ලංකාවේ නළුවෙක් වීම ගැන අද කනගාටුයි

ප්‍රවීණ රූපණවේදී - නීල් අලස්
සැප්තැම්බර් 22, 2022

 

ප්‍රවීණ රූපණවේදී නීල් අලස් පසුගිය සමයේ කලා ක්ෂේත්‍රය පිළිබඳ දැඩි කලකිරීමකින්, කලා කටයුතුවලින් බැහැර වී හුදෙකලා වී සිටීම ප්‍රිය කළේය. ඔහු දිගු කාලයකින් කිසිදු ජනමාධ්‍යයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමෙන්ද බැහැර වූයේය. එහෙත් මෙරට අද පවත්නා එකම ජාතික සිනමා පුවත්පත වන සරසවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම නීල් ප්‍රතික්ෂේප කළේ නැත. ඒ තම කලා දිවියේ ආරම්භයේ සිටම සරසවිය පුවත්පත සමඟ ඔහුගේ තිබූ සබැඳීයාව හේතු කොට ගෙනය.

 

අඩසියවසකට වැඩි කාලයක් වේදිකාව තුළ රංගන පෞරුත්වය විදහා දක්වමින් ප්‍රේක්ෂාගාරය ඔහු අමන්දානයට පත් කළේ රසික හදවත තුළ සුවිශේෂී වූ මතක සටහන් තබමින්ය. ඔහු කැලණි පාලම වේදිකා නාට්‍යය සඳහා රංගන දායකත්වය ලබාදුන් ‘චුට්ටේ’ චරිතය අප කෙසේ අමතක කරන්නද? මීට අමතරව ධවල භීෂණ’ හී ෂෝන්, දූ දරුවෝ ටෙලි නාට්‍යයේ ‘සුමනේ’ ඇතුළු තවත් චරිත ගණනාවක් අපට සිහිපත් කළ හැකිය. තමන්ට ලැබුණු අතළොස්්සක් වැනි චරිත ආයාසයකින් තොරව පේ‍්‍රක්ෂකයා වෙත රැගෙන යෑම ඔහු තුළ තිබු සුවිශේෂී හැකියාවක්. කෙසේ වෙතත් මේ සඳහා හේතු කාරණයක් හෝ කරණු කීපයක් තිබෙන්න පුළුවන. ඒ පිළිබඳව හා ඔහුගේ අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ තොරතුරු සොයා සරසවිය ඔහු හමුවීමට ගියේ මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය හරහා කාලයකින් ඔහුගේ වතගොත අසන්නට හෝ දැනගැනීමට නොහැකි වූ ඒ විශාල අඩුපාඩුව පුරවාලීම සඳහාය.

 

 

කොළඹ 7 උපත ලබා කැලණි පාලමට ගොඩ වූ ඔහු නමින් නීල් අලස්. අවුරුදු 50 ක් පටන් වේදිකාවේ රඟපෑවා. දැන් ඇති කියන්නේ ඇයි?

‘ඒකට හේතුවක් කියලා කියන්න බෑ. කරුණු කීපයක් තියෙනවා. අවුරුදු 50ක් වේදිකාවේ හිටියා කියන්නේ මට ලොකු සතුටක්. මගේ රඟපෑම් නිසා පේ‍්‍රක්ෂකයා තුළ යම් අවබෝධයක් ඇතිවෙලා තියෙනවා.

