පුළිඟු හාමිනේ චරිතය මට ලැබුණේ භාග්‍යයකට

යොවුන් නිවේදිකා රංගන ශිල්පිනී පමුදි සම්භාෂි අපෝන්සු
නොවැම්බර් 17, 2022

 

“මම ජනප්‍රියභාවය පසුපස එළවා යන්නෙක් නොවෙමි. මම කරන දේ තුළින් කියන දේ තුළින් යමෙකුගේ ජීවිතය පවතින තත්ත්වයට වඩා එක් පියවරක් හෝ ඔසවා තබන්නට මට හැකි නම් ඒ තුළින් මා ලබන සතුට අපමණය. කථිකත්වය හැකියාව, රූප ස්වභාවය මේ හැම දෙයක්ම මා දකින්නේ මට ලැබු ආභරණයක් ලෙසය. වගකීමක් ඉටුකරලන්නට ලැබුණු සම්පත් ලෙසින්ය. මේවා පාවිච්චි කොට තවත් කෙනෙකු සතුටුකරලන්නට ඇත්නම් ඔවුනගේ ජීවිත යහපත් වනවා පමණක්ම නොව එම ජීවිත සමාජතලයේ ඔසවා තබන්නට එය හේතුකාරණා ද වන්නේය. මේ හැමදෙයක්ම පිළිබඳ මා තුළ ඇත්තේ මහත් වූ වගකීමකි.”

මෙවන් වූ පූර්ව කථනයක් සිදුකරනුයේ පමුදි සම්භාෂි අපෝන්සුය. ඇය මේ වන විට නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, තිර රචිකාවක්, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියක්, ගායිකාවක් මෙන්ම කේක් නිර්මාණ පිළිබඳ උපදේශිකාවක් ලෙසින් ද ප්‍රේක්ෂකයන් ශ්‍රාවකයන්, පාඨකයන් අතරට එක්ව ඇත.

පානදුර ශාන්ත ජෝන් බාලිකා විදුහලේ හා පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පමුදි මේ වනවිට රත්මලානේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී තාක්ෂණවේදී උපාධිය හදාරමින් සිටී. 2018 වසරේ අගභාගයේ් ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සහන නිවේදිකාවක් ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට එක් වූ ඈ වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක හද බැඳගත් විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසින් පැමිණ මේ දිනවල සෑම බ්‍රහස්පතින්දාවකම දහවල් එකොළහත් දොළහත් අතර හෝරාවේ මියුසික් ඇට් ඉලෙවන් (music @11) වැඩසටහනෙන් ප්‍රේක්ෂකයන් අතරට එක්වේ.

 

පමුදි මේ වන විට නිවේදිකාවක් ලෙසින් ද රංගන ශිල්පිනියක් ලෙසින් ද සමාජයේ ජනපි‍්‍රය?

මම හිතන්නේ මම තාම ජනපි‍්‍රය නෑ කියලා. මාව මේ වනවිට හඳුනාගෙන තියන පිරිස සීමිතයි. ක්ෂේත්‍රයේ අය මාව හඳුනනවා. ජනපි‍්‍රය කියන දේ එළවන කෙනෙක් නොවෙයි. මම මම හැමවිටම උත්සාහ ගන්නේ මම කරන ප්‍රකාශනයේ නිවේදනයේ ගායනයේ මේ කොයි දේකින් වුණාත් ගුණාත්මක දෙයක් කරන්න. ඒ වගේම තමයි මම හෙමින් ගමනයක් යන කෙනෙක්. මම වැඩක් කරන්න ගියොත් ඒ සඳහා ගන්න කාලය වැඩියි. ඒකට හේතුව ඒ ගැන හදාරල ඒකට දේවල් එකුතු කරමින් අභ්‍යාස කරමින් එහෙම තමයි මම දෙයක් එළියට දාන්නේ. ඒ නිසා මට ජනපි‍්‍රයවෙන්න කලබලයක් හදිස්සියක් නෑ.

ඒ කියන්නේ පමුදි හෙමින් ගමනක් යන කෙනෙක් කියලා ද මේ ඔබ කියන්නේ?

