ජීවිතයේ ගත්ත නිවැරැදිම තීරණය මගේ විවාහය

බිමල් ජයකොඩි
අගෝස්තු 11, 2022

 රංගන ක්ෂේත‍්‍රයට පැමිණි දා පටන් තාත්වික රංගනය ඔස්සේ තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරමින් දක්ෂ චරිතාංග නළු‍වකු ලෙස සිය භූමිකාව සකසාගෙන සිටින ඔහු වටා බැඳි පේ‍්‍රක්ෂකාගාරයද පුළුල්ය. මේ දිනවල හිරු නාලිකාව ඔස්සේ විකාශය වන ”රැල්ල වෙරළට ආදරෙයි”‍ ටෙලි නිර්මාණයේ ”වීරවර්ණ කුලසූරිය මුදලාලි” ගේ චරිතයට ජීවය දෙන ඔහු, බිමල් ජයකොඩි නම් අගනා රංග පෞරුෂයෙන් හෙබි රංගවේදියායි. ඔහුගේ වර්තමාන කලා කටයුතු සම්බන්ධයෙන් බිමල් අපත් සමඟ කතා බහකට එකතු වුණේ මෙලෙසයි.
 

 
 මේ දවස්වල ඔබේ කලා කටයුතු කොහොම ද?
 
 නියමිතව තිබූ රූගත කිරීම් කිහිපයක්ම මේ පවතින ප‍්‍රශ්නත් එක්ක නැවතිලා තියෙන්නේ. රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් පමණයි මේ දවස්වල සිද්ධ වෙන්නේ.
 
 රැල්ල වෙරළට ආදරෙයි ටෙලිය බොහෝ පේ‍්‍රක්ෂකයින් පිරිසක් මේ වන විට වැලඳගෙන....
 
 මුලින් සැලසුම් කළේ මේ නාට්‍යය කොටස් 200 කින් වගේ අවසන් කරන්න. නමුත් දැන් ඒකට තියෙන පේ‍්‍රක්ෂක ඉල්ලීම සහ යම් යම් හේතු කාරණා නිසා තවත් කොටස් 100ක් දක්වා ඉදිරියට යන්න සැලසුම් කරලා තියෙනවා.
 
 මේ ටෙලියේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් වගේම නවක ශිල්පීන් ගණනාවක් වැඩ කරනවා. මේ ගෙවෙන්නේ අමාරු අපහසු කාලයක් වුවත් ඔවුන් සමඟ ඉතාම හොඳින් වැඩ කරගෙන යනවා. විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදක ඇතුළු සියලූ දෙනාගේ සහයෝගය නිසා තමයි මේ නිර්මාණය කරගෙන යන්නේ. ඊට අමතරව විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ නාට්‍යය පේ‍්‍රක්ෂකයන් අතරට ගෙනියන්න මීගමුවේ වෛමන් රාජා ඇතුළු ප‍්‍රදේශවාසීන් ලොකු සහයෝගයක් ලබා දුන්නා.
 
 රැල්ල වෙරළට ආදරෙයි”‍ කියන නිර්මාණය ජනතාවගේ ජීවිතය රස විඳින්න පුළු‍වන් විදියේ නිර්මාණයක්ද ?
 
 රැල්ල වෙරළට කියන්නේ අපි මුහුදුකරයේ රූපගත කළාට මුහුද ආශ‍්‍රිත ජීවිත ගැන කතා කළාට බොහෝ වෙලාවට මේ තුළ තියෙනවා මානව සම්බන්ධතාවන්. තාත්තා කෙනෙක් පුතා සමග තියෙන ආදරය හා ගනුදෙනුව, තාත්තා කෙනෙක් තම දියණිය වෙනුවෙන් මොන තරම් දේවල් කරනවාද, කැපකරනවාද වගේම අපට අමතක වෙලා ගිය මානව සම්බන්ධතා ගැන, ආදරය වගේ විවිධ පැතිවලට ආමන්ත‍්‍රණය කරන නාට්‍යයක් තමයි රැල්ල වෙරළට ආදරෙයි කියන්නේ. මම නිරූපණය කරන්නේ වීරවර්ණ කුලසූරිය මුදලාලිගේ චරිතය. තමන්ගේ දුවට අසීමාන්තිකව ආදරය කරන පියෙක් ඔහු.
 
