හොඳම නිළියට හිමි සම්මානය යනුවෙන් මගේ නම කියවෙද්දී මම පුදුමයට පත් වුණා

-සෝබනී අමරසිංහ
අගෝස්තු 4, 2022

  
 
 ඇගේ රඟපෑම් කොතරම් තාත්විකද යන්න සාක්ෂාත් කළේ 1965 වසරේ සරසවිය  සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි  සම්මානයට පාත‍්‍රා වීමත් සමඟමය
 
 හීන හතක් මැද විමනක් සැදුණයි
 
 සීත සඳුන් සුව ඒ තුළ මැවුණයි
 
 වාසනාවේ මල් හදවත පිරුණයි
 
 ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
 
 නීල නුවන් ගැබ සෝක වලාවෝ
 
 වේදනාව ගෙන හද අඹරෝරෙ
 
 ඈතින් පොර කා තෙරපි අම්ඹරේ
 
 දෑසෙ කඳුළු‍ වැල් රූරා වැගිරේ
 
 කලාශූරී ලතා වල්පොල ගායනා කළ මඩවල එස්. රත්නායක ප‍්‍රබන්ධය කළ පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කළ මේ ගීතය ඇතුළත් වුයේ 1964 තිරගත වූ ගැටවරයෝ චිත‍්‍රපටයටය. 1965 සරසවිය සම්මාන උලෙළේ හොඳම ගායිකාවට හිමි සම්මානය දිනාගත් මේ ගීතයේ රූප රාමු පේ‍්‍රක්ෂක මතකයේ සදා නොමියෙන රූප රාමු සමූහයකි.


 
 දුම්රියේ නැ`ගී කොළොම්තොට බලා එන නන්දාගේ මනසේ ඇදුණු චිත්ත රූපයත් විරහ වේදනාවන්, පසුබිමින් ඇසෙන එම ගීතයට කෙතරම් බද්ධ වී ද යත්, පේ‍්‍රමයේ විරහව ඇගේ මුවින් පිළිබිඹු වන්නේ ඇගේ ජිවිතයම ශෝකාලාපයක් බවට පත් කරවමිනි.
 
 ඇය පණ මෙන් ආදරේ කළ ඇගේ ගමේ පෙම්වතා ජයසේන කොළොම්තොට රැකියාවට පැමිණ හාද වූ පෙම්වතිය සිරුරේ දැවටී සිටිනු දුටු නන්දාගේ හදවත සසල වී වේදනාවෙන් මුසපත් විය. ඒ වේදනාව පිළිබිඹු කෙරෙන දර්ශන පෙළ පමණක් නොව සමස්ත චිත‍්‍රපටය පුරාම ඇගේ රඟපෑම් කොතරම් තාත්විකද යන්න සාක්ෂාත් කළේ ඇය 1965 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානයට පාත‍්‍රා වීමත් සමඟමය. ඈ තුළ තිබූ ස්වකීය රංගන කෞශල්‍ය හේතුකොට ගෙන ඇය සිංහල සිනමාවේ හැටේ දශකයේ බිහි වූ ප‍්‍රතිභාසම්පන්න රංගන වේදිනියක් ලෙස ප‍්‍රත්‍යක්ෂ වී හමාරය. ඇය සෝබනී අමරසිංහය. සිය ප‍්‍රථම රංගනය උදෙසා සම්මානයට පාත‍්‍ර වූ ප‍්‍රථම නිළිය ලෙස ද සෝබනී අමරසිංහගේ නාමය සිංහල සිනමා ඉතිහාසයට එක් වී ඇත.
 
 සෝබනී අමරසිංහ යනු චිත‍්‍රපට විශාල සංඛ්‍යාවක් රඟදැක් වූ රංගන ශිල්පිනියක් නොවේ. ඇය රඟ දැක් වූ මුුළු චිත‍්‍රපට සංඛ්‍යාව හතරක් පමණකි. ගැටවරයෝ, සාරවිට, හන්තානේ කතාව, ලක්සෙට කොඩිය ඇය රඟපෑ චිත‍්‍රපට සතරයි. සෝබනීට හා පුරා කියා ගැටවරයෝ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑමට වාසනාව හිමිවුයේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සමඟය. සිනමාවේ තවත් දැවැන්තයකු වූ ජෝ අබේවික‍්‍රමයන් සමඟය. සාරවිට චිත‍්‍රපටයේ රඟපාමින් ඇය මතකයේ රැඳී සිටින චරිතයක් රඟපෑවාය. අනාථ නිවසක ගුරුවරියක් ලෙස රංගනයේ යෙදෙමින් ඇය ගැයූ ගීතය වර්තමානයේ ද යාවත්කාලීන වූ දේශාභිමානි ගීතයකි. ගීතය ගයන්නේ විශාරද ආචාර්ය නන්දා මාලිනි යයි.
 
