දක්ෂතාවය තියෙන ඕනෑම කෙනෙකුට ක්ෂේත්‍රය තුළ රඳා පවතින්න පුළුවන්

‘ඈ’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය උමේෂා වික්‍රමසිංහ
ඔක්තෝබර් 20, 2022

 

හොඳ නිර්මාණයක් නම් මුදල ගැන හිතන්නේ නැහැ

මට රංගනයේදී එකම රාමුවකට කොටු වෙන්න බැහැ

 

රත්නපුර කලවාන ගම් පියසේ ඕ හැදී වැඩුණාය. කලවාන බදුරලිය හා ගාමිණී මධ්‍ය මහා විද්‍යාලවලින් ඉගෙනුම ලැබුවාය. ඈ රංගන ශිල්පිනියක් ලෙස දොරට වැඩියේ පාසල් වේදිකාවෙනි. පාසල් ජීවිතයෙන් සමුගත් පසු මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාඨශාලාවට ඇතුළු වූවාය. පසුගිය කාලයේ “හාර කෝටිය” ටෙලිනාට්‍යයෙ කාගෙත් කතාබහට ලක් වූ මනෝජාගේ චරිතයට ඇය පණ පෙව්වාය. “ඈ” සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සිනමාවට අවතීර්යණ වූ ඇය උමේෂා වික්‍රමසිංහයි.

 

මෝදර වැල්ලෙන් ආරම්භ කළ ගමන අද කොතැනද ?

මගේ මුල්ම ටෙලි නාට්‍යය “මෝදර වැල්ල”. ඊට පස්සේ “හාර කෝටිය”. මේ නාට්‍ය දෙක තමයි මගේ රංගන ජීවිතේ සංධිස්ථාන. “මනෝජා” නිසා මට ලැබුණු දේවල් ගොඩයි. මේ වන විට මම ටෙලි නාට්‍ය 15 කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. මම හරිම ආසාවෙන් කියන්නේ මගේ ගම ඈත පිටිසර කියලා. කොළඹට ඇවිල්ලා ඉගෙනගෙන මෙච්චර දුරක් ආපු එක ගැන මම සතුටු වෙනවා. කතාවකට කියනවානේ, ගෙන්දගම් පොළොවේ පය ගහලා හරියට ඇවිදගෙන ගියොත් යන්න පුළුවන් කියලා. නොගියොත් ඉතින් නොගියම තමයි කියලා. මගේ වාසනාවට මට පොළොවේ පය ගහලා ඇවිදගෙන යන්න පුළුවන් වුණා. වෙට්ටු දාල වට්ටන්නත් කට්ටිය බලාගෙන හිටියා. වලේ ගැඹුර දන්න නිසා තෝරලා බේරලා ජීවිතේ හරි වැරැද්ද වටහා ගත්තා.

 

ප්ලැට්ෆෝම් සිනමාවේ “ඈ”හි ජිවානි හමුවන්නේ කොහොමද?

“ඈ” සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා තමයි මට සිනමාපටයේ ජිවානිගේ චරිතය දෙන්නේ. තලවාකැලේ වතුකරයේ දෙමළ ගැහැනු ළමයෙකුගේ ජීවිත කතාව හා ආදර කතාව නගරයට පැමිණීමත් සමඟ මුහුණ දෙන ගැටලු රාශියක් හා ඒවාට මුහුණ දෙන අයුරු ජිවානි තුළින් මම හැකි අයුරින් ඉටු කළා. ජිවානිගෙන් දැනගන්න ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩයි. ආදරේ වෙනුවෙන් මිනිසුන්ට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? මොන තරම් කැපකිරීම් කරන්න පුළුවන්ද? කියන එක ත්, හරියට ගියොත් වරදින්නේ නැතිබවත් ජිවානි කියා දෙනවා.

 

"ජිවානි"ට සාපේක්ෂව ඔබේ ලෝකය කොයි වගේද?

හාර කෝටියේ “මනෝජා” වගේම “ඈ”හි ජිවානි නිසා මට ලැබුණ දේවල් ගොඩක් තියෙනවා. ජිවානි දෙමළ ජාතික ගැහැනු ළමයෙක්. මම සිංහල ගැහැනු ළමයෙක්. ජිවානිගේ යම් යම් දේවල් මගේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ඇයගේ ජීවිතයට හාත්පසින්ම වෙනස්ම ලෝකයක මම අද ඉන්නේ. ගැහැනියෙක් හැටියට කොයි මොහොතක හෝ සමාන වෙන දේවල් තියෙනවා. ජිවානි වගේ වෙන්න තිබුණා නම්, ජීවන ගමන හරි සරලයි.

