කලාව හිතේ තිබුණට ජනපි‍්‍රය රැල්ල ගැන හිතන්න ගියේ නෑ

ගායන ශිල්පිනී සුරංජි ශ්‍යාමලී
අගෝස්තු 18, 2022

 

මම මුලින්ම වේදිකාවේ ගීතයක් ගායනා කරද්දි මට අවුරුදු හතයි



ඇය සුරංජි ශ්‍යාමලී. නමින් බොහෝ දෙනෙක් ඇයව හඳුනා නොගත්තත් ඇය කලාව තුළ නිහඬව නිර්මාණ බොහොමයක් කර ඇත. සරා සහ සුභා, ජීවිතය ලස්සනයි, කෝරළේ මහත්තයා, මන්දාකිනි, නිල් අහස ඔබ යන ටෙලිනාට්‍ය තේමා ගී ගායනයෙන් දායක වූ ඇය නිල් දිය යහන, දරුවනේ, දෝණි, සිංහයා, ස්වීට් ඒන්ජල්, රංජා, ජීවිතය ලස්සනයි, නිදි යහන කැලඹෙයි, නෝනෙ මගේ සුදු නෝනේ, රන් සයුර ආදී චිත‍්‍රපට රැුසකට පමණ තේමා ගීත හා ගායනයෙන් දායක වී ඇත. ගීත හතළිහක පමණ සංඛ්‍යාවකට තම හඬ දායකත්වය ලබා දුන් මේ නිහඬ කෝකිලාව සමඟ කතා කරන්නට සරසවිය අපි හිතුවා.

සුරංගි කොහොමද ගායන ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ?

මට අවුරුදු හතයි මම මුලින්ම වේදීකාවේ ගීතයක් ගායනා කරද්දි. මම පහ වසරෙදි මගේ බාප්පා මට වයලීන් එකක් ගෙනත් දෙනවා ඒකත් එක්ක මම සංගීතයට යොමු වුණා. මගේ මුල්ම ප‍්‍රසංගය මම කරන්නේ සාමාන්‍ය පෙළ විභාගය ඉවරවෙලා ගෙදර ඉන්න කාලේ. උසස් පෙළින් පසුව ලංකාවෙන්ම පහළොස්වෙනියට ප‍්‍රතිඵල රැුගෙන මම කැලණිය විශ්වවිද්‍යාලයට තේරෙනවා. ඔය අතරවාරයේදී මම තුරුණු ශක්තී තරඟයට සහභාගීවනවා. විශේෂයෙන්ම මම මෙහිදී මතක් කරන්න ඕන ප‍්‍රවීණ ගී පද රචක සුනිල් ආර්. ගමගේ සර්ව. එතුමා මට ලොකු ශක්තියක් වුණා මගේ ගායන දිවියට. තුරුණු ශක්ති ගායන තරඟයේදී සඳ රාහූ මුඛයේදී ගිලූ‍ණා ලෙසේ ගීතය ගායනා කරමින් කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම ස්ථානය ලබාගැනීමට හැකිවුණා. පසුව බස්නාහිර පළාත් තරඟයේදීද ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකි වුණා. එහිදී ගායනා කළේ ශ‍්‍රී සම්බුද්ධ රාජා ව`දිම් ගීතය. පසුව ජාතික මට්ටමින් ද යම් ස්ථානයක් මට හිමි වුණා. මේ කාලයේදී මගේම කියලා ගීතයක් මම පටිගත කළා. තුරුණු ශක්තී අවසාන දහසය දෙනාගේ එකතුවෙන් තරුණ සේවා සභාව කැසට් පටයක් නිකුත් කරනවා. ඒ කැසට් පටයේ ‘අහස අඬාපන් ඩිංගක්‘ කියන ගීතය මම ගායනා කරනවා. මට සමකාලීනව ශෂිකා නිසංසලා, සුභානි හර්ෂණි වගේ ගායිකාවන් තුරුණු ශක්ති වේදිකාවෙන් ආ අය. මේ සියල්ල මම කරන්නේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අවධියේමයි. පසුව මම මගේම ගීත හතරක් පටිගත කරනවා.

මොනවද ඒ ගීත?