 මේ සිංහල අපගේ රටයි
 
 අප ඉපදුණ මැරෙන රටයි
 
 අප හද පණ ගැහෙන රටයි
 
 මුළු ලොව ඒ රටට යටයි
 
 අතේ ඇඟිලි 5ටත් අඩු චිත‍්‍රපට සංඛ්‍යාවක රඟපෑව ද සෝබනී අමරසිංහ පේ‍්‍රක්ෂක මනසේ සදා අමරණීය නාමයෙකි. ඇගේ හැඩ රුව රූපකාය තුළ දිස්වන්නේ ගැමි සුන්දරත්වයයි. සෝබනී යනු ජනප‍්‍රිය ද ධහරාවේ නිළියක් නොවුණ ද ප‍්‍රතිපත්ති මත රඳා පැවතුණු නිළියකි. දෙමාපියන්ගේ අණසකට සැමදා නතු වූ කාන්තාවක වූ ඇයගේ පමණක් නොව ඇගේ දෙමවුපියන්ගේ කීර්තිනාමය ද රැක ගැනීමේ අරමුණ පෙරදැරීව චරිත තෝරා බේරා රඟපෑ නිළියකි.
 
 සෝබනී අමරසිංහ විවාහ වී සිටින්නේ රාජ්‍ය පරිපාලන ක්ෂේත‍්‍රයට සම්බන්ධ උසස් නිලධාරියකු වන ලලිත් හීන්ගම මහතා සමඟය. ප‍්‍රාදේශීය ලේකම්වරයකු, කුරුණෑගල දිසාපති මෙන්ම වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් තනතුරක් සහ සංස්ථා කිහිපයක අධ්‍යක්ෂවරයකු ලෙසත් රාජ්‍ය සේවයේ නියැළුණු ඔහු දැන් විශ‍්‍රාමිකයකි. ගත් කතුවරයකි. ග‍්‍රන්ථ තිස් අටක් රචනා කොට ඇති ඔහුගේ ග‍්‍රන්ථ බොහොමයක් පරිවර්තන සහ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථ වේ. පුරා විසිඑක් වසරක් ලංකාදීප පුවත්පතේ කිල්ලෝටය නැමැති ලිපි සංග‍්‍රහය ලියන ලද්දේ ඔහු විසිනි.
 
 අපේ උපන් ගම ගල්කිස්ස. මගේ තාත්තා තැපැල් ස්ථානාධිපතිවරයෙක්. අම්මා ගෘහණියක්. අපේ පවුලේ නව දෙනයි. ගැහැනු තුනයි පිරිමි හයයි. මම සතර වැනියා. මං සිප්සතර හැදැරුවේ ගල්කිස්සේ බෞද්ධ බාලිකා විදුහලේ. ගෙදර සිට පයින් යන දුර. පාසල් යන කාලේ පටන් මම නැටුම්වලට හරි දක්ෂයි. ඒ හේතුව නිසා තාත්තා මාව ශේෂා පලිහක්කාරගේ නැටුම් පන්තියට දැම්මා. මගේ නර්තන හැකියාව පිළිබඳව ශේෂා පලිහක්කාර පැහැදී සිටි නිසාදෝ ඔහු මට යෝජනාවක් ගෙනාවා චිත‍්‍රපටයක රඟපෑමට. මම දෙමව්පියන් කියන දේට කීකරු ලැජ්ජා බයට හැදිච්ච දරුවෙක් නිසා ඒ පිළිබඳව වැඩි උනන්දුවක් දැක්වුයේ නැහැ. පසුව ඔහු චිත‍්‍රපටයේ තිර පිටපතක් රැගෙන මගේ මව සහ පියා මුණගැසීමට පැමිණ තාත්තට අවබෝධ කර දුන්නා. මේ චරිතය හොඳ චරිතයක් බව. ඒ නිසා චිත‍්‍රපටයේ රඟපෑමට මට තාත්තාගේ සහ අම්මාගේ අවසරය ලැබුණා. ගැටවරයෝ චිත‍්‍රපටය රඟපාන්නට අවස්ථාව හිමිවුණේ ඒ ආකාරයටයි.
 
