වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
සංගීතය නිර්මාණයේ හැඟීමට බද්ධ කරන්නේ දැනුම් පද්ධතියක් සමඟයි

‘නවා‘ යන ආදරණීය සන්නාමය හිමි ඉමිහිරි සත්සර රටා මවන්නා ඔහුය. වේදිකා, සිනමා, රූපවාහිනී, ගුවන්විදුලි නිර්මාණ සඳහා ඔහු ගෙත්තම් කළ ඒ සුමියුරු නාද රටා දහස් ගණනක් අතරින් සරසවිය සිනමා සම්මාන උලෙළ, ජනාධිපති, සිග්නීස්, රාජ්‍ය සම්මාන ප‍්‍රධාන අනෙකුත් උලෙළවලදී ඇගැයීමට ලක් වූ නිමැවුම් ද බොහෝය. වේදිකාවේ සහ හෙළ සංස්කෘතියේ උන්නතිය වෙනුවෙන් ඔහු කළ මෙහෙවර අගයනු වස් ජපන් රජය විසින් ඔහු බුන්කා සම්මානයෙන් පුදනු ලැබීය. මේ සරසවියගේ වරදායක හස්තයේ පහස නොමඳව ලබන්නට උරුමකම් කී ප‍්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ සරසවිය සමඟ කළ කතාබහකින් බිඳකි.
මේ දවස්වල ඔබේ කටයුතු අන් කලාකරුවන්ට වඩා වෙනස් ?
ඇත්තෙන්ම මේ කාලේ බොහොම වැඩ තිබුණා කරන්න. සනත් ගුණතිලකගේ සහ සුදත් දේවප‍්‍රියගේ අලූතෙන් නිර්මාණය කරන චිත‍්‍රපට දෙක සඳහා සංගීතය නිර්මාණය කරන්න තිබුණා. ජයන්ත චන්ද්‍රසිරිගේ අලූත්ම ටෙලි නාට්‍යය ‘නන්නත්තාර‘ සංගීතවත් කළා. සුදත් රෝහණගේ මාණික්කාවතටත් සංගීත අධ්‍යක්ෂණය කළානේ.වැඩියෙන් මහන්සි වෙන්න සිදු වුණේ ඒවාට තමයි. ඒ හැරුණාම සුපුරුදු පරිදි වෙනත් ගීත රචකයන්ට, අලූත් පරපුරේ ගායක ගායිකාවන්ට, පිටරට ඉන්න අපේ අයට ගීත නිර්මාණ ආදිය කිරීම සඳහා ශබ්දාගාරයට වෙලා ඉන්න සිදු වුණා. (සිනාවකි) එයට මගේ බිරි`දත්, දරුවන් දෙදෙනාත් බෙහෙවින් සහයෝගය දුන්නා.
ඒ කියන්නේ කොරෝනාව සමඟ පටන්ගත් ව්‍යාකූල සමය ලොකුවට බලපාලා නෑ වගේ?
ඇත්තටම මට ඒක දැනුණෙ නැහැ. මම වැඩිපුරම වැඩ කළේ කොරෝනා වසංගත කාලේ කීවොත් හරි. ඒකට හේතුව ලංකාවේ වගේම පිටරටවල මිනිස්සු එකතැනක කොටුවුණානේ. ඒ එක්කම මිනිසුන්ට තේරුණා නිර්මාණ ජීවිතයෙන්ම තමයි බොහෝ දේවල් සොයාගන්න තිබෙන්නේ කියලා. යාන්ත‍්‍රික බව නැවතුණා. විවේක බුද්ධිය ලැබුණා. කෙතරම් දුක් කරදර ආවත් පොත පත කියවන්න, තමන්ගේ නිර්මාණ වැඩිදියුණු කරන්න යොමු වුණා. ඒ නිසා මේ ව්‍යසනය සමඟ ජීවිතයේ යථාර්ථය, නිස්සාරත්වය පිළිබඳ කතා කරන්න පටන් ගත්තා. ඉතින් මට විතරක් නෙවෙයි බොහෝ පිටරට සංගීතඥයන්ට පවා අම්මා, තාත්තා ගැන, ආදරය, ජීවිතය, දරුවන් ගැන, පරිසරය, කොරෝනාව නිසා මිනිසුන්ට අහිමි වුණු දේවල් වැනි මඟහැරුණු බොහෝ දේ පිළිබඳ නිර්මාණ කළ යුතු බව අවබෝධ වුණා. මෙය ඇත්තටම වෙනම කතා කළ යුතු සුවිශේෂී තත්ත්වයක්. ඉතින් අපිත් ශබ්දාගාරයේ බොහෝ පරෙස්සමින් ආරක්ෂා සහිතව වැඩ කළා. මට කොරෝනා වැලඳුණා තමයි. ඒත් ඒ පිටින්. ශබ්දාගාරයේ සිටින පැය හත අට කියන්නේ අපි ඉතා ආශාවෙන් ගෙවන කාලයක්නෙ. ඉතින් කොරෝනා තත්ත්වය යටතේ පමණක් නෙවෙයි, මේ අරගල කාලයේ වුණත් අපට එය පටන්ගන්නකොටම අවබෝධ වුණ නිසා මම නම් කළේ නිර්මාණ කරන එකම තමයි.
