රසික සිත්වලට කවදාවත් බොරු කරන්න බෑ

නිළි රැජන මාලිනී ෆොන්සේකා
සැප්තැම්බර් 1, 2022

සිනමාව නැතිවෙලා යන එකක්  නැතිවෙලා යන එකක් නෑ කවදාවත් මනුෂ්‍යයාට මනුෂ්‍ය‍ෙයක් වෙන්න  රසවින්දනය අවශ්‍යයි

ඇත්තටම සංස්ථාව පිහිටු වූයේ සිනමාව වෙනුවෙන් සිනමාව වෙනුවෙන් සංස්ථාවේ සේවකයන් රැකබලා ගන්න

ඒ විවාහය සිදුවුණා නම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා

කඩවුණු පොරොන්දුව ප්‍රේක්ෂකයන්ට දායාද කරමින් සිංහල කථානාද සිනමාව බිහි වූ 1947 වසරේම විශ්වය විසින් ඉටුවුණු පොරොන්දුවක් ප්‍රේක්ෂකයාට දුන්නේය. ඒ එම වසරේම උපන් බිළිඳීයක් නිළි රැජනක් ලෙස මෙරට සිනමාවට උරුම කරන බවට සපථ කරමිනි. සරසවිය සිනමා පුවත්පත පාඨකයන්ට දායාද වුණු 1963 වසරේ ඒ පොරොන්දුව ඉ‌ටු කරමින් දෛවය විසින් ඇය වේදිකාවට රැගෙන ආවේය. අද වන විට සැට වසරක කලා දිවියක් සම්පූර්ණ කරන ඇය හෙළ සිනමාවේ නිළි රැජන ලෙස විරුදාවලිය ලද ජ්‍යෙෂ්ඨ රූපණවේදිනී මාලිනී ෆොන්සේකා නම් වන බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. ඇය සරසවියට පා නැඟුවේ සැබැවින්ම සිය නිවුන් සොයුරිය දකිනු රිසියෙන් මෙන් සුපිපුණු වතින් මුව සරසාගෙනය.

"කාලෙකින් සරසවියට ආවේ" කියන ඇයට එහි කිසිදු නුහුරු නුපුරුදු ගතියක් නැත. ඇය සතුටින් ඉපිලී ගොසිනි. වචනවලට විරාමයක් නැත.

"අපි විවිධ ප්‍රශ්න විවිධ හේතු නිසා දුරස් වෙලා හිටියා. ඒත් අපි එකම පවුලේ එකම ලේ නෑයෝ වගේ. ඒක වෙනස් වන්නේ නැ. මගේ පොරොන්දුවක් තිබුණා කවදා හෝ සරසවියට ඇවිත් සාකච්ඡාවක් දෙන්න. ඉස්සර අපේ පුරුද්දක් තිබුණා මේ ලේක්හවුස් ගොඩනැඟිල්ලට ආවොත් සරසවියට ගොඩවෙලා යන. ඉතින් ඒක අලුතෙන් පටන් ගත්ත එකට ගොඩක් සතුටුයි. මට කලාකාරිනියක් රංගන ශිල්පිනියක් ලෙස එන්න මඟ එළි පෙහෙළි කළා, ඒ මඟ ආලෝකවත් කළා සරසවිය. ඇත්තටම සරසවිය කියන නමත් එක්ක මගේ රංගන ජීවිතය බැඳීලා තිබෙනවා. මම හැම තිස්සෙම කියන දේ තමයි ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය දේ ලබා දීම. සමහර විට කෙනකුට හිතෙන්න පුළුවන් මේ කියන දේ හරි බොළඳයි කියලා. අපි ඉස්සර පත්තරවල දකිනවා නළු නිළියන්ගේ විස්තර ආදිය. ඒවා ප්‍රේක්ෂකයන් එකතු කර තබා ගන්නවා. එහෙම නොවී බහුශ්‍රැත දේ පමණක් දුන්නොත් කොටසක් අපෙන් බැහැර වෙනවා. නළු නිළියන්ගේ ඕපාදූප වැනි රසවත් දේවලුත් පාඨකයන්ට ලැබෙන්න ඕනෙ. අදට ගැළපෙන විදිහට ඒ දේවල් ලෝකයේ අනෙක් රටවලත් පවතිනවා. ඒ ප්‍රේක්ෂක කැමැත්ත පවත්වා ගෙන පාඨකයන් සැමදාම සරසවිය සමඟ රඳවා තබා ගන්න ඕනෙ. අනාගතයේදීත් ඔවුන් සරසවිය සමඟ රැඳී සිටින්න කියා පතනවා. ඒ වගේම නුදුරේදීම මුද්‍රිත පිටපත් ලෙස එන සරසවියේ මේ අයුරින්ම මගේ තොරතුරු කතා කරන්න ලැබේවා කියන සුබ ප්‍රාර්ථනය මගේ හිතේ තිබෙනවා.

 

(අප තවමත් ආ ගිය තොරතුරු කියන ගමන් නිසා ඒ කතාවට පසු මම විමසුවෙමි.)

මතකද පළමුවෙන්ම ඡායාරූපයක් සරසවියේ පළ වූ දවස?

ඒ කාලේ මට ලොකු දැනුමක් තිබුණේ නෑ, මාධ්‍ය ගැන. පුවත්පතක ලිපියක් ඡායාරූපයක් පළ වනවා කියන එක ගැන තේරුමක් අදහසක් නෑ,. මම ඒ තරම් ලොකුවට කලා ලෝකය, සිනමා ලෝකය, මාධ්‍ය ලෝකය ගැන දැනගෙන හිටිය කලාකාරියකුත් නෙවෙයි ඒ කාලෙ. මට මතකයි රෙජී බුලත්සිංහල ඡායාරූප ශිල්පියා අපේ ගෙදර ආවා මගේ පින්තූරයක් ගන්න. මම ඒ දවස්වල හරි ආසා කරන ෂර්ට් එකක් තිබුණා. මම කොහොමත් ආසයි කොටු කොටු ෂර්ට්වලට. ඒ කාලේ මම පළමුවෙනි චිත්‍රපටය පුංචි බබා රඟපාලා මට විශාල මුදලක් ලැබිලා තිබුණේ. (ඇය දෙබැම ඔසවා කියයි) රුපියල් 1250ක්. (ඒ මුදලේ වටිනාකම අදට සසඳා සුපුරුදු සුපුල් සිනාව පායි) ඒකෙන් අම්මා බොහොම අරපරෙස්සමින් වියදම් කරලා මට ගොඩක් දේවල් අරන් දීලා තිබුණේ. ඔරලෝසුවකුත් අරන් දුන්නා. ඉතින් පින්තූරෙ ගන්නකොට මම ඒ ඔරලෝසුවත් බැඳගෙන හිටියා. අනෙක මම ගොඩක් කැමැතියි තොප්පි දාන්න. (ඉඟියක් පා) වෙන කාටවත් තොප්පි දැම්මේ නැතුවට මම තොප්පි දාගන්නවානෙ. (සිනාසී) ඉතින් පිදුරු තොප්පියත් දාගෙන ඔරලෝසුවත් වැඩිපුර පේන්න අත නිකට දිහාට ඔසවගෙන තමයි පින්තූරය ගත්තේ. (සැනසුම් සුසුමක් සමඟ) අදත් අලුත් වගේ ජීවිතේ ඒ මතකය. ඊට පස්සේ මට මතකයි පිට කවර රැසක් පළ වුණා. මෙතෙක් පළ වූ ගණන කොතරම් ද දන්නේ නෑ. (හදිසියේ මතක් වූ විලසින්) ගණන් කරලා බලන්න ඕනෙ වෙලාවක.

මම සරසවිය යූටියුබයේ සාකච්ඡාවට හරි බරි ගැසී ඉඳ ගන්නා අතරතුර ඇසුවෙමි. 'අකල් වැස්ස වේදිකා නාට්‍යයට රඟපාද්දි ඇත්තටම උණ ගැනිලාද හිටියේ.?'

