මේ පිබිදීම හොඳ වුණත් පසුගිය කාලයේ බොහෝ හරසුන් නාට්‍ය බිහිවුණා

සුප්‍රකට රංග ශිල්පී කුමාර කරුණානන්ද
සැප්තැම්බර් 15, 2022

 

වර්තමාන පරපුර නාට්‍ය කලාව පිළිබඳ ඉතිහාසය හදාරනවා අඩුයි

මේ රටේ කලාවේ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ලාබෙට ගෙනත් පෙන්වන දකුණු ඉන්දියානු චිත්‍රපට

වේදිකාවටත්, පුංචි තිරයටත්, පුළුල් තිරයටත් එක සේ දායක වෙමින් දශක හතරකට අධික කාලයක් පුරා රංගනයේ නිරත වුණු අපූරු චරිතයක් සමඟ කතාබහක යෙදෙන්න අවස්ථාව උදාවුණා. ඔහු නමින් කුමාර කරුණානන්ද. කිසිදු භේදයකින් තොරව සුළු චරිත, සහාය චරිත මෙන්ම ප්‍රධාන චරිත ඔස්සේ රංගනයට දායක වන ඔහු තම හැකියාවන් නිසාම රසික හදවත්වල සිය මුද්‍රාව තබන්නට සමත් වූ රංගන ශිල්පියෙක්. ඉතින් අපි විමසමු ඔහුගේ වසර හතළිහක අත්දැකීම් සමඟ වර්තමානයේ කලා ක්ෂේත්‍රය පිළිබඳ දක්වන අදහස් කෙබඳුද කියා....

 

චතුර කථිකයකු මෙන් ඔහු තම යටගියාව හෙළි කරන්නට වූයේ අතීතයට ඉගිළෙමින්.

මම ඉපදෙන්නේ මාතර. පාසල් ගියේ මාකඳුර මහා විද්‍යාලයට. උසස් පෙළට කොළඹ ලුම්බිණි මහා විද්‍යාලයට එනවා. උසස් පෙළ ලියනවාත් සමඟම මට ලංකා ගමනාගමන මණ්ඩලයේ ගිණුම් ලිපිකරුවකු ලෙස රැකියාව ලැබෙනවා 1977 වසරේ. පාසල් යන කාලේ ඉඳන්ම මම පාසලේ පොඩි නාට්‍යවලත් රඟපෑවා. අපේ ගම්දනවුවල රඟහල් තිබුණේ නෑ ඒ කාලේ. ඒත් කොළඹලුම්බිණි විද්‍යාලයේ ඇති ලුම්බිණි රඟහල කියන්නේ මේ රටේ කලාවේ තෝතැන්නක්. සංගීතයේ වගේම වේදිකා නාට්‍යවල විශාල පිබිදීමක් ඒ යුගයේ තිබුණා. සෑම වැඩිහිටියකුට වගේම දරුවන්ටත් එදිනෙදා ජීවිතයට අවශ්‍ය නැණ පහදන කලා කෘති තමයි අපි පාසල් ශිෂ්‍යයන් ලෙස ඒ කාලේ දුටුවේ. ඒ කටයුතුවල යෙදුණෙත් බොහොම දක්ෂ ශිල්පීන් හා ශිල්පිනියන්. ඒ දෙස බලලා අපේ සිත් ඒ විෂයන්ට යොමු වුණා.

මම කොළඹට ඇවිත් නතර වුණේ කිරුළපණ. ඒ ප්‍රදේශයේ පොල්කොට වේදිකාව නැත්නම් වෙසක් නාට්‍ය කලාව බොහොම සරුවට ඒ කාලේ කෙරුණා. දයාරත්න රටගෙදර, අශෝක සෙනරත් මුදලිගේ, නිහාල් සිල්වා, සංජය ලීලාරත්න වැනි අය බොහෝ ක්‍රියාකාරීව හිටියා. මමත් ඒ පොල්කොට වේදිකාවට නාට්‍ය ලීවා රඟපෑවා. මුලින්ම අවස්ථාව ලැබුණේ 'අප්පා නැති කල' නම් නිර්මාණයේ. ප්‍රසිද්ධ වේදිකාවට පය තියන්න අපේක්ෂාවෙන් අපිත් නාට්‍ය බලන්න ලුම්බිණිය ළඟ පෙළ ගැසුණා. සෙනඟ සියලු දෙනා ශාලාවට ඇතුළු කළාට පස්සේ තමයි අපි වගේ ලුම්බිණියේ උසස්පෙළ කරන නහර කොල්ලන්ට අවස්ථාව ලැබුණේ.

