වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
මගේ වටිනා ඡන්දයත් වෘත්තියටම කැප කළා

තෝරා ගත් පිරිසක් පමණක් යම් යම් අවස්ථාවලදී ඇගැයීමට ලක් වෙනවා
රූපයට වඩා වැදගත් දැනුමෙන් සන්නද්ධ වීමයි
නන්නාඳුනන මාවත්වල සිදුවන විශේෂ දේවල් හා නන්නාඳුනන පුද්ගලයන් කවුරුන්ද කියා සොයා යාම සහ හඹා ගෙන යෑම තරම් අවදානම් සහිත දෙයක් තවත් නැති තරම්ය. ඇය සතු බුද්ධිය හා ප්‍රායෝගික දැනුම, විවිධ බාධක කම්කටුලු මැඩ ගෙන අරමුණ කරා ඔසවා තබයි. ඇය ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සවස 06:30 සහ රාත්‍රී 10 ප්රවෘත්ති නිවේදිකාවකි. වැඩසටහන් නිෂ්පාදිකාවකි. මේ දිනවල ඇගේ දවසේ පළමු රාජකාරිය උදෑසන පුවත්පත් ඔබ හමුවට රැගෙන ඒමයි. ඇය ඉෂාරා දේවින්ද්රිය.
ඇගේ මාධ්‍ය ප්රවිෂ්ටය ජාතික රුපවාහිනියෙනි. ඒ 2008 වසරේදීය. ඉන් පසුව ස්වාධීන රූපවාහිනිය හා හිරු නාලිකාවට ආගමනය වූවාය. ඇගේ භූමිකාව ප්රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කිරීමය. හිරු නාලිකාවෙන් පසු නැවතත් පෙරළා ඇය ස්වාධීන නාලිකාවම තෝරා ගන්තාය. ප්රවෘත්ති නිවේදිකාවක් සහ නිෂ්පාදිකාවක් වීමේ වගකීමට උර දුන් ඈ ඉන් සමාජයට යම් මෙහෙවරක් ඉටු කිරීම පරමාර්ථ කොට ගත්තාය. විවිධ දිශානතියන් ස්පර්ශ කරීමට ඕ සමත් වූවාය. ප්රවෘත්ති නිවේදන ඔස්සේ ඇගේ හඬ ඈත ගම් දනව් සිසාරා පැතිරිණි. ඉෂාරා, සිය ජීවිතේට එන සෘණාත්මක දේවල් ධනාත්මක බවට පරිවර්තනය කර ගැනීමට සහජ හැකියාවක් දැක්වූ අයෙකි. ඇගේ මව, පියා, සහ එකම සොයුරා ජීවන ගමන් මඟේ අත්වැල් සපයන්නෝ වෙති.
2015 වසර ඇගේ රැකියාව කුමන හෝ හේතුවක් මත අහිමිව යන්නේය. එය ඉතා සංවේදී කරුණක් බව සපථ වන්නේ, එය සිහිවන මොහොතක් පාසා ඇගේ දෙනෙතින් කඳුළු කැට රූරා වැටෙන බැවිනි. එසේ හෙයින් ලෝකෙ ජන සම්මතවාදය අනුව යමින් මාධ්‍ය වාර්තාකරණයෙ නිරත වන කිසිවකුත් කිසිදුු දේශපාලන කඳවුරක් වෙනුවෙන් කටයුතු නොකරනු ඇත. එහෙත් ඒ කිසිදු දේශපාලන කඳවුරක් නියෝජනය නොකළ ඇය 2008 වසරේ සිට මේ දක්වාම මැතිවරණයක් පවතින සෑම කාල වකවානුවකදීම රාජකාරියේ නිරත වන්නීය. මේ නිසාම ඉෂාරාට කිසිදු කාලයක ඡන්දයක් පාවිච්චි කිරීමට හැකි වී නැත. ඇගේ වටිනා ජන්දය ඇය සිය වෘත්තිය වෙනුවෙන් කැප කොට ඇත. මෙය තමාට පමණක් නොව මාධ්‍ය ක්ෂේත්රයේ බහුතරයකට සිදුවන සංසිද්ධියකි. එදිනෙදා තොරතුරු සොයා ගැනීම සහ ප්‍රායෝගික දැනුම, ක්ෂණික තීන්දු තීරණ ගැනීම මෙන්ම සතතාභ්‍යාසය නිරතුරුවම ඇගේ ජීවිතයේ කොටසකි. ප්රවෘත්ති වාර්තාකරණය සෑම මොහොතක සෑම තත්පරයක් පාසාම අලුත් දේවල් වන බවත්, එය සන්නිවේදනය කිරීමේදී වඩාත් නිවැරදි විය යුතු බවත් ඉෂාරා සපථ කරන්නීය. යම් හෙයකින් ප්රවෘත්ති නිවේදිකාවකට ප්රවෘත්ති ඉදිරිපත් කිරීමේදී යම් වැරැද්දක් සිදු වුණොත් එය කිසිදු දිනෙක නිවැරදි කළ හැක්කක් නොවන්නකි. තවද එයට කිසිදු සමාව ගැනීමක් ද නැත. එහෙත් පුවත්පත් කලාවේදියකුට එය පසු දිනෙක හෝ පුවත්පතකදී නිවැරැදි කිරීමට හැකියාව ඇත. තමා නිරන්තරයෙන් ගැටෙන මාධ්‍ය භාවිතාවේ ගතිකයන් සේම විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය අතර ඇති වෙනස ද ඇය හෙළි කළේ එපරිද්දෙනි.
