එක ළඟ මගේ චිත්‍රපට තුනක් තිරගත වීම ගැන සතුටුයි

ප්‍රවීණ රූපණවේදී ශ්‍යාම් ප්‍රනාන්දු
සැප්තැම්බර් 29, 2022

 

ලාංකික සිනමා කලාව තුළ වෘත්තීය භාවයක් නැතුව කොහොමද වෘත්තීය රංගන ශිල්පියෙක් කියල අපි කියන්නේ

 

ජීවිතයේ කලාව තරම් වටිනා දෙයක් තවත් නැහැයි කියා රංගනය සොයා ගෙන එන්නේ තම පියාට අයිති ඉඩම ද උකස්කර යි. දන්නා දේවල් අතර නොදන්නා දේවල් මොහුගේ බොහෝ ය. පොළොවෙ පයගහලා ඇවිදින මිනිසුන් අතර ගල් බොරලු තිබෙන බව හොඳීන් අවබෝධ කරගෙන ඔහු තම ගමන යන්නේ. මාවත ඉතා දුර බවත් මාවතේ වන වදුලු වලින් පිරිච්ච ස්වභාවය වැඩි නිසා. හෙළි පෙහෙළි කර ගනිමින් එන මාවතේ දිනක ඔහුට නොසිතූ පුද්ගලයකු හමු වන්නේ ය. ඒ වෙන කවුරුවත් නොවේ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ යි. ඉන්පසු ප්‍රසන්න විතානගේ සිනමාවට අපූර්ව දායාදයක් තිළිණ කරන්නේ ය. ඔහු ගැන දැන් අටුවා ටිකා, ටිප්පනි නැතුව සියලු දෙනාම කතා කරන්නේ ඔහුගේ රංගන කෞශල්‍ය ගැනයි. විවිධ ශානරයන් ඔස්සේ තම රංග පරාසයන් විහිදන ඔහු මේ දිනවල තිරගත වන සිනේමා සිනමාපටයේ ප්‍රක්ෂේපණ ක්‍රියාකරු ලෙසද, තව නොබෝ දිනයකින් තිරගතවීමට නියමිත ප්‍රාණ සිනමාපටයෙන් දැකගත හැකි ශ්‍යාම් ප්‍රනාන්දුයි.

 

ප්‍රාසංගික කලාව ගැන මොකද හිතන්නේ?

දැන් පවතින ආර්ථික වාතාවරණය අනුව ප්‍රේක්ෂකයන්ට එළියට යන්න අවස්ථාවක් අඩුවෙලා තියෙනවා. ප්‍රාසංගික කලාව රස විඳවිඳීන්නට ප්‍රේක්ෂකයාට යා ගැනීමට නොහැකි බාධා කිහිපයක් මතුවෙලා මේ වන විට ආර්ථික ප්‍රශ්නත් උග්‍රවෙලා.

විවිධ පැතිකඩ වැසි ගිහින්. රටේ පවතින වාතාවරණය තමයි ඒකට මූලිකම හේතු වෙලා තියෙන්නේ. සමහර විට සැබෑ ජීවිතයේ අපි දකිනවා දැන් එන්න එන්නම සියලු දෙනාම විවෘත පරිසරය වෙත ළඟා වෙන බව යි. ඒක අපට හොඳ ප්‍රවණතාවයක ලක්ෂණයක් ලෙසට දකින්න පුළුවන් වෙනවා. අවුරුදු තුනක් විතර මිනිස්සු කොවිඩ් එකත් එක්ක හිර වෙලා ඉඳලා ගිලීලා මේ වන විට සමාජ ජීවිතයක් සංස්කෘතියක් හොයන කාලයක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. ඒ වෙනුවෙන් මිනිස්සු මිල වැඩි වුණත් ඒ මුදල වියදම් කරන්න දැන් පැකිළෙන්නේ නැති වාතාවරණයකට ඇවිත් තියෙන්නවා. ඒක හොඳ වාතාවරණයක් ලෙස සලකන්න පුළුවන්ය. ලංකාවේ මෙවැනි ප්‍රශ්න තියෙද්දි මිනිස්සුන්ගෙ ජන ජීවිතයේ සැහැල්ලුවෙන්. හිතන්න පුළුවන් නම් හරිම වටිනවා. ලංකාවේ දැන් කලාව ගොඩ නගා ගැනීමට හැකි වෙන්නේ නිර්මාණ වේදීන්ගෙන් පැත්තෙන් නෙවෙයි. ප්‍රේක්ෂකයින්ට තමයි මේ නිර්මාණත් එක්ක බද්ධ වෙලා වැඩිම කාර්යභාරයක් දැන් ඉටු කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. කලාවක් පවත්වා ගැනීම හා කලාව ඉස්සරහට රැගෙනයාම තියෙන්නේ ඔවුන්ගේ අතේ කියනෙක මම අවිවාදයෙන් සඳහන් කරනවා .මේ වකවානුවකට හොඳම කාලය ලෙසද එය සැකසීමෙන් පවතින බවයි මම හිතන්නේ.

 

2017 වර්ෂයේ සිනේමා රූගත කිරීමට ප්‍රථම ඔබ සිනමාපට කීපයකට දායාද වුණා නේද?