 බිමල් කියන්නේ ඇහිපිල්ලමකින් පවා, චරිතයට උපරිම සාධාරණයක් කරන අයෙක් ?
 
 ඒක හැම ශිල්පියකුගේම අතින් වියයුතු දෙයක්. සමහර විට අපිට 100%ම කරන්න නොහැකි වෙයි. කරන්න අපට අවස්ථාව නැති වෙන්න පුළු‍වන්. හැබැයි හැම වෙලාවේම උත්සාහ කරන්න ඕනෙ තමන් සම්බන්ධ වෙන නිර්මාණයට මොන ආකාරයෙන් දායක වුණත් ඊට සාධාරණය ඉටුකරන්න, අවංකව උවමනාවක් තියෙන්න ඕනෙ කියලා තමයි මම විශ්වාස කරන්නේ. එතකොට තමයි නිර්මාණයේ ප‍්‍රතිඵල තමන්ට වගේම නිර්මාණයටත් ලැබෙන්නේ. නිර්මාණය යම් හෙයකින් අසාර්ථක වුණත් අපි නිර්මාණයට උපරිම දායකත්වය දීලා තිබුණොත් ඒ නිර්මාණය පේ‍්‍රක්ෂකයා අතරට ගෙනියන්න වගේම නිර්මාණයේ සාර්ථකත්වයට බලපානවා. මම සම්බන්ධ වෙන නිර්මාණයට 100%ක් කරන්න මම හැම අවස්ථාවේම උත්සාහ කරනවා. එය සිදුකරන්න නොහැකි වූ අවස්ථා මට තියෙනවා. සමහර විට ඒ නිර්මාණයෙන් පෙරළා අපි බලාපොරොත්තු වන දේ නොවෙනවා නම් මම ඒ නිර්මාණය දාලා යන්න දෙපාරක් හිතන්නෙත් නැහැ, මට අවශ්‍ය දේ කරන්න බැරි නම්. නමුත් මම බොහෝ වෙලාවට උත්සාහ කරනවා චරිතය හොඳින් කරන්න, නාට්‍ය වෙනුවෙන් හෝ චිත‍්‍රපටය හෝ සෑම නිර්මාණයක්ම වෙනුවෙන්.
 
 ඔබ විශේෂිත ශෛලියක් අනුගමනය කරන රංගන ශිල්පියෙක්. නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ චරිත තෝරා බේරා ගැනීමක් කරල ද?
 
 පැහැදිලිවම ඔව්. මොකද හම්බෙන හැම නිර්මාණයම බාර ගත්තොත් මම හිතන්නේ නැහැ අපිට පවතින්න පුළුවන්ද කියලා. ඒ චරිතය තමන්ගේ කරගන්න පුළුවන්ද ඒ චරිතය පේ‍්‍රක්ෂකයාට කොතරම් වටිනවා ද කියන කාරණා ගැන හිතලයි චරිතයක් භාරගන්න ඕනේ. කොහොම වුණත් නිර්මාණයක් භාරගනිද්දී එහි අධ්‍යක්ෂකවරයා කවුද කියන එකට වඩා චරිතය මොන ආකාරයට ගොඩනැඟිලා තියෙනව ද තමන්ට ඒක මොන ආකාරයෙන් නිරූපණය කර ගන්න පුළුවන්ද කියන විශ්වාසය එක්ක තමයි චරිතයක් බාර ගන්නේ.
 
 ඔබ රංගනයට පිවිසෙන්නේ කොහොම ද?
 
