හින්දි නිවේදිකාවක් ලෙස මගේ ජනප්‍රියත්වය ලංකාවට සීමාවෙලා නෑ

ගුවන්විදුලි හා ස්වාධීන රූපවාහිනී හින්දි නිවේදිකා වරුණි උත්පලා
ඔක්තෝබර් 13, 2022

 

 

අපොස උසස්පෙළ විභාගයට හින්දි භාෂාව විෂයක් ලෙස හැදෑරූ ඇයට එම විෂය සඳහා ඒ සාමාර්ථ්‍යයක් හිමි විය. ඒ නිසාම එම භාෂාවට පෙම්බැඳීම ඇරඹී ඈ අද හින්දි භාෂාවේ ප්‍රවීණයකු සේම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයේ ශ්‍රාවකයන් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය නිවේදිකාවකි.

ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සෑම ඉරිදාකම උදේ 8.30ට විකාශය වන ‘රිදම් ඔෆ් ඉන්දියා’ වැඩසටහන තුළින් හා ගුවන් විදුලියේ ඒෂියා හින්දි සර්විස් වැඩසටහනේ සෑම සතියකම දවස් හත පුරාම උදේ 6.00 සිට 8.00 දක්වා විකාශය කෙරෙන හින්දි ගීත වැඩසටහනේ හින්දි නිවේදකවරිය වන්නේ ද ඇයයි.

දේශීය මෙන්ම විදේශීය ශ්‍රාවකයන්ගේ ආදරයට පාත්‍ර වූ ඈ වරුණි උත්පලා ය.

 

වරුණි මේ දවස් වල මොනවගේ කාර්යභාරයක ද යෙදිල ඉන්නේ?

ගුවන් විදුලි සංස්ථාවේ වගේම ස්වාධීන රූපවාහිනී නාළිකාවේ හින්දි නිවේදිකාවක් වශයෙන් කටයුතු කරනවා.

 

ඔබ පේ‍්‍රක්ෂකයන් අතරට වගේම ශ්‍රාවකයන් අතරටත් එක්වන්නේ මොන වැඩසටහන් ඔස්සේ ද?

අයි.ටී.එන්. එකේ සෑම ඉරිදාකම උදේ 8.30ට විකාශය වන ‘රිදම් ඔෆ් ඉන්දියා’ නමැති භාරත ගී වින්දන වැඩසටහනේ නිවේදිකාව ලෙසිනුත්. ගුවන් විදුලි සංස්ථාවෙන් විකාශය කරන ඒෂියා හින්දි සර්විස් වැඩසටහනෙත් මම හින්දි නිවේදිකාව ලෙසින් කටයුතු කරනවා.

ඔබ නිවේදිකාවක් ලෙස මාධ්‍යයට එක්වන්නේ?

2007 වසරේ මැක්ස් ටී.වී. නාලිකාව ඔස්සේ තමයි මගේ නිවේදන වෘත්තිය ඇරඹෙන්නේ. මැක්ස් ටී.වී. වල විකාශය වූ රිදම් ඔෆ් ඉන්දියා වැඩසටහනේ හින්දි නිවේදිකාව වුණේ මම.

 

මැක්ස් ටී.වී නාලිකාවේ හිටිය ඔබ අයි.ටී.එන් නාලිකාවට එක්වන්නේ?

ස්වාධීන රූපවාහිනියේ භාරත ගී වින්දන නිෂ්පාදනය කළ සුනිල් පේ‍්‍රමරත්න මහතා මැක්ස් ටී.වී එකේ මම වැඩසටහන ඉදිිරිපත් කරන ආකාරය දැකල මට ආරාධනා කළා. අයි.ටී.එන්. එකට එන්න කියලා. ඒ දවස්වල ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා වූයේ රොස්මන්ඩ් සේනාරත්න මහතා. එතුමාත් මාව ගන්න සම්මුඛ පරීක්ෂණයේ පරීක්ෂකයකු ලෙස කටයුතු කරනු ලැබුවා. ස්වාධීන රූපවාහිනියට මා සම්බන්ධ වුණේ 2011 වසරේදී පමණ එදා ස්වාධීන රූපවාහිනියේ ජ්‍යේෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකයකු වූ සුනිල් පේ‍්‍රමරත්න මහතා නිෂ්පාදනය කළ භාරත ගී වින්දන වැඩසටහනේ හින්දි නිවේදිකාව ලෙස තමයි මට කටයුතු කරන්න ලැබුණේ. රූපවාහිනි පේ‍්‍රක්ෂකයන් අතර මාව වඩාත් ජනප්‍රිය වුණේ භාරත ගී වින්දන වැඩසටහනත් සමඟ

