අද නිර්මාණ මිනිස්සුන්ට ප‍්‍රඥාව දෙන්නේ නෑ

ප‍්‍රවීණ රූපණවේදී අමිත්ත වීරසිංහ
අගෝස්තු 25, 2022

ජංගම දුරකථනයට ලඝුවෙද්දි හොඳ කියවීමක් ඇති වන්නේ නෑ
 
 කලා ක්ෂේත‍්‍රයේ කා අතරත් කල්‍යාණ මිත‍්‍රයකු ලෙස නමක් දිනා ගත හැකි අය ඇත්තේ අතළොස්සකි. ඒ අතරින් අමිත්ත වීරසිංහ ප‍්‍රවීණ රූපණවේදියාට ඇත්තේ මූලික ස්ථානයකි. සුද්දා චිත‍්‍රපටයෙන් වයස අවුරුදු 10දී සිනමාවට පිවිසෙන ඔහු රිදී තිරය, පුංචි තිරය මෙන්ම කරළිය දශක හතරක් පුරා අඛණ්ඩව ජයගත් චරිතයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එපමණක් නොව තිර රචනය, ග‍්‍රන්ථකරණය ප‍්‍රමුඛ සාහිත්‍යකරණය ද ඔහු නිතැතින් යොමු වූ ක්ෂේත‍්‍රයකි. ආචාර්ය සාලමන් ෆොන්සේකාගෙන් රංගනයට අත්පොත් තබා නොයෙක් දෙස් විදෙස් වැඩමුළු ආදියෙන් පන්නරය ලබමින් රංගවේදියකු ලෙස හොඳම සහාය නළුවා ආදි සම්මාන මෙන්ම සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් යුග පුරුෂ සම්මානය ද අත දරමින් අප අතරට එන ඔහු දක්ෂ ව්‍යාපාරිකයකු පමණක් නොව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ප‍්‍රථම උපාධියක්, බෞද්ධ ආයුර්වේදය සහ මනෝ චිකිත්සාව පිළිබඳ පශ්චාත් උපාධියක්, බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් දරන්නෙකු බව නම් රසිකයන් අතර එතරම් ප‍්‍රකට කරුණක් නොවේ. මේ බහු ශක්‍යතාවලින් සමන්විතව අපූර්ව රූපණවේදියා වත්මන් කලාභාවිතය සහ රසිකත්වය පිළිබඳ සරසවියට කළ අදහස් දැක්වීමක සංක්ෂිප්ත සටහනකි මේ...
 
 
 මොනවද අලූ‍ත් තොරතුරු එහෙම?
 
 මේ දවස්වල රඟපෑමේ කටයුත්තක කියලා යෙදෙන්නේ දෙරණ නාලිකාවේ විකාශය වෙන ‘අදිසි‘ ටෙලි නාට්‍යයේ. ඊට අමතරව මම අවසන් වශයෙන් සිනමාවේ රංගනයෙන් දායක වුණු ‘නාට්ටාමි ආමි‘ චිත‍්‍රපටය සයිබර් සිනමාපටයක් ලෙස මුදාහරින්න අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේ කටයුතු කරමින් ඉන්නවා. පේ‍්‍රක්ෂකයා සිනමා ශාලාවට නොඑන හේතුව නිසා මේ ක‍්‍රමය ගැන අප බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඔහුගේම ‘ගිරිවැසිපුර‘ චිත‍්‍රපටයත් ඉදිරියේදී ප‍්‍රදර්ශනයට නියමිතයි. ඔය රංග කාර්යයන්ට අමතරව මේ වෙද්දි නාට්‍ය හා සිනමාවේදී පරාක‍්‍රම නිරිඇල්ලගේ චරිතාපදානය ලියා අවසන් කර තිබෙනවා. රටටම බලපාන කඩදාසි මිල ප‍්‍රශ්නය නිසා එය මුද්‍රණය තරමක් ප‍්‍රමාදයි. ඒ කෘතියේ ඉංග‍්‍රීසි පරිවර්තනයත් එකවරම නිකුත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. එය නීල් පේ‍්‍රමතිලක විසින් පරිවර්තනය කළා. මීට පෙරත් මා ගීත ගයන වෛද්‍ය ආනන්ද ගුණසේකර වෙනුවෙන් ලියූ ‘සංග‍්‍රාම යාත‍්‍රිකයා‘ කෘතිය ‘ද ඉම්ප්ලිමෙන්ටර්‘ නමින් මේ ආකාරයෙන් භාෂාද්වයෙන්ම මුද්‍රණය කළ හැකි වුණා. ඊට අමතරව ඉතින් දශක ගණනාවක් පුරා රට දිහා බලාගෙන ඉන්න සක‍්‍රීය මිනිසෙක් විදිහට මේ සිදුවන දේවල් දිහා උපේක්ෂාවෙන් බලා ඉන්නවා.
 
