සංගීතයට මුල් තැන දුන්නට අදටත් නර්තනය අමතක කර නැහැ

ප්‍රවීණ සංගීත සහ නර්තනවේදිනී රූපශිඛා රණතුංග
ඔක්තෝබර් 13, 2022

 

ඇය රූපශිඛා රණතුංග. කලාවට මෙන්ම මාධ්‍යයටද සංගීත ක්ෂේත්‍රයටද අපමණ සේවයක් කළ ආචාර්ය දයාරත්න රණතුංගයන් වගේම මහාචාර්ය අමරා රණතුංගයන්ගේ ආදරණීය දියණිය ඇයයි. සිය දෙමාපියන්ගේ අඩිපාරේ යමින් ඔවුන් කළ කී දෑ ඉදිරියටත් දැයේ දරුවන්ට, කලාවට දායාද කරන ඇය සමඟ සරසවිය අප කතා කරන්නට හිතුවා. අප කළ ආරාධනාව ඉතා හෘදයාංගමව පිළිගත් ඇය කතාව ආරම්භ කළේ මෙලෙසින්...

 

ඔබට සංගීතයට කැමැත්තක් ඇති වුණේ?

මගේ අම්මා (මහාචාර්ය අමරා රණතුංග) ඇගේ පශ්චාද් උපාධිය කරන්න ඉන්දියාවට ගියා. ඒ කාලේ මම හැම නිවාඩුවකට ඇයව බලන්න තාත්තා එක්ක ඉන්දියාවට යනවා. ඒ පරිසරයේ මම අමුතුම සුන්දරත්වයක් දැක්කා. ලංකාවේ සංගීතයට වඩා ලොකු වෙනසක් මම ඉන්දියාවේදී දැක්කා. අපි අම්මාගේ නිවාඩු කාලෙම එහේ ඉන්නවා. ඉන්දියාවේ සංගීත සන්දර්ශන පටන් ගන්නේ රෑ නවයට විතර. මට මතකයි ගංඟානම් ගඟ අයිනේ තිබුණා දවස් ගණනක සන්දර්ශනයක්. භාරතයේ ඉතාම ප්‍රසිද්ධ සංගීතඥයින් එතැනට එනවා. දුප්පත් පොහොසත් භේදයකින් තොරව ඔක්කොම ගඟ අයිනේ පඩි උඩ වාඩි වෙලා මේ ප්‍රසංග නරඹනවා. ගඟ මැද වේදිකාව හදලා තිබෙන්නේ. ඔරුවලින් පන්දම් පත්තුකරගෙන වේදීකාව වටේට ඉන්නවා. රෑ එළිවෙනකම් ඒ ප්‍රසංග පැවැත්වෙනවා. හරිම සුන්දරයි. මේවා ශාස්ත්‍රීය සංගීත සන්දර්ශන. රෑ එළිවෙනකම් තිබුණත් කවුරුත් 'හ්ම්' සද්දයක් නැහැ. ඒ සන්දර්ශන බලද්දි මට හිතුණා මොනවද අපි ලංකාවේ කරන්නේ කියලා. අම්මා මට උසස්පෙළ විභාගය ඉවර වුණාම කිව්වා ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙනගන්න කියලා. මම උපාධියට ඉල්ලුම් කළේ කථක් නර්තනය. මට ශිෂ්‍යත්වය ලැබුණෙත් කථක් නර්තනයට. ඒ වෙද්දිත් ඒ විශ්වවිද්‍යාලයේ බොහෝ දෙනෙක් මම දන්නවා අම්මා බලන්න ගිය නිසා මුල් කාලේ සිටම. ඒ පරිසරයත් මට හොඳට හුරුයි.

ඒ කියන්නේ ඔබ හොඳ නර්තන ශිල්පිනියක්?

