සසර පුරා අත්වැල් බැඳ මා හා සැරිසරා මටත් හොරා ඔබත් නොදැන නොඑන ගමන් ගියා...

ප්‍රවීණ ගායන ශිල්පිනී මායා දමයන්ති
ඔක්තෝබර් 13, 2022
වික්ටර් කියන්නේ මගේ ජීවිතේ හැමදේම
 

ඈ ඈත ක්ෂිතිජය දෙස දෙනෙත් යොමාගෙන සිටී. පෙරදා දීප්තිමත්ව බැබළුණු ඒ දෙනෙත් පුරා සිහින් කඳුළු පටලයක් මෝදු වෙමින් ඈ දෙනෙත් රත්පැහැ ගන්නට පටන් ගනී. දෑස් අග දිලිසුණු කඳුළු බිඳු සෙමෙන් ඈ වත සිඹිද්දී මෙසේ කියණු මට ඇසේ.

‘දෑස වසා සිටියා ඔබේ රුව

ඇයිදෝ මට පෙනුණේ...

සවන වසා සිටියා ඔබේ හඬ

ඇයිදෝ මට ඇසුණේ...”

වසර ගණනාවක ආදරය පිරුණු මතක අද ඇයට හීනයක් වාගේය. දිවි ගමන් මඟ එක්ව යන්නට අතිතන පටලවා ගත් ඔවුන් දෙදෙනා පුරා හතළිස් හත් අවුරුද්දක් එක මඟ ගොස් අද ඈ තනිකර සදහටම නික්ම ගොස්ය. ඈ අපේ ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායන ශිල්පිනි මායා දමයන්තිය. සිය දයාබර සැමියා වික්ටර් විජයන්ත සමඟ පෙර දිනක ඇය කැනඩාව බලා පිටත්ව ගියේ සිය ආදරණීය දියණිය දැක බලා එනු පිණිසය. එහෙත් සිදු වූයේ කිසිදා නොසිතුවක්වමය. නෑ හිත මිතුරු පි‍්‍රයාදරයින්ගෙන් දුරස්වුණු කැනඩාවේදී ඔහු සදහටම සමු ගැනීමය. ඔහුගේ අවසන් කටයුතු ද එහිම සිදුකර තුන්මාසේ පින් අනුමෝදනා පින්කම ද කැනඩාවේදීම සිදුකර ඇය ලංකාවට පැමිණියේ පෙර දිනකදීය. ආදරය සෙනෙහස, සතුට සමඟ දුක් කඳුළු ද සම සේ දරා ගනිමින් ගතකළ විවාහ දිවියක සැමරුම් අද ඇගේ ජිවිතේ මතක අතරට එකතු වී හමාරය. එහෙත් අද ඈ ජීවත් වනුයේ පෙරදා ඔහුගෙන් ලද සෙනෙහසේ උණුසුම, ආදරය කරුණාව, දයාව සිහිපත් කොට උපන් චිත්ත පී‍්‍රතියම පෙරදැරි කොට ගෙනය.

‘අපි දෙන්නා ලංකාවෙන් පිටත් වුණේ මැයි මාසෙ 9 වැනිදා. අපේ පොඩි දුව බලන්න. ඒ ගියපු ගුවන් ගමනත් වික්ටර්වත් මටත් සුවිශේෂී එකක් වුණා. මොකද වික්ටර්ගේ පුතා පයිලට් කෙනෙක්. එයාගේ ගුවන් යානයේ තමයි අපි දෙන්නා එදා ගියේ. අපි යනවා කියල කිව්ව ගමන් පුතා වෙන කොහෙද ෆ්ලයි කරන්න ඉඳලා ඒක මාරු කරගෙන අපි යන ගමනට එක් වුණා. වික්ටර් හරිම ආසාවෙන් තමයි ගුවන් ගමනට එකතු වුණේ. කැප්ටන් සුදර්ශ උත්පලවර්ණ පෙරේරා අපේ පුතා රැකියාවට ගිහින් අවුරුදු 15 - 20ක් ගතවුණත් පළවැනි වතාවට තමයි අපිව එක්ක යන ගුවන් ගමනකට එක් වුණේ. අපි මොන්ට්‍රියල් වලින් බහිනකොට පොඩිදුව ඇවිත් හිටියා. අපිව එක්කන් යන්න. දුවත් එක්ක හරිම ආසාවෙන් ගෙදරට ආවේ. ගිහිල්ලා වික්ටර් ජීවත්ව හිටියෙ හරියටම දවස් 6යි. මැයි 06 වැනිදා මගේ උපන් දිනය නිසා අපි ඒකත් සැමරුවා. වික්ටර්ට කිසිම අසනීප තත්වයක් තිබුණේ නෑ. අපි දෙන්නම රටින් පිටවෙන්න කලින් ෆුල් බොඩි චෙකප් එකක් කළා. කොහොම හරි මැයි 9 වැනිදා උදේ වික්ටර්ට ලේ වමනේ ගියා. ඩොක්ටර් කෙනෙක් ළඟට ගෙනියන්න කාලයක්වත් ගියේ නෑ. වික්ටර් නැති වුණා. මම හිතන්නේ එයාවත් දන්නේ නැතුව ඇති එයාට පණ ගියා කියලා. පොඩි දුවගේ අතේමයි පණ ගියේ. මට තවමත් හිතින් දුක් වෙන්නේ වික්ටර් ගේ ජීවිතේ පුරාම මම ළඟ ඉඳලා ඒ අවසන් තත්පර කිහිපය මට ළඟ ඉන්න බැරි වුණ ඒකට. ඒ වෙලාවේ මම බාත් රූම් එකේ නානවා. මම දුවගෙන එළියට එනකොටත් එයාගේ පණ ගිහින්.’