 

වරුණි ගුවන් විදුලියටත් නිවේිදිකාවක් ලෙස එක්වන්නේ හින්දි භාෂා නිවේදිකාවක් ලෙසින් නේද?

ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක් වූ ජෝති පරමාර් මහත්මිය තමයි මගේ නිවේදන කතා විලාසය දැකල ගුවන් විදුලියට එන්නට මට ආරාධනා කරන්නේ. 2012 වසරේ දී මම ගුවන් විදුලියේ ඒෂියා හින්දි සර්විස් හී හින්දි නිවේදිකාවක් ලෙස කටයුතු කිරීම අරඹනවා. 1952 වසරේ දී පමණ ආරම්භ කරපු පැරණි වැඩසටහනක් තමයි මේ ඉදිරියට කරගෙන එන්නේ. මේ වැඩසටහන ඉදිරිපත් කිරිමේදී සම්පුර්ණයෙන්ම අපි කථා කරන්නේ හින්දි භාෂාවෙන්. ඒකයි මෙතන තියන විශේෂත්වය. සිංහල භාෂාව මෙතනදි භාවිතා වන්නේම නැහැ.

 

ඒෂියා හින්දි සර්විස් නිසා ඔබ විදේශ රටවල ජනපි‍්‍රය චරිතයක්?

ඉන්දියානු, පාකිස්තානු, නේපාල ජාතිකයන් අති බහුතරයක් අපේ ශ්‍රාවකයෝ අමෙරිකාවේ වෙසෙන ඉන්දියානු ජාතිකයෝ පාකිස්තානු ජාතිකයෝ පවා අපේ ශ්‍රාවකයෝ මේ අයගෙන් අපේ වැඩසටහනට තියෙන්නේ පුදුම ඉල්ලුමක්. අපේ රටේ ක්‍රිකට් හැරුණහම මේ මෑතකදී භාරතයේ ජනපි‍්‍රය වූ අපේ යොහානි ද සිල්වා ඇරෙන්න වෙන කිසිම අපේ නළුවෙක් නිළියක් ගායකයෙක් ගායිකාවක් ගැන මේ කවුරුවත් දන්නේ නැහැ. ඒත් තියන විශේෂත්වය නිවේදිකාවක් හැටියට අපිව ඒ අය දැන හඳුනා ගෙන තිබීම සමහර අපේ රසික ශ්‍රාවකයන් මේරටට ඇවිත් අපිව හමුවෙලා යන අවස්ථා තියෙනවා. අපිට තෑගි භෝග රැගෙන එන අවස්ථා තියෙනවා. පුදුම පිළිගැනීමක් අපිට තියෙන්නේ. ලංකාවේ හින්දි භාෂා නිවේදකයන් හැටියට.

ඒෂියා හින්දි සර්විස් ඔස්සේ ඔබෙන් ශ්‍රාවකයන් මොනවගේ දේවල් ද ඉල්ලා සිටින්නේ?

සෑම සතියකම දවස් හතේම උදේ හයේ සිට අට දක්වා විකාශය වෙන මෙම වැඩසටහන පුරාවට අපෙන් ඉල්ලා සිටින්නේ පැරණි හින්දි ගීත ඉන්දියාවේ පවා නැති හින්දි පැරණි ගීත අපේ ගුවන් විදුලි සංස්ථාවේ තැටි ගබඩාවේ තියෙනවා.

 

වරුණී හින්දි නිවේදිකාවක් පමණක් වෙලා ද?

