අද සමහර රංග ශිල්පීන් රඟපාන්නේ දර්ශන තලයට එන අතරත් පිටව යන අතරත් පමණයි

සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත
ඔක්තෝබර් 20, 2022

 

මේ කතාව අපි ඔබේ පාසලෙන්ම පටන් ගමු. පාසල් යන කාලයේ නාට්‍ය හා රංග කලාව හදාරා තියෙනවාද?

මම පාසල් ගියේ මාතර කොටපොල ජාතික පාසලට මම මුලින්ම පාසල් වේදිකාවේ රඟපෑවා නාට්‍ය කිහිපයක්. ඒ වාගේ මා චිත්‍ර කලාවට ඉතාම ආසයි. ඇත්තටම මට සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ආශාව ඇති වුණේ ගාමිණි මාලිනිගේ චිත්‍රපට බලලා. මේ අතරතුර නැසීගිය ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතා හඳුනාගන්නට ලැබුණා. මාගේ අම්මාගේ මාර්ගයෙන් එතුමාගේ මඟ පෙන්වීම තමයි අද මට මේ තැන හදාගන්නට අවස්ථාව උදා වුණේ. එතුමාගේ මඟ පෙන්වීම යටතේ මට රංගනයෙන් දායකවෙන්න ටෙලි නාට්‍ය කිහිපයක රඟපාන්න අවස්ථාවන් උදා වුණා. ‘එක මවකගේ දරුවෝ’ ‘යශෝරාවය’ මා රඟ පෑ ටෙලි නාට්‍ය කීපයක්.

ඉස්සෙල්ලාම හෝල් එකකට ගිහින් චිත්‍රපටයක් බලපු දවස මතකද?

ඔව්, මතකයි. 1975 ලෙනින් මොරායස් මහතා අධ්‍යක්ෂණය කළ ගාමිණි, මාලිනි රංගනයෙන් දායක වුණ ‘ආවා සොයා ආදරේ’ චිත්‍රපටය බැලුවා. මාගේ සීයා සමඟ ගිහින් දෙනියාය තුසිත සිනමා ශාලාවෙන්. එදා තමයි මම තීරණය කළේ සිනමා ක්ෂේත්‍රයට කවදා හෝ අවතීර්ණ වෙනවා කියා.

පාසලෙන් කට්ටි පැනලා ගිහින් චිත්‍රපට බලලා නැද්ද?

අනේ ඔව්. ඊට පසු ගාමිණි මාලිනි රංගධරයන්ට තියෙන ආදරේ නිසා මිතුරන් සමඟ සෑම සතියට දිනක් චිත්‍රපට බැලීම පුරුද්දක් කරගත්තා පමණක් සතියට චිත්‍රපට දෙක තුනක් බලන අවස්ථා ද තියෙනවා.

මොනවාද එහෙම ගිහින් බලපු චිත්‍රපට?

කවුද රාජා, චිං චිිං නෝනා, චණ්ඩි පුතා, නිල්ල සොයා, යකඩයා යන චිත්‍රපට නැරඹුවා

දෙතුන් වතාවක් බලපු චිත්‍රපට තියෙනවාද?

ඔව්. ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ ‘ආවා සොයා ආදරේ’ 15 වතාවක්. යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ ‘තුෂාරා’ 13 වතාවක් බලලා තියෙනවා.

එහෙම චිත්‍රපට බලද්දී අමතක නොවන සිදුවීම් වෙලා තියෙනවාද?

කොහොම හරි ශත 55ක් හොයාගෙන මම චිත්‍රපට බලන්නේ රාත්‍රී 9.30 දර්ශනය. ඉතින් බස් නැතිව බොහෝ දුරට හැතැම්ම 6ක් විතර පයින් තමයි එන්නේ ගෙදර. අම්මාගෙන් ගුටි තමයි ලැබෙන්නේ. ඊට පසු දින පාසලට ගොස් චිත්‍රපටයේ දර්ශන ගැහැනු ළමයි ඉදිරියේ රඟ දක්වලා විදුහල්පතිතුමාගෙන් වේවැල් පාර කෑම මට පුරුද්දක් වෙලා තිබුණා.