ඔව්. මම ඒක ඒ දවස්වල කීවා. කවදාකවත් ජීවිතේ හීන හතකවත් තිබුණු දෙයක් නෙවෙයිනෙ ඒක. මට උණ නිසා රඟපාන්න පුළුවන් වෙයි කියලා හිතුණෙත් නෑ, ඒකෙන් මම හොඳම නිළියට තේරුණා කීවම තාමත් අදහගන්න බෑ වගේ. ඒත් අර සම්මාන රාක්ක ගොඩේ තිබෙන ඒ පුංචි සම්මානය මට ගොඩක් වටිනවා. එතැනින් තමයි ගොඩක් සිනමාව ගැන උනන්දු අය මා ගැන හෙව්වේ. ඒ අතරින් ජෝ අය්යාත් (ජෝ අබේවික්‍රම), තිස්ස ලියනසූරිය මහත්මයාත්, සුගතදාස මාරසිංහ නිෂ්පාදකවරයාත් පුංචිබබා චිත්‍රපටයට මාව තෝරාගත්තා. ඒ එක්කම චිත්‍රපට පහක් එක දිගට ලැබුණා. ඒක ලොකු දෙයක් වුණා. ඒ කාලේ එකක්වත් නිදහස් වෙලා තිබුණෙ නෑ. ඒ අතර සිනමා කර්මාන්තය පිළිබඳ බොහෝ දේවල් ඉගෙන ගන්න, අවබෝධ කරගන්න ලැබුණා. ගුරුහරුකම් ලැබුණා. සිනමා නිළියක් හා ප්‍රේක්ෂකයන් අතර තිබෙන බැඳීම කුමක්ද ඒ ගනුදෙනුව කුමක්ද රංගන ශිල්පිනියකගේ වෘත්තීමයභාවය එහි වැදගත්කම කුමක්ද එය ආරක්ෂා කරගන්නේ කොහොමද යන්න බොහෝ අත්දැකීම්වලින් ඉගෙන ගන්න, දැනගන්න ලැබුණා. මොකද සිනමා පාසලක් එහෙම අපට තිබුණේ නෑ මගේ පරිසරයෙත් පරම්පරාවෙත් කවුරුත් හිටියේ නෑ මේ ක්ෂේත්‍රවල. ඉතින් මම දැකලා, වටපිට බලලම තමයි බොහෝ දේවල් ඉගෙන ගත්තේ.

 

ඇත්තටම රංගන පාසලක් තිබිය යුතුමද?

ඔව්. ආපසු හැරිලා බලනකොට ඒක අත්‍යවශ්‍යම දෙයක්. අපි වගේ එක්කෙනෙක් දෙන්නෙක්ට උපතින්‌ ගේන හැකියාවන් තිබුණට ඒ තිබෙන හැකියාවන් ඔප මට්ටම් කරන්න, තව වැඩිදියුණු කරන්න රංගනය ගැන අධ්‍යයනය කරන්න තැනක් ඉතාමත්ම අත්‍යවශ්‍යයයි. මොකද හැම රටකම වගේ ඒ දේ සිදුවෙනවානෙ. (සුසුමක් හෙළා) ඒක ඉතින් අපේ සිනමාවේ තිබෙන වාසනාව තමයි. (යළිත් ගැඹුරු ලෙසින්) අපි ගොඩක් අය උත්සාහ කළා සිනමා පාසලක්, රංගන පාසලක් පටන් ගන්න. විශේෂයෙන් රංගනය, අධ්‍යක්ෂණය, තිර නාටකය ගැන ඉගෙන ගන්න අවස්ථාව දෙන්න. ඒත් අපේ රටේ එය හැමදාම යෝජනාවක් බවට පත් වුණා මිසක් ක්‍රියාත්මක වුණේ නෑ. ඒක හිතට හරිම කනගාටුයි. මොකද ලෝකෙ ඕනෙ තැනක බැලුවොත් සිනමා පාසල් තිබෙනවා. මගෙනුත් බොහෝ රටවල්වලදි, සිනමා උලෙළවලදි අහලා තිබෙනවා මොන පාසලෙන් ද ඉගෙන ගත්තේ කියලා. මට එයින් අඩුපාඩුවක් වෙලා නැතත්, (දෙ උර හකුළා මා වෙතට නැමී රහසින් මෙන්) ඒ වගේ වෙලාවට හරි ලැජ්ජාවකුත් වගේ දැනෙනවා අපට එහෙම පාසලක් නෑ නේද කියලා.

සිනමා පාසලක් කීවාම අපේ රටේ සිනමාවට පමණක් නෙවෙයි ලෝක සිනමාව සමඟ බද්ධ වෙනවානෙ. ඒ ගැන බොහෝ දේ ඉගෙන ගන්න අනාගත පරපුරට එවැන්නක් තිබීම හරි වැදගත්. අපට අදටත් කාලය ඕනෙ තරම් තිබෙනවා එවැන්නක් අරඹන්න. මට හොඳට මතකයි අනෝජා වීරසිංහ, ධර්මසේන පතිරාජ, ප්‍රසන්න විතානගේ වැනි අය බොහෝ උත්සාහ කළා එයට. දැනට අපේ මහේන්ද්‍ර පෙරේරා හැකි පමණින් රංගනය ගැන යමක් කරනවා. ඒවා ඉතා වැදගත්. අපි ප්‍රාර්ථනා කරමු අනාගතයේ එවැන්නක් බිහි වේවා! කියලා.

 

(මම තවත් උනන්දු වෙමින්...) 'එවැනි පාසලකින් ලැබෙන සහතිකය ඕනෑම රටක රඟපාන්න බලපත්‍රයක් හා සමානයි කියා සමහරු කියනවා?'

එහෙම දේවල් තිබෙනවා. හැබැයි එහෙම දේකට සීමා වෙන්න ඕනෙ නෑ රංගනය. මොකද කෙනෙකුගේ‌ උත්පත්ති හැකියාවට බලපත්‍රයක් ඕනෙ නෑ. ඒ්ත් සමහරු එක එක චරිතවලට කොටු වෙනවා. එතැනින් එහාට යන්න ශක්තියක්, අවබෝධයක් නෑ එවිට. ඒ පිළිබඳ පිටින් බලන කෙනෙකුට, පාසලක උගත් කෙනෙකුට ශිල්පියා අධ්‍යයනය කරලා ඔහුගේ ඇතුළාන්තයේ ඇති බොහෝ දක්ෂතා එළියට අරගෙන රංගනයේ බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්. අදටත් ඔප්පු කරලා තිබෙනවා පාසලක් නැතත් අපේ රටේ නළු නිළියන් මෙන්ම අනෙක් අය දක්ෂ බව. විශේෂයෙන් තරුණ පරපුර අන්තර්ජාතික සම්මානවලට පාත්‍ර වුණු අවස්ථා රැසක් තිබෙනවා. අනෙක අන්තර්ජාතික ප්‍රජාව ඉස්සෙල්ලාම අපේ රට හඳුනගත්තේ සිනමා ක්ෂේත්‍රයෙන් පොඩි හෝ සම්මානයක් රටට ගෙනාවට පස්සේ. ඉන්පසුව තමයි ක්‍රිකට් ආදියෙන් සම්මාන ලැබුවේ. (ඇය පවසන්නේ තම ක්ෂේත්‍රය පිළිබඳ උපන් අභිමානයකිනි.)

 

මුලින්ම රංගනයට අන්තර්ජාතික ඇගැයීමක් ලබන්න ඔබට වාසනාව ලැබුණා?

