ගුවන් විදුලියේ හැටපස් වසරක් සමරන අමරසීහ වත

ජූලි 28, 2022

 
 
 ”කොළඹින් කතා කරයි‘ අතීතයේ ජනතාවට ක්ෂණිකව තොරතුරු ලබා දෙන්නට සමත් වූ එකම මාධ්‍යය වූයේ කොළඹින් කතා කළ ගුවන් විදුලියයි. වරෙක ස්වදේශීය සේවය හා වෙළෙඳ සේවය නමින් වූ සිංහල මාධ්‍ය සේවාවන් දෙක තවත් විටක පළමු සේවය හා දෙවන සේවය වුණා.
 
 

අතීතයේ සිට ජනතා හදවතට සමීප වූ ගුවන් විදුලිය පසුගිය දශක 5කට පමණ එපිට කාලයේ මුවන් පැලැස්ස, මොණරතැන්න වැනි ගුවන් විදුලි සතිපතා නාටක මෙන්ම, ළමා පිටිය, හඳමාමා, කාන්තා කවය වැනි වැඩසටහන් තුළින් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ආකර්ෂණය කර ගත්තා.
 
 ජනතාවක් ආකර්ෂණය කර ගැනීම අප සිතන තරම් ලෙහෙයි පහසු කාර්යයක් නම් නෙමෙයි. අදත් අප අතර රැව් පිළිරැව් දෙන සිංහබාහු, මනමේ වැනි එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වේදිකා නාට්‍ය පසුකලෙක වේදිකාවට පැමිණි නාටක අබිභවා මතකයේ රැ`දී ඇත්තේ එහි ආකර්ෂණ ශක්තිය නිසයි.
 
 එහිදී රංගන ශිල්පියා මෙන්ම එම වැඩසටහනට දායකත්වය දක්වන සියලූ‍ ශිල්පීන්ගේ ඇපකැපවීම මොනවට බලපානා බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැහැ.
 
 ගුවන් විදුලිය ගැන මේ කතාව කියන්නට යන විට අපට අමතක නොවන චරිතයක් ගැන කතා නොකරම බැරිවෙනවා. ඒ කරුණාරත්න අමරසිංහයන්ය. කරුණාරත්න අමරසිංහයන් මේ වන විට ගුවන් විදුලිය හා සබැඳිව කටයුතු අරඹා වසර 65ක්. අපි ඔහුගේ අතීතයත් ගුවන් විදුලිය එදා සහ අද ගැනත් ඔහුගෙන් විමසා සිටියේ ඔහු එම ක්ෂේත‍්‍රයේ පරිණතම පුද්ගලයකු නිසයි.
 
 ”1957 අවුරුද්දෙ ගුවන්විදුලි නාට්‍ය ශිල්පීන් බඳවා ගන්න ඉල්ලූ‍ම් පත් කැඳවලා තිබුණා. මගේ ලොකු ආසාවක් තිබුණා ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න. හඬ පරීක්ෂණයෙන් මම සමත් වුණා. එදා ඉදල ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් වුණා. පසුකාලයේ නාට්‍ය රචකයෙක් වගේම නිෂ්පාදකයෙක් ද වුණා. ”ගජමුතු” ගුවන්විදුලි නාට්‍යයේ ”මොරපාතොට අප්පො”ගෙ චරිතය මට අමතක වෙන්නේ නැහැ. අම්මා අප්පා දෙන්නම අකමැති තරුණියකට තමයි මොරපාතොට අප්පො පෙම් කෙළේ.”
 