2017 වර්ෂයේ මෙම සිනමා පටය රූගත කරන විට මම සිනමාපට දහයකට විතර රංගනයෙන් සම්බන්ධ වෙලා ඉවරයි. 2017 වර්ෂය රූප ගත කරපු මේ සිනමාපටයට ප්‍රදර්ශනයට අපට අවස්ථාවක් නොලැබුන හින්දා තමයි මේ සිනමාපටය 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ තිරගතවීමට අවස්ථා උදා වුණේ. හරියටම අවුරුදු පහකට පස්සේ තමයි මෙම සිනමාපටය තිරගත වෙන්නේ. අවුරුදු 5ක් තිස්සේ තිබුණ මෙම සිනමා සිනමාපටය තිරගත වෙනවා එක්කම මම කරපු අනිත් සිනමා පටත් දැන් තිරගත වීමට නියමිතයි. ඒ කියන්නේ ළඟදීම සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ ප්‍රාණ සිනමාපටයද තිරගත වෙනවා. මම දකිනවා එක පැත්තකින් ඒකෙ හොඳ පැත්තකුත් මොකද ළඟ ළඟම සිනමාපට සියල්ලම එනවා කියන්නේ නළුවකුට හොඳ ගති ලක්ෂණයක් මොකද ඔහුගේ නළු කාර්යභාරය හරි ආකාරයෙන්ම දැනගන්න පුළුවන් වෙනවා. විවිධ පරාසයන් ඔස්සේ. අනෙක පොන්නියින් සෙල්වන් චිත්‍රපටයත් හෙට තිරගත වෙනවා. එක ළඟ මගේ චිත්‍රපට තුනක් තිරගතවීම සතුªටක්.

 

සිනමාවේ කාර්මික ශිල්පියකු වන ප්‍රක්ෂේපණ ක්‍රියාකරුවකුගේ භූමිකාව නිරූපණය කරන ඔබ ඔහුගේ ප්‍රතිනිර්මාණය දැක්කේ කොහොමද ?

මෙහි පැති දෙකක් තියෙනවා. Projector  ඔපරේටර් කියන්නේ සිනමාව පැත්තෙන් ගත්තොත් කාර්මික අංශයට අයත් පුද්ගලයෙක්. හැබැයි මෙම චරිතය කතා කරන්නේ කාර්මික අංශය සම්බන්ධ ජනමාධ්‍ය හා මනුස්සයා සිනමාවේ නිර්මාණ ක්‍රියාවලියට එකතු වෙන හැටියි. විශේෂයෙන් කිවයුතුයි සිනමා කර්මාන්තයේ සිටින අයට වැඩිය කර්මාන්තයේ පිටිපස්සේ ඉන්න ශිල්පීන් හොඳ රචකයො ඉන්නවා නළු නිළියෝ ඉන්නවා. අපේ සිනමා ඉතිහාසයේ ගත්තද කාර්මික ශිල්පීන් හැටියට ක්ෂේත්‍රය තුළ ඉඳලා පසුවට රංගන ශිල්පීන් වුණු කට්ටිය. අපි අහල තියෙන විදිහට ගාමිණී ෆොන්සේකා මහත්මයා පවා තාක්ෂණ ශිල්පියෙක් හැටියට මුලින් සම්බන්ධ වෙලා තමයි සිනමාවේ සක්විති කියන නාමය බවට පරිවර්තනය වෙන්නෙ. අපි මෑතකදී ගත්තොත් මේ සිනමා පටයට සම්බන්ධ වෙන බිමල් ජයකොඩි මුලින් Sound Recorder  කෙනෙක් හැටියට ඉඳලා තමයි ඔහුගේ තියෙන පෞරුෂය රංගන දක්ෂතාවය නිසා තමයි ඉතාම හොඳ දක්ෂ නළුවකු බවට පත්වන්නේ. සිනේමා සිනමාපටයේ Projector  ක්‍රියාකරු සිනමාව ගැන හොඳ අධ්‍යයනය කරලා ඔහු සිනමාවේදීන්ටත් වැඩිය කොහොමද සිනමාව ඉදිරියට ගෙනයන්නේ කියලා හිතන තැනට පත්වන කෙනෙක්. ඔහු නිර්මාණය කරන පළමුවැනි චිත්‍රපටයත් එක්ක නිර්මාණකරුවෙක් හැටියට සමාජයෙන් හා සිනමාකරුවන් සමග ගැටෙන්න සිදු වන විට වෙන කරුණු කාරණා විඳීන්න වෙන විදිහ. ඔහු තමයි සිනමාව දුවන මැෂිම කිව්වොත් මම නිවැරදියි. ක්‍රියාකාරිත්වය අක්‍රිය වුණොත් සිනමාපටය නැරඹිය නොහැකි.

 

සිනමාවේ ඇනලොග් සහ ඩිජිටල් කරණය ගැන මොකද හිතෙන්නේ ?