ඔව්. මම කැමතියි ගුණාත්මක දේවල් කරන්න. මගේ ඕනෙම ප්‍රකාශනයක් තව කෙනෙකුගේ ජීවිතයේ පවතින තත්වයට වඩා එක පියවරක් හරි ඔසවල තියන්න පුළුවන් නම් ඒකට තමයි මම හැමවෙලාවෙම උත්සාහ ගන්නේ.

 

ඔබට තිබෙන විවිධ හැකියාවන් තුළ ජනමනස පුබුදන්න පහසුවෙලා තියෙන්නේ කවුරුහැටියට ද?

නිවේදිකාවක් හැටියට ඒ දේ පහසුවෙලා තියෙනවා. කියන්න බෑ. මම රචකයෙක් විදියට ලියන්න ආසයි. මම පොත පත ලියයි ඉදිරියේ දී මේ වනවිට අත්දැකීම් එකතු කරමින් අභ්‍යාස කරමින් ඉන්නේ තවම එහෙම පොතපතක් ප්‍රකාශයට පත්කරන්න මට්ටමක මම නෑ. මට අත්දැකීම් ඕනේ ජීවිතේ.

 

ඔබ තිරපිටපත් රචිකාවක් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියක් නේද?

මේ වන විට මමත් එන්නම් ඒකාංගික ටෙලි නාට්‍යය මම අධ්‍යක්ෂණය කරල තියෙනවා. එය සියත ටී.වී. වල විකාශය වුණා. මා විිසින්ම තිරපිටපත ලියා රේස් නමින් කෙටි චිත්‍රපටයක් කළා. පේ‍්‍රමයට අවනතව නමින් ටෙලි නාට්‍ය තිරපිටපතක් ලිව්වා. මා ලියූ තිරපිටපත් අතරින් වඩාත් තෘප්තියක් ලැබු තිරපිටපත වුණේ මේක මේ තිරපිට පත ලියන කාලයේ මම ඒකත් එක්කම ජීවත් වුණා. තවම ඒ පිටපත නිර්මාණයක් බවට පත්කළේ නෑ.

 

ඔබේ පියාත් කලා නිර්මාණකරුවෙක්. ඒ අභාසයෙත් ඔබට රුකුලක් වෙන්න ඇති?

මගේ තාත්තා දීපාල් අපෝන්සු දැනට සියත ටී.වී. ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරුවකු ලෙස වැඩකරනවා. ඔහු තිරපිටපත් රචකයෙක්. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් සහය අධ්‍යක්ෂවරයෙක්. මම තාත්තා එක්ක තිරපිටපතක් ලිව්වා. ඒක තාත්තාගේ අධ්‍යක්ෂණයෙන් කොම්රේට් නමින් ප්‍රසංගික ටෙලි නාට්‍යයක් බවට පත්වුණා. ඉදිරියේදී එය පුංචි තිරයේ දිගහැරෙන්න නියමිතයි. මගේ තාත්තා එක්ක පුංචි කාලේ පටන් මම වැඩකළා. තාත්තා මොනවා හෝ දෙයක් ලියන කොට මාවත් ළඟ තියන් තමයි කටයුතු කළේ. තාත්තාගේ ඒ ජානමය ගුණයත් මාව ලේඛන කලාවට යොමු කරන්න මුලික කාරණයක් වෙන්න ඇති.

 

ලේඛන කලාවට ඔබ පෙම් කරන්නට පටන් ගන්නේ?

මම උසස් පෙළ හදාරණ අවධියේත් යම් මට්ටමක ලේඛන කලාවේ නියැළියා පියාත් සමඟ. නමුත් මට ලේඛන කලාව කියන දේ දැනෙන්න ගත්තේ ලේඛකත්ව හා ජන සංනිවේදන ඩිප්ලෝමාව කරන කොට මේක මගේ ලේඛන කලාවෙත් ජීවිතයේත් සංදිස්ථානයක්. එතැනින් පස්සේ තමයි ලේඛනය කියන දේ තුළ තියන රහ දැනෙන්න පටන් ගත්තේ පොතපත කියවන්න බස් වහර හදාගන්න. මේ හැම දේකටම මම වැඩි වශයෙන් නැඹුරු වෙන්නේ මේ අධ්‍යාපනයත් සමඟ.