එය රටට හරිම ලොකු ගෞරවයක් කියලායි මම හිතන්නේ. අද සම්මාන උලෙළ ඕනෙ තරම් තිබෙනවා ලෝකේ. ඒත් එදා හරිම අතළොස්සයි තිබුණේ. ඒ හතර පහ අතරින් මොස්කව් සම්මාන උලෙළ ප්‍රධාන එකක්. එයින් ඇගයීමකට පත් වීමත් ලොකු දෙයක්. ඒ කාලේ මට ඒවා ගැන ලොකු අදහසක් අවබෝධයක් තිබුණේ නැතත් දැන් හැරිලා බලනකොට ඒ ලැබුණු දේ ගැන පොඩි නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. මට පෙර වසරේ ඒ අගය කිරීම සොෆියා ලොරේන් රංගන ශිල්පිනියටත් ලැබිලා තිබෙනවා කියලා දැනගත්තාම තවත් පොඩ්ඩක් ආඩම්බරය දැනුණා. මට ලොකුම සතුට ඒ ඇගැයීම සමඟ මගේ නම තිබීම ගැන නෙවෙයි. ශ්‍රී ලංකාව කියන නම එහි සඳහන් වීමයි.

 

මම සුපුරුදු පැන විමසීමට අවතීර්ණ වීමි. 'අද වන විට අන්තර්ජාතික සම්මාන රැසක් ලැබෙනවා?'

ඒකෙන් හොඳටම ඔප්පු වෙනවානෙ කෙතරම් දක්ෂතා තිබෙන අය අපේ රටේ ඉන්නවාද කියලා. අපේ විවිධ දක්ෂතා ඇති අයට ඉතින් පාසලක් නැතත් ඒ අයට උපතින් මොකක් දෝ තිබෙනවා හැකියාවක් වාසනාවක්. එය මෙහෙ නැතත් පිටරටවලදි බොහෝ විට හඳුනා ගැනෙනවා. එයට සාධාරණ විදිහට සම්මාන ලැබෙනවා අගය කෙරෙනවා. විශේෂයෙන් අධ්‍යක්ෂණය, කැමරාකරණය ආදියට. එසේ අපේ ශිල්පීන් අන්තර්ජාතික තලය සමඟ සම්බන්ධ වීම ලොකු දෙයක්. මොකද අපේ රට, සංස්කෘතිය ගැන ලෝකය දකින්නේ, ශ්‍රී ලංකාව කියලා රටක් තිබෙනවා එහි මේ වගේ ගතිගුණ තිබෙන මිනිසුන් ඉන්නවා කියලා සජීවීව වගේ දකින්නේ සිනමාවෙන්නෙ.

 

අද සිනමාව පිළිබඳ ඔබේ අදහස?

අද ලෝකයේම සිනමාව විවිධ අභියෝගවලට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන් තාක්ෂණය පැත්තෙන්. ඒ මොන අභියෝග තිබුණත් රසවිඳීම කියන දේ ඇතුළාන්තය එකයි. මොන විදිහේ කැමරාවකින් මොන විදිහට රූගත කිරීම් කළත් මොන මාධ්‍යයෙන් කළත්, රස වින්දනය සහ දෙන පණිවිඩය එකයි. අපේ රට පුංචි වුණාට ඒ බලපෑම්වලට මුහුණ දෙන්න සිදු වුණා. අපේ රටට ඔරොත්තු දෙන්න අමාරු වුණා ඒවාට. වෙන රටවල් ඒවාට විවිධ දේ සොයාගත්තා. විශේෂයෙන් අපේ රටේ සිනමාවට කර්මාන්තයක් ලෙස වෙළෙඳ පොළ ස්ථාවරත්වයක් තිබෙන්න ඕනෙ. අපට එය නැතිම තරම්. අපේ රටේ කුඩා ප්‍රේක්ෂාගාරයත් සමඟ වෙළෙඳ වටිනාකම කියන දේ හරිම අඩුයි. හැම තිස්සේම මම කියන දේ තමයි අනුරාධපුරයෙන් එහාට අපේ ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් බලන්නේ නෑ කිසි කෙනෙක්. එහෙම තිබෙද්දි නිෂ්පාදකයන් චිත්‍රපටයක් කරන්න ඉදිරිපත් වන එක ගැන පවා අපි ස්තූතිවන්ත වෙන්න ඕනෙ, ඔවුන් ආදරයෙන් පිළිගන්න ඕනෙ. ඒ ලැබෙන පුංචි මුදලින් අධ්‍යක්ෂවරයෙක් කටයුතු කරන්න හිත හදාගන්න එකම කොයි තරම් කැපකිරීමක් ද කියලා හරි දුක හිතෙනවා. අද හැදෙන චිත්‍රපට සමඟ ඒ වගේ තත්ත්වයක් තිබෙන්නේ. කොහොම වුණත් ප්‍රේක්ෂකයන් සිටින තාක්කල් ඔවුන් චිත්‍රපට රස විඳීන තාක්කල් සිනමාව සදාකාලිකයි.

මම හරස් ප්‍රශ්නයකට යොමු වීමි.

ඔබ මොහොතකටවත් හිතනවාද සිංහල සිනමාව පරිහානියට පත්වෙලා කියලා?

(මොහොතක් මා දෙස බලා සිටි ඇය) මගේ යුගයේ ශ්‍රී ලාංකික සිනමාව පිළිබඳ කතා කළොත් අපට ප්‍රේක්ෂකයන් දහස් ගණන් හිටයා. එක චිත්‍රපටයක් දින සිය ගණන් ප්‍රදර්ශනය වුණා. ඒ වගේම නිෂ්පාදකයන් බොහොම සතුටින් ඒ කටයුතුවල නිරත වුණා. නළු නිළියන්ට වෘත්තියක් හැටියට එය කරගෙන යෑමේ හැකියාව තිබුණා. අද කිසිම මවක් පියෙක් කැමැති වෙන්නේ නෑ වෘත්තීය රංග ශිල්පියෙක් වනවාට තමන්ගේ දරුවා. එවැනි තත්ත්වයක් තිබෙන්නේ. ඒ මොන දේ වුණත් සිනමාවට තිබෙන කැමැත්ත කියන්නේ වෙනම මැජික් එකක්. ඒක නැති වෙන්නේ නෑ.

 

අද බොහෝ අය කලාත්මක ධාරාවේ චිත්‍රපටවලටම යොමු වීමේ ප්‍රවණතාවක් තිබෙනවා?

ඒකට හේතුව ඇත්තටම ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටයක් කිරීම ලේසි නැති වීම. එයට විශාල ධනස්කන්ධයක් ඕනෙ. අපට තරග කරන්න වන්නේ අල්ලපු රටේ චිත්‍රපට සමඟ. ඒ අයගේ සින්දුවක් කරන්න යන වියදම තමයි අපේ මුළු පික්චර් එකටම තියෙන්නේ. ඉතින් කැමැත්ත ආසාව හීන තිබුණත් නැති කමට අඩු මුදලකින් තිබෙන සම්පත්වලින් යමක් කරලා වෙනස් විදිහේ අත්දැකීමක් ප්‍රේක්ෂකයාට දෙන්න නිර්මාණකරුවන් උත්සාහ කරනවා. එතැන තමයි ඛේදවාචකය තිබෙන්නේ.

විදෙස් උලෙළවලට ගිහින් සම්මාන ලැබීම ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඉතින් එය මහජනතාවටත් දකින්න දෙන්න ඕනෙනෙ. නැත්නම් චිත්‍රපටය හැදුව අධ්‍යක්ෂ විතරක් ශාලාවට ගිහින් තනියම පුටුවක ඉඳගෙන චිත්‍රපටය බලලා හරි ෂෝක් කියලා ගෙදර යන එක නෙවෙයිනෙ අවශ්‍යතාව. අපි නිර්මාණයක් කරන්නේ යම් කිසි කට්ටියකට රසවින්දනයක් යම් අර්ථයක් ගෙන දෙන්නනෙ. නැත්නම් තමන් ගෙදර තනියම පිච්චර් හදලා ගෙදරම වීඩියෝ එකෙන් බලාගෙන ඉන්න පුළුවන්නේ. ඒක දුර්වලකමක්.

