වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
සමාජ සේවය අතරේ සතියකට එක අලුත් ගීතයක්

ඒ ගී පිරී තිබුණේම ආදරයේ උණුසුමිනි. ඒ ගී රිද්මවල දැවටී ඇසුණේ හා ඒ කටහඬින් ගැයූ ගීයෙන් හදවතට දැනුණේ ද ආදරයේ උණුසුමය. ගිටාරයේ තත් පිරිමැද ගැයු ආදර ගීයක දැවටී දශක ගණනක් අන් සිතක රැඳෙන්නට හැකි ප්‍රතිභා පුර්ණ කලාකරුවකුටම මිස අන් අයකුට නොවේ.
නමුදු ඒ ප්‍රේමයේ ගැයුමෙන් ඔබ්බට ගොස් මානව ප්‍රේමයේ අනගි සලකුණක් තබනු සඳහාත් මහඟු සමාජ මෙහෙවර රැසකට සිය සුවිශේෂ දායකත්වය දී කටයුතු කරන ප්‍රතිභා පුර්ණ ගායන ශිල්පී, සංගීතවේදී
කීර්ති පැස්කුවල් සමඟ කළ කතාබහකි මේ.
ප්‍රථමයෙන් සහෝදර කලා ශිල්පීන් වෙනුවෙන් වූ මැදිහත් විම් පිළිබඳ කතා කරමු නේද?
මගේ සහෝදර කලා ශිල්පීන් වෙනුවෙන් මේ තාක් කළ හැකි වූ මැදිහත් වීම් ගැන නම් ගොඩක් සතුටුයි. ඒ කාර්යයේදී සැලකිය යුතු මැදිහත්වීම් ගණනවක්ම කළ හැකි වුණා. එකක් තමයි ආනන්ද පෙරේරා කියන අපේ සුවිශේෂ සංගීතවේදීයා වෙනුවෙන් කළ හැකි වූ මැදිහත් වීම. පසුගිය කාලයේ එතුමා අසනීප තත්ත්වයෙන් සිටියදී ඒ වෙනුවෙන් කළ යුතු වූ ශල්‍යකර්මයක් සඳහා අවශ්‍ය වූ මුදල් ප්‍රමාණය රැසකර ගැනීමට සංගීත ප්‍රසංගයක් සංවිධානය කොට ඒ මුදල් සම්පුර්ණ කර ගැනීමට කළ හැකි වූ මැදිහත් වීම එකක්. එය සිදු වී දැන් වසර දහයකටත් වැඩියි. ඒ වාගේම පි‍්‍රන්ස් උදයපි‍්‍රයන්ත කියන අපේ සහෝදර කලා ශිල්පීයා රෝගාතුරව රෝහල්ගත වී සිට මියගිය අවස්ථාවේදී රෝහලෙන් ඔහුගේ මෘතදේහය නිදහස් කරගෙන අවසන් කටයුතු සිදුකර නිම වන තෙක් ඒ කටයුතු සඳහා අවශ්‍ය වූ මුදල් ඔහුගේ පවුලේ ඥාාතීන් වෙත සොයා දෙන්නත් මට වටිනා මැදිහත් වීමක් කළ හැකි වුණා.
එහිදී සති දෙකක් ඇතුළත සංගීත ප්‍රසංගයක් සංවිධානය කර ඒ වෙනුවෙන් පියවීමට තිබු සියලු මුදලුත් පියවා, වැඩිපුර එකරැස් වූ මුදලින් කොටසක් ඔහුගේ සොහොයුරියටත්, ඒ වාගේම ඒ දිනවල ආර්ථික අපහසුතාවන්ට පත්ව සිටි තවත් සහෝදර කලා ශිල්පීන් හය දෙනකුටත් ලබා දෙන්න පුළුවන් වීමත් විශේෂ සිදුවීමක් කියා සිතනවා. ඔය අතරතුරමයි මටත් හදිසි ශල්‍යකර්මයක් සඳහා යොමු වෙන්න සිදු වුණේ. දෙදහස් එකොළහේ ඔක්තෝබර් මාසෙ විසි එක් වැනිදා එය සිදුවුණේ. එදා මට හදිසි හෘදයාබාධයකට මුහුණ දෙන්න සිදුවීමෙනුයි ශල්‍යකර්මයකට යොමු වෙන්න සිදු වුණේ. එදා නැවතී ගිය මගේ හදවතට වෛද්‍යවරුන්ගේ කැපවීම හා දක්ෂතාව මත යළි පණ දෙන්න හැකි වුණා කියලයි හිතෙන්නේ.
මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා විශේෂඥ වෛද්‍ය පි‍්‍රයංකර ජයවර්ධන සහ විශේෂඥ ශල්‍ය වෛද්‍ය වජිර සේනාරත්න හට මට නැවත ජීවිතය ලබා දීමට ගත් පරිශ්‍රමය වෙනුවෙන්. ඒ සිදුවීමෙන් පසුව තමයි මට ගොඩක් ම හිතුණේ ගිලන් වූ අය වෙනුවෙන්, ඔවුන්ගේ සුවය උදෙසා මට කළ හැකි හොඳම දේ මා කළ යුතුයි කියා. මුල් යුගයේ එබඳු අයට අවශ්‍ය ඖෂධ ආදී ලබා ගැනීමට මගේ දායකත්වය උපරීමව ලබා දෙන අතරේදීයි මට හිතුණේ ඉන් එහා ගිය දෙයක් මා කළ යුතුයි කියා. ඒ අනුව මහරගම අපේක්ෂා රෝහලේ එතෙක් තිබූ ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකක දෙක, මගේ හිත මිතුරන් හා අනිකුත් පරිත්‍යාශීලීන්ගේ දායකත්වයත් ගෙන තවත් ඒකක හයකින් වැඩි දියුණු කරන්න හැකි වුණා. ඒ අනුව ඇටමිදුලු බද්ධ සැත්කමක් සඳහා වසර තුනක් වැනි දිගු කාලයක් පොරොත්තු ලේඛනයේ සිටි රෝගීන් හට විශාල සහනයක් සැලසුණා.
ඉතින් මේ වෙද්දී වසර එකහමාරක් වැනි කාලයක් ඇතුළත රෝගීන් දෙසීයක් පමණ සාර්ථකව ශල්‍යකර්ම සඳහා යොමු වී සිටීම දකින්න ලැබීමත් මා ලද විශාලම භාග්‍යයක් ලෙසයි දැනෙන්නේ. අනතුරුව වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතාගේ ආරාධනයක් මත ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහලට පිළිකා රෝගීන් වෙනුවෙන් වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන හයිපෙක් කීමෝතෙරපි කියන යන්ත්‍රය ලබාදීමේ කටයුත්ත වෙනුවෙන් මට ගිය වසරේ මැදිහත් වෙන්න පුළුවන් වුණා. ඒ සඳහා අමෙරිකාවේ වෙසෙන ලංකා පන්නිල මහතා දැක් වූ අනුග්‍රහයට මා ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම වෛද්‍ය විරංජිත් තාඹුගල සමඟ එක්ව මගේ මැදිහත් වීමෙන් සිදුකළ තවත් වැඩසටනක් පිළිබඳත් පුංචි අදහසක් කියන්න කැමැතියි. විශේෂයෙන් යම් කිසි ලෙසකින් රෝගාතුර වී හෝ වෙනත් ආර්ථික අපහසුතාවකට ලක් වී සිටින අපේ කලාශිල්පීන් පිළිබඳ අවධානය යොමු කර ඔවුන්ට ශක්තියක් වන ආකාරයේ කටයුතු කීපයකට මැදිහත් වන්නටත් පසුගිය කාලයේ අපට හැකි වුණා. එබඳු කලා ශිල්පීන් විසි දෙනකුට පසුගිය මාසයේ පනස්දාහ බැගින් වූ දීමනාවක් ලබා දුන් අතර එම දීමනාව අඛණ්ඩව ලබා දෙන ආකාරයේ ක්‍රමයක් සකස් කරන්නත් වෛද්‍ය නාඹුගල මහතාගේ අදහසක් තිබෙනවා.