ජීවිතේ හැටි එහෙමයි. මෙලොවට අපි ආවා සේම යම් දවසක අපි මෙලොවින් යා යුතුය. ඒ යන මොහොත, තැන, කවදාද යන්න අප කාටත් පෙර දැනගත නොහැකිය. වික්ටර් විජයන්ත නම් වූ මෙරට සංගීත ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටුකළ ගායකයා, සංගීතඥයා පමණක් නොව මෙරට සිටි එකම ෂෙනායි වාදකයා ද අප හැර ගියේ එලෙසය. දුරු රටක අවසන් හුස්ම හෙළන්නට ඔහුට නියමිතව තිබෙන්නට ඇත. මෙරට ඔහුගේ හිත මිතුරන්, නෑදැයන්, සංගීත ක්ෂේත්‍රයේ එකට කටයුතු කළ මිතුරන් කිසිවකුටවත් ඔහුගේ මුහුණ දකින්නට නොලැබුණේය. කොටින්ම ඔහුගේ වැඩිමල් දියණිය කුෂාණි සඳරේඛාට හෝ මළගමට සහභාගි නොහැකි විය. ඒ වන විට අරගලය ක්‍රියාත්මකව පැවැති කාල වකවානුව බැවින් කැනඩා තානාපති කාර්යාලය වසා තිබුණ බැවින් ඇයට වීසා ගැනීමට නොහැකි විය.

වික්ටර් ගේ වියෝවෙන් මාස 03ක් ඉක්ම ගිය තැන මායා කැනඩාවෙන් යළි ගුවන් ගත වන්නේ වික්ටර්ගේ අළු බඳුනද රැගෙන යළි මව්බිමට එන්නටය.

“කටුනායකින් එළියට එනකොට මට මගේ හිත වාවගන්න බැරිවුණා. මීට මාස 03ට ඉහත දී අපි දෙන්නා මෙතනින්ම ගුවන් ගත වුණේ හරිම ආදරෙන්. සතුටෙන්, ඒත් මට ආපහු එන්න වුණේ තනියම. වික්ටර් කියන්නේ මගේ ජීවිතේ හැමදේම. ඔහු නැතුව ගෙවන මේ ජීවිතේ ගැන මට අදටත් හිතාගන්න බෑ. මම හුඟාක් ආගම පැත්තට නැඹුරු වෙලා මගේ හිත හදාගන්න උත්සාහ කරනවා. අපි දෙන්නගේ විවාහ ජීවිතේට අවුරුදු 47ක්. මේ දීර්ඝ කාලවකවානුව පුරා ඔහු මගේ ජීවිතේ දැවැන්ත සෙවණැල්ල වුණා. මම මොණරාගල ඉඳන් කොළඹට ඉගෙන ගන්න ආව සාමාන්‍ය කෙනෙක්. මගේ කලා ජීවිතේ ආරම්භ වෙන්නෙම වික්ටර්ගේ ආදරයත් එක්ක.’