ඇත්තෙන්ම අද වස්තුබීජ සහ කතාව ගොඩ නැඟීම පැත්තෙන් තමයි දුර්වලතා දකින්න ලැබෙන්නේ. කතා වස්තු කීවත් මහා ලොකු ඒවා ඕනෙ නෑ. එක පොඩි නිමිත්තක් ඇති තිර රචකයකු‌ට හොඳ කතාවක් නිර්මාණය කරන්න. එය සිනමාරූපීව රූපවලට නඟන එක. ඒ රූපරාමු කොහොමද ප්‍රේක්ෂකයාගේ හදවතට කතා කරන්නේ කියන එකයි අවබෝධ කරගන්න අවශ්‍ය. එනිසා පින්තූර රාමු ටිකක් එකට එකතු කරලා පෙන්වනවාට වඩා සිනමාත්මක නිර්මාණයක් ගොඩනඟා මිනිසකුගේ හිතේ කම්පනයක් ඇති කරන්නේ කොහොමද කියන එකයි වැදගත්. එය සිදු නොවෙනවා නම් අධ්‍යක්ෂ දුර්වලයි. (චිත්‍රපට අධ්‍යක්ෂිකාවක සහ නිෂ්පාදකවරියකගේ වගකීම්සහගත හඬකි මට දැනුණේ)

 

සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගත්තා?

එයට තව වචනයක් එකතු වෙන්න ඕනෙ වෙළෙඳපොළ කියමින්. අපේ නිර්මාණ වෙළෙඳපොළකට යන්න ඕනෙ මිනිසුන් දකින්න, නිෂ්පාදකයාට ප්‍රතිලාභයක් තිබෙන්නත් ඕනෙ. ඒක නැති එක තමයි මෙතැන තිබෙන ලොකුම ගැටලුව. අද අපට ප්‍රශ්න විසඳන ක්‍රමයක් ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව තිබුණා. ඒත් ඒවා ඇතුළටත් දේශපාලනය රිංගලා. ඇත්තටම සංස්ථාව පිහිටු වූයේ සිනමාව වෙනුවෙන්. ඒත් දැන් සිනමාවට සිදු වෙලා තිබෙනවා සංස්ථාවේ සේවකයන් රැකබලා ගන්න. සේවකයන් වෘත්තීය සමිතිවලින් එක එක පැත්තට බෙදිලා. හුණුවටයේ කතාවේ දරුවාව වගේ සිනමාව දෙපැත්තට අදිනවා. අපි විවිධ යෝජනා කාලයක් තිස්සේ කළා මේ තත්ත්වයෙන් සංස්ථාව මුදවා ගන්න. දැන් සිටින ඇමැතිතුමා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් නිසා ඔහු දන්නවා මේ සියල්ල. ඒ නිසා මේ ගැටලුවලින් ටිකක් හෝ විසඳෙයි කියලා විශාල බලාපොරොත්තුවක් තිබෙනවා.

 

නළු නිළියන්ගේ එකමුතුකම ගැන ඔබට මොකද හිතෙන්නේ?

මට කියන්න පුළුවන් සිනෙස්ටාර් පදනම ගැන. අපට හාරසියයක් පමණ සාමාජික පිරිසක් ඉන්නවා. වසර 18ක් පුරා රිදී රැයක් කරමින් එයින් ලැබෙන මුදලින් ක්ෂේත්‍රයේ අයට උදවු කරනවා. එයින් සිදුවන සුබසාධනයට පමණක් නොවේ නළු නිළියන්ගේ එකමුතුවටත් එය කටයතු කරනවා. තරුණ පරපුරේ වෙනස් අදහස් තිබෙන ඇතැම් අය නම් එයට සම්බන්ධ නෑ. ඒ අයට වෙනම න්‍යාය පත්‍ර තිබෙනවා. ඒ අය පිට ඉඳන් වෙනස් දේවල් කියනවා ඒකට ඉතින් මොනවා කරන්නද? නේද? (ඇය විමසන්නේ උපහාසය රැඳුණු මුවකිනි)

 

ඔබේ කිරුළ පැලැන්දවීමට අනුප්‍රාප්තික ශිල්පිනියක් මෙරට සිනමාවේ බිහි වී සිටිනවා කියා සිතනවාද?

(ඇය සිනහවකින් පැනය පිළිගත්තද මුහුණේ බැරෑරුම් පෙනුමකි) එය බොහොම බැරෑරුම් ප්‍රශ්නයක්. ඒක ඇත්තටම රංගන ශිල්පිනියන්ගේ වරදක් නෙවෙයි. මට ඒ තත්ත්වයට එන්න මගේ දක්ෂතාවන් පෙන්වන්න විවිධ පැතිවලින් ඒ කියන්නේ වානිජ අංශයෙන් හෝ උසස් ගණයේ හෝ චිත්‍රපටවල රඟපාන්න මට අවස්ථා රැසක් ලැබුණා. අද ඉන්න ශිල්පිනියකට එවැනි අවස්ථා ලැබෙනවා හරි අඩුයි. ඒ නිසා ඒ අයට තමන්ගේ ශිල්පීය දක්ෂතාව ස්ථාවරව පවත්වා ගන්න හරි අමාරු තත්ත්වයක් තිබෙනවා. ඔවුන්ටත් මට වගේම අවස්ථා ලැබෙනවා නම් අද කාලෙ තවත් නිළි රැජිනියක් බිහිවන්න පුළුවන්. ඒත් මොනවා හෝ හේතු නිසා එන අයටත් යම් යම් අවාසනාවන්ත සිදුවීම් බලපානවා. එහෙම නැතිව ශිල්පීනීන්ගේ අඩුපාඩුවක් නොවේ. මම හිතන්නේ. ගොඩක් දක්ෂතා ඇති අය ඉන්නවා කියලයි ක්ෂේත්‍රයේ.

 

එදා සහ අද තරු සංකල්පය ගැන මොකද හිතන්නේ?

(පිබිදුණු ස්වරයෙන්) අදත් මහ විශාල තරු සංඛ්‍යාවක් පායලා තිබෙනවා. ඒත් මාධ්‍යයනෙ තරු බිහි කරන්න මුල් වන්නේ. ඒ යුගයේ මුද්‍රිත මාධ්‍ය තමයි ප්‍රබල. ඉතින් සරසවිය මුලිකව තවත් මුද්‍රිත මාධ්‍ය පළ කළ දේවල් නිසා තමයි ප්‍රේක්ෂකයන් අප ගැන අවධානය යොමු කළේ. ප්‍රේක්ෂකයන්ට ඒ ගැන ඇති කැමැත්ත තාමත් තිබෙනවා. අද මාධ්‍යවල ස්වභාවය සරසවියේ සිට සමාජ මාධ්‍ය හා ටික් ටොක් දක්වාම තාක්ෂණික වශයෙන් වෙනස් වීම ගැන මම නම් මුකුත් කියන්න යන්නේ නෑ. හැමදාම ඒකාකාරීව දේවල් පවතින්නෙත් නෑනෙ. අනෙක මාධ්‍ය වෙනස් වුණාට නළු නිළියන් ගැන තොරතුරු දැනගන්න තිබෙන ආසාව කැමැත්ත නොවෙනස්ව තවම තිබෙනවා. ඒ නිසා අපි ඒ සියල්ලට මුහුණ දෙන්න ඕනෙ. ඒ යන ගමනට අපි හැඩගැහෙන්න ඕනෙ. පුරුදු වෙන්නත් ඕනෙ තමයි. ඒත් සමහර වෙලාවට සමහර අය කරන දේවල් ගැන මට නොකියාත් බෑ. මොකද අපි රංගන ශිල්පීන් හැටියට අපේ ප්‍රධාන කාර්යය අපට ලැබෙන චරිතවලින් අපේ දක්ෂතාව පෙන්නලා ඒ අනුව ප්‍රේක්ෂකයා හා සම්බන්ධතාව පවත්වා ගැනීම හා වැඩිදියුණු කර ගැනීමනේ. ඒත් අද තිබෙන මාධ්‍ය අනුව බොහෝ වෙලාවට තමන් කවුද කියලා ප්‍රසිද්ධ කරගැනීම තමයි මූලික වෙලා තිබෙන්නෙ. ඒ නිසා අද පුංචි ළමයින් පවා මොනවාද සිද්ධ වෙන්නේ කියලා නොදන්න දෙයක් නැති තරම්. එහෙම නවකයන් ගොඩක් දකිනවා අද කාලෙ. ඉතින් මම... (කල්පනා කර වචන ගළපමින්) පුළු පුළුවන් වෙලාවට අඩුපාඩු දැක්කාම ඒ අය අහන්න කැමැති නම් පමණක් උපදෙසක් දෙන්න ඉදිරිපත් වෙනවා. ඒත් මම නම් හිතන්නේ තමන් කරන කාර්යය හරියට කිරීමයි පළමුවෙනි වෙන්න ඕනෙ. ඊට පස්සේ අපට මහන්සියකින් තොරව ප්‍රසිද්ධිය ගලාගෙන එනවා. සිනමාවේ වුණත් කලාවේ වුණත් අප ලබන ප්‍රසිද්ධිය සදාකාලික කරගැනීමයි අමාරුම කාර්යය. තරු කියන දේ අවශ්‍යයි. අලුත් තරු අවශ්‍යයි. එනිසා රංගන ශිල්පියා හා තරුව කියන්නේ දෙන්නෙක් කියන දේ නොහිතා සැම දෙනාම ඉදිරියට යන්නයි ඕනෙ.

