාට්‍යය ඉස් ඉස්සරලම දොරට වැඩියේ. මට හිතෙනවා බොහෝ දෙනෙක් නැවුම් අත්දැකීමක් විඳගන්න ඇති කියලා.
මෙවන් ඇකඩමියක් ආරම්භ කිරීමේ සංකල්පය බිහිවුණේ කොහොමද?
අපේ රටේ නාට්‍ය කලාව ඉගෙන ගන්න ලොකුවට තැනක් නෑනේ. යම් යම් අය කරනවා තමයි. සමහරු ඉතාම හොඳට කරනවා. ඒ වගේම තමයි බොරුව කරන අයත් ඒ අතරේ ඉන්නවා. මේක අපි දෙන්න පටන් ගත්තේ මේ කලාව තවමත් හදාරමින් ඉන්න දෙදෙනෙක් විදියට. අපිත් හදාරමින් තමයි අපි ලබාගත්ත මේ දැනුම් සම්භාරය දරුවන්ට දෙන්නේ. රඟපානව කියන එක ලේසි පහසු කර්තව්‍යයක් නොවෙයි. සමහර බලන් ඉන්න අයනම් කියනව මේක හරි ලේසි දෙයක් කියලා. නෑ මේක ලේ්සි වැඩක් නොවෙයි. එහි තිබෙන ඇතුළාන්තය, කොහොමද අපි චරිතයකට ප්‍රවිශ්ටය ගන්නේ, මෙකී නොකී දෑ රංගනයේ අඩංගුයි. මම නම් හිතන්නේ ඒක වෙනමම කර්තව්‍යයක්. අපි ළඟට එන කිසිම දෙයක් දන්නැති දරුවෙක් හරියට මැටි පිඩක් වගේ. ඒක ඕන අතකට කරකවල ගන්න පුළුවන්. අපි චරිතයක් නිර්මාණය කරනවා කියන එකත් ඒ වගේමයි. මැඩි පිඩක් අපි නිර්මාණයක් බවට පත්රකරනවා. ළමයෙක් නිර්මාණාත්මක දරුවෙක් බවට පත් කරනවා කියන එකත් එහෙමයි.
අපේ ඇකඩමි එකට සම්බන්ධ වෙන දරුවන් අලුත් දරුවන් නිසා අපට ඔවුන්ගේ හඬවල් ඔවුන්ගේ රංගනය, නම්‍යශීලිභාවය මේ හැම එකක්ම ක්‍රම ක්‍රමයෙන් දියුණු කරන්න සිද්ධ වුණා. අද අපිට ඒ ගැන සිහිපත් වෙනකොට ඇස් දෙකට කඳුළු උනනවා මේ එදා හිටිය ළමයි ද අද වේදිකාවේ රඟපාන්නේ කියලා. ඒ ගොල්ල වචනයක් වත් කතා නොකරපු, හැංගිලා හිටපු දරුවෝ. ඇත්තටම අම්මල තාත්තල මේකට යොමු කරන්නෙත් මේ දරුවෝ පොඩ්ඩක් එළියට දාල දෙන්න කියලයි. ඇත්තටම වේදිකාව උඩ මේ දරුවෝ අද දකිනකොට හරි සතුටක් ඇතිවෙනවා. මාස 03න් අපට දරුවෙක් පරිපූර්ණත්වයට පත් කරන්න බෑ. අපි වැඩමුළුව පැවැත්වුවේ සති අන්තයේ. නමුත් නාට්‍ය පුහුණු වීම් සතියට දවස් තුන හතර කළා. අන්තිමට සතියමත් කරන්න සිද්ධ වුණා.
ඔබලාගේ අනෙක් රංගන කටයුතුත් එක්ක මේක කොහොමද කළේ?