මායා කොළඹට පැමිණ නැවතෙන්නේ ඇගේ දෙවැනි අක්කා වූ ඉන්ද්‍රා ජයන්ති ළඟය. ඇය එතැන් සිට සංගීතය හැදෑරීම සඳහා අමරා රණතුංගයන්ගේ සංගීත පන්තියට පැමිණියාය. එහිදී පැවැත් වූ ‘සාරංගා’ ප්‍රසංගයේදී ප්‍රථම වරට වික්ටර් සහ මායා හමුවන්නේය. ඒ වන විට ඔහු ගුවන් විදුලියේ සිටි එකම ෂෙනායි වාදකයාය. දැන හඳුනාගෙන ඇති වූ හිතවත්කම් මැද වික්ටර් මායාට ආරාධනාවක් කරන්නේය. ඒ ඔහුගේ ෂෙනායි වාදන වැඩසටහනක් නරඹන්නටය. මායා ද ඒ සඳහා සහභාගි වන්නේ ඔහු කෙරේ බැඳුණු සෙනෙහසකින් විය යුතුය.

‘වික්ටර් කියන්නේ පුදුමාකාර හොඳ ගති ගුණ තිබුණු පුද්ගලයෙක්. ඔහු මගේ කලාදිවියට පුදුම තරමේ අත දුන්න කෙනෙක්. ඒ වෙනකොට මම සරල ගී කරල තිබුණෙත් නෑ. සරල ගී පරීක්ෂණයෙන් ‘ඒ’ ග්‍රේඩි එකක් ලැබුණාට පස්සේ සරල ගී වැඩසටහනක් කළා. මට පළවැනි සරල ගීතය හැදුවේ වික්ටර්. ඒක තමයි ‘දෑස වසා සිටියා’ ගීතය. මේ ගීතය අපි දෙන්නා ගෝල්ෆේස් එකේදි තමයි මුලින්ම කිව්වේ. ගීතය හදලා පටිගත කරනකොට මම මායා දමයන්ති සිරිවර්ධන. ගීතය ප්‍රචාරය වෙනකොට මම මායා දමයන්ති පෙරේරා වෙලා. මාස කීපයක් ඇතුළත අපි දෙන්නා විවාහ වුණා. මම විවාහ වෙනකොට එයාට දරුවෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නත් එක්කත් හරිම ආදරෙන් මම ජීවත් වුණා.

මගේ සංගීත ජීවිතේ හැම වැඩසටහනකදිම වික්ටර් මගේ පස්සෙන්ම ආවා. ඊට පස්සේ මමත් එයාව ගායකයෙක් කරන්න ගොඩාක් උදව් කළා. එයා රේඩියේ සිලෝන් එකේ හිටියට ගායකයෙක් වෙන්න උනන්දුවක් තිබුණ කෙනෙක් නොවෙයි. කවදාවත් පැන පැන කිසිම දේකට යන්නේ නෑ. එයාට හරිම ලස්සන කටහඬක් තිබුණා. පස්සේ අනෝජා නංගි රඟපෑව නිෂ්පාදනය කළ ‘ඔබට රහසක් කියන්නම්’ චිත්‍රපටයේ මමයි, එච්.ආර්.ජෝතිපාලයි සින්දු කියන්න හිටියා. නමුත් ජෝති අයියට හොඳටෝම අසනීප වුණා. ඒ වෙලාවේ අනෝජා නංගියි, සරත් ද අල්විසුයි, සුනිල්සෝම අයියයි වික්ටර්ව දාලා සින්දු කියවමු කියලා යෝජනා කළා. වික්ටර් බෑ කියලා දිව්වා. අන්තිමේ අනෝජා අතින් ඇඳගෙන ඇවිත් බලෙන්ම කියව ගත්තා. ඒකට සින්දු 6ක් ද කොහෙද කිව්වා. එදායින් පස්සේ චිත්‍රපට 50ක විතර සින්දු කියල තියෙනවා. ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක, සනත් ගුණතිලක වැනි අයට ඔහු බැක් ග්‍රවුන්ඩි සින්ග් කළා.

වික්ටර්ට හරියට කේන්ති යනවා. ඒ අසාධාරණේ දුටුවම. එහෙම නැත්තම් එයා හරිම සන්සුන් පුද්ගලයෙක්. ඔහු ස්වාමියෙක් විදියට හරිම හොඳ කෙනෙක්. හරිම සහයෝගයෙන් අපි දෙන්නා ජීවත් වුණා. එයා වගේ ස්්වාමියෙක් ලබන්න මම හරිම වාසනාවන්ත වුණා. එයා මට ලෝකයක් වටින දරුවෝ දෙන්නෙක් දුන්නා. තාත්ත කෙනෙක් විදියට දරුවන්ට උගන්වල දරුවෝ යහපත් විදියට සමාජයේ වගේම කලාවෙත් නියුතු වෙනවා ඔහු බොහොම සතුටින් බලාගෙන හිටියා. දරුවන්ට හරිම ආදරණීය පියෙක්. මිණිපිරියෝ තුන්දෙනෙකුයි මුනුපුරෙකුගෙයි ආදරේ වින්ද සීය කෙනෙක් වික්ටර්.”