 ගැටවරයෝ ඔබ සමඟ ප‍්‍රධාන චරිතය රඟපෑවේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා. ඒ අතීතේ මතක් කරමු.
 
 ගාමිණි ෆොන්සේකා යනු දැවැන්ත චරිතයක් පමණක් නොවේ අතිශය ජනප‍්‍රියත්වයක් දිනා ගත් චරිතයක්. මම ශිෂ්‍යාවක්. ඇත්තටම ගාමිණි ෆොන්සේකාගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. එපමණක් නොවෙයි තිස්ස ලියනසූරිය චරිතය පිළිබඳ හොඳ අවබෝධයක් මට ලබා දුන්නා. ගැටවරයෝ චිත‍්‍රපටයේ රූගත කිරීම් බොහොමයක් සිදුවුණේ වැලිගම ප‍්‍රදේශයේ ඒ දිනවල ගාමිණි ෆොන්සේකා ජනප‍්‍රිය නිසා පේ‍්‍රක්ෂකයෝ පොදි කකා ඔහුව බලන්නට රූගත කරන ස්ථානයට පැමිණෙනවා.
 
 සිනමාවේ රඟපෑ ප‍්‍රථම චරිතයට සම්මානය හිමි කරගත් සිනමාවේ ප‍්‍රථම නිළිය ඔබයි. ගැටවරයෝ චිත‍්‍රපටයට ලද සරසවි සම්මානය ගැන කතා කරමු.
 
 ශේෂා පලිහක්කාර ගෙන් ලද ආරාධනය මත මම රඟපෑවේ. විශාල අවබෝධයක් තිබුණේ නැතත් චරිතයට සාධාරණයක් මගෙන් ඉටුවෙලා තිබෙනවා. ඒ නිසයි මට සම්මානය ලැබුණේ කියා මං විශ්වාස කරනවා. එදා මම සම්මාන උලෙළට පැමිණියේ අම්මා සහ තාත්තා සමඟයි. මම සම්මානයට පාත‍්‍ර වන බව හාංකවිසියක්වත් දැනගෙන සිටියේ නැහැ. ඒ බව කිසිවෙකු මට දැනුම්වත් කළේ නැහැ. හොඳම නිළියට හිමි සම්මානය යනුවෙන් මගේ නම කියවෙද්දී මම පුදුමයට පත් වුණා. එදා මට සම්මානය දුන්නේ විලියම් ගොපල්ලව මැතිතුමන් අතින්. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අතිනුත් මම රඟපෑම වෙනුවෙන් සම්මානයක් ලබා ගත්තා. සිංහල සිනමාවට මා කළ සේවය වෙනුවෙන් සම්මානයක් ලබා ගත්තා. සිංහල සිනමාවට මා කළ සේවය වෙනුවෙන් සජීත් පේ‍්‍රමදාස මහතා මට සම්මානයක් ලබා දුන්නා.
 
 ඔබ සම්මානීය නිළියක්. ඇයි ඔබගේ සිනමා ජීවිතය චිත‍්‍රපට හතරකට පමණක් සීමා කළේ?
 
 ගැටවරයෝ චිත‍්‍රපටයට තෝර ගනිද්දී ශේෂා පලිහක්කාර අපේ තාත්තගෙන් එකම ඉල්ලීමක් කළා. තමාගේ ගරුත්වය රැකගත හැකි චරිතවලට පමණක් ගිවිසුම් අත්සන් කරන ලෙස.
 