සුනිල් ආර් ගමගේ සර් ගීත දෙකක් සහ රවි සිරිවර්ධන අයියා අනෙක් ගීත දෙක ලියලා දෙනවා. පේ‍්‍රමයේ තොටුපොළට එන්න, නුඹ අසා නුපුරුදු කවියක්, ඔබෙ මුනිවත සහ වරදකාරි මං පේ‍්‍රමයේ නඩුවෙන් කියන ගීත හතර. ගීත තුනක් රෝහණ වීරසිංහ සර් සංගීතවත් කළා. පේ‍්‍රමයේ තොටුපළට ගීතය නවරත්න ගමගේ අයියා සංගීතවත් කළා. මේ අතරතුර කැලණිය විශ්වවිද්‍යාලයේ මගේම ප‍්‍රසංග දෙකකුත් හොරණ තක්ෂිලා විද්‍යාලය මගේ පාසල එහිදී එකකුත්, හොරණ ප‍්‍රජා ශාලාවේදී එකකුත් වශයෙන් මගේම ප‍්‍රසංග හතරක් මම පැවැත්වූවා.

චිත‍්‍රපට පසුබිම් ගිත ගයන්න අරඹන්නේ?

2006 වසරේ දී පමණ මට රෝහණ වීරසිංහ මහත්තයාගෙන් ආරාධනාවක් ලැබුණා ජීවිතය ලස්සනයි ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගයන්නට. එදාම පටිගත කරනවා නිල්දිය යහන කියන චිත‍්‍රපටයේ සසල විලයි- විල් ඉවුරයි ගීතයේ ගායිකාව විසින් ගායනා කරනු ලබන කොටස. මට මතකයි ඒ චිත‍්‍රපටයේ රංගනයෙන් දායක වූ ප‍්‍රධාන නළු යුවළ චතුරිකා පීරිස් හා සාරංග දිසාසේකර.

ඔබ සහ ගායක රංජන් සාලිය ගැයූ ජීවිතය ලස්සනයි ටෙලිනාට්‍යයේ තේමා ගීතය ඒ දිනවල පේ‍්‍රක්ෂකයා බොහොම ආදරයෙන් වැලඳගත් ගීතයක්?

ඔව්. හිරු ළඟ සීතල සොයනා - හිම ළඟ උණුසුම පතනා ගීතය (ඇය ගායනා කර පෙන්වයි). ඒ ටෙලිනාට්‍යයේ රඟපෑ රංගන ශිල්පීන් සියල්ලෝම පාහේ අදටත් ක්ෂේත‍්‍රයේ දකින්න ලැබෙනවා. එළිමහන් ප‍්‍රසංගවල ඒ ගීතය බොහෝ ශිල්පීන් ගායනා කළා. එය මගේ ප‍්‍රථම ටෙලිනාට්‍ය තේමා ගී ගායනය. එතැනින් පසුව කෝරළේ මහත්තයා ටෙලිනාට්‍යයේ බන්දුල විජේවීර අයියා සමඟ එහිත් තේමා ගීතය ගායනා කළා. එයත් අතිශය ජනප‍්‍රිය වුණා.

ගායනයට ආභාසය කොහොමද ලැබෙන්නේ?

මගේ අම්මා තාත්තා කලාවට සම්බන්ධ නොවුණට සින්දු කියන්න ඒ දෙන්නටම හොඳට පුළුවන්. ජෝතිපාල මහත්මයාගේ මිල්ටන් පෙරේරා මහත්මයාගේ ගීත මගේ තාත්තාට හොඳට ගායනා කරන්න පුළුවන්. අම්මටත් හරිම ලස්සන හඬක් තියෙන්නේ. මට නංගිලා දෙන්නෙක් ඉන්නේ. පොඩි කාලේ ඉඳලාම ඒ දෙන්නව අම්මා නළවනවිට පවා මට නිතරම ඇහෙන්නේ සින්දු. ඇය ලතා වල්පොල මහත්මියගේ හා සුජාතා අත්තනායක මහත්මියගේ ගීත තමයි වැඩිපුර ගායනා කරන්නේ.

හින්දි ගීත ගායනයට ආභාසය ලැබෙන්නේ කොහොමද? විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව හැදෑරූ එකද?

ඒ කාලේ මගේ බාප්පා විදෙස් ගත වෙලා සිටියේ. එයා ලංකාවට එනවිට ලතා මංගේෂ්කාර්ගේ ගීත තැටියක් මට ගෙනත් දුන්නා. ඒ තැටියේ ගීත දොළහක් තිබුණා. ඒ ගීත හරිම මිහිරියි. ආජාරේ..., තේරේ මේරේ..., වගේ ගීත. මම මේ ගීතවල වචන දන්නේ නැති වුණාට මේවා අහලා අහලම මේවායේ වචන මට කටපාඩම්. ඒ බලපෑම එක්ක මම හින්දි ඉගෙන ගන්න ආස වුණා. බටපොළ සෙන්ට‍්‍රල් එකේ මිස් කෙනෙක් තමයි මට මුලින්ම හින්දි භාෂාව ඉගැන්වූයේ. ඔහොම කාලයක් යනවිට මට ම කැමැත්තක් ඇතිවෙලා මම හින්දි භාෂාව විශ්වවිද්‍යාල මට්ටමින් ඉගෙන ගත්තා.