 

“ඈ” නිසා ලැබුණු දෙවල් මොනවාද?

“ඈ” සිනමාපටියේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික වෛයි සලාවෝගේ නවතම සිනමා පටයට මාව තෝරාගෙන තියෙනවා. ඒ සියලුම රූගත කිරීම් සිදු වෙන්නෙත් ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ පමණයි. ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් තුළ මගේ ගමනට ලොකු දේවල් ලැබුණා. මේ සිනමාපටයත් මට ලැබෙන්නේ මට භාෂා කිහිපයක් පුළුවන් නිසාත්, මගේ රගපෑමත් නිසයි. සිනමා පටයට නම දාලා තියෙන්නේ “අභිනික්මන” කියලයි. දෙමළ භාෂාවෙන් තමයි සියලුම දෙබස් පාවිච්චි කරන්නේ. දෙමළ භාෂාව හැසිරවීම මට හොඳටම පුළුවන් නිසා ඒක තවත් එක් අවස්ථාවක් වුණා.

 

දැනට කලා ක්ෂේත්‍රයෙ භාෂා කීපයක් හොදින් හැසිරවීමට හැකි නිර්මාණ ශිල්පීන් ගැන ඔබේ ඇගයීම කෙසේද?

නව පරම්පරාව ගැන නම්, මට කියන්න බැහැ. නව පරම්පරාවේ දැනට අඩුයි කියලා තමයි දන්නේ. හැබැයි ප්‍රවීණයන්ගේ පරම්පරාවේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඔවුන් හරි දක්ෂයි. මම ගොඩක් ප්‍රවීණයන් එක්ක වැඩ කරලා තියෙනවා. ඔවුන්ගෙන් ලැබෙන ගුරුහරුකම් සහ ඔවුන්ගේ භාෂා ඥානය පුදුමාකාරයි. ක්ෂේත්‍රයක් තුළ රඳා පවතින්න නම් භාෂා කිහිපයක් සහ ප්‍රායෝගික පුහුණුවීම් අත්‍යවශ්‍යයි. දක්ෂතාවයන් තියෙන ඕනෑම කෙනෙකුට ක්ෂේත්‍රය තුළ රඳා පවතින්න පුළුවන්. එහෙම වුණාම කාගෙන්වත් දෝෂාරෝපණය එල්ල වෙන්නේ නැහැ. මගේ දක්ෂතාවයන් ගැන ඇත්තටම මට පොඩි නිහතමානි ආඩම්බරයකුත් තියෙනවා.

 

“අබිනික්මන” සිනමාපටයෙන් පසුව ලැබුණ චරිත මොන වගේද?

 

සිනමා පට සහ ටෙලිනාට්‍ය කිහිපයකටත් කතා කරලා තියෙනවා. මම තිර පිටපත් බලලා තමයි වැඩ කටයුතු කරන්නේ. එන හැම නිර්මාණයක්ම කරන්න මට අදහසක් නෑ. මොකද මම කරන ව්‍යාපාර කටයුත්තක් තියෙනවා. ඒවාටත් බාධාවක් නොවෙන විදිහටයි මම රංගන කටයුතුවල නියැළෙන්නේ. ටෙලිනාට්‍ය සහ සිනමාව කියන දෙකම සමබරව කරගන්න ඕන කියන එක තවත් එක් හේතුවක්. සමහරක් පිටපත්වල චරිත කිසි තේරුමක් නැහැ. ඉතින් ඒ වගේ චරිතයක් කරලා රංගන හැකියාවන් පෙන්වන්නට අවස්ථාවක් නැති වෙනවා. ඊට වැඩිය හොඳයි ඒ තිර පිටපත බාර නොගෙන ඉන්න එක. සමහරක් පිටපත් භාර දෙන්නෙම ලෝ බජට් එකකින්. “මේක ඔයාට පුළුවන්නම් විතරක් එන්න” කියලයි. එහෙම නිර්මාණවලට කොහොමද හිතට එකඟව වැඩ කටයුතු කරන්නේ කියන එක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. හොඳ නිර්මාණයක් නම්, මුදල් නැතත් කමක් නෑ. ආර්ථිකයෙ ඍණ සහ ධන කියන දෙකම බැලන්ස් නොවුණොත් අපි ඉවරයි .ඒ නිසා අපිට ඍණ වෙන්නත් බෑ. ධන වෙන්නත් බෑ. බැලන්ස් වෙන්න ඕනෑ.