හින්දි භාෂාවෙන් වැඩ කටයුතු කරන නිවේදක නිවේදිකාවන්ගේ ලොකු අඩුවක් තියෙනවා. ඒ නිසාම මට තියන හින්දි දැනුම භාෂාව හැසිරවීමේ තියුණු චතුර විලාසය නිසාවෙන් ඒ වැඩසටහන් නිෂ්පාදකයෝ වුණත් අපිව විශේෂිත කොට ඔවුන්ගේ විශේෂිත වැඩසටහන් වලට පමණක් සම්බන්ධකර ගැනීමට පෙලඹී සිටිනවා. මම වුණාත් ලොකු උත්සාහයක් ගත්තේ නෑ. ඒ කොටුවීම තුළින් එළියට යන්න.

 

හින්දි භාෂාවෙන් කටයුතු කරන නිවේදිකාවක් පමණක් වෙලා කියලද වරුණි කියන්නේ?

එහෙමත් නෑ. සිටි එෆ්.එම්. වෙළෙඳ සේවයෙන් මම වැඩසටහන් ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. අදටත්, ඒත් මගේ පුර්ණ දායකත්වය හින්දි වැඩසටහන් වෙනුවෙන්, අඟහරුවාදා උදේ 8.30ට වෙළෙඳ සේවයේ විකාශය වන ගීත භාණ්ඩාගාරය සඳහාත් මම නිවේදිකාවක් ලෙස දායක වෙනවා.

 

හිින්දි විෂයට ඒ සාමාර්ථ්‍යයක් ගන්නා ඔබ පාසල් අධ්‍යාපනයත් සමඟම හින්දි භාෂාවට පෙම් කරනවාද?

හින්දි භාෂාව පිළිබඳ බොහෝ ගුරුවරුන් යටතේ මා අධ්‍යාපනය හැදැරුවත් හින්දි භාෂාවේ අයනු ආයනු මට කියා දුන්නේ සමන්මලී අබේවික්‍රම ගුරුතුමියයි. කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ මම අධ්‍යාපනය හැදෑරුවා. ඒ වගේම පාසල් අධ්‍යාපනය අවසන් කළාට පස්සේ පාසලේම උසස් පෙළ දරුවන්ට මම හින්දි භාෂාව ඉගැන්නුවා. ස්වේච්ඡා ගුරුවරියක් ලෙසට. කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙත් මම පෞද්ගලිකව ගුරුවරියක් ලෙසින් දරුවන්ට හින්දි භාෂාව ඉගැන්නුවා. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ එහි ස්වෙච්ඡා ගුරුවරියක් ලෙස කටයුතු කරන අවධියේ මට ඉන්දියාවේ වසර දෙකක ශිෂ්‍යත්වයක් ලැබී වැඩිදුර හින්දි භාෂාව හැදෑරීමක් කළා. ඉන්දියාවේ අග්‍රාවල.

 

ඉන්දියාවේ ශිෂ්‍යත්වයක් ලැබු ඔබ එහිදී ලබාගත්ත දැනුම කොයි ආකාරයෙන් සමාජ ගත කරන්න උත්සාහයක් ද ගත්තේ?

හින්දි භාෂාව හැදෑරීම තුළ ලබාගත් දැනුමෙන් යමක් කළ යුතුයි කියන අදහසේ මම හිටියා. ඒ නිසා මම නිවේදන කටයුතු වගේම හින්දි භාෂාව ඉගැන්වීමේ ගුරුවෘත්තිය තෝරාගනු ලැබුවා. ඒ අනුව නුගේගොඩ ගුරුකුල් හින්දි භාෂා මධ්‍යස්ථානය මම ආරම්භ කළා. උසස් පෙළ හදාරන පාසල් ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව හින්දි භාෂාව ඉගෙන ගන්න කැමැති ව්‍යාපාරික ප්‍රජාවට මම ගුරුකුල් මධ්‍යස්ථානය හරහා දැනුම ලබා දෙනවා

 

හින්දි භාෂාව ඉගෙනගත් පමණින් ඔබ නිවේදිකාවක් වුණාද?

