මගේ පෙම් පණිවිඩ යවන්න එදා මම ට්‍රාන්ස්මීටරයක් හැදුවා

ජ්‍යෙෂ්ඨ සන්නිවේදක රොස්මන්ඩ් සේනාරත්නගේ මාධ්‍ය දිවියට වසර 50යි
සැප්තැම්බර් 8, 2022

 

‘පනස් වසරක ඇසිදිසි මාධ්‍ය චාරිකා’ උලෙළ 15 වැනිදා

අදට එනම් සැප්තැම්බර් 8 වැනිදාට ඔහුගේ මාධ්‍ය ජීවිතයට හරියටම වසර 56ක් සපිරෙයි. පියාගේ රාජකාරී සමඟ පාසල් කීපයකින් අධ්‍යාපනය ලැබූ ඔහුගේ මුල් පාසල හිදැල්ල ප්‍රාථමික විද්‍යාලය විය. එහි ඇනෝෆිලස් මදුරුවා සොයමින් දුනු හී රැගෙන ගීයක් ගායනා කරන්නට වේදිකාවට පැමිණි පොඩිත්තා සෙනඟ දැක බිය වී හැඬුවේය. එහෙත් පසු කලෙක ඔහු මුළු රටම ආමන්ත්‍රණය කරන ප්‍රකට සන්නිවේදකයකු විය. මාතර රාහුල විද්‍යාලයේදී ගුවන්විදුලියේ කණ්ඩායම් ගීයකට සහභාගී වන්නට ගොස් පියාගේ මෝටර් රථයේ දෝෂයක් නිසා ඒ ගමන මඟහැරුණු ඔහුට පළමු රැකියා අවස්ථාව ලෙස ගුවන්විදුලියේ සේවයට කැඳවීමක් ලැබුණේය. ඒ 1966 අදවන් දිනකය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිම කළ ඔහුට චිත්‍රපට කටවු‌ට් පෝස්ටර් නිර්මාණය කරමින් එවක ජනප්‍රිය නළු ප්‍රේම් ජයන්ත් සමඟ එක්ව කටයුතු කරන්නට වාසනාව උදා විය. එපමණක් නොව ගුවන්විදුලියෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පළමුවෙන්ම බඳවා ගත් පිරිසට අයත් වූ අතර එහි වාණිජ අංශයේ අධ්‍යක්ෂ ධුරය දක්වා උසස්වීම් ලැබීය. ස්වර්ණවාහිනී නාලිකාව අයත් ඊටීවී ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයද, ස්වාධීන රූපවාහිනියේ සභාපති ධුරයද ජනාධිපති උපදේශක ධුරය ද හෙබවීය. මෙරට රූපවාහිනි ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසකට දායකත්වය දුන් ජ්‍යෙෂ්ඨ සන්නිවේදක රොස්මන්ඩ් සේනාරත්නයන් සහෘද මතකයේ රැඳෙන්නේ ඔහු දැරූ ධුරවලින් මතු නොව අඩසියවසකට අධික කාලයක් පුරා ඔහුගේ ඇසි දිසි මෙහෙවරට පෙම්බැඳී පරම්පරාවල සන්නාමයක් ලෙස සන්තානගත වූ අපූර්ව චරිතයක් ලෙසිනි. මේ මාධ්‍ය දිවියේ ඔහුගේ ගමන් මඟ පිළිබඳ සරසවිය සමඟ කළ ආවර්ජනාවකි.

රූපවාහිනියේ ඉතා බැරෑරුම් මුහුණකින් යුතුව ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්ම වෙනත් වැඩසටහන් ඉදිරිපත් කළ රොස්මන්ඩ් සේනාරත්නයන් මෙන්ම ස්වාධීන රූපවාහිනියේ සභාපති ලෙස හමු වී ඇති ප්‍රතාපවත් පරිපාලකයාට හාත්පසින් වෙනස් චරිතයකි මා ඉදිරියේ අද සිටින්නේ. විශ්‍රාම දිවිය ගෙවන ඔහු වෙනදාට වඩා සැහැල්ලුවෙන් ජීවත්වන්නකු බවට පත්ව ඇතැයි නිතර සිනාවකින් මුව සරසාගෙන කතා සරිත් සාගරයක් බඳු රසකතා පවසමින් සිටියදී කෙනකුට හැඟෙනු ඇත. ඒත් නැත, ඔහු උපතින්ම ගෙනා සරල විනෝදකාමි ස්වභාවය එය බව දන්නෝ දනිති. ඉතින් අපි සාකච්ඡාව ඇරඹුවෙමු.

 

 

පනස් වසරක සංවත්සරයට පොතක් එළි දක්වනවා නේද?

ඔවු. 'ඇසි දිසි මාධ්‍ය චාරිකාව' කියලා මගේ අත්දැකීම් සංක්ෂිප්තව දක්වලා පොතක් ලියන්න සිදු වුණා බොහෝ හිතමිතුරන්ගේ ඉල්ලීම මත. එය මේ මස 15 වැනිදා සවස 4.00 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එළි දැක්වෙනවා.

 

ඔබ කුඩා කාලයේ පටන්ම විවිධ අත්හදා බැලීම් කරන්න හපනෙක්?

(සිනාවක් සමඟ) මම ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් තාක්ෂණික මෙවලම්වලින් විවිධ අත්හදා බැලීම් කරන්න හරි ආසයි. අවුරුදු දාහතරක් පමණ වෙද්දි කොළඹ අප පදිංචිව සිටි නාලන්දා විදුහල අසල ගෙදර ඉස්සරහ කාමරේ ජනෙල් පියන් ගලවා දමා ප්‍රදර්ශන කුටියක් වගේ වෙනස් කරගෙන වෙසක් එකට එහෙම තාක්ෂණය උපයෝගි කරගෙන විවිධ සැරසිලි කරන්න මම සැදී පැහැදී හිටියා. පාසල් යන කාලෙම මම සම්ප්‍රේෂණ යන්ත්‍රයක් හැදුවා. ඒ කාලේ රේඩියෝ සිලෝන් එක විතරනේ ගුවන්විදුලියකටත් තිබුණේ. ඒ කාලේ දැන් වගේ හෙඩ් ෆෝන් තිබුණේ නෑ. ඒ වෙනුවට ටෙලිෆෝන් බූත්වල තිබුණු රිසීවරවල කොටස් පිටකොටුවේ දෙවැනි හරස් වීදියෙන් අඩු මිලට ගෙනැවිත් හෙඩ් ෆෝන් හදාගෙන ඒ කාලේ ඉන්දියාවේ ආකාශ් වාහිනී වැනි ගුවන්විදුලි සේවාවල හින්දි ගීවලට සවන් දෙන්න මම හරි ආසයි.