ඔබ වඩාත් ප්‍රිය කරන්නේ සිනමාවටද නැතිනම් ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයට ද?

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයේ ඉන්නවා නම්, වර්ගීකරණයකට ලක් වෙන්නට මම සූදානම් නෑ. හැම වෙලේම රංගන ශිල්පිනියක් කියන්නේ තමන්ට ලැබෙන නිර්මාණයට සාධාරණයක් කරන්න පුළුවන් තැනැත්තියක්. හැබැයි, හොඳ නිර්මාණවලට පමණයි මගේ දායකත්වය ලැබෙන්නේ. දක්ෂතාවයන් තමන් ළඟ තියෙනවා නම්, තමන්ට අවශ්‍ය විදිහට නිර්මාණ ලැබෙනවා. කවදාකවත් නිර්මාණ ඉල්ලා ගෙන යන්න අවශ්‍ය නෑ. ටෙලිනාට්‍යවල වුණත්, වැඩි දෙනෙක් කැමැත්තක් දක්වන්නෙත් කෙටි කාලසීමාවක් තුළ ඉවර වන ටෙලි නාට්‍යයටයි. දීර්ඝ ටෙලිනාට්‍ය දායකත්වය දෙන්න වුණාම තව නිර්මාණයකට හැකියාවන් පෙන්වීමේ අවස්ථාව අඩු වෙනවා. ඒ නිසා මම හැම දෙයක්ම සමබරව තමයි පවත්වාගෙන යන්නේ. ඒත්, මගේ වැඩි නැඹුරුතාවයක් තියෙන්නේ, සිනමාව පැත්තටයි. මම කැමැතියි ආවා ගියා කියනවාට වැඩිය, ප්‍රේක්ෂකයන් අතරෙ මතකයේ රැඳෙන නමක් ඉතිරි කරන්නයි. සිනමාව කියන්නේ එවැනි තැනක්. යුග යුග ගණනාවක ශිල්පිනියන් බිහි කරන්නේ සිනමාව තුළින්. යුග ගණනාවක් ගියත් කවදාහරි නමක් රදා පවතින්න නම් සිනමාවේ රැඳීය යුතුමයි. ටෙලි නාට්‍ය කලාව ටික කාලයක් යන විට මිනිසුන් අතරින් මැකී යනවා. ඒත් සිනමාව එසේ වන්නේ නෑ.

 

මහේන්ද්‍ර පෙරේරා වැනි රංගන ගුරුවරයෙක්ගේ පාඨමාලාව හදාරපු ඔබ වේදිකාවට ඇලුම් කරන්නේ නැද්ද?

ඇත්තටම මම වේදිකාවට හරිම කැමතියි. ඒත්, මගේ කාල කළමනාකරණය තුළ වේදිකාව ස්පර්ශ කරන්න ටිකක් අසීරුයි. ඒත් රංගන ශිල්පිනියක් හැටියට වේදිකාව අනිවාර්යයෙන්ම ස්පර්ශ කළ යුතු බව මම දන්නවා. මගේ ව්‍යාපාරයත් එක්ක සහ මගේ පවුලත් එක්ක තියෙන බැඳීම තුළ මට කාලය කළමනාකරණය කරගන්න පුළුවන් වන අයුරින් මම වේදිකාවේ රංගනයට එනවා. වේදිකාවේ රංගනයට මට කිහිප දෙනෙක්ම ආරාධනා කරලා තියෙනවා. ඒ දේවල්වලටත් මට අවස්ථාව හිමිවෙලා තියෙන්නේ මගේ භාෂා ඥානය නිසයි. වේදිකාව තුළින් ලබන පන්නරය තමයි රංගන ජීවිතේ ඔප් නංවන්නේ. ලෝක සිනමාව සහ ටෙලි නාට්‍ය කලාව තුළත් හොඳම නළුවා හෝ නිළිය වෙලා තියෙනවා නම්, ඔවුන් වේදිකාව ස්පර්ශ කරපු කෙනෙක්. මගේ හදවතේ තියෙන්නෙත්, හදවතේ ඉන්නෙත් වේදිකාවේ නිළියක් ලෙස ඉදිරි නිර්මාණයකට එන්න තමයි.

 

රංගන ශිල්පිනියක් ලෙසට ක්ෂේත්‍රයට එන විට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය මොන වගේද?