 ඒ මොකද?
 
 අපි පොඩි කාලේ දැක්කේ ලොකු මිනිස්සුන්ව. අපි හැත්තෑව දශකයේ නිර්මාණ රස වින්ද පරම්පරාවක්. අපි හිතුවා හොඳ සිනමාවක් හැදෙනවා, හොඳ සාහිත්‍යයක් ගොඩනැෙ`ගනවා, හොඳ පුවත්පත් කලාවක් තිබෙනවා. ධර්මසිරි ගමගේ වගේ මාධ්‍යවේදීන් අපට හමුවෙනවා. අපි සේකරලාව කියවනවා. කේ ජයතිලකලා වගේ අය මුණගැහෙනවා. අමරදේව සර්ලා වගේ අය අපට සින්දු කියනවා. ඉතින් අපි හිතනවා හැම අතින්ම හොඳ දේවල් සිදුවෙන්නේ, හරිම විශ්වාසදායි, සහනදායී ආදරණීය සමාජයක අපි උපත ලබන්නේ කියලා. අපිට ඒ කාලේ කීවා අප දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටක් කියලා. අපි එක්ලක්ෂ විසිපන්දහසක් ණයයි කියලා. එහෙම ඇවිත් අද වෙද්දි අපේ එක් පුරවැසියෙක් දසලක්ෂයක් ණයයි. සමාජය අවරෝහණයට ගමන් කර තිබෙන්නේ. ලෝකයේ අනෙක් සියලූ‍ දෙනා දියුණු වෙලා. අපිට බැරි වෙලා. හැබැයි අපට දිගු ඉතිහාසයක් තිබෙනවා පාරම්බාන්න පුළුවන් විදිහේ. ඒත් අසමත් රාජ්‍යයක් බවට පත්වෙලා. එහි ලක්ෂණ මොනවාද? ඒ ජනතාවගේ මානසික බිඳවැටීම් තිබෙනවා. මිනිසුන්ගේ සංස්කෘතියේ හැඩතල සියල්ල පාරිභෝගික ආකෘතියක තිබෙන්නේ. ඒ මිනිස්සු හරි වස වෙලා, ආවේගශීලී, සටන්කාමී, විචාර බුද්ධියක් නෑ, එදිනෙදා කෑමට බීමට අරගල කරනවා. ඔවුන් සතුව සමත් පාලකයන් හිඟයි. හැම පුරවැසියෙක්ම මාර දැනුමැත්තෙක් විදිහට හිතාගෙන ඉන්නවා. තමන්ට ජීවත්වෙන්න පාරක් දන්නේ නැතිව අම්මලා තාත්තලාගෙන් කකා බිබී ඉන්න අය රටේ ඉහළම තීරණ ගන්න හැටි උගන්වනවා. මෙහි විකෘතියක් තිබෙනවා. මහාචාර්යවරු කියලා පිරිසක් බිහිවෙනවා. තනිකරම දැනුම විතරයි අවබෝධය නැහැ. මේ සමස්තයේ සංකලනයෙන් තමයි මේ විපරීතය ගොඩනැෙඟන්නේ. එතකොට අපි සේරම වැඩ පටලගන්නවා. අපට මුකුත්ම කරගන්න බැරිව යනවා එතකොට. අපි තෙල් ටිකට, ගෑස් එකට පෝලිමේ ඉන්නවා, හැමෝම දන්න අය නිසා මුකුත් කියන්න කරන්නත් බෑනේ. ඔන්න ඔය සමයක තමයි අපට උපේක්ෂාවෙන් බලා ඉන්න වෙන්නේ.
 