මට චිත්‍ර අඳීන්නත් හැකියාව තිබුණා. උසස් පෙළ ප්‍රතිඵල එනකල් මට රිට්ස් සිනමා හලේ චිත්‍රපටවල කටවුට්ස් බැනර් පෝසටර් අඳීන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ හැටියට මම පවුඩර් කලර් සහ ලින්සිඩ් ඔයිල් යොදලා ඒවා ඇන්දේ. මට චිත්‍ර අඩියකට රුපියල් 2.42ක් ලැබුණා. ඒ කාලේ ඒක විශාල මුදලක්. 1965 පමණනේ. මුලින්ම මම චිත්‍රය ඇන්දේ කාන්ච් කි ගුඩියා කියන හින්දි චිත්‍රපටයේ මනෝජ් කුමාර් සහ සයීඩා යුවළගේ දර්ශනයක්.

 

(ඔහුගේ සිනාව මඳක් බොඳ වී අතීතයට යයි. අතිශයින්ම පියාට ආදරය කළ ඔහුට අවුරුදු 13වැනි කුඩා අවධියේ පිය සෙ‌නෙහස අහිමි වීමත් සමඟ මව දරුවන් සත් දෙනකු සමඟ බාගෙට තැනූ නිවස කළමනාකරණය කළ ආකාරය මේ මොහොතේ ඔහුගේ දෑස් ඉදිරියේ මැවුණා වැනිය)

අපට ආර්ථික ප්‍රශ්න තිබුණ නිසා රැකි රක්ෂා කාර්යාලය කියලා ඒ දවස්වල විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ළඟ තිබුණු කාර්යාලයක ලියාපදිංචි වුණා. සුමාන දෙකක් ඇතුළත මට කැඳවීමක් ආවා. ඒ මුද්‍රිත කවරයේ තිබුණේ රේඩියෝ සිලෝන් කියලා. මට පුදුමත් හිතුණා. කාර්මික නිලධාරීන් සඳහා වූ ඒ සම්මුඛ පරීක්ෂණය ට ආ 108 දෙනාගෙන් 8ක් තේරුණා. 1966 සැප්තැම්බර් 8 වැනිදා මම ගුවන්විදුලියට බැඳුණා. එදා සිට ආ ගමන තමයි අදටත් මේ එන්නේ.

1979 වෙද්දි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධාන පාලක මැදිරියේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී බවට පත් වන්නට අවස්ථාව උදා වුණා. මම අනෙකුත් පරීක්ෂණ සමත් වෙලා සහන නිවේදකයකු, නාට්‍ය ශිල්පියකු බවටත් පත් වුණා. මට මතකයි ලිපිකරුවකුගේ වගේම පොලිස් පරීක්ෂකයකුගේ චරිතවලට මම පණපෙව්වා. මට බොහෝ දේ කරන්න වෙලාව මදි නිසා නිවේදන සහ නාට්‍ය ඉදිරිපත් කිරීම්වලට වැඩි ඉඩක් දුන්නා. ඒ වගේම ආර්ථික පැත්ත ගැන බලලා වෙළෙඳ වැඩසටහන් ඉදිරිපත් කරන්නත් කාලය සොයා ගත්තා. රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සියලුම වෙළෙඳ වැඩසටහන් බණ්ඩාර කේ. විජේතුංග මහත්මයා මට පැවරුවා. ඒ වගේම මොනරතැන්න, ගිම්හානයේ ගීතය, කැලෑමල්, ගීත ධාරා වගේ ජනප්‍රිය වැඩසටහන් රැසක් ඉදිරිපත් කළා.

නාට්‍ය පිටපත් සඳහා සූදානම් වෙද්දි බොහෝ වෙලාවට ගුවන්විදුලි පරිශ්‍රයේ මැද ඇති ඇන්ටනාව ළඟ තණ තිල්ලේ ලොයිඩ් වාකිෂ්ඨ, ධර්මශ්‍රී මුණසිංහ, ඇග්නස් සිරිසේන, වොලී නානායක්කාර, ආනන්ද සිරිසේන වැනි අය සමඟ වාඩිවෙලා විහිළු තහළු කරමින් රාත්‍රී හතෙන් පසු මැදිරියක් නිදහස් වන තුරු අපි කාලය ගත කරන්නේ හරිම විනෝදෙන්. ඒ කාලේ නිවේදක පිරිස ගත්තත් ප්‍රේමකීර්ති ද අල්විස්, ප්‍රභා රණතුංග වැනි ප්‍රතිභාපූර්ණ ශිල්පීන් සිටියේ. මම කාර්මික වැඩ වගේම නිවේදන කටයුතුත් කළ නිසා පුරෝගාමි පිරිස සමඟ කටයුතු කරන්න මට වාසනාව ලැබුණා.

 

ඔබ රූපවාහිනී සංස්ථාවේ ආරම්භක සාමාජිකයෙක්?

1980 වන විට රජය තීරණය කළා රූපවාහිනියට පිරිසක් තෝරගන්න. රජයේ චිත්‍රපට අංශයෙන් තිදෙනෙක් සහ ගුවන්විදුලියෙන් තිදෙනෙක් තෝරා ගත්තා. අපි මාස තුනක පුහුණුවකට ජපානයට ගියා. ජාතික රූපවාහිනියේ සිවිල් ඉදිකිරීම් කෙරෙන තුරු අපව ස්වාධීන රූපවාහිනී සේවයට අනුයුක්ත කළා. එහිදී තමයි මම පළමු සංගීත වැඩසටහන කළේ.