 

කලා ක්ෂේත්‍රයට ඔබ පියවර තබන්නේ තිරපිටපත් රචිකාවක් ලෙසින් ඉන් පසු නේද නිවේදිකාවක් බවට පත්වන්නේ?

ඔව්. මට හිතුණා මට ලියන්න පුුළුවන් මම ළඟ වචන තියනවා කියල මට දැනුණා. හොඳ කටහඬකුත් තියෙනවා. විෂුවල් එකට හරියන රූපකායකුත් දෙවියන් වහන්සේ මට දීලා තියෙනවා කියලා. සියත ටී.වී. ආයතනයේ වැඩකළ වැඩසටහන් නිෂ්පාදිකාවක වූ ඉමාලි ආරියවංශ මට ආරාධනා කළා යුවතිපති කියල වැඩසටහනක් තියෙනවා ඒකට ප්‍රසන්ට කෙනෙක් ඕනේ කරලා තියෙනවා. අපි ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා බලමු කියලා. ඒ අනුව තමයි මම ඒ වැඩසටහනට සම්බන්ධ වුණේ. මම හිතනවා ඉමාලි මහත්මිය මම ගැන ආධුනික කෙනෙකු හැටියට තැබුව විශ්වාසයට මට දැනෙන යමක් එයාලට ඒ වැඩසටහන හරහා කළා කියලා.

 

අයි.ටී.එන්. නිවේදිකාවක් වන්න ඔබට වරම් ලැබෙන්නේ කොහොමද?

සියත ටී.වී. කළමනාකරු පි‍්‍රයාල් වීරසිංහ මහතා මාව හඳුන්වා දෙනවා. ස්වාධීන රූපවාහිනි සේවයේ නිවේදිකාවක්, නිෂ්පාදිකාවක් වන චලනි සිරිවර්ධන මහත්මියට. එතුමිය මගේ හැකියාව ගැන පරීක්ෂා කිරීමෙන් පසු ඇය විසින් නිෂ්පාදනය කළ අයි.ටී.එන්. උදා විකාශයේ සුරිය විමන වැඩසටහනේ නිවේදන කාර්යට මාව තෝරගන්නවා. එය මට වගකීම් සහිත කටයුත්තක් වුණා. 2018 වසරේ අගභාගයේ තිර පරීක්ෂණ සඳහා අයි.ටී.එන් එකට යන මම 2019 වසරේ මාර්තු මාසයේ පටන් සුරිය විමන සජීවි වැඩසටහනේ සෑම අඟහරුවදාකම උදේ 9.00 සිට දවල් 12.00දක්වා ප්‍රසන්ට කෙනෙක් වෙන්න අවස්ථාව උදා වුණා.

 

ඔබ වැනි ආධුනික නිවේදිකාවකට වගකීම් සහිත සජීවි වැඩසටහන් ලැබීමත් සුවිශේෂියි.

චලනි සිරිවර්ධන කියන්නෙත් අවධානමක් ගන්න කැමති කෙනෙක්. තරුණ අයත් එක්ක වැඩ කරන්න කැමති කෙනෙක්. ඇය හැම තිස්සෙම යාවත්කාලීනව ඉන්න උත්සාහ ගන්න කෙනෙක්. වැඩසටහනක් ග්ලැම පැත්ත ගැන හිතන කෙනෙක්. ඒ කාරණාත් සමඟ ඈ මා ගැනත් අවධානමක් අරන් අත්හදා බැලීමක් කරන්න ඇතිකියලා මම හිතනවා. මම ඇයගේ විශ්වාසය රැක්කා. අදටත් මාව බොහෝදුරට ඇයගේ නිෂ්පාදන වැඩසටහන් සඳහා සම්බන්ධ කර ගන්නවා.

 

වසර කීපයක් පුරාවට ඔබේ දායකත්වය එක් වූ වැඩසටහන් මොනවාද?