" විද්‍යුත් මාධ්‍ය රාජකාරියේ නිරත වන ඕනෑම අයෙකුට, රූපයට වඩා දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. එය නිවේදිකාවක් හෝ නිවේදකයකු සතු එක්තරා කුසලතාවයක්. ඒ වගේම රූපය මතත් මේ මාධ්‍ය වෘත්තියෙහි නියැළෙන්නට අවස්ථාව නව පරපුරට හිමිවෙලා තියෙනවා. ඒත්, ඒ එන බහුතරයට ප්‍රායෝගික දැනුම හා අධ්‍යාපනික දැනුමත් අඩුයි. මේ නවක පිරිස මාධ්‍ය ලෝකයේ කොයිතරම් දුර ගමනක් ගිහින් තියෙනවාද? කියන ප්‍රශ්නයට වඩාත් නිවැරැදි පිළිතුර විමසා දැන ගත යුත්තේ ඔවුන්ගෙන්මය."
ඉෂාරාගේ මාධ්‍ය ක්ෂේත්රය තුළ කැපී පෙනෙන චරිත අතර අද වන විටත් මතක පොතට එකතු වී සිටින්නේ සුළුතරයක් පමණකි. මේ සියලු දෙනාම තම තමන්ගේ ගමන් මාර්ගය නිවැරදි දිශානුගත කොට ගත් අයය. ඉෂාරා සඳහන් කරන ආකාරයට මෙවැනි මතක පොතකට එකතු වෙන්නට නම්, සෑම විටකම ප්‍රායෝගික දැනුම හා න්‍යායාත්මක දැනුම් සම්භාරයක් එකතු කර ගත යුතුයි. ඉෂාරා මේ වන විට ප්රවෘත්ති නිවේදනයෙන් පමණක් සුවිසල් ප්‍රේක්ෂක ප්‍රජාවක් වැලඳ ගෙන සිටී. නමුත් විවිධ වැඩසටහන්වල ඇය දක්නට නොලැබේ. ප්රවෘත්ති නිවේදනයෙන් ප්‍රේක්ෂකයන් ඇය කෙරෙහි තැබූ විශ්වාසය කෙදිනකවත් පලුදු වීමට ඉඩ නොතැබිය යුතුය. වෙනත් වැඩසටහන් සඳහා ඇගේ මැදිහත්වීම තරමක් අඩු වන්නේ එහෙයින් විය යුතුමය. කෙසේ වෙතත් ඉඩකඩ ලැබෙන විදියට අනිකුත් වැඩසටහන්වලට ඇය සිය දායකත්වය නොවලහා ලබා දෙන්නීය. ඇය විටෙක නිලඹරේ පියාසරන උකුස්සකු මෙන් තටු විදහා පියාසර කරන්නීය. එවිට ඇගේ දෑසද උකුසු ඇසකි.
ඇය සිය ජීවිතේ නොයෙක් පැතිකඩ විශ්ලේෂණාත්මකව ගවේෂණය කරන්නීය. නිවැරදි දේවල් සමාජගත කිරීමේ පරම අධිෂ්ඨානය ඈ සතුය. තම ජීවිතේම රැකියාවට කැප කරන පිරිස අතරින් ඉෂාරා ද එක් තැනැත්තියකි.