මට මැක්ස් ටී.වී. නාළිකාවට නිවේදිකාවක් හැටියට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ මගේ යාළුවෙකු මාර්ගයෙන්. මේ ආයතනයට සම්බන්ධ වෙන්න කලින් මම හින්දි භාෂාවෙන් ප්‍රසංග කලාවේ නිවේදන කටයුතු කරල තිබුණා. මැක්ස් ආයතනයේ මුලින්ම නිවේිදිකාවක් ලෙස මම කටයුතු කරන්න ලැබුණේත් රිදම් ඔෆ් ඉන්දියා වැඩසටහන. පාකිස්තානයේ, ඉන්දියාවේ අසනන්නන් අතර ගුවන් විදුලියේ ඒෂියා හින්දි සර්විස් අතිශයින් ජනපි‍්‍රයයි. ඒ අයගේ විකාශය වන වැඩසටහන් වලට වඩා අපේ වැඩසටහනට ඒ අය වැඩි කැමැත්තක් දක්වනවා. 1952 අපිත් එක්ක එකතු වෙච්ච රසිකයෝ වගේම වර්තමානයේ අපිත් එක්ක එකතු වූ රසිකයෝ බොහොමයක් අදටත් අපිට ඉදීම ලොකු සතුටක්. නිවේදකයෝ ලෙස විදේ්ශිකයන් අතර අපි ජනපි‍්‍රයත්වයක් ලබා තිබීමත් තව පැත්තකින් අපිට සතුටට කාරණයක්. ඒ රටවල රේඩියෝ ප්‍රෝග්‍රෑම් සමහර අවස්ථාවලදී අපේ විකාශනයන් කොපි කරල කරන අවස්ථාත් තියෙනවා අපේ ප්‍රෝගෑම් එකට තියන ජනපි‍්‍රයත්වය නිසා.

 

ඒ රටවලටවත් නැති සම්පතක් අපේ ගුවන් විදුලියට ලැබුණේ කොහොමද?

දකුණු ආසියාවේ පළමු රේඩියෝ ස්ටේෂන් එක වූ අපේ ගුවන් විදුලි සංස්ථාව එදා රේඩියෝ සිලෝන් කියල තමයි හැඳින්වුවේ. ඒ රටවල ප්‍රෝග්‍රෑම් පටන් ගන්නත් කලින් ඉඳන් තමයි අපේ ගුවන් විදුලිය ඒ වැඩසටහන් පටන් අරන් තිබිල තියෙන්නේ. ඒ රටවල ඉන්න රසිකයන්ගේ රසිකත්වයට අවශ්‍ය වැඩසටහන් තමයි අපි විකාශය කරන්නේ අපිට ඕනෙ වැඩ සටහන් අපි දාන්නෑ. තිහේ දශකයේ හතළියේ දශකයේ සින්දු පවා අපි ළඟ තියෙනවා. රික්වෙස්ට් ප්‍රෝග්‍රැම්වලට ඒ රටවල රසිකයන්ගෙන් පුදුම කැමැත්තක් තියෙන්නේ. සමහර විට රසිකයන්ගේ ඉල්ලීම් අපිට කරදරයක් වෙන බොහෝ අවස්ථාත් තියෙනවා.

 

විදෙස් රසිකයන් මොන වගේ ගීත ද වැඩි වශයෙන් ඉල්ලන්නේ?

ලතා මංගේෂ්කාර්ගේ ගීත වලට වඩා ඔවුන් ඉල්ලන්නේ පැරණි ගීත සොහොරාබායි, අම්බාලේ වාලි, ශම් ශාද් බේගම්, අමීර් බායි කර්නාට කී, සුරෙයියා ආදී පැරණි ගායක ගායිකාවන් ගේ ගීත තමයි ඔවුන් ඉල්ලන්නේ.

 

විදෙස් රටවල ශ්‍රාවකයන් වැඩි පිරිසක් ඔබ වටා රොක්වෙලා ඉන්න අවධියක ලංකාවේ පේ‍්‍රක්ෂකයන් කොයි ආකාරයෙන් ද ඔබ වටා රොක්වෙලා ඉන්නේ?