(ඇය සිනාසෙමින්) ඔව්. ඔව්. ඒත් දැන් නම් නර්තනයේ යෙදෙන්නේ නැහැ. කුඩා කාලයේ මම සංගීතය නොවෙයි නර්තනයයි හැදෑරුවේ. පද්මිණි දහනායක මහත්මිය සහ කමලා ජයතිලක මහත්මිය මගේ ගුරුවරු වුණා. කමලා ජයතිලක මහත්මියගේ අරංගේත්‍රම් නර්තන ප්‍රසංගයක් බලන්න අම්මයි තාත්තායි මාව එක්ක ගියා. එහිදීයී මට නර්තනයට ආසාව ඇති වුණේ. කොහොම වුණත් මම කමලා ජයතිලක මහත්මිය ළඟ අවුරුදු දෙකක් පමණ නර්තනය හදාරලා පද්මිණී දහනායක මහත්මියගෙන්ද නර්තනය අවුරුදු ගණනාවක් ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ විභාග කඩයිම්වලදී මම නර්තනය හැදෑරීම නතර කළා. ඒ වෙද්දි මම පෙරදිග සංගීතය තෝරගෙන තිබුණා. අම්මා එක්ක විවිධ වැඩ සටහන් කළාට හිත වැඩිපුරම තිබුණේ නර්තනයට. ඒ නිසාම උසස්පෙළ විභාගය ඉවර කරලා අවුරුද්දක පමණ කාලයක් චන්න විජේවර්ධන මහතා ලඟ උඩරට නර්තනය හැදෑරුවා. අදටත් නර්තනය මම අමතක කරලා නෑ. නිර්මාණ තිබෙනවා මගේ හිතේ කරන්න. නර්තනය හැදෑරුවත් ලංකාවට විත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ.

 

ඒ නිසා වෘත්තීය කරගන්නේ සංගීතය?

මම අවුරුදු 21 දී ලංකාවට එනවා. ඒ ඇවිත් මම විවාහ වුණා. ඒ නිසා මගේ අධ්‍යාපන කටයුතු මඳක් නතර වුණා. මම දිගු කාලයක් විදේශ රටක ජීවත් වුණා. ඒ කාලයේදී මම ඉගෙනගත් කිසිදු දෙයක් මට කරන්න ලැබුණේ නැහැ. නැවත මම ලංකාවට ආවට පසුව මියුසියස් විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස කටයුතු ආරම්භ කළා. මම සංගීත විශාරද උපාධිය ඉවර කළා. නිපුන් දක්වාම සංගීතය ඉගෙනගත්තා.

 

ඔබේ පියා (දයාරත්න රණතුංග) මේ රටට හඳුන්වාදුන් සංගීත චිකිත්සාව ඉදිරියට අරගෙන යන්නේ ඔබ?

මම සංගීත චිකිත්සාව සම්බන්ධ පත පොත කියෙව්වා. ජීවීතයේ ප්‍රශ්න කරදර බාධක හැලහැප්පීම් එන තැන්වලදී සංගීතය චිකිත්සාවක් ලෙස යොදාගන්න පුළුවන් ජීවීතය ඉදිරියට ගෙනියන්න. මම එය අත්වින්දා. ඒ පිළිබඳ මම ස්වයං අධ්‍යයනයක් කරන්න ගත්තා. එහෙම අධ්‍යයනය කරද්දි මට තේරුණා නාදය කියන්නේ හරිම ප්‍රබල මාධ්‍යයක් මේ ඔස්සේ බොහෝ දේ කරන්න පුළුවන් කියලා. සංගීත චිකිත්සාව සම්බන්ධ අධ්‍යයනයට තාත්තා ලියූ පොත් ඇරෙන්න ලංකාවේ පතපොත නොමැති නිසා මම පිටරට විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධව මේ පිළිබඳ තොරතුරු සොයන්න ගත්තා. අන්තර්ජාලයෙන් තොරතුරු සෙව්වා. විදේශීය විශ්වවිද්‍යාලවල මේ සම්බන්ධව ඉගැන්වීම් කරන අය සම්බන්ධ කරගෙන මම වැඩිදුර අධ්‍යයනයන් සිදු කළා. පසුව මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංගීත චිකිත්සාව සම්බන්ධ පශ්චාද් උපාධිය කළා.