 එවැනි අවස්ථාවක නේද කලාව මැදිහත් වෙලා ජනතාවගේ මනසට සැනසීමක් දෙන්න ඕනෙ?
 
 දැන් ඔය විදිහට ගත්තාම අපේ සමාජය පාරිභෝගික සමාජයක්නේ. එහි හැමතිස්සෙම වන්නේ නිෂ්පාදන ඇෙඟ් ගසා කරන වෙළෙඳාමනේ. ඒකට පුරුදු වුණාම කලා කෘතියත් විකිණි භාණ්ඩයක් බවට පත්වෙනවා. 70 දශකයේ තිබුණු සමාජ පුපුරා යෑම ධර්මසේන පතිරාජලා, වසන්ත ඔබේසේකරලා සිනමාව ඔස්සේ අරගෙන ආවා. ඊට පස්සේ පරාක‍්‍රම නිරිඇල්ලලා, ධර්මසිරි බණ්ඩාරනායකලා තවත් ඉදිරියට එය ගෙන ගියා. ප‍්‍රසන්න විතානගේලා, අශෝක හඳගමලා ඒ වගකීමට කර ගැසුවා. ඒ්ත් අද වනවිට සිනමාකරුවාත් පාරිභෝගික සමාජයේ තවත් එක් කොටසක් පමණක් වෙලා. ඒ අයගේ නිර්මාණ කාර්යයට ඒ අය කෙතරම් අවංක වනවාද යන්න තවම අපට හිතාගන්න බෑ. සිනමාව අන්තර්ජාතික තලය සමඟ බද්ධ වන්නෙ නෑ. ලෝකය ඉස්සරහට යනවා අපි යන්නේ නෑ කියල මැසිවිලි නැෙ`ගන්නේ ඒ නිසා. එහෙම කියද්දි අපි ඉන්නේ මේ රට තුළනේ. මේ රටේ තිබෙන වපසරිය තමයි අපේ ඇෙඟ් තියෙන්නේ. මේ කොදෙවු මානසිකත්වයෙන් එහාට බලන්න අපට බැරි වෙලා තිබෙනවා. මේ කොදෙවු මානසිකත්වයෙන් එහාට ගියාමත් අපට මුණ ගැසෙන්නේ අපේම කොලනි. උදාහරණයකට අපි ඇමෙරිකාවට හෝ ඕස්ටේ‍්‍රලියාවට ගියාමත් අපට හමුවන්නේ අපේ ලංකාවෙන්ම ගිය අයගෙ කොලනියක්. ඔවුන් එක්ක නිව්යෝක් නගරය මැද්දේ ඉඳන් පරිප්පුයි කරවලයි උයාගෙන කාලා මෙහෙ ජීවත්වන අයට පලූ‍යන්න බැනලා මාසයක් දෙකක් එහෙ ගත කරලා මෙහෙ එනවා. ඒ පුද්ගලයාට ඇමෙරිකානු සංස්කෘතියක් ආරෝපණය වන්නේ නෑ. නියම අල්පේච්ඡු ජීවිත ගත කරන බෞද්ධයෝ වැඩිහරියක් මම දැක්කෙ නියම ඇමෙරිකානු සංස්කෘතිය ඇතුළේ. ඒක වෙනම කතාවක්.
 