මෙම චිත්‍රපටය පාදක කරගෙන පැති කීපයකින් මේ ගැන විස්තර කරන්න පුළුවන්. එක පැත්තකින් කිව්වොත් මේකේ සත්‍ය වශයෙන්ම සම්බන්ධ වෙනවා අපේ සිනමාවේ අතීතයට සම්බන්ධ වුණු ඇනලොග් සිනමාවේ ස්වර්ණමය යුගය ගොඩනඟපු රංගන ශිල්පීන් සමුහය කුත් මෙහි රංගනයෙන් නිරත වෙනවා. රොබින් ප්‍රනාන්දු, අයිරංගණී සේරසිංහ, ඩග්ලස් රණසිංහ වැනි ශිල්පීන්ගෙන් මෙම සිනමාපටයේ අතීතාවර්ජනය ජීවමානව පෙන්නුම් කරනවා.වර්තමානයේ තම කාර්යය සිදුකරන ඇනලොග් සහ ඩිජිටල් කරණය තුළින් රංගන ශිල්පීන් වැලකුත් ඉන්නවා. සිනමාවේ අනාගතයට දායාද කරපු මේඝ සූරියාරච්චි, නායනතාරා වැනි ශිල්පීන් ඩිජිටල්කරණය වැලඳගත් කොට්ඨාසය කුත් මෙයට දායකත්වය දෙනවා.ඇත්තටම ඔබ ඇහුව ප්‍රශ්නෙට මේ සියලු දේම සම්බන්ධ කරගෙන උත්තරයක් දෙනවනම් සිනමාව කියන්නේ තාක්ෂණයට සම්බන්ධ කාරණයක්ය. එය එක පසකින් කලාවක් වන අතර තාක්ෂණයට සම්බන්ධ කටයුත්තක්. කාලෙන් කාලෙට තාක්ෂණය වෙනස් වුණාට සිනමාව වෙනස් විදිහකට පියවරක් ඉස්සරහට යනවා. ඒත් විවිධ පුද්ගලයන්ට හිතන්න පුළුවන් ඉස්සරහට යනවද පස්සට යනවාද කියල විවාදාත්මක ලෙස .බොහෝ දුරට මෙහි සිදු වෙලා තියෙන්නේ තාක්ෂණය වෙනස් වීමත් සමඟ ලෝක සිනමාව ඉදිරියට ඒම පමණයි. ඒක Analog n Digital  ද කියන එක නෙවෙයි මෙතැන දී බැලිය යුතුවන්නේ සිනමාව ඉදිරියට එනවනං එක වැදගත් ය. මේ සිනමා පටයෙන් කතා කරන්නේ එක හැරවුම් ලක්ෂ්‍යයක් හරියටම ටර්නින් පොයින්ට් එකක් නැගටිව්වල ඉඳලා ඩිජිටල්කරණය වෙනකොට වෙච්ච වෙනස්කම්ය. ඒක සමාජයක් ඇතුළේ වෙන වෙනස්කම් හැටියටත් මේ තුළ කතා කරනවා. සමහර අයට ඒ වෙනස්වීම සුබවාදීව දකින්න බැරි වෙනවා. මේ සිනමා රූපණයේ දී ප්‍රොජෙක්ටර් ඔපරේටර් මොහොතක අකමැති වෙනවා මේ ඩිජිටල්කරණයට. හැබැයි ඔහු සමඟම හිඳීමින් ඔහු දන්නැතුව ඔහුගේ සහායකයා ඔහු සමඟ දරුවකු ලෙස එකට ජීවත් වෙමින් ඔහුගෙන් නෙගටියු Analog සිනමාව ඉගෙන ගනිමින් ඩිජිටල් සිනමාකරණය සිහින දකින හා ඩිජිටල් සිනමාකරණය ගොඩනඟන තරුණයකු ලෙස බිහිවෙනවා. මේ කාරණාව මේ සිනමාපටය හොඳට කතා කරනවා. මේ සිනමාපටය නරඹන සියලුම දෙනාට මෙය විද්‍යාමාන වෙයි කියලා මම හිතනවා.

 

ලෝක සිනමා තාක්ෂණය අතින් ඉදිරියට ගියත් යොදාගනු ලබන තාක්ෂණය එකයි නේද ?

කෙටියෙන්ම කියනවා නම් මෙවලම වෙනස් වුණාට තාක්ෂණය පරණ එකම තමයි. නිර්මාණාත්මක වෙනසක් කෙසේ වෙතත් දකින්නට ලැබෙන්නේ නෑ මේ තුළ. ඉස්සර අපි රූපවාහිනිය බලපු දේවල් දැන් ෆෝන් එකේ බලනවා. උපකරණය වෙනස් වීමක් සිදුවෙලා තියෙනවා හැබැයි ඒ මනුස්ස කතාන්දර ම තමයි ඒ තුළ ගොඩනැගෙන්නේ.මිනිස්සුන්ගේ ඇතුළේ තියෙන ආවේග, වේදනා, සංවේදනා ජීවිතේ ජයග්‍රහණයන් පරාජයන් ගැන තමයි මේ තුළ කතා කරන්නනේ. එහෙම දෙයක් ප්‍රතිනිර්මාණය කළ යුතුයි ද? කියන එක හැමෝටම ඇති වෙන ප්‍රශ්නයක්.තාක්ෂණය වෙනස් වුණාට විෂය පැත්තෙන් ගත්තාම තිබෙන්නේ ඒ කයි. ඉස්සරහට මේ ඩිජිටල් තාක්ෂණයත් වෙනස් වෙලා වෙනස්ම විදිහකට එයි. හැබැයි මනුස්සය සොයා යන මනුස්ස ගවේෂණය සිනමාවේ දිගටම තියෙයි. එකිනෙකට සන්සන්දනාත්මකව වෙනස් වෙයි. ඒත් රෙද්ද ගලවල කලිසම ඇඳගත්තාම තියෙන වෙනස වැටහෙන කුට ඔහු වටහා ගන්නවා පසුවට මම වහගෙන තියෙන්නෙ පරණ එන්ජින් එකම බවයි කියලා.