හින්දි කොයිතරම් ඉගෙන ගත්තාද කියනවානම් ඔබ ඉන්දියාවටත් යනවා?

ඔව්. ඔව්. මම කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය හැදෑරුවා. එයට මට ප‍්‍රථම පන්තියේ සාමර්ථ්‍යයක් තිබෙනවා. මගේ පශ්චාත් උපාධිය සඳහා මම ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයට යනවා 2012 වසරේදී. බරනැස හින්දු විශ්වවිද්‍යාලය කියන්නේ ඉන්දියාවේ තිබෙන විශ්වවිද්‍යාල අතරින් හින්දි භාෂාවට හා සාහිත්‍යයට පළමු තැන හිමිවන විශ්වවිද්‍යාලය. ඒ විශ්වවිද්‍යාලයයෙන් ශාස්ත‍්‍රපති උපාධිය ලබාගත් පළමුවැනි ශ‍්‍රී ලාංකිකයා මම.

ඔබ පසුබිම් ගායනයෙන් දායක වූ චිත‍්‍රපට ප‍්‍රමාණයටත් වඩා අඩු ගීත ගායනා කරන, එහෙම නැත්නම් වෙනත් අයගේ ගීත ඔවුන්ගේ කරගෙන ගායනා කරන පිරිස මෙතරම් මාධ්‍ය තුළින් පේ‍්‍රක්ෂකයා වෙතට සමීප වෙද්දි සුරංජි මොකද මේ හැංගිලා ඉන්නේ? මාධ්‍ය තුළ ප‍්‍රසංග වේදිකාව තුළ ඔබව එතරම් පේන්නේ නැහැනේ?

ඒකට හේතු ගණනාවක් තියෙනවා. කලාව ඇෙඟ් තිබුණට ජනප‍්‍රිය රැුල්ල ගැන හිතන්න ගියේ නෑ මම. මම අධ්‍යාපනයටයි මුල් තැන දුන්නේ. මේ වනවිට මම හිතලා තියෙනවා ඔබ කියන කාරණය ගැන හිතන්න. මම දැනට ගීත තිහ හතළිහක් කරලා තියෙනවා. හැමදේටම වාසනා ගුණය බලපානවානේ. අලූ‍තින් කලාවට එන අය සමාජ මාධ්‍ය ඔස්සේ ආවට අපි කලාවට එනවිට සමාජ මාධ්‍ය තිබුණේ නැහැ. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළින් ලැබුණු අවස්ථාව අඩුයි ඒ දවස්වල. ගීතයක් ප‍්‍රචාරයට දුන්නත් ඒක ප‍්‍රචාරය වන්නේ නැහැ. මේ ආදී ප‍්‍රශ්න නිසා මම මාධ්‍යයෙන් ඈත් වුණා කිව්වොත් හරි. මොකද මේ ප‍්‍රශ්න සමඟ ගැටෙනවට වඩා මගේ මූලික අරමුණ වුණේ මගේ අධ්‍යාපන කටයුතු. කොහොම නමුත් මම ඉන්දියාවට යන්නෙත් මගේ ගීත පේ‍්‍රක්ෂකයා අහන්න පටන්ගත් කාලයේ. සංගීත අධ්‍යක්ෂවරු චිත‍්‍රපට අධ්‍යක්ෂවරු මාව සොයා තිබුණා ඒ දවස්වල.

ඔබේ සමකාලීන ශෂිකා නිසංසලා, සුභානි හර්ෂණී වගේ ගායිකාවන් ගායන ක්ෂේත‍්‍රයේ ඉදිරියෙන්ම ඉන්න ශිල්පිනියන්. අනෙක් අතට මුල් කාලයේ පටන්ම රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, සුනිල් ආර් ගමගේ වැනි ප‍්‍රවීණයන් ඔබේ ඇසුරට නිර්මාණකරණයට හමු වෙද්දි පවා ඔබ පමණක් පිටුපසට ගිහින්?

