මට කවදාවත් ග්‍රේෂන් ආනන්ද වෙන්න බෑ

ජනප්‍රිය යොවුන් ගායන ශිල්පී මරියෝ ආනන්ද
ඔක්තෝබර් 6, 2022

 

“මට පොරොන්දු වෙන්න කවදාවත්ම මත්පැන් බොන්නෙ නෑ කියලා..”

ඔහු කුඩා දරුවෙකුගෙන් ඉල්ලීමක් කරයි. කුඩා දරුවා ඔහුගේ සුරතල් දෑත මාරියෝ ගේ හිස මත තබා මත්පැන් නොබොන බවට සපථ කරයි.

“මට පොරොන්දු වෙන්න කවදාවත්ම සුරා සූදුවට යොමු වෙන්නේ නෑ කියලා....කුඩා දරුවා යළිත් සිය දෙඅත මරියෝ හිස මත තබයි.

පොරොන්දු කැඩුවොත් මොකද වෙන්නේ? මරියෝ ගෙන්ම ප්‍රශ්නයක්...

‘මරියෝ මැරෙනවා....

අනුන් වෙනුවෙන් මැරෙන්න වුවත් කැමැති මේ මාරියෝ කවුද? එහෙම මිනිස්සු වර්තමාන සමාජයේ ඉන්නවා ද? ඔබ සැමටත් ප්‍රශ්නයක් මතුවෙයි.

ඒත් මේ මරියෝ එහෙම තමයි. කවුද මේ මරියෝ ඔහු අපේ රටේ කලා ක්ෂේත්‍රයේ අති දක්ෂයකුගේ ජාන රැගෙන මෙලොවට පැමිණියෙක්. කෙටිකාලයක් තුළ දිගු කාලයක් කතා කළ හැකි නිර්මාණ ගොන්නකට හිමිකාරිත්වය දී නිහඬව සමුගත් ශ්‍රේෂන් ආනන්ද නම් වූ ආදරණීය ගායන ශිල්පියාගේ ආදරණීය පුත් මරියෝ ආනන්ද.

 

වර්තමාන සංගීත ක්ෂේත්‍රය තුළ ගායකයකු සංගීතඥයකු ලෙස දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තරව ද ඔහු සිය අනන්‍යතාවය මේ වනවිට තහවුරු කරගෙන හමාරයි. පසුගිය දිනක ඔහු මට හමුවූයේ ක්‍රීඩාව සඳහා මෙරට දරුවන් වැඩි වැඩියෙන් යොමුකර ලීමේ අභිප්‍රායෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘති රැසක නියුක්ත වෙමින් සිටියදී. එහි ආසන්නතම ක්‍රියාවලිය වූයේ ‘වූෂු‘ ක්‍රීඩාව ප්‍රවර්ධනය කරලීමේ අභිප්‍රායෙන් ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතය ජනගත කරලීමයි. උරුමයෙන් ලද සංගීත ක්ෂේත්‍රය පුරා සිය දක්ෂතා විහිදුවාලමින් සරල, සුගම ගමනකින් සිය හැකියාවන් ප්‍රදර්ශනයටත්, ආර්ථික තත්ත්වය නංවා ගැනීමටත් පහසුවෙන්ම හැකියාව තිබියදී ඔහු මේ ගෙනයන දුෂ්කර ව්‍යායාමය කා වෙනුවෙන්ද? ඔහුට අවශ්‍ය මතින් තොර රටක්. මතින් තොර තරුණ පරපුරක්. හැකියාවන්, දක්ෂතා ඇති අනාගත අභියෝග පහසුවෙන් ජයගත හැකි ආදරය, සෙනෙහස, මනුස්සකම හඳුනන, සංවේදී අනාගත පරපුරක්. එවන් පරපුරක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩාවෙන් ලැබෙන උපකාරය අති මහත්. මාරියෝලගේ මේ උත්සාහය ඒ වෙනුවෙනි.