කැමැති චිත්‍රපට නළුවන් කවුද?

මම ගොඩාක් කැමති රංග ශිල්පියා තමයි ගාමිණි ෆොන්සේකා මහතා. ඔහුගේ චිත්‍රපටයක් මොන සිනමා ශාලාවේ තිබුණත් මම බලන්න යනවා.

විවාහ කරගන්න සිතුණු නිළිය කවුද?

එහෙම විවාහ කරගන්න සිතුණු නිළියක් නෑ. නමුත් මා දැකපු සිංහල සිනමාවේ ලස්සනම නිළිය තමයි මාලිනි ෆොන්සේකා. ඒ වගේම ඇයගේ රංගනයත් ඉතාම ශ්‍රේෂ්ඨයි.

කැමැති සිංහල චිත්‍රපට මොනවද?

70 දශකයේ බලපු චිත්‍රපට තුෂාරා, සූර්යා, ආවා සොයා ආදරේ, කවුද රාජා, සංගීතා, යන චිත්‍රපට වලට මා ගොඩාක් කැමැතියි. ඒ චිත්‍රපට මා ආසාවෙන් නැරඹුවා.

කැමැති සිංහල චිත්‍රපට ගීතය මොකක්ද?

එච්.ආර්. ජෝතිපාල මහතා ගායනා කරන ‘මිිහිදුම් සිහින’ චිත්‍රපටයේ ‘සරා සඳේ’ ගීතයට.

කටහඬට ලෝභ හිතුණු ගායකයන් හා ගායිකාවන් කවුද?

එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල, සුජාතා අත්තනායකට මම ගොඩාක් කැමැතියි.

ඔබේ සිනමා දිවියේ වසර 37ක් තුළ මේ මොහොත දක්වා එදා රංගන ශිල්පීන් හා නවක රංගන ශිල්පීන් ගැන ඔබ කොහොමද අර්ථ දක්වන්නේ?

ඇත්තම එදා රංගන ශිල්පීන්ට අපි අදත් ආදරෙයි. ඔවුන් ළඟ තිබුණු දැනුම විශ්වකෝෂයක් බඳුය. ඒ වගේම ආදරය සහෝදරත්වය අපි කෙරෙහි තිබුණා. පොතපතේ දැනුම තිබුණා. ඔවුන්ගෙන් අපි දැනුම ලබා ගත්තා. ඔවුන් අපිට ගරු කළා මෙන්ම අපිත් ඔවුන්ට ගෞරව කළා. අපි උදාහරණයක් වශයෙන් ජෝ අබේවික්‍රම කලාකරුවා ගතහොත් අපි රූපගත කිරීමට විනාඩි පහක් තියාගෙන සරල පුද්ගලයෙක් විදිහට සරමක් ඇඳගෙන වාහනයට නැඟ දර්ශනයට එක්කගෙන එනවා. ඔහු දර්ශනයට අවතීර්ණ වූ පසු දර්ශනයට අවශ්‍ය ඇඳුම් ඇඳගෙන ඉතා විශිෂ්ට අන්දමින් රංගනයේ යෙදිලා ආපසු සරල මිනිහෙක් විදිහට පිටව යනවා. අද නවක සමහර රංගන ශිල්පීන් ඔවුන්ගේ නිවසට රූපගත කිරීම සඳහා ඔවුන් රැගෙන ඒමට වාහනයෙන් ගොස් පැයක් පමණ ඔවුන් පමා වෙනවා ඒ එන්නෙත් ටෙලිෆෝන් කනේ ගහගෙන, ලස්සන ඇඳුමක් ඇඳගෙන සන්ග්ලාස් දමාගෙන වාහනයට නඟින්නේ. දර්ශන තලයට ඇවිත් පිටපතක් උඩින් පල්ලෙන් බලාගෙන දර්ශනයට අවශ්‍ය ඇඳුම් ඇඳගෙන නැවතත් පුදුම නෑමක් නාගෙන එතැන ඉන්න අයට බායි කියාගෙන දුරකථනය කනේ තියාගෙන පිට වී යනවා. ඔවුන් ඇත්තටම රඟපාන්නේ නිවසේ සිට දර්ශන තලයට එන විටත් හා ආපසු නිවසට යන විටත් වාහනයේ ගමන් කරන අවස්ථාව්දීත් පමණයි.