ජනප‍්‍රිය රැුල්ලට යාම සහ සුභාවිත ගණයට වැටිලා යාම කියන පාරවල් දෙකෙන් මම තෝරා ගත්තේ දෙවැන්න. ඒ දවස්වල නිල්වලා ආයතනයෙන් මට ආරාධනාවක් ලැබුණා කැසට් පටයක් කරන්න. ඒ දිනවල ගායිකාවන් බලාගෙන ඉන්නේ නිල්වලා ආයතනයෙන් කැසට් පටයක් කරගන්න. රෙකෝඩින්වලට තාත්තා එක්ක යන්න ගිහින් මඟදි බැහැලා මම ආවා. එයට හේතූව කලාවේ ප‍්‍රවීණ අයෙකුට මම දුරකථන ඇමතුමක් දීලා මේ ගැන කිව්වාම ඔහු මට කිව්වා ඔයා විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ශිෂ්‍යයාවක් හැටියට මල්, පන්සල් ගැන සින්දු කියන එක ගැන දෙපාරක් හිතන්න කියලා (ඒ කාලේ ඔය මල්, පන්සල් ගැන සින්දු ලියවුණු කාලේ). ඒ වචන කිහිපය මට තදින්ම වැදුණා. ඒ කැසට් පටය කිරීම නතර වුණා. සමහරවිට එදා මම ඒ කැසට් පටය කළා නම් ඔබ මේ ප‍්‍රශ්නය අහන එකක් නෑ. මට නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඇරෙන්න පස්සේ එළවගෙන ගිහින් මාධ්‍ය නාලිකා පසුපස ගිහින් අවස්ථා ඉල්ලගෙන නිර්මාණ කරන්නේ නෑ. නමුත් සුරංජි ශ්‍යාමලි කිව්වම මාව දන්න යම් පිරිසක් ඉන්නව.මට ලැබෙන දුරකථන ඇමතුම් මට ලැබෙන ප‍්‍රතිචාර පිටරටවල වුණත් මගේ හඬට ආදරය කරන සැලකිය යුතු පිරිසක් ඉන්නවා කියලා මම දන්නවා.

ඉස්සරනේ ප‍්‍රධාන ධාරාවේ රූපවාහිනී නාලිකා එෆ් එම් නාලිකා තුළින්ම නිර්මාණ එළිදැක්වූයේ. දැන් යූටියුබ් එකටනේ ප‍්‍රවීණයන් පවා නිර්මාණ කරන්නේ. සුරංජිටත් පුළුවන්නේ නව මාධ්‍යය ඔස්සේ නිර්මාණ එළියට ගේන්න?

අපි එහෙම හිතුවට මේ සමාජ මාධ්‍ය ඔස්සේත් විවිධාකාරයෙන් මේ නිර්මාණ වෙනුවෙන් මුදල් වියදම් කරනවා. සමහර ෆෙස්බුක් පේජ්වලින් රුපියල් විසි තිස්දහ ගන්නවා මේ ගීත ප‍්‍රචාරණය කරන්න. ඒ කාලේ නාලිකා වලින් කරපු දේ දැන් සමාජ මාධ්‍යවලින් කරනවිට මුදල් දීලා මගේ ගීත හිට් කරගන්න අවශ්‍යතාවක් මට තිබුණේ නෑ. මම කල්පනා කළේ හැකියාව තියෙනවා නම් ඇයි සල්ලි දීලා ගීත හිට් කරන්නේ කියන දේ.

ඔබ වෘත්තියෙන් කවුද?

වෘත්තීයෙන් මම ගුරුවරියක්. නමුත් මම වැටුප් රහිත නිවාඩු අරගෙන හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක් විදිහට පූර්ණ කාලීනව කටයුතු කරනවා.

ගීත ගායනය වගේම ඉන්දියානුවකුට වගේ හින්දි භාෂාව ඔබට පුළුවන් කොට ඉන්දියාවෙන් ආරාධනා ලැබුණේ නැද්ද නිර්මාණ කරන්න?

මම සිටියේ බරණැස. මුම්බායේ නොවෙයි. මුම්බායේ තමයි බොහෝ නිර්මාණ කටයුතු සිදුවන්නේ. විශ්වවිද්‍යාලයේ මගේ යෙහෙළියන් මගේ කටහඬට හරිම කැමැතියි. ඔවුන් කීවේ අපේ කෙනෙක් වැරදීමකින් ලංකාවේ ඉපදිලා කියලා. මගේ මහාචාර්යවරයෙක් මට ආරාධනා කළා ඔයාව කලා ක්ෂේත‍්‍රයට හඳුන්වාදෙන්න බොලිවුඩයට යමු කියලා නමුත් මම නොදන්න රටක තනියෙන් නිසා ඒ ගමනට මගේ බයක් තිබුණා.