එහිදී ලාංකේය ගී පද රචකයන්ගේ සංගමයෙන් දස දෙනකුත්, නිර්මාණ කරුවන් හා සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ දස දෙනකුත් තෝරාගෙන ඒ දායකත්වය දුන් අතර ගායක ගායිකාවන් විසිතුන් දෙනකු සඳහා ද ඒ පරිත්‍යාගය කරනු ලැබුවා. කලාකරුවන් ලෙස අභිමානයක් ඇතිව තවත් අයකුට බරක් නොවී තමන්ගේ කටයුතු සිදුකරගෙන යෑමට පදනමක් සකස් කර දීමයි එහි අරමුණ වුණේ.
ඒ අතර ගායන ශිල්පී විජේසිරිවර්ධන පොලොන්නෝවිට මහතා රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබාගත්ත බව දැන ගැනීමට ලැබීමෙන් පසු එතුමා වෙනුවෙන් මැදිහත් වීමක් කරනට අපට හැකි වුණා. එතුමාගේ ප්‍රතිකාර වෙනුවෙන් ආරෝග්‍ය ශාලාවට අයවිය යුතු ලක්ෂ පහකට ආසන්න මුදලක් වෛද්‍ය තාඹුගල මහතා විසින් පියවීමට කටයුතු කළා. ඉන්පසු එතුමා රෝහලෙන් රැගෙනවිත් රැකබලා ගැනීමේ කටයුතු තවදුරටත් නිසියාකාර සිදුකරගන්න පහසු වන ලෙස එතුමාට වැඩිදුර පහසුකම් සලකා දෙන්නත් අපි කටයුතු කළා. ඒ සමාජ සේවා කටයුතු සඳහා කැමැත්තක් දක්වන නලිනි කාංචනමාලා හා නිමල් යන මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහයෙන්. ඔවුන්ගේ නිවසේ එතුමාට රැකවරණය සලසා දී වැඩිදුර රැකබලා ගැනීම වෙනුවෙන් විශේෂ අයකුව යෙදාවා එතුමා වෙනුවෙන් පහසුකම් සලසා දෙන්නත් හැකි වෙලා තියෙනවා.
දිනුෂා සහ හසිනි ගේ ජීවිතවලට ඔබ අනපේක්ෂිත මොහොතක ආලෝකයක් ගෙනාවා කියා බොහෝ දෙනෙක් කතා වෙනවා. කවුද දිනුෂා හා හසිනි?
ඒකත් අමතක නොවෙන සිදුවීමක්. දිනුෂා පිළිකා රෝගයට ගොදුරුව සිට මිය ගිය කෙනෙක්. ඇගේ කතාව පසුගිය කාලේ බොහෝ දෙනකු දැනගත්තා. ඒ සිදුවීම වුණේ දෙදහස් දහසයේ ජනවාරි මාසයේ. දිනුෂා ගේ ජීවිතයේ අවසාන පැය කීපයේ ඈව දකින්න ගොස් ඈ ළඟින් හිඳ ගීත කීපයක් ගායනා කළ අවස්ථාව ගැනයි මිනිසුන් කතා වුණේ.