 

වෙනස්ම ශානරයන් තුළ ගොඩනැඟුණු නළුවකු වන ඔබ මේ පිටපත ලැබුණම මොකද හිතුණේ?

මේ පිටපත දීලා සිනමාපටයට තෝරාගන්න විට වෛද්‍ය කපිල සූරියආරච්චි මට ලොකු අභියෝගයක් ද දැනුණා. පරණ pojector යට රිල් එකක් ලෝඩ් කරන එක පවා වෙනස් ඒ තාක්ෂණය මට ගොඩක් ඉගෙන ගන්න වුණා. දළ සේයා පටයක් කැමරාවකින් කැන් එක්කට ලෝඩ් කරන එක පවා දන්නා අය බොහෝම අඩුයි. විශේෂයෙන්ම දැනට පරණ Projector Operators ලා ඉන්නේ බොහෝම අතළොස්සයි. ඔවුන් හම්බවෙලා මෙම කර්තව්‍ය කරන්නේ කොහොමද කියලා මම අත්හදා බැලීම් කළා කීප වතාවක්ම. පරණ  Projector  සොයාගැනීමටත් අපහසුතාවක් ඇතිවුණා. අධ්‍යක්ෂකවරයා මේ සම්බන්ධව ගොඩක් පරිණත හින්දා තමන්ගෙ දරුවෙකුටත් වැඩිය මේ  Projector  වලට ආදරය කරනවා. මේවා තියෙන සිනමාහල් හොයාගෙන ගිහිල්ලා අපි ගොඩක් අධ්‍යයනය කළා. ඒ දේවල් මට ප්‍රායෝගිකව අත්හදා බලන්න අවස්ථාව ලැබුණා. මේ පොදු ස්ථානවල ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය එකිනෙකට වෙනස් වෙනවා. මේ සියලු දේවල් මම හරිම ආස්වාදයෙන් කරේ චරිතයට තියෙන ආදරේ නිසායි. හැබැයි මේ චරිතය නොලැබුණා නම් මට මේ Projector  ක්‍රියාකාරිත්වය කවදාවත් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. එක පැත්තකින් Projector  ක්‍රියාකරුවෙක් අනෙක් පැත්තෙන් සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස හිතන කෙනෙක් සහ සිනමාව ගැන හදාරලා තියෙන කෙනෙක්. ඔහුගේ ජීවිතයේ අවසාන සිහිනය යටපත් කරගෙන තාක්ෂණ ශිල්පියෙක් හැටියට සිනමාවට සම්බන්ධ වෙලා සිටින්නේ. ඒ අතර ඔහු කරන ඔහුගේ පෞද්ගලික අරමුණ තමයි සිනමාකරුවෙක් වීම ජය ගැනීමයි. ඒක චිත්‍රපටය ඇතුළේ හැලහැප්පීම් ටික ගොඩ ගන්නේ කොහොමද කියන එක තමයි මට අනිත් අභියෝගය බවට පත්වුණේ. හැබැයි මම හිතනවා මාව ප්‍රේක්ෂකයා තීරණය කරයි සාධාරණයක් මේ චරිතයට කරල තියෙනවද නැද්ද කියලා.

 

ලාංකික සිනමාව කර්මාන්තයක් ද නැද්ද ?