 

දැනට ක්ෂේත්‍රයේ ඉන්න සියලුම ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් සහ ජීවතුන් අතර නැති පිරිස ගෙනුත් මට ගොඩක් සහයෝගයක් ලැබුණා. මට හමුවෙච්ච හැම චරිතයක්ම හරිම ආදරණීයයි. ඔවුන්ගෙන් ලැබුණු ගුරු හරුකම් නිසා තමයි මට අද තැනකට එන්න ලැබුණේ. නවකයන් ලෙස අපි කලා ක්ෂේත්‍රයට එන විට ප්‍රවීණයන්ගේ ආභාසය ලබා ගත යුතුයි. ඔවුන් තමයි ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත වෘක්ෂ. ඒ සියලු දෙනාගේ සෙවණ ලබන්නේ නැතුව අපිට ඉන්න බැහැ. එහෙම වුණොත් මහා හුළඟක් ආවොත් අපි ඇදගෙන වැටෙනවා. ආධුනිකයන් ලෙසට කලා ක්ෂේත්‍රයට එන ඇතැම් අය ගරු කිරීමක්වත් කරන්නැති වෙලාවල් අපි දකිනවා. ඒ දේවල් ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් නැති කමින් සිදුවෙන දේවල් කියලයි මම දකින්නේ. අපි ඔවුන්ට ගරු කළොත් අපිට නිකම්ම ගෞරවනාම ලැබෙනවා.

 

ආවා ගියා කියන චරිතවලට වැඩියෙන් ක්ෂේත්‍රයේ නමක් පවතින්නට නම් නිළියක් හැටියට ඔබ වඩාත් ප්‍රිය කරන්නේ සිනමාවේ මොන ශානරයන්ද?

මම සිනමාවේ තියෙන හැම ගති ලක්ෂණයකටම කැමතියි. සම්භාව්‍ය, කලාත්මක නැත්නම් වාණිජමය සිනමාපටයක් වෙන්නත් පුළුවන්. ඒ ඕනෑම නිර්මාණයකට මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණොත් චරිතය අනුව මම රංගනයේ යෙදෙනවා. සමහර වෙලාවට හිතෙනවා, සම්භාව්‍ය මට්ටමේ සිනමාපටයක රංගනය කියන්නේ ඇඳුම් වුණා දැමුවා හෝ නිරුවත පෙන්වීම කියලයි. ඉන් එහාට රංගනය දකින්න පුළුවන් දේ ගැන කතා නොකර තමයි සම්භාව්‍ය මට්ටමේ කියලා විවිධ අර්ථ කථන දෙන්නේ. රංගනයේ යෙදෙන නළුවා හෝ නිළිය, නිළි කාර්යය සහ නළු කාර්යය පමණයි එතැනදී සිදු කරන්නේ. ඒත්, අපේ සමාජය ඒ දේ තේරුම් නොගැනීම තුළ නළුවාට හෝ නිළියට ගොඩක් හානියක් සිදුවෙනවා. ඒ නිසා හැම වෙලේම මම තිරපිටපත් ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරල තමයි රංගනයේ යෙදෙන්නේ. ඒ නිසා ආවා ගියා කියන චරිතයට වැඩිය නමක් පවතින්න නම් හොඳ රංගන ශිල්පිනියක් විය යුතුයි සම්මාන නොලැබුණත්.

 

රංගන ශිල්පිනියක් හැටියට ඔබ යොදන සීමාවන් මේවාද?

මම අද වෙනතුරු නිර්මාණයක් වෙනුවෙන් සීමා දාගෙන නෑ. ඉදිරියටත් එහෙම තමයි. නමුත්, තිර පිටපතට සාධාරණයක් වෙන විදිහටයි, රංගනයේ යෙදෙන එක ගැනයි මම කතා කරන්නේ. රංගනයේ යෙදෙන ඇතැමුන් නොයෙක් සීමා දානවා වෙන්න පුළුවන්. ඒක ශිල්පියාගෙන්, ශිල්පියාට වෙනස් වෙන දේවල්. ඇතැම් වෙලාවට නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂකවරුත් නොයෙක් සීමා දානවා. ඔවුන් කියන්නේ “මේ රාමුව තුළ පමණයි ඔයා මේ රංගනයේ යෙදෙන්නෙ” කියලා. නමුත්, රංගන ශිල්පියා නිදහසේ රංගනයක යෙදුණොත් නිර්මාණයට සාර්ථකත්වයක් ලැබෙනවා.