 මම කලා මාධ්‍යයට එන්නේ රූපවාහිනි තාක්ෂණික ශිල්පියෙක් විදිහට. ඊට පසු වසර 6ක් පමණ වැඩ කරනකොට තමයි ප‍්‍රසන්න ජයකොඩි මහත්මයාගෙ ටෙලියකට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. ඊට පස්සේ තාක්ෂණික ශිල්පියෙක් විදිහටත් රංගන ශිල්පියෙක් විදිහටත් මම වැඩ කරගෙන යනවා. මාධ්‍ය ආයතනයක නිෂ්පාදකවරයෙක් විදිහටත් වැඩ කළා. මට තේරුණා රංගනය කරගෙන යනවානම් ඒකට මුල්තැන දීලා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කියලා. පස්සේ තාක්ෂණික ශිල්පයට සමු දීලා රංගන ශිල්පියෙක් විදිහට වැඩ කරන් යනවා.
 
 ඔබ වඩා ප‍්‍රිය කරන්නේ සිනමාව ද පුංචි තිරය ද?
 
 නිර්මාණය හොඳ නම් සිනමාව ද පුංචි තිරය ද වේදිකාව ද කියන එක මම හිතන්නේ අදාළ වෙන දෙයක් නෙවෙයි. නිර්මාණයේ ගුණාත්මකභාවය අපිට කොතැනකදි හරි මතු කරන්න පුළුවන්නම් සිනමාව ද වේදිකාව ද පුංචි තිරය ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. නමුත් හොඳ රංගනයක් සිනමාව තුළ කරන්න තියෙනවානම් රූපවාහිනියට වඩා පේ‍්‍රක්ෂකයාට දැනෙන ප‍්‍රමාණය වැඩියි. එහෙත් උදාහරණයක් විදිහට ගත්තොත් මම රඟපෑ බොහෝ චරිත සිනමාවට වඩා රූපවාහිනිය තුළ දී පේ‍්‍රක්ෂකයාට සමීප වුණා. ඒ නිසා මම බලන්නේ අදාළ නිර්මාණයේ ගුණාත්මකභාවය පමණයි.
 
 ඔබේ රංගන දායකත්වයෙන් අවසානයට තිරගත වූ ”ආශාවරී” චිත‍්‍රපටයේ ඔබ රඟපාන්නේ වෙනස් විදියක චරිතයක්. ඒ වගේ චරිතයක් භාරගැනීම අභියෝගයක් වුණාද ?
 
 ඇත්තටම මම චරිතය තෝරාගන්න කලින් සෑහෙන්න හිතුවා, ඒ විදියේ චරිතයක් මට නිරූපණය කරන්න හැකියාව තියෙනවාද කියන එක ගැන. එතැනදීත් අපිට හිටිය කණ්ඩායම, අධ්‍යක්ෂවරයා, රචකයා, කැමරා අධ්‍යක්ෂවරයා හා අනෙකුත් ශිල්පීන් මේ හැමෝගේම අවංක අදහසක් තිබුණා මේක මට කරගන්න පුළුවන් වෙයි කියලා සහ එහෙම කරගන්න කියලා. ඉතින් යම් විදියක දෙගිඩියාවක් තියෙනවා කොයි විදියට පේ‍්‍රක්ෂකයා මේ චරිතය වැලඳගනීවිද කියල. හැබැයි මාව මේ වගේ චරිතයක් හරහා නම් මින් පෙර දැකලා නැහැ. අභියෝගයකටත් වඩා ඒක ලේසියෙන් හොඳ විදියකට නිමා කරගන්නත්, ඒකේ නිමාව හරි විදියට කරගන්නත් මට කල්පනා කරන්න වුණා. මොකද එහි හාස්‍ය මුසු වුණු වගේම අහිංසක බලාපොරොත්තුවක් වගේ කාරණා ගොඩක් තිබුණා චරිතය ගැන හිතන්න.
 
 මේ සිනමා පටය ලංකාවේ වගේම ඕස්ටේ‍්‍රලියාවේ, නවසීලන්තයේ සිනමාහල්වලත් තිරගත වෙනවා. ඉතිං ඉතිං අපේ රටේ පේ‍්‍රක්ෂකයින්ගෙන් පමණක් නොවෙයි විදෙස්ගත පේ‍්‍රක්ෂකයින්ගෙනුත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මම හිතනවා හොඳ සිනමා අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් වුණා කියලා. ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක මට හිතෙන දෙයක් තමයි පේ‍්‍රක්ෂකයින් කැමැතියි අපිව හැමදාම දකින විදිහට වඩා වෙනස් විදිහකින් දකින්න.
 