මගේ වයස හා අද සමාජ තත්ත්වය අනුව මගේ ඉදිරි රඟපෑම්වලදී යම් සාධාරණයක් ප්‍රේක්ෂකයාට ඉෂ්ට කිරීමට නොහැකි වුණොත්... මම අසමත් වුණොත් මගේ පෙර රඟපෑම්වලට විශාල හානියක් සිදුවෙන්න ඉඩ තියෙනවා. එකට මම කැමති නෑ. ඒ වගේම අපි ඉස්සර රඟපෑම් කළේ සාමුහික කණ්ඩායමක් ලෙසින්. නිර්මාණය ගැන තමයි මුලින්ම කල්පනා කළේ. අද ඒ තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. අද කලාව ලොකු ව්‍යාපාරයක් බවට පත් කර ගෙන තියෙන්නේ. අඩු මුදලක් යොදලා ලොකු ලාභයක් තමයි අද නිර්මාණවලින් බලාපොරොත්තු වෙන්නේ. මේ ක්‍රමය තුළ ශිල්පියා යම් රාමුවකට කොටුවෙලා තියෙනවා. ඒ රාමුව තුළ ඉඳලා රඟපෑම අපහසු කාරණයක්. එවැනි පරිසරයක් තුළ ගැටෙන්න මට පුළුවන් කමක් නෑ. ඒ කාලේ දී වුණත් මගේ හිතට දැනෙන්නේ නැති නිර්මාණ වලින් මම ඉවත් වෙලා තියෙනවා. ඒ අතර ගුවන් විදුලි නාට්‍යයත් තිබුණා. කොළඹ 07 ඉපදුණේ. අතීතය ගැන කිව්වොත් කොළඹ 07 ඉපදිලා කාලයක දී කොළඹ 2ට ගියා. මගේ තාත්තා පීටර් අලස්, අම්මා ක්ලේසි අලස්.. තාත්තා වෙළඳ ව්‍යාපාරයක් කරගෙන තමයි අපිව ජීවත් කළේ. අම්මා තමයි ගෙදර පරිපාලනය කළේ. මට වැඩිමල් සහෝදරියන්, මට බාල සහෝදරයෝ තුන් දෙනෙක් හා මට බාල සහෝදරියෙක් හිටිය. බාල සහෝදරයා අද ජීවතුන් අතර නෑ. මම මුලින්ම පාසලේ ගියේ කොම්පඤ්ඤ වීදියේ හෝලික්‍රොස් විද්‍යාලයට. මම පාසල් 8 පන්තියට ඉගෙන ගත්තා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය සඳහා කොම්පඤ්ඤ වීදියේ සාරිපුත්ත විද්‍යාලයට ඇතුළත් වුණා.

ඊට පස්සේ ඔබ රැකියාවකට ගියා. කලාවට සම්බන්ධ වුණා කොහොමද මේක සිද්ධ වුණේ.?

ඔව් මම කොළඹ විශාල හෝටලයක රැකියාවකට ගියා. නමුත් මගේ හිත තිබුණේ රඟපෑමට. රඟපෑමට යනවා කිව්වම ගෙදර දෙමව්පියන් විශේෂයෙන්ම මගේ පියා සෑහෙන්න විරුද්ධ වුණා. අම්මාගේ ලොකු විරුද්ධත්වයක් තිබුණේ නෑ. කොහොම වුණත් අන්තිමේදී සිද්ධ වුණේ. මම ගෙදරින් පිටවෙලා යෑම. මම ගෙදරින් ගිහිල්ලා, ඩග්ලස් සිරිවර්ධන මහතා හිටපු බත්තරමුල්ලේ බෝඩිමේ නතර වුණා. මාස 1 1/2කට පස්සේ තමයි මම ගෙදර ආවේ. ඒ ආවම තාත්තා මට මුකුත් කිව්වේ නෑ.

 

තරු 05 හෝටලයේ රැකියාවක් එක්ක රඟපෑම කළාද?

රැකියාව කරන අතර තුර රඟපෑම් කළා. ඔය අතරතුර හෝටලයේ ප්‍රධානියෙක් වූ සිවා සෙල්ලදොරේ ඔය රඟපෑම් දැකලා මට දවසක් කතා කරලා කිව්වා නීල් ඔයා හරියන්නේ රඟපාන්න. හෝටලයට හරියන්නේ නෑ. දෙකම එකට කළොත් ඒක ඔයාගේ ඉදිරි ගමනට හොඳ නෑ. ඔයාගේ ප්‍රතිරූපයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා දිගටම රඟපාන්න බැරිවෙලා හරි රඟපෑමෙන් ඉවත් වුණොත් ආයේ හෝටලයේ රැකියාවට එන්න කියලා. ඔය කාලේදී තමයි මම නෝබට් ජේ මයර්ගේ වැඩමුළුවලට සහභාගි වුණේ.

 

මයර්ගේ වැඩමුළුවලට යෑම අහම්බයක් නේද?