දිනුෂා මගේ රසිකාවක්. විවාහ වී ඉතා කෙටි කලකින් තමයි ඈට රෝහල්ගත වෙන්න සිදු වුණේ. ඇගේ තත්ත්වය ගැන මට කීවේ මගේ හිතවතෙක්. මාස ගණනක් රෝහල්ගතව හිටපු ඈ වෙනුවෙන් ඇගේ මානසික සුවය උදෙසා ඒ වනවිටත් බොහෝ දෙනකු කැප වී කටයුතු කර තිබුණා. මේ පිළිබඳ මට අහන්න ලැබුණාම ඇය බලන්න යන්න මම තීරණය කළා. දවසක් මගේ දියණියත් සමඟ ම රාත්‍රී කාලයේ ඇය බලන්න රෝහලට ගියා. ඒ මොහොතේ දිනූෂා අවදිවයි සිටියේ. හැබැයි ඇය ඇසිපියවත් ගැසුවේ නැහැ. අධික වේදනාව සමඟ ඇය එක එල්ලේ බලා සිටියා විතරයි. නමුත් ඇගේ සිහිය වෙනස් වී තිබුණේ නෑ. මම ඇය හමුවට ගිය පසු ඇගේ හිස අතගා දිනූෂා මං සින්දුවක් කියන්න ද කියා ඇසූ විට ඇය නොසෙල්වී බලා සිටියා. මං ගීත දෙකක් කිව්වා, කඳුළ ඉතින් සමාවෙයන් ගීතයයි, සඳලතා ගීතයයි. ඒ වේලාවේ මගේ ගිටාරයත් වයමිනුයි ගායනා කළේ. මං ගැයුවාට පසු ඈට ‘ස්තූතියි’ කියන්න පුළුවන් කමක් තිබුණේ නෑ. දිනූෂට දක්වන්න හැකි වුණේ එකම ප්‍රතිචාරයයි. ඒ දෑසට ඉනූ කඳුළු ගලා යෑමට ඉඩ දීම විතරයි. ඒ වේලාවේ මං දිනූෂාගේ අත අල්ලගෙන කිව්වේ ඔයා සනීප වුණාම ඔයාත් එක්ක සින්දු කියන්න මං ඔයාගෙ ගෙදර එන්නම් කියලයි. ඊට වඩා දෙයක් අපි කාටවත් කතා කරගන්න බැරි වුණා. ඇස්වලිනුත්, හදවතිනුත් එතැන අපි හැමෝම ඇඬුවා.
එදා මං ගෙදර ඇවිත් හරියටම පැයකට විතර පස්සේ මගේ හිතවතා මට කතා කර කිව්වා දිනූෂා නැතිවුණා කියලා. ඒ සිදුවීම මට දරාගන්න බැරි වුණා. ඒ නිසා ඇගේ අවසන් මොහොතටවත් මං සහභාගි වුණේ නෑ.
හසිනි ඔබත් සමඟ ඊට පෙර ගීත ගායනා කර තිබුණා ද?
ඔව්. හසිනි මා සමඟ ප්‍රසංගවල දී ගී ගායනයට එක් වී හිටි කෙනෙක්. ඇයටත් අවුරුදු විසි අටයි. හසිනිත් දිනූෂා සේම පිළිකා රෝගයට ගොදුරු වූ දියණියක්. හසිනිත් ටිකෙන් ටික රෝග ලක්ෂණවලින් පීඩාවට පත්වෙද්දී අපි හසිනිගේ සිත සතුටින් තබන්නත් වෑයම් කළා. ඔය අතරේ තමයි දෙදහස් දහනවයේ ඔක්තෝබර් මාසයේ ‘මගේ මනමාල හැන්දෑව‘ සංගීත ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වුණු දවසේ හසිනිත් එය බලන්න ඇවිත් හිටියේ. එදා හසිනි සුදු ඇඳුමක් ඇඳන්, හිසත් සුදු ජටාවකින් ආවරණය කරන් වාඩි වී සිටින හැටි මං දැක්කා. ඒ වෙලේ ඇයට ගී ගයන්න හැකියාවක් තියෙනවාද නැද්ද කියා මං දැනන් හිටියේ නැතත්, එයාගේ ලොකුම කැමැත්ත ගීත ගායනය කියලා මං දැනගෙන සිටි නිසා හසිනිට වේදිකාවට ඇවිත් මා සමඟ ගීයක් ගයන්න කැමතිද කියා අහන්න හිතුණා.
