දැන් මම පාරම්පරික ආයුර්වේද වෛද ්‍යවරියක්

ඔක්තෝබර් 27, 2022

ඇයට හිමිව තිබුණේ ඇයටම අනන්‍ය වූ කලා දිවියකි. ඒ තුළ උඩුගම් බලා පියමං කිරීමට හදිසියක් හෝ තරගයක් ඇයට කිසිසේත් ම නො තිබුණි. ඉතා ඉවසීමෙන්, අධ්‍යයනයෙන්, පුහුණුවෙන් ඈ කලක පටන් හෙමින් ගමනක නියුතු වූවාය. මේ හිමි හිමින් ගමන වර්ණවත් කර ගන්නට මෙන්ම එය තරගකාරීව, ක්‍රියාකාරීව ඉක්මන් කරගන්නට ඕනෑ කරන අඩුවැඩිය ද ඇයට නොඅඩුව තිබුණාය. එහෙත් ඒ සියල්ල පසෙකලා ඇය තමන්ට ම ආවේණික වූ ලාලිත්‍යයකින් සිය ගමන ආරම්භ කළාය. මේ ගමනේ අසිරිමත්ම කාල පරිච්ඡේදයට දැන් ඇය ළඟා වී ඇත. ඇය තම පළමු ඒක පුද්ගල ප්‍රසංගය වෙනුවෙන් මේ දිනවල සූදානම් වන අභිෂේකා විමලවීර ය.

පසුගිය කාල පරිච්ඡේදය පුරාම ඇය අතිශයින්ම කාර්යබහුල වූවාය. එයට විශේෂම හේතුව වූයේ සිරස  Voice Teen හි පුහුණුකාරිනියක වී සිටි නිසාය. එසේම මෙම තරගාවලිය නිසා මේ රටේ බහුතර ජනතාවගේ විශේෂ අවධානය ඈ කෙරෙහි යොමු වූයේය. ඒ ඇගේ කණ්ඩායම තුළ පුහුණු වූ ප්‍රනිර්ශා ත්‍යාගරාජා වොයිස් ටීන් කිරුළ දිනා ගැනීම හේතුවෙනි. මේ දිනවල ඇසෙන ඇගේ නවතම ගීතය ද ඇය ගායනා කරනුයේ ප්‍රනිර්ශා ත්‍යාග රාජා සමඟ එක්වීමෙනි. මේ වන විට බොහෝ පිරිසකගේ ආදරය දිනා සිටින එම ගීතය ද ඈ ගැන වන කතාබහට තවත් හේතුවක් වන්නේය. මේ සියල්ල නිමිතිකොටගෙන පසුගියදා අපි මුණ ගැසුණේ ඇගේ කලා දිවියේ සුවිශේෂ මතක සමඟ ඉදිරිය ගැන කතාබහකට ය.

පසුගිය කාලය පුරා ඔබ අතිශයින්ම කාර්යබහුල වී සිටියේ පුහුණු කාරියක ලෙස කටයුතු කිරීම නිසා. කොහොමද ප්‍රනිර්ශා ත්‍යාගරාජාව පුහුණු කළේ?

ඇය මගේ ළගට එනකොට භාෂා ප්‍රශ්නයක් තිබුණා. එයාට සිංහල වචනයක්වත් බැහැ. එයා මුලින්ම කිව්වෙ සිංහල සින්දුවක් නොවෙයි. දෙමළ ගීතයක්. හැබැයි මම කල්පනා කලා මීට කලින් වාර වලත් දෙමළ ළමයි මේ තරගයේ හිටිය. ඇයි ඒ අයට ප්‍රේක්ෂකාගාරය අල්ලගන්න බැරි උනේ කියලා. එතකොට මට තේරුණා එයා අනිවාර්යනේම සින්දු කියන්න ඕන ලංකාවේ සිංහල ප්‍රේක්ෂකාගාරයට කියලා. එතකොට තමයි මිනිස්සු ආදරය කරන්නේ. ඒකට හොඳම උදාහරණයක් මම පසුගිය දිනවල දැක්කා. දර්ශන් ධර්මරාජ් ගේ මරණය වෙලාවේ නිරන්ජනී ෂන්මුගරාජා කියලා තිබුණා දර්ශන් කිව්වා කියල ලංකාවේ අපට ආදරය කරන්නේ සිංහල මිනිස්සු කියලා. ඒකම තමයි මම තේරුම් ගත්ත දේ. මේ අයට ප්‍රතිචාර දක්වන්න ඕන සිංහල මිනිස්සු ලංකාවේ බහුතරයක් ඉන්නේ. ඒ අය සුළු දෙමළ ප්‍රජාව ගෙන් පමණක් ඒ අයට දිනන්න අමාරුයි.