ශනිදා සාදය, අයි.ටී.එන්. සුරිය මංගල්‍ය පිට පිට වසර දෙකක් නියෝජනය කරන්න ලැබෙනවා. අයි.ටී.එන්. ලියවරුණ අයි.ටී.එන්. ලිය අභිමානී වොයිස් ඔෆ් කලම්බු (ඍධඪජඥ ධට ඛ්ධතධථඡධ) රියලැටි වැඩසටහන අවසාන මහා තරඟය කමල් අද්දරආරච්චි සමඟ ඉදිරිපත් කිරීම, අයි.ටී.එන්. අවුරුදු කුමරා කුමරිය, මියුසික් ඇට් ලෙවන්

නිවේදිකාවක් කියන භූමිකාවෙන් එහාට ගිය රංගන ශිල්පිනියක් නේද ඔබ ?

මට රංගන ශිල්පිනියක් වීමේ හීනයක් ආශාවක් තිබුණා. හැබැයි ඒකට පාරක් ඇරුණේ නෑ. 2021 වසරේ ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති සුදත් රෝහණ මහත්තයාගෙන් ඒ සඳහා මට අවස්ථාවක් උදාවුණා. ඔහුගේ මාණික්කාවත ටෙලි නිර්මාණය ඔස්සේ මෙහි මා පුලිඟු හාමි චරිතයට රඟපෑවා. මාණික්කාවත දර්ශන තලය මට රංගනයේ විශ්ව විද්‍යාලයක් වුණා. සුදත් රෝහණ වැනි විශිෂ්ට ටෙලි නාට්‍ය නිර්මාණකරුවෙකුගේ නිර්මාණයකින් රංගන ශිල්පිනියක් වීමට මට ලැබීමත් මම සලකන්නේ මා ලැබු භාග්‍යයක් ලෙසින්. මමත් ඉදිරියේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වශයෙන් එහිදී රංගනයටත් වඩා මට වැදගත් වුණේ ප්‍රවීණයන් විශාල පිරිසක් සමඟ වැඩකිරීම තුළ ලැබු අත්දැකීම්.

 

ඔබගේ රංගනය එක් වූ තවත් ටෙලි නිර්මාණය එහෙමත් ඇති නේද?

සියත ටී.වී. වල විකාශය වී අවසන් වූ ජී.නන්දසේනගේ වෙස්ගත්තෝ ඔහුගේම අධ්‍යක්ෂණයක් වූ දැනට විකාශයට නියමිත සුළඟ ඔබ ළඟ, දීපාල් අපෝන්සුගේ කොට්රේට්.

 

ඔබගේ පියා නිසාම කුඩා අවධියේ ඔබ රංගනයටත් එක්වෙනවා නේද?

මගේ තාත්තා සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ නිසා. මට කුඩා අවධියේ ළමා චරිත රඟපාන්න ලැබුණු අවස්ථා තිබුණා. මට අවුරුදු තුනක් හතරක් විතර තියන කාලයේ දයා අල්විස් අධ්‍යක්ෂණය කළ අවසන් හෝරාව ටෙලි නාට්‍යයේ රඟපෑවා මට මතකයි.

 

වේදිකාවෙත් ඔබ රංගනයේ නියැළෙනවා?

මම අවුරුදු 19 දී විතර තමයි වේදිකාවට එක්වන්නේ. අපේ පල්ලියත් සමඟ තියන සංස්කෘතික බැඳීම වේදිකාවට මාව රැගෙන එනවා. කිතුනු සංස්කෘතියත් සමඟ පල්ලියේ නාට්‍ය සඳහා තමයි මම මුලින්ම වේදිකා නාට්‍ය සඳහා එක්වන්නේ. ප්‍රසිද්ධ වේදිකා රංගනයට මාව රැගෙන එන්නේ මගේ පියා. තාත්තා අධ්‍යක්ෂණය කළ උපරිගමනය, මරණථා, නාට්‍ය දෙකේ මම රඟපෑවා. සුගන්ධි කාංචනාගේ බෝනික්කි ගෙදර වේදිකා නාට්‍යයේ නෝරා චරිතය මගේ වේදිකා රංගනයේ සුවිශේෂී චරිතයක්.