මගේ ආරාධනය පිළි අරන් හසිනි වේදිකාවට ඇවිත් පුටුවක වාඩි වී මාත් එක්ක ‘කවි කාරීයේ සින්දු කියනා ළඳේ’ ගීතය ගායනා කළා. ඒ අවස්ථාවත් හරිම සංවේදි යි. එදාත් මුළු ශාලාවම නිහඬ වුණා. හැමෝම ඇඬුවා. හසිනිත් හැමදාම ආස වුණේ ඇගේ ගායනයෙන් රටක් ඇයව හඳුනා ගන්නවා දකින්නයි. ඒ නිසා ඒ සිදුවීමෙන් පස්සේ ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහන ඉදිරිපත් කරන මහේෂ් නිශ්ශංක මහතාට කතා කර හසිනිටත් මටත් ගී ගයන්න ඉඩක් දෙන්න පුළුවන් ද කියා ඇසුවාම ඔහු බොහොම සතුටින් ඊට ඉඩ නිර්මාණය කර දුන්නා. ඒ වැඩසටහනෙන් පස්සේ හසිනි ලංකාවේ වගේම ලෝකයේත් ගොඩක් ප්‍රසිද්ධ වුණා. එදා හසිනිගේ සිහිනය උත්කර්ෂයට නැඟුණේ එහෙමයි. ඒ වැඩසටහන 2019 දෙසැම්බර් මාසයේ තිබුණේ. ඊළඟ පෙබරවාරි මාසයේ ඇයත් අප හැර ගියා.
ඊළඟ උපන් දිනයේ මං වෙනස්ම දෙයක් කරන්න හිතුවේ. පාසල් යන දූ පුතුන්ගේ සංගීත දැනුම දියුණු කරන්න, ඒ මඟින් යහපත් ගතිගුණ ඇති දරු පිරිසක් තනන්න වයලීන ප්‍රදානයක් සිදු කරන්න හිතුවා. ඒ අනුව පසුගිය ජනවාරි මාසේ විසි නව වැනිදා ලංකාව පුරා පාසල්වල සිටින හය, හත, අට වසරවල සිටින දූ පුතුන් තෝරාගෙන වයලීන ප්‍රදානයක් සිදු කළා. වයලීන දහසක් බෙදා දීමේ ‘සත්සර පාරමිතා’ නමින් ඒ වැඩසටහන පැවැත්වුණේ. එක් එක් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු ඒ වැඩපිළිවෙළ යටතේ මේ වන විට වයලීන පන්සියයක් බෙදා දී අවසන්. ඇත්තටම බොහෝ දරුවන්ට මෙය මහඟු අවස්ථාවක්. විසිදාහේ සිට ලක්ෂය දක්වා මිල ගණන් යටතේ එන වයලීන ඒ අතර තියෙනවා. මෙහිදී විශේෂයෙන් මං තෝරාගන්නේ එබඳු සංගීත භාණ්ඩයක් මිල දී ගන්න බැරි ආර්ථික අපහසුතා තිබෙන පවුල්වල දරුවන්. එතැනින් අපි එය අවසන් කරන්නෙත් නෑ. ඉන්පසු ඒ දරුවාගේ ප්‍රගතිය පිළිබඳත් අපි පසු විපරමක යෙදෙනවා.
ඒ කටයුතුත් සිදුවෙද්දී සංගීත කටයුතුවල ප්‍රගතිය කොහොමද වෙන්නේ?
ඒවාත් හොඳින් සිදුවෙනවා. කොහොමත් සතියකට එක් ගීයක්වත් අලුතින් නිර්මාණය වෙනවාමයි. විශේෂයෙන් විදෙස් රටවල සිටින අය වෙනුවෙන් ගීත ගායනා කරන අතරතුර ඔවුන් මා සමඟ යුග ගී ගායනයට සම්බන්ධ වන අවස්ථාත් බහුලයි.
ලබන වසරේ සිදු කෙරෙන සුවිශේෂ කාර්යයන් මොනවාද?
ප්‍රධාන කටයුතු දෙකක් ඊළඟ වසරේ සිදුකිරීමට නියමිතයි. මනමාල හැන්දෑව ඊළඟ පියවර මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය පවත්වනවා ජනවාරි මාසේ විසි නව වැනිදා නෙළුම් පොකුණ රඟහලේ දී එහිදී යුග ගායනයෙන් නිරෝෂා විරාජිනි, චන්ද්‍රලේඛා පෙරේරා, ධම්මිකා බණ්ඩාර, සමිතා මුදුන්කොටුව, මරියසෙල් ගුණතිලක ආදීන් සහභාගි වෙන්න නියමිතයි.