ස්වාධීන රූපවාහිනියේදී අපි අපට නියමිත වැඩවලට අමතරව සෑම අංශයකම වැඩ කළා. අපි අපේ මාර්ගය හදා ගන්න ඕනෙ එහෙමයි. වර්තමාන පරපුරේ දක්නට ඇති අඩුපාඩුවත් තමන්ට පැවරෙන රාජකාරියෙන් පිට කිසිවක් කිරීමට ඇති අකැමැත්තයි. ඔවුන් සියල්ල මුදල් මත තීරණය කරන බවකුත් පේනවා.

අපට හිටියා ජෝන් හන්ට් කියලා විදේශිකයෙක් පුහුණු වීම් කිරීමට. ඒත් මම ඔහුගෙන් විෂය බාහිර බොහෝ දේ අහන්න ගත්තා. මට අවශ්‍ය වුණා ට්‍රාන්ස්මීටර හදන හැටි ඉගෙන ගන්න. ඒකට හේතුවකුත් තිබුණා. මොකද ඒ කාලේ වෙද්දි (පසුව දයාබර බිරිඳ බවට පත් වූ) ලක්ෂ්මි සමඟ මගේ ආදර සම්බන්ධයක් ඇති කරගෙන තිබුණේ. ඒත් අවට බාධක වැඩි නිසා අපට ලියුමක් හුවමාරු කරගන්නවත්, කතාබහ කරන්නවත් අවස්ථාවක් නෑ. මල්ලිලා නංගිලා ගිහින් කේලම් කියනවා. ඒ නිසා මම ට්‍රාන්ස්මීටරයක් හදලා රෑ හතට විතර කතා කරන බව දැනුම් දීලා ඇයට අවශ්‍ය පණිවිඩය කියන්න ක්‍රමවේදයක් හදාගත්තා. මගේ පෙම්පලහිලව්වට මම තාක්ෂණය යොදා ගත්තා. කාටත් හොරෙන් අපේ කතාබහ දිගටම සිදු වුණා.

 

ලංකාවේ පළමු වැනි රූපවාහිනී ටෙලිප්‍රොම්ප්ටරය හැදුණේ ඔබ අතින්?

එයටත් මට උදවු වුණේ මේ තිබුණු තාක්ෂණික උනන්දුව. මම සඟරාවලින් කරුණු එකතු කළා. ඒ කාලේ අපට ඉන්ටනෙට් ආදිය නෑනේ. පෙට්ටියක් ඇතුළේ අටවලා තමයි ඒක හැදුවේ. එය පෙනුමෙන් බොහොම ප්‍රාථමික ගතියක් පෙන්නුම් කළත් අද භාවිත වන්නෙත් රූපවාහිනීවල ඒ ක්‍රමවේදයම තමයි.

ඒ වගේම මේසය මත ටීවී එකක් සවි කළා ප්‍රවෘත්ති නිවේදනය පහසු කරන්න. මොකද අපි ඒ දවස්වල ප්‍රවෘත්ති කියන විට රූපය දෙස බලා වාක්‍ය කියවද්දී සමහර විට රූපයේ පෙනෙන දෙයට ගැළපෙන වාක්‍යය නෙවෙයි නිවේදකයා කියන්නේ. ඒ වගේම ප්‍රවෘත්තිය දෙස ආපසු බලද්දී පේළිය මඟහැරී තිබුණොත් එකම පේළි දෙවරක් කීම හෝ වෙනත් පේළි කියවීම හෝ සිදු වුණා. නැත්නම් තත්පර කීපයක නිහඬ බවක් ඇති වුණා. ඒ දෝෂ මඟහැරෙනවා තිරයක් මේසයේ සවි කළ විට අපට අදාළ රූපය පෙනෙන නිසා. බොහෝ වෙලාවට මට හැකි වුණා තිරයේ දර්ශනය වන හරිම රූපරාමුවට අදාළ වාක්‍යය කියවන්න මේ ක්‍රමය යොදා ගෙන. (ඔහු ප්‍රවෘත්තියක අයුරින් කියා පෙන්වයි.) 'අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා මේ අවස්ථාවේදී මල්පහන් පූජා කළේය.' කියද්දි වෙන රූපරාමුවක් විකාශය වුණොත් වැඩක් නෑනෙ. මේ වැඩේට අපව භාරව සිටි ජර්මන් ජාතිකයා කැමැති වුණේ නෑ. ඔහු කීවේ ලෝකෙ කොහේවත් මේසවල ටෙලිවිෂන් සවිකර නැති නිසා ඉදිරිය බලාගෙන කියන්න පුරුදු වෙන්න කියලා. ඒත් මම එය සභාපතිතුමාට කියන්න අවස්ථාවක් සොයා ගත්තා. එම්. ජේ. පෙරේරා මහත්මයා කීවා 'රොස්මන්ඩ් කවුද දැන් නිවුස් කියවන්නේ ඕගොල්ලොනේ. ඒ නිසා ඔයාලා සුදුසු විදිහට වැඩ කරන්න' කියලා. අපි වහාම ඒ ක්‍රමය ක්‍රියාත්මක කළා. ඉතා නිවැරැදිව ප්‍රවෘත්ති ගැළපුණා. මම හිතන්නේ ලෝකෙ පළමු වතාවට තමයි එහෙම ටෙලිවිෂන මේසයකට සවි කරලා දර්ශනය නිවේදකයාට පහසුවෙන් පෙනෙන අතර ටෙලි ප්‍රොම්ප්ටරයෙන් අකුරු පෙනෙන ආකාරයට ප්‍රවෘත්ති කීමේ ක්‍රමයක් යොදා ගැනුණේ. ඉතින් අපි හොඳ වැඩක් කළාම අපි එයින් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. මම විශ්‍රාම කාලය කියන දේ සලකන්නේ අප විසින් උපයාගත යුතු දෙයක්, ආයෝජනයක් හැටියට. අද සමාජය කොයි තරම් විෂමද ? එක පවුලක් ඉන්නවා එක වේලක්වත් කන්න නෑ. ඒ පවුලට ඉපදෙන දරුවාට කිරි ටිකක්වත් නෑ. තවත් පවුලක් ඉන්නවා කොළඹ හතේ යානවාහන දේපළ තිබෙන. ඒ පවුලට ඉපදෙන දරුවාට තිබෙන සැප සම්පත් සහ කලින් දරුවා අතර පරතරය සසඳන්න. මෙය දෙවියන්ගේ කැමැත්තක් නම් එය කොයි තරම් අසාධාරණ කැමැත්තක්ද? එයට තමයි අපි බෞද්ධ දර්ශනයේ කියන්නේ කර්ම ශක්තිය කියලා. ඒ කියන්නේ තමන් කරන, කියන, හිතන දේනෙ. එය හොඳට වගේම නරකටත් අපට යොදවන්න පුළුවන්. ඒ කරන දේවල් අනුව තමයි අපේ වාසනාව රැඳී පවතින්නේ. උදාහරණයක් ලෙස මාව ගත්තොත් අපි හරි භාග්‍යවත් පරපුරකට අයත් වන්නේ. මොකද මුල් යුගයේ තිබුණේ රූපවාහිනී නාලිකා දෙකයි. ප්‍රේක්ෂකයන් කැමැති වුණත් අකැමැති වුණත් එය නරඹන්න ඕනෙ. ඒ නිසා තමයි මට ජනප්‍රිය නිවේදකයකු වන්න අවස්ථාව සැලසුණේ. අද කාලේ වගේ වුණා නම් 'ආ දැක්කා තමයි චැනල් එකක...ඔයාද රොස්මන්ඩ් කියන්නේ' කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඒක තමයි ලැබීම කියන්නේ. අපි ගිය භවයන්වල හොඳ වාසනාවන්ත දේවල් කරලා ඇති. අපේ කලකිරීමට අපේක්ෂා භංගත්වයට හේතු වන්නේ අපේ වැරැදි සැසඳීම්. හැම තිස්සෙම අපි වරප්‍රසාද අතින් සසඳද්දි බලන්න ඕනේ අපට වඩා අඩු වරප්‍රසාද ලාභීන් සමඟයි. ඒත් තමන්ගේ දියුණුව උදෙසා සැසඳීය යුත්තේ තමන්ට වඩා ඉහළ අයවයි. අපි ඔය දෙපැත්ත මාරු කරගෙන ඉන්නෙ. මාධ්‍ය ක්ෂේත්‍රයේ වුණත් එහෙමයි.