 

එලෙස වේදිකාවට ඇලුම් කළ ඔහුට සිය අපේක්ෂාව මුදුන්පත් වන අවස්ථාව උදාවිය. ඒ 1980 වසරේදීය.

 

කොහොම හරි මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වුණේ විමලරත්න අදිකාරිගේ 'පරාස්ස' වේදිකා නාට්‍යයෙන්. ඒ නවසිය අසූවේ දෙසැම්බර් මාසේ රාමක්‍රිෂ්ණ ශාලාවෙදි. ඉන් පසු දිගින් දිගටම වේදිකා නාට්‍යවල ප්‍රධාන චරිත ලැබෙන්න පටන්ගත්තා.

ඒ අතර 1982 වන විට ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වෙන්න ලැබුණා. ඒකාංගික නාට්‍යවල සුළු චරිත, සහාය චරිත ආදිය කරමින් මුලින්ම දිගු ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ 'අසල්වැසියෝ' වෙනුවෙන්. ඊළඟ දශකය වන විට මම ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිතවලට පණ දුන්නා. මුලින්ම මට ප්‍රධාන චරිතයක් ලැබුණේ සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාගේ ‘ටිකිරි නිලමේ’ ටෙලි නාට්‍යයේ. ඉන්පසු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂවරුන් සියලු දෙනාගෙම පාහේ නිර්මාණවලට දායක වන්න මට අවස්ථාව ලැබුණා. මෑත කාලීනව සැලකුවොත් ජනක චමින්දගේ 'අකඩවාරිය' මම ආසාවෙන් කළ ටෙලි නාට්‍යයක්.

 

රංගන ශිල්පියකු ලෙස ඔහුගේ ජීවිතයේ විශාලම සිහිනය සැබෑ වන්නේ මේ අතරය.

මේ අතර සිනමාවට සම්බන්ධ වන්න මට අවස්ථාව ලැබුණා. මුලින්ම ෂෙල්ටන් පයාගල මහත්මාගේ 'මලට නොඑන බඹරු' චිත්‍රපටයෙන් තමයි සිනමාවට පිවිසියේ. ඒ ආ ගමනේ පුරහඳ කළුවර චිත්‍රපටයේ චරිත පහෙන් එකක පවා රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම 2019 වසරේ අද්මිරාල් සරත් වීරසේකර අධ්‍යක්ෂණය කළ ශ්‍රී සිද්ධා චිත්‍රපටය දක්වා මගේ ඒ ගමන අඛණ්ඩව යමින් සිනමා නිර්මාණ රැසක රංගනයේ යෙදෙන්න මට වාසනාව උදා වුණා.

 

තම පරපුරේ ශිල්පීන් සහ නවක ශිල්පීන් දෙකොටස සමඟම සහයෝගයෙන් කටයුතු කරන ඔහුට ඒ අය පිළිබඳ යම් රාමුවක් සිතේ ඇඳී ඇතුවාට සැක නැහැ.