 

මෙවර ඔබ අතින් නිර්මාණය වෙන්නේ ‘වූෂු’ ක්‍රීඩාව සම්බන්ධ ගීතයක්. කොහොමද මේක නිර්මාණය වෙන්නේ?

මගේ ජීවිතේ වෙනත් සම වයසේ තරුණයන්ගේ ජීවිත එක්ක බැලුවම ටිකක් වෙනස්. මම කිසියම් නිර්මාණයක් කරල හිතට ගතට වෙහෙස වුණාම ටිකක් නිස්කලංක වෙන්න ඕන. පහුගිය අපේ‍්‍රල් වල ඒ වගේ නිස්කලංක වෙන්න මම බුත්තල ගියා. ඒ ගියාම මගෙන් ඉගෙන ගන්න බොහෝ ළමයි එනවා. මුලින් ක්‍රීඩා ඉගෙන ගන්න, ගිටාර් ගහන්න, සංගීතය ඉගෙන ගන්න හුඟාක් ළමයි ආවා. ටික දවසකින් ඒ ඔක්කොම එකා දෙන්න හැලිල එක ළමයෙක් අන්තිමට ඉතිරි වුණා. එයාගේ නම ‘හිමංස’ එයාට අවුරුදු 7 - 8 ක් විතර ඇති. පොඩ්ඩක් විතර ඉස්කෝලේ යන්න කම්මැළියි. කට්ටි පනිනවා. ඒක ඒ පැත්තේ ළමයින්ගේ සාමාන්‍ය විදියක්. එයට අමතරව සල්ලිවලට පංච ගහන්න යනවා. එයා ඒ වැඩේට හරි දක්ෂයි. රුපියල් 30ක් අරන් ගිහින් 500ක් අරන් එන්න දක්ෂයි. එච්චර පොඩි කාලෙදි එයා ඒකට ඇබ්බැහි වෙලා. එයා මං ගාවට ඇවිත් ‘වූෂු‘ ක්‍රීඩාව ඉගෙන ගන්න පටන් ගත්තා. ඒක කරත්දි එයා හරිම උනන්දුවෙන් ඒක ඉගෙන ගත්තා. මට ඕනකම තිබුණා ඔහුව කොළඹ ගෙනත්. හොඳ ඉස්කෝලෙට දාල උගන්නන්න. ඒ හීනෙ තමයි මට ‘වූෂු‘ ගීතයක් කරන්න තැනට වැඩ සැලැස්සුවේ. මට ඕනකම තිබුණේ ඒ ගීතයේ විෂුවල් හිමංස දාල කරන්න. අවාසනාවකට ඒ ගම්වල තිබෙන විවිධ ප්‍රශ්නත් එක්ක මේ වැඩේට සහභාගි කර ගන්න බැරිවුණා. නමුත් මේ සින්දුව පුරාම තියෙන්නේ හිමංසගේ ක්‍රියාකාරකම්. එයාට ‘වූෂු‘ ප්‍රැක්ටිස් කරන්න පන්චින් බෑග්ස් නෑ. එයා පුරුදු වෙන්නේ කෙසෙල් බඩවලට ගහලා. කොහොම හරි මට ලොකු දුකක් තිබෙනවා. හිමංසව මේකට සම්බන්ධ කරගෙන කොළඹට ගේන්න බැරි වුණ එකට. අනිත් පැත්තෙන් මට හිතුණා හිමංස ඉපදිලා ඉන්නේ මට හීනයක් දෙන්නද කියලා. හිමංස නිසා තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. මම එයාව උස්සල තියන්න හැදුවට ඒකෙන් වුණේ මගේ ජීවිතේ ලස්සන වුණු එක. ගීතයට පෙර මම හිමංස ගැන පුංචි වාර්තා වැඩසටහනක් කළා. එතැන්දි මම හිමංසගෙන් පොරොන්දුවක් ගත්තා. පංච ගහන්න යන්න එපා. එහෙම කළොත් මම එයාට උගන්වනවා කියලා. හිමංස ඒ පොරොන්දුව මට දුන්නා. මේ ගීතය පුරාම 2030 කියන එක මම මෙන්ෂන් කරලා තියෙනවා. ඒකට හේතුව මම ආසයි මේ ළමයි 2030 වෙනවිට ප්‍රතිපත්තිගරුක පිරිසක් වෙනවාට.