මම ස්වාධීන රූපවාහිනියේ සභාපති ලෙස වැඩකරන කාලේ මගේ ලේකම්තුමිය නිතර කියනවා 'සර් දැන් මීටිමට පරක්කු වෙලා යන්නැද්ද?' කියලා. ඒ්ත් මම තවත් මොහොතක් හෝ අරගෙන රැකියා අයැදුම් පත් එවූ තරුණ පිරිස සමඟ කතා කරලා ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරක් දෙන්න ඒ මොහොතෙත් උත්සාහ කරනවා. සමහර විටක අපට පෙනෙනවාට වඩා අපහසුතාවලින් පෙළෙන අය අප අතරම ඉන්නවා. ඒ නිසා අපේ යෞවන යෞවනියන් තමන්ගේ ලැබීම ගැන අවබෝධ කරගෙන අනුන්ගේ ලැබීමට ද්වේශ කරන්න නරකයි. එයින් අදහස් කරන්නේ නෑ උත්සාහය අතහරින්න කියලා. සසර පැවැත්ම තේරුම් ගත්තාම ජීවිතය සරලයි. එවිට අපට සතුටින් ඉන්න පුළුවන්. කුඩා කාලයේ සිටම අප එයට පුහුණු විය යුතුයි.

 

ඔබේ පෝදා වැඩසටහන සිහි වුණා ඒ කතාවට?

බෞද්ධ කටයුතුවලට මම යොමු වුණේ සසර පුරුද්දකට වෙන්න ඇති. බොහෝ වෙලාවට මම හොඳ දේවල්වලට ඉක්මනින් යොමු වුණ කෙනෙක් කියා හිතෙනවා. හැබැයි මම හරි විනෝදයෙන් ඉන්න කෙනෙක්. සමහරු කියනවා සිල් ගත්තා වගේ තැන්පත් වෙලා ඉන්න ඕනෙ කියලා එහෙම වුණාම. මම කවදාවත් එහෙම තැන්පත් කෙනෙක් නෙවෙයි. (දඟකාර සිනාවක් සමඟ) පුංචි කාලේ ඉඳන් පිස්සු නටපු කෙනෙක්. කාර්යාලයේදි වුණත් මම මඩ කප්පිත්තෙක්. ඒත් සභාපති තනතුරු එහෙම ලැබුණාම මට හරි අභියෝගයක් වුණා තනතුරට ගැළපෙන විදිහට ඉඳගෙන මගේ සුපුරුදු ඒ විනෝද කටයුතු කරන්නේ කොහොමද කියලා.

මම දෘශ්‍ය සංකලනය කරද්දි ඩබ්ලිව්. බී. මකුලොලුව, ධම්ම ජාගොඩ වැනි අයත් එක්ක රෑ දෙක තුන වෙනකල් නිදිමරාගෙන වැඩ කරන්නෙ. කැමරා ශිල්පීන් හෙම්බත් වෙද්දි මම බාගෙට දෙපිට කැපෙන දෙයක් එක්ක විහිළු තහළු කළාම ආයේ පණ ගහල එනවා පිරිසෙම. මම කවදාවත් නිදිමතට යට වුණේ නෑ, ඒත් ආතතියකුත් නෑ. සමහර දවසට තමන්ගෙන් පසු වැඩබාර ගතයුතු නිවේදකයා එහෙම ආවේ නැති වුණාම සමහරුන්ට කේන්ති යනවා. ඒත් මම ඒක වඩා හොඳයි මට අත්දැකීමකට කියලා හිතාගෙන වැඩ කරනවා. අලුත් පරපුර එන්නෙම පඩි විසමතා, වැඩ කාල විසමතා විමසගෙන. අපි ඒවා තැකුවේ නෑ. අද පරපුර සහ එදා පරපුර අතර වෙනස ඒකයි. මේ සියල්ල සමඟ විශ්‍රාම ගියාට පස්සේ තමයි තමන්ට තමන්ගේ අතීතය මතක් වෙන්නෙ. එය ආවර්ජනය වෙනවා මිස කරනවා නෙවෙයි. අපේ පංචේන්ද්‍රියන් අවරට යනවා. කවදා හෝ ඇඳට වුණ දවසට කරන්න දෙයක් නැති වුණා ම ඔළුව වැඩ කරන්න ගන්නවා. එතකොට නරක දේවල් කළොත් ඒවා සිහිවෙනවා. හොඳ දේවල් කළොත් මතු වන්නේ යහපත් සිතිවිලි. අපි මනුෂ්‍යයන් ලෙස කළ යුතු හොඳම ආයෝජනය තමයි පින්. මොකද අපි යද්දි අපේ දත් දෙපළවත් ගෙනයන්න බෑනෙ. (සිනාවක්) අපි සිතන පතන විදිහ අනුව තමයි සතුට රැඳෙන්නේ.