ලාංකික සිනමාව ගොඩ නඟන්න කියලාආපු කිසිම කෙනෙකු සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ගොඩනගන්න මැදිහත් වුණේ නෑ. මට පේන විදියට නම් අරමුණක් නැතුව යි එහි පැමිණි සියලු දෙනාම කටයුතු කළේ. සිනමාව හදාරන පැත්තට හා නිර්මාණ ශීලීත්වයට අපි ගොඩක් අවධානය යොමු කළා. ඒත් මේක කර්මාන්තයක් මූලික වශයෙන් කතා කළොත්. ලෝක සිනමාවේ එක් එක් රටට ආවේණික වූ සිනමා කර්මාන්තයන් තිබෙනවා. ඒත් ලාංකික සිනමාව කර්මාන්තයක් කියලා තවම කියන්න බැහැ. අවසානේ කිසියම් නිර්මාණ වේදියෙක් නිර්මාණය කරන සිනමාපටයක් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්නේ හා ඔවුන් අතර ප්‍රවර්ධනය කරන්නේ කොහොමද කියන එක විවෘත මනසකින් සිටිය යුතු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. විශේෂයෙන් 70 දශකයෙන් පස්සේ ලාංකික සිනමාව වෙනස් වෙන එකත් එක්ක කොහොමද මේක වාණිජමය වටිනාකමක් දීලා ප්‍රේක්ෂකයන් අතර පවත්වා ගැනිම හා ගොඩනගන එක ගැන මෙන්ම ව්‍යවසායකත්වයක් ගැන කල්පනා කරලා නෑ තව වෙනකන්. එයයි කළ යුත්තේ.උදාහරණයක් හැටියට කිව්වොත් මගේ බිරිඳගෙ ලස්සන සහ අතිශයෝක්තිය පැත්ත ගැන විතරක් හිතමින් හිටියොත් ඒ ඇතුළෙ පැවැත්ම හා ජීව විද්‍යාත්මක පද්ධති ටික සහ පැතිකඩවල් සියල්ල බිඳ වැටීම දන්නෙම නැතුව සිදුවෙලා හමාර වෙනවා. මෙහි සත්‍ය දේ වටහා නොගැනීමත්, මුදුන්මුල කොතනද තියෙන්නේ කියලා සොයා නොගැනීමත්. ඒ වස්තු බීජයට හරියට සාත්තු කරල නැති හින්ද තමයි අපිට අපේ කර්මාන්තයත් තියෙනවා කියලා කියන්න බැරි.කර්මාන්තයක් හැටියට ඉදිරියට යන්න නම් මෙහි නිරත වන සියලු දෙනාම එකිනෙකාට සහයෝගයෙන් බැම්මක් ලෙස ගොඩනැගිය යුතුයි. නිෂ්පාදකයා, අධ්‍යක්ෂකවරයා, බෙදාහැරීම මණ්ඩලය, සිනමාහල් හිමිකරුවන්, එකිනෙකාට කුලල් කෑම නතර කරලා ව්‍යාපාරයක් හැටියට අඩිතාලම දමා ගන්නට පුළුවන් වුණ දාකට කර්මාන්තයක් ලෙස ස්ථාපිත කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපේ ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට යන ප්‍රමාණය වැඩියි. ඔවුන් සිනමාපට නැරඹීම සිදු කරනවා.ලාංකික ප්‍රේක්ෂකයන් ලෝක සිනමාව හොඳට රසවිඳීන පිරිසක් බව කිවයුතුයි. ප්‍රේක්ෂකයාට අපි වාණිජමය සිනමා පටයක් ගෙනියන්නේ කොහොමද කියන එක මේ වෙනකන් හිතලා නැහැ. හැබැයි මේ වෙනකොට බෙදාහරින්නන් ගේ සංගම් සහ සිනමා හිමියන්ගේ සංගම් විදේශීය සිනමාපට ගෙනල්ලා ප්‍රදර්ශනය කිරීම තුළින් ලාංකික සිනමා කර්මාන්තය බිඳ වැටීමට මූලික හේතුවක් වෙලා තියෙනවා. එයට හේතු වෙන්නේ ලාංකික සිනමා ප්‍රේක්ෂකයා ලෝක සිනමාව ස්පර්ශ කිරීම වැඩි නිසාත් ඔවුන්ට ලාංකික සිනමාපට එකක් දෙකක් ඇරුණාම ගුණාත්මකභාවයෙන් දක්නට ලැබෙන්නේ නැති නිසයි. මේ මතුවන ගැටලු මගහරවාගෙන ඉදිරියට එන්න පුළුවන් නං අපි ලෝක සිනමාව තුළ කර්මාන්තයක් ලෙස ඉදිරියේම ඉන්න පුළුවන්.

 

සිනමා වෘත්තිකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් වෙන්නේ කොහොමද ?

විශේෂයෙන් වෘත්තිකයකු ලෙස හඳුන්වන්න පුළුවන් වෙන්නේ ඔහු යෙදෙන කාර්යභාරය ප්‍රගුණතාවය මත කරනු ලබන ක්‍රියාකාරීත්වයේ ගුණාංග මතයි. විශේෂයෙන් වෘත්තීය රංගන ශිල්පියෙක් කියන්නේ දවසේ පඩියට රඟපාන කෙනෙක් නෙවෙයි. අපි දන්න ඕනම රටක රංගන ශිල්පියකුට එක සිනමාපටයකට රංගනයෙන් දායක වුණාම ඔහුට මාස 3කට 4කට විතර ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් සැකසෙනවා. අපේ සහෝදර රංගන ශිල්පීන් අතරෙත් මම ඔය ගැන කතා කරනවා. හැබැයි ඒ සියලු දෙනාම කතා කරන්නෙ අපි වෘත්තියෙන් රංගන ශිල්පීන් කියලා. ලාංකික සිනමා කලාව තුළ වෘත්තීය භාවයක් ඇති වෙලා නැතුව කොහොමද වෘත්තීය රංගන ශිල්පියෙක් කියල අපි කියන්නේ. හැබැයි ඉතින් එහෙම ගොඩනැගිච්ච ඒවට වෘත්තීය සංගම් හරි තියෙනවනේ. සිනමාවේ එහෙම දෙයක් තියෙනවද කියලා පෙන්නන්න කාටවත් කියන්න පුළුවන්ද? රංගන ශිල්පීන්ට වෘත්තීය පිළිගැනීමක් නැති නිසා එහෙම මැදිහත්වීමකුත් නැහැ දැන්.

 

ඉන්දීය සිනමා අධ්‍යක්ෂ මනිරත්නම් ගේ පොන්නියින් සෙල්වන් සිනමාපටයට දායක වෙනවා නේද ?