 

වර්තමාන ආර්ථික, දේශපාලන, සමාජයීය තත්වයන් තුළ කලා නිර්මාණ එළි දකින්නෙත් හරිම අඩුවෙන්. හැබැයි ඔබට ඒක ප්‍රශ්නයක් වෙලා නෑ වගේ.

ඔව්... මේ වගේ කාලෙක මේක අභියෝගයක් තමයි. නමුත් මම හිතන්නේ නරක දේවල් ලෝකෙ කොයි වෙලෙත් සිද්ධ වෙනව කියලයි. නමුත් ධනාත්මකභාවය නැතිකරන්න අපට හේතුවක් නෑ. අපි අත්‍යවශ්‍ය දේ කළ යුත්තේ කරන්නම බැරි වෙලාවේ. පුළුවන් කාලෙදි කළ යුතු දේ කරන්න බැරි කාලෙදි කරල වැඩක් නෑ. ර්‍ථධඵඪබඪමඪබර අවශ්‍ය වෙන්නේ ව්ඥඨචබඪමඥ කාලෙදි මම දකින්නේ එහෙමයි. 2030 දි මෙහෙම වෙන්න ඕන කියල මම කිව්වට සමහරවිට අපිට ඒක 100%ක් සාර්ථක කර ගන්න බැරිවෙයි. නමුත් එහෙම පුළුවන් කියලා හිතලා පැරදුණත් මොකද?

 

අපි ඔබ දකින්නෙන් ශ්‍රේෂන් ආනන්දගේ පුතා විදියට. ඔබට ක්ෂේත්‍රයේ ආදරණීය ගමනක නියුතු වෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේ විදියේ දුෂ්කර ගමනක් යන්නේ?

මං පුංචි කාලේ ඉඳල ටිකක් වෙනස් විදිහට හිතන ළමයෙක්. හැමෝම දකුණට හැරෙත්දි මම වමට හැරෙන පොඩි ගතියක් තිබ්බා. ඒක උත්පත්තියෙන්ම මගේ හැටි. නිදහස් කියන කාරණාව තමයි මං හිතන්නේ ඉස්මතු වෙන්නේ. හැබැයි මෙතැනදි මම මගේ අම්මාටයි, තාත්තාටයි ගරු කරනවා. ඒ ගොල්ල ඒකට මට බලපෑම් කරන්න ආවේ නෑ. බුදුන් වහස්සේත් කිව්වනේ ජීවිතේ කියන්නේ මායාවක් කියල ඒකෙන් එළියට ගිහින් ජීවත් වෙනව කියන්නේ අතිශයින්ම අසීරු කාරණයක්. ශ්‍රේෂන් ආනන්දගේ පුතා වෙලා ඉන්නැද්දි ගායකකම පැත්තකට දාලා වෙන පැත්තකට යනව කියන්නේ හරි විශාල ප්‍රශ්නයක්. නමුත් අපේ තාත්තය අම්මයි එච්චරකට අපිට නිදහස දීලා හදල තියෙනවා. මගේ පුතා මං වගේ විය යුතුයි කියලා තාත්ත හිතුවේ නෑ. මම දන්න විදියට තාත්තගේ ජීවිතෙත් මේ නිදහස මේ විදියටම තිබුණා. තාත්තගේ ජීවිතේ යම් යම් අඩුපාඩු තිබුණා. ඒක වෙනම කතන්දරයක්. තාත්තාගේ ඒ නිදහස දැකපු හින්ද වෙන්නැති අපිත් මේ විදියට ජීවත් වෙන්නේ. අපි දැකල තියෙනව අපි දන්නවා නිදහස කියන්නේ මොකක්ද කියලා.