 

ගුරු වෘත්තිය තෝරාගෙන ඉන්නේ වෙනත් වෘත්තියක් කරන්න අකැමැති නිසාද?

මේ රැකියාව මම විදේශගතව සිට ලංකාවට පැමිණි පසු මට ලැබුණු වරප්‍රසාදයක්. ඒකට ගෞරවයක් ලෙස අදටත් මම එය කරනවා. අනෙක් අතට මෙය දරුවෝ වෙනුවෙන් කරන ලොකු සේවයක්. කවදාහරි දවසක මට මේ දරුවෝ දාලා යන්න වෙයි. ඒ දවස වෙනකම් මම ඔවුන් සමඟ ඉන්නවා.

 

සංගීතය දරුවන්ට වැදගත් වෙන්නේ ඇයි?

අද සමාජය හරිම කලහකාරීයි. එයට මූලිකම හේතුව විදිහට මම දකින්නේ දරුවන්ගෙන් කලාව ඈත්වී තිබීම. දරුවන්ව පුරුදු කරන්නේ තරඟයකට. දරුවන්ගේ නිදහස සීමාවෙලා. මෙයට දෙමාපියන් වගේම අධ්‍යාපනය සම්බන්ධව කටයුතු කරන සියලු දෙනාම වගකිවයුතුයි යන්නයි මගේ හැඟීම. මම ගුරුවරියක්. දරුවෝ සම්පූර්ණ රොබෝලා කරවලා. ඒ දරුවෝ සෞන්දර්යට ආසයි නිදහසේ හැසිරෙන්න ආසයි. කෝ ඉඩක්. මේ අධ්‍යාපන ක්‍රමය තුළ ගුරුවරුත් අසරණයි. ලැබෙන විනාඩි හතළිහක කාලය තුළ මහා ලොකු විෂය නිර්දේශයක් ආවරණය කරන්න ඕන. සෞන්දර්ය අත්විදින්න දරුවට කාලයක් හෝ අවකාශයක් නෑ. මෙයින් වෙන්නේ හැඟීම් දැනීම් නොමැති කුහක සමාජයක් මතුවට බිහිවීම. සෞන්දර්ය විෂයෙන් මනුස්සයෙක්ට ලැබෙන්නේ හැඟීම් දැනීම් මනුස්සකම්. දරුවගෙන් සෞන්දර්ය ඈත් කරලා වෙන වෙන විෂයන් ඉගැන්වුවත් ආදරය කරුණාව දුක සතුට දැනෙන්න මේ කලාව තිබෙන්න ඕන. කලාව උගන්වනවා කියලා විෂය නිර්දේශයට කොටුවෙලා විභාගයක් දීලා හරියන්නේ නැහැ. දරුවන්ට රසවිඳීන්න අවස්ථාව දෙන්න ඕන. ළමයින් පෝෂණය වෙන්නේ එවිටයි. මේ යන විදිහට කුහක සමාජයක් බිහිවෙන්නේ. සංවේදී දරුවෙක් නිර්මාණය වෙන්න අනෙකාගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක් නිර්මාණය වෙන්නනම් කලාව ජීවිතයට දෙන්න ඕන.

 

සංගීත චිකිත්සාව වැදගත් ඇයි?

ඇතැම් දරුවන් කුඩා කාලයේ සිට විවිධ ජානගත රෝගවලින් පෙළෙනවා. ඕටිසම් වගේ ලෙඩක් ගෙන බලන්න. එවැනි රෝග නිට්ටාවටම සුව කරන්න සංගීත චිකිත්සාව ඔස්සේ කරන්න බෑ. නමුත් රෝග පාලනය කරන්න කරන්න පුළුවන්. ලෙඩ වෙන්න බලපාන මූලික කාරණාවක් මානසික පීඩනය හෝ ආතතිය. මේ මානසික ආතතියට සංගීත චිකිත්සාවෙන් සුවය ලබා දෙනවා. පොඩිකාලේ සිටම දරුවන්ට සංගීතය රසවිඳීන්න පුරුද්දක් ඇති වුණාම මානසික පීඩනය අඩුවනවා. ප්‍රතිශක්තිකරණය වැඩිවෙනවා.