 

සිනමාවේ යුග බිහි කිරීමේ කාර්යයේදී ඔබ ඉදිරියෙන්ම සිටිනවා. ඒ රහස කුමක්ද?

අද මම මෙතැන ඉන්න නිසා ඒ යුගයන් ගැන කතා කරනවා. ඒත් ඊට පෙර රුක්මණි දේවීය, ජීවරාණී, සන්ධ්‍යා කුමාරී, විජිත මල්ලිකා, පුණ්‍යා හීන්දෙණිය, අනුලා කරුණාතිලක වැනි අයත් යුග බිහි කළා. යුගයක් බිහි කරන්න දෙදෙනෙක් ඕනෙනේ. ඉතින් මම ආ කාලයේ සිට බැලුවාම ජෝ අය්යා (ජෝ අබේවික්‍රමයන්) මුලින්ම මා එක්ක රඟපෑවා. ඉන් පසු ගාමිණි ෆොන්සේකා මහත්මයා සමඟ මාව, අපේ දක්ෂතා තමන්ගේ නිර්මාණවලට දායක කරගන්න ඕනේ කියන සිතිවිල්ලෙන් ලෙනින් මොරායස් මහත්මයාගේ සිට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මා දක්වා ගොඩක් අධ්‍යක්ෂවරු තෝරා ගත් නිසා යුගයක් බිහි වුණා. ඉන් පසු ටෝනි (රණසිංහ) අය්යාත් එක්ක, විජය (කුමාරතුංග) එක්ක යුග බිහි වුණා. ඒ ගැන ඇත්තටම අහන්න ඕනෙ ඒ යුග දුටු ප්‍රේක්ෂකයකුගේ හිතකින්. (සිනාසෙයි)

 

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම වරක් කියා තිබුණා ඔබේ ආලෝකයෙන් දැවැන්තර පුරුෂ තරු බැබළුණා කියලා?

මට නම් පොඩ්ඩක්වත් එහෙම හිතෙන්නේ නෑ. (යළිත් කල්පනා කර) අපෝ නෑ. මම මේ සිනමාවට එන්න ඉස්සෙල්ලා ගාමිණි ෆොන්සේකා කියන නම කිව්වාම හීනෙකින්වත් හිතුවෙ නෑ ගිහින් ළඟවත් හිටගන්නවත් පුළුවන් වෙයිද කියලා. ඉතින් එහෙම එකේ මගෙන් ඔහුට ලැබෙන ආලෝකය මොකක්ද? ඒ වගේම ජෝ අය්යා කියන්නේ රංගන පාසලක් වගේ. ඉතින් ඒ අය සමඟ ඇසුරු කරන්න ලැබීම, ළඟින් ඉඳ යුග බිහි කරන්න ලැබීම මගේ වාසනාවක් ලෙසයි මම හිතන්නේ. ඒක අශෝක දකින්න ඇත්තේ වෙනස් විදිහකට.

 

යුග ගැන කතා කරද්දි ඔබේ හිතේ රැඳුණු එක් යුගයක් ගැන විශේෂයෙන් ඇහුවට කමක් නැද්ද?

(මම අදිමදි කරමින් ඇසීමි)

ඕනෙ දෙයක් අහන්න කමක් නෑ. (ඇය සරලව කියයි. මම අවස්ථාවෙන් ප්‍රයෝජන ගතිමි. )

 

විජය කුමාරතුංගයන් සමඟ එදා ඔබේ විවාහය සිදු වුණා නම්?

එහෙම නම්...(ඇය කල්පනා කරයි....) එක එක්කෙනාගෙන් අහන්න ඕනෙ ඒක. (සිනාවක් සමඟ) එක එක හේතු තිබෙනවා ඒක වැළකෙන්න. ඒත් විවාහය සිදු වුණා නම්... (වේගයෙන් වචන ගළපා) ගොඩාක් දේවල් වෙනස් වෙන්න තිබුණා.

මගේ රංගන ජීවිතය, විජයගේ රංගන ජීවිතය, විජයගේ දේශපාලන ජීවිතය, විජයගේ පෞද්ගලික ජීවිතය, මගේ පෞද්ගලික ජීවිතය වෙනස් වෙන්න තිබුණා. ඒත් ඉතින් ඒක සිද්ධ වෙන්න තිබුණු විදිහ නේද? ඒක වළක්වන්න බෑ. ගොඩක් දේවල් ගැන කතා කරද්දි අපි කතා කරන්න හොඳ නැති දේවලුත් තිබෙනවානේ. විශේෂයෙන් දේශපාලනය ගැන. අපේ රටේ දේශපාලන තත්ත්වය විජයට බලපෑවා, අපේ විවාහය වෙනස් වුණ නිසා. ඒක ඉතින් මගෙත් විජයගෙත් අපේ රටෙත් දෛවය.

 

(මම ද හැඟුම් බරව විමසමි) ඔබේ හදවතේ කොතැනද අද විජය කුමාරතුංගයන් රැඳී ඉන්නේ?

(සිනාවක් සමඟ දෙබැම ඔසවා මදෙස බලමින්) හරිම අපහසුයි ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න... (විරාමයක් ගෙන) අපි ජීවිතේ යම් කාලයක් ජීවත් වෙද්දි ඒ අතීත මතකයන් බොහොම වැදගත්. අතීතයේ සිදු වන දේවල් අතරින් විජයගෙයි මගෙයි මතක ගොඩාක් ඉතිරිව තිබෙනවා. ජීවිතය පවතින තුරු විශේෂ තැනක් තිබෙනවා ඒවාට. ඉතින් එහෙම තැනක් තමයි තිබෙන්නේ.

 

(කතාවේ මඟ වෙනස් කළ යුතුය.) කලාකරුවන් දේශපාලනය කිරීම ගැන අද ඔබ හිතන්නේ කෙසේද?