සිනාමුසු මුහුණින් ඔහු අතීතය සිහිපත් කළා. ඒ කාලේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ විදේශීය නාට්‍යකරුවන් ගෙන්වලා වැඩමුළු පවත්වනවා. ඒ වැඩමුළුවලට නෝබට් ජේ මයර්, එතකොට ෆි‍්‍රට්ස් බෙනවිට්ස් වැනි ශිල්පින් තමයි ඇවිල්ලා හිටියේ. දවසක් ශාලිකාවේ මේ දෙන්නා වැඩමුළු කරද්දී මමයි ජයශ්‍රී චන්ද්‍රජිතුයි, ජනේලයක එල්ලිලා වැඩමුළු කරන අයුරු දිහා බලගෙන හිටියා. මේ සිද්ධිය බලාගෙන හිටපු ප්‍රොෆෙසර් මයර් ඇවිල්ලා අපට වැඩමුළුවට සහභාගි වෙන්න කියලා කතා කලා. මටයි ජයශ්‍රිටයි මාර සතුටුයි. අපි එදා ඉදලා ඒ වැඩමුළු වලට සහභාගි වුණා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. ලංකාවේ හිටපු නම ගිය කාලකාරයෝ මේ වැඩමුළුවලට සහභාගි වුණේ. ඒ කාලේ සිරිල් වික්‍රමගේ වැනි දැවැන්ත චරිත හිටියා. සිරිල් අයියා වුණත් මං දැක්කේ නෑ. ඔය අතරතුරේදී තමයි මට ධම්ම ජාගොඩ මුණ ගැසුණේ. පසුව ෆ්‍රිට්ස් බෙනවිට්ස් නැමැති විදේශීය නාට්‍යකරුවා රංජිත් ධර්මකීර්ති සමඟ එකතු වී ආඬිරැළේ නාඩගම වේදිකා නාට්‍යයේ මැක්හිත්ගේ චරිතයට මා සම්බන්ධ කර ගත්තා.

 

ඔය රඟපෑම් සියල්ලටම පෙර ඔබ පාසල් වේදිකාවට ගොඩ වුණා නේද?

පාසලේ දී ‘හැංගි මුත්තන්’ කියලා වේදිකා නාට්‍යයක රඟපෑවා. ඒ තුළින් තමයි ‘දයා වයමන්ගේ අම්මයි පුතායි වේදිකා නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. මාත් එක්ක කොපි කඩේ ‘රත්නේ’ ලාල් සේනාධීරත් රඟපෑවා. ‘අම්මයි පුතයි’ වේදිකා නාට්‍යය ඈත ගම්මානවල පෙන්වන්න අපි බස්වල, කොච්චිවල, අත්ට්‍රැක්ටර්වල පවා ගියා. ඒ කාලේ මාරම සුන්දරයි. දිනත් මේ නාට්‍ය කොළඹ ලුම්බිණි රඟහල් වේදිකා ගත කරන්න අවස්ථාව උදා වුණා. මට මතකයි මේ නාට්‍ය බලන්න ආපු සමහර ප්‍රවීණයන්ගේ කීප දෙනෙක් ජරා තුට්ටු දෙකේ නාට්‍ය කියලා අපට හු කිව්වා. මම එදා හිතා ගත්තා. මට හු කිව්ව අය සමඟ කරට කර රඟපානවා කියලා. මම ඒ අවස්ථාව උදා කරගත්තා. මොන දේ වුණත් මේ නාට්‍යය නරඹපු ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රී ජයසේන මහතා කිව්වා ‘නීල් ඔයාට මාර පුදුම ඇස් දෙකක් තියෙන්නේ කියලා. ඒ වගේම කෞශල්‍යා ප්‍රනාන්දු කිව්වා. අයියේ ඔයා ආඩි රැළේ චරිතයට එනකොට පිස්සු හැදුණා කියලා.

 

අපේ නාට්‍යකරුවන්ගේ සහ විදේශීය නාට්‍යකරුවන්ගේ ඔබ දකින වෙනස මොන වගේ ද?

අපේ නාට්‍යකරුවෝ ඉහළ තලයක හිටියා. එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ධර්මසිරි බණ්ඩාරනායක, රංජීත් ධර්මකීර්ති, ධම්ම ජාගොඩ වැනි අය සඳහන් කළ හැකියි. ධර්මසිරි බණ්ඩාරනායක නාට්‍යකරුවා ගැන කිව්වොත් එතුමා අපි කරන පුහුණුවීම් හරියට රසවිඳිනවා. විශේෂයෙන්ම දෙබස් එතුමා අප සමඟ කියන අවස්ථා තියෙනවා. නාට්‍යය සමඟ ඔහු නිතරම බද්ධව තමයි ඉන්නේ.

ඇත්තම කියනවා නම් මයර්ගේ ඉගෙන ගත්තාට වඩා දෙයක් ධර්මසිරි බණ්ඩාරනායකගෙන් ලබාගෙන තියෙනවා.