වේදිකාවට ඇලුම් කළ තරුණ ශිල්පීන් රැසක් ඒ කාලේ බිහි වුණා. ඔවුන් බහුතරය විශ්වවිද්‍යාලවලින් බිහි වූ අය නෙවෙයි. හැබැයි සතර අභිනය, රංගනය පිළිබඳ හොඳීන් අධ්‍යයනය කර තිබුණා. මමත් රංග ශිල්ප ශාලිකාවෙන් ආ කෙනෙක්. පසුව අසූතුන, අසූහත-අට වගේම ත්‍රස්තවාදී කලබල නිසා රටේ ඇති වුණු යම් යම් ප්‍රශ්න හේතුවෙන් භද්‍ර යෞවනයේ සිටි තරුණ පිරිසට පුහුණුවීම් ආදියට යා හැකි ස්ථාන නැතිව ගියා. ඒ නිසා නාට්‍ය ඉගෙනීම වගේම අලුතෙන් කළ නිෂ්පාදන අඩාළ වුණා. ඒ වගේම ගුරු ප්‍රජාව පසුබෑවා. ඉන්පසු විශ්වවිද්‍යාලවලින් පැමිණි බොහෝ පිරිස නාට්‍යවල රඟපාන්න ආවා මිස පාඨමාලා, වැඩමුළු ආදිය පවත්වා ගෙන යෑමට උත්සුක වුණේ නැහැ. ඒත් වර්තමානයේ ප්‍රසන්නජිත්ලා, කෞශල්‍යා ප්‍රනාන්දුලා, අජිත් ලොකුගේලා, වසන්ත විට්ටච්චිලා, කුමාර තිරමාදුරලා ඇතුළු අපේ පරපුරේ පිරිස ඒ හිඩැස පුරවන්න යම් කැපවීමකින් ඉදිරිපත් වෙලා තිබෙනවා. වර්තමානයේ නව නැඹුරුවක් තිබෙනවා වේදිකා නාට්‍ය ඉදිරියට ගෙනයන්න. එය උතුම් සද්කාර්යයක් ලෙසයි මම දකින්නේ. මොකද මේ වන විටත් අප අතර විවිධ ශෛලීන්වලින් බිහිවෙලා හොඳ හැඩතල ඇතිව ජනතාවට බද්ධව යන්නේ තාත්වික නාට්‍ය. ඒ නාට්‍යවල ඉහළින් වැජඹෙන පිරිසක් ඉන්නවා.

වර්තමාන පරපුර නාට්‍ය කලාව පිළිබඳ ඉතිහාසය හදාරනවා අඩුයි. පාසල්වලටත් ජාතික ප්‍රතිපත්තියක් ලෙස පිහිටා නාට්‍ය හා රංගකලාව, එහි ඓතිහාසික වැදගත්කම්, ආරම්භය හා ක්‍රමවේද හුරු කරන ක්‍රමයක් නෑ. වර්තමාන පිබිදීම හොඳ වුණත් පසුගිය කාලේ තැනුණු නාට්‍ය දිහා බැලුවාම සමහර දේවල් හරසුන් බවක් පෙන්වනවා. විදේශීය නාට්‍ය සමඟ සසඳද්දි අපට උරුම සංස්කෘතියට ගැළපෙන නාට්‍ය සහ විදේශීය නිර්මාණ නාට්‍ය ලෙස තැනෙනවා. පරිවර්තන, අනුවර්තන කෙරෙනවා. ඇතැම් බටහිර පරිවර්තන හෝ අනුවර්තන අපේ ආසියාතික සංස්කෘතියටත් ගැළපෙනවා. හොඳම උදාහරණ හුණුවටයේ කතාව. ඒ වගේම ප්‍රසන්න විතානගේ කළ පුත්‍ර සමාගම ප්‍රහසනයක් ලෙස සාර්ථක නිර්මාණයක්. එය අපට ඉහළ රසවින්දනයක් ගෙනා නිර්මාණයක්. වැනීසියේ වෙළෙන්දා, ජුලියස් සීසර් වැනි නාට්‍යවලින් අපේ ජීවිතයට බොහෝ දේ උකහා ගන්න පුළුවන්. ඒත් වත්මන් තරුණ පරපුර සමාජ ජාල හරහා සිදුවන නොයෙක් දේ ග්‍රහණය කරගෙන ඒ ඇසුරෙන් ගොඩනැ‌ඟෙන වස්තු බීජ නිර්මාණ ලෙස ගෙන ඒමට කටයුතු කරනවා. එහෙත් පිටපත්වල ඇති දුර්වලතා නිසා ඒවා නිසි ප්‍රමිතියකට ගොඩනැඟෙන්නේ නැති බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ.‍

 

ඔහු සිනමාව පිළිබඳව ද තම අදහස මෙසේ කීවේය.