 කරුණාරත්න අමරසිංහයන් ගැන බොහෝ දෙනා දන්නා කරුණුවලට වඩා ඇත්තේ නොදන්නා කරුණුය. ඔහු හෙළයේ මහගත්කරුවාණන් වූ මාර්ටින් වික‍්‍රමසිංහයන් ඇසුරු කළ බවත් වික‍්‍රමසිංහන්ගේ කෘතිවල සෝදුපත් බැලූ බවත් දන්නා අය ඇත්නම් ඒ සුළු පිරිසකි. කරුණාරත්න අමරසිංහයන් එතරම් කෘතහස්තයෙක්. එමෙන්ම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මෙන්ම මහගම සේකරද කරුණාරත්නයන්ගේ සමීපතමයන් බවට පත් වුණා. එපමණක් නොවේ අමරසිංහයන් ලේඛනයට පිවිසුණා. ඔහුගේ පළමු පොත ”ලිංගික විද්‍යාව” යි. මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ ”මඩොල් ¥ව” නවකථාව පළමුවරට ගුවන්විදුලියේ කොටස් වශයෙන් ඉදිරිපත් කරන නාට්‍යයක් ලෙස සකස් කරන ලද්දේ ද අමරසිංහයන් විසිනි.
 
 එමෙන්ම මුනිදාස කුමාරතුංගයන්ගේ ”මඟු‍ල් කෑම” ද ගුවන් විදුලියේ කොටස් වශයෙන් ඉදිරිපත් කළ නාට්‍යයක් ලෙස සම්පාදනය කරන ලද්දේ ද අමරසිංහයන් විසිනි.
 
 එමෙන්ම වේදිකා නාට්‍ය රඟපෑම ද ඔහුට හිමිවූයේ ගුවන් විදුලියේ කරන ලද නාට්‍ය සඳහා හඬ කැවීම නිසයි. ඒ අනුව ”පාදුවාවේ සිටුවරයෝ, සඳ කිඳුරු, මනමේ, හස්තිකාන්ත මන්තරේ, ගැහැනියක්, සයුරෙන් ආ ළඳ, පිටස්තරයෝ, නැංගුරම්, මහගෙදර, හිරු නැති ලොව නාට්‍යයන්හි රඟපෑමට ඔහුට හැකි වුණා. එයින් පසු ඔහු වේදිකා නාට්‍ය රචනයටත් පෙලඹුණා. සඳගෝමී, ටිකිරි ගම, හෙළ පුරාණය රචනය කළේ එහි ප‍්‍රතිඵලයක් වශයෙන්. මේ අතර ටෙලිනාට්‍ය නළුවකු ලෙසින්ද අතපොත් තැබූ ඔහු අඳුකොළ, නාඳුනන පුත්තු, ඉංගම් මාරුව, හිම වැස්ස, මිරිඟු‍ තෙර යන ටෙලි නාට්‍යයන්හිද රඟපෑවා.
 
 මේ සා පෘථුල කලා රසාඥතාවකින් හා දැනුමකින් හෙබි කරුණාරත්න අමරසිංහයන් කෘතහස්තයන්ගේ සමීප ඇසුරක්ද ලැබූවෙක්.
 
 එවන් විසාරද දැනුමකින් හෙබි ඔහු අද ගුවන් විදුලිය දකින්නේ කෙසේද? මා ඒ ගැන ඔහුගෙන්ම අසා සිටියා.
 
 ”අද තියෙන්නෙ අපි එනකොට තිබුණු ගුවන් විදුලිය නෙමෙයි. මම ළමා පිටියෙන් ආවෙ. ඒ කාලෙ ගුවන් විදුලිය ස්වාධීන ආයතනයක්. රේඩියෝ සිලෝන් නැත්නම් ශ‍්‍රී ලංකා ගුවන් විදුලිය කියලනෙ කිව්වෙ. ඒ කාලෙ ඇමැතිවරයෙක් පත්වුණහම එයාට ස්ථිර ලේකම්වරයෙක් හිටියා. ඇමැතිවරයා මාරු වුණත් ලේකම් ස්ථිරයි. ඒ තනතුර ආරම්භයේදී සිවිල් සේවාවෙන්, පසුව රාජ්‍ය පරිපාලනයෙන් පත් කෙරේ.
 
 ඒ පරිපාලනයට අනුව ගුවන් විදුලියේ අධ්‍යක්ෂ පෙනරාල්වරයාගේ කටයුතු ස්වාධීනව සිදු වුණා. ඒත් ගුවන් විදුලිය සංස්ථාවක් වුණාට පස්සෙ ඒ සියල්ල නැතිවුණා. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මුල්ව කටයුතු කළ ආයතනය සභාපතිවරයකු යටතට පත්වුණා. දේශපාලනීකරණය ආරම්භ වුණේ එතනින් පසුවයි.
 