(නැවත යමක් මතක් වූවා සේ මා දෙස බලා)

බෞද්ධ වැඩසටහන් කරන්න යොමු වුණෙ ඒ කරුණ මතම නෙවෙයි. ජාතික රූපවාහිනියේදී මට ලොකු බලයක් තිබුණා වෙළෙඳ දැන්වීම් පිටපත් ආදිය අනුමත කරන්නේ මම නිසා. මම සටන් කළේ දැවැන්ත ප්‍රචාරක ආයතන සහ ව්‍යාපාරිකයන් සමඟ. සමහරු දැඩි බලපෑම් කළා මට තමන්ගේ නිෂ්පාදනය උසස් බව කියන්න අවස්ථාව දෙන්න කියලා. ඒත් මම ඔවුන් සමඟ තර්ක කරමින් සදාචාර පද්ධතියේ ප්‍රමිතිය පවත්වා ගන්න කටයුතු කළා. ඒත් මමත් එච්. ඩී. ප්‍රේමරත්නත් ප්‍රධාන කොටගෙන ස්වර්ණවාහිනිය ආරම්භ කළ පසු එහි විකාශය වූ හින්දි චිත්‍රපටවල බොහෝ සරාගී දර්ශන ඇතුළත් වුණා. එය නාලිකාවේ ජනප්‍රියත්වය වෙනුවෙන් ආයතනය ගත් වෙළෙඳ උපායමාර්ගික තීරණයක්. ඒත් එයින් මගේ මෙතෙක් ගොඩනැඟී තිබූ ප්‍රතිරූපයට විශාල හානියක් වන බව පෙනෙන්ට වුණා. එය වළක්වා ගැනීමට මාර්ගයක් සොයද්දි තමයි පෝදින සාකච්ඡාව මෙහෙයවීම සුදුසු බව මට වැටහුණේ. මම එහිදී කල්පනා කළා බොහෝ දෙනාට වැදගත් වන මාතෘකාවක් ගැන. මනස සහ මරණයෙන් පසු පුනර්භවය පිළිබඳ කතා කිරීම වඩාත් සුදුසු බව තීරණය කළා. වැඩසටහන් දෙකක් විතර විකාශය වූ පසු මට වාහනයට පෙට්‍රල් ගහන්න යන්නවත් බෑ ත්‍රීරෝද රථ රියැදුරන් පවා ඇවිත් කියනවා ' සර්ගේ වැඩසටහන අපි අතහරින්නේ නෑ. කොහොම හරි හයර් එක දුවලා නවයහමාර වෙද්දි යනවා ඒ කතාව අහන්න. ඇඟ හිරිවැටෙනවානෙ සර් ඒ කතාවලට.' කියලා. එයින් රටටත් සේවයක් වුණා. බොහෝ ස්වාමීන්වහන්සේලා පිළිබඳ හඳුන්වා දීමට හැකි වුණා. ඒ වගේම දෛනික ජීවිතයේ ප්‍රශ්නවලට පිළිතුරු තිබෙන්නේ බුදුදහමේ බව පහදා දෙන්න ඒ වැඩසටහන උපයෝගී වුණා. එය විශාල මෙහෙවරක් බව මටත් වැටහුණේ පසුවයි. 2019 වනතුරු මම අවුරුදු 22ක් එය මෙහෙයවූවා.

 

මෙරට පළමු රියැලිටි වැඩසටහනේ හිමිකරු ඔබයි?

1989 ජාතික රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ආධුනික ගායක ගායිකාවන්ට අවස්ථාවක් ලබා දෙන්න හොඳ ක්‍රමය කුමක්ද කියා හිතමින් හිටියා. ඒ අතර දැන්වීමක් කළාම බොහෝ ගම්නියම්ගම්වලින් යෞවන යෞවනියන් ලියුම් එව්වා. ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් පරීක්ෂක මණ්ඩල යොදවමින් කැමැති ගීයක් ගායනා කර තමන්ගේ හැකියාව පෙන්වන්න තරුණ අයට අවස්ථාව දුන්නා. මනෝජ් පීරිස්, ස්ටැන්ලි පීරිස් වැනි අයගේ සහාය මෙහිදී අමතක කරන්න බෑ. ඉන්පසු අපි කීවා ඒ තරුණ අයට අලුත් පදරචනයක්, සංගීතය අලුතින් යොදා නව ගීතයක් ගායනය කරන්න කියලා. එයින් නවකයන් රැසක් බිහිවෙන නිසා. අලුත් ගීතයක් එකවර ප්‍රේක්ෂක හිතට වදින්නේ නැති නිසා බටහිර සහ පෙරදිග වාද්‍ය වෘන්ද දෙකම යොදාගෙන අලුත් ගීත ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නා. ඒ වැඩසටහන අධ්‍යක්ෂණය, ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය කළෙත් මම. අනුග්‍රාහකයන්ට අවශ්‍ය විදිහට ආකෘතිය වෙනස් කරන්න දුන්නේ නෑ. පණ්ඩිත් අමරදේව, සංගීතවේදී ප්‍රේමසිරි කේමදාස වැනි අය සමඟ ලයනල් අල්ගම,වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ වැනි අය යොදමින් මධ්‍යස්ථ විනිසුරු මඬුල්ලක් සැකසුවා. එයින් අරමුණු කළේ සම්පූර්ණයෙන් කුසලතාවටම අවස්ථාව ලබා දීම. ඒ වගේම එස්එම්එස් ආදියට අවස්ථාව තිබුණේ නෑ. ඉතින් එය තමයි ලංකාවේ පළමුවැනි රියැලිටි වැඩසටහන. ඇසේ මධුර ගී.