 

මේ වන විට සිනමා නිර්මාණයක් සඳහාත් ඔබට ආරාධනා ලැබිල තියෙවා නේද?

ගාමිණි හේවාවිතාරණ මහතාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කරන්න යන චිත්‍රපටයක් සඳහා මට රංගනයෙන් දායක වීම සඳහා මේ වන විට ආරාධනා ලැබිල තියෙනවා. එළැඹෙන දෙසැම්බර් මාසයේ රූපගත කිරීම් පටන් ගන්න දැනට සුදානම් කරලයි තියෙන්නේ.

 

පමුදි හැකියාවන් බොහොමයක් සමඟ ජීවත් වන කෙනෙක්. මේ තුළින් ඔබ වඩාත් කැමැති මොන වගේ හැකියාවන් ඔස්සේ පියමන් කරන්නද?

මම වයසින් මුහුපුරා ගිය දවසක හැමදේටම වඩා මම ලේඛිකාවක් වෙයි ඒකට මට ආශයි. මට තව අත්දැකිම් අවශ්‍යයි. මම තාම හදාරමින් අධ්‍යයනය කරමින් ඉන්නවා. තවම ලේඛිකාවක් ලෙස මම සමාජයට දීපු දෙයක් නෑ. මට දැනෙනවා ලේඛනය පැත්තට මගේ අසාමාන්‍ය හැකියාවක් තියෙනවා කියලා. මම අසාමාන්‍ය කෙනෙක්. මට දැනෙන දේ ලියන්න ඕනේ. බොහෝ විට මගේ ලේඛන නිර්මාණය නව කතාවක් වෙයි. ඒ සඳහා බොහෝ කාලයක් යයි. මගේ ලේඛන සිතුවිල්ල රූප මාධ්‍යයට ගේන්න ඕනේ නිසා තමයි මම සිනමාව හදාරන්නේ භෞතිකව නොපෙනෙන ලේසියෙන් හඳුනාගත නොහැකි මානසික අරගල පසුකරපු කෙනෙක්. මම ඒ තුළ හටගත් මානසික අරගල ප්‍රකාශයට පත් කරන්න මට අවශ්‍යයි. මා පසු කල මානසික අරගලවල ඉතුරු වූ තුවාල ටික. හිරීම් ටික වේදනා වල් ටික ප්‍රකාශනයක් විධියට එළියට එන්න ඉඩ තියෙනවා කෙටි චිත්‍රපටයක්, චිත්‍රපටයක්, නව කතාවක්, ගීතයක්, නිවේදනයේ දී අපි භාවිතා කරන අදහසක් ලෙසින්. කතාවකුත් තියෙනවානේ කවියක් හැදෙන්න හිතක් කැඩෙන්න ඕනෙ කියලා ආදරය කියන මාතෘකාව ඇතුළේම නොවෙයි. තව බොහෝ මාතෘකා තුළට වලංගු වන කියමනක් විධියටත් මම එය දකින්නේ.

 

පමුදි කලාවට එන්න ලොකු අරගලයක් කරපු තැනත්තියක්?