 වත්මන් සිනමා කර්මාන්තය ගැන ඔබේ මතය කුමක් ද?
 
 වර්තමානයේ මේ රටේ පවතින ආර්ථිකමය, සමාජීය ප‍්‍රශ්නත් එක්ක සිනමාවට විතරක් නෙවෙයි කිසිම මාධ්‍යයකින් පුද්ගලයකුට ඉදිරියට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා. නමුත් මේ තත්ත්වය ඇතිවෙන්න පෙර විශේෂයෙන්ම කොවිඞ් වසංගතයට මුහුණ දුන් කාලයේදී පේ‍්‍රක්ෂකයාව සිනමාව තුළ රඳවා තබාගන්න වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ ඇති වූ කඩා වැටීම තවමත් පතිනවා. නමුත් අපි සිනමාවට අත තියපු මුල් කාලේ ඉඳලම සිනමාවේ උස් පහත් වීම් ඇති වෙමින් හොඳ නිර්මාණ බිහි වුණා. ඒ කාලයේදී අපිට ලොකු පේ‍්‍රක්ෂක පිරිසක් ග‍්‍රහණය කරගන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේත් උස් පහත් වීම් දිගටම පැවතියත් ස්ථාවර කර ගන්න තැනක් අහු වුණේ නැහැ. තරුණ සිනමාකරුවන් බොහෝ ප‍්‍රමාණයක් සිනමාවට එන්නට නියමිත කාලයකදී, නිර්මාණ තිරගත කිරීම ආරම්භ කිරීමට සූදානම් වටපිටාවකදී තමයි අපිට කොවිඞ් වසංගතයට මුහුණ දෙන්න සිදුවුණේ. ඒ නිසා ඉතාම හොඳ ච්ත‍්‍රපටි පේ‍්‍රක්ෂකයාගෙන් ගිලිහී ගියා. විශේෂයෙනම ‘සුනාමි‘ වැනි ඉතා අනර්ඝ චිත‍්‍රපට පවා පේ‍්‍රක්ෂකාගාරයට වැලැඳ ගැනීමට නොහැකි වුණා. ඉතිං කර්මාන්තයක් විදිහට අපි ශක්තිමත් නැහැ කියලා අපි පිළිගන්න ඕනේ. මේ අර්බුදකාරී තත්ත්වයෙන් එළියට එන්න නම් ලොකු සටනක් කරන්න වෙනවා. සිනමා ශාලාවකට ඇවිත් චිත‍්‍රපටයක් බලන්න තරම් පේ‍්‍රක්ෂකයා මානසික සහ ආර්ථිකමය වශයෙන් මේ වෙලාවේ ශක්තිමත් නැහැ. ඒක මඟහරවා ගන්න නම් අපි සිනමා කර්මාන්තයේ නියැළෙන්නන් විදිහට විවිධ අත්හදාබැලීම් සහ විවිධ නිර්මාණ කරන්න ඕනේ. අවංකවම මේ විෂයය වෙනුවෙන් අපි පෙනී ඉන්න ඕනේ.
 
 දැන් වේදිකාව වෙනුවෙන් ඉඩක් නැද්ද?
 
 රූපවාහිනිය සහ සිනමාව තරම් මම වේදිකාවත් එක්ක ලොකුවට වැඩ කරලා නැහැ. කිහිපයකට තමයි දායක වෙලා තියෙන්නේ. අවසාන වතාවට කළේ රාජිත දිසානායකගේ ‘ආපහු හැරෙන්න බැහැ‘ කියන වේදිකා නාට්‍යය. කොවිඞ් කාලයේ වේදිකා නාට්‍ය පිටපත් කිහිපයක් ලැබුණා. මේ දවස්වල ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. මේ තත්ත්වය තරමක් වෙනස් වුණාට පස්සේ හොඳ වේදිකා නාට්‍යයක් දැක බලා ගන්න පුළුවන් කමක් ලැබෙයි.
 
