මගේ ගමන ගැන මම තෘප්තිමත්

සිරිල් වික්‍රමගේ
සැප්තැම්බර් 1, 2022

වේදිකාවේ අත්පොත් තැබූවකු සිය රංගනය තුළ පෙර නිමිති පළ කරන්නේ ප්‍රතිභාපුර්ණ රංගන ශිල්පියකු වශයෙනි. රංගනයේ විවිධ ඉසව් මැනැවින් හඳුනා ගැනීමට වේදිකාව හොඳ තෝතැන්නකි. අද අපගේ කතා නායකයා ද වේදිකාව නමැති රංගන පාසලේ බිහි වූ රංගවේදියකු බව ඔහු රඟපෑ විවිධ චරිත ඔස්සේ ප්‍රත්‍යක්ෂ වී හමාරය. ගුණසේන ගලප්පත්ති, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, ධම්ම ජාගොඩ, ෆීල්ක්ස් ප්‍රේමවර්ධන, ආර්. ආර්. සමරකෝන් ආදී වේදිකාවේ පෙළහර පෑ දැවැන්තයන්ගේ ඇසුරේ ස්වකීය රංගන කෞශල්‍යය මනාව ඔපමට්ටම් කරගත් මේ රංගනවේදියා වෘත්තියෙන් උපාධිධාරී ගුරුවරයෙකි. විශ්‍රාම යනතෙක් ගුරු වෘත්තියේ නියැළී සිටිය ද සිනමාව වේදිකාව සහ ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම දක්ෂතා පුර්ණ රංගවේදියකු ලෙස ප්‍රතිරූපයක් ගොඩනඟා ගත් කලා ශිල්පියකු වන ඔහු සිරිල් වික්‍රමගේය.

සිරිල් වික්‍රමගේ සිනමා සම්ප්‍රාප්තිය වන්නේ 1965 තිරගත වූ හඳපාන චිත්‍රපටයයි. රඟපෑවේ හරමානිස් නැමැති සොරෙකුගේ සුළු චරිතයකි. ප්‍රධාන චරිතයකට පණ පෙව්වේ 1967 තිරගත වූ සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර චිත්‍රපටයේය.

සත්සමුදුර චිත්‍රපටය යනු සිංහල සිනමාවට දැවැන්තයන් රාශියක් බිහිකළ සිනමා සිත්තමකි. සම්මානීය නිළි ස්වර්ණා මල්ලවආරච්චි, ප්‍රවීණ නළු සෝමසිරි දෙහිපිටිය, එඩ්මන්ඩ් විජේසිංහ, පමණක් නොව වසන්ත ඔබේසේකරයන් ප්‍රථම වරට තිරනාටකය ලියා සහාය අධ්‍යක්ෂණය කළේ ද සත්සමුදුර චිත්‍රපටයේය. ඩී.බී. නිහාල්සිංහයන් ප්‍රථම වරට කැමරාකරණය කළේ ද සත්සමුදුර චිත්‍රපටයේය. සිංහල සිනමාවේ දැවැන්තයන් රාශියක් බිහිකළ සත්සමුදුර චිත්‍රපටයේ සිරිල් වික්‍රමගේ ද ඔවුන් අතුරින් තවත් එක් දැවැන්තයෙකි.

සිනිදු සුදු මුතු තලාවේ

පිපෙන පෙන පිඩු සිනාසේ

සැළෙන රළ මත ගිලී ඉපිලී

ගලන සිතුවිලි මුළාවේ

මහගමසේකරයන්ගේ පද මාලාවට පන්ඩිත් අමරදේවයන් ගැයූ මෙම ගීතයේ දර්ශන පෙළ ප්‍රේක්ෂක මතකයට ගලා එන්නේ ඔරුවක නැගී මහ සයුර සමඟ පොර බඳීමින් මුහුදු යන සිරිල් වික්‍රමගේ නැමැති රංගනවේදියා ය.