මගේ පියාට මාධ්‍ය ක්ෂේත්‍රයේ කලාක්ෂේත්‍රයේ බොහෝ අත්දැකීම් ඇති අයෙක්. පියාගේ ඒ තිබුණු භාවයේ වැඩිකම නිසාම තාත්තා මම කලාවට එන්න හදන ගමනට බාධා කරනවා. නමුත් මම හරියටම කලාවට එන්නේ මගේ විවාහයත් සමඟ. මම නිවේදනය කර කර හිටියා නමුත් රංගනයට එන්නේ මට අවුරුදු විසිහයක් වුණාට පස්සේ තමන්ගේ පවුල තමන්ගේ ආදරණියන් තමන්ගේ ආත්ම ගෞරවය මෙන්න මේ දේවල් මත කළමනාකරණයක් ඇතුව හදාගෙන මිසක් කලාවට යන්න එපා කියලා තමයි තාත්තා මට කිව්වේ. අවුරුදු දහ අටේ විස්සේ ගෑනු ළමයි කලාවට එනව දැකලා ම අරගල කළේ ගෙදර කුටුම්බිය ඇතුළේ. ඒත් මගේ උත්සාහය යටපත් කරන්න දෙමාපියන් වෙනත් පැති මට යෝජනා කළා.ඒත් මට අද හිතෙනවා තාත්තා නිවැරැදියි කියලා. ඒ අතීතයේ තිබු සිහින මාලිගා ගැන මට අද දුකක් නෑ. මගේ තාත්තා ඒ වගේ දැඩි රැකවල් මධ්‍යයේ මාවගෙනා ගමනේ මම ලැබුව ලොකුම තෑග්ග තමයි මගේ සැමියා එෂාන් ජයවර්ධන මම අද ඔහුත් සමඟ විවාහ වෙලා සමාදානයෙන් අතිශයින් සතුටුදායි ජීවිතයක් ගත කරනවා. අද මගේ සෙවණැල්ල වෙලා මගේ හැම කලා කටයුත්තකම පිටුපසින් ඉන්නේ ඔහු. දෙවියන් වහන්සේගෙන් තමයි මම මානව පේ‍්‍රමය උපරීමයෙන් අත්වින්දේ. ඊටපස්සේ පේ‍්‍රමය කියන දේ මම අත්දැක්කේ මගේ සැමියා එෂාන්ගෙන්. ඔහු වගේ ඉවසීමක්, කැපකිරීමක්, දරා ගැනීමක් ඇති කෙනෙක් මට ලැබෙයි කියල නම් මම කවදාවත් හිතුවේ නෑ.

 

ඔබේ සැමියා එෂාන්ව ඔබට මුණ ගැහෙන්නේ නාට්‍යයක් නිසාවෙන්?

ඔව්. පානදුර මෙතෝදිස්ත දේවස්ථානයත් පානදුර කෙසෙල්වත්ත පල්ලියත් අතර තිබු නාට්‍ය තරඟයකදී තමයි අපි දෙන්නා හමුවන්නේ. එයත් ඒ නාට්‍ය තරඟයේ රංගනයෙන් දායක වූ ශිල්පියෙක්. අපි දෙන්නාව අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේගේ මුණ ගැස්වීමක්. මගේ හැම කාර්යකදීම මගේ හැම හුස්ම පොදකදීම පවා මට දැනෙන ළඟම ශක්තිය දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මම ගොඩක් විශ්වාස කරනවා. අපි දෙයක් කතා කළත් අපේ වගකීීමක් තියෙනවා වචනයෙන් හරි අනෙකාගේ ජීවිතය යහපත් කරන්න. හැකියාව කියන දේ හැමෝටම නෑ. එක් තියාගෙන බැබලි බැබලි ඉන්න ඒක නොවෙයි වෙන්න ඕනේ. මට ඕනේ වගකීම කියන දේ ඉෂ්ට කරන්න.

 

රැල්ලට ජනපි‍්‍රයවන චරිතයක් නොවෙයි ඔබ?

මට ඕනෙ මට අනන්‍ය වූ චරිතයක් වෙන්න. ජනපි‍්‍රය යැයි කියාගන්නා ගොඩට එකතු වෙනවට වඩා මගේම ගමනක් තුළින් ප්‍රමාණාත්මක ගමනකට වඩා ගුණාත්මක ගමනක් යන්න තමයි මම කැමැති. හැම දෙයක්ම මම කරන්නේ අධ්‍යයනයකින් අනතුරුවයි. රඟපෑම වුණත් මම මාණික්කාවත තුළින් ආරම්භ කළේ ඒ නවකතාව කියවල තිරපිටපත කියවල. ඒ කතාව තුළ තියන බස්වහර ඇඳුම් පැලඳුම් පරිසරය ගැන වැටහීමක් ඇතුව, මගේ හීනය චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වීම. ඒ සඳහා ගන්නා වූ අත්දැකීම් තමයි රඟපෑම.