 අධ්‍යක්ෂණයට පිවිසෙන්න බලාපොරොත්‍තුවක් නැති ද?
 
 එහෙම පුංචි පුංචි බලාපොරොත්තු කිහිපයක් තිබුණා. ඒ කියන්නේ හෙට අනිද්දාම නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා කියන එක නෙවෙයි. ඊට කලින් සිනමාව ගැන තව ටිකක් හදාරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. විෂුවල් කිහිපයකුත් වාර්තාමය වැඩසටහන් කිහිපයකුත් මම දැනට අධ්‍යක්ෂණය කරලා තියෙනවා. අධ්‍යක්ෂණය කියන කාරණනයට මම හරිම ප‍්‍රියයි. මට තියෙන දැනුමත් එක්ක අධ්‍යක්ෂණය පැත්තෙන් දෙයක් කරන්න කැමැත්තෙන් ඉන්නවා. එය ටෙලි නාට්‍යක් ද, සිනමා පටයක් ද කියන එක තීරණය වෙන්නේ රටේ පවතින තත්ත්වයත් එක්ක. ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මට ඒකට හදිස්සියක් නැහැ.
 
 අධ්‍යක්ෂණයට පිවිසුණොත් රංගනයෙන් ඈත් වෙයි ද?
 
 රංගනයෙන් ඈත් වෙන්න හේතුවක් නැහැ මට. රංගනය තමයි දැනට මම දන්න හොඳම විෂයය. මම තවම හරියට රඟපාලත් නැහැ. රංගනය තුළ තව කරන්න වැඩ ගොඩක් තියෙනවා. හම්බෙන අවස්ථා එක්ක මගේ තියෙන හැකියාවන් පෙන්වන්න තවමත් පුළුවන්. අපි තාම රඟපාන්න පටන් ගත්තා විතරයි. ඉතිං අධ්‍යක්ෂණය ගැන තවම ලොකු දැනුමක් නැහැ. ඉතිං තව බොහෝ කාලයක් රංගනයේ යෙදෙන්න තමයි බලාපොරොත්තුව.
 
 ඔබ සම්මානනීය රංගන ශිල්පියෙක්..
 
 මම බොහෝ අවස්ථාවල සම්මානයට පාත‍්‍ර වුණා. හොඳම ශබ්ද පරිපාලනයට සම්මානයක් ලැබුණා. ඊට පස්සේ නැඟී එන නළුවා, සහය නළුවා, ජූරියේ විශේෂ කුසලතා, හොඳම නළුවා ආදී වශයෙන්. සම්මාන ගැන මම ලොකුවට අවධානය යොමු කරන්නේ නැහැ. මම පේ‍්‍රක්ෂකයන්ට වග කියන නළුවෙක්. මගේ කාර්යය කරන්නට මහන්සි වෙන නළුවෙක්. පේ‍්‍රක්ෂක ජනතාවගේ ආදරණීය ප‍්‍රතිචාර, ඇගැයීම් මට සම්මානයක් තරමටම වටිනවා.
 
 ඔබ මෙතෙක් දායක වූ චරිතවලින් වඩා සාධාරණයක් කළා යැයි හැෙ`ගන නිර්මාණය කුමක් ද?
 
 සිනමාව පැත්තෙන් ගත්තොත් මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ ‘දැකලා පුරුදු කෙනෙක්‘ චිත‍්‍රපටය. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් මගේ පළමු ටෙලි නාට්‍යය වන ප‍්‍රසන්න ජයකොඩි මහත්මයාගේ හඳවිල සක්මන කියන ටෙලි නාට්‍යය. ඒ වගේම ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කරපු ජීවිතයට ඉඩ දෙන්න ටෙලියත් විශේෂ ටෙලියක්.
 
 මේ කාලයේ හැටියට රංගනය වෘත්තිය කරගෙන ජීවත්වීම අපහසු නැද්ද?
 