 කොහොම වුණත් ගුවන් විදුලියේ අගය කළ යුතු යුග දෙකක් ගැන කියන්න ඕන. එකක් එම්.ජේ. පෙරේරා මහතාගේ යුගය. අනෙක රිජ්වේ තිලකරත්න මහතාගේ යුගය. මේ යුග දෙකේදි තමයි ගුවන් විදුලිය මෙරට බහුතර ජනතාවකගේ ආකර්ෂණීීය මාධ්‍යය වුණේ. ඒකට හේතුව තමයි ඒ දෙන්නම සංස්කෘතික මිනිසුන් වීම.
 
 එම්.ජේ. පෙරේරා විශ්වවිද්‍යාලයේ හදාරලා තියෙන්නෙත් පෙරදිග භාෂාව. ඔහු උසස් මට්ටමේ සාහිත්‍ය රසාස්වාදයක් තිබුණු කෙනෙක් එමෙන්ම එදිරිවීර සරච්චන්ද්‍රයන් හා එක්ව කටයුතු කළ හොඳ දැනුමක් තිබූ අයෙක්. ඒ වගේම 1970 සිට ඇරැඹි රිජ්වේ තිලකරත්න මහතාගේ යුගයත් ජනතාවට ගුවන් විදුලිය සමීව වුණේ ඔහුත් සංස්කෘතිය හඳුනන අයෙක් වූ නිසයි. ඔහුත් විශ්වවිද්‍යාලයේ සංස්කෘතිය ගැන හදාරා තිබුණා. ඔහුටත් ජනතා රසාඥතාවය ගැන හොඳ දැනුමක් තිබුණා. ඒ නිසා අසන්නන්ගේ මට්ටම ඉහළ නංවන්න ඔහුට හැකිවුණා.
 
 මම මේ යුග දෙකේම ළමා ශිල්පියෙක් හා නාට්‍ය ශිල්පියෙක් ලෙස හොඳ අත්දැකීමක් ලැබූ අයෙක්.
 
 එයින් පසුව මේ දක්වා ගුවන් විදුලිය ඉස්සරහට ගෙනියන්න පුළුවන් වුණු යුගයක් නැහැ. ක‍්‍රමයෙන් පරිහානියට පත් වුණා. එකම හේතුව දේශපාලනයයි. සංස්කෘතිය කියන්නෙ එකක් දේශපාලනය වෙනත් එකක්.
 
 ගුවන් විදුලිය කියන්නෙ සංස්කෘතික ආයතනයක්. එහි සන්නිවේදනය සිදු කෙරෙන බව සැබෑව.
 
 එදා ජනතාව ඇද බැඳගත් විනෝද සමය වැනි වැඩසටහන් අද නැහැ. විවිධත්වයක් අද ගුවන් විදුලියේ දකින්නට නැහැ. ඒ කාලයේ ළමා, කාන්තා, ග‍්‍රාමීය අංශ වෙනම තිබුණා.
 
 විශේෂයෙන්ම කියන්න ඕන වෙනම ගීත සාහිත්‍යයක් ගොඩ නැ`ගුණා. ගීත සම්භාරයක් අපට දායාද වුණා. ගුවන් විදුලිය ඒ කාර්යයට අත ගහන්න කලින් මේ රටේ තිබුණෙ හින්දි ගී තනුවලට ගායනා කිරීමයි. ස්වතන්ත‍්‍ර තනු සම්පාදනය කිරීමට ගුවන් විදුලියේ වාදක මණ්ඩලයක් ස්ථාපිත කෙරුණා. ඒ හරහා ”රසධාරා” හා ”ගීතමාලා” නමින් වැඩසටහන් දෙකක් ආරම්භ කළා. අදටත් කිසිම ආයතනයක ඒ ආයතනයට වෙන් වුණු වාදක මණ්ඩලයක් නැහැ.
 
 ඒ හරහා ගීත ක්ෂේත‍්‍රයට පමණක් නෙමේ සියලූ‍ අංශවල නව නිර්මාණ කරන්නට අවස්ථාව උදා වුණා.”
 