 ඒ කෙසේ වෙතත් මේ කොලනිය ඇතුළෙ ඉඳගෙන තමයි අපි සිනමාව, කලාව කරන්නේ. ඒ සිනමාව සැලකුවොත් තිබෙනවා කතන්දර කීමේ සිනමාව සහ සංකල්පීය සිනමාව කියලා දෙකක්. සමහර චිත‍්‍රපට මංගල දර්ශනවලට ඔබත් මමත් සහභාගී වී තිබෙනවානේ. ඒවා නැරඹුවට පස්සේ චිත‍්‍රපටද ඒ කියලා අපට අහන්න සිදුවෙනවානේ. හැබැයි ඔවුන් එක්ක කතා කළොත් සර්ජි අයිසන්ස්ටයින්, ඇල්ෆ‍්‍රඞ් හිච්කොක්ගේ ඉඳන් කතා කියන විදිහ ගැන කියන්න දන්නවා. ඒත් ඔවුන්ගේ සිනමා පටයේ අපට ගෙදර ගෙනියන්න කිසිම දෙයක් නෑ. අපි මොකක්දෝ එකකින් දුප්පත් වෙලා ඉන්නවා. සමහර අයගේ ‘මාර‘ දේවල් තේරුම් ගන්න මට නම් තේරෙන්නෙ නෑ. එහෙම වුණාම ඔවුන් කියන්නේ පේ‍්‍රක්ෂකයා බුද්ධිමත් නෑ කියලා. වෙන්න පුළුවන්. මොකද ගෑස්, තෙල් පෝලිම්වල ඉඳලා එන පේ‍්‍රක්ෂකයාට සංකල්පීය සිනමාවක් රස විඳින්න බෑ. සමහරුන්ට මැද මාවතේ චිත‍්‍රපට හදන්න බෑ. බයයි. අද සින්දු පහයි ෆයිට් තුනයි චිත‍්‍රපට හදලා හරියන්නෙත් නෑ. ලෝකේ අද කුඩා වෙලා. එදා ෆාහියන් භික්ෂුවගේ ගමන අවසන් වෙද්දි ජීවිතේ භාගයක් ඉවරවෙලා. ඊට පස්සේ කාලෙ ගත්තොත් මාලනී ෆොන්සේකා මොස්කව් උලෙළේ ඩිප්ලෝමා සහතිකයක් ගත්ත බව අප දැනගන්නේ දවස් තුනකට පස්සේ පත්තරෙන්. පරාක‍්‍රම නිරිඇල්ල කඩඉමට සම්මාන ගත්තා කියලා දන්නේ දුරකථන ඇමතුමකින්. ඒ වගේ කාලෙක චිත‍්‍රපටයේ මාලිනී ෆොන්සේකාව රෙක්ස් කොඩිප්පිලි දූෂණය කරයි කියලා අපි හරි බයේ ඉන්නේ. ඇයගේ ගවුමවත් ටිකක් එසවෙනවා දකින්න අපි කැමති නෑ. ඇය ‘අතහැරපන් වනචරයා‘ කියලා කෑ ගහද්දි විජය කුමාරතුංග හෝ ගාමිණි ෆොන්සේකා ගඟක් එහා පැත්තෙන් මතුවෙලා ඇය බේරාගෙන ජීප් රියක දාගෙන ‘ඔයා බයවෙන්න එපා.‘ කියලා අරගෙන යනකල් ආසාවෙන් බලාගෙන ඉන්න අපේ පේ‍්‍රක්ෂාගාරය හරිම ගැමියි.
 
 ඒ තිරයට නාගරික සෞන්දර්යය ගේන්නේ ස්වර්ණා මල්ලවආරච්චි. ඇයගේ සරාගී ශරීරය අපේ සිතිවිලිත් සසල කරනවා. ඊට කලින් නිල් චිත‍්‍රපටයක්වත් නොදැක්ක අපි කාන්තාවගේ නාගරික සුන්දරත්වය ඇගෙන් දුටුවා. මෙන්න මේ පේ‍්‍රක්ෂකයාට හදන සිනමාව ගැනයි අපි කතා කරන්න ඕනෙ.
 