සිර කරුවොත් මනුෂ්‍යයෝ කීවා වගේ කලාකරුවොත් මනුෂ්‍යයෝනේ. ඒ නිසා මම කොයි වෙලාවකවත් ඒක වැරැද්දක් හැටියට දකින්නේ නෑ. (ඇගේ හඬ ස්ථාවරය) කලාකරුවන්ටත් නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම තිබෙනවා දේශපාලනය කරන්න. රංගනය කලාකරුවන්ගේ වෘත්තිය. ඒක වෙනයි. එහෙම නම් වෛද්‍යවරුන්ට ගුරුවරුන්ට වගේ විවිධ අයට එහෙමත් හොඳ නැති වෙන්න එපැයි එය. දේශපාලනය කියන්නේ වෙනම දෙයක්. එය බොහොම ගෞරවයෙන් යුක්තව කළ යුතු දෙයක්. ඕනෑම කෙනෙකුට තමන්ගේ මවු රටට, ජනතාවට සේවය කරන්න අවංක වුවමනාවක් තිබෙනවා නම් හොඳම දේ තමයි දේශපාලනය සහ පාර්ලිමේන්තුව. මේ ක්‍රමය යටතේ පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා සිදු විය යුතු. ඒවා සිදු වෙනවා නම් දේශපාලනය ඕනෙම කෙනෙකුට සුදුසු දෙයක්. ඉතින් කලාකරුවන්, ක්‍රීඩකයන් වැනි අය මොකටද දේශපාලනයට එන්නේ කියලා විමසන එක සුදුසු නෑ. එහෙම නම් හාමුදුරුවරුන්ටත් දේශපාලනය හොඳ නෑනෙ? (සිනාවක්) එතකොට කාටවත් දේශපාලනය හොඳ නැති වෙන්න එපැයි. වෙනමම තනි අය ගත්තාම තමන්ගේ දක්ෂතා හා අධ්‍යාපනය අනුව වෙන වෘත්තීන්වල නියැළෙනවා වෙන්න පුළුවන්. ඒත් දේශපාලනය කිරීම වෙනම දෙයක්. ඔය හොඳ නෑ කියන අදහස කියන්නේ අද අපේ රටේ තිබෙන දේශපාලන ක්‍රමවේදය නිසා කියලයි මම හිතන්නේ. අපි මීට අවුරුදු ගණනකට කලින් කීවේ මේවායේ වෙනස්කම් සිදු විය යුතුයි කියලා. අපි තරුණ කාලේ දේශපාලනය දකිද්දි කෙනෙකුට හරි ලේසියි තමන්ගේ ගමට පළාතට සේවයක් කරන්න දේශපාලනය කරන විට. ඒත් අද විශේෂයෙන් හරි අමාරුයි කාන්තාවකට දේශපාලයේ නියැළෙන්න. ඒ කොහොම වුණත් දේශපාලනය කලාකරුවකුට වඩාත් සුදුසු වන්නේ අනෙක් හැම ක්ෂේත්‍රයකම අයට වඩා කලාකරුවන් හරිම සංවේදී පුද්ගලයන් නිසා. කෙනකුගේ දුක හරි ඉක්මනටම කලාකරුවන්ට වටහා ගන්න පුළුවන්. (හිස කෙළින් කර) ඒ නිසා දේශපාලනයට සුදුසුම කවුද කියලා ඇහුවොත් (දබර ඇඟිල්ල ඔසවා) නොම්බර එකට ඉන්නේ කලාකරුවන්.

 

ඒත් සිනමාකරුවන් ලෙස පාර්ලිමේන්තු ගිය ඔබ ඇතුළු පිරිස සිනමාවට කළේ කුමක්ද? කියා ඇතැමුන් විමසනවා?

දේශපාලනයට වෙනත් ක්ෂේත්‍රවලින් පිවිසෙන අය තමන් මොනවාද දේශපාලනයේදී කරන්නේ කියන දේ එළියට දමා ප්‍රසිද්ධ කරගන්න ලොකු උත්සාහයක් දරනවා. අපි දේශපාලනයට යන්නෙම විශාල ප්‍රසිද්ධියක් ඇතුව නිසා අප කරන දේවල් ප්‍රසිද්ධ කරගන්න විශාල උනන්දුවක් ඇති වුණේ නෑ. එය පෞද්ගලිකව මට නම් හොඳටම බලපෑ දෙයක්. සමහර විට මම කළ වැඩ ඇයි පුවත්පත්වලට නොකීවේ කියා දොස් අහපු අවස්ථාත් තිබෙනවා. සමහරු පනස්දාහක වැඩක් කරලා ලක්ෂ පනහක විතර වෙළෙඳ ප්‍රචාරණයක් ඒවාට දෙනවා. මම එහෙම කළේ නෑ. ඒ නිසා කෙනෙකු අහන්න පුළුවන් 'මාලිනී මොනවාද කළේ' කියලා. ඒත් මේ ක්‍රමය තුළ මට කළ හැකි පමණින් කළ යුතු දේවල් මම කළා. ඒවා අණබෙර ගහලා, පත්තරවල දාලා කියන්න ගියේ නෑ. ඒ ප්‍රයෝජන ලැබූ අය ඒවා කළේ කවුද කියා දන්නවා. ඒ නිසා මම ඒ ප්‍රශ්නවලින් සැලෙන්නේ නෑ. හැබැයි දේශපාලනය කීවාම නිතර කළු රාමුවක් දමාගෙනනෙ අපි දිහා බලන්නේ. ඒකටත් විවිධ හේතු තිබෙනවා. ඒ නිසා කාටවත් දොසක් කියන්නේ නෑ මම. ඒත් හරියට හැරිලා බැලුවොත් කෙතරම් දේවල් කෙරිලා තිබෙනවාද කියලා හොයන්න පුළුවන්. ඒ වගේම අපි කාටවත් කරන්න බැරි ලොකූ දේශපාලනයක් කරලා තිබෙනවානෙ මිනිසුන්ගේ සිත් සතුටු කරවන්න රංග ශිල්පීන් හැටියට.

 

දශක හයක් පුරා ඔබේ අත්දැකීම් අනුව රූපණය අර්ථ දක්වන්නේ කෙසේද?

ඔබ ඒ පැනය අහද්දි මට මතක් වන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයාව. (සුසුමක් ගෙන හෙළයි) මාලනී රංග න්‍යාය කියන කෘතිය ඔහු ලියා මා ගැන කළ දේශනයේදී කියූ දෙයක් නිසා. ඔහු කීවේ 'මාලිනී තමන්ට ලැබුණු චරිතය තමන්ගේ හිත ඇතුළෙන් විඳලා තමයි එළියට ගන්නේ' කියන දේ. ඇත්තටමත් මම මට ලැබෙන චරිතයට හරිම අවංක වෙනවා. ඒ චරිතය අධ්‍යක්ෂගේ හෝ තිරරචකයාගේ හිතේ බිහි වුවත් එය මම මගේ කරගෙන අවංකවම හරිම ආදරය කරලා මට පුළුවන් උපරිමයෙන් කැප වෙනවා ඒ චරිතය වෙනුවෙන්. හරියටම ගත්තොත් මගේ ජීවිතේ මම ජීවත්ව සිටි කාලය ඇතුළත මාලිනී ෆොන්සේකා හැටියට ජීවත් වූ කාලයට වඩා වැඩිපුර වෙනත් චරිතවල ජීවත් වී තිබෙනවා. ඒ ආත්මවලට මම පිවිසිලා තිබෙනවා. ඒ නිසා මගේ ජීවිතේ චරිත ගණනාවක් තිබෙනවා. ඒ විදිහටයි මම රංගනය ගැන හිතන්නේ. රංගනය පිළිබඳ මගේ හිතේ විශාල ගෞරවයක් තිබෙනවා. මම හිතන්නේ කෝටි ගණනාවකින් එක්කෙනෙකුට ලැබෙන අවස්ථාවක් එය. එනිසා රංගනය වෘත්තියකට වඩා ගෞරවයෙන් ඇදහිය යුතු දෙයක්. මොකද තව කෙනකුගේ හදවතක් සහ චරිතයක් කොයි ආකාරයෙන්ද ක්‍රියාකාරී වන්නේ, තමන් ලෝකය සමඟ සම්බන්ධ වන්නේ කොයි ආකාරයෙන්ද යන්න ඉතාමත්ම සියුම් විදිහට අධ්‍යයනය කරලා ඒ චරිතයේ විවිධ පැති ගැන හිතලා එයට ප්‍රවේශ වන්න ඕනෙ.