දැන් ඉන්න දරුවෝ දන්නේ නෑ සතුට කියන්නේ මොකක්ද කියලා. ඒ මොකද දුක් විඳල නැති නිසා. අපි පොඩි කාලෙ ඉඳලම දුක - සතුට කියන්නේ මොකක්ද කියල දන්නවා. දුක අපි අත් විඳල තියෙනවා. දුක කියන දේවල් ජීවිතේට ආවට අපි ඒක බරක් කර ගන්නේ නෑ. ඒකට ගරු කරනවා. නිර්මාණකාරයෙක් වෙන්න බෑ දුක් විඳලා නැත්නම්. පේ‍්‍රමය, විරහව, සතුට ඔය කොයි දේ ලියන්නත් දුක දැනගෙන සිටිය යුතුමයි.

 

ශ්‍රේෂන් ආනන්ද කියන ගායකයා බලාපොරොත්තු වෙන්න ඇති තමන්ගේ පුතා සංගීත ක්ෂේත්‍රයේ ඉහළට යනවා දකින්න. හැබැයි ඒක දකින්න අද ඔහු ඔබ ළඟ නෑ.

ඒ ගැන මට මෙහෙම හිතෙනවා. මට මං ගැන තිබෙන විශ්වාසෙට වඩා තාත්තා මං ගැන විශ්වාස කළා. තාත්තා ඉස්සර ඉඳන්ම කිව්වා මගේ වෙලාව එනකොට මම වැඩ කරයි කියලා. පොඩි කාලේ ඉඳල සංගීත පැත්ත ගැන මම එළවගෙන ගියේ නෑ. ඒ කාලේ තාත්තා කිව්වේ එයා යන පැත්තට එයාට යන්න දෙන්න කියලයි. දවසක යම්කිසි තැනකට එනවා. ඒක හෙමින් එයි කියලයි ඔහු කිව්වේ. ඒක මට හරි සැනසීමක්. මම මේ කරපු ගීතය කළේ මගේ ජීවිතේ කරන අවසන් ගීතය විදියට. ඒ තරම් ආදරෙන්. ඒක තාත්තා මටත් කලින් දැකල තියෙන්න ඇති.

 

ඔබ ශ්‍රේෂන් ආනන්දගේ පුතා කියන්න ආඩම්බරයි. හැබැයි ඔබ ඒ මත්තෙම නොසිටි කෙනෙක්. ඇයි ඒ ?

මම දන්නවා මට කවදාවත් ශ්‍රේෂන් ආනන්ද කෙනෙක් වෙන්න බැරි බව. එහෙනම් මම මගේ තාත්තගේ අම්මගේ බඩට ගිහින් එයා වෙලාම එන්න ඕන... කවදාවත් මට ශ්‍රේෂන් ආනන්ද කෙනෙක් වෙන්න බැරි, ඒකට එයා විඳපු අප්‍රමාණ දුක් කන්දරාව බලපානවාමයි, තාත්තා ලබපු අත්දැකීම්, ජීවිතේ දුක, සතුට, එයාගේ පවුල, දරුවෝ, බිරිඳ වගේම එයා ආශ්‍රය කරපු යහළු මිත්‍රයෝ, ජෝතිපාලත්, මිල්ටන් මල්ලවාරච්චි, ස්ටැන්ලි පීරිස්, සරත් දසනායක වැන්නෝ කොච්චර ද ඒ අයගේ අත්දැකීම්, ඒ කාලෙ තිබුණ තාක්ෂණය ඒව අද කෝ. ඒ හැම දෙයකින්ම තමයි ශ්‍රේෂන් ආනන්ද නිර්මාණය වුණේ. මම මුල ඉඳන්ම දැනගෙන හිටියා මම සිනමාවට ආපු කෙනෙක් නොවෙයි කියලා. මම ආවේ ස්ටේජ් එකට කියල මම දැනගෙන හිටියා.