පාසල් යන අවධියේ රිදී තිරයේ ආදරය කළ රංග ශිල්පීන් ශිල්පිනියන් සමඟ ඔබ වැඩ කරලා තියෙනවා ද?

ඔව් මගේ සිංහල සිනමාවේ වීරයන් බවට පත් වූ 70 දශකයේ මා ආදරය කළ ගාමිණි/ මාලිනි / විජය/ කලංසුරිය/රවීන්ද්‍ර/ ගීතා/ සිරිල් වික්‍රමගේ / ජෝ අබේවික්‍රම/ ටෝනි/ සොමි රත්නායක /අනෝජා වීරසිංහ/ ශ්‍රියානි අමරසේකර/ වීණා ජයකොඩි/ අනුලා කරුණාතිලක/ සුවිනීතා වීරසිංහ වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනීයන් සමඟ වැඩ කරන්න මට අවස්ථාව උදා වෙලා තියෙනවා. මා ආදරය කළ රංග ශිල්පීන් පසු කලක මාගේ මිතුරන් බවට පත් වූවා. ඒක මා ලද ලොකු භාග්‍යයක්. මා හිතන්නේ ඒ වගේම 80 දශකයේ සිට වර්තමාන සිනමාව දක්වා රංගන ශිල්පීන් සමඟත් මට වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ජැක්සන් ඇන්තනී, සබීතා පෙරේරා, කමල් අද්දරආරච්චි, ජීවන් කුමාරතුංග, මහේන්ද්‍ර පෙරේරා, සංගීතා වීරරත්න, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, හේමාල් රණසිංහ, පුබුදු චතුරංග, උද්දික පේ‍්‍රමරත්න, උදාරි වර්ණකුලසුරිය, චුලක්ෂි රණතුංග, ටීනා ශනෙල් සමඟ වැඩකරන්න ලැබීම හරිම සතුටක්.

පැරණි චිත්‍රපට නව නිපැයුමක් ලෙස අලුතින් එහි කතා තේමාව ම රූපගත කර තිරගත කරවීම ගැන ඔබ දක්වන අදහස් මොනවාද?