තිර කතා රචකයාගේ හිතේ මැවෙන චරිතය අධ්‍යක්ෂවරයා අපට දුන්නාම එය සජීවීව කෙබඳුද කියලා හිතන්න නම් අධ්‍යයනයක් කරන්නම වෙනවා. දුන්න පළියට චරිත කරන්න බෑ. තමන්ට ඒ වගේ චරිත මුණ ගැසුණු තැන්වල කොහොමද ඔවුන් හැසිරුණේ කියන දේ මතක් කර ගන්න ඕනෙ. රංගනයේදී විශේෂයෙන් මුහුණ සහ ඇස් වගේම කටහඬ වැදගත්. සමහර විට කටහඬ නැතුව රඟපාන්නත් වන අවස්ථා තිබෙනවා. කටහඬ නැතත් අපට මහා ශබ්දයක් කරන්න පුළුවන් රංගනයෙන්. විශේෂයෙන් ඇසට ඇස දී රංගනය කිරීම කියන්නේ හිත ඇතුළ බැලීම නිසා රංගනයේදී එය ඉතා අවශ්‍යයි. එහිදී අපට පුළුවන් කණ්ණාඩියක් ඉදිරියට ගිහින් අධ්‍යයනය කරන්න අපේ චරිතය, අපේ මුහුණ මොන වගේද කියලා. අපි රඟපාන චරිතය ඇත්තෙන්ම අපි දකින්නේ කණ්ණාඩියෙන්. උදාහරණයක් විදිහට රන්මැණිකා විදිහට වේශ නිරූපණය කරලා, රෙද්ද හැට්ටය ඇඳලා, කොණ්ඩය බැඳලා ඉන්න කෙනාව මම මුලින්ම දකින්නේ කණ්ණාඩියෙන්. එතකොට කල්පනා කරන්න ඕනේ ඒ දකින රන්මැණිකා අනෙක් අයගේ හදවතට දැනෙන්නේ කෙසේද කියලා. රෑ හීනෙන් හරි චරිතය ගැන හිතන්න ඕනෙ කොහොමද එය කෙරෙන්නේ කියලා. අනෙක් චරිත මොන විදිහටද මා එක්ක රඟපාන්නේ, දෙබස් කියන්නෙ කියලා සැලසුමක් හිතේ තිබෙන්න ඕනෙ.

 

(ඒ පිළිබඳ අන් අය කියූ දෑ සමඟ මට ඇත්තේ කුහුලකි. එය විසඳා ගත යුතුය) ඒත් සමහරු කියන්නේ අධ්‍යක්ෂවරයාට කැමැති විදිහට නිර්මාණය කළ හැකි මැටිපිඩක් වන්න නම් තමන් පූර්ව විනිශ්චයකින් තොරව හිස්ව යෑම සුදුසුයි කියලා?

හිස්ව ගිහින්? මොකද කරන්නේ? (නිළි රැජන ප්‍රශ්න කරන්නේ රඟපෑම ගැන මෙලෝ හසරක් නොදත් මගෙනි. ඉන්පසු ඇය සානුකම්පිත සිනාවකින් යුතුව කියයි.) අධ්‍යක්ෂවරයාට කැමැති විදිහට අඹන්න පුළුවන් වෙන්න හරි අපි ඒ මැටි පිඩ පදම් කරලා ගෙනියන්න ඕනෙනෙ. ඒක තමන් හදාගෙන යන්න ඕනෙ. එතැනදි අධ්‍යක්ෂට අවශ්‍ය විදිහට හැසිරෙන්න තරම් සැහැල්ලු වෙන්න තමන්ගේ හිත හදාගන්නත් ඕනෙ. ඔරවලා බලන්න කියන තැනකදි නිකම්ම බැලුවොත් වැඩක් නෑනේ. ගෙදර ගිහිල්ලා හිතුවට වැඩක් නෑ ෂා... මම මෙතැනදි මෙහෙම කළා නම් හරිනේ කියලා. මටත් එහෙම වුණු තැන් නැතුවා නෙවෙයි. එහෙම නොවී තමන්ට ලැබුණු මොහොත ප්‍රයෝජනයට ගන්න නම් අපේ පෙර සූදානමක් තිබෙන්න ඕනෙ.

 

ඔබ වේදිකාවෙන් සිනමාවට පිවිසියා සේම පුළුල් තිරයෙන් පළමුවෙන්ම පුංචි තිරයට පිවිසි ශිල්පිනිය? එහිදී ඔබ කීවේ රංගනයේ වෙනසක් නෑ කියා?

ඔව්. රංගනයේදී අප ඉදිරියේ කැමරාවක් තිබෙනවා කියන දේ එක ක්ෂණයකට අමතක කරන්න ඕනෙ. එහිදී අප ඉදිරියේ ඇත්තේ රූපවාහිනී කැමරාවක්ද? සිනමා කැමරාවක්ද? නැත්නම් නිශ්චල ඡායාරූප ගැනීමේ කැමරාවක්ද කියා නොහිතා කරන රූපණයයි වැදගත් වන්නේ. වේදිකාවේදී ඇති වන්නේ වෙනස්ම විදිහේ හැඟීමක්. ඒ කොතැනදි වුණත් අප හිතන්න ඕනේ ප්‍රේක්ෂකයාගේ හිත කොහොමද සොරා ගන්නේ කියන දේ. ඒ වගේම ඒ හිත අපට අවනත කරගන්නේ කෙසේද? යන්නයි. අපට නොතේරෙන කොහෙදෝ තැනක ඉඳලා කෙනෙකුගේ ඇස් දෙක දිහා බලලා අපි රඟපාද්දි ඔහුත් නොදැනුවත්වම අප කෙරෙහි අවධානය යොමු කරවන ආකාරයෙන් රංගනයේ යෙදීමයි අත්‍යවශ්‍ය වන්නේ. එහිදී රූපවාහිනියද, සිනමාවද, වේදිකාවද යන්න නෙවෙයි වැදගත්. සාර්ථකත්වය වන්නේ රංගනය කියන දේ තේරුම් ගැනීමයි.

එහිදී වේදිකාව වෙනස් වන්නේ සජීවී මාධ්‍යයක් ලෙස අපට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන නිසා. එතැනදි යම් වෙනසක් වෙනවා. එයත් අමතක වනවා යම් මොහොතකදී. එහෙත් ඒ ක්‍රමවේදයම සිනමා රංගනයේදී යොදවන්නේ නැතිව කැමරාව සජීවී කියා සිතා රඟපාන්නයි ඕනෙ. රංගනය කියන දේ කොතැනත් එකයි වෙනසක් වන්නේ නෑ.

 

අද කාලේ ටෙලි නාට්‍ය?

අනේ.... ආසන දෙකේ බණ වගේ. (එහි උපහාසයට සිනා නොවී සිටීමට මට නොහැකි විය) දෙබස්වලින් යන්නේ ගුවන්විදුලි නාට්‍ය වගේ. කනගාටුයි. බලා ඉන්න අපහසුයි අපට වුණත්. ඇත්තෙන්ම එහෙම වෙන්න බෑ. මෙය නිර්මාණකරුවාගේ දුර්වලකමක් බව දැනගන්න ඕනෙ. නාලිකාවකට ඕනෙ නිසා දඩබඩ ගාලා හදලා කීයක් හරි අරගන්න එක සහ නාලිකාවත් වෙළෙඳ දැන්වීම් ටිකක් දාලා කොහොම හරි එය පෙන්වාගැනීම නෙවෙයි වැඩේ. ඊට වඩා යමක් කෙරෙන්න ඕනෙ. අද බොහෝ විට වෙලා තිබෙන මේ තත්ත්වය අපේ අහිංසක රංගන ශිල්පී ශිල්පිනීන්ටත් බලපානවා. ඇත්තමට යම් මුදලක් ලැබෙන එකත් ලොකු දෙයක් නිසා අද කාලේ හැටියට ඔවුන් ඒවාට සහභාගී වෙනවා.

