වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
ඕනෑම චරිතයක් රඟපාන්න සූදානම්

මගේ ජීවිතේ පරාජය කවදත් බාරගත්තේ නැහැ
පොඩි කාලේ ඉඳලම සිතුවේ නිළියක් වෙන්න
ගුවනේ සිට දකින දර්ශන හරිම සුන්දරයි
ගුවන් හමුදාව නිසා මට ලොකු පන්නරයක් ලැබුණා
ඇය කිරිඳීවැල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා අ.පො.ස උ.පෙළ සඳහා රදාවාන මහගම සේකර මහා විද්‍යාලයට ඇතුළත් වූවාය. ඈ පාසලේ දක්ෂ ක්‍රීඩිකාවක් ද වූවාය
. පාසල් සමිති සමාගම් තුළින් ඇගේ කලා දක්ෂතාවයන් හා හැකියාවන් තව දුරටත් ඔප් නංවා ගැනීමට හැකි විය. ක්‍රීඩාවටත්, කලාවටත් එක සේ දස්කම් පෑ ඈ පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක ද විය. අ.පොස. උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු 2007 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූයේ ශාරීරික අභ්‍යාස උපදේශිකාවක ලෙසටයි. 2007 වර්ෂයේ සිට 2022 දක්වා හමුදාවට අදාළ පාඨමාලා 08ක් හැදෑරුවාය. ආධුනික පාඨමාලාවේ දක්ෂතම සරඹ ගුවන් කාන්තාව වූයේ ඇයයි. 2008 වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා පැරෂුට් සූරියන් හත්දෙනා අතරට එක් වන්නට තරම් ඈ දක්ෂ වූවාය.
2009 වසරේදී කොළඹ ගුවන් කඳවුරේ පැවති අවුරුදු උත්සවයේ අවුරුදු කුමරිය ලෙස කිරුලු පැලඳීම ඇය සමත් විය. 2018 වර්ෂයේ ගුවන් හමුදාවේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලැබුවාය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සුව විශාල සේවාවක් ඉටු කළ ඇය 2022 වර්ෂයේදී ගුවන් හමුදා සේවයට සමු දුන්නාය. එතැන් පටන් ඇය විශ්‍රාමලත් ගුවන් හමුදා නිලධාරිනියක් විය. ඉන් පසු ඇය අවතීර්ණ වූයේ කලාවටයි. ටෙලි නාට්‍ය හා සිනමාපට කිහිපයකට රංගනයෙන් ද එක් වූවාය. හිරු නාලිකාවේ විකාශය වන ‘අසිරිමත් දළදා ගමනය’ සහ සියත ටී.වී නාලිකාවේ විකාශය වන "Encounter" ටෙලි නාට්‍යය තුළින් ඇය දැක ගැනීමට හැකිය. ඇය කෝෂලී ප්‍රනාන්දුය.
ඔබ ගුවන් හමුදා සේවයට එක් වූයේ ඇයි?
මම උසස් පෙළ හදාරලා ඉන්න කාලෙදි ගුවන් හමුදාවට බැඳෙන්න ඕන කියලා ලොකු ආශාවක් තිබුණේ නෑ. මේ කාල සීමාවෙදී ජාතික පුවත්පතක දැන්වීමක් පළ කරල තිබුණා ගුවන් හමුදාවට ශාරීරික අභ්‍යාස නිලධාරීන් ගන්නවා කියලා. මම ක්‍රීඩාවට අතිශයින් ප්‍රිය කරන නිසා ඒ දාලා තිබුණු ඇප්ලිකේෂන් එකට මම ඉල්ලුම් කළා. 3,500ක් සහභාගී වුණු සම්මුඛ පරීක්ෂණයෙන් 10 දෙනයි තෝරා ගත්තේ. ඒ දස දෙනා අතරට මට එන්නට ලැබුණා. ඒ තෝරාගත්ත දහ දෙනා අතරට තේරුණ හින්දා තමයි මට ආසාවක් ඇති වුණේ ගුවන් හමුදාව ගැන. එදා මම ශාරීරික අභ්‍යාස නිලධාරිනියක් නොවුණා නම් අද මගේ සිහිනය මල්ඵල ගැන්විලා ඉවරයි. මගේ හිතේ තිබුණු දෙයක් තමයි පොඩි කාලේ ඉඳන්ම හොඳ නිළියක් වෙන්න. ඒ දෙය කවදහරි ඉෂ්ට සිද්ධ කර ගන්නවා කියන ආසාව සිත ඇතුළෙ තිබුණා.