සංගීත චිකිත්සාව කියලා ඇහුවට ඇත්තටම මෙහි දී සිදුවෙන්නේ මොකද්ද?

මම හදාරලා තිබෙන්නේ හිංදුස්ථානි සංගීතය. එහි ශ්‍රැති 22 ක් තිබෙනවා. ඒ කියන්නේ මයික්‍රෝ ටෝන්ස් 22ක් තිබෙනවා. සංඛ්‍යාත22ක්. මේ 22 මතයි අපේ ස්වර් 12 පිහිටලා තිබෙන්නේ. ඒ අතර පොඩි පොඩි සංඛ්‍යාත තිබෙනවා. ස්වරයක් හා ස්වරයක් අතර අන්තරයක් තිබෙනවා. ඒ අන්තරයෙත් සංඛ්‍යාත කිහිපයක් තිබෙනවා. එක් ස්වරයක සිට අනෙක් ස්වරයට ගායනා කරනවිට අර සංඛ්‍යාත ඔක්කොම පසුකරගෙන යන්න ඕන. එක් එක් රාග එක් එක් ලෙඩවලට වෙන් කරලා තිබෙන්නේ මෙන්න මේ කියන සංඛ්‍යාතවලට අනුව. බොහෝ වෙලාවට අපි භාවිත කරන්නේ යෙමන් රාගය. තීව්‍ර මාත්‍රා ඇති රාගය. එහි ස්වර ගායනාකරනවිට හෝ ශ්‍රවණය කරනවිට ඒ අතර තිබෙන සංඛ්‍යාතවල නාද තරංග මොළේට වැදෙනවා. මොළෙන් නිකුත් කරන සංඛ්‍යාත යම්කිසි පාලනයක් සිදු කරන්න අර සංඛ්‍යාතවලට පුළුවන්. එවිටයි මානසික සහනය ලැබෙන්නේ. ඒ තුළ හෝමෝන ප්‍රාණවත් වෙනවා. ශරීරයේ ඇති ලෙඩරෝග සමනය කරන්න මෙය හේතුවෙනවා. රෝග පාලනයක් සිදුවනවා. බටහිර සංගීතය වෙන්න පුළුවන් හින්දුස්ථානී සංගීතය වෙන්න පුළුවන් චීන සංගීතය හෝ අරාබි සංගීතය වන්නට පුළුවන් ඒ මොන සංගීතයක වුණත් හොඳම කොටස භාවිත කරලා රෝග පාලනය කරන්න පුළුවන්.

 

මේකත් දැනගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ හරියටම දැනගෙන කරන්න ඕන වැඩක්?

ඇත්තටම ලංකාවේ බොහෝ දෙනෙක් සංගීත චිකිත්සාව කියලා තැන් තැන්වල කරනවා. නමුත් එය කොතරම් දුරට සාර්ථකද? ගායනය වාදනය කියන්නේ සංගීත චිකිත්සාවේ කොටසක් වුණත් එක නිවැරදිව යොදාගැනීමේ ක්‍රම තිබෙනවා. ඔබට මම උදාහරණයක් කියන්නම්. සංගීත චිකිත්සාවේ තිබෙනවා අයිසෝ තෙරපි කියලා තෙරෙපි එකක්. ලොකු දුකකින් ඉන්න කෙනෙකුට එකපාර බයිලා ගීතයක් අහන්න දුන්නා කියලා වැඩක් වෙන්නේ නෑ. ඒ දුක තුනීකරන්න නම් මුලින් ඒ දුක පිටකරන්න පුළුවන් විදිහේ ගීත අහන්න දෙන්න ඕන. ටිකෙන් ටික දුකෙන් මුදවගන්න අපිට ගීතය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. දුක නැතිවුණාම බයිලා ගීතයක් වුණත් අහන්න දෙන්න පුළුවන්. සංගීත චිකිත්සාව කියන්නේ රෝගයට බෙහෙත් කිරීමක්. මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට මේ ඔස්සේ ගොඩ එන්න පුළුවන්.