සාරංග දිසාසේකර තමයි මේ ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ. සංගීතය මෙහෙයවන්නෙ නාලක සජී ජයසිංහ ගිය වතාවේ සේම මෙවරත් එය පේ‍්‍රක්ෂකයන්ට අමතක නොවන ප්‍රසංගයක් වෙයි කියා හිතනවා. ඊළඟට පෙබරවාරි මාසෙ විසිපස්වැනි දා සහ මාර්තු හතරවැනිදා පැවැත්වෙනවා සංගීත ප්‍රසංග දෙකක් ‘නින්නාද’ නමින්, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හා මෙල්බර්න් නුවර ඊට සභාගි වන්නේ මාත් සමඟ ඒ රටේ සිටින මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ කියන්නේ මගේ ඔන්ලයින් සංගීත පන්තිවලට සහභාගි වන ඕස්ට්‍රේලියාවේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඉතින් ඒකත් සුවිශේෂ ක්‍රමයකට පැවැත්වෙන ප්‍රසංගයක් නිසා විශේෂ වෙයි කියා සිතෙනවා.
ඔබ ගායක ගායිකා සංගමයේ සභාපතිත්වය දැරූ කාලයේත් විශේෂිත කටයුතු කීපයක්ම සිදු කළා නේද?
මම ගායක ගායිකා සංගමයේ සභාපති ධූරය දැරුවේ 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලයේ. ඒ කාලය තුළ අපේ සංගමයට ආධාර පිණිස මිලියන 25ක මුදලක් රජයෙන් ලබා ගන්න පුළුවන් වුණා. එය අරමුදලක් ලෙස ස්ථාවර තැන්පතුවක යොදවා එමඟින් අපේ ගායක ගායිකා සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හතළිස් දෙනකුට ජීවිතාන්තය දක්වා විශ්‍රාම දීමනාවක් මාසිකව ප්‍රදානය කරන්න හැකියාවක් ලැබී තියෙනවා. ඊට අමතරව ඒ දිනවල සංගමයේ සාමාජික සාමාජිකාවන් හට වරප්‍රසාද ගණානාවක් එමඟින් බුක්ති විඳින්නත් පසුබිමක් නිර්මාණය කර දී තිබුණා. ගීත රචකයන්, සංගීත අධ්‍යක්ෂවරු නැතිනම් තනු නිර්මාපකවරු කියන පිරිස නැතිව ගීයක් නිර්මාණය වෙන්නේ නෑ.
ඉතින් ඒ සඳහාත් මං පියවරක් තැබුවා. එහිදී ලාංකේය ගේය පද රචකයන් වෙනුවෙන්ම වූ වෙනම ම සංගමයක් ආරම්භ කරන්නත් මුලික වී කටයුතු කරන්න මට හැකියාවක් ලැබුණා. එයත් 2019 වසරේ ආරම්භ කළේ. ඒ වගේමයි ශ්‍රී ලංකාවේ සංගීත අධ්‍යක්ෂවරුන් හා නිර්මාණකරුවන් ගේ සංගමයත්. එහි සභාපතිධුරය සරත් ද අල්විස් මහතා දරන අතර ලේකම් ධුරය දරන්නේ සමන්ත පෙරේරායි.
ගේය පද රචකයන්ගේ සංගමයේ සම සභාපති ධුර දරන්නේ නිලාර් එන්. කාසිම් හා රත්න ශ්‍රී විජේසිංහයි. එහි ලේකම් ධුරය දරන්නේ ජෝර්ජ් රොබ්සන් ද සිල්වායි. ඉතින් මේ සංගම් මඟින් ඒ ඒ ක්ෂේත්‍රවල පිරිසට තම ගැටලු සාකච්ඡා කරන්න, හඬක් නඟන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ කටයුතුත් සාර්ථකව සිදුවන අතර මම තවදුරටත් එහි උපදේශයකු ලෙස කටයුතු කරනවා.
මේ වසරේ විදෙස් ප්‍රසංගවලට සහභාගි වෙනවාද?