 

තාත්තාගේ ගීත සහ නිර්මාණ ඔබලා සතුව ද තිබෙන්නේ?

අපි සතුව තාත්තා නිර්මාණය කරපු සහ පද රචනය කරපු ඒවා තිබෙනවා. අපිට පුළුවන් හැටියට ඒවා ආරක්ෂා කරනවා. තාත්තාගේ ගීත කියන්න මට අවස්ථාවක්, ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම මම ගායනාත් කරනවා. අනිත් අතට මේ ගීත ලෝකෙට දුන්න දේවල්. තව එහෙම ලියපු කරපු ගීත අහන්න අප්‍රමාණ තියනවා. තාත්තා ස්ටුඩියෝවල දී හදල දුන්න සමහර ගීත ගැන තාත්තාටවත් මතකයක් නෑ. ඒ දේවල් ගැන තාත්තගේ හිතේ තණ්හාවක් තිබුණේ නෑ. මමයි, මගේයි කියල දෙයක් ගැන හිතුවේ නෑ. එහෙම නොහිතපු ශ්‍රේෂන් ආනන්දගේ දේවල් ගැන අපි මොකටද වද වෙන්නේ. අපි සල්ලි විදයම් කරල ඉඩමක් ගත්තට අපි ජීවත්වෙලා ඉන්නකම් විතරනේ. මැරුණට පස්සේ ඒ මොකක්වත් වැඩක් නෑ. අන්න ඒ වගේ තමයි හැම දෙයක්ම.

 

ඔබ වැඩියෙන් කැමැති ඔබ ගායකයෙක් විදිහට හඳුන්වනවාටද? නැතිනම් සංගීතඥයෙක් ලෙස හඳුන්වනවාට ද?

මම කැමැතියි ගායකයෙක් විදිහට හඳුනගන්නවට. මොකද මට මගේ ගීත තියෙනවා. මිනිසෙක් අහගෙන සිටීමයි, කෙනෙක් ගායනය කිරීමයි කියන දෙක අතර ආත්මීය බැඳීමක් තිබෙනවා. ඒක මොකකටවත් සම කරන්න බෑ. සංගීත අධ්‍යක්ෂණයට වඩා මම ඒකට බෙහෙවින්ම ආස කරනවා.

 

දැන් ඔබලා ගෙවන ජීවිතේ කොයි වගේද?

මමත්, අම්මත්, අක්කාත් ඉතාම සරල ජීවිතයක් ගෙවනවා. ඒක විශ්වාසය මත ගොඩ නැඟුණු දෙයක්. අපි හරියට දෙවියන් අදහනවා. ඒක අපිට තාත්තා ගෙන්ම ආපු දෙයක්. අපිට මහලොකු බලාපොරොත්තු නෑ.

 

යෞවනයෙක් විදිහට ‘ප්‍රේමය’ ගැන දන්නේ කොහොමද?

මම දැනට ගෑනු ළමයි සෑහෙන ප්‍රමාණයකට ආදරය කරලා තිබෙනවා. මම ආදරය කරන්නේ කෙළින්ම විවාහ වෙන්නමයි. මම ඉපදිලා ඉන්නේ කිසියම් කාර්යභාරයක් කරන්න. දැන් මම මගේ ජීවිතය යම්කිසි බුද්ධි මට්ටමකට හදාගෙන තිබෙන්නේ. ඒක වෙනවනම් වෙයි. වෙන්නැත්නම් වෙන්නේ නෑ කියලා. මරියෝ ආනන්ද කියන කෙනා විවාහ වෙනව නම් හිසේ කෙස් ගසේ සිට නියපොත්ත දක්වා තේරුම් ගත්ත කෙනෙක් විය යුතුයි. නැතිනම් ඒ කාන්තාව සෑහෙන දුකක් විඳියි. ඒ දුක දෙන්න මම කැමැති නෑ.

 

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න