දෙමළ ප්‍රේක්ෂකයෝ කොහොමටත් එයාට ඉන්නවා. හැබැයි අපි අල්ලගන්න ඕන සිංහල ඕඩියන්ස් එක. ඒකට කරන්න ඕන හොඳම තුරුම්පුව තමයි සිංහල මිනිසුන්ගේ හදවතට දැනෙන සින්දුවක් කීම. ඒක තමයි ප්‍රනිර්ශාගෙ සංධිස්ථානය. මම ‘මගේ රටට දළදා හිමි සරණයි’ ගීතය ගත්තා ප්‍රනිර්ශා ට පුහුණු කරන්න. එතැනදී ප්‍රනිර්ශා ජාතිය අමතක කරලා ජාතිකත්වය ගැන කතා කරන ළමයෙක් කරන්න තමයි ඕන වුණේ. එතැනින් පස්සේ එයා දිගටම කිව්වේ සිංහල සින්දු. අවසන් වටයටත් සිංහල සින්දු කිව්වේ. එයාගේ දක්ෂතා පෙන්නුම් කරන්න පුළුවන් ‘රාරා වගේ ගීත’ රාත්‍රිය වී, ගලනා සීත ජලේ, පෙම් රස වෑහෙන වගේ ගීත තෝරා ගත්තා. ඒ අතරේ එයා අවසන් වටය දෙමළ ප්‍රේක්ෂකාගාරය ටත් සින්දු කිව්වා. මට හිතෙනවා ඒවත් එක්ක මේ ප්ලෑන් එක වැඩ කළා කියලා.

පුහුණුකාරිණියක් හැටියට ඔබ ලැබූ අත්දැකීම් මොනවද ?

Voice  එකේ තිබෙන විශේෂත්වය තමයි මෙතන ඉන්නේ ගුරුවරු නොවෙයි. පුහුණුකරුවන්(Coacher)  ඒක වෙනස් අත්දැකීමක්. අපිට එයාව විනිශ්චය කරන්න බෑ. කෝචර් කෙනෙක් කියලා කියන්නේ විනිශ්චයකරුවෙක් නොවෙයි. අනෙක් හැම තරගයක ම අපි දකින්නේ Judge ලා. කෝච කෙනෙක් කියලා කියන්නේ පුහුණුකරුවෙක්. ක්‍රිකට් තරගයේදී අපිට මේ සැරේ කිරුළ ගේන්න පුළුවන් වුණේ පුහුණුකරුවාගේ පුහුණුව නිසා. මොකද මේ ටීම් එක ම අපි දැක්කා කලින් පැරදෙනවා.

පුහුණුකරු වෙනස් වෙච්ච ගමන්ම ටැලන්ට් එක වෙනස් වුණා. පුහුණුකරුවෙකුට ළමයාගේ තිබෙන දුර්වලකම් හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම දක්ෂතා හඳුනා ගන්න ඕන. දුර්වලතා යටපත් කරලා දක්ෂතා ඉස්මතු කරන්නේ කොහොමද කියන එක පුහුණුකරුවකු හඳුනාගන්න ඕන. මෙතැනදි කටහඬ විතරක් නොවෙයි දරුවාගේ ආකල්පමය වෙනසක් හදන්න ඕන වුණා. මොකද Voice කියලා කියන්නේ කටහඬ සම්බන්ධ කර තරගයක් තමයි. ඒ උණාට මිනිස්සු ඡන්දය පාවිච්චි කරන්නේ සම්පූර්ණ චරිතයට. ප්‍රනිර්ශා කියන්නේ ළමයෙක්. එයාව විච්චූර්ණ කරලා විනාශ කරල තිබුණෙ නෑ කියලා බොහොමයක් අය කතා වුණා. එයා අවුරුදු 13 ක ළමයෙක්. ඒ ළමාකම තමයි අපි පවත්වා ගන්න ඕන වුණේ. අන්න ඒ ළමයට තමයි මිනිස්සු ඡන්දය දුන්නේ.