ඔව්. කැනඩාවේ ප්‍රසංග දෙකක් තියෙනවා ටොරාන්ටෝ හා වැන්කූවර්වල. මේ මාසයේ අවසානයේ වාගෙ ඒ සඳහා යන්නේ. ඉන් පසු ප්‍රංශයේ විදෙස් ප්‍රසංග කීපයක් සඳහාත් ආදි වශයෙන් සහභාගි වෙන්න සූදානමින් ඉන්නවා.
ඔබ මේ ක්ෂේත්‍රයට පිවිස වසර හතළිහක්. ඔබ සතුටට පත්වන කාරණා මොනවාද?
මං 1976 වාදකයකු ලෙස මේ ක්ෂේත්‍රයට පිවිසුණේ. 1985 දී තමයි ගායකයකු ලෙස ජනපි‍්‍රය වුණේ. එතෙක් මෙතෙක් කාලය තුළ මගේ ජනපි‍්‍රය බව එක ලෙස රඳවා තබා ගන්න මට හැකි වෙලා තියෙනවා. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අලුත් ගීත නිර්මාණය කිරීම. ඒ යුගයේ මා සමඟ සිටි තරුණ රසික පිරිසත් දැන් මාත් එක්කම වැඩිහිටි වියට පත්වෙලා. හැබැයි ඔවුන්ගේ දූ දරුවන් දැන් මගේ රසිකයන් බවට පත්වෙලා. ඒක වෙන්නෙ අපි යාවත්කාලීන වෙනවා නම්. නිර්මාණ අලුත් විදිහට ඉදිරිපත් වෙනවා නම් තමයි ඔවුන් අපිත් එක්ක එකතු වෙන්නේ. ගීයක් හඬ, සංගීතය, නවීන තාක්ෂණය සමඟ එක් වී ඔවුන්ට එය දැනුණොත් තමයි ඒ අය අපිත් එක්ක එකතු වෙන්නේ. මම කොහොමටත් නිතර තරුණ පිරිස් සමඟ වැඩ කරන කෙනෙක්. ඔවුන්ට අත දෙන කෙනෙක්. කවදාවත් මම ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්නේ නෑ. විනිශ්චය මණ්ඩලයක කටයුතු කරද්දී පවා හැමවිටම ඔවුන් ශක්තිමත් කරන්නයි උත්සාහ ගන්නේ. අඩුපාඩු වැරැදි පෙන්වා දෙන්නේ සිත් නොරිදෙන ලෙසයි. ඒ නිසා ඒ හැම කෙනකුම පාහේ මට ආදරෙයි. ඉතින් ඒ තමයි මගේ සතුටත්.
මෙතෙක් ඔබ ලබා ඇති ගෞරව නාම ආදිය භාවිත නොකරන්නේ ඇයි?
එයට මා ගරු කරනවා. හැබැයි මා ඒවා භාවිත කරන්නේ නැත්තේ ඇයි කියා අහන දේට පිළිතුර වෙන්නේ, අපි සමාජයට කරන මෙහෙවර පිළිබඳ මං වඩා සැලකිලිමත් කියන එකයි. එදත් අදත් හෙටත් ඉන්න කීර්ති පැස්කුවල් එක්කෙනෙක්මයි. මම බැබළෙන්න මිනිස්සුන්ගේ හදවත් තුළයි. හරි දේ, යහපත් දේ කරද්දී පොදු සමාජයෙනුයි අපට හොඳම ගෞරවය ලැබෙන්නේ. නමුත් යම් අවස්ථාවක එබඳු දෙයක් මට ලැබෙනවා නම් කිසිදු විටෙකත් මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මට දෙන වටිනාකම ගෞරවයක්. ඒ වෙනුවෙන් අපි නිහතමානි විය යුතුයි. හැබැයි මම ඒ දේවල් කිසිවක් කැපී පෙනීම වෙනුවෙන් පාවිච්චි කරන්නේ නෑ. මා නැති දිනකදීත් මිනිස්සු මා ගැන සලකන විදිහයි වැදගත් වෙන්නේ.