සිනමාවේ අතිදක්ෂ සිනමාකරුවන් සමු ගෙන ගිය පසු බොහෝ සෙයින් සාර්ථක නිර්මාණ කෙරෙනවා අඩුයි. ඒ වගේම පිටපත්වල තිබෙන දුර්වලකම නිසා සහ අඩු පිරිවැයකින් වැඩි ලාභයක් ලබන්න තිබෙන අවශ්‍යතාව නිසා බොහෝ සිනමා නිර්මාණවලින් ප්‍රේක්ෂකයන්ට රසයක් ලබන්න බැරි තැනට ඇවිත්. ඒ නිසා චිත්‍රපට කලාව බොහෝ පරිහානියකට ලක්වෙලා. හරවත් නිර්මාණ කරන පිරිසට වඩා වැඩි පිරිසක් යොමු වී තිබෙන්නේ නිසරු නිර්මාණ කරන්න. ඉඳහිට ලෝක සිනමාව හැදෑරූ, විශ්ව සිනමාව පිළිබඳ අවබෝධයකින් නිර්මාණකරණයේ යෙදෙන කීපදෙනෙකුත් නැතුවා නොවෙයි.

ඒ වගේම ටෙලි නාට්‍ය සලකද්දි අද මෙගා කියන නිර්මාණ තුළ මුල මැද අග කියලා පිටපතක නිමාවක් නෑ. ඉස්සර කතාංග 25කින් ඉවර වෙනවා නම් පෙළ සාර්ථකව අවසන් වෙද්දි කිව යුතු දේ ඒ කොටස් කීපයෙන් කියා අවසන් කෙරෙනවා. පළමු මෙගා නාට්‍යය ලෙස ගැනෙන 'දූදරුවෝ' පවා අවසානය නිශ්චිතව තිබුණ නාට්‍යයක්. අද ලාභ ලැබීමේ චේතනාවෙන් සහ කතා කලාව නොදන්නා රචකයන් කතා ලිවීමෙන් වගේම නිෂ්පාදකයන් මෙය තමන්ට හොඳ තෝතැන්නක් කරගැනීමත් නිසා අලුතෙන් බිහිවන ඇතැම් නළු නිළියන්ට මෙය තමන්ගේ වෙනත් අරමුණු සාක්ෂාත් කර ගැනීමට සුදුසු මඟක් බවට පත්වීම නිසා තමයි අද මේ තත්ත්වය ටෙලි නාට්‍යවලට උදාවෙලා තිබෙන්නේ. ඒ නළු නිළියන් වේදිකාවක රඟපාලත් නෑ. සිනමාව රූපවාහිනියට වඩා‌ වේදිකාවේදී අපට අධිරංගනයක් කරන්න සිදුවෙනවා තමයි. ඒත් ඒ අය රංගනය කියන්නේ කුමක්ද කියා දන්නෙත් නෑ. ඒ නිසා ටෙලි නාට්‍යවලින් අප බලාපොරොත්තු වන ගුණාත්මක බව නොලැබී යන තත්ත්වයක් තිබෙනවා. නිෂ්පාදකට වගේම අධ්‍යක්ෂට සහ තිර රචකයාට ඇත්තේ ලාභ ලැබීමේ පරමාර්ථය නම්, ඒ මොහොතේ ඉන්න නළු නිළියන්ට හෝ ගෙන්වා ගත හැකි අයට ගැළපෙන මොනවා හෝ ලියා රූගත කරනවා.

 

මේ තත්ත්වය ඉවසන ප්‍රේක්ෂකයන් ගැනත් පවසන්න ඔහු අමතක කළේ නැහැ.