 අද බීටීඑස් සාමාජිකයෙක් තමයි ලෝකේ ජනප‍්‍රියම කඩවසම් ම තරුණයා බවට පත්වන්නෙ. හොලිවුඞ්වල, බොලිවුඞ්වල මේ තරම් පිරිමි පෙනුම තිබෙන නළුවන් ඉද්දි අපේ රටෙත් හේමාල්ලා, දිනෙත්ලා වගේ හොඳ කඩවසම් තරුණයන් ඉද්දි රැුවුල නැති, කෙල්ලෙකුට විග් එකක් දැම්මා වගේ එක්කෙනෙක් කඩවසම් තරුණයා වෙනවා නම් තරුණයාගේ සිට එය නපුංසකයා දක්වා රූපාන්තරණය වී ඇති ආකාරය සහ මේ ‘තරුණයා‘ කියන කෙනා ලෙස අපි කාවද ඉල්ලන්නේ කියන දේ අපට හිතන්න වෙනවා.
 
 මම 70 දශකයේ අගභාගයේ සිට චිත‍්‍රපට නරඹන්නෙක් ලෙස රුක්මණී දේවිගේ කෙටි දෙබස්, අපේ ජනප‍්‍රිය නළුවන් කෙටි දෙබස් කියන ආකාරය දැක්කා. ගාමිණී පමණයි මාලිනී සමඟ දිගු දෙබස් කියමින් කරට කර රඟපෑවේ. පෙම්වතිය සමඟ සිටින බොළඳ පෙම්වතාගේ චරිතයෙන් වෙනස් වෙලා පෞරුෂවත් ආදරවන්තයාගේ චරිතය තිරයට ගෙනාවෙ.
 
 අද තරු සංකල්පය ලංකාවේ නෑ. මුල් කාලේ ලේක් හවුසියේ ඉඳන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවට ලොරිවල නංවාගෙන පේ‍්‍රක්ෂකයාට බලන්න තරු රැුගෙන ගියා. ඒ කාලෙ හිටියේ චූටි අය නෙවෙයි. හොඳ උස මහත අය. එහි සිටි ළාබාලම තරුව මාලිනී. ඇය රංගනය දායාදයක් ලෙස ගෙනා නිළියක්. අද වන විට ඒ තරු සංකල්පය නැත්තේ ඒ කිසිම දෙයක් නොදන්න අයටත් නළුවකු හෝ නිළියක වීමට හැකි තැනට රූපාන්තරණය වෙලා නිසා. ඔවුන් නළු නිළියන් වන්නේ එමඟින් තමන් නියැළෙන අනෙක් වෘත්තිය ජනප‍්‍රිය කරගන්න පුළුවන් නිසා. ඒත් කවදාවත් කලාව තුළින් සැලූ‍න්කාරියන්, ගණිකාවන් හදලා නෑ. නරක කෙනා කොතැන ගියත් නරකයි. සමහර අය හිතාගෙන ඉන්නවා මේක ලේසි වැඩක් කියලා. රංගනය කරන කෙනා අතිශය විශාල හැදෑරීමක් කරන්න ඕනෙ ජීවිතය ගැන. කෙනෙකුට පෙනී සිටින්නකු වන්න පුළුවන්. ඒත් චරිතයක් කියන්නේ වෙනස් හැදෑරිය යුතු වෙනස් දෙයක්.
 
 ඔබ අපට වඩාත් සමීප වුණේ රූපවාහිනියෙන් ?
 
 ටෙලි නාට්‍ය සඳහා වූ පළමු විජය රූපවාහිනී සම්මාන උලෙළෙදි එවක ඇමැතිවරයා වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතා ටෙලි නාට්‍ය නළුවන්ගෙන් ඉල්ලීමක් කළා සිනමාවේ අයට උදවු කරන්න කියලා. සිනමාවෙන් ටෙලි නාට්‍යවලට අතපෙවූ පළමු ශිල්පිනිය මාලනී ෆොන්සේකා. ඇය කීවේ රංගනයේදී මේ ක්ෂේත‍්‍ර දෙකේ වෙනසක් නෑ කියලා.
 