" මේ සියලු දේවල් එසේ වුවත් මාධ්‍යකරණයෙ නිරත වන බොහෝ දෙනකුටම හිමි වන්නේ ධනාත්මක දේවලට වඩා සෘණාත්මක දේවල් පමණකි. ලොව වෙනත් රටවල් සමඟ සන්සන්ධනය කරන විට ශ්‍රී ලංකාවේ අද මාධ්‍යවේදියාට හිමි ව ඇත්තේ කෙබඳු තැනඒද කියා අපි අපිම ප්‍රශ්න කර ගත යුතු යුගයක් එළඹ ඇත. තිරය ඉදිරිපස සහ පිටුපසට ලැබෙන වේතනය ජීවත්වීමට පවා සරිලන වේතනයක් නොවෙයි. ඒ වගේම ජීවිතේම කැප කොට සිදු කරන මේ රැකියාව වෙනුවෙන් සේවය ඇගයීමට ලක් වෙන්නේ නෑ. නමුත්, අහම්බෙන් හෝ සිදු වුණු මෙතෙක් ඇගයීම්වල නිර්ණායකයන් මොනවාද කියන එකත් ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. තෝරා ගත් පිරිසක් පමණක් යම් යම් අවස්ථාවලදී ඇගයීමට ලක් වෙනවා. මාධ්‍ය ලෝකෙත් එවැනි දේවල් සිදු වෙනවා නම් වෙනත් තැන්වල සිදු වන එවැනි දෑ ගැන කවර කතාද කියලත් අපිට හිතෙනවා. ඒ මත විවිධ පුද්ගලයන් මේ ක්ෂේත්රයට ඇතුළු වීම යන හේතූන් නිසා හැමදාම වැඩ කරන පුද්ගලයා කවුරුවත්ම දකින්නේ නැති තැනට පත් වෙලා. ඒ වගේම ක්ෂේත්රය තුළට පිවිසෙන නව පරම්පරාව තමාගේ කාර්යයට වඩා හැම මොහොතකම සිතන්නේ ජනප්‍රියත්වය ලබා ගන්නේ කොහොමද කියන කාරණයයි. මේ තුළ සිටින පැතිකඩ පමණයි ඔවුන් දකින්නේ. ප්රවීණයන්ගේ ආභාසය නොලැබීමත්, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන අවබෝධයක් නැති වීමත් , තමන්ට සහයෝගය දක්වන පිරිසත් සමඟ ගනුදෙනු කිරීම සිදු කරන්නේ කොහොමද කියන එක ගැන කිසිදු අවබෝධයකින් තොරව ජීවත් වීම යන කාරණා මේ සියලු දෙයටම මූලික වී තිබෙනවා. ප්රවෘත්ති නිවේදිකාවක්, නිවේදකයකු වෙනවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි. ඔවුන් ප්‍රායෝගිකව හොඳ පුහුණුවීමක් ලබා ගත යුතුයි. සමහර අයට කුමන හෝ ක්ෂේත්රයක් තුළ රැඳී සිටින්නට බැරි වෙන්නේ ඔවුන් නිහතමානි නිසයි. සමහර අය දඥඹඵ ඡභතතඥබඪද දැකලවත් නැතුව ප්රවෘත්ති නිවේදිකාවක් වුණා කියලා කියන අයත් ඉන්නවා. සරල උදාහරණයක් කිව්වොත් හද්ද පිටිසර ගමක ඉපදිලා ගමේම පාසලෙන් ඉගෙන ගෙන, කියන්නේ මම නුවර. මම කොළඹ කියලයි. හැබැයි ඒ සියලු දෙනාම දන්නැ ඔවුන් කරන බොරුව සියලු දෙනාම වටහා ගෙන ඉන්නවා කියන එක. මේ අතර දක්ෂයන් සෑහෙන සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අය තමන්ගේ මාර්ගය හදාගෙන ගමන් කරනවා. "
ඉෂාරාගේ ජීවිතය විද්‍යුත් මාධ්‍ය වෘත්තිය කර ගනිමින්, සිය පියාගේ ව්‍යාපාර කටයුතුවලද නිරත වෙමින් සමබරව ගත කරන්නීය. ජීවිතේ නොයෙක් හැල හැප්පීම් සිදුවූවත් සුභවාදී දේවල් පමණක් ජීවිතයට සමීප කර ගන්නට නිරන්තරයෙන්ම ඈ මහන්සි වන්නීය. හරියට කිව්වොත් ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මනුස්සයා කලාමැදිරි එළියටත් බයයි කියනවා වගේ, ඇය ද පෙන්වා දෙන්නේ හැමෝටම නොගැලපීම් තුළින් ගමනක් යා ගැනීමට නොහැකි බවයි.
