කලාවේ තීර්ථ චාරිකාව නතර කරලා නැහැ

ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේ
ඔක්තෝබර් 27, 2022

 

‘මම ශි‍්‍රනාත්’ ග්‍රන්ථය 29 වැනිදා ඕස්ට්‍රේලියාවේදී එළිදකී

 

මම කකවදත් රඟපාන්න පෙරේතයි

 

ශ්‍රීනාත් මද්දුමගේ කියන නාමය, තවමත් අපේ රටේ කලාකාමී ප්‍රේක්ෂක ජනතාවගේ සිතේ සුන්දර මතකයක් ව පවතින්නට හේතු වුණේ, ඔහු මෙරට ටෙලි නාට්‍ය හා චිත්‍රපට මාධ්‍ය තුළ නිරූපණය කළ බොහෝ චරිතයන්හි රංග ප්‍රතිභාව ඔවුන්ගේ සිත් තුළ නිදන්ගතව ඇති නිසයි. එකල ඔහු නිරූපණය කළ ඇස්බැස්ටෝස් තහඩු වක් කඩාගෙන බිමට වැටෙන වෙළෙඳ දැන්වීම අදටත් කාගේත් මතකය තුළ සිනහා නං වන්නක්. ඒ යුගය වන විට ශ්‍රීනාත් කලා ක්ෂේත්‍රය තුළ අතිශයින් ජනප්‍රිය නළුවෙක්. ප්‍රවීණ සාහිත්‍යධර තිර නාටක රචක සෝම වීර සේනානායකයන්ගේ බොහෝ තිරපිටපත් හි ශ්‍රීනාත් නොසිටියේ කලාතුරකින්. පියවරෙන් පියවර ආ ගමන් මගෙහි ටෙලි සම්මාන මෙන්ම, සිනමාවේ උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනි අවි සහ ගිනි’ කෙළි වැනි චිත්‍රපටයක රංගන දායකත්වයෙන් ද ඔහු අසීමිත ජනප්‍රසාදයක් දිනා ගත්තා.

ජනප්‍රියත්වයෙන් ක්ෂේත්‍රයේ ඉහළම තැනක සිටියදී ශ්‍රීනාත් දෙවරක් නොසිතාම ලංකාවෙන් බැහැරව ඕස්ට්‍රේලියාවේ පදිංචියට යෑමට තීරණය කළා. එතැන් සිට මේ වන තුරු ඔහුගේ පදිංචිය ඕස්ට්‍රේලියාවේ ය. එහෙත් ඒ අතරතුර නිර්මාණ කාර්යයන් කිහිපයකටම ඔහු වරින් වර ලංකාවට පැමිණියා. මෙවර ඔහු පිළිබඳ මතකය අපට වැදගත් වූයේ ඔහු ලේඛකයකු වශයෙන් ‘මම ශ්‍රීනාත්’ නමින් රචනා කළ ග්‍රන්ථය එළි දකින නිසා වෙනි. මේ ඒ පිළිබඳ ඔහු සමඟ කළ සංවාදයකි.

 

 

ඔබ නිකුත් කරන පොතට වස්තු විෂය වෙන්නෙ මොනවද?

මුලින්ම කියන්න ඕනෙ. මම වෘත්තීය ලේඛකයෙක් නෙමෙයි. හැබැයි ලේඛන කලාවෙන් බැහැරවුණ කෙනෙකුත් නෙමෙයි. ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ ‘සන්නස’, ’කැඩපත’ පුවත්පත් වලට ලිපි ලිව්වා. ගුවන් විදුලි සේවයකට ‘සරැලි විත් ශ්‍රීනාත්’ කියල සඟරාමය වැඩසටහනක් වසර දෙකක් විතර ලියල, හඬ මුසුකරමින් අධ්‍යක්‍ෂණය කළා. ඒ වගේම කෙටි නාට්‍ය කිහිපයකුත් කළා. දැන් මම මාතෘකාවට එන්නම්. “මම ශ්‍රීනාත්’ කියන පොතට වස්තු විෂයය වෙලා තියෙන්නෙ වසර හතළිහක විතර මගේ කලා ජීවිතය ඇතුළත් වුණු ශ්‍රීනාත් මද්දුමගේ කියන කලාකරුවාගේ අසීරු ජීවිත චාරිකාවේ මතක. ඒකට මම උප මාතෘකාවක් දීල තියෙනවා. දිගු ගමනක කෙටි මතක කියලා. රත්නපුරේ නිරිඇල්ලේ ඉඳන් මොරටුවට ඇවිත් අඟුලානේ බින්න බැහැපු මගේ තාත්තගේ ඉඳන් මම රට හැර ඕස්ට්‍රේලියාවට පැමිණීම දක්වා මගේ පවුලේ විස්තර, සතුට වගේම දුක මිශ්‍ර සිදුවීම් මේ පොතට අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ මගේ කලා ජීවිතය තුළ මට සමීපව ඇසුරු කරන්න ලැබුණු, සයිමන් නවගත්තේගම, ජයලත් මනෝරන්ත, ආර්. ආර්. සමරකෝන්, ආචාර්ය සාලමන් ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ කලාකරුවන්ගේ ඇසුර ගැනත් සඳහන් වෙනවා. මේකේ පුරසාරම් පුරාජේරු නෙමෙයි නළුවෙක් වෙන්න හීන දකින ́හැම කෙනෙක්ටම එතෙන්ට එන්න කරන අධ්‍යයනයත් මම අඩංගු කරල තියෙනවා.