ගුවන් හමුදාවේදී ඔබට රඟපාන්නට අවස්ථාවක් හිමි වූයේ නැද්ද ?
රටක හමුදාවක් ඇතුළේ නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියට පරිබාහිරව අපිට ක්‍රියා කරන්න බැහැ. හමුදාවේ විනය නීති මාලාවන් හරි තදයි. ඒ නිසා ඒ අවස්ථාව මට හිමි වුණේ නැහැ. අලුතෙන් ගුවන් හමුදාවට එකතු වන නිලධාරීන් හා සොල්දාදුවන් වෙනුවෙන් පුහුණු නිලධාරිනියක් හැටියටයි මම කටයුතු කළේ. ඒ නිසා තවත් නීති පද්ධතිය අපට තදින්ම බලපානවා. ජීවිතයේ බලාපොරොත්තු වන දේවල් කිසිවක් අපිට ඕන විදිහට ලබාගන්න බැහැ. අවස්ථාව හිමි වෙනකම් ඉන්න වෙනවා.
ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදා පැරෂුට් නිලධාරිනිය ලෙස ඔබ නොමැකෙන සලකුණක් තැබුවා නේද?
ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදා කාන්තා පැරිෂුට් කණ්ඩායමට ඇතුළත් වෙන්නට මට හැකි වුණා. මුළු ශ්‍රී ලංකාවම එදා මාධ්‍ය තුළින් අපි හත්දෙනා ගැන කතා කළා. ගුවන් හමුදාව නිසා මට ලොකු පන්නරයක් ලැබුණා. පැරෂුට් කණ්ඩායමට එකතු වීමත් සමඟ පුහුණු වන කාල සීමාවේදී ලබපු අත්දැකීම් සම්භාරය කියා නිම කළ නොහැකියි. පුහුණු වෙන කාලයෙ පළමු jump එක කියන්නේ ජීවිතය එපා වුණ දවසක්. Aircraft එකත් එක්ක පඩි පෙළ නැගල ඉවරවෙලා ඇතුළට ගියාට බැහැලා තිබුනේ නෑ. මම ඉස්සල්ලාම පැනපු එක තමයි කළේ. අඩි 1500ක් විතර උඩ ඉඳන් පැනලා තිබුණේ නැහැ. ඒත් එදා මම අඩි එක්දාස් පන්සීයකට වැඩිය උඩින් පැන්නා. කාන්තාවකට එවැනි දෙයක් කරන්න හැකියාවක් තියෙනවද කියලා මම හිතන්නේ නෑ.ගතත් සිතත් දෙකම හොඳ ශක්තිමත් වුණොත් පමණයි මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ.ඒ කාලේ මම හොඳ මොරාල් එකෙන් හිටියේ. පාඨමාලාව පටන් ගත්තේ 2008 වර්ෂයේ. මම හරියටම ගුවන්හමුදාවට ගිහිල්ලා අවුරුද්දක් ඇතුළත මම පාඨමාලාවට එකතු වුණේ. එදා උඩ ඉදන් පනිනකොට මගේ ජීවිතේ මම අවසන් ගමන් ගියා කියලත් හිතුණා. කිසිදු අත්දැකීමකින් තොරවයි අපි එදා ඒ පෙර පුහුණු වීම යෙදුණේ. ඒත් පුහුණු කටයුතු අවසන් වෙලා පැරෂුට් එක දිග හැරගෙන බහිනකොට මාර සැහැල්ලු ජීවිතයක් දැනුනේ. හරියට උඩ පියාඹන කුරුල්ලෙක් වගේ කියලයි හිතෙන්නේ.