මං හිතන්නේ චිත්‍රපට ගොඩාක් අසාර්ථක වී තිබෙනවා. නමුත් මා දන්න විදිහට චිත්‍රපට දෙකක් විතරයි සාර්ථක වී තියෙන්නේ. අපි උදාහරණයට ගත්තොත් 1958 ටි.ආර්. සුන්දරම් අධ්‍යක්ෂණය කළ ‘වන මෝහිනි’ චිත්‍රපටය නැවතත් 1996 හේමසිරි සෙල්ලප්පෙරුම විසින් නව නිපයුමක් ලෙස තිරගත වුණා. 1973 යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ ‘තුෂාරා’ චිත්‍රපටය 2009 සහන් විජේසිංහ අධ්‍යක්ෂණය කළා. 1971 නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ ‘හතරදෙනාම සුරයෝ’ චිත්‍රපටය එම අධ්‍යක්ෂකවරයා විසින්ම 2008 තිරගත කළා. 1981 ජෝ මයිකල් ‘අජාසත්ත’ 2015 සනත් අබේසේකර නව නිපැයුමක් ලෙස තිරගත කළා. 1976 මැණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ ‘කොළඹ සන්නිය’ හර්ෂ උඩකන්ද නව නිර්මාණයක් ලෙස තිරගත කලා. 1964 ‘පටාචාරා’ චිත්‍රපටයත් විමලනාත් දිසානායක අධ්‍යක්ෂණය කළා. සුගත් සමරකෝන් 2015 නව නිර්මාණයක් ලෙස තිරගත කලා මෙම චිත්‍රපට කිහිපයම ආදායම අතින් අසාර්ථක වුණා. නමුත් සාර්ථක චිත්‍රපට අතුරින් 1947 ජෝ‍යාතිශ් සිංහා අධ්‍යක්ෂණය කළ ‘කඩවුණු පොරොන්දුව 1982 රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළා. එය ආදායම අතින් ඉතාම සාර්ථක වුණා. 1953 ටී.ආර්. සුන්දරම් අධ්‍යක්ෂණය කල සුජාතා චිත්‍රපටය 1994 දයා විමලවිර අධ්‍යක්ෂණය කළා. එයත් ඉතාම සාර්ථක වුණා.

ඔබ හිතනවාද දැනට ඔය රූපවාහිනී නාලිකා තුළින් පෙන්වන ජනපි‍්‍රය ටෙලිනාට්‍ය චිත්‍රපටයක් නැඟුනොත් එය සාර්ථක වේයැයි කියා?

නැහැ. මම උදාහරණ වශයෙන් කියන්නම්. එක රූපවාහිනී නාලිකාවක විකාශය වූ ටෙලි නාට්‍යයක් ජනපි‍්‍රය රංගන ශිල්පීන් යොදාගෙන චිත්‍රපටයක් කළා. එම චිත්‍රපටය රූපගත කිරීමට පෙර එම අධ්‍යක්ෂකවරයාට මම කිව්වා මෙම කථා තේමාව නැතිව අලුත් කතාවක් ලියා චිත්‍රපටයක් හදන්න කිය. එම චිත්‍රපටය තිරගත වූ පසු අසාර්ථකම චිත්‍රපටයක් වුවා.

ඔබ කැමැති සිංහල සිනමාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කවුද?

ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර, නීල් රූපසිංහ, ජේ.සෙල්වරත්නම්, ජෝ දෙව් ආනන්ද් මෑත කාලයේ ගත්තොත් උදයකාන්ත වර්ණසූරිය, පි‍්‍රයන්ත කොළඹගේ, ජයන්ත, චන්ද්‍රසිරි, සෝමරත්න දිසානායක යන අයට මම ගොඩාක් කැමැතියි.

ඔබ සහාය අධ්‍යක්ෂණය කළ අලුත් නිර්මාණ මොනවාද?

‘ගින්දරී 3’, ‘මන්දාරා’, ‘ආදර හීනය’, ‘ආදරේට ආදරෙයි’, ‘මායා ජාල’ , ‘සිහින අභිෂේක’, ‘රිදී සිනු’ යන චිත්‍රපට තිරගත වීමට තියෙනවා.

සහාය අධ්‍යක්ෂවරයා ඔබ අර්ථ දක්වන්නේ කොහොමද?