 

මෑත කාලයේ ටෙලි නාට්‍ය, චිත්‍රපට වගේ කලා කටයුතුවල නියැළුණේ නැද්ද?

මීට වසර 17 විතර ඉස්සර මම ස්ථිර පදිංචියට ලංකාව අතෑරලා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණා. කලාකාරයෙක් හැටියට ඒක මට දරාගන්න බොහොම අසීරු දෙයක් වුණා. මෙහෙ ඇවිත් නිකං හිටියෙ නෑ. ‘දෝන ඉසබෙලා’, ‘මේ මොකද්ද මේ’ කියල වේදිකා නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා. කෙටි නාට්‍ය ගණනාවක්ම කළා. ‘සරැලි විත් ශ්‍රීනාත්’ ගුවන් විදුලි වැඩසටහන කළා. විටින් විට ලංකාවට ආවාම ජනපි‍්‍රය ටෙලි නාට්‍යවල ලැබෙන කාලය අනුව රඟපෑවා. උදයකාන්ත වර්ණසූරියගේ මෑතකදි කරපු හැම චිත්‍රපටයකම වගේ රඟපෑවා. ඒ රඟපෑම් සඳහා මම ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට කීප වතාවක්ම ආවා. අවසානයට රඟපාපු ‘ගින්දරි 3’ ලබන නොවැම්බර් මාසේ 03 වැනිදා ඉඳන් තිරගත වෙන්න නියමිතයි. පහුගියදා ‘ඩොලර්’ කියල ඕස්ට්‍රේයානු ටෙලි නාට්‍යයක රඟපෑවා. ‘කුරුලු පිහාටුවක් එවන්න’ කියල කෙටි චිත්‍රපටියක ප්‍රධාන චරිතය රඟපෑවා. ‘මිසින්’ කියල චිත්‍රපටියක් හදන්න මූලික කටයුතු සැලසුම් කරගෙන යනවා. පහුගියදා ඇඩිලේඩිවල තිබුණු සුනිල් එදිරිසිංහගෙයි සෂිකා නිසංසලාගෙයි ‘ස්වර්ණ ස්වර’ සංගීත වැඩසටහන මෙහෙයවූවා. ප්‍රසංග ඉදිරිපත් කරන්නෙක් හැටියටත් සෑහෙන්න වැඩ කළා. චම්පා බුද්ධිපාලගේ ‘ආශාවේ විදි රිය’,‘දස්කොන්’, ‘මෙත්තාරා’ වේදිකා නාට්‍යවලත් රඟපෑවා. කලාවේ තීර්ථ චාරිකාව නතර කරල නෑ. මම තවම චාරිකා කරනවා.

 

ඔබ ලංකාවේ නැති නිසා කලාවේ බොහෝ අවස්ථා නැති වුණා කියල ඔබට හිතෙන්නෙ නැද්ද?

මමත් පෘථග්ජන මනුෂ්‍යයෙක්නෙ. මොකද නැත්තේ. හොඳටම ඒක දැනෙනවා. ඒ ගැන ලොකු දුකකුත් තියෙනවා. වතුරට ආස මට ගොඩ බිම කොච්චර විශාල වුණත් සුන්දර වුණත් වැඩක් නෑනේ. මටත් ඒ වගේ තමයි. මම ලංකාව දාල එන්නෙ නළුවෙක් හැටියට මගේ ජීවිතේ හොඳම කාලේ. ජීවිතේ යම් යම් අරමුණු වෙනුවෙන් අපිට තවත් වටිනාකම් අත්හරින්න සිද්ධ වෙනවා. ඒ වගේම මම ලංකාවට ගියාම පරණ කට්ටිය කියන කතාවක් තියනවා. මම කරපු චරිත වලට හරියන නළුවෙක් තාම ලංකාවේ බිහිවෙලා නෑ කියලා. ඒ කියන්නෙ අද ලංකාවට ගියත් මට රඟපාන්න චරිත තියෙනවයි කියන එක. ඒත් අපිට හැමදාම රඟපාන්න බෑ. අලුත් අය එන්න ඕන.

 

පොතේ දොරට වැඩුමක් තිබුණා නම් ඒ ගැන විස්තර?