 මේ කාලයේ හැටියට කිසිම දෙයක් ජීවන වෘත්තිය කරගෙන ජීවත්වීම පහසු නැහැ. මේ කාලේ කාටවත් ලේසි කාලයක් නෙවෙයි. ඉතිං රංගන ශිල්පියෙක් තමන්ගේ වටිනාකම හරියට තේරුම් අරගෙන ඒ වටිනාකමට සරිලන විදිහට තමන්ගේ හැකියාව පාවිච්චි කරනවා නම් ඔහුට හෝ ඇයට හොඳ කළමනාකාරීත්වයක් තියෙනවානම්, තමන්ගේ පෞද්ගලික අභිලාශයන් මොනවද කියන එක ගැන අවබෝධයක් තියෙනවානම්, රටේ අර්බුධකාරී තත්ත්වය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් රංගනය විතරක් නෙවෙයි ඕනෑම වෘත්තියක් ජීවත් වීමට අපහසු වෘත්තියක් නොවෙයි. මම මාව හඳුන්වන්නේ වෘත්තීය රංගන ශිල්පියෙක් විදිහට. මම රූපවාහිනියේ වැඩ කරනවා. වේදිකාවේ වැඩ කරනවා. සිනමාවේ වැඩ කරනවා. ගුවන් විදුලියෙත් වැඩ කරනවා. මම මාව කොයිතරම් දුරට විකුණනවා ද කියන එක මම දන්නවා. මම විකිණෙන්නේ මොනවගේ ප‍්‍රමාණයකටද කියන එක ගැන මට පැහැදිලි අවබෝධයක් තියෙනවා. මම විකිණෙන්නේ අයි කියන එක ගැනත් මම දන්නවා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම රංගන ශිල්පියෙක් විදිහට මගේ වෘත්තීමය ජීවිතය කාටවත් කරදරයක් නොවන විදිහට.. මටත් අපහසුවක් නොවන ආකාරයට මම ගෙවාගෙන යනවා.
 
 මෙතෙක් ආ ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ...
 
 පැහැදිලිවම සතුටුයි. මම තාක්ෂණික ශිල්පියෙක් විදිහට ඉදිරියට ගියානම් ආයතනයක නිෂ්පාදකවරයෙක් විදිහට බොහෝවිට වැඩ කරයි. නමුත් මම රංගන ශිල්පියෙක් විදිහට මම ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. සමාජයේ දේවල් දැනගන්න ලැබෙනවා. විශාල පිරිසක් සමඟ වැඩ කරන්න ලැබෙනවා. බොහොම ආදරයෙන් වැලැ`දගන්න බොහොම ආදරණීීය මිනිසුන් මට මුණගැහෙනවා. ඒක කාටවත් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔවුන්ගේ ආදරය ගෞරවය මට ලැබෙන්නේ මගේ රංගනය නිසා. ඉතිං මං කරන චරිතවලට වග කියන පුද්ගලයෙක් විදිහට මේ සමාජයේ ජීවත්වීම තමයි මට තියෙන එකම ආසාව. මම අද මේ ඉන්න තත්ත්වය ගැන මගේ මව්පියෝ, බිරිය, යහළුවෝ හැමෝම සතුටු වෙනවා. පසුගිය කාලය ගැන හැරී බලද්දී අපහසු කාලවලූත් මං පසු කරලා තියෙනවා. ඒ හැමදේටම හොඳින් මුහුණ දීලා අද මං හොඳ තැනකට ඇවිත් ඉන්නවා.
 
 ඔබ මේ ජීවිතයේ දී ගත්ත නිවැරැදිම තීරණය කුමක් ද?
 
 ජීවිතයේ ගත්ත නිවැරැදිම තීරණය විවාහය කියලයි මම හිතන්නේ. ඒ තුළින් මගේ ජීවිතයේ වෙනස්ම වූ මානයක් ගොඩන`ගා ගත්තා. ඒ තීරණය වැරැදුණා නම් අද මං කොතැනක ඉදිවීදි කියලා මං දන්නේ නැහැ. ඒත් දැනට මම හිතන්නේ බිමල් ජයකොඩි කියන චරිතය අද මෙතැන මේ විදිහට ඉන්නේ විවාහය නිසා.
 