 

ඔබේ දිවියේ සුවිශේෂී චරිතයක් තමයි කැලණි පාලමේ ‘චුට්ටේ’

අවුරුදු 40ක් කැලණි පාලමේ චුට්ටේ තමයි මම. චුට්ටේ තාම ඉන්නවා. නමුත් කැලණි පාලමේ රඟපෑ බොහෝ චරිත අද ජීවතුන් අතර නෑ. ජේ.එච්. ජයවර්ධන, සීරිල් ධර්මවර්ධන වැනි ශිල්පීන්, මීට අමතරව මැණිකේ අත්තනායක, ගීතා කාන්ති ජයකොඩි, රම්‍යා වනිගසේකර වැනි නිළියෝ තාම මා සමඟ කතාබහ කරනවා. ඇත්තටම කියනවා නම් , ඒ කාලේ ආර්.ආර්. සමරකෝන්ට රම්‍යා වනිගසේකර හඳුන්වල දුන්නේ මම තමයි. කැලණි පාලම ‘ලයනල් වෙන්ඩ්ට්’ හී පුහුණු විම් කරද්දී ධම්ම ජාගොඩ, සුගතපාල සිල්වා වැනි ප්‍රවීණයන් ඇවිල්ලා අපිට අඩුපාඩු කියනවා. ජනතාව කැලණි පාලම ගැන කතා කිරීම ගැන සතුටුයි.

ඔබේ සිහින සාප්පුව ගැන කිව්වොත්

මට අවශ්‍ය වුණේ නීල් අලස්ගේ සිහින සාප්පුව. සමහර අයට වුවමනා වුණා යම් යම් වෙනස් කිරීම් කරන්න. මම ඒකට ඉඩ දුන්නේ නෑ. ඒ කාලේ සිනමා නළුවෙක් වූ අජිත් ජිනදාස වේදිකා නළුවෙක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව අජිත්ට ලොකු ආභරණයක් මොකද වේදිකා නළුවෙකුට ඒ කාලේ ලොකු පිළිගැනිමක් තිබුණා.

 

නීල් හොඳ ටෙලි නාට්‍ය හා ගුවන් විදුලි ශිල්පියෙක්.

රූපවාහිනියේ මම රඟපෑ බුමුතුරුණු, ගම්පෙරළිය, දූ දරුවෝ, බෝගල සවුන්දිරිස්, ගජමන් මෝනා වැනි නාට්‍ය ජනතාව ආදරයෙන් වැලද ගත්තා. දු දරුවෝ අතිශය ජනපි‍්‍රය නාට්‍යයක්. ඒ කාලය තුළ මිනිස්සු කිසිම වැඩක් යොදා ගත්තේ නෑ. නාට්‍යය බලන්න ඔිනේ නිසා. මට මතකයි වේදිකා නාට්‍ය පවා ඒ දවසේ වේදිකා ගත කළේ නෑ. ගුවන් විදුලි ශිල්පියෙක් ලෙස මම මගේ හඬ ලබා දුන්නා. මුවන් පැලැස්ස නාට්‍යය ඒ කාලේ වික්ටර් මිගෙල් හරි අපුරුවට ලිව්වා. වික්ටර්ගෙන් පසුව ශ්‍රී නිමල් පද්ම කුමාර තමයි ලිව්වේ. ඔහුත් හොඳට පිටපත ලියලා තිබුණා. මුවන් පැලැස්ස නාට්‍යයේ තිබුණේ වෙනම භාෂාවක්. ඇත්තම කියනවා නම් වික්ටර් මිගෙල්, ගැමුණු විජේසූරිය නැති වුණාට පස්සේ නාට්‍යය වෙනස් වුණා. විජේරත්න වරකාගොඩ තමයි අන්තිම වෙනකම් ඇදගෙන ගියේ.

 

ඔබ රඟපෑ චිත්‍රපට ගැන කිව්වොත්?