 රූපවාහිනිය අපට ලැබෙන්නේ අධ්‍යාපන මෙවලමක් විදිහට. ඒත් සිනමාකරුවන්ට නිර්මාණ අත්දැකීමක් ගන්න එය ඉතා වැදගත් වුණා. පරාක‍්‍රම, ජයන්ත, බර්ට‍්‍රම්ලාගේ පරපුර වගේම ඊට පසු හඳගම, සුදත් දේවප‍්‍රිය, සුදත් රෝහණ වැනි අයගෙන් පසුව එන පරපුර ලෙස අනුර, දේවින්ද වැනි අය ඒ අත්දැකීමෙන් පන්නරය ලබාගෙන මහ තිරයට ගියා. අධ්‍යක්ෂවරු එහි විවිධ පර්යේෂණ කළා. රූපණවේදියාටත් මෙහි අවස්ථාව ලැබුණා. ඒ යුගයේ ටෙලිවිෂනයට බොහොමයක් එකතු වුණේ ගුරුවරු. දයා අල්විස්, රමණි ෆොන්සේකා, සිරිල් වික‍්‍රමගේ, ජැක්සන් ඇන්තනි වගේ අය. ඒ අතරින් ජැක්සන් වඩා වෙනස් දෙයක් සෙව්වා. ටෙලිවිෂනයේ මේ වික‍්‍රමය කළ හැකි බව පෙන්නුවේ නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු. එහෙත් 1998 වසරේ බලපත‍්‍ර අහෝසි කිරීමත් සමඟ නාලිකා නිෂ්පාදන කටුයුතුවලට එළැඹෙන්න වුණාම ටෙලි නාට්‍ය කලාව කර්මාන්තයක් වුණා. එවිට වෙළෙඳපොළ අවශ්‍යතා ඉටු කරන්න රූපණවේදීන් පාරට ගෙනැත් ඩි‍්‍රල්, වැසිකිළි සේදුම්කාරක, සනීපාරක්ෂක තුවා අලෙවි කරවනවා. එයින් වුණේ ඒ තරු සියල්ල අලෙවි නියෝජිතයන් බවට පත් වන එක. එනිසා ඒ රූපණවේදීන් දුටු විට අපට ඔවුන් අලෙවි කරන බඩුභාණ්ඩ පේන්න ගන්නවා. එවිට නිර්මාණකරු වෙළෙඳ භාණ්ඩ විකුණන කෙනෙක් බවට පත්වෙනවා. මේ තුළ සුභාවිත කලාවක්, සංස්කෘතික මිනිසෙක් සහ සංස්කෘතියක් බිහිකරන්නේ කොහොමද? මම නම් මගේ ජීවිතේට වෙළෙඳ දැන්වීමක ඉදලත් නෑ ඉන්නෙත් නැහැ.
 
 ඔබ කියන විදිහට රූපවාහිනියේ සාධනීය දේවල් ඇත්තෙම නැද්ද?
 
 තිබෙනවා. ඔබ දකින්න ඇති මම දිගටම භාවිත කළා රූපණවේදියා කියලා. මොකද නළියන්නේ - නළු- නිළි නිසා ඒ වචනය වෙනස්. ඒ වගේම රංගවේදියා කියන විට අපට නැටුම් ශිල්පියාවත් අදාළ කරගන්න පුළුවන්. ඒත් රූපණවේදියා කියන්නේ ඒ දෙදෙනාටම වඩා වෙනස් අරුතකින් එන පැහැදිලි කිරීමක්. අද රියැලිටි වැඩසටහන්වලින් දක්ෂයන් බිහිවනවා. එය සාධනීය දෙයක්. හැබැයි මම සතුටු වන එකම කාරණය ළාහිරු දහසක් මගේ මුල්ම ටෙලිනාට්‍යයේ සිට අද දක්වා රූපවාහිනියේ මම ආ ගමනේදි සහභාගී වූ කිසිම වැඩසටහනක මට නටන්න, ගයන්න, හිනාවෙන්න, බැලූ‍ම් බෝල පුම්බන්න දුන්නේ නෑ. ආදරණීය දරුවෙක් ලෙස ටෙලිවිෂන් සල්පිලට ඇවිත් දශක හතරක් පුරා ප‍්‍රීතියෙන් ගෞරවයෙන් රූපණවේදියකු ලෙස මම ඉන්නවා. සැලකුම් ලබනවා. මම තව ටිකක් පහුවෙලා ඉපදුණා නම් මට කවදාවත් රූපණවේදියකු ලෙස ඉන්න ලැබෙන්නේ නෑ. අද සමහරු වැඩසටහන්වල නටනවා, අඬනවා, පිනුම්ගහනවා. ටෙලිවිෂනයට මම ගොඩවන්නේ ලොකු වගකීමක් වගවීමක් ඇතුව. ධම්ම ජාගොඩලා, පරාක‍්‍රම නිරිඇල්ලලා මට ඒ බව කියා දුන්නා. මේ පාරිභෝගික සමාජයේ මමත් විකිණෙනවා තමයි. හැබැයි අඩු මුදලට විකිණෙන්නේ නෑ. රංගනයට විනයක් අත්‍යවශ්‍යයි.
 