සලරුවක තිර රචනයෙන් පසු අධ්‍යක්ෂක වරයාගේ නිර්මාණයට සෑම අතින්ම සහාය වන පුද්ගලයා සහාය අධ්‍යක්ෂවරයා යි. අධ්‍යක්ෂකවරයා කරන්නේ නිර්මාණය පිළිබඳව අවසාන නිගමනයට එළැබීමයි. නළු නිළියන්ගේ දින ලබාගැනීම, කාල සටහන් සැකසීම සංස්කරණයේ මුලික කටයුතු ද දෙබස් කැවීම් ආදියේ සියලුම කටයුතු වලදී අධ්‍යක්ෂවරයාට වඩා වැඩි කොටසක් ඉටු කරන්නේ සහාය අධ්‍යක්ෂවරයාය. ඒ ‘දර්ශන තල වලට අය නළුනිළියන් නිසි වෙලාවට දර්ශන තල වලට යොමු කරවීම රූපරාමු වල අඛන්ඩතාවය පවත්වාගෙන යාම දෙබස් කැවීම් ද සංස්කරණවල දී සහාය ලබාදීම, නිර්මාණකරණයේ කාර්මික අංශය පිළිබඳව සැලකිලිවීම සහාය අධ්‍යක්ෂකවරයාගේ වගකීමකි.

ඇතැම් චිත්‍රපටවල පළමු වැනි, දෙවැනි වශයෙන් සහාය අධ්‍යක්ෂකවරුන් රැසක් සිටිනවා.?

පළමු වැනි සහාය අධ්‍යක්ෂකවරයා නිරන්තරයෙන් අධ්‍යක්ෂවරයා සමඟ නිර්මාණයට දායක වෙනවා. සෘජුව ම දෙවැනි තෙවැනි සහාය අධ්‍යක්ෂකවරුන්ට නළුනිළියන් ගෙන්වා ගැනීම දර්ශන තුළ කටයුතු දෙබස් තුළ අඛණ්ඩතාවය රැකිම වැනි සෙසු කටයුතු පැවැරෙනවා. ඇතැම් දැවැනත් සිනමා නිර්මාණ වලට සහාය අධ්‍යක්ෂවරුන් හත් අට දෙනෙක් යොදා ගන්නා අවස්ථා හොලිවුඩ් සිනමාවේ තියෙනවා.

මෙහිදි අධ්‍යක්ෂවරයෙකු කාර්මික කරණය ගැන අවබෝධයක් නැති වීම වැදගත් කරුණක් නොවන්නේ යැයි ඔබ සලකනවාද?

ඔව්. හේතුව සිනමාව යනුු සාමුහික මාධ්‍යයක් එහිදි අධ්‍යක්ෂවරයා තීරණ ගන්නේ එනම් උදාහරණයට ඔහු පුටුවක හැඩය කිව හැකියි. එහෙත් ඔහු වඩු බාස්වරයෙකු නොවෙයි. ඒ අනුව අධ්‍යක්ෂවරයාට තීරණය කළ හැකිව තිබෙනවා. ඒ සඳහා තිබිය යුත්තේ කලාව පිළිබඳ ව අවබෝධයක්. ඒ සඳහා සිංහල සිනමාවෙන්ම උදාහරණයක් ලෙසින් ‘තුංමංහන්දිය’ චිත්‍රපටය සඳහන් කළ හැකිය.

ඔබ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක සහාය අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළේ උදයකාන්ත වර්ණසූරියගේ නේද?

ඔව් උදයකාන්ත යනු අපේ සිංහල සිනමාවේ සෑම අංශයෙන්ම මනා දැනුමක් ඇති දක්ෂ සිනමාකරුවෙක්. ඔහුට සිනමාවේ කාර්මිකකරණය පිළිබඳ පුළුල් දැක්මක් තිබෙනවා. දර්ශන තලයේදී ඉතා නිහතමානිව තම කාර්යය ඉටු කරන කෙනෙකි. මම සහාය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් උදයකාන්තගේ චිත්‍රපට විසි හතරක් හා ටෙලි නාට්‍ය 5ක් වැඩ කරලා තියෙනවා. එයත් එකක් වැඩ කිරීම හරිම ලේසියි. ඒ වගේම යම් ගැටලුවක් තිබුණොත් ඒ පිළිබඳ කතා කරලා නිරාකරණය කරගන්න පුළුවන්. මට ඒ වගේ හොඳ අධ්‍යක්ෂකවරුන් යටතේ වැඩ කිරිමේ දොලදුකක් තිබෙනවා.