පසුගිය කාලේ ගෙවුණු කාර්යබහුලත්වයත් එක්ක ඔබේම නිර්මාණ කිරීම අතපසු වුණා ද?

මගේ නිර්මාණවලින් මම අන්තිමට කළේ ‘මතක’ ගීතය ඊළඟට මම මගේම නිර්මාණයක් නොවුණත් මගේ ස්වාමියාට ‘වැහි කවිය’ කියන ගීතය කළා. ඒක අපේ ඇනිවසරි එකට කළේ. ‘සබඳීනි’ කියන ගීතය මම කරලා තිබුණේ. මේ දවස්වල ඒ සින්දුවට හරියට ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා කිරුළ දිනුවාට පස්සේ ඒ ගීතය ටිකක් වෙනස් කළා.

ඉදිරියේදී ඔබ පවත්වන්නට යන සංගීත ප්‍රසංගය ගැන කතා කළොත් ?

මෙච්චර කල් මම ලංකාවෙවත් පිටරට වත් එකම එක ප්‍රසංගයක වත් සහභාගි වෙලා තිබුණේ නෑ. මොකද මට ඕන වුණේ මගේ පළවෙනි ප්‍රසංගය ඒක පුද්ගල ප්‍රසංගයක් විදිහට කරන්න. මම හිතනවා මේක තමයි ඒකට හරිම වෙලාව කියලා. එළඹෙන නොවැම්බර් දොළොස් වැනි දා මගේ ටීම් එකේ ළමයි විතරක් නෙවෙයි, අනිත් ටීම්වල ඉන්න ළමයිනුත් සහභාගී කරගෙන, නෙළුම් පොකුණ රඟහලේ ඒ ප්‍රසංගය පවත්වන්න සූදානමින් ඉන්නවා. ප්‍රනිර්ශා වත් එකතු කරගෙන, මගේ ලොකු තාත්තා සරත් විමලවීර, මගේ තාත්තා සුනිල් විමලවීර වත් මතක් කරගෙන, ඒ දෙන්නගෙ නිර්මාණ අගය කරන ගමන් මගේ නිර්මාණත් එක්ක ‘අභී’ නමින් මේ ප්‍රසංගය පවත්වනවා නෙළුම් පොකුණ රඟහලේ සවස හතේ සිට තමයි ආරම්භ වෙන්නේ. සංගීතය සපයන්නේ බී ෆයිව් බෑන්ඩ් එක. බුද්ධික දයාරත්න ඇතුළු එකොළොස් දෙනෙක් ප්ලේ කරනවා. මේක සම්පූර්ණයෙන්ම ටිකට් ෂෝ එකක්. මේ වන විටත් මේ ෂෝ එකේ ටිකට් සියල්ල විකිණී හමාරයි. කිසිම තැනක ටිකට් විකුණන්න තිබ්බේ නැහැ. ඔක්කොම ඔන්ලයින්. ලංකාවේ පළවෙනි වතාවට කෙනෙකුගේ පළවෙනිම ඒක පුද්ගල ප්‍රසංගයේ සියලුම ටිකට් පැය 48ක් ඇතුළත මේ විදිහට විකිණී අවසන් වීමත් එක් තරා අන්දමක වාර්තාවක් වෙන්න ඕන කියලා මම හිතනවා .

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම චර්ම රෝග විශේෂ ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ නිසා මගේ අලුත් චර්ම රෝග සායනය පිටකෝට්ටේ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කොල්ලුපිටියේ සහ නුගේගොඩ මගේ පෙර තිබුණු ‘අභී’ ව්‍යාපාර කරගෙන යනවා.

ඔබේ අධ්‍යාපන සහ පවුල් පසුබිමත් සමඟ කලාව කියන දේ ඔබට අමුතු දෙයක් නොවුවත් ආයුර්වේද වෛද්‍ය පැත්තට ඔබ යොමු වුණේ කොහොමද ?