 

ඔබට ලැබෙන චරිතය රංගනය වෙනුවෙන් සාධාරණ ගිවිසුම් සිදුවෙනවද?

වෙලාවට සාධාරණ ගිවිසුම් වෙනවා. ඇතැම් වෙලාවට ගිවිසුම් ගත වීමක් සිදු වෙන්නෙත් නැහැ. එහෙම වුණාම රංගන ජීවිතයත් එපා වෙන වෙලාවල් තියෙනවා. අද ගොඩක් නිර්මාණ අවම වියදම් කියන සංකල්පය යටතේයි තියෙන්නේ. කොච්චර නිර්මාණයකට සාධාරණයක් කළත් රංගන ශිල්පියාට සාධාරණයක් ඉටු නොවුණු අවස්ථාත් තියෙනවා. අපේ ක්ෂේත්‍රය තුළ වෘත්තිමය ස්වභාවයක් නැති හින්දා තමයි මේ සෑම දෙයක්ම සිදු වෙන්නේ. ක්‍රමානුකූල නීති පද්ධතියක් තුළ සාධාරණයක් ඉටු වෙනවා නම්, මේ සියල්ලටම පොදු කාරණා කටයුතු එකතු වෙනවා. එවිට ක්‍රමවත් චක්‍රයකට හැම දෙයක්ම සිදු වේවි.

 

නිර්මාණයකට දායක වන සහේදර නළු නිළියන් ගැන දක්වන්නෙ මොන වගේ අදහසක් ද?

දක්ෂතාවලින් පිරිපුන් පිරිසකුත් ඉන්නවා. දක්ෂතා නැති පිරිසකුත් ඉන්නවා. දක්ෂතා නැති පිරිස තෝරා පත් කර ගනු ලැබෙන්නේ අධ්‍යක්ෂකවරයාට ඕන හෝ නිෂ්පාදකවරයාට අවශ්‍යයි කියලා. නැත්නම් වෙනත් කුමන හෝ බලපෑමක් මත සිදු වෙනවා. ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධයක් නැති පිරිසක් යොදා ගත්තාම නිර්මාණයටත් සාර්ථකත්වයක් ගන්න බැරි වෙනවා. ඕනෑම තැනක ක්‍රමවේදයක් සකස් වුණා නම් එහෙම දේවල් වෙන්නේ නැහැ. දෙබසක් වත් කියාගන්න බැරි අය ගත්තාම ඒවා විකාශය වන විට මුළු ප්‍රේක්ෂක ජනතාවම දකිනවා. ප්‍රේක්ෂක ජනතාව අනුමාන කරනවා මේ කට්ටිය අරන් තියෙන්නේ මොකටද කියන එක. එතැනින් පසු සිදු වෙන්නේ ඔවුන් ගොඩනගාගත්තු වපසරිය නැති වෙන එක විතරයි. මම නම් කියන්නේ ඕනෑම දෙයක් කරන්න පෙර දෙපාරක් හිතන එක තමයි මුලින්ම කළ යුත්තේ. සුදුස්සාට සුදුසු තැන නොලැබීම තුළයි මේ හැම දෙයක්ම සිදු වෙන්නේ.

 

ඔබේ ආදරය හා අනාගත බලාපොරොත්තු ගැන කියන්න කැමතිද?

මම ආදරේ විඳලා තියෙනවා. ආදරයෙන් පරාජය වෙලාත් තියෙනවා. දුක, සතුට සැපත කියන දෙකම මට ලැබිලා තියෙනවා. මට ලැබුණු හොඳම ආදරේ තමයි දැන් මගේ මහත්තයා. මගේ හැම නිර්මාණයක්ම පිටිපස්සෙ ඉඳන් මට සපෝට් කරන්නේ එයයි.

මගේ කුඩා පවුලත් සමග ජීවත් වෙමින් හොඳ නිර්මාණවලට දායක වීම හා මගේ ව්‍යාපාර කටයුතු කර ගැනීම තමයි එකම බලාපොරොත්තුව. සිනමාව තුළ නමක් රන්දපු නිළියක් වෙන්නත් මගේ සිහිනයක් තියෙනවා. ඒ වගේම ක්ෂේත්‍රයට එන සියලු දෙනාටම මම කියන්නෙ ඇවිත් යන්න එපා. ඉන්න එන කෙනෙක් බවට පත්වෙන්න. එවිටයි කලාවේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නෙ. මගේ ගමනට එන්න උදව් කළ සියලු දෙනාටම ස්තුති කරන්නත් කැමතියි.