චිත්‍රපටි 50ක විතර මම රඟපාලා තියෙනවා. මුලින්ම රඟපෑවේ ධර්මසේන පතිරාජගේ සොල්දාදු උන්නැගේ චිත්‍රපටයේ. ඒ කාලේ මාලිනි ෆොන්සේකා ජෝ අබේවික්‍රම, හරිම කාර්ය බහුලයි. චිත්‍රපට බහුලව නිර්මාණය වෙන කාලයක්. ඉතිං ලොකු වෙහෙසක් වෙලා තමයි සොල්දාදු උන්නැහේ රූගත කිරිම් කළේ. ඊටපස්සේ, පරක්‍රම ද සිල්වාගේ බිත්ති හතර චිත්‍රපටයේත් ප්‍රධාන චරිතයක් ලැබුණා. මේ චිත්‍රපටය නරඹපු තරුණයෝ නොයෙක් කතා කියන්න පටන් ගත්තා. මොකද මම කෙල්ලෝ හතර දෙනෙක් සමඟනේ රඟපෑවේ. ඒ ගැන ප්‍රසිද්ධ මධ්‍යයේ කියන්න බෑ. බිත්ති හතරේ චිත්‍රපටයේදී සෝමවීර සේනානායක සමඟ රඟපාන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපටයේ හැටියට මම පුවත්පත් වාර්තාකරුවෙක්, මගේ ප්‍රධානියා වුණේ සෝමවීර. වාර්තාකරුවෙක් ලෙස මගේ අපිළිවෙළ නිසා ඔහු මට දොස් කියනවා. තමුසේ කෙල්ලෝ එක්ක රවුම් ගහලා හැමදාම පරක්කු වෙලා වැඩට එන්නේ කියලා. මාව අස්කරලා දානවා කියනවා.

මම හරිම කැමැති නිළියක් තමයි ලීනා ද සිල්වා මට ඇය සමඟ පාරමිතා චිත්‍රපටයේ රඟපාන්න ලැබුණා. ඒක මට සුවිශේෂයි.

කේ.ඒ. විජයරත්නගේ මධුසමය චිත්‍රපටයේ, විජයගේ යහළුවා වුණේ මම. ඉතිං රූගත කිරීම් වලට මම යන්නේ විජය වාහනේ ඒ කාලේ මම හිිටියේ කොම්පඤ්ඤවීදීයේ. විජය ඇවිල්ල මාව එක්කගෙන යනවා. සමහර දවසට රූගත කිරිම් ඉවර කරල විජයගේ ගෙදර ගියාම චන්ද්‍රිකා මහත්මියට කියනවා මේ නිල්ට තේ එකක් හදල දෙන්න කියලා. දවසක් ඇය මගෙන් ඇහුවා නිල් කැමැති නැද්ද දේශපාලනය කරන්න කියලා.

එක්තරා සම්මාන උළෙලදී මම හිටිය කටුගස්තොට ‘ධවල භීෂණ’ වේදිකාවේ. ජිවිතෙට එක සැරයක් ලැබෙන සම්මානේ ගන්න ලැබුණේ නෑ. එදා මගේ සම්මානේ ගත්තේ ජැක්සන් ඇන්තනී, එදා ජැක්සන් තමයි කිව්වේ මම දැන් ඉන්නේ ධවල භීෂණ වේදිකාවේ කියලා.

 

ඔබ හුදකලා වෙලාද?

නෑ එහෙම නෑ. ශ්‍රී ලංකාවේ නළුවෙකුවීම ගැන කනාගාටුයි. ඉන්දියාවේ කලාකාරයෝ වුණානම් තත්ත්වය මිට වඩා වෙනස්. මගේ නිර්මාණ ගැන හිතලා මම සතුටු වෙනවා.

මගේ ඥාතීන් දරුවෝ අද මා ගැන සොයා බලනවා. කොහොම වෙතත් තව කොච්චර කල් මම ඉදිවිද දන්නේ නෑ.

ඔබ කලාවෙන් ඉදිරියට යනකොට දෙමව්පියන් සතුටු වුණේ නැද්ද?

තාත්තා මගේ කිසිම නිර්මාණයක් බලන්න ආවේ නෑ. හැබැයි අම්මා බලලා තිබුණා. ඩග්ලස් සිරිවර්ධන කලාවට ගෙන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ ඔහු ලියපු ‘අඹු සැමියෝ’ පිටපත තුළින්. එදා අඹු සැමියෝ නාට්‍යයේ ජය ශ්‍රී චන්ද්‍රජිත් , මර්සි එදිරිසිංහ, ලාල් කුලරත්න රඟපෑවා.

 

වර්තමාන නාට්‍ය ගැන කිව්වොත්?

ඇත්තටම නාට්‍ය බලන්න ලැබුණේ නැ. චිත්‍රපට ගැන කිව්වොත් මහන්සියට ප්‍රතිඵල නෑ. ප්‍රසිද්ධිය ලැබෙන්නේ නෑනේ.