එහි තේරුම?
සමස්තයක් ලෙස අපේ රටේ වරින් වර දකින්න තිබුණේ මිනිසුන්ගේ ජීවිත අහිමි වුණ එක. 71දි මැරුණා, 80 ගණන්වල කීපවතාවක් නැති වුණා, යුද්දෙදි මැරුණා. මේ විදිහට අරගල, කැරලි, ඊළාම්වාදය වැනි දේ නිසා රටට මහා මිනිස් ප‍්‍රජාවක් අහිමිවුණා. මෙවරත් මම දුටුවේ එවැනි මතුවීමක්. එයට හේතුව අපේ අධ්‍යාපන ක‍්‍රමය තුළ තිබෙන විශාල අර්බුදය. තරුණ තරුණියන්ට අලූත් ලෝකයට පය තබන්න, ලෝකය අත්පත් කරගන්න, තමන්ගේ ආශාවන් මුදුන් පත් කරගෙන හොඳින් ජීවත් වෙමින් අලූත් සංස්කෘතියට ඇතුළත් වීමේ අවස්ථාව අපේ අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහි වුණේ නෑ. එය මගේ ප‍්‍රධානම අධ්‍යයනයන්ගෙන් එකක්. මටත් මගේ ජීවිතය ගොඩ ගන්න පුළුවන් වුණේ විශාල පහසුකම් මත නොවේ, අධ්‍යාපනයෙන් කියන එක ඉතාම පැහැදිලියි. අපට පෙර පරම්පරා වැඩ කළේ කොහොමද කියන දේ පිළිබඳ අවබෝධය, පොත පත කියවීමෙන් ලබන දැනුම, ඇති කරගත් සම්බන්ධතා ජාලය අනුව පුද්ගලයකුගේ ඥානය ලොවට යන්නේ කෙසේද යන්නත් එක්ක ප‍්‍රායෝගිකව වැඩ කරද්දි මට දැනුණා බොහෝ දේ ජයගන්න පුළුවන් වන්නේ හොඳින් කැපවීමෙන් ලබන අධ්‍යාපනය මතමයි කියන දෙය.
අපටත් තිබුණා තරුණ අවධියේ අපේ අරමුණු සොයා ගැනීම පිළිබඳ ප‍්‍රශ්නයක්.
මම ඉගෙන ගත්තේ ශ‍්‍රී රේවත මහා විද්‍යාලයේ. 70 දශකයෙත් මුලම අපි හරි පොඩියි. රටේ කැරැල්ලකුත් ඉවර වෙලා රේඩියෝවෙන් ඇහෙන දේවල් සහ ඇඳිරි නීතය දාලා තිබුණ බවට යන්තම් මතකයක් තියෙනවා. හමුදා වාහන පාරේ යනවා අද වගේම. ඇඳුම් පැලඳුම් කෑම බීම පිළිබඳ ප‍්‍රශ්නය, සමාජයේ තිබුණු දරිද්‍රතාවය අද වගේම තමයි. අපි කුඩා කාලෙම ඒ තත්ත්වය හොඳට විඳෙව්වා.
හැබැයි අපේ තාත්තලා සමාජය පිළිබඳ හොඳ දැනුමකින්, විමර්ශනාත්මක ඥානයකින් මැතිනිය කියන්නේ කවුද? විජේවීර කියන්නෙ මොනවගේ කෙනෙක්ද? ආදිය ගැන සාකච්ඡුා වෙනවා.
තාත්තා (විල්සන් පාඬිගමගේ) කොමියුනිස්ට් පැත්තට බර කෙනෙක්. ඔහු මේ තිබෙන කැරලි අස්සේ අපේ හිත් කොහොමද ආරක්ෂා කරන්න ඕනෙ කියන කටයුත්ත කළා. මම පවුලේ වැඩිමලා. මට නංගිලා දෙන්නයි, මල්ලිලා තුන්දෙනයි. අපේ අම්මා (හේවාවත්තගේ දොන් සීලවති) භාර්යාවගේ වගේම මවගේ කාර්යය, වගකීම් සහිතව ඉවසා දරාගෙන ඉටු කළා. තියෙන දෙයක් රහට කන්න බොන්න හදලා දෙනවා. ජීවත් වෙන්න උගන්වනවා. ඒ කාලෙ පොදු සමාජයම පොතට පතට ඇලූම් කළා. අපට ළඟම මාධ්‍යය ගුවන්විදුලිය. එය හරිම අධ්‍යාපනිකයි. ඒ කාලේ ගෙදර තිබුණු එකම පුවත්පත ඇත්ත පත්තරේ. තාත්තලා එහි පළවන දේවල් ගැන කතා වෙද්දි අපේ පොඩි ඔළුගෙඩිවලට ඒ අදහස් කාන්දු වුණා. ඒත් අද ඇත්ත බොරුව හොයාගන්න බැරි තරම් සන්නිවේදන ආයතන බිහිවෙලා. මිනිස්සුන්ගේ ජීවන රිද්මය ඕපා¥ප බවට පත්වෙලා. එතැනින් තමයි අද මේ ප‍්‍රශ්න මතු වෙන්නේ.