ඔබගේ ජීවිත ඉලක්කය වෙනුවෙන් කළ කැපවීම කෙබඳුද?
මම ජීවිතේ කවදාවත් පරාජය බාරගන්න කැමති පුද්ගලයෙක් නෙවෙයි. අපි හැම මොහොතකම හිතන්න ඕනේ අරමුණක් තියෙනවා. ඒ අරමුණ ජය ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවට අපිට ළඟා වෙන්න පුළුවන් කියන එක විතරයි. කවුරුවත් කියනවට කවුරුවත් කරනවා දැකලා ඒ දේවල් කරන්න හොඳ නැහැ. සෑම මනුෂ්‍යයකුගේම දේහයට හරියන ශක්ති ප්‍රමාණයක් ඇග ඇතුළේ සහ පිටතින් තියෙනවා. ඒ දේත් දේ තේරුම් දේ තේරුම් ගන්න ඕනෑම පුද්ගලයෙකුට තමන් ඇතුළේ ඉන්න මනුස්සයාව අඳුනාගන්න පුළුවන් වෙනවා. එහෙම වුණාම තමන්ගේ අරමුණු කරා යන්න ලේසි වෙනවා. මමත් කළේ ඒ දේ පමණයි.
ඔබේ රාජකාරි ජීවිතය වැඩියෙන් ගත කළේ කොහෙද?
මගේ රාජකාරි ජීවිතයේ මම වැඩි හරියක් ගත කළේ training school වල. (පුහුණු පාසල්වල) ඒකල, දියතලාව, ත්‍රිකුණාමලය, කොළඹ ගුවන් හමුදා කඳවුරුවල තමයි. මේ ජීවිතයත් හරියට දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් තමයි.පුහුණු වන ආධුනිකයන්ට හරි දේ කියා දීම හා පුහුණුව ලබාදිම තමයි අපේ වැදගත්ම දේ වෙන්නේ. සමහර වෙලාවට ජීවිතේ එපා වෙච්ච දවස් තියෙනවා.හැබැයි පස්සේ ජීවිතයට හුරු වුණාට පස්සේ ඒ දෙවල් එච්චර ගාණකට ගත්තේ නැහැ. හමුදාව ඇතුළේ සිනාසුන වාර වලට වැඩිය හැඬූ ආරවල් අනන්තයි. ඒ දේවල් ජීවිතේ බෙදාගන්න පුළුවන් දේවලුත් තියෙනවා බෙදා ගන්න බැරි දේවලුත් තියනවා. ඒ හමුදා නීතිය ඇතුළේ අපි රාමුවකට කොටු උණාම කිසි දෙයක් කරන්න බැහැ. අද ජීවිතයේ යම් තැනක ඉන්නවා නම් ගුවන් හමුදා ජීවිතයේ නිසා තමයි. මම ඒ දේ සිහිපත් කරන්නේ හරිම සතුටින්. හමුදාව තුළ දී මට උදව් කරපු දෙනාටම ස්තුති කරන්න.
පැරෂුටය සමග ගුවනේ සිටින වෙලාවට ඔබට සිතෙන්නේ මොනවාද?
පෙර පුහුණුවීම්වල යෙදෙන කොට නම් ටිකක් බයක් දැනුණා ජීවිතයට. ඒත් පුහුණුවීම් කටයුතු ටික ටික කරගෙන යනකොට උඩ ඉඳන් පනිනකොට බය දැනුණේ නැහැ. මුල් දවස්වල නම් පැරෂුට් එක ලිහනකන් ඇගේ ලේ වතුර වෙලා තමයි හිටියේ. ගහක් උඩට වැටේද වතුරක් උඩට වැටෙයිද නැත්නම් වෙන කොහෙට හරි වැටෙයිද කියන බයත් හිත තුළ තිබුණා. ගුවනේ සිට දකින දර්ශන හරිම සුන්දර විදිහට වින්දා. දැන් හිතෙනවා ආයෙත් ඒ වගේ දවසක් එනවා නම් කොච්චර හොඳයිද කියලා. කොහේ හරි ආයතනයකින් හරි කතා කරලා ආධුනිකයන්ට පුහුණුකරන්න එන්න කිව්වොත් මම හරි කැමැත්තෙන් යන්නේ.