චිත‍්‍රපට පහළොවකට ආසන්න සංඛ්‍යාවකට ගීත ගායනා කරලා තිබෙන ඔබට එයට හොඳම ඇගයීම මොකද්ද?

එක අවුරුද්දක මම පසුබිම් ගායනයෙන් සම්බන්ධ වුණු චිත‍්‍රපට හතරක් තිරගත වුණ අවස්ථා තිබුණා. නමුත් කිසිම සම්මාන උලෙළකට අඩු තරමින් මට නැරැුඹීමට ආරාධනා පත‍්‍රයක්වත් ලැබිලා නෑ. අපේ කලාව වෙනමම තැනක තියෙන්නේ.

කෙනෙක් සුරංජිව දන්නේ නැති වුණාට සුරංජි ගායනා කළ ගීත දන්නවා ඇතිනේ. ඔබ ගායනා කළ ගීත අතරින් පේ‍්‍රක්ෂකයා වැලඳගත් ගීත ඔබට මතක් කරන්න කිව්වොත්?

තව මොහොතක් ළඟින් ඉඳන්- පුරුදු සිනහ සිතින්, ඒ ගීතය යූ ටියුබයේ මිලියනයකට එහා නැරඹුම් වාර සංඛ්‍යාවක් තිබුණා. සිතින් ළං වී ගීතය, දරුවනේ චිත‍්‍රපටයට සෙනෙහසේ අරුණේ පායා කියන ගීතය රූකාන්ත ගුණතිලක සමඟ ගායනා කළා. එයත් ජනප‍්‍රිය වූ ගීතයක් (ඇය මේ ගීත ගායනා කර පෙන්වයි). ජනප‍්‍රියත්වය පසුපස හඹා නොයෑම කියන මා තුළ තිබූ ඒ සිතිවිල්ල නිසා මා මෙහෙම ඉන්නවා.

ප‍්‍රසංග වේදීකාවට ඔබ සහභාගී වෙන්නේ නැද්ද?

මට පහසුනම් පමණක් මම සම්බන්ධවනවා. මට වැඩ තියෙනවානම්, ගොඩක් දුර නම් මම යන්නේ නෑ. මගේ පවුලට මූලිකත්වය දීලා කරන්න පුළුවන් දෙයට මම සහභාගීවනවා. මම ගායනය වෘත්තීය ලෙස නොවෙයි කරන්නේ. ඒ නිසා මගේ මූලිකත්වය ලැබෙන්නේ අධ්‍යාපනයට සහ පවුලට.

සුරංජි ගත් කතුවරියක්?

අපේ ලංකාවේ ජන සංගීතය තිබුණට අපි භාවිත කරන්නේ හින්දුස්ථානී රාගධාරී සංගීතයනේ. මේ පිළිබඳ ලියැවුණු පොත හරිම අල්පයි. ඒ දවස්වලම මම හිතුවා මම හින්දි භාෂාව ඉගෙනගෙන සංගීතයට දෙයක් කරන්න ඕන කියලා. 2011 වසරේදී සරසවි ආයතනය සමඟ එකතුව මම පොතක් එළිදැක්වූවා භාරතීය සංගීතය හා ශාස්ත‍්‍රීය ගායන ශෛලිය කියලා. මේ වනවිට අලූ‍ත් මුද්‍රණය නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පරණ මුද්‍රණය ඉවරයි. ඒ පොත අත් පොතක් විදිහට පාසල්වල භාවිත කරනවා කියලා ආරංචි වුණා. සරිගමපධනි හැඳුණු තැන සිට සංගීතය පිළිබඳ බොහෝ දෑ ඒ පොතේ අඩංගුයි. ඊට අමතරව හින්දි භාෂාවේ විවිධ පැතිකඩ ඔස්සේ පොත් කිහිපයක් ලියලා තියෙනවා.

මුල් තැන දෙන ලස්සන පවුල ගැනත් කියමු?

(ඇය සිනාසෙයි) මගේ මහත්තයා ‍රෝහණ තෙන්නකෝන් රජයේ නිලධාරියෙක්. දුවල දෙන්නෙක් මට ඉන්නේ. ලොකු දුවට අවුරුදු 13 යි. පොඩි දුවට අවුරුදු 5 යි. ඒ දෙදෙනා අන්තර්ජාතික පාසලක ඉගෙන ගන්නවා.