පාසල් අවධියෙන් පසු?
පාසැල් අධ්‍යාපනය හමාර වුණ හැටියේ අපටත් අරමුණු සොයාගැනීමේ අවශ්‍යතාව දැඩිව ඇති වුණා. අපේ ඉදිරියේ තිබුණු ප‍්‍රශ්න පත්තරේ ජීවිතේ වගකීම්සහගතව පටන්ගන්නේ කොතැනින්ද යන්නයි. ගෙවල් දොරවලට යුතුකම්, වගකීම් වැඩි වෙද්දි, නංගිලාගේ මල්ලිලාගේ අනාගතය හදන්නේ කොහොමද මගේ අනාගතය හදාගන්නේ කොහොමද කියන සිතිවිලිවලින් හිත බරවෙන්න ගත්තා. මොකද ඒ කාලේ තිබුණු විදිහට වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ නීතීඥයෙක් නොවුණොත් සමාජයේ උසස් තැනකට එන්න අමාරුයි. හැබැයි අපේ ගුරුවරු ඒ මතවාදය අපට කා වැද්දුවේ නෑ. මම සාමාන්‍ය පෙළටවත් උසස් පෙළටවත් සංගීතය හැදෑරූ කෙනෙක් නෙවෙයි. මගේ අරමුණ වුණේ සංගීතඥයකු වීමට වඩා තේ කර්මාන්තයට අදාළ වූ යාන්ත‍්‍රික විෂයයක් ඔස්සේ යෑම. ඒ නිසා කලම්බු කමර්ෂල් ඉංජිනේරු ආයතනයේ පාඨමාලාවකට ගියා. එය තිබුණේ හුණුපිටිය ගංගාරාමයේ. ඊට එහා පැත්තේ බේරේ වැව, මෙහා පැත්තේ පුස්තකාලය, වටේට තිබුණේ සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය, බි‍්‍රතාන්‍ය කවුන්සිලය, ඇමෙරිකානු මධ්‍යස්ථානය. ඒ කාලේ තානාපති කාර්යාලවලින් හරියට චිත‍්‍රපට දර්ශන, සංගීත වැඩසටහන් සංවිධානය කරනවා. ඉතින් අපි පුහුණුවීම් ඉවර වෙලා හවසට ඒවා නරඹද්දි ජීවිතය, කලාව, දේශපාලනය ගැන අපේ දැනුම තවත් ඔපමට්ටම් වෙන්න ගත්තා. සාහිත්‍ය ලෝකය හඳුනා ගන්න ලැබුණා.
ඒ වගේම අපේ නිවෙස පිහිටලා තිබුණේ ගංගොඩවිල. ඉතින් ලැවීනියා, ක්වීන්ස්, මෙට්‍රො වගේ චිත‍්‍රපට ශාලාවලටත් සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි, හින්දි හොඳ චිත‍්‍රපට එනවා. අපි ඒවා මඟ හරින්නේ නෑ. වේදිකා නාට්‍ය වුණත් එහෙමයි. ඒ ළඟම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ඒ පිටිපස්සේ භාවනා මධ්‍යස්ථානය, හතේ කණුවේ පල්ලිය, එහායින් සුභද්‍රාරාම රජමහා විහාරය, තව පොඞ්ඩක් ඉස්සරහට ගියාම සුනේත‍්‍රා දේවි පිරිවෙණ. මේ සියල්ලට සම්බන්ධ යූඑන්පී, ශ‍්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට් ඕනෙම පක්ෂෙකට අයත් පිරිස ප‍්‍රදේශයේ වැඩවලදි හරි ප‍්‍රබෝධයෙන් සහභාගී වෙනවා. මළ ගෙදරකදි වුණත් කටයුතු කරන්නේ හරි එකමුතුවෙන්. ඒ අතර සංවාද කෙරෙනවා. හැබැයි රණ්ඩු වෙන්නේ නෑ. මොකද හැමෝටම තමන්ගේ තර්කය වෙනුවෙන් කතා කරන්න කරුණු තිබෙන නිසා. අපේ ගේ පිටිපස්සේ බාලිකා නිවාසයක් තිබුණා. එහි හැම විටම නැටුම් ගැයුම් වැයුම් තිබුණා. රජයේ චිත‍්‍රපට අංශයෙන් ගෙනැත් වාර්තා චිත‍්‍රපට ආදිය පෙන්නුවා. මම මුල්ම වතාවට සිරි ගුණසිංහයන්ගේ රන්වන් කරල් වාර්තා චිත‍්‍රපටය නැරඹුවේ එහිදියි. ඒ එක්කම එවැනි චරිත පිළිබඳ හිතන්න පුරුදු වුණා. සින්දු කියන්න පුළුවන්කමක් තිබුණ නිසා ආසාවