ගීතය සද්ජන සුභාවිත සමාජ හිතකාමී දෙයක්

මහාචාර්ය පාතේගම ඤාණීස්සර හිමි
නොවැම්බර් 24, 2022

 

ඇතැම් පෞද්ගලික මාධ්‍ය ලාභයම සොයන තැනට වැටිලා

මම නිර්මාණයක් කරන්නේ කෙනෙක් ඉල්ලීමක් කළොත් පමණයි

ගෝලීයකරණයෙන් අපේ රට අරගත්තේ බටහිර කුණුකන්දල්

බෞද්ධකම නැති ගිහි පැවිදි  දෙපිරිසම ඉන්නවා

ප්‍රේමයේ මල් හසරැලී

ජීවිතේ දුක් කඳුලැලී

පුරුදු වන්න සම සිතින්

දරන්න ජීවිතේ

ඔබේ කඳුළු දෙන්න

මගේ හසරැලි ගන්න

ආදරේ

ඔබ සිනා සෙන විට

ලොවම ඔබ හා

සිනාසෙයි ළෙන්ගතුයි

මල් හසරැලි

පෙති බිම වැටි

තැවෙනා දිනේ

ලොව විසකුරුයි

 

හිඳ බෙදාගෙන

දුක සැප ද එකසේ

දරාගෙන ළඟ වැටී

උන් හිතමිතුරු

නුඹ හැර යතී

කම්පා නොවන්

ඒකයි හැටී

 

පාතේගම ඤාණීස්සර හිමියන් විසින් රචිත ගීත අතර වර්තමානයේ බොහෝ ප්‍රචලිත ගීයකි මේ. එය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහයන් වන අතර දර්ශන වික්‍රමතුංග සංගීතවත් කර ඇත. නච්ච, ගීත, වාදිත, විසූක දස්සන ආදි වශයෙන් ගැනෙන ලලිතකලා අංගවලින් සසර අවබෝධයට මාර්ගය දුරස්ථ වන බව කීවත් අප රටේ ගීත සාහිත්‍යයට සම්බන්ධ වූ භික්ෂූන් වහන්සේ බොහෝ වෙති. මහාචාර්ය පාතේගම ඤාණීස්සර හිමියෝ ගීත රචනය පමණක් නොව ඒ හා සම්බන්ධ පර්යේෂණ කෘති රැසක් ලියා ඇත්තාහ. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දර්ශන ශූරී පාතේගම ඤාණීස්සර ස්වාමීන් වහන්සේ එදා මෙදාතුර රචනා කළ ගේය පද මෙන්ම ශාස්ත්‍රීය සංග්‍රහ පිළිබඳ සරසවියෙන් විමසීමට කාලය එළැඹුණි. ඒ නිසාම ගිහියන්ට මෙන්ම පැවිදි යතිවරුන්ට ගීපද රචනය උරුමද යන්න මුල්ම පැනය ලෙස ඇසීමට සිතුවෙමි. එයට උන්වහන්සේගේ පිළිතුර මෙසේ විය.

 

නච්ච කියන්නේ නැටුම්, ගීත කියන්නේ ගැයුම්, වාදිත කියන්නේ වැයුම් විසූක දස්සන කියන්නේ උසුළු විසුළු ඇති දේ. හැබැයි ගීපද රචනයේදී ඒ කිසිවක් සිදු වන්නේ නෑ. ඒ නිසා මගේ විශ්වාසය නම් ගීත රචනය සම්බන්ධව ඒ ශික්ෂා පදය බලපාන්නේ නැති බවයි. හැබැයි ඉතින් ගීත ගායනා කිරීම නම් භික්ෂූන්ට කැප නෑ. රචනය කියන්නේ සාහිත්‍යමය කොටස විතරයිනේ. අටසිල් සමාදන් වූ අයටත් ඒ සිල්පදය අයිතියි. බුදු හිමියන් වුණත් පළමුව කළ උදාන වාක්‍යය ගීයක් වගේනේ. ඒත් එය නැටීමේ ආකෘතියට අයත් වන්නේ නෑ. භාෂාව මඟින් අදහස් ප්‍රකාශ කිරීමක් තමයි පද රචනය කියන්නේ. ඒ නිසා එය භික්ෂුවට තහනම් වූ ගිහියන් පමණක් කරන දෙයක් ලෙස ගන්න බැහැ.

 

උන්වහන්සේ පිළිතුරු දුන්හ. එහෙත් මගේ සිත තවත් පැනයකට යොමු වෙයි. ඒ ආදරය, ප්‍රේමය හා සම්බන්ධ ගීත ලිවීම සම්බන්ධවය. “ප්‍රේම ගීත කියන්නෙත් සාහිත්‍යමය සංකල්පනාවක්. නිර්මාණාත්මක අදහසක් ලියා දැක්වීම වරදක් ලෙස මම දකින්නේ නෑ.“ උන්වහන්සේගේ පිළිතුර විය.

 

එහෙත් උන්වහන්සේ ප්‍රේම ගීත ඇසුරෙන් ලියන්නේද අප ජීවිතයේ අටලෝ දහමට නතුවන හැටි යැයි ඒ පද යෙදුම්වල අරුත් නිසි අයුරින් ගෙන බලන්නෙකුට අවබෝධ වේ. ගීතය පිළිබඳ පාතේගම හිමියන් දරන මතය කෙබඳුදැයි විමසීම යුක්ති යුක්තය.

 

“අද ඇත්තටම ගීත නිර්මාණ සැලකුවාම ඒවායින් සමාජ සුභාවිත සද්කාර්යයක් සිදු වෙනවාද යන්න දෙවරක් සිතන්න වෙනවා. අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන හැත්තෑව දශකය ගත් විට ගීතය සැලකෙන්නේ සමාජයට අර්ථාන්විත දෙයක් ලබා දීමට කරන නිර්මාණ ලෙසයි. වර්තමානයේ කන පිනවන ඇඟ නටවන අංශයටනේ වැඩි රුචිකත්වය ලැබෙන්නේ. එය බටහිර ශීත රටවලට ගැළපෙනවා වෙන්න පුළුවන්. ඔවුන්ට ඒ දේශගුණය අනුව ඇඟ උණුසුම් කරගන්න නටන්න අවශ්‍යයි. යම් පොළොවක සංගීතයක් බිහිවන විට ඒ පොළොවේ බලපෑම එයට තිබෙනවා. රැප් රෙගේ වගේ සංගීත ක්‍රම, බොබ්මාලේ වැනි අයගේ ගීත විධි ඒ පොළොවට වැදගත්. අපේ රටවල තද ශීත හෝ උෂ්ණ ගති නැති නිසා අපට වැදගත් වන්නේ සමාජයට සරුසාර අදහස් දීමයි. බුදු සමයෙන් පෝෂණය වුණු රටක් ලෙස අර්ථාන්විත දේ ජන මනසට ලබා දීමයි. රැප් රෙගේ වගේ ගීතවල උච්චාරණයට වැඩි අවස්ථාවක් සහ ඒ රසයට වැඩි තැනක් ලැබෙද්දි අපේ රටේ අර්ථ රසයට වැඩි තැනක් ලැබෙන්නේ ඒ නිසයි. ශබ්ද රසය සවන්පත් ළඟට පමණයි එන්නේ. ඒත් අර්ථ රසය මොළය කරාම ගමන් කරනවා. ඒ නිසා තමයි ගීතය සද්ජන සුභාවිත සමාජ හිතකාමී දෙයක් ලෙස තිබුණේ.“

 

පාතේගම හිමියන් එසේ පවසන විට මට සිතුණේ බොබ් මාලේලා, මයිකල් ජැක්සන්ලා ගයන ගීතවලද අර්ථය සමාජ සේවය සඳහා යෙදුණු අවස්ථා එමට බවයි. ඒ විමසීමටද උන්වහන්සේට පිළිතුරක් තිබිණි.

 

ගෝලීයකරණ ප්‍රවණතාවලින් අපේ රට අරගත්තේ බටහිර කුණුකන්දල් මිස හොඳ දේවල් නෙවෙයිනේ. අනෙක ඇඳුම පැලඳුම වුණත් බලන්න? ඒ රටවල සීතලට අඳීන ටයි කොට් අපේ සමශීතෝෂ්ණ රටේ ඇඳගෙන ඩාදිය බේරෙමින් ඉන්න ලස්සන. අපේ රටේ මිනිස්සු ආගමික, ජාතික පමණක් නොවේ සාහිත්‍යමය වශයෙන් ගත්තත් අඥාන ගතියක් දක්වනවා. එහෙම නිසා තමයි ඔය ප්‍රශ්න මතුවන්නේ. අපේ මිනිස්සු මොන දේ වුණත් අයහපතමයි ග්‍රහණය කරගන්නේ. සුද්දගෙන් පසු පරදෙසක්කාරයන් හොඳයි කී නිසාද මන්දා ශබ්ද රසයට වැඩි තැන දෙන සංගීතය තමයි වැඩි වශයෙන් බිහිවන්නේ. ඒවාටම ගැළපෙන ගීත රචනා ලියැවෙන්නේ. ඒ නිසා අපේ රචනාවලට දැන් තැනක් ලැබෙන්නේත් නැති තරම්.

 

එය වඩාත් පැහැදිලි කරගැනීමට මට ඇවැසි විය.

 

“ශබ්ද රසයට වැඩි තැන දෙන්න ගියාම භික්ෂූන් වහන්සේ වගේම අනෙක් හොඳ ගීපද රචකයන් ලියූ ගී නිර්මාණ මඟ හැරී ගොස් තිබෙනවා. අපේ ගුවන්විදුලිය පමණක් තිබුණු ඒ යුගයේ සමාජ හිතකාමී දේවල් කරන ගමන් තමයි ආයතනය ලාභ සෙව්වේ. ඒත් දැන් දැන් ඇතැම් පෞද්ගලික මාධ්‍ය ලාභයම සොයන තැනට වැටිලා. ඉතින් අපේ ගීතයටත් එය බලපෑවා කියායි මම හිතන්නේ. අද කේශනාළිකා තරමට ගුවන්විදුලි නාලිකා තිබුණත් ගීත රචනා ගැන කතා කරන චැනලයක් නැතිතරම්. ඒ නිසා මහ සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතියට නතු වෙලා.

 

ප්‍රේමයේ මල් හසරැලි ගීතය ගැන උන්වහන්සේගෙන් විමසිය යුතුයැයි සිතිණි.

“ඒ ගීය ලියා බොහෝ කාලයක් ගත වුණා. සුනිල් එදිරිසිංහ මහත්මයා එය ගායනා කළේ යම් කාලයකට පසුවයි. එයින් මම කියන්න උත්සාහ කළේ බුදු දහමින් මිනිසා හුරු කරන්නේ සියල්ල සමසිතින් දරා ගන්න කියන දේ පැවසීමටයි. අටලෝ දහමින් වගේම පුට්ඨස්ස ලෝක ධම්මේහී කියන්නෙත් සම සිතින් දරාගන්න කියන දෙයයි. මිනිසා මිනිසාට බනිනවා. ඇතැම් යතිවරු තම තමන්ගේ පිරිස්වලට බැනගන්නවා. මේ දේවල් නිසා සමාජය ඛේදජනක ලෙස පිරිහී තිබෙනවා පමණක් නොවෙයි තව තවත් අගාධයටම යනවා. එහෙම සමාජයක වුණත් මේ දුක සැප සමසිතින් දරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එය හොඳ ගුණයක් නොවේද?“

 

පාතේගම හිමියන්ගේ ගීපද රචනා පෙළ දේශාභිමානය, මවුපිය ගුණ ආදිය රැඳී කරුණ රසය දනවන ගීතවලින්ද සමන්විතය. විශාරද ගුණදාස කපුගේ ගයන මේ ගීය පිය සෙනෙහස විදහා දක්වන්නට හොඳ නිදසුනකි.

 

සුමුදු කුමදක් පිපී

පුරුදු සුවඳක් දැනේ

සොළොස් කලා පිරි

සඳක් සිනාසෙන

මේ රාත්‍රී යාමේ

මං බාලේ උර තලයේ

රන්දා අනන්ත ආදරයෙන්

දුන්න ඔවා මට

තාම ඇසේ රහසින්

පියාණනේ පියාණනේ

 

ආශීර්වාද සේ ලොවෙන්

නින්දා වරුසාවන් අතරේ

මට දැනුදු දැනේ

ඔබේ අගේ දිවා රැයේ

නින්දා අභියස

මහමෙර වන් පියාණනේ

 

විශාරද කරුණාරත්න දිවුල්ගනේ විසින් ගායනය කරනු ලබන රන් කරල් පැසී ගීතය එදා රජකමටත් සුදුසු යැයි කී ගොවියා අද දවසේ ගෙවන දිවිය සමඟ සසඳා ඇත.

 

රන් කරල් පැසී ඇල් පවනේ සැලී

ගොවි බිසවු මුවින් හසරැල් විසිරී

රන් කරල් කැපී අස්වනුත් මැනේ

අතු පැලෙත් සිනා කඳුළැල් වැතිරේ

 

හිස මලක් පිපී හසරැලින් දිලී

කුරුණියෙන් මැන්න කාලේ

අටු කොටුත් පිරී ණය තුරුස් ගෙවී

කිරි දනක් දුන්න කාලේ

 

රොන් මඩින් දෙපා දියවරින් තෙමා

සිහසුනත් පිදූ දීපේ

බැත මැන්න දොහේ ගෙට එන්න කලින්

කඳුළකුත් ඇයිද දෑසේ

 

අත්තම්මා ළඟ හැදී වැඩී ගෙවූ කුඩා කල පාසලේ එතරම් කැපී පෙනුණු සිසුවකු නොවූවත් මහන දම් පුරන්නට පටන් ගත් පසු පාතේගම හිමියන්ට පන්සලේ විනය නීති ආදියත් පාළුව තනිකමත් නිර්මාණකරණයට යොමු වන්නට මඟක් විය. එහිදී උන්වහන්සේට නිතැතින් මතකයට ආවේ අත්තම්මා කියා දුන් කතන්දරය. ඒවා උන්වහන්සේගේ නිර්මාණවලටද බලපෑමක් ඇති කළ බව කෘතඥපූර්වක හැඟීමෙන් යුතුව සිහි කරන හිමියන් කුඩා සාමණේර නමක් වෙනුවෙන් ලියූ අසංග ප්‍රියමන්ත පීරිස් ගයන මේ ගීය තමන් වහන්සේගේ අත්දැකීමක් දැයි වරෙක සිතේ.

වතුසුදු මල් ගහ

ළඟට වෙලා

බලන්නේ සෙල්ලම් කරන දිහා

සෙල්ලම් කරන්න දුව පැනලා

අවසර නැතිවද පොඩි සාදූ

අවසර නැතිවද පොඩි සාදූ

 

පාතේගම හිමියන්ගේ ගීත ගැයූ ප්‍රවීණයන් අතර බන්දුල විජේවීර ගයන ‘එනකොට නම්‘ ගීතය ද කැපී පෙනේ. එදා සිට ප්‍රකට ප්‍රවීණ ගායක ගායිකාවන්ට මෙන්ම අද පරපුරේ නවකයන් දක්වා ගීත රචනා කරන හිමියෝ කිසි විටෙකත් සිය ගීතවල අයිතිය වෙනුවෙන් හෝ කතා බහට නොයති. එනිසා උන්වහන්සේ අතින් චිත්‍රපට, ටෙලි නාට්‍ය ආදියට ගීත රචනා වුණේ නැති තරම්ය.

“මම කාවවත් හොයාගෙන යනවා අඩුයි. අඳුනාගන්නවාත් අඩුයි. පිරිස අතර ගැවසෙනවා අඩුයි. මා සමඟ ඇසුරු කරන අය මගේ විදිහ දන්නවා. ඒ නිසා මට චිත්‍රපට, ටෙලි නාට්‍ය ආදියට ගීත ලියන්න වැඩිය ආරාධනා ලැබුණෙත් නෑ. සමහර ටෙලි නාට්‍යවලට ඉල්ලා ගත් නිර්මාණ ඒ ටෙලි නාට්‍ය නොහැදුණු නිසා එහෙමම යට ගියා. මම කොහොමත් නිර්මාණයක් කරන්නේ කෙනෙක් ඉල්ලීමක් කළොත් පමණයි. නැත්නම් මම මුහුණු පොතට එක් කරනවා මගේ නිර්මාණ. ඒ තාක්ෂණය ප්‍රයෝජනයට ගත යුතු නිසා. ඒවා දකින සමහර අය මගෙන් ඒ නිර්මාණ ඉල්ලා ගන්නවා. සමහරු නිර්මාණය ගත් බව කියන්නෙත් නෑ. මම සමහර ගීත ලියූ පසු වෙනස් කරනවා. ඒත් ඒවායේ මුල් ලියැවිල්ල ගත් අය ගයන්නේ වෙනස් කරන්න පෙර ගීතය. අසම්මතයේ ගීතයත් ඒ වගේ අවුරුදු විස්සකට විසිපහකට පමණ පෙර ලියූ ගීතයක්.

අසම්මතයේ පිපී විකසිත සුමුදු කුමදකි සුමුදුනී

අසම්මතයේ මගෙන් වෙන් වී ගීයේ නුඹ පෙර පවකිනි

(ගායනය - චරිත ද ලැනරෝල්)

 

කුමන ගීතයකට වුවද බුදු දහමේ එන ලෝක සත්‍යය එක් කරන හිමියන් කරන කලට පවු මීරිය මීසේ යන ආදර්ශ කවිය ඇසුරෙන් ලියූ කරන කලට නම් හැසරැල් පිරුණත් ගීතයේ මිනිසුන්ට පවු පලදෙන ආකාරය දැඩිව පවසා තිබේ. එපමණක් නොව උන්වහන්සේ කර්මය පල දෙන ආකාරය පිළිබඳ බොහෝ කෘතිද රචනා කර ඇත්තාහ. ඒ සියල්ල සංඛ්‍යාවක් ලෙස ගත් කල හැටකට ආසන්නය.

 

“මම මිනිසුන්ට පවු පල දීම පිළිබඳ කර්මය පල දෙන හැටි, කරුමයේ අරුමය, කර්මය හා ධර්මය වැනි කෘතිවලින් කියා දෙන්න උත්සාහ කළා. කම්ම කියන දේ පුණ්‍ය කම්ම, පාප කම්ම ලෙස දෙවර්ගයක් වුවත් අපේ වැඩි අවධානය යොමු වන්නේ පාප කර්ම වෙතයි. කරන කලට නම් හසරැල් පිරුණත් ගීතයේ ‘කළ පවු පල දෙනවා දෙනවා මයි‘ කියන යෙදුම පිළිබඳ විවිධ අදහස් තිබුණා. ඒත් මම දකින්නේ බෞද්ධ වෙසින් සිටිමින් සිතේ බෞද්ධකම නැති ගිහි පැවිදි දෙපිරිසම ඉන්නවා. ඒ අය පිළිබඳ යම් නොපහන් සිතිවිල්ලකින් ලියූ ගීතයක් එය. දැන් ඔබ නියත වශයෙන්ම අහන ප්‍රශ්නය මම දන්නවා. ඒ හාමුදුරුවන්ට එහෙම කේන්ති යන එක හරිද කියලා. ඒක වැරැදියි. විශේෂයෙන්ම අපේ වගේ රටවල සංස්කෘතිය අනුව හාමුදුරුවරුන්ට, කාන්තාවන්ට කේන්ති යෑම හරි කැතයි. ඒත් මගේ හිත නොසන්සුන් වුණා මේ දේවල් නිසා. ඉතින් චේතනාව හොඳයි ක්‍රියාව නරකයි, චේතනාව නරකයි ක්‍රියාව හොඳයි, චේතනාවත් නරකයි ක්‍රියාවත් නරකයි, චේතනාව සහ ක්‍රියාව දෙකම හොඳයි කියන ක්‍රම අතරින් මේ ගී රචනාව අයිති වන්නේ හොඳ චේතනාවකින් කළ හොඳ ක්‍රියාවකට. ඇත්තෙන්ම මට මේ මූනිච්චාවට වැඩ කරන අය පිළිබඳ ඇතිවුණේ කේන්තියකට වඩා කලකිරීමක්.“ උන්වහන්සේ මද සිනහවක් සමඟ පවසමින් එය තවත් විස්තර කළහ.

 

“ඔය පේතවත්ථු එහෙම කියවද්දි මේ මනුස්සයන්මයි පවු කරලා ප්‍රේතයන් බවට පත්වන්නේ කියලා හොඳට කියා තිබෙනවා. මංකුලිත්ත සූත්‍රයේ පේන කියූ ගැහැනු කෙනෙක් මැරිලා ප්‍රේතියක් වෙලා දුගඳ හමන ආකාරය මුගලන් හිමියන් දුටුවා. දායක නෝනලා සමඟ එකතුව පවු කළ හාමුදුරු දෙනමක් සඟප්‍රේතයන් වී පන්සලේ වැසිකිලි වළේ ගත කළ දුක්ඛිත ජීවිතය ගූථකාදක පේතවත්ථුවේ සඳහන් වෙලා තිබෙනවා. සංසාරේ මිනිසුන් කරගන්නා දේවල්මයි ඒවාට පාදක වෙන්නෙ. ඒකයි මම එහෙම ලීවේ“

 

උන්වහන්සේ ගීත කලාව හා සාහිත්‍යය පිළිබඳව දරන්නේ මෙවන් මතයකි.

“පහුගිය කාලේ සිට ගීත කලාවේ බැස්මක් ඇති වෙලා තිබෙනවා. දැන් කැසට්, සීඩී පට ආදිය නෑනේ. ඕනෑම කලාවක් පවතින්නේ සහ ප්‍රභාන්විතව එය ගෙන යා හැකි වන්නේ කර්මාන්තයක් වුණොත් පමණයි. ඒ නිසා ඉදිරියේදී ගීතය කෙබඳු ගමනක් යයිද කියා අපට හිතාගන්න බැහැ. සාහිත්‍යය ඇසුරු කළ අය මඳ වීම ගීත කලාවේ පරිහානියට හේතුවක් කීවත් අතීතයේ අප හොඳයැයි සලකන කාලයේත් සාහිත්‍යය සාමාන්‍ය මිනිසුන් අතරට ගියේ නෑ. සමාජයේ කවදාවත් සියලු මිනිසුන් සාහිත්‍යය පරිහරණය කළේ නෑ. එහෙම විය යුතුයි කියා මම හිතන්නේත් නෑ. අද යූ ටියුබයෙන් ඩොලර් හම්බකරලා පවුල පෝෂණය කරන ගායක ගායිකාවන් ඉන්නවා. සමාජයේ සුභාවිත චරිතවලට හානි කිරීම නිසා තමයි සාහිත්‍යමය වශයෙන් යහපත් නිර්මාණ බිහි නොවන්නේ. අම්මා තාත්තා ගණන් නොගන්න, වැඩිහිටි පරපුරට වැඩ බෑ අපි තමයි වැඩ දන්න මිනිස්සු කියලා හිතන පිරිසක් තමයි අද බිහි වෙලා ඉන්නේ. මුහුණු පොතේ ප්‍රතිචාරවලින් නිසි විචාරයක් කිසිවකට ගන්න බෑ. ඒ ප්‍රතිචාරවලින් යමක හොඳ නරක හොයාගන්නත් බෑ. මොකද සමාජයේ පුද්ගලයා සිටීම සහ ඒ පුද්ගලයාගේ වචනයේ වගකීම දැරීම කියන කරුණු දෙකම මුහුණු පොතේ නැති නිසා. ගිණුම් ගණනාවක් එකම පුද්ගලයා පවත්වා ගනිමින් බොරු කරනවා.“

 

පාතේගම හිමියන්ගේ පර්යේෂණ ග්‍රන්ථ පිළබඳවද කතා නොකර බැරිය.