ගුවන් හමුදාවට සමුදුන් පසු ඔබට රංගන වරම් හිමි වූයේ කෙසේද?
මම ගුවන් හමුදාවෙන් විශ්‍රාම ඇරගෙන කෙටි කාලසීමාවක දී හොඳ අවස්ථාවක් හිමි වුණා.මුහුණු පොතේ මගේ පින්තූර දැකලා මට ටෙලි නාට්‍ය කිහිපයකට කතා කළා. ඉන් පසු තිර පරීක්ෂණ වලට ගිහිල්ලා මම පරීක්ෂණවලින් සමත් වෙලා නාට්‍ය කීපයකටම දැන් සම්බන්ධ වෙලා ඉන්නේ. මගේ හීනයක් වුණු ජිවිතය සැබෑ වෙනවා කියලා හිතෙන්නේ. මේ ලැබුණු කෙටි කාලය තුළදී ප්‍රධාන චරිත හා උප ප්‍රධාන චරිත රඟපාලා තියෙනවා.
ඔබ මේ වනවිට රඟපා ඇති ටෙලි නාට්‍ය මොනවාද?
සිරිමත් දළදාගමනය, Encounter-2, හිරු නාලිකාවේ විකාශය කරන 119, වැඩසටහන් තුනකට සහභාගි වෙලා තියෙනවා. කොළොම් තොටට තෙල් ඇවිල්ලා music වීඩියෝ එක, ඉදිරියට එන්න තියෙන නිර්මාණ තමයි භූමි ටෙලි නාට්‍යය, ද මර්ඩර්, මුතු විල, යූටියුබ් නාලිකාවක විකාශය වන බිනර මලින්ද සමඟ. මේ දවස්වල රූගත කිරීම් කරන රනිල් කුලසිංහ ගේ සිත් යාය ටෙලිනාට්‍යයේ මාලි කියල චරිතයන් රංගනයෙන් දායක වෙනවා.අයිස් චිත්‍රපටයට ද රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ සියල්ලම ඉදිරියේදී තිරගත තිරගත වීමට නියමිතය.
ඹබ වඩාත් රංගන දායකත්වය ලබාදී මට කැමති සිනමාවට ද ටෙලි නාට්‍යයට ද වේදිකාවට ද ?
යම් දිනෙක මගේ නම ප්‍රේක්ෂකයන් අතර මතකයේ රඳා වන්නට නම් මම සිනමාව සහ ටෙලිනාට්‍ය යන දෙකට වඩාත් ප්‍රියතාවක් දක්වනවා. කුඩා කාලයේ මගේ මනසේ ඇඳුණු යම් සිතුවිල්ලක් තියනවා. ඒ සිතුවිල්ල කරා යන්න නම් සිනමාව සහ ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර තුළින් මම රංගනයේ නියැළිය යුතුයි. මගේ වයසට සරිලන රූපයට ගැළපෙන විදියට තෝරා බේරාගෙන ලැබෙන ඕනෑම චරිතයක් කරන්නට මම සූදානම්.
ඔබේ මේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ පවුලේ නෑදෑ හිතවතුන් සියලු දෙනාම මට මේ ගමනට සහයෝගය දෙනවා. දරුවෝ දෙන්නෙක්ගේ මවක්. මගේ ස්වාමියා ගෙන් උපරිම සහයෝගය මට ලැබෙනවා මේ ගමනට. මගේ මහත්තයා ඩබ්ලිව්.සී. සමරනායක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අවි ආයුධ අංශයේ සාජන්ට්වරයෙකු ලෙස ඒකල ගුවන් හමුදා කඳවුරේ දැනට සේවය කරනවා. මගේ අනාගත සිහිනය දක්ෂ ජනප්‍රිය නිළියක් වීමයි.