මම ඒ සිනමාපටයට තෝරා ගන්නේ ඉන්දීය සිනමා අධ්‍යක්ෂක මනිරත්නම් මහත්තයා ප්‍රසන්න විතානගේ සමඟ තිබෙන මිත්‍රත්වය මතයි. ප්‍රසන්න විතානගේ ගේ ඔබ නැතුව ඔබ එක්ක සිනමාපටයේ මම රංගනයෙන් දායක වෙනවා ඉන්දීය නිළියක් සමග එහි රංගනය දැකලා තමයි මාව තෝරා ගන්නේ. මනිරත්නම් මහත්තයට මේක මම අවස්ථාවක් කර ගන්නවා ස්තුති කරන්න මාව තෝරා ගැනීම සම්බන්ධව. මා මේ චිත්‍රපටයේ රඟපාන්නේ පස්වැනි මිහිඳු රජතුªමාගේ චරිතයයි. එම සිනමාපටය ද හෙට (30) ලොවපුරා තිරගතවීම ඇරැඹෙනවා. එසේම හෙට සිට ලංකාවේ ඊ.ඒ.පී මණ්ඩලයේ සැවෝයි ඇතුªළු දිවයින පුරා සිනමාශාලා රාශියක ද මෙය තිරගතවීම ඇරැඹෙනවා.

 

පොන්නියින් සෙල්වන් රූගත කිරීමෙන් අනතුරුව මතු වූ ගැටලුව මොකක්ද ?

ඉන්දීය සිනමාව තුළ හරි වෘත්තිමය, භාවයෙන් හා අගයකින් තමයි සිනමාකරුවෙකු හඳුන්වන්නේ. එයට නළුවෙකු වෙන්නත් පුළුවන් Technician කෙනෙකු වෙන්නත් පුළුවන් ඔවුන් සියලු දෙනාම ඉන්දීය රජයට අවනතයි. ඒ ඔවුන්ගේ වෘත්තීයමය භාවය නිසායි. ලාංකික වෘත්තීය මට්ටමයි ඉන්දීය වෘත්තිය මට්ටමයි අතර තියෙන වෙනස තුළ අපි වෘත්තීය ශිල්පීන් නොවන බව හොඳටම වටහා ගත්තේ. අපේ නළු කාර්යය අපේ තුළ ගොඩනැඟිලා නැති නිසා අපි වෘත්තිය නළුවන් නොවන්නේ එනිසයි. ඉන්දීය මට්ටමෙන් ගත්තොත් අපේ සියලුම නළුවන් අතිරේක රංගන ශිල්පීන් හැටියට තමයි ගණන් ගන්නේ.අපි වෘතීය ශිල්පීන් හැටියට එනවනන් ගොඩක් දේවල් කරන්න තියෙනවා. විශේෂයෙන් බැලුවොත් අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් වෘත්තීය ක්‍රීඩකයින් බවට හඳුන්වන්නේ කොහොමද ? කියල හිතල බැලුවොත් අපිට එතනට එන්න හරිම ලේසියි. අපේ තියෙන්නෙ ශිල්පීය දක්ෂතාවය හෝ දැනුම ප්‍රශ්නයට වඩා වෘත්තීමය ප්‍රශ්නයයි. මේ ඉන්දීය සිනමා පටය තුළ දී මට ඇතිවෙච්ච මූලිකම ගැටලුව තමයි නිෂ්පාදන පිරිවැය සම්බන්ධව අපිට සන්සන්දනය කරන්නවත් බැරි තරම් ය.උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම මම එහි රංගනයෙන් දායක වුණාම මට හම්බවෙන මුදල ගන්න ගියාට පස්සේ ප්‍රායෝගිකවම වෘත්තීය ගැටලුව එතනදී මට මතු වුණා.එහි සිනමා කර්මාන්තයට සම්බන්ධ ඕනෑම පුද්ගලයකු රජයට බදු ගෙවිය යුතුයි. ඒ සියලුම බදු මුදල් ගෙවන්නේ සිනමා කර්මාන්තය අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රයෝජන සඳහායි. ඉන්දීය සිනමා කර්මාන්තයේ නිරත වන සියලු දෙනාටම බදු ගෙවන සහතිකයක් තියෙනවා. මට එහිදී මතු වෙච්ච ලොකුම ගැටලුව තමයි මං ප්‍රධාන ධාරාවේ නළුවකු වුවත් බදු මුදල් ගෙවීමක් ලාංකික සිනමාව ඇතුළේ කරන්නේ නැහෑ. ඔවුන්ට එය හරි ප්‍රශ්නයක් බවට පරිවර්තනය වුණා. මට මුදල් ගෙවන්න ගිය වෙලාවේ.ඉන්දීය සිනමාවේ නිෂ්පාදන කාර්යය යෙදිලා සිටිය සියලු දෙනා පිළිගත්තෙ නෑ. ඔවුන් සියලු දෙනාම හිතාගෙන හිටියේ මම වංචාවක් කරලා අතට මුදල් ගන්න යනවා කියලා. අනික ඔවුන්ගේ සියලු ගනුදෙනු සිදුවන්නේ බැංකුවක් හරහාය.ඔවුන්ගේ මුදල් හම්බ කිරීම හා වැය කිරීම නියම වෘත්තිය ක්‍රමවේදයකට සිදුවෙන්නේ. එහිදී මට හරියටම වැටහුණා මම වෘත්තීය රංගන ශිල්පියෙක් නොවන බව. සිනමාපටයේ රංගනය වෙනුවෙන් මට ගෙවන මුදල් සියල්ලම මට බැර වුණේ ප්‍රසන්න විතානගේගේ බැංකු ගිණුම් හරහා යි. ප්‍රසන්න විතානගේ ඉන්දියාවත් සමග සමීප ගනුදෙනු සිදු කරන නිසා ඔහු හරහා මට එය ගන්න ලැබුණා. ඒත් ඔවුන් විශ්වාස කරේ නෑ මා වෙනුවෙන් එදා ප්‍රසන්න විතානගේ බැංකුවට බදු ගෙව්වා. ප්‍රසන්න විතානගේ ගේ බැංකු ගිණුමට බැර කරන්න පසුව මනිරත්නම් අධ්‍යක්ෂකවරයාගේ හා ඔහුගේ අතර තියෙන සමීප සම්බන්ධතාවය මට ගොඩක් ඉවහල් වුණා. ඔය කාරණේ තමයි ඉන්දියාවේදී සිදු වෙච්ච ලොකුම දේ.