 

වසර හැටක රංගනයෙන් පසුවත් ඔබ නිරූපණය කරන්න පෙරුම් පුරන චරිතයක් තිබෙනවාද?

අනිවාර්යයෙන්ම. දැන් රඟ පෑ චරිතවලට වඩා තව සියගුණයක් තිබෙනවා රඟපාන්න ලැබුණා නම් කියා හිතෙන චරිත. මටත් මේ වගේ චරිතයක් ලැබුණා නම් කියලා හිතෙන චරිත, හිතේ හීන වගේ මවාගෙන ඉන්න චරිත තිබෙනවා. ඒ චරිත පිපාසය ඒ 'පිස්සුව' නැති වෙන්නෙ නෑ. ඒක නැති වුණු දවසට මාලිනී ෆොන්සේකා කියල රංගවේදිනියකුත් නැති වෙයි. (මම විමතියෙන් බලමි. ඇය චාම් සිනාවකිනි.)

 

හොඳම හා ජනප්‍රිය කියන සම්මානවල වෙනසක් ඔබ දකිනවාද?

ජනප්‍රිය වෙන්න නම් හොඳම වෙන්න ඕනෙ. හොඳම නැතුව ජනප්‍රිය වන්න නම් වෙන මොනවා හරි විකාර කියවලා ජනප්‍රිය වන්නත් පුළුවන්. හැබැයි ඒක ටික දවසයි ඊට පස්සේ හොයන්න යද්දි හිටපු තැන්වල ගසුත් පැළවෙලා. දක්ෂතාව කියන දේ සමඟ තමන්ගේ ජනප්‍රියත්වය ලැබුණොත් එය දිගු කාලීනව පවත්වා ගන්න පුළුවන්. මොකද චරිත සමඟ අපව රසිකයන්ට මතක සිටින නිසා. රසික හිත්වලට කවදාවත් බොරු කරන්න බෑ. (ඇය පවසන්නේ තරවටු කරනා ස්වරයකිනි)

 

ජනතාවගේ හිතේ දිගු කලක් රැඳෙන රහස?

මට ටිකෙන් ටික තමයි දැනුණේ කෙනකුගේ අවධානය මා ගැන තිබෙනවා කියන දේ. එය සමහරුන්ට නෑ මට තිබෙනවා කියන දේ දැනෙද්දි හරි සතුටක්, විස්මයක් වගේම තිගැස්මක් ගෙනෙන දෙයක් වුණා. ඇත්තටම මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනකුට ඒ අවධානය ඕනෙ. එය නැති වුණ දිනෙක ඒ චරිතයත් නැතුවා හා සමානයි. එය මම හරිම ලොකු දෙයක් ලෙසයි සලකන්නේ. යම් කෙනෙක් ධනයක් ලෙස එකතු කරනවා නම් මුදල් නෙවෙයි මේ දේ තමයි එකතු කළ යුත්තේ. එය මහා විශාල සම්පතක්. කොහේ ගියත් කවුරුන් හෝ ආදරෙන් කතාකරනවා, අවධානය යොමු කරනවා, ප්‍රශ්න අහනවා, පිළිගන්නවා, ආදරය පෙන්වනවා කියලා දැනුණාම එය තමයි ජීවිතය ජීවත් කරවන්න හුස්ම ගන්නවා වගේම අවශ්‍ය දෙයක් වන්නේ. ම‌ට කවදාවත් රසිකයන් වට කරගැනීම කරදරයක් කියලා හිතුණේ නෑ. මොකද මම හිත ඇතුළෙන්ම එයට කැමැති නිසා. සමහරු අහන ප්‍රශ්නවලට උඩ බිම යනවා, කේන්ති එනවා. ඒත් හිත ඇතුළෙන් එය පාලනය කරගෙන අවශ්‍ය විදිහට උත්තර දීලා හිත නොරිදවා ඉන්න එක තමයි අවශ්‍ය. හරස් ප්‍රශ්න අහන අයත් ඉන්නවානේ. ඒ වෙලාවට මම හොඳට ඒ අයගේ ඇස් දෙක දිහා බලලා හදවත ඇතුළ නිරීක්ෂණය කරනවා මොන පරමාර්ථයකින්ද එය ඇහුවේ කියලා. ඊට පස්සේ එයාගෙ හදවතටම කිඳා බහින පිළිතුරක් දෙනවා. ඉතින් ඒ විදිහට හරි අමාරුයි මේ ගමන එන්න. ඒ මොනදේ වුණත් මම ප්‍රේක්ෂක අවධානය කියන දේට හරිම කැමැතියි. කවුරුන් හෝ මට මුහුණ හැරෙව්වොත් එය මට හරි නුපුරුදුයි. මම එයට හේතුව පස්සෙන් ගිහින් හොයනවා. ඒක මගේ දුර්වලකමක්ද මන්දා. ඒත් ඒ තමයි මගේ හැටි. (රිදී තිරයේ අප දකින දඟකාර මාලිනිය මොහොතකට එහි සිටියාය)

 

(කතාව අවසන් කළ යුතු නිසා විමසමි) මොනවාද ඉදිරි වැඩකටයුතු එහෙම?

අවංකවම හොඳටම අධෛර්යයට පත්වෙලා ඉන්නේ අද රටේ පවතින තත්ත්වයත් එක්ක. අපි සිනමාකරුවන් නිසා සිනමාව නොම්මර එකට දාලා කතා කළාට ඊට වඩා රටක් විදිහට ඉදිරියට යෑම සඳහා සිදුවිය යුතු බොහෝ දේ තිබෙනවා. අපි නම් අපේ ජීවිතවල සෑහෙන කාලයක් ගෙවලා. ඒත් එතැනින් එහාට සිදුවන්නේ මොනවාද කියා සිතන විටත් හරි දුකක් දැනෙනවා රට සහ අනාගත පරපුර ගැන. මීට වඩා හොඳ දෙයක් සිදු විය යුතුයි. එසේ සිදු විය යුතුයි කියා කට ඇරගෙන බලාගෙන ඉඳලා වැඩක් නෑ. පිළිතුර තිබෙන්නේත් අපේ ළඟමයි. අපි ක්‍රියා කරන හැටියට තමයි අපට එයට උත්තර දෙන්න පුළුවන් වන්නේ. සිනමාවත් ඒ එක්කම යන්න ඕනෙ. අපේ සිනමාව මිනිසුන්ගේ ජීවිතවල අවසන් නොම්බරයට වැටිලා. ඒත් සිනමාව නැතිවෙලා යන එකක් නෑ කවදාවත්. මොකද රසවින්දනය මනුෂ්‍යයාට මනුෂ්‍යයෙක් වෙන්න අවශ්‍යයි.

 

ප.ලි.

අපේ සාකච්ඡාව හමාර වී ඇත. එහෙත් සුහද කතා බහේ නිමාවක් නැත. ඒ අතර සරසවිය කර්තෘවරයා ද එයට එක්විය. එහිදී ඇය කියූ යමක් ලිපියට එක් කළ යුතුයැයි සිතුණු නිසා ලියා තබමි.

 

"මම ආසා නෑ මා ගැන කෞතුකාගාර හදනවට. ඒවා කෙරෙන්නෙත් නෑ. පසු කාලීනව ඒවා පවත්වාගෙන යන්නෙත් නෑ. ඒ නිසා මම කැමැතියි මගේ සම්මාන ආදි සියල්ල ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට බාර දෙන්න. ඉතින් සංස්කෘතික අමාත්‍යාංශයෙන් සිනමා ශිල්පීන් වෙනුවෙන් ඒ ගොඩනැඟිල්ලෙම වෙනම තැනක් වෙන් කරනවා නම් තමයි හොඳ."

සේයාරූ - නිශ්ශංක විජේරත්න