 

පියා වගේම මවත් ඔබට ජීවිතයේ තවත් මාවතක් එළිය කරනවා.

මට කලාව ලැබෙන්නේ කලාව මම ඉගෙන ගන්නේ තාත්තාගෙන් මට ජීවත්වීමේ කලාව කියල දෙන්නේ මගේ මව වන අනුෂා රණතුංග. කලාව කියන දේ අඛණ්ඩ ව පවත්වාගෙන යන්න ජීවත්වීමේ කලාව මම දැනගන්න ඕනෙ. මට ව්‍යාපාරයක් තියෙනවා ඒ ව්‍යාපාරයේ නිර්මාතෘ අම්මා. අපේ පවුලේ කොදු නාරටිය අම්මා. අපිට තියෙනවා කේක් ඇකඩමියක්. කේක් නිර්මාණය ගැන ඉගැන්වීමත් කරනවා. මම එහි කළමනාකාරීත්වයට දායක වෙනවා.

 

ගායනයෙන් ඉදිිරියට යන්න ඔබේ අදහසක් නැද්ද?

ඉන්දිකා උපමාලී මහත්මිය යටතේ මම කටහඬ පුහුණුව පිළිබඳ හැදැරීමක් කළා. සංගීතය පිළිබඳ හැදැරීමක් නම් කරල නෑ. හඬ පුහුණුව තුළ ප්‍රාසංගික අත්දැකීම් කිහිපයක් මම ඉන්දිකා උපමාලී මහත්මිය යටතේ ලැබුවා. මම අහන්න කැමති ගීත නොවෙයි මම ගායනා කරන්නේ වේග රිද්ම. බයිලා ගායනයට මම ගොඩක් කැමතියි. මට ලැබෙන ප්‍රතිචාර අනුව මේ ප්‍රතිචාර නිසාම මම සිරස වොයිස් ශ්‍රී ලංකා සඳහා ඉදිරිපත් වුණා. එයින් දාහතර දහසකින් මාව තේරුණා. එකසිය හැටකට බැටල් රවුන්ඩ් එකේ තමයි මම ඉන්නේ. තව නොබෝ දිනකින් ඒ සඳහා මට ඉදිරිපත් වෙන්න වෙයි. ඔපෙරා සංගීතය හදාරන්න ආසයි. මේ දවස්වල සවුන්දරී ඩේවිඩ් රොඩ්රිගෝ මහත්මිය යටතේ හඬ පුහුණුවීම් කටයුතු සිද්ධ කරනවා.

 

ඔබේ කලාජීවිත දෙස ආපසු හැරිල බලනකොට මොකද හිතෙන්නේ?

එකම දේට කොටු නොවී සිටීම ගැන මට තියෙන්නේ සතුටක්. වෙනස් දේ සඳහා යොමු වීම තුළ ලබන අත්දැකීම් විවිධයි. එකිනෙකාට වෙනස් මිනිසුන් මට හඳුනගන්න ලැබුණා. ක්ෂේත්‍රයේ තියන විෂය මුලික දැනුමට එහා ගිය ජීවිතය පිළිබඳ අත්දැකීම් මට එකතු කරගන්න ක්ෂේත්‍රයට සම්බන්ධ දැනුම වගේම ජීවිතය පිළිබඳ දැනුමත් ලබාගත්තා මම පැමිණි බාධා කම්කටුලු මගේ ජීවිත අත්දැකීම් බවට පත් කරගත්තා. පීඩාකාරි වේදනාකාරී අත්දැකීම් තුළ මම යම් දෙයක් ජීවිතයට එකතු කරගත්තා. යම් දෙයක් පසුපස හඹායාමක් මා තුළ නෑ. තියෙන්නේ හැමදෙයක් ගැනම හදාරමින් ජීවිතය අත්විඳින්න මට ඕනේ ජීවිතයේ ධාවකයෙක් වෙන්න නොවෙයි. ජීවිතය ගැන සංචාරකයෙක් වෙන්න.

 

 

[email protected]

සේයාරූ - නිශ්ශංක විජේරත්න / ශාන් රූපස්සර