“පොත්පත් නම් සෑහෙන ලියාගෙන ආවා. බුදු සමය සහ අධ්‍යාපන විද්‍යාව වැනි විවිධ මාතෘකා ඔස්සේ. ඉන් බුදු සමය සහ අපරාධ විද්‍යාව කියන කෘතියට රාජ්‍ය සම්මාන ලැබුණා. එය සමහර විට අපරාධ විද්‍යාව පිළිබඳ බෞද්ධ ඇහැකින් ලියැවුණු එකම ග්‍රන්ථයද කියලත් හිතෙනවා. යතිවරයකුගේ කටු සටහන්, යතිවරයකුගේ පන්හිඳ, යතිවරයකුගේ සති විනිස වැනි තීරු ලිපි වගේම සිංහල ගීතය පිළිබඳවත් කෘති කීපයක්ම ලීවා. ඇත්තෙන්ම මගේ සාහිත්‍ය කෘති සඳහා ආභාසය ලැබුණේ රඹුකන සිද්ධාර්ථ හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි විද්වතුන්ගේ නිර්මාණ අධ්‍යයනය කිරීමෙන්. මගේ ජීවිත කතාව ලෙස ලීවේ නාගස් මණ්ඩිය කෘතිය. ඉස්සර නම් සූත්‍ර ධර්මයක් කියෙව්වාම එයින් බණක් කියනවා. ගීතයක්, කවියක් ලියනවා. කෘතියක් කරනවා. ධර්ම සන්නිවේදකයකු ලෙස යෙදෙන්න පුළුවන් ආකාරය එයයි. ඒ කොහොම වුණත් දැන් නම් ලියන්න හිතෙන්නේ නෑ. ඒ මොකද කියලා මම දන්නෙත් නෑ.“

 

එසේ කීවද උන්වහන්සේ මේවන විට පොත් ලිවීමට ඔබ්බෙන් යන විද්‍යුත් මාධ්‍ය වෙත යොමු වී තිබීම එයට හේතුව යැයි මට සිතිණි.

“ඔවු ඒ ‘නමස්කාර යූටියුබය‘ ආරම්භ කළේ සමහරු සිංහල සංස්කෘතිය තුළ බෞද්ධ කීවාට නොදන්නෙත් බුදු දහම විතරක් නිසා ඒ අයගේ වැරැදි මතවලට පිළිතුරු දෙන්නයි. සමහරු බුදු දහම තමන්ගේ දේපොළක් ලෙස ලියාගෙන ඉන්නේ. බුදු දහමේ සංකල්ප ලෙස දන්නවා වුවත් අර්ථය ලෙස හරියට නොදන්න දේවල් බොහෝ දෙනකුට ගැටලු සහගත වෙලා තිබෙනවා. නමස්කාරය තුන්වරක් කියන්නේ ඇයි, පැන් වඩද්දි දිය උතුරා යනතුරු එය කරන්නේ ඇයි? ජලනන්දන පිරිත අද ව්‍යවහාරයට ගන්නා ආකාරය ආදිය පිළිබඳ ඇති වැරැදි මත නිවැරැදි කිරීමේ උත්සාහයක් තමයි එයින් ගන්නේ.සමහර අය භූත ව්‍යාපාර කරමින් එක් පුද්ගලයකුගෙන් ලක්ෂ දහය, විස්ස, පනහ හොරාගන්න නිසා මගේ මේ උත්සාහයන්ට විරුද්ධව කතා කරනවා. බනිනවා. ඒවා කරන්නේ ගැහැනු ළමයින්ගේ නම් යොදාගෙන ගිණුම් සදාගෙන සිටින චීවරධාරීන්. තාක්ෂණය කෙතරම් දියුණු වුණත් එයින් වැඩගන්නේ මොට්ට මොළ තිබෙන පිරිසක් නම් එහි ඵලය කුමක්ද?

මගේ අනෙක් යූටියුබ් චැනල වන්නේ පාතේගම හාමුදුරුවෝ සහ ගීතස්වර. ඒවායේ මගේ අදහස් තැන්පත් කර තබනවා. මට බණ ඔස්තාද් කෙනෙක් වෙන්න ඕනෙ නෑ. ඒත් වෙන කෙනෙක් නැති තැන අඩුව පුරවන්න මම ඉදිරිපත් වෙනවා. දැන් මගේ කාලය වැඩිපුර වැය වන්නේ පොතපත කියවන්න. උගන්වන වැඩ ටික මම කරන්නේ හරිම කැමැත්තෙන් සතුටින්. අපි යමක් දුන් නිසා තමයි අද මේ තත්ත්වයෙන් සමාජයේ ඉන්න ලැබී තිබෙන්නේ. දැන් මම ගෙවන්නේ වේගයෙන් ඇවිත් ගිමන් නිවන කාලයක් කියලයි මට හිතෙන්නේ. පෙර පිනක් නිසා සමාජයට ආ අපි සමාජයට යහපත් අර්ථවත් යමක් කළ යුතුයි යන්නයි හැමදාමත් මගේ  තේමා පාඨය.

 

 

[email protected]