 

ලාංකික සිනමාවේ ඉදිරි ගමන ගැන මොනවද කියන්න තියෙන්නේ?

අපි කිසි විටකත් භූගෝලීය සිතියම ගැන හිත හිතා ඉඳලා පලක් වෙන්නෙ නැහැ. ලාංකික දූපත් මානසික මට්ටමෙන් හිතලා ඉන්නවට වැඩිය ඉන් එහා ලෝක සිනමාව හසුරුවන ආකාරය හිතලා කටයුතු කළොත් ජයග්‍රහණයක් තියෙයි කියලා හිතනවා. අපේ අල්ලපු රට ඉන්දීය සිනමාව ප්‍රාන්ත වශයෙන් ගොඩනඟන ආකාරය දැකපුවාම හරිම සතුටුයි. කොහොම හරි එතනට ගිහිල්ලා ඔවුන්ගේ අධ්‍යක්ෂකවරයකු යටතේ රඟපාන්න අවස්ථාව ලැබුණේ එක ගැන මම සතුටු වෙනවා. ඒ සියලු නිර්මාණයන් ලෝකයේ සියලූ ප්‍රදේශ කරා රටවල් කරා නන්දෙසින් පැතිරී යනවා. ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන් වැලඳ ගැනීම නිසා අපිට හොඳ අනන්‍යතාවයක් ඇති වෙනවා. එතනට අපේ සිනමාව ගේන්න ඕනේ කියන එකයි මගේ මතය. අපි සියලුම ක්ෂේත්‍රයන්ගේ එකට එකතු වෙලා කටයුතු කළොත් එකමුතුවක් හැටියට අර්ධ වෘත්තීය මට්ටමක් කරා හරි ළඟා වෙන්න පුළුවන් වෙයි. අද වන විට කැමරා ශිල්පීන් ගොඩදෙනෙක් ජීවත් වෙන්නේ වෙළඳ දැන්වීම් කරණය ට යොමු වෙලයි. සිනමා කැමරා අධ්‍යක්ෂවරයකු හැටියට කටයුතු කරනවා වෙනුවට ඔවුන් වෙනත් දිශානුගතව ගමන් කර කටයුතු කරන්නේ ඔවුන්ට මෙහි අරමුණක් පේන තෙක් මානයක නැති නිසයි. විනෝදාස්වාදය වෙනුවෙන් සිනමාපට අධ්‍යක්ෂණය කරලා වත් නිෂ්පාදනය කරලා වත් සිනමාපටවල රඟපාල වැඩක් නෑ. මම මේ සිනමාපටය කරන්නේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න නිෂ්පාදකවරයෙක් වෙන්න මේ දේපළ විකුණලයි මේ සිනමාපටය කරන්නේ කියලා එන්න අවශ්‍යතාවයක් නෑ. ඔවුන්ගේ අරමුණ විය යුත්තේ සිනමා කර්මාන්තයක් ගොඩනැඟීමයි. විනෝදයට, ජනප්‍රියත්වය හා පොකට් money  හොයාගන්න එනවා කියලා ආවොත් මේ කර්මාන්තයේ ඉවරයි. මෙහි විනෝදාංශය තිබිය යුත්තේ ප්‍රේක්ෂකයාට කියන එක වැටහීමක් නැති අය තමයි මෙහෙම හිතන්නෙ.

 

ඇනලොකකරණයෙන් ඩිජිටල්කරණයට මාරු වුණු නව පරම්පරාවත් සමඟ ගනුදෙනු කිරීම කොහොමද ?