ආරම්භයේ සිටම සිරිල් වික්‍රමගේ වේදිකාවෙන් ලද පන්නරය සහ සහජ හැකියාව දෝතට තුරුලු කරගනිමින් තමා රඟදැක්වු භූමිකාවල ගැඹුරු තැන් සියුම් ලෙස ස්පර්ශ කළ භාව පුර්ණ රංගන පෞරුෂයෙන් හෙබි කලාකරුවෙක් බව ඔහු රඟ පෑ සම්භාව්‍ය සිනමා කෘතිවලින් මනාව පිළිබඹු වේ. ඔහු රඟ පෑ චිත්‍රපට අතර වෙස් ගත්තෝ, බඹරු ඇවිත්, කරුමක්කාරයෝ, අහස්ගව්ව, නිම්වළල්ල, එයා දැන් ලොකු ළමයෙක්, සොල්දාදු උන්නැහේ, සුද්දිලාගේ කතාව, සිරිමැදුර, පාලම යට, කුලගෙය, සෙයිලම, මාරුතය, මී හරකා, සක්කාරං, එක දා වැහි, අඹු සැමියෝ, තුන්වැනි ඇහැ, මංගල තෑග්ග ආදී චිත්‍රපට රැසකට දායක වීමට ඔහුට අවස්ථාව හිමිවුයේ ස්වකීය රංගන කෞශල්‍යය නිසාය. ඔහු ප්‍රධාන භූමිකා වලට පණ පෙවූ චිත්‍රපට අතර සත්සමුදුර, මොකද වුණේ, වෙස්ගත්තෝ, සිහින ලොවක්, වල්මත්වුවෝ, සෙලිනාගේ වලව්ව ආදිය ද රඟ පෑ ප්‍රතිවීර චරිත ලෙස බඹරු ඇවිත් සහ නගරං හඳුන්වා දිය හැකිය.

ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ සුද්දිලාගේ කතාව චිත්‍රපටයේ රඟපෑම අරභයා සිරිල් වික්‍රමගේ වසරේ හොඳම සහාය නළුවාට හිමි සරසවිය සම්මානය හිමි කරගත්තේ සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේය.

වේදිකාව මත ඔහු දැක් වූ තාත්වික රංගනයට එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කදා වළලු, පබාවතී හෙන්රි ජයසේනගේ කුවේනි, වෙස් මුහුණු, ආර්.ආර්. සමරකෝන්ගේ අහසින් වැටුණු මිනිස්සු, ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු, දේවතා එළි, පමණක් නොව එලොව ගිහින් මෙලොව ආවා, නැට්ටුක්කාරී ආදී වේදිකා නාට්‍ය ද මොනවට සාක්ෂි දරයි.

සිරිල් වික්‍රමගේ වේදිකා නාට්‍ය ප්‍රවේශය ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු නාට්‍යයයි. අදටත් රංගනයේ ඔහුගේ ගුරුවරයා ලෙස ඔහු සලකන්නේ ගුණසේන ගලප්පත්තිය.

සිරිල් වික්‍රමගේ සිනමාව වේදිකාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍ර ත්‍රිත්වය දික්විජය කළ රංගවේදියෙකි. හා පුරා කියා රඟපෑවේ 1984 රූපවාහිනී සංස්ථාව නිෂ්පාදනය කළ පරාක්‍රම නිරිඇල්ලගේ ලාහිරු දහසක් ටෙලි නාට්‍යයේය. ධම්ම ජාගොඩගේ පළිඟු මැණිකේ, සසර සයුරෙන්, ඇල්ල ළඟ වලව්ව, අග්නි, කන්දේ ගෙදර 1 සහ 2, කුමාරිහාමි, මැණික් නදිය ගලා බසී, මිහිකතගේ දරු‍වෝ, වාඩිය, නුඹ නාඬන් සෙනෙහෙලතා, මහනඩුව ආදී ටෙලි නාට්‍ය ගණනාවක ඔහු රඟපෑවේය. සසර සයුරෙන් ටෙලි නාට්‍ය රංගනය උදෙසා ඔහු වසරේ හොඳම ටෙලි නළුවා ලෙස සම්මාන දිනාගත්තේය.

සිරිල් වික්‍රමගේ වෙසෙන්නේ කලාපුරේ තමාට හිමි නිවෙසේ බිරිඳ විනිෆී‍්‍රඩා පෙරේරා සමඟිනි. වියපත් වුවද ඔහු තුළ දක්නට ලැබෙන්නේ තේජාන්විත පෙනුමකි. එදා තාරුණ්‍යයේ සිටිමින් ඔහු රඟපෑ බඹරු ඇවිත් අහස් ගව්ව, නිම්වළල්ල, එයා දැන් ලොකු ළමයෙක්, සොල්දාදු උන්නැහේ, කරුමක්කාරයෝ ඔහු රඟපෑ සදා අමරණීය චරිත වේ.

දවසක් දා හඳුනා ගත්තොත් ඔබ මා

බඹරු ඇවිත් චිත්‍රපටයේ ඔබ මාලිනීගේ පෙම්වතා කොහොමද අතීතය සුන්දරයි නේද?

ඔහු සිනාමුසු මුහුණින් දැක්වුයේ යහපත් ප්‍රතිචාරයෙන් මට හැඟුණේ ඔහු අතීතයේ සුන්දර දසුන් ස්පර්ශ කළ බවයි.

ඇයි සත්සමුදුරේ

දැක්කොත් පත්මාවතී ආලේ නොකරා බැඳී ගීතය

ඇතැම් චිත්‍රපට ගීතත් මගේ ජීවිතය සමඟ බද්ධ වෙලා තියෙනවා.

මගේ ගම කුරුණෑගල මම ඉගෙන ගත්තේ ගමේ ඉස්කෝලේ.පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ශ්‍රී ජයනා අපට සිටි නැටුම් උපදේශකවරයා. මම ඔහුගෙන් නැටුම් කලාව හැදෑරුවා. පසුව උඩුගම්පොල සිරිල් පෙරේරා කලායතනයට බැඳී සංගීතය හැදෑරුවා. මම සංගීතය මධ්‍යම දක්වා ඉගෙන ගෙන තිබෙනවා. සෝමානන්ද පට්ටිආරච්චිගෙන් වයලීන හැදෑරුවා. නළුවෙක් වුණාට මම සකල කලාව හදාරපු කෙනෙක්. ඔහු පැවැසුවේ අතීත ආවර්ජනයක යෙදෙමිනි.

 

නළුවෙක් වෙන්න අවකාශ ලැබුණේ කොහොමද?

මම වෙස්ලි විදුහලේ ගුරුවරයෙක් හැටියට පත්වීම ලැබුණු කාලේ මට අමරදේව මාස්ටර් සහ ශ්‍රී ජයනා මුණ ගැසුණා. ඔවුන් යෝජනාවක් ගෙනාවා බැලේ එකක් කරන්නට. බැලේ එකේ ගීත රචනා කළේ ආනන්ද සමරකෝන්. එහිදී මට අවස්ථාවක් හිමි කර දුන්නා. නාට්‍ය රඟපාන්නට. එම නාට්‍යයේ නම පහණ සහ රන් එතනා. එය නරඹන්නට ෆීල්ක්ස් ප්‍රේමවර්ධන පැමිණ සිටියා. එහිදී ඔහුගේ මිනිස් ගතිය නාට්‍යයේ රඟපෑමට මට ආරාධනා කළා. මෙම නාට්‍යය නරඹන්නට පැමිණි ලංකාවේ දැවැන්ත චරිතයක් වූ ගුණසේන ගලප්පත්ති මගේ රංගනය දැකලා ඔහුගේ මූදු පුත්තු නාට්‍යයේ රඟපාන්නට ඔහු මට අවස්ථාව හිමි කර දුන්නා පමණක් නොවෙයි වේදිකාවේ රඟන විලාසය පිළිබඳව ඔහු මට කියා දුන්නා. ඇත්තටම මගේ රංගනය ගුරුතුමා හැටියට මා සලකන්නේ ගුණසේන ගලප්පත්ති.

 

ඔබගේ සිනමා ප්‍රවේශය කෙබඳුද?

ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු නාට්‍ය බලන්න. සංගීතවේදී ගායන ශිල්පී සිසිර සේනාරත්න පැමිණ සිටියා. ඔහු මා ගැන පැහැදී ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ කිංග්ස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ හඳපාන චිත්‍රපටයේ රඟපෑමට මට අවස්ථාවක් සලසා දුන්නා. මම එහි රඟපෑවේ හරමානිස් නමැති හොරෙකුගේ සුළු චරිතයක්.

 

ඔබ දෙවැනි චිත්‍රපටයෙන්ම ප්‍රධාන චරිතයකට ප්‍රවිෂ්ට වුණා.

ඔව් මගේ දෙවැනි චිත්‍රපටය සත් සමුදුර මම එහි රඟපෑවේ ප්‍රධාන චරිතය. ඇත්තට ඒ අතීතය හරිම මිහිරි. මට තාම මතක් වෙනවා. ඔරුවක නැඟලා මහ මුහුදේ හබල් ගසමින් ගිය දර්ශනය. සත් සමුදුර අපි කට්ටිය එකතුවෙලා සින්දු කියනවා. දැක්කොත් පත්මාවතී ආලේ නොකරා බැඳී මේ වගේ සුන්දර මතකයන් නම් මගේ කලා ජිවිතේ බොහොමයක් තිබෙනවා.