ශ්‍රීනාත් මද්දුමගේ කියන නළුවාගේ උපතේ ඉඳන් මේ දක්වා කතාව තියෙන චරිතාපදානයක් නිසා ඒක මට මංගල කටයුත්තක් වගේ වටිනවා. මොකද මම තවම ශ්‍රීනාත් මද්දුමගේ කියන́ඕස්ට්‍රේලියාවේ පදිංචි වුණු ලාංකිකයාට වඩා එම නමින් හඳුන්වපු නළුවට ආදරෙයි. මේ මාසේ 29 වැනි සෙනසුරාදා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ එපින් නගරයේ ගලාඩා කමියුනිටි සෙන්ටර් එකේ සවස 6.00 ට තමයි ‘මං ශ්‍රීනාත්’ චරිතාපදානය එළිදක්වන්නේ. මෙම ග්‍රන්ථය ලංකාවේ සරසවි ප්‍රකාශනයක් හැටියටයි ප්‍රකාශයට පත් වුණේ. ලංකාවෙ ඉන්න අයට සරසවි පොත් මැඳුරෙන් වගේම රට පුරා තියෙන ශාඛාවන්ගෙන් මේ පොත මිලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ අද පවතින මුද්‍රණ වියදම් එක්ක මේ පොතට ලොකු මුදලක් යටපත් කරන්න වුණත් ලාබය ගැන බලල නෙමෙයි. තෘප්තිය ගැන හිතල පාඨකයාට දරන්න පුළුවන් මිලකට තමයි පොත මිල කළේ.

දැන් ඔබේ වෘත්තිය ජීවිතය කෙබඳුද?

මම අවුරුදු 17 විතර මෙල්බන් නගරයේ ‘පීටර් මැකලම්’ කියන පිළිකා රෝහලේ කළමනාකාර සහයෙකු හැටියට සේවය කරනවා. මේ වගේ රටක එකම තැනක මේ තරම් කාලයක් සේවය කරන්න ලැබෙන්නෙ මම මගේ රාජකාරිය හරි හැටි ඉෂ්ට කරපු නිසයි. මම කොහොමත් ලැබෙන වගකීම ඒ අකාරයෙන්ම ඉෂ්ට කරන්න කැමති කෙනෙක් නිසා, මට රැකියාව කවදාවත් කරදරයක් වුණේ නෑ. අනිත් එක මට දිනපතාම මුණගැසෙන්නෙ මරණ වරෙන්තුව අතේ තියාගෙන ඉන්න රෝගීන්. අද දකින කෙනා හෙට නෑ. ඒ වගේම ඔවුන් ඉන්නෙ කම්පනයෙන්. එතනදි නම් මට මගේ නළුකම ප්‍රයෝජනවත් වුණා. ශ්‍රීනාත් කියන්න අමාරු නිසා ඔවුන් මට කියන්නෙ ෂේන් කියල. ඒකේ තවත් දිගුවකට ගිහින් එයාලා වෙලාවකට මට කියන්නෙ ජොලි බෝයි කියලා. කොහොම වුණත් ෂේන් කියන්නේ රෝගීන් අතර බොහොම ජනපි‍්‍රය චරිතයක්. ෂේන් මරණ වරෙන්තුව අතේ තියාගෙන ඉන්න රෝගීන්ව සතුටින් තියන්න මහන්සි වෙනවා. අන්න එතනදි අර පරණ නළුවා එළියට ඇවිත් මට උදව් කරනවා. මං ඒ හැම දෙයක්ම කරන්නෙ දුක හංගගෙන සතුටින්.

 

ඔබ චිත්‍රපටයක රඟපෑම සඳහා වරක් මෙරටට පැමිණියා. නැවත ඇරයුමක් ලැබුණොත් බාර ගන්නවද?

මුලින්ම කියන්නෙ එක වතාවක් නෙමෙයි කීප වතාමක්ම චිත්‍රපටවල රඟපාන්න මං ලංකාවට ඇවිත් තියෙනවා. ඒ වගේම වසර 23 ක් මව්බිමේ කලාවට සම්බන්ධ වුණු මට ඒකෙන් මිදෙන්න තවමත් හැකි වෙලා නෑ. නළුවෙකුට නළුකම කියන්නෙ කෑමට පෙරේතයෙකුට රස කෑමක් වගේ. නළුවෙකුට හොඳ චරිතයක් කියන්නෙ බඩගිනිකාරයකුට ලැබෙන රස මසවුලකට සමානයි. ඒත් මං ඉන්නේ ලංකාවට වඩා සැතපුම් දහස් ගාණක් ඈතින්. අනවශ්‍ය විධියට නිවාඩු ගන්න එකත් මගේ රැකියාවට හොඳ නෑ. ඒ නිසා හොඳ චරිතයක් ලැබුණොත් ඒ ගැන නොසලකා ඉන්නෙත් නෑ. අර මම මුලින් කිව්ව වගේ මමත් තාම රඟපාන්න පෙරේතයි.