 ”අද ගුවන් විදුලිය පරිහානිය කරා යනවා. මේ තත්ත්වය වෙනස් කරන්න අපට බැරි වෙයිද?‘
 
 ”කාල්මාක්ස් කියලා තියෙන විදිහට රටක මිනිසුන්ගේ චින්තනය බවට පත්වන්නේ පාලකයන්ගෙ චින්තනයයි. ගුවන් විදුලියේ ආචාර්ය ධර්ම පද්ධතියක් තියෙනවා. අද ගුවන් විදුලි ක්ෂේත‍්‍රයට එන අය එහෙම එකක් තියෙනවද කියලවත් දන්නෙ නැහැ. විශේෂයෙන්ම මේ තත්ත්වය උදා වුණේ පෞද්ගලික ගුවන් විදුලිය ආරම්භ වුණාට පස්සෙ.
 
 පෞද්ගලික ගුවන් විදුලිය ආරම්භ වුණාට පස්සෙ තමයි අපේ භාෂාවටත් විකෘතීන් එක් වුණේ. ඒ බොහෝ නිවේදක නිවේදිකාවන්ගේ ශබ්ද කෝෂයේ වචන මදි. ඒ නිසා සිංහල, ඉංග‍්‍රීසි දෙකම කලවම් කරගෙන භාෂාව හසුරුවන්න ගියා. භාෂාවක් හැසිරවීමේදී ජනතාවට වඩාත් සමීප වන ලෙසින් හසුරවන එක හොඳයි, මොකද ගුවන් විදුලියට සවන් දෙන්නෙ භාෂාවෙ ප‍්‍රවීණයන්ම නෙමෙයිනෙ. භාෂා දැනුම ඇති නැති, දැනුම අඩු මේ සියලූ‍ දෙනාටම රසාඥතාවය අවශ්‍ය වෙනවා. ඒ වුණත් භාෂාවක් හැසිරවීමේදී එය නිවැරැදි විය යුතුයි, නිරවුල් විය යුතුයි. ඒ වගේම අප්පිරියා නොවිය යුතුයි.
 
 අද වෙලා තියෙන්නෙ භාෂාව දන්න අය නෙමෙයි නිවේදක නිවේදිකාවන් බවට පත්වෙන්නෙ. මමත් පෞද්ගලික නාලිකා හා සම්බන්ධව කටයුතු කරල තියෙනවනෙ. නමුත් ඇත්තටම වරද තියෙන්නෙ පාසල් විෂයෙන් ඉතිහාසය හා සාහිත්‍ය ඉවත් කිරීමයි. ඉතිහාසය හා සාහිත්‍ය දැනුම අහිමි පරපුරක් තමයි අද ඉන්නෙ. ඒක එයාලගෙ වරදකුත් නෙමෙයි.
 
 මේ තත්ත්වය වෙනස් කරන්න නම් අපි නිතරම කියන ”සිස්ටම් චේන්ජ්” එකක් කරන්න ඕන. ඒක පාසල් පද්ධතියෙන්ම පටන් ගත යුතු වෙනව. එහෙම නැතුව මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ.
 
 කියුබාවෙ පිදෙල් කැස්ත්‍රෝ කිව්වා රටක නායකයො දාර්ශනිකයො විය යුතුයි කියලා. අපිට පැහැදිලියිනෙ එහෙම නොවුණොත් මොකද වෙන්නෙ කියලා.”
 
 විදෙස් රටවල ගුවන් විදුලි සේවාවන් අදටත් ඉතා ජනප‍්‍රිය තත්ත්වයක ඇත්තේ රූපවාහිනිය පමණක් නොව ජංගම දුරකථනයද සුපිරිම සන්නිවේදන මෙවලමක්ව තිබියදී. එයට හේතුව ගුවන් විදුලිය ජනතාවගේ අවශ්‍යතා අනුව කටයුතු කිරීමයි. අපේ ගුවන් විදුලි සේවාවද ඒ අනුව නොගියහොත් සිදුවන්නේ අනාගතයේ කොළඹින් කතා නොකර සිටීමට බව අප තේරුම් ගත යුතු බව පසක් කළ යුතුයි.