ඔබ චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළා නේද?

කරදිය වළල්ල සහ සිහින ලොවක් නමින් මම චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළා. සිනමාවේ මා ලද අත්දැකීම් සම්භාරය මතයි මම මේ චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කළේ.

 

ඔබ වේදිකාව සිනමාව ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවක රංගනයේ නිරත වූ කෙනෙක්. ගුරු වෘත්තියට නියැළෙමින් සිටිද්දී මෙතරම් නිර්මාණ සංඛ්‍යාවකට දායක වන්නට ඔබට අවස්ථාව හිමි වුණේ කෙලෙසද?

මම ගුරුවරයෙක් ලෙස මගේ සිසුන්ට අතිශයෙන් සාධාරණයක් ඉෂ්ට කළ කෙනෙක්. මා තුළ සිටි නළුවාටත් මම සාධාරණයක් ඉෂ්ට කළා. බොහෝ අවස්ථාවල දී මම රඟපැවේ පාසලේ නිවාඩු කාලේ දරුවන්ගේ කාලය මම සොරකම් කළේ නැහැ. අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සමඟ කතා කළ හැම අවස්ථාවකම නිවාඩු කාලයේ රූගත කිරීම් සඳහා යොමුවුණා. මම සිනමාවට පමණක් නොවෙයි වේදිකාවටත් ටෙලි නාට්‍යයටත් ආදරෙයි. යම් කිසි හැකියාවක් තිබුණා නම් එයින් කලාවට සේවයක් විය යුතුය යන හැඟීම මා තුළ තිබුණා. කුරුණෑගල සිටියත් කලා නිර්මාණවලට දායක වෙන්නට මම කිසිදිනක පසුබට වුණේ නැහැ. ලැබූ සියලුම ආරාධනා පිළිගත්තා. මා රඟ පෑ සියලුම නිර්මාණයකට සාධාරණයක් ඉටුවුණා කියා තෘප්තියක් මට තිබෙනවා.

 

දැන් ඔබ පසු කරන්නේ ජීවිතේ අනූ වැනි සැතපුම් කණුව. යෞවනයේ කඩවසම් නළුවා, මැදිවියේ දක්ෂ නළුවා ජීවිතයේ දෙස ආපු ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ?

මගේ සැඳෑ සමයේ ජිවිතේ දෙස ආපසු හැරී බලද්දී මා ලද ලොකුම තෘප්තිය මම අදටත් සතුටින් ජීවත් වෙන එක. මම තෘප්තිමත් පුද්ගලයෙක්. වෘත්තිකයෙක් ලෙස ගුරු වෘත්තිය තෝරා ගැනීම අරභයා මම දරුවන්ගේ නැණස පහදා දී කලා ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ හැකියාවන් උරගා බලන්නට මම ඔවුන්ට අතහිත දුන්නා. නළුවෙකු ලෙස මට පැවරුණු භූමිකාවන්ට මම සාධාරණයක් ඉටු කළා. එපමණක් නොවෙයි. මම දරුවන් සතර දෙනෙකුගේ තාත්තා කෙනෙක්. පුතාලා දෙන්නයි දුවල දෙන්නයි මට ඉන්නවා. ඔවුන් හතර දෙනා විවාහ වී අවසන්. ඒ අයටත් දරු‍වෝ සිටිනවා.

මගේ පුතාලා දෙන්නා සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ. මම දැන් මුනුපුරු මිනිබිරියන් ගේ සීයා කෙනෙක්. මම මුණුපුරෙක් පසුගිය දා විවාහ වුණා. ඇත්තටම ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මම සියල්ලක්ම ජයගත් පුද්ගලයෙක් ලෙස මට තෘප්තිමත් විය හැකියි. මම ජීවත් වෙන්නේ මගේ බිරිඳ සමඟ කලාපුරේ. මම ගුරු වෘත්තීයේ නියැළුණු නිසා මට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. අපි ජීවත් වෙන්නේ මේ විශ්‍රාම වැටුපෙන්.

 

මට මතකයි ඔබ වරක් ජනාධිපති මාධ්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කළා?

විශ්‍රාම ගියාට පස්සේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි මුල් ධුර කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති උපදේශකවරයෙක් ලෙස මාව පත් කළා. රත්නසිරි වික්‍රමනායක මහතා අගමැති ධුරය දෑරූ සමයේ මම කළුබෝවිටියාන තේ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න