කටහඬ වාගෙම ඔබේ පෙනුමත් සමාජයේ අවධානයට යොමු වෙලා තියෙනවා
ඒක වාසනාවක් වෙන්නැති. පුංචි කාලෙදී වුණත් ලස්සනට අඳින්න. මං හරි ආසයි. පිරිසුදුව ඉන්න, පිළිවෙළට වැඩ කරන්න වැඩි නැඹුරුවක් තියෙන කෙනෙක්. ඒ වුණත් බාහිර පෙනුම විතරකුත් ලස්සනට තබාගෙන හිඳ වැඩකුත් නැහැ. නීරෝගීකම පිළිබඳත් අවධානය යොමු වෙන්න ඕනේ. ඔබට මතකනේ මං හෘදයාබාධයකට ගොදුරු වූ බව කීවා. හැබැයි ඊට දිනකට කලිනුත් මං පූර්ණ රුධිර පරීක්ෂාවකට යොමු වුණා. එහි කිසිදු ගැටලුවක් නොපෙන්වා තිබියදී තමයි පසුදින මා හෘදයාබාධයකට ගොදුරු වුණේ. ඒ තමයි සොබාවය. හැබැයි ඒ කුමන දේ වුණත් මං නිතරම උනන්දු මගේ නීරෝගිභාවය හොඳින් පවත්වා ගන්නයි. ඒ සඳහා මට විශාල පිටිවහලක් වෙන්නේ මගේ බිිරිඳ චන්දනා. මගේ දෛනික ජීවන රටාව හොඳින් පවත්වා ගන්න වුවමනා සෑම දෙයක්ම සැලසුම් කර දෙන්නේ ඇයයි. ඈ දෙන අපමණ ශක්තිය වාගෙම සතුටින් ඉන්න වුවමනා සැහැල්ලුවත් හදවත ඇතුළේ තියෙන නිසායි මේ වාගේ පෙනුමක් පවත්වාගන්න පුළුවන් වී ඇත්තේ. තවත් අයකුට උදවු කිරීමේ පැතුම තමයි සැම විටම තියෙන්නේ. ඒ වෙනුවෙන් කළ හැකි දේ කළ පසු දැනෙන සතුට අසීමිතයි. ඒ හැඟීම තමයි මාව මේ පෙනුමෙන් තබන්නේ.
ඔබ ගීයක් ගායනා කරද්දී එහි හැඟීම් පිළිබඳ දක්වන උනන්දුව ඉහළ මට්ටමක තබාගන්න සැලකිලිමත් නේද?
මම ඉගැන්වීමේදීත්, ගීත ගායනයේදීත් සැලකිලිමත් වන කාරණා තියෙනවා. ගීයක තනුව, වචන උච්චාරණය, හඬ පාලනය ආදී හොඳින් වටහාගත් පසු, ඒවාට අදාළ තාක්ෂණික කාරණා සියල්ල සම්පුර්ණ කරගත් පසුත්, අපට ළංවීමට අපහසු උච්ච ස්ථානයක් ඇති බව මා සිතනවා. ඒ තැනට ළං වුවොත් ඒ මොහොතේ තමයි අපට තවත් අයකුගේ හදවතට ළං වෙන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි හැඟීම්. ගීයක තනුවට වචනවලට අදාළව හැඟීම් ගායනා කිරීම තමයි ගීත ගායනයක උච්චතම අවස්ථාව වෙන්නේ. එතැනින් එහාට දෙයක් නැති තරම්. එබඳු ගායනකදී තමයි ඔබට මාව දැනෙන්නේ. එය තමයි සංගීතයේදී මා වටහාගත් හොඳම පාඩමත්. එය මාත් වටහාගනිමින්, අධ්‍යයනය කරමින් ප්‍රගුණ කළ දෙයක්. ප්‍රවීණයන් බොහෝ විට මෙය අපූරුවට සිදුකරනවා. ඔවුන්ගේ ගායනයේදී. ඒ නිසා ගීතයට අදාළ භාව සියුම්ව තේරුම් ගෙනයි ගායනයට ඇතුළු වෙන්න ඕනේ. ඉතින් ඒ ගැන තමයි ඔබ ඇසුවේ.
සේයාරූ - නිශ්ශංක විජේරත්න