ඒ වගේම මුලින්ම ලොතරැයි දිනුම් ඇදීම් රූපවාහිනියට ගෙනාවෙත් මම. එහිදී අංක ඇතුළත් බෝල කැරකී ජයග්‍රාහකයා තෝරන විට සංස්කරණයක් සිදු වුණොත් හොරයක් කළා දැයි සැකයක් යමෙකුට ඇති විය හැකි නිසා අපි බොහොම පරෙස්සමින් හොඳට සැලසුම් කරලා තමයි ඒ රූපරාමු ආ යුතු විදිහ තීරණය කළේ. එවැනි ආකාරයට ප්‍රථම වරට කළ දේවල් නිසා හරි සතුටක් හිතේ තිබෙනවා.

අද රූපවාහිනි නාලිකාවල තරගකාරීත්වය හරි වැඩියි. ලංකාව වගේ රටකට මේ තරම් නාලිකා සංඛ්‍යාවක් අවශ්‍යද කියන දේ ප්‍රශ්නයක්. මූල්‍ය හැකියාව සහ දේශපාලන හේතු මත සීමාව ඉක්මවා මේ නාලිකා ඇති වුණාද යන්නත් හිතෙනවා. ඒත් ප්‍රේක්ෂකයාට විවිධත්වයකුත් අවශ්‍යයි. කෙසේ වෙතත් නාලිකාවලට ඇති අභියෝගය තමයි කොහොමද ජනප්‍රියත්වය රැකගන්නේ කියන දෙය. ඒ ජනප්‍රියත්වයේත් පොඩි ප්‍රශ්නයක් තිබෙනවා මොකද ප්‍රේක්ෂක ශ්‍රාවක ජනතාවගේ සාක්ෂරතාවක් බුද්ධියත් මෙහි වැදගත් සාධකයක් නිසා.

 

අද සහ එදා ප්‍රවෘත්තිවල වෙනස.?

මම දැරූ මතය තමයි අනිවාර්යයෙන්ම සාමාන්‍ය වැඩසටහන් සහ ප්‍රවෘත්තිවල ඉදිරිපත් කිරීමේ වෙනසක් තිබිය යුතුය යන්න. අපට ඒ යුගයේ වැදගත් තැනක් හිමි වුණේ, විශාල ආකර්ෂණයක් ලැබුණේ භාෂාව, විනය, ශික්ෂණය සහ උච්චාරණය නිසයි. අද ඒවා තිබෙනවාද යන්න ප්‍රශ්නයක්. අපි ප්‍රවෘත්තිවලට යොදා ගත්තේ සරල බස. එය කුඩා දරුවාගේ සිට මහලු අය දක්වා සියල්ලන්ට අවබෝධ වනවා. ඊළඟට කටවහරෙන් කතා කළත් එහි වියරණයක් තිබුණා. වාක්‍ය කැඩෙන තැන් පිළිබඳ අවබෝධයක් තිබුණා. එයින් යොවුන් පරපුර අතර නිවැරැදි බස්වහර පිළිබඳ අවබෝධයක් ලැබුණා. එවිට භාෂාවට හානියක් වන්නෙ නෑ. අනෙක ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ශෛලිය. එහි ප්‍රධාන වන්නේ ඇඳුම් පැලඳුම් නෙවෙයි, ඇසට ඇස මුණ ගස්වමින් කරන ප්‍රවෘත්ති ප්‍රකාශයයි. ඉංග්‍රීසි පිළිබඳ යම් දැනුමක් අවශ්‍යයි ඇතැම් වචනවල උච්චාරණය සඳහා. සියයට තුන්සියයක් අවධානය දිය යුත්තේ ප්‍රේක්ෂකයන්ට. ඔවුන් අඥාන මොට්ටයන් නෙවෙයි. ප්‍රේක්ෂකයා කියන්නේ උගත්, බුද්ධිමත් ඥානවන්ත, ප්‍රඥාවන්ත පුද්ගලයෙක්. ඔහුට අගෞරව කරන්න බෑ. ඔහු සියල්ල පිළිබඳ දන්නවා. ඔවුන්ට තමයි අපි ප්‍රවෘත්තිය කියන්නේ කියන දේ අප අවබෝධයෙන් කළ යුතුයි. අද නැත්තේ ඒ අවබෝධයයි. අද බොහෝ නාලිකා ප්‍රේක්ෂකයාට බය නෑ. පෙර සූදානමක් නෑ. විද්‍යුත් මාධ්‍යයේ සජීවී විකාශයක නිවැරැදි කිරීමක් කරන්න බෑ. සූදානම, ප්‍රමිතිය, ගුණාත්මකබව පිළිබඳ අද ගැටලුවක් තිබෙනවා. මම නව පරපුරට පමණක් දොස් කියන්නේ නැත්තේ ඊට බලපාන සාධක රැසක් තිබෙන බව දන්නා නිසා. බස විකෘති වීමත් එහි එක් අතුරුඵලයක්. අපි කොතරම් නිදහස තිබෙනවා කීවත් නවකයන් බොහෝ අසරණයි ඉහළ නිලධාරීන්ගේ බලපෑම් මතදී. එනිසා ආයතන පරිපාලනයට නිවැරැදි දැක්මක්, පරිචයක් ඇති බුද්ධිමත් පරිපාලන නිලධාරීන්, මාධ්‍යවේදීන් පත් විය යුතුයි.

 

ප්‍රමිතිය ගොඩනඟන්න කීප වරක් ආයතන එක්ව සැරසුණා නේද?

මාධ්‍ය ආයතන හතරපහක් එකඟතාවකට ආවට යටින් ගිහින් වෙන වැඩක් කරන නිසා ප්‍රමිතියක් ගොඩ නැඟෙන්නේ නෑ, උදාහරණයක් ලෙස බුද්ධිමය දේපළ පිළිබඳ එකඟතාවක් ඇතිවන අයුරින් තීරණ ගත්තාට සියලු ආයතන ඒ අනුව ක්‍රියාකළාද යන්න පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මගේ හිතේ තිබෙනවා.