වික්ටර් සිය ජීවිතයේ විවිධ අවධි සතුටින් ගත කළ තැනැත්තෙකි. මිය යන විට ඔහු 77 වැනි වියේ පසුවූවේය. වික්ටර් උපතින් කළුබෝවිල හැදූ වැඩුණෙක් වූ අතර වික්ටර් ගේ මව කොට්ටාව ප්‍රදේශයේ අයෙකි. වික්ටර් ගේ පියා දකුණේ අයකු වූවද ඔවුන් දන්නා දවසේ සිට පදිංචි වූයේ කළුබෝවිලය. වික්ටර් සිය පළමු විවාහය සිදු කරනුයේ ද සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ පවුලකිනි. ඒ ආචාර්ය ලයනල් එදිරිසිංහයන්ගේ දියණිය සමඟය. එසේම මුත්තුසාමි මාස්ටර් විවාහ වී සිටියේ වික්ටර් ගේ නැගණිය සමඟය. (නීලියා)

ජීවිතේ සැඳෑ සමය වික්ටර් ගත කර ඇත්තේ ඉතාමත්ම නිදහස්වය. කොටින්ම කිවහොත් ඔහු බෙහෙවින් ආදරය කළ ‘ෂෙනායි’ වාදනය ද නවතා දැමුවේය. සින්දු කීමද නවතා දැමුවේය. ඔහු වඩාත් සතුටු වූයේ තම පවුලේ දූ දරු මිනිබිරියන්, මුනුපුරන් සමඟ කාලය ගත කිරීමටය.

“ඇත්තටම මට හිතෙනවා අනේ ඇඳේ හරි වික්ටර් හිටියා නම් කියලා. ඒ කටහඬ ඇහෙන කොට මට ලැබෙන ශක්තිය, ධෛර්යය කොච්චර ද කියන්න බෑ. මම එයාව ආදරෙන් බලාගත්තා. එයා මට කිව්වා ‘මම ඉස්සර වුණොත් කරන්න දෙයක් නෑ. ඔයා ඉස්සර වුණොත් ඔයාගේ මිනිය පිච්චිලා ඉවර වෙනකම් මම සොහොනෙ ඉන්නවා. ඔයා දාල යන්නේ නෑ කියලා. ඉතින් අද ඒක වෙනස් වෙලා එයා මට ඉස්සරලා ගියා. මම ඒකට සින්දුවකුත් ලිව්වා.

 

 

සසර පුරා අත්වැල් බැඳ මා හා සැරිසරා

දුක සැප දෙක බෙදාගෙන සතුටින් සිටියා

මා හැරදා නොයන බවට පොරොන්දු වූ ඔයා

මටත් හොරා ඔබත් නොදැන නොඑන ගමන් ගියා

මතකද දවසක් කීවා මා මළ පසු යම් දා

නොයම් මගේ මැණිකෙ තනිකර

සොහොන් බිමේ දමලා

චිතකය නිවෙන තුරු ළඟ රැය පහන්කරමි කියලා

කියූ ඔයා මටත් හොරෙන් හොර රහසෙම ගියා.

ඔබත් මමත් දරු සෙනෙහස සොයා ඉගිල්ලා

මුහුදු හතෙන් එහා ගිය සෙනෙහෙ දෝරෙ ගලා

පුතු පැද වූ යානයෙ සතුටින් ඉගිළී ගියා

සෑයෙ දැවුණු අළු ගෙනාවෙ තනියට මගෙ දා

කවද කොතැන සසරේ මතු මුණ ගැසෙන තුරා

දෑස් අයා බලා සිටිමි ඔබෙ රුව දකින තුරා

නිසැකයි නිවන් දොර අභියස ඔබ සිටිතැයි කියා

මා අත් හරිනු මැන පිනකද ඔබෙ පින වැඩි නිසා

ඔහුට නිවන් මඟ සාක්ෂාත් වේවා!

ඒ ඇගේ ප්‍රාර්ථනයයි.

 

 

 

සේයාරූ - තිලක් පෙරේරා