අද ප්‍රේක්ෂකයන් ගැන වුණත් මට හිතෙන්නේ විෂයයන් හැටියට ඉතිහාසය සහ සාහිත්‍ය ඉවත් වීම වගේම පාලි සංස්කෘත, බෞද්ධ දර්ශනය වැනි විෂයන්වල අඩුව සමඟ අධ්‍යාපන ක්‍රමයේ ඇති වූ වෙනස නිසා රස වින්දනය අතින් යම් හීනතාවක් දක්වන පිරිසක් බවට පත් වෙලා කියලයි. අද සමාජයේ තිබෙන තරගකාරීබව සමඟ මූල්‍යමය අවශ්‍යතාව වැඩි වෙලා. අත්‍යවශ්‍ය භාණ්ඩවල ස්වභාවය වෙනස් වෙලා. කාර් එකක් කියන්නේ ඒ කාලේ සුඛෝපභෝගී භාණ්ඩයක්. ඒත් අද එය සුලභව නැතිව බැරි දෙයක් බවට පත්වෙලා. ඒ වගේම රටේ පවතින තත්ත්වය මත රට අතහැර යෑමේ ප්‍රවණතා වැඩි වෙලා. බුද්ධිගලනය වැඩි වෙලා. රටට ලැබෙන සම්පත් දායකත්වය හීන වෙලා. ඒ නිසා රටක් ලෙස අනන්‍යතාව රැක ගැනීමට විශාල විර්යයක් දරන්න වෙලා. අපි හැම අතින්ම පහළට වැටෙන්නේ නිසි සැලැස්මක් නැති නිසා.

 

ඒ අතර විදේශීය නිර්මාණ නිසා දේශීය කර්මාන්තයට සිදුව ඇති හානිය ගැන ද ඔහු සඳහන් කළේය.

මේ රටේ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ලාබෙට ගෙනත් පෙන්වන දකුණු ඉන්දියානු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය මඟින් අපට දායාද කරන සංස්කෘතිය. මරනවා, කොටනවා, පාරදිගේ ඇදගෙන යනවා, දූෂණය කරනවා, මේ මඟින් අපේ රටේ ලුම්පන් සමාජයේ බොහෝ දෙනා හිතනවා ඒක තමයි හරි ක්‍රමය කියලා. ඒ දරුවන්ගේ සිත් වැරැදි මඟට ගෙන එන්න ඒ දේවල් හේතුවෙනවා. අද ප්‍රවෘත්ති ලෙස දෘශ්‍ය මාධ්‍ය මඟින් පෙන්වන දේවල් පිළිබඳවත් විශාල ගැටලුවක් තිබෙනවා. පුවත්පත් පවා අද සාරධර්ම රැකගන්න, වර්ධනය කරන්න නෙවෙයි උත්සාහ කරන්නේ. එකිනෙක පරයා යන නාලිකාවලට ඒ ක්‍රමය හොඳ වුවත් මානව ගුණධර්ම රැක ගැනීම කියන කාරණයේදී එය එතරම් ගුණදායක තත්ත්වයක් නෙවෙයි. වර්තමානයේ කලාකරුවන් විශාල ආර්ථික අර්බුදයකට මැදිහත් වෙලා නිසා ඒ දේවල්වලටත් විරුද්ධ වන්න බැරි මට්ටමක ඉන්නවා. අපි මුල් කාලය සැලකුවොත් ඔෂීන් ගෙනත් හඬකවන යුගයේ ඔෂීන්ගේ පවුලේ සියලුම ටෙලි නාට්‍ය ගෙනත් හඬකැව්වේ නැහැ නෙ. හොඳට සොයා බලා නෝත්‍රදාමයේ කුදා, මනුතාපය, මල්ගුඩි දවස වැනි හොඳම ගුණාත්මක නාට්‍යයක් පමණයි තෝරා ගත්තේ. ඒවා බාල මහලු සැම දෙනාටම නැරඹිය හැකිව තිබුණා. ඒත් අද කිසි ප්‍රමිතියකින් තොරව ලාභ ලැබීම උදෙසා විදේශීය නිර්මාණ ගෙනැවිත් අපේ රසිකයන්ට පටවනවා.

 

මේ දේවල් පාලනය කරන්න නම් තමන් තමන්ව දකින්න ඕනෙ. එසේ නොවී අනුන්ව වෙනස් කරන්න ගියාට හරියන්නේ නෑ. හැදියාව සහ වින්දනය දරුවන්ට ඉගැන්වීම අවශ්‍යයි. එහිදී විශේෂයෙන් සංගීතයට යොමු කිරීම අත්‍යවශ්‍යයි.

කලාකරුවන්ගේ පවුල් පසුබිම බොහොම හොඳ තත්ත්වයෙන් පවතිනවා නම්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ආධ්‍යාත්මික වශයෙන් ගුණවත් අය නම් තම තමන්ගේ භූමිකාව හඳුනා ගන්නවා නම්, අධිමානයක් නොගෙන ඉන්නවා නම් පැවැත්ම හොඳයි. මේවායේ අඩුව තරුණ පරපුර අතර තමයි විශාල වශයෙන් දකින්න ලැබෙන්නේ. තම තමන්ගේ පැවැත්ම උදෙසා විවිධ අනවශ්‍ය ගනුදෙනු ඇති කර ගන්නවා. එය නොවෙයි සිදු විය යුත්තේ තමන් කවුද යන්න හඳුනා ගෙන සරල ජීවිතයක් ගත කරනවා නම් දිගුකාලීනව පැවැත්මක් තිබෙනවා.

 

 

වර්තමානයේ ඔහුගේ ජීවිතය ගෙවෙන ආකාරය ගැන ඔහු කතා කළේ සතුටිනි.

මම මගේ බිරිඳ චාන්දනී සේපාලිකා සහ පුතා කසුන් වින්දික, ලොකු දුව ඉසිරි උදාමිණි, පොඩි දුව දෙව්මි නෙත්මිණි සහ මුනුපුරා යුහස් මින්සිත සමඟ සතුටින් කල් ගෙවනවා. මේ වන විට ටෙලි නාට්‍ය කීපයක් සඳහා ආරාධනා ලැබී තිබෙනවා. ඉදිරියේදී ප්‍රසංගයක් රැගෙන ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වීමටත් යෙදී තිබෙනවා.

 

කලාකරුවකු ජීවත් විය යුතු ආකාරය පිළිබඳව ඔහුගේ දැක්ම මෙසේ හෙළි කරමින් ඔහු කතාව නිමා කළේය.

වෘත්තීය කලාකරුවකු ඉතා දක්ෂ ප්‍රතිභාපූර්ණ අයකු නම් ඒ යුගයේ විශාල මුදලක් ලැබුණා. ඒත් අපට ලිපිකරුවන් ලෙස රුපියල් 265යි මාසික වැටුප. අතිකාල පැයක් ශත 55යි. ඒවායින් අපි මුළු පවුලව රැකගෙන සියලු වියහියදම් බේරා ගත්තා. මේ වැටුප්වල විශාල වෙනසක් පසුගිය කාලවල ඇති වුණා. කලාකරුවන්ටත් ඒ වෙනස දැනුණා. හැබැයි ලැබුණු මුදල් එවෙලේ වියහියදම් කරලා පසුකාලීනව අනේ අපි කලාකරුවෝ රජයෙන් අපිව බලාගන්නේ නෑ කියන එකනම් එතරම් හොඳ ලක්ෂණයක් හැටියට මම දකින්නේ නෑ. කලාකරුවා ස්ථිර ආදායම් මාර්ගයක් ඇති අයෙක් නෙවෙයි තමයි. හැමදාම ආදායම් නෑ. ඒ නිසා ඉතුරු පහදු කරගන්න තමන් දැනගන්න ඕනෙ. ඒත් ආසියාතික රටවල ජීවත්වන අපේ හදවත්වල තිබෙන්නේ හරි සුන්දර බැඳීිම් ක්‍රමයක්. ඒ නිසා යම් යම් අපහසුතා ඇති අපේම සහෝදර කලාකරුවන් වෙනුවෙන් ඔවුන් අපෙන් දෙයක් බලාපොරොත්තු නොවුණත් අපි ඔවුන් ගැන බලන එක අපේ යුතුකමක්.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න