මුලින්ම භාරත ගී වින්දන සඳහා අපිත් එක්ක එකතු වෙලා හිිටියේ වැඩිහිටි ප්‍රජාව. නමුත් රිදම් ඔෆ් ඉන්දියා වටා දැන් එකතු වෙලා ඉන්නේ වැඩිහිටියන්ට අමතරව තරුණ ප්‍රජාව විවිධ වයස් කාණ්ඩයේ අයත් දැන් අපිත් එක්ක ප්‍රේක්ෂක ප්‍රජාවක් ලෙස එකතු වී සිටීම ගැන සතුටුයි. භාරත ගී වින්දන අද නැතත් ඒ ගැන විමසීම් කරල දුරකතන ඇමතුම් එන අවස්ථාත් තියෙනවා.

 

හින්දි භාෂාවට මෙතරම් ඇලුම් කරන ඔබ පෙලඹුණේ කොහොමද?

කුඩා අවධියේ ඉඳලා මම හින්දි සින්දු අහන්න බොහොම පි‍්‍රය කළා. ගුවන් විදුලියෙන්ම තමයි ඒ අවස්ථාව ලැබුණේ. අයි.ටී.එන්. නාළිකාවේ ගිය හින්දි වැඩසටහන් චිත්‍රපට දැකල තමයි මේ ආශාව මා තුළ ඇති කළේ. මා තුළ හින්දි උන්මාදයක් ඇති කළ ගුවන් විදුලිය ස්වාධීන රූපවාහිනිය තුළම අද මට හින්දි නිවේදිකාවක් ලෙස වැඩ කරන්න ලැබීමත් මට හිතාගන්න බැරි දෙයක්. හින්දි නළු නිළියන්ට වඩා මම වඩාත් පි‍්‍රය කළේ හින්දි ගීත වලට හින්දි ගීත වලට පි‍්‍රයකරන්නියක් හින්දි නළු නිළියන්ට ආශ කරන කෙනෙක් ලෙස මම කටයුතු කළත් තවම හින්දි නළුවෙක් නිළියක් ගායක ගායිකාවක් සමඟ නිවේදිකාවක් ලෙස සමීපව කටයුතු කරන්නට මට තවම අවස්ථාවක් නම් ලැබිල නෑ.

 

පේ‍්‍රක්ෂක ප්‍රතිචාර අද ඔබට කරදරයක්ද?

අපේ දේශීය පේ‍්‍රක්ෂකයන්ගෙන් නම් මගේ පෞද්ගලිකත්වයට තියෙන්නේ ලොකු කරදරයක්.

 

හින්දි භාෂා නිවේදිකාවක් ලෙස ඔබ වෙත ඇගැයීම් සම්මානත් ලැබිල ඇති.

පාකිස්තානයෙන් ප්‍රේක්ෂක ඇගැයීම් සම්මානයක් ලැබුණා. එහෙ ගුවන් විදුලි අසන්නන්ගේ සංගමය මඟින් සංවිධානය කළ උලෙළකදී.

 

නිවේදිකාවක් ලෙස ඔබ පැමිණි ගමන් මඟ ගැන ආපසු හැරිල බලනකොට මොකද හිතෙන්නේ?

ආපු ගමන ගැන සතුටුයි. මම හින්දි භාෂාව පිළිබඳ ලබාගත් දැනුම අන්අයට මම බෙදා දීලා තියෙනවා. මගේ ගුරුකුල් ආයතනය හරහා මම ඒ දේ හොඳින් කරපු කෙනෙක්. මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගුරුවරියක් ලෙසත් මම ඒ දැනුම ලබාදීලා තියෙනවා. නිවේදක නිවේදිකාවන් පුහුණු කිරීමේදී වුණත් මම ප්‍රායෝගිකව ඒ අයට නිවේදන කටයුතු සිදුකරන්න අවස්ථාව ලබාදෙමින් ඔවුන්ව පුහුණු කිරීම සිද්ධ කරනවා. භාෂා දැනුම ලබාදෙනවාට අමතරව. නිවේදනය, සංගීතය, නැටුම් අංශවලින් පවා අපි දැනුම ලබා දෙනවා. අපේ ආයතනය හරහා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ උදව් ඇතුව තමයි අපි ප්‍රසංග සංවිධානය කරන්නෙත්.