මම මගේ පළවෙනි උපාධිය කොළඹ කැම්පස් එකේ කරන්නෙ ජාත්‍යන්තර සම්බන්ධතා හා ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන්. මගේ දෙවැනි උපාධිය masters කරන්නේ සංගීතය පිළිබඳව. මගේ තාත්තගේ පරම්පරාවේ පාරම්පරික වෛද්‍ය පසුබිමක් තිබුණා. හැබැයි තාත්තා, තාත්තගේ අයියා කලාවට යොමු වුණ නිසා වෛද්‍ය වෘත්තිය මඟ හැරුණ. ඒ නිසා තාත්තට ඕනෑකමක් තිබුණා මම ඒක කරගෙන යනවා දකින්න ඊට පස්සේ තාත්තා තාත්තගේ ඥාතියෙක් ගාවට මාව යැව්වා. අවුරුදු අටක් මම ඒ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගත්තා. නැදගමුව පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය කියලා තමයි ඒක හඳුන්වන්නේ. ඊට පස්සේ වෛද්‍ය සභාව යටතේ පාරම්පරික වෛද්‍යවරියක් වශයෙන් දැන් කටයුතු කරනවා.

ඔබ ඔබේ පරම්පරාව උරුම ශාස්ත්‍ර දෙකක් ඉදිරියට ගෙනියනවා. කලාව සහ වෛද්‍ය ශාස්ත්‍රයේ මේ සියල්ල දකින්න ඔබේ පියා දැන් ජීවතුන් අතර නෑ. ඔබට මොනවද හිතෙන්නේ?

මම හිතෙනවා ඔබම තාත්තගේ ඉන්ටවිව් ගණනාවක් කරලා ඇති කියලා. ඒ හැම එකකම එයා වැඩියෙන් කතා කරලා ඇත්තේ එයා ගැන නොවෙයි. මං ගැන මටත් ඒකම තමයි කියන්න තියෙන්නේ. තාම මම තාත්තා ‘හිටියේ’ කියලා කියන්න කැමති නෑ. ‘ඉන්නේ’ කියලා තමයි කියන්නේ. මං දන්නවා මම කොන්සර්ට් එක කරන කොටත් එයා බලන්න එනවා කියලා. මම කරන හැමදේම එයාට පේනවා. ඒක මම හිත හදාගන්න කරන එකක් නොවෙයි. එයා ඉන්නවා. එයා නැත්නම් මට මෙච්චර හයියක් නෑ. තනියෙන් ඔක්කොම කරගන්න. සමහර වෙලාවට ජීවතුන් අතර ඉන්න කාලෙ එයාට කරන්න බැරි වෙච්ච දේවල් මැරිල එයා කරනවා ඇති. දෙයියො බුදුන් කියලා කියන්නේ ඇත්තටම තාත්තා ට. එයා මම ළඟ ඉන්න නිසා තමයි කරන කරන වැඩේ මගේ හරියන්නේ. එයා හැම වෙලේම කිව්ව දෙයක් තමයි ඔයා සුනිල් විමලවීරගේ දුව කියලා මට අහන්න ඕන නැහැ. අභිෂේක ගෙ තාත්තා තමයි සුනිල් විමලවීර කියලා නම හදන්න කියලා. මම හිතෙනවා මම ඒක කරගෙන යනවා කියලා.

ඔබත් ආදරණීය දියණියකගේ මවක්. ඔබ කැමතිද ඇයත් කලාවට එනවට.?

ඇයටත් හොඳට සින්දු කියන්න පුළුවන්. හැබැයි එයා කියන්න කැමති නෑ. එකත් එක්ක එයාට කැමති දෙයක් කරන්න නිදහස දීලා තියෙනවා. මමත් පොඩි කාලේ හරි අකමැති සින්දු කියන්න. ඊට පස්සේ තමයි කැමැත්ත ඇති වුණේ. එයාටත් එහෙම වෙයිද දන්නෙ නැහැ. එයා කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගෙන ගන්නවා. ලබන වසරේ 4 වසරට සමත් වෙනවා. ඉතින් එහෙම තමයි ජීවිතේ ගෙවෙන්නේ.

හේමාලි විජේරත්න
[email protected]

ඡායාරූප - මලිත් සෙනවිරත්න