 බිමල්ට සුජානිව හමුවුණ මතකය තවමත් අමතක නැතුව ඇති..
 
 සත්තකින්ම. ඒ මතකය හරිම සුන්දරයි. මට සුජානිව හමුවන්නේ රම්‍ය සුරම්‍ය කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතර. නාට්‍යයේ රූගත කිරීම් අවසානයේ අපි සැබෑ පෙම්වතුන් බවට පත්වුණා. ඒ හඳුන ගැනීමෙන් වසර 7කට විතර පස්සේ අපි විවාහ වුණා.
 
 ඔබේ ආදරණීය බිරිය සුජානි මේනකා ඔබේ දිවියේ සියලූ කටයුතුවලට සහය වන්නට ඇති...
 
 සුජානි මගෙ බිරි`ද වගේම මගෙ කළමනාකාරිණිියත් වෙනවා. මම කියපු සියලූ කාරණනාවල ශක්තිය ඇය තමයි. ඇයට ක්ෂේත‍්‍රය එක්ක තරඟයක් නැහැ. ඇයට මගෙත් එක්ක තරගයකුත් නැහැ. හැම දෙයක් ගැනම හොදට හොයලා බලලා හොදින් කිරීමේ ලොකු හැකියාවක් ඇයට තියෙනවා. අපි දෙන්නට දෙන්නා සැමියා සහ බිරි`ද වීම ගැන තියෙන්නෙ ලොකු ආඩම්බරයක්. ආදරය ඉවසීම තේරුම් ගැනීම විශ්වාසය කියන දේවල් රැකගෙන ඉන්නවනම් ඕනම කෙනෙක්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන්.
 
 රගපාන කොට අඩුපාඩුවක් තියනවනම් ඇය මට කියලා දෙනවා. මමත් එහෙමයි එයාගෙ අඩුපාඩු ගැන කියලා දෙනවා. අපි දෙන්නට දෙන්නගෙ රහස් නැහැ. ඒ වගේම දෙන්නට දෙන්නගෙ තරගයකුත් නැහැ. පරිණත වෙන්න වෙන්න අපි දෙන්නගෙ ආදරය තවත් වැඩිවීමක් තමයි වෙන්නෙ.
 
 පුංචි තිරයේත් සිනමාවේත් මොනවද ඉදිරියට විකාශයට, තිරගත වීමට නියමිත නිර්මාණ?
 
 ප‍්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මන්දාරා චිත‍්‍රපටය තිරගත වීමට නියමිතයි. එය ලංකාවේ සිනමාව තුළ ලොකුවට කතා බහ කරන මාතෘකාවක් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ජපානයේදී රූගත කිරීම් කළ කන්දක් සේමා චිත‍්‍රපටයත් එන්න තියෙනවා. ඒක ලස්සන ආදර කතාවක්. ප‍්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කරපු ”අයිස්ක‍්‍රීම්” කියන චිත‍්‍රපටය තියෙනවා. ඒ වගේ චිත‍්‍රපට ගණනාවක්ම තියෙනවා. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් ටෙලි නාට්‍ය දෙකක් පමණ එන්න තියෙනවා.
 
 අනාගත බලාපොරොත්තු...
 
 මම කොහොමත් සරල සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න කැමැති කෙනෙක්. සියුම් ආඩම්බරයකින් කියන්න පුළුවන් දෙයක් තමයි කාටවත් ණය නැති තවත් කෙනෙක්ට ලැබෙන්න තියෙන දෙයක් බලෙන් කඩා වඩා ගත්තේ නැති, දේශපාලන පක්ෂයකට කඬේ ගිහිල්ලා රුපියලක දෙයක්වත් හම්බ කරගත්තේ නැති කෙනෙක්. ඒ වගේම මව්පියන්ට සහෝදර සහෝදරියන්ට ගරු කරන බිරියට ආදරය කරන මහපොළවට ආදරය කරන කෙනෙක් විදිහට ජීවත්වෙන කෙනෙක් කියලා මට හරි ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ඉදිරි බලාපොරොත්තු මීටත් වඩා හොඳින් ජීවත් වීම පමණයි.