 එසේ නොමැතිව ලැබෙන සෑම චරිතයක් රඟපෑමට යොමු නොවන ලෙසයි ඔහු පැවසුවේ. ඔහු පිළිබඳව තාත්තා තුළ තිබුණේ විශාල ගෞරවයක්. ඔහුගේ වදන් හැම මොහොතම තාත්තා මට මතක් කර දී තිබෙනවා. හොඳම නිළිය වූ පසු මට චිත‍්‍රපට ගලාගෙන එන්නට පටන් ගත්තා. නමුත් මම ඒ කිසිම චිත‍්‍රපටයටක ගිවිසුම් අත්සන් කළේ නැහැ. මම විවාහයෙන් පසු සිනමාවෙන් සමුගත්තා.
 
 සෝබනී අමරසිංහගේ අත ගත් සැමියා ලලිත් හීන්ගම සහ සෝබනී අමරසිංහ ආදර කතාව ඉතා රසවත් එකකි. රීගල් සිනමාහලේ තිරගත වූ ර්‍ණඵහ ේසර ඛ්ාහ” චිත‍්‍රපටය නැරැඹීමට ලලිත් හීන්ගම තම මිතුරෙක් සමඟ පැමිණ සිටියේය. ඉදිරිපෙළ අසුනේ වාඩි වී සිටියේ එක්තරා රූමත් කාන්තාවකි. ඇය පැමිණ සිටියේ ඇගේ දෙමාපියන් සමඟය. ලලිත් හීන්ගම ගේ නෙත ඇය කෙරෙහි ගැටුණි. ඔහු පැතු පෙම්වතිය මෙවන් සුන්දර කාන්තාවක් නම් කොතරම් අගෙන් දැයි ඔහු සිතුවේය. ඇගේ හැඩ රුව සුන්දරත්වය හික්මීම ඔහු සිත් ගත්තේය. ඔහුගේ හද ඇඳි රුව වුයේ ඇයයි. යම් දිනක මෙවැනි තරුණියක් කරකාර බඳින්නට ඇත්තම් යන සිතිවිලි සමුදාය තුරුලූ‍කරන් සිනමාහලෙන් නික්ම ගිය ද ඔහුගේ මනසේ ඇගේ රුව සනිටුහන් වී තිබිණි. එයින් වසර කිහිපයකට පසුව ගැටවරයෝ චිත‍්‍රපටය නැරැඹීමට ලලිත් හීන්ගම පැමිණියේ ඔහු හොඳ කලා රසිකයෙක් වන බැවිනි. චිත‍්‍රපට නැරඹීම ඔහුගේ විනෝදාංශය විය. චිත‍්‍රපටය ඇරඹුණී. තිරයේ දිස් වූයේ එදා ඔහුගේ සිත්ගත් රුවයි. ඔහුට දෑස් අදහාගත නොහැකි විය. ඇසිපිය නොහෙළා ඔහු ඇය දෙස බලා සිටියේය.


 
 ලලිත් හීන්ගම යනු සරසවිය පුවත්පත ඇරඹූ දා පටන් සරසවිය පාඨකයෙකි. දිනක සරසවි පුවත්පතේ සෝබනී අමරසිංහ පිළිබඳ ලිපියක් පළවිය. ඇගේ පෞද්ගලික තොරතුරුවලට අමතරව ඇය අපේක්ෂා කරන තරුණයා කවුරුන් දැයි ඒ ලිපියේ සඳහන් වී තිබිණි. ඒ සමඟම ඇගේ ලිපිනය ද සඳහන් විය. ලලිත් හීන්ගම ඇගේ මවට ලිපියක් ලිව්වේය. එහි දක්වා තිබුණේ දියණිය සෝබනී බැලීමට හැකිනම් අවස්ථාවක් සලසා දෙන ලෙසයි. සෝබනීගේ මව ගෙන් ලලිත් හීන්ගමට ලිපියක් යවා ඇය ඒ ගැන කැමැත්ත පළා කළාය. සෝබනී අමරසිංහ ලලිත් හීන්ගම පේ‍්‍රමයට මුල පිරුවේ එලෙසිනි. 1969 දී ඔවුන් දෙපළ විවාහ විය. ඒ සමුද්‍ර හෝටලයේ දීය. ශේෂා පලිහක්කාර පුණ්‍යා හීන්දෙණිය, අනුලා කරුණාතිලක, තිස්ස නාගොඩවිතාන, නන්දා මාලිනි, ලතා වල්පොල ආදී ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් ඔවුන් දෙපළට සුබ පතන්නට විවාහ මංගල්‍යයට පැමිණියහ.
 