 

හින්දි භාෂාවටත් අද අපේ රටේ වැඩි ඉල්ලුමක් ඇතිවෙමින් පවතිනවා නේද?

ලෝකයේ වැඩියෙන්ම කතාකරන භාෂාව ඉංගී‍්‍රසි. දෙවනුව චීන භාෂාව අද තුන්වෙනුව වැඩිම ජනගහණයක් භාවිතා කරන භාෂාව හින්දි. මේ වෙනකොට හින්දි භාෂාව කතාකරන බොහෝ පිරිස් වෙත ලෝකයේ රැකී රක්ෂා විවෘත වෙලා තියෙනවා. ඒ නිසා අද මේ භාෂාව හදාරන අපේ රටේ ප්‍රජාවත් වැඩිවෙලා තියෙනවා. සිංහල භාෂාවට මේ භාෂාව බොහෝ සමීප කමක් තියෙනවා. සිංහලෙන් හින්දි භාෂාව ඉගෙන ගැනීමත් හරි පහසුයි. ඉංගී‍්‍රසි භාෂාවෙන් හින්දි ඉගෙන ගන්නවාට වඩා.

 

හින්දි චිත්‍රපට කතා පරිවර්තනය කරන්නියක් ලෙසත් ඔබ කටයුතු කරනවා නේද?

හින්දි චිත්‍රපට කීපයකම කථා මම සිංහලයට පරිවර්තනය කරපු අවස්ථා කීපයක්ම තිබුණා. රාම්ලීලා, රාසි ක්ලව්ස් ඔෆ් බොම්බෙ වැනි චිත්‍රපට බොහොමයක කථාව මම සිංහලයට පරිවර්තනය කළා.

 

ඔබ හින්දි ගීත රසිකාවක් වගේම හින්දි ග්‍රන්ථ කර්තෘවරියක්.

මේ වෙනකොට හින්දි භාෂාවෙන් ගීත කීපයක් රචනා කරලත් තියෙනවා. එවැනි ගීත කීපයක් මේ වන විට ඉන්දියාවට පවා මම යොමුකරල තියෙනවා. හින්දි භාෂාවෙන් ලියපු කෙටි කතා එකතුවක් මම සිංහලයට පරිවර්තනය කරල කෙටි කතා එකතුවක් ලෙස පොතක් එළි දක්වන්නත් මේ වන විට කටයුතු කරමින් ඉන්නේ. සිනමා පුවත් පතක් ලෙස එළි දැක්වූ සිනේස් පුවත්පතෙත් ලේඛිකාවක් ලෙස මට කටයුතු කරන්නත් අවස්ථාව ලැබී තිබුණා.

 

හින්දි නිවේදිකාවක් වීම ගැන ඔබ අද තෘප්තිමත්ද?

මම ආපු ගමන තුළ තියෙන්නේ අභියෝග.ඒ අභියෝග ජයගෙන ආපු ගමනක් මට තියෙන්නේ. කාගෙන්වත් පස්සේ ගිහින් එකිනෙකාගේ කීම් අනුව ලබාගත් වෘත්තියක් නොවෙයි මම කරන්නේ මගේ දක්ෂතා වලින් මගේ අධ්‍යාපන සුදුසුකම් මත ලැබුණු රැකියාවක් තමයි මම කරන්නේ. ඒ ගැන අභිමානයක් මට තියෙනවා. හැඳුනුම්කම් මත ආපු ගමනක් මට නෑ. මම ලැබුව අධ්‍යාපනයට මට සමාජ තත්ත්වයක් ලැබුණා මිසක්. නුසුදුසුකමක් සුදුසුකමක් ලෙස සලකා මම කවදාමත් තනතුරු අරගෙනත් නෑ. වැඩසටහන් හොයාගෙන ගිහිල්ලත් නෑ. මට ලැබුණ දේ සතුටින් කළා. එදත් අදත් හෙටත් මට කොන්ද කෙළින් තියන් ගමනක් යන්න පුළුවන් කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව. ඒ ගැන මට තියෙන්නේ අප්‍රමාණ සතුටක්.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න