සිංහල සිනමාවේ අනාගතය ගැන යම් අදහසක් තිබෙනවා ද?

සිනමාවේ අනාගතය ගැන දුකයි. තරුණ සිනමා කරුවෝ බහුතරයක් හදන්නේ නිදිමත හැදෙන සිනමා නිර්මාණ. එහෙම චිත්‍රපට හදලා වැඩක් නැහැ. අපි චිත්‍රපට හදන්න ඕනේ පේ‍්‍රක්ෂකයාගේ රසවින්දනය සඳහා. විකල්ප ධාරා චිත්‍රපට හදන්නේ ගොඩාක් නවක අධ්‍යක්ෂකවරු සම්මාන ලබාගැනීම සඳහායි. මේ ප්‍රශ්න ගැටලු අස්සේ උදයකාන්ත වර්ණසුරිය, සෝමරත්න දිසානායක, ජයන්ත චන්ද්‍රසිරි, පි‍්‍රයන්ත කොළඹගේ වගේ අය තරඟකාරී සිනමා නිර්මාණ හදන නිර්මාණකරුවෝ බිහිවුණා. නමුත් මේ මොහොතේ ප්‍රධාන වශයෙන් අද චිත්‍රපට බැලීමට වඩා එදිනෙදා ජීවත්වීමේ අරගලයට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. ආර්ථික ප්‍රශ්න නිසා ඔවුන් අද ඉන්නේ චිත්‍රපට බැලීමට තරම් මානසික තත්ත්වයකින් නොවෙයි අනෙක මුදල් නැහැ. පේ‍්‍රක්ෂකයන් ගැටලු රාශියක් මැද්දේ ඉන්නේ. විනෝදවෙනවාට වඩා එක වේලක් හරි කාලා ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්නේ. නමුත් මීට වසර හතකට පෙර සිරි පැරකුම්,ධර්මයුද්ධය, මායා, ප්‍රවේගය යන චිත්‍රපට පේ‍්‍රක්ෂකයින් 10% - 12% අතර නැරඹුවා. නමුත් අද පේ‍්‍රක්ෂකයන් 1%ක් පමණයි. ඇයි අපිට බැරි විදේශ රටවල සිටින අපේ තානාපතිවරුන්ට සිංහල චිත්‍රපට ඒ රටවල ප්‍රදර්ශනය කිරීමට වෙනත් භාෂාවලින් උපසිරස සමඟ හා වෙනත් දෙබස් පටිගත කර වෙළෙඳපොළට යන්න බැරි. අපේ රටට ඒවායින් ඩොලර් එන්නේ නැද්ද? සෑම නගරයකම සිනමා කර්මාන්තය පිළිබඳ තරුණ තරුණයින්ට සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට රැකුලක් වශයෙන් සිනමා වැඩමුළු තිබිය යුතුය. එය රාජ්‍ය අනුග්‍රහයෙන් කළයුතු දෙයක් අතර ප්‍රවීණ කලා ශිල්පීන් සම්බන්ධ කරගෙන රංගනය, අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, සහාය අධ්‍යක්ෂණය, අංග රචනය, අලෝකකරණය යන සෑම අංශයක් දැනුම්වත් වීම සඳහා මෙය සිදුකළ යුතුය.

නැවත ලාංකික සිනමාව පේ‍්‍රක්ෂකයාගෙන් පිරි ඉතිරි යන්නේ නම් ඔබ දෙන අදහස් මොනවාද?