මාධ්‍ය ආයතනවල, මාධ්‍යකරණයේ, වෙළෙඳ අංශයේ පමණක් නෙවෙයි කඨින පින්කම් කරන්න ගියත් ගුප්ත න්‍යාය පත්‍ර, පෞද්ගලික අභිමතාර්ථ තිබෙන නිසා තමයි මෙවැනි ප්‍රමිතියෙන් තොර දේ සිදුවන්නේ. රට හදන්න බැරි වෙන්නත් හේතුව ඒකනේ. (ඔහුගේ උපහාසය මුසු ස්වරය වචනයෙන් ලියා දැක්විය නොහැකි තරම්ය)

 

අද ටෙලි නාට්‍ය ගැනත් කතා ඔබෙන් විමසිය යුතුයි?

ටෙලි නාට්‍ය ගැන කතා කරද්දි රේටින්ග්වල නිරවද්‍යභාවය පිළිබඳ ලොකු ප්‍රශ්නාර්ථයක් මට තිබෙනවා. ලෝක සම්මත ක්‍රමයක් තිබුණාට නියැඳීයක් ගෙන බලන්න, ඒවා ප්‍රමාණවත්ද? සාර්ථකද යන්න සැක සහිතයි. මෙය බොහෝ ව්‍යාපාරිකයන් කරන්නේ වෙළෙඳ අයකිරීම් කේවල් කිරීමටයි. ජාතික සහ ස්වාධීන රූපවාහිනීවලදී මට ඔය ප්‍රශ්නය ආවා. හැබැයි එයට තර්ක කරන්න නම් තමන් මුදල් අවභාවිතය, මත්පැන්, කාන්තාවන්, බලය අවභාවිතය සහ බලය යොදා අනුන්‌ට අඩම්තේට්ටම් කිරීම වැනි දේවලින් වැළකී ප්‍රතිරූපය කඩා වැටෙන්න නොදී සිටිය යුතුයි. තමන් මාධ්‍යවේදියකු ලෙස අභිමානවත් චරිතයක් ගොඩනඟාගත යුතුයි. මට එවැනි ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීම පරිපාලනයේදී පහසුවක් වුණා. සමහරු මම වාණිජ අංශයේ ඉද්දි මා ලව්වා පිටපත් ලියවා ගන්න හැදුවා. මම කීවා මේ අංශයෙන් ගිය පසු ලියා දෙන්නම් කියා ඔවුන්ටත් අපහසුවක් නොදැනෙන පරිදි බේරෙන්න. ඒ ආකාරයෙන් අවුරුදු පනහක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා කියන්නේ විශාල ජයග්‍රහණයක්. (ඔහු පවසන්නේ සියුම් ආඩම්බරයක් මුසු හැඟීමකින් යැයි මට සිතේ)

ටෙලි නාට්‍යවලින් දරුවන් බලන්නේ කුමක්ද යන්න විශාල ප්‍රශ්නයක්. මොකද අනියම් සබඳතා ආදිය පිළිබඳ ලියැවුණු කතා තමයි වැඩියෙන් නිර්මාණය වන්නේ. ඒත් භූගෝලිය සම්ප්‍රේෂණවලදි මෙය බෙදා වෙන්කරන්නත් හරි අමාරුයි. අපි නවයෙන් පසු යන්නේ වැඩිහිටියන්‌ට පමණක් සුදුසු ඒවා කීවොත් පොඩි ළමයි තමන්ගේ පාඩම් වැඩ කලින් ඉවර කරලා නවයෙන් පස්සේ නිදි වරාගෙන ටීවී බලන්න ලෑස්තිවෙනවා. (සියුම් සිනාවකි) එනිසා රූපවාහිනියට ඒ දෙය කරන්න අමාරුයි. අනෙක් සමාජ මාධ්‍ය ආදිය නම් රහස් අංක යොදා හෝ නවත්වන්න පුළුවන්. එනිසා වැඩිහිටියන්ට ගැළපෙන දේවල් බලන්න වෙන ක්‍රමයක් යොදාගෙන සාපේක්ෂව බාල, තරුණ, යොවුන් පරපුරේ හැඟීම් අනවශ්‍ය පරිදි උද්දීපනය නොවන දේවල් විකාශය කිරීමයි වඩාත් වැදගත් වන්නේ. අද තිබෙන තාක්ෂණය අනුව වැටකඩුලු යොදා සියල්ල නවත්වන්න බෑ. ඒ නිසා අපි ස්වයං ශික්ෂණයක් තනා ගැනීමයි වැදගත්.

අපි මේ සියල්ලෙන් සර්වසම්පූර්ණ නම් සියල්ලෝම නිවන් දකින්න එපැයි. (යළිත් ඔහුගේ උපහාසාත්මක බැල්මකි) මාධ්‍ය ආයතන තම තමන් තේරුම් ගත යුතුයි තම මුදල් හම්බ කරන්නේ කෙසේද කියලා. ටෙලි නාට්‍යයක අනියම් සම්බන්ධතාවක් හෝ බාල ජෝකර් චරිතයක් තිබිය යුතුයි කියලා අර දරුවන් හෝ ඔවුන්ගේ මවුපියන් හෝ සීයා ආච්චිලා ඉල්ලලා නැහැනේ. අපිමයි එහි ප්‍රමිතිය හදාගෙන තිබෙන්නේ. සමාජ දියුණුව සමඟ මනුෂ්‍ය ස්වභාවය උග්‍ර වුණාම ඔය දේ වෙනවා. ඒත් තම තමන්ගේ චරිතය වගේම නාලිකාවල ගුණාත්මක බව රැකගන්න තමන්ම තමයි උත්සාහ කරන්න ඕනෙ.

ඕනෙම දෙයක් මහා පරිමාණයෙන් කරන්න ගියාම අමාරුයි. දවසකට යන ටෙලි නාට්‍ය සංඛ්‍යාව බැලුවොත් එය නාලිකා සංඛ්‍යාවෙන් වැඩි කළාම විශාල ගණනක්. අපට තිබෙන සීමිත නළු නිළි සංඛ්‍යාව වැනි සම්පත් මඟින් එවැනි දෙයක් කරන්න ගියාම නවකයන් හෝ පාසල් දරුවන් හෝ යොදාගෙන ටෙලි නාට්‍ය ආදිය කරන්න වෙනවා. ඒ සියල්ලට වඩා ලොකු රික්තයක් ඉහළ කළමනාකාරීත්වයේ තිබෙනවා. මාධ්‍ය හසුරවන්නේ ඔවුන් නිසා මාධ්‍ය පිළිබඳ ඔවුන් සතු දැනුම පරිචය ප්‍රාමාණිකද යන්නත් ප්‍රශ්නයක්. ඉතින් විදේශිය නිර්මාණවලට ඉඩ ලැබෙන්නෙත් එහි ප්‍රතිඵලයක් ලෙසයි.