 මේ ක්ෂේත‍්‍රයට මිනිසුන් ආකර්ෂණය කිරීමේ මැජික් එකක් තිබෙනවා. ඒත් අද නිර්මාණ මිනිසුන්ගේ මනදොළ සපුරන්නේ නෑ. මිනිසුන්ට ප‍්‍රඥාව දෙන්නේ නෑ. අද ඒ ගුණාංග ඈතට ගිහින් ඉවරයි. ඉතින් නව පරපුර ඒවා ගැන දන්නේ නෑ. ඒකයි මම ආයෙත් අහන්නෙ ඉතින් කොහොමද සංස්කෘතික සමාජය බිහිකරන්නේ කියලා.
 
 වේදිකාවේත් ඔබ සක‍්‍රීය චරිතයක්?
 
 මේ දවස්වල මම සක‍්‍රීයව දායක වන්නේ ‘පෙම් යුවළක් ඕනෑකර තිබේ‘ වේදිකා නාට්‍යයට විතරයි. පේ‍්‍රක්ෂකයන් වේදිකාවට එන්නේ නෑ මේ කාලේ. පරාක‍්‍රම නිරිඇල්ල සහ එච්. ඒ. පෙරේරා මහන්සියෙන් ගොඩනැඟු‍ව ජනකරළිය දශක දෙකකට ආසන්න කාලයක් විශාල මෙහෙවරක් වේදිකා නාට්‍ය කලාවට කළා. මම එහි කාලයක් සංවර්ධන හා පරිපාලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. විශාල සම්පත් ප‍්‍රමාණයක් රට වටෙන්ම සොයාගන්න දායක වුණා. ඒ ගැන සතුටක් තිබෙනවා. ඒත් පේ‍්‍රක්ෂාගාරය කන්න බොන්න හොයන්න ගිහින් නිසා අමාරුවෙන් තමයි නාට්‍ය දුවන්නේ. හැබැයි විශ්වවිද්‍යාලවල සිනමාව හා වේදිකා නාට්‍ය පිළිබඳ කතිකාවක් යළි ගොඩනැෙඟමින් පවතිනවා. එවැනි සතුටු විය හැකි තැන් කීපයක් දක්නට තිබෙනවා.
 
 වත්මන් පේ‍්‍රක්ෂකයාගේ රසිකත්වය දකින්නේ කෙසේද?
 