ඇත්තටම කිවුවොත් අපිට ලොකු කැපකීරිමක් කරන්න සිද්ධ වුණා. අපේ ගෙදර දොර වැඩකටයුතු, අනෙක් රූගත කිරීම් සියල්ල අතහැරල මේ නිර්මාණයත් එක්ක තමයි බැඳිලා හිටියේ. අපේ දෙවැනි කණ්ඩායම අපි ලබන අවුරුද්දේ ජනවාරි මාසේ පළවෙනි සති අන්තයේ නාඩා ආයතනයේදීම බදවා ගන්නවා. උදේ 8.00 සිට සවස 4.00 වෙනකම් අපේ වැඩමුළුව පැවැත්වෙනවා. හැම සෙනසුරාදා ඉදිරිදාවකම මාස 03ක් අපි ඒ අයත් පුහුණු කරනවා. ඒ දරුවන්ගෙනුත් මේ වගේ නිර්මාණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මෙයින් බිහිවන දරුවන්ට වෘත්තීයක් විදියට මේක තෝරගන්න පුළුවන් වෙයිද?
ඇත්තටම ලංකාවේ කලාවට වෘත්තීය මට්ටමක් හැදිලා නෑනේ. මෙතන ඉන්නවා හරිම නිර්මාණශීලි දරුවෝ. ඒ අයව ක්ෂේත්‍රයේ වැඩ කරන දන්න අඳුනන අය විදියට ඉස්සරහට හොඳ නිර්මාණ වලට යොමු කිරිමේ වගකීම අපට තිබෙනවා. අධ්‍යක්ෂවරයා කවුද නළු නිළියන් කවුද, මොනවගේ නිර්මාණයක් ද යන්න ගැන සොයා බලා නිසි මඟට යොමු කිරීමේ වගකීම අපට තිබෙනවා. විශේෂයෙන් කාන්තාවන් දෙදෙනෙක් විදිහට ගැහැනු ළමයින් පිළිබඳ වගකීම අපට තිබෙනවා. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය පැත්තෙන් ටෙලි නාට්‍ය සිනමාව පැත්තෙන් මේ දරුවන්ට හොඳ අනාගතයක් හදල දෙන්න තමයි බලාපොරොත්තුව.
තිළිණි කොහොමද මේ ගමනට එක් වුණේ?
තිළිණි මට අවුරුදු ගණනාවකට ඉස්සර මුණ ගැහැණු කෙනෙක්. අපි දෙන්නා හොඳ යාළුවෝ බවට පත්වුණේ මේ ළඟදී. බුද්ධික ලොකු කැටිය ගේ ටෙලි නාට්‍යයකදී අපි දෙන්නා හදිසියේම හමුවෙනවා. අපි අතර තිබුණු යාළු මිත්‍රකම වැඩි දියුණු වුණා. ඊට පස්සේ අපි අවුරුද්දක් තිස්සේ මේ නාට්‍යය වැඩමුළු ගැන කතා බස් කළා. තිළිණිත් වැඩමුළුවලට සම්බන්ධ කෙනෙක් හැටියට මමත් වැඩමුළු කරන කෙනෙක් හැටියට අපි මේ ගැන දීර්ඝ සාකච්ඡා කළා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ ඇකඩමිය. රටේ විතරක් නොවෙයි ලෝකෙම ලොකුම ප්‍රශ්නයක් තියන කාලෙක තමයි අපි දෙන්න වැඩමුළුව පටන් ගත්තේ.
මේ වගේ කාලෙක මේක අභියෝගයක් නොවෙයිද?
ලොකු අපහසුතා ඇතිවුණා. පළවෙනි මාසෙ අපිට නවත්වන්න වුණා පෙට්‍රල් ප්‍රශ්න ඇවිත් ප්‍රවාහන අපහසුතා ආව නිසා. මාසයක් නවත්තල තියල තමයි ආයෙ අපි පටන් ගත්තේ. හැබැයි මේ දරුවෝ ටික කැඩුණේ නෑ. ඒ ගොල්ලන්ට අපි ගැන ලොකු විශ්වාසයක් තිබුණා.
හේමාලි විජේරත්න
සේයාරුව - නිශ්ශංක විජේරත්න