 

අනෙක් අතට ලෙඩක් තියෙන්නම ඕනත් නෑ ලෙඩක් නොහැදි ඉන්නත් මෙය බලපානවා?

අනිවාර්යයෙන්ම. සාමාන්‍ය ජීවිතයේදී අපේ මනස ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න හැකි ආකාරයට සවි කරගන්නත් සහනයක් ලබාගන්නත් යොදාගන පුළුවන්. බොහෝ වෙලාවට ලංකාවේ මෙවැනි දේ සිදුවෙන්නේ නැහැ ක්‍රමවත්ව.

 

ජීවිතයට ලොකු ආයෝජනයක් වුණාට බොහෝ දෙනෙක් මෙයට ඉතා අඩු සැලකිල්ලක් දක්වන්නේ. ඒ මේ පිළිබඳ අවබෝධයක් හෝ දැනීමක් නැති නිසා. එය කරන්න නම්?

මේ ගැන සමාජයට දැනුම ලබා දෙන්න මේක තමයි හොඳම කාලය. එයට රජය මුල්වෙන්න ඕන. මෙය තනි තනියෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. පාසලෙන් මෙය ආරම්භ කරන්න ඕන. පොඩි දරුවන්ට තිබෙන පීඩනය අඩු කරන්න ඕන. දරුවෝ සියදිවි නසාගන්න තැනට පීඩනය වැඩි වෙලා. මෙවැනි දේ ආයතනවලට හදුන්වා දෙන්න ඕන. මිනිස්සු රැකියාවට ගිහින් ගෙදර එන්නේ ලොකු පීඩනයකින්. ආයතන තුළින් හෝ මෙවැනි දේ කරන්න ඕන. දිනකින් විනාඩි 20 ක් මේ සඳහා හොඳටම ප්‍රමාණවත්. විශේෂ වැඩසටහනක් සේ ආරම්භ කරලා හෝ පාසල් තුළ ආයතන තුළ මේවා ක්‍රියාත්මක වෙන්න ඕන. රජයෙන් උදව් කරන්න ඕන මෙවැනි වැඩසටහන් කරන්න. ඊට අමතරව තනි තනියෙන් හෝ නිවසේ සිට වාහනේ යන අතරතුර හෝ ගීතයක් අහන්න රසවින්දනය කරන්න මිනිසුන් පුරුද්දක් ඇති කරගන්න ඕන.

 

ඔබේ මව මහාචාර්ය අමරා රණතුංගගේ ගීත ඔබෙන් අහන්නේ නැතිව කාටවත් ප්‍රසිද්ධියේ ගායනා කරන්න බැහැ?

ඔව්. ඇගේ ගීතවල පූර්ණ අයිතිය තිබෙන්නේ මට. බොහෝ දෙනෙක් මගේ මවගේ ගීත ගායනා කරනවා අවසරයකින් තොරව. මම බලාගෙන ඉන්නවා. වෙනත් කෙනෙකුගේ ගීතයක් ගායනා කරද්දි අවසරගෙන ගායනා කරනවානම් නේ හොඳ. (ඇය සමඟ මව මතක් කරන විටදී පවා දෙනත කඳුළින් බර වී තිබුණි)

 

පවුලේ විස්තර?

මගේ ස්වාමියා මට මේ සියලු කටයුතු කරන්න ලොකු ශක්තියක් වෙනවා. මගේ තාත්තා ඉන්නෙත් මා එක්ක. ඒ වගේම පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. ඔවුන් ඉගෙනගන්නවා.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න