 

කලා ජීවිතේ ආපස්සට හිතුවොත් මොකද හිතෙන්නෙ?

කලාකාරයෙක් වීම පූර්ව ජන්මයෙන් ගෙනාපු වාසනාවක් කියල තමයි මට හිතෙන්නේ. ඇත්තටම කලාකාරයෙක් වෙච්චි එක ගැන මම අප්‍රමාණ සතුටට පත් වෙනවා. ශ්‍රීනාත් මද්දුමගේ කියල කෙනෙක් ඉන්නවා කියල හැමෝම දන්නෙ මං කලාකාරයෙක් වුණු නිසයි. රටක් ආදරේ කරන්නෙ කලාකාරයෙක් වෙච්චි නිසා තමයි. ‘නළු කෙළියෙහි යෙදී ඇවිදින්නෝ පෙර පිං කළාහු වෙති’ කියන ඉන්දියානු ශ්ලෝකයට අනුව මම ලෝකේ වටේම ගියේ කලාකාරයෙක් වෙච්චි නිසයි. මට මගේ ප්‍රිය බිරිඳ ශි‍්‍රයාණිව වුණත් මුණගැහුණේ මම කලාකාරයෙක් වෙචිචි නිසයි. ඒ නිසා මගේ කලා ජීවිතය දිහා ආපහු හැරිල බලන එක මිහිරිම මිහිරි මතකයක්.

 

ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැද්ද ?

ඇත්තටම අදහසක් තිබුණා. අපි ලංකාවෙන් පිටවුණේ නැවත දවසක වියපත් වුණාම මෙහෙ එමු කියන අරමුණ ඇතිවයි. අපේ ඇඹුල්දෙණියේ ගේ, කළුතර පලාතොට ඉඩම, එතකොට ශ්‍රීයානිගේ දංකොටුවෙ කුඹුරු ඉඩම් කිසි දෙයක බිං අඟලක්වත් විකුණුවේ නෑ. එහෙම කළේ නැවත ලංකාවට එන අදහසකින්. මොකද අපිට ඉන්නෙ එකම එක දියණියක් විතරයි. ඇය ඉපදුණේ ඕස්ට්‍රේලියාවේ. එයා ඉගෙන ගන්නෙ එහෙ විධියට. එයා එහෙ සංස්කෘතියට හැඩ ගැහෙමින් ඉන්නවා. එයාට ලංකාව කියන්නෙ දෙමාපියන්ගේ උපන් රට වුණාට එයාගෙ උපන් රට නෙමෙයි. එයාට ලංකාව ගැන අපිට හැඟෙන හැඟිම නැතිව ඇති. මම ඒකෙන් අදහස් කළේ එයා ලංකාවෙ පදිංචියට නොඑන බව දන්න නිසා. දැන් අපේ බලාපොරොත්තු දිහාත් අපිට දෙපාරක් හිතන්න වෙලා. මොකද ලංකාවේ අද තියෙන ආර්ථික අර්බුදයත් එක්ක අපි කොහොමද ඇවිත් මේ තත්ත්වයට මුහුණ දෙන්නෙ කියල හිතෙනවා. කොහොම වුණත් ඒක අනාගතයට අයිති තීරණයක්.

 

ඔබ ලංකාවෙන් යන්නෙ ඔබගේ රංගනයේ උපරිම තලයේදි. ඒ ගැන කනගාටුද ?

වහල කඩාගෙන වැටෙන ඇස්බැස්ටොස් වෙළඳ දැන්වීම නිසා වගේම සෝමවීර සේනානායක මහත්තයා ලියාපු බොහොමයක් ටෙලි නාට්‍යවල ජනපි‍්‍රය චරිත රඟපාලා, ‘දෙපත් නයි’ ටෙලි නාට්‍යයෙන් හොඳම සහය නළුවා සම්මානය අරගෙන, ‘වරෙන්තු’ වේදිකා නාට්‍යයෙන් වසරේ හොඳම සහාය නළුවා හැටියට රාජ්‍ය සම්මාන අරගෙන, උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ චිත්‍රපටයේ රම්බෝ සරත්ගේ චරිතය රඟපාලා දුර ගමනක් යන්න පෙරුම් පුරන කොටම තමයි ලංකාව දාල එන්න සිද්ධ වුණේ. පෘථග්ජන මනුෂ්‍යයෙක් හැටියට මම ඒ ගැන කනගාටුවෙන එක වැරැදි නෑ. ඇත්තටම කිව්වොත් ඒ කනගාටුව තමයි ‘මං ශ්‍රීනාත්’ කියන පොතේ මූලික ප්‍රස්තුතය.