 නව පරපුර යූටියුබයේ හෝ වෙනත් මාධ්‍යයක නිර්වස්ත‍්‍රයෙන් නැටුවත් මම නම් වෛර කරන්නේ නෑ. සීමා කරන්නෙත් නෑ. මම අතිශය සාර්ථකව පරම්පරා කීපයක් සමඟ ඉන්නවා. මම සුවිනීතා (වීරසිංහ) සමඟ රඟපාද්දි ඇයගේ පුතා දේවින්ද අතදරුවෙක්. ඉන්පසු ඔහුගේ චිත‍්‍රපටවලදි මාව ඔහු අධ්‍යක්ෂණය කරනවා. දැන් ඔහුගේ දියණිය මගේ ගීත රූපරචනාවක නර්තන නිර්මාණය කරනවා. අවුරුදු 10දී සුද්දා චිත‍්‍රපටයෙන් ළමා නළුවකු ලෙස අරඹන මගේ රූපමය ජීවිතය ළාහිරු දහසක්, යශෝරාවය වැනි ටෙලි නාට්‍යවල සිට රාවණ ටෙලි නාට්‍යයේ වසර හාරසියයක් පමණ වයසක පුලස්ති ඍෂිවරයා දක්වා සහ අද දක්වා ආ ගමන්මඟ ක‍්‍රමයෙන් විකසනය වූ හැටි ඕනෙම කෙනෙකුට බලන්න පුළුවන්. ඒ පිළිබඳ මට පුදුම සතුටක් තිබෙන්නේ. මගේ වගේ ගමන් මඟක කිසිවෙක් ඇවිත් නැතුව ඇති.
 
 සාහිත්‍ය පැත්තෙන් ලෝකයම හස්තගත වෙලා ජංගම දුරකථනයට ලඝුවෙද්දි හොඳ කියවීමක් ඇති වන්නේ නෑ. හැත්තෑව දශකයේ පට්ට කියන වචනය ගත්තාම එයට තිබුණේ වෙනම අර්ථයක්. අසූව අනූව දශක වෙද්දි එය තරමක් වෙනස් වුණා. ඒත් අද ‘පට්ට‘ කියන්නේ ‘ඉතාම හොඳ‘ බවට රූපාන්තරණය වෙලා. භාෂාව විකාශනය වෙනවා හොඳ අතටත් නරක අතටත්. එනිසා අපි භාෂාව භාවිතයේදී පමණක් නොවේ ඕනෑම දෙයක සම්ප‍්‍රදාය කඩනවා නම් ඊට පෙර සම්ප‍්‍රදාය හොඳින්ම දැනගෙන සිටිය යුතුයි.
 
 සංස්කෘතිය කලාව කියන්නේ ප‍්‍රවාහයන්. ඒවා ඉදිරියට යනවා. අපේ තාත්තට සීයා කීවෙත් එකම දේ, තාත්තා මටත් මම මගේ දරුවන්ටත් කියන්නේ එකම දේ. ඒත් එකම දේ වෙලා තිබෙනවාද? අද කටුනායකින් ලක්ෂ කීයක් ඉන්දියාවට හරි යන්න දඟලනවාද? අපට මේ සියලූ‍ දේවල් නැවත පටන්ගන්න වෙනවා දරුවන්ගෙන්. දැන් ජීවත්වෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුවයි දැන් කලාව බිහිවන්නේ. කවුරුත් තමන් පෙරමුණ ගත්තා කියා කියලා වැඩක් නෑ. අපි පුළු පුළුවන් විදිහට අපට දිය හැකි දායකත්වය කලාවට දීමයි වැදගත් වන්නේ. මේ පෙදෙහි රසහව් විඳින දෙනෙත් වන මෙයම තමයි රටේ ඉදිරිය වන්නෙත්. ඉතින් අපි අපේ මට්ටමින් සොයාගන්න ඕනෙ පුළුවන් විදිහට පුළුවන් තැන්වල ඉඳගෙන සමාජ ක‍්‍රමයට නව අරුතක් දෙන්න. ඒ සඳහා අපි මහන්සි වෙමු. මොකද අපි හැමෝම ෆේල්. අපි කාටවත් ලොකු කතා කියන්න බෑ. හේතුව අපේ වැඩිහිටියන් අපට දුන් ලෝකය කුමක්ද? ඒකට ඒ වැඩිහිටියන් වගකියන්න ඕනෙ. ඒ නිසා අපි වැඩිහිටියන් හැටියට ඉදිරි පරපුරට අකුල් නොහෙළා ඉන්න දැනගන්න ඕනෙ. ඔවුන්ට පහන් වැටක් වෙන්න විතරයි වැඩිහිටියන් ලෙස අපට පුළුවන් වන්නේ.