පොදුවේ ක්ෂේත්‍රයේ සියලු දෙනා ගැනම ගත්තාම මම නං අසුබවාදී අදහසක ඉන්නේ හරි දක්ෂ පිරිසක් බිහිවෙලා ඉන්නවා. අද අතලොස්සක් ඉන්නවා අතේ ඇඟිලි ගාණට ඉන්න පිරිසක් ලොකු හැදෑරීමක් හා ප්‍රායෝගික න්‍යායාත්මක දැනුමෙන් සන්නද්ධ වෙලා ඉන්න පිරිසක් ඔවුන් හරි ප්‍රබලයි. අපිට මතුපිටින් බලපුවාම පේන්නේ නව පරම්පරාව හරිම සැහැල්ලුවෙන් ඉන්නවා කියන එක විතරයි. ඔවුන් කිසි විටෙකත් ජීවිතේ ගැඹුරට දකින්න නෑ.ක්ෂේත්‍රය තුළ ගැඹුරින් හිතන්න පරිකල්පන ඥානයක් නැති බවයි. ඒත් මට හම්බවෙච්ච අතළොස්සක් පමණ සියලු දෙනාම හිතන්නේ නැති තරම් දක්ෂයෝ යි. වයස අවුරුදු විස්ස විසි දෙකේ ලෝක සිනමාවත් සමඟ සම්බන්ධ වෙලා වැඩ කරන අධ්‍යක්ෂවරු තිර පිටපත් රචකයෝ, කැමරා අධ්‍යක්ෂකවරු, ශබ්ද පරිපාලකවරු. සංස්කරණ ශිල්පීන් ඔවුන් හරිම දක්ෂයි. නිර්මාණශීලී සිනමාවක් ගොඩ නගන්ඩ නම් එවැනි පරම්පරාවක් තමයි ඉදිරියට ආ යුත්තේ. මට ඔවුන් සමඟ වැඩ කරන්න ලැබිලා තියෙනවා.

 

ඉදිරියේදී සිනමා ශාලාවළ වැසීගොස් සමාජ මාධ්‍ය ජාලා වල් ප්‍රබල වෙයි ද?

අනිවාර්යනේම ඉදිරියේදී  Digital Platform  එක හිස ඔසවනවා. ඒ හිස ඔසවන ආකාරය හොඳ විදිහට දැක්කොත් ඉදිරියේදී අපිට හොඳ පියවරක් ගත හැකියි. සිනමාහල් සියල්ල වැසී ගිය හොත් අපිට තියෙන එකම දේ තමයි  Digital Platform  එකේ සිනමාපටය ප්‍රේක්ෂකයාට නැරඹීමේ අවස්ථාව උදාකර දීමයි. තාක්ෂණයේ දියුණුවත් සමඟ ලෝක සිනමාව ම එතැනට එන්න පුළුවන්. දැනටත් අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු නිර්මාණවේදීන් සියල්ලම  Digital Platform  එක අනුගමනය කරනවා. මේ තුළට වාණිජමය වටිනාකමක් ද දිය හැකියි. වාණිජමය වටිනාකම වැඩි වෙනවා නම්  Digital Platform  පාවිච්චි කිරීම සුදුසුයි. මම ඉදිරියේදී සිනමාපටයක් කරනවා නම් මම ඉස්සල්ලාම පිරිවැය හොයාගන්න  Digital Platform  එක තමයි පාවිච්චි කරන්නේ. අපි කොච්චර අකමැති වුණොත් කඳුළු පෙරාගෙන ඇඬුවත් මේ වෙනස නතර කරන්න බැහැ. ප්‍රේක්ෂකයාට සිනමාපට නරඹන තියෙන මාධ්‍ය වෙනස් වෙනවා ඒ නිසා ඔවුන් නරඹන සිනමාපට නිර්මාණය කිරීම තමයි අපි කළ යුත්තේ.

නොබෝ දිනකින් විශේෂ රංගනයක් දැක ගන්නට ලැබෙනවා නේද ප්‍රාණ සිනමාපටය තුළින්?

දැන් ලහි ලහියේම තිරගත වීමට නියමිත වන්නේ සංජය නිර්මාල්ගේ ප්‍රාණ සිනමාපටයයි. ඒහි මා සුවිශේෂී රංගනයක් නිරතවෙනවා. සිනමාපටය ප්‍රදර්ශනය වුණාට පස්සේ තමයි සිනමාපටය හරබර මගේ රංගනය ඇත්තටම කතා කරන්න පුළුවන් වෙන්නේ. කොහොම වෙතත් ප්‍රාණ සිනමාපටයට මගේ රංගන දායකත්වය උපරිමයෙන්ම ලබා දුන්නා. ඵඥඥඤඵ (ප්‍රාණ) ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදන වූ මෙම සිනමාපටය සිංහල සහ දෙමළ භාෂාවට හඬ කවලා තියෙනවා .ප්‍රාණ සිනමාපටය ඔක්තෝබර් 7 වැනිදා ඉඳලා සියලුම සිනමාහල්වල තිරගත වීම ආරම්භ කරනවා. ප්‍රාණ සිනමාපටයට ඉස්සෙල්ලා තමයි මනිරත්නම් අධ්‍යක්ෂණය කළ පොන්නියන් සෙල්වම් සිනමාපටය විසි දෙවැනි දා ඉදලා ඉඳලා ලෝක ප්‍රදර්ශනය ආරම්භ කළා. ප්‍රියන්ත කළුආරච්චි අධ්‍යක්ෂණය කළ රතු සමනල හීනේ, සහ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ගාඩි සිනමාපටය ද මේ අවුරුද්ද අවසානයේ තිරගත වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. කෙටියෙන්ම කියනවනම් මම රඟපාලා තියෙන සිනමාපටවලට වැඩි ඉදිරියට එන්න තියෙන සිනමා පට.

 

සේයාරුව - නිශ්ශංක විජේරත්න