" මෙය හරියට රත්තරන් සහ රිදි එකතු වුණාට කමක් නෑ. ඒත්, යකඩ එකතු වුණොත් එතැන ප්‍රශ්නයක් කියන එකයි අදහස් වන්නේ. එක්කරා අවස්ථාවක මම ජීවිතය වෙනස් කරගන්නට විදේශ ගත වීමට තීරණය කළා. නමුත් ඒ හැම මොහොතකම මාව ප්‍රකම්පනය වුණා. ඊට හේතුව, අම්මා, තාත්තා හා මල්ලියි. මෙයාලා දමා කිසි තැනක නොයන්නට හිත ඉඩ දුන්නේ නෑ. ඔරුවක නැගලා හබල් ගාමින් ඉන්න කොට ඔරුව පෙරළුණාම මොකද වෙන්නේ? ඊට පස්සේ අපි තවත් ඔරුවක නැගලා හබල් ගැමට දෙපාරක් සිතනවානේ. ඒ වගේමයි ජීවිතයත්. යම් කිසිවකු ළං වෙන්න හදනකොට දෙපාරක් තුන්පාරක්ම හිතන්නට සිදුවී තිබෙනවා. මොකද ළිඳට වැටුණු මනුස්සයාට ගොඩ එන්නට වෙන්නේ ළිං කටින්ම වන නිසයි. ජීවිතයට ආදරේ එකතු වුණාම එයත් හරියට සඳුන් කොටයක් ළං කර ගන්නා හා සමානයි. ඒත්, සමහර අයට ආදරේ කළාම එයා ආදරෙන් ගඳ ගහනවා. එතකොට පිළුණු වෙනවා. එහෙම ආදරේ දුන්නම සමහරක් අය අපි නොහිතන හිතෙන දේවල් බලාපොරොත්තු වෙනවා. ඕනෑම මවක් සහ පියෙක් තම දරුවන් ලොකු මහත් කරලා උගන්වලා, ඇවතුම් පැවතුම්වලින්, හොඳ රස්සාවක් සමාජයේ පිළිගත් තැනකට ගෙනාවට පස්සේ සොබාදහමට අනුව තවත් කුටුම්බයකට එකතු කරන්නට සූදානම් වෙනවා. හැබැයි, ඉස්සර වගේ කරවලකුරියාගේ ඉඳන් දෑවැද්දක් ඉල්ලන පිරිමින් අදත් සමාජයේ ඉන්නවා. එහෙම පිරිමින් මටත් හමු වෙලා තියෙනවා. සුන්දර ලෝකයක් ආදරේ දෙන්න පුළුවන් මනුස්සයෙක් ඉන්නවාද කියන එකත් ප්‍රශ්නයක් නැගුණ අවස්ථාවක් තියෙනවා. ආදරේ ගැන දෙපාරක් හිතන්නේ ඒ නිසයි. අපි මේ ලෝකයට කිසිවකු එනකොට කිසිවක් රැගෙන එන්නේත් නෑ. යනකොට කිසිවක් රැගෙන යන්නෙත් නෑ. මේ සංකල්පය තුළ හැම විටම මිනිසුන් ජීවත් වෙනවා නම් ආදරය දයාව අනුකම්පාව සමාජයට දෙන්න පුළුවන් නම් ඔහු මනුෂ්‍යයෙක් වෙනවා නියතයි. "
ජීවිතේ එක් පැතිකඩක් ලෙස සෑම දිනකම ඉෂාරා ප්‍රධාන නාලිකා සියල්ලම ප්රවෘත්ති නිවේදනය අනිවාර්යයෙන්ම බලන්න පුරුදු වී සිටින්නීය. ඒ මෙය ඇගේ ජීවිතය හා බද්ධ වී ඇති වෘත්තිය නිසාවෙනි. අනාගතය ගැන බලාපොරොත්තු ගොන්නක් ඇය සතුව නැත. ඒත්, මවුපියන්ගේ බලාපොරොත්තුව ඉටු කිරීම ඈ සිත කොනක රඳවාගෙන සිටින්නීය. ගැහැනු දරුවකු කුල කුමරියක් වෙන එක මාපියන්ගේ සිහිනයකි. එය ඉෂාරාටත් පොදු ධර්මතාවයකි. කවරකු හෝ ඉෂාරාගෙන් බුලත් හෙප්පුව ගන්නට බලාගෙන සිටියත්, ඇය ඒ හෙප්පුව තෝරා ගන්නා ඔරුවේ තබන්නට ඇය බියක් දක්වන්නේ පෙර මෙන් ඔරුවේ හබල ප්‍රති විරුද්ධ දිසාවට හබල් ගාවියැයි සැක සිතෙනා බැවිනි. කෙසේ නමුත් ඇයට සිය රාජකාරී දිවිය තුළ බලාපොරොත්තු රාශියක් තිබේ. ඒ අතර විවිධ වැඩසටහන් කිහිපයක් ඉදිරියේදී නිෂ්පාදනය කිරීම ප්රමුඛ කටයුත්තකි. ඒ වගේම සිය මාධ්‍ය මෙහෙවරට අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම වැඩි වැඩියෙන් එකතු කරගෙන සිය සමාජ මෙහෙවර තව දුරටත් පුළුල් කිරීම ඇගේ එකම අරමුණ අතරට එක් වී ඇත.