රූපවාහිනී නාලිකා තුළින් සිංහල හින්දි, දමිළ, තෙළිඟු, ඉංගී‍්‍රිසි මාසෙකට චිත්‍රපට 300ක් පමණ පෙන්වනවා. මොකද ඒක අත්දැකීමෙන්ම දන්නේ බොහෝ දුරට රූපගත කිරිම් වලට දුර පළාත් වලට යන විට නිවෙස්වලට ගොස් ඔවුන්ගෙන් අසනවා සිනමා ශාලා වලට ගොස් චිත්‍රපට බලනවාද කියා. ඔවුන් අපට පවසන්නේ රූපවාහිනී වලින් පැය 24 පුරාම චිත්‍රපට පෙන්වන විට අපි මොකටද මුදල් දීලා චිත්‍රපට බලන්නේ. පවුල් 100 කින් ඇහුවොත් පවුල් 99ක් කියන්නේ ඔය දේම තමයි. මම යෝජනා කරන්නේ රූපවාහිනී නාලිකා වලින් පෙන්වන චිත්‍රපට රාත්‍රි 10න් පසු විකාශනය කිරීම සුදුසුයි කියා. අනින් එක ප්‍රශ්නයක් තමයි 60 - 70 දශකයේ සිනමා ශාලා 406 පමණ තිබුණා. නමුත් දැන් තියෙන්නේ සිංහල චිත්‍රපට පෙන්වීම සඳහා සිනමා ශාලා 40ක් පමණයි. උදාහරණයක් වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිනමා ශාලා ගණනාවක් වැසී ඇත. ඒ අතරින් හම්බන්තොට ‘සුරිය මල්’, ‘ඉමාෂා’, අම්බලන්තොට’, ‘සාලිය’, ‘හස්ති’, අගුණකොළපැලැස්ස’, බෙල්කෝ’, ‘බෙලි අත්ත’, ‘රෙජිනා’, වලස්මුල්ල, ‘ජයසේකර’, සුරිය වැව, ‘අශෝක’, ‘දෙබරවැව‘, ‘රෝහණ’, තිස්සමහාරාමය දැනට වැසී ඇත. මම යෝජනා කරන්නේ රාජ්‍ය මැදිහත් වීමෙන් පළාත් සභා නගරසභා, ප්‍රාදේශීය සභා තුළින් අංග සම්පුර්ණ මිනි සිනමාශාලා 200ක් පමණ ඉදිකළ යුතුය. රජයේ ඉඩම්වල නව සිනමා ශාලා ඉදිකිරීම සඳහා ව්‍යාපාරිකයන්ට බදු ක්‍රමය තුළින් ඉඩම් ලබාදිය යුතුය. අනිත් කාරණාව තමයි ලාංකිය සිනමාව කර්මාන්තයක් ලෙස ස්ථාපනය කළ යුතුය.

අපේ ජීවිත වලට හැමදෙයක්ම ගොඩනැඟෙන්නේ බලාපොරොත්තු මත එකිනෙකාට විවිධ වූ බලාපොරොත්තු සහ ආශාවන් තිබෙන්න පුළුවන් මේ කාරණයේදී ඔබට යමක් කියන්න තියෙනවාද?

මගේ එකම බලාපොරොත්තුව චිත්‍රපට සීයක සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස ලෝක වාර්තාවක් තියන්න. ඒ වගේම ‘ප්‍රේක්ෂකයන් විසිල් ගහන යුගයක් හදන්න. මා ලඟ හොඳ තිර පිටපතක් තියෙනවා. චිත්‍රපට නිෂ්පාදකවරයෙක් හමුවුණොත් ඒ චිත්‍රපටය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. චිත්‍රපට නිෂ්පාදක ආර් සදේශ් කුමාර්, ශ්‍රිමති සදේශ් කුමාර් යන දෙපලට මා මේ අවස්ථාවේ විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. මා සිනමාවට හඳුන්වා දුන් ධර්මසිරි ගමගේ මහතා ඒ වගේම පි‍්‍රයන්ත කොළඹගේ, හා උදයකාන්ත වර්ණසුරිය සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස මා සම්බන්ධ කරගත් අතර අනිකුත් සියලුම අධ්‍යක්ෂකවරුන් ගෞරවපුර්වකව සිහිපත් කරනවා.