 ඔබ සිනමාවෙන් ඈත් වුණත් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීමට ඉඩ තිබුණා නේද?
 
 ඔව් ටෙලි නාට්‍ය කිහිපයකට රඟපෑමට මට ආරාධනා කළා. මම ටෙලි නාට්‍ය රඟපෑමට කැමැත්තක් දැක්වුයේ නැහැ. මට අවශ්‍ය වුණේ පවුලක් හැටියට හොඳ ජීවිතයක් ගත කරන්න. මගේ සැමියා පරිපාලන සේවයේ නිලධාරියෙක්. අපි විවාහ වෙලා පදිංචියට ගියේ කුරුණෑගල. ඔහු එවකට කුරුණෑගල උප දිසාපතිවරයා. ඔහු කාර්ය බහුල කෙනෙක්. අවශ්‍ය වී තිබුණෙත් රැකියාවක නිරත නොවන කාන්තාවක් විවාහ කර ගැනීමට. රඟපෑවා, සම්මාන ලැබුණා, විවාහ වුණා, යහපත් පවුල් ජිවිතයක් ගත කිරීම අප දෙදෙනාගේ අරමුණ නිසා සිනමාවට සමුදුන්නා. අප දෙදෙනාට දරුවන් දෙදෙනෙක් සිටිනවා. දුව සහ පුතා දුව දැන් විවාහ වෙලා පදිංචිය ඇමරිකාවේ. දුවට දුවෙක් සහ පුතෙක් සිටිනවා. පුතා කෝසල විවාහ වෙලා ඔහුගේ පදිංචිය කොල්ලූ‍පිටියේ. ඔහුටත් පුතෙක් සිටිනවා. දුව බොහෝ අවස්ථාවල අප දෙදෙනා බලන්නට ලංකාවට එනවා. පුතා සෑම ඉරිදාවකම ඔහුගේ බිරිඳ සහ පුතා සමඟ අප බලන්නට ගෙදර එනවා.
 
 ඔබ දෙපළගේ පදිංචිය
 
 අපි ගෙයක් හදාගෙන නාවල ුමැැබි ච්රන එකට පදිංචියට ආවා. ඇත්තටම මම කුඩා කල සිටම බුදුදහමට ළැදියාවක් දැක් වූ කාන්තාවක්. මම නිතරම කැපවෙන්නේ බෞද්ධ කටයුතු සඳහා. ධර්ම දේශනා පිරිත් දිනපතාම ශ‍්‍රවණය කරනවා. පන්සල්වලට දානය දෙනවා. බෞද්ධ ආගමික වැඩ කටයුතුවල නිතර වෙනවා. පුංචි සන්ධියේ පටන් මගේ දෙමව්පියෝ මාව බුදුදහමට නැඹුරුවයි හැදුවේ. බුදුදහමට නැඹුරුකම අනාදිමත් කාලෙක සිට මා තුළ පැවැත්වෙන්නක්. මම ලංකාවේ පමණක් නොවෙයි තායිලන්තයේ පවා වෙහෙර විහාර බෞද්ධ සිද්ධාස්ථාන නරඹපු කෙනෙක්. වර්තමානයේදී බොෟද්ධ කටයුතුවල උරදෙමින් ජීවිතය සතුටින් ගතකරනවා. මගේ සතුට එයයි. මහත්තයා ද ගත් කර්තෘවරයෙක් නිසා නිතරම පොතපත සමඟ ඇසුර පවත්වනවා. අද මම ගත කරන ජීවිතේ ගැන මම හරිම තෘප්තිමත්. චිත‍්‍රපට 4ක රඟපෑවත් හැම චිත‍්‍රපටයක් තුළින්ම සිනමාවට සාධාරණයක් මගේ අතින් ඉටුවුණා කියා සෑහීමකට පත් විය හැකියි.
 
 අද මම බිරිඳක් මවක් මිත්තණියක් ලෙස ගත කරන මේ ජීවිතය ගැන හරිම තෘප්තිමත් විශේෂයෙන් පැවසිය යුත්තේ බුදු දහමට සමීපව මගේ සෑඳෑ සමය ගත කිරීමට ලැබීමත් පුරු‍වේ කල පිනක් ලෙසයි මම දකින්නේ.