 

නාලිකා තරග වදින නිසාද මෙවැනි දේ සිදුවන්නේ?

සමහරුන්ගේ මතයක් තිබුණා රාජ්‍ය ආයතනවලට ඵලදායී ලෙස ලාභදායි ලෙස දුවන්න බෑ කියලා. ඒත් මම එය කරලාම පෙන්නුවා. අයිටීඑන් ඉතිහාසයේ වැඩිම ආදායම, වැඩිම ලාභය, වැඩිම ආයෝජනය ලැබුවෙ මගේ සභාපතිත්වය යටතේ. එයට හේතුව තමන්ගේ දෙයක් ලෙස සලකා කටයුතු කිරීම. මම ප්‍රථම වතාවට සේවා ඇගැයීම් තක්සේරුව කියලා එකක් හඳුන්වා දුන්නා. පාරිතෝෂික දුන්නොත් අනෙක් ආයතනවලට ප්‍රශ්නයක් වන නිසා භාණ්ඩාගාරයට බොරුවක් කියමින් මම ආයතන සේවකයන්ට ලාභ බෙදී යන විදිහට කටයුතු කරන්නයි එය කළේ. හැබැයි ඒ සඳහා මම ආදර්ශවත්ව සිටිය යුතුයි. සභාපතිට අයත් වාහන පහෙන් තුනක් ඉවත් කළා. මට තබා ගත්තේ දුර යන්න ජීප් රථයක් සහ උත්සව සඳහා යන හොඳ වාහනයක් පමණයි. ඒ දේවලින් ආයතනය පවා ලාභ පිට ලාභ ලැබුණා. සමහරු මම කටයුතු කරන ආකාරය දැකලා පුදුම වුණා. මොකද මිනිස්සු හරි අවස්ථාවාදීයි. ඒ නිසා එහෙම නොවන අය ඉන්න බව හිතන්න අපහසුයි බොහෝ දෙනාට. ඒකට කාටවත් දොස් කියලා වැඩක් නෑ. සාමාන්‍ය ඡන්ද දායකයත් එහෙමනේ. (එය මටද සිනාවක් ගෙනෙයි)

 

ග්‍රන්ථය එළි දැක්වීමෙන් පසු ඔබ කුමක්ද කරන්න බලාපොරොත්තුව?

මගේ විනෝදාංශවල යෙදෙමින් මම ඉන්නවා. තාක්ෂණික වැඩ සියල්ල මට විනෝදාංශ වගේ. දැන් ඕනෙම විෂයයක් පිළිබඳ දැනුම අවබෝධය ලබා ගන්න අන්තර්ජාලය පරිශීලනය කරන්න පුළුවන්. මම එය ප්‍රයෝජනයට ගන්නවා. අසීමිත විෂයයන් ඉගෙන ගන්නවා. උදේ 4.00 නැඟිටිනවා. ගෙදර දොර අලුත්වැඩියා සියල්ල කරන්නේ මම. මට සිමෙන්ති වැඩ, පයිප්ප වැඩ, විදුලි වැඩ සැමදේම පුළුවන්. අපි රැකියාවක් කළාම අනෙක් වැඩ සියල්ල මුදල් ගෙවා වෙන මිනිසුන්ගෙන් කරගත යුතුයි කියලා සමහරු හිතනවා. ඒක වැරැදියි. මම නොකරන්නේ බිත්ති සුදුමැදීම වැනි වැඩ පමණයි. අනෙක් සියලු කොන්ක්‍රීට් වැඩ පවා කරන්නේ මම. අපි ඉපදෙන විට කිසිදෙයක් දන්නේ නෑ. පසුවයි අපි සියල්ල ඉගෙන ගන්නේ. කාල කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි අපට තිබෙන්නේ. ඒත් වුවමනාව තිබෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන්. මම පැය විසිහතරම 'ජොලියෙන්' ඉන්න කෙනෙක්.

මගේ ඒ කරදරය නැතිව දවසක්වත් ඉන්න මගේ බිරිඳටත් අපහසුයි. (සිනාහවක්) දැන් මගේ වගකීම් ඉවරයි. මම ටීවී බලනවා. බොහෝ තාක්ෂණික ගැජට් මගේ ළඟ තිබෙනවා. ඒ නිසා සතුටින් ඉන්නවා කාලෙ යනවා දැනෙන්නේ නෑ. ප්‍රතිපත්තියක් වශයෙන් මම ෆේස්බුක්වලට ප්‍රතිචාර නොදක්වන්නේ හැමෝටම සාධාරණව පිළිතුරු දෙන්න බැරි වුණොත් එය සුදුසු නැති නිසා.

 

ඔබේ දැනුම නව පරපුරට වටිනවා?

අද මාධ්‍ය පාඨමාලා බොහෝමයක් තිබෙනවා. අද අපි කියන දේ පිළිගන්න කැමැති අය කීදෙනෙක් ඉන්නවාද යන්නත් ප්‍රශ්නයක්. මම පාඨමාලා කරන ටියුෂන් සර් කෙනෙක් වගේ වෙන්න කැමැති නෑ. මම වැඩිය දේවල් දන්නෙත් නෑ. (එයට මම සිනාසුණේ ඔහුගේ අපමණ නිහතමානීත්වය මත කියූ කාරණය ප්‍රතික්ෂේප කරමිනි. ඔහු අවධාරණය මුසු ස්වරයෙන් කියයි) නෑ, ඒක තමයි සත්‍යය. ඒත් මගෙන් ඉගෙන ගන්න නෙවෙයි, මොනවා හෝ විෂයයක් මා එක්ක සාකච්ඡා කරන්න නම් ඕනෙම කෙනකුට මගේ ගෙදරදොර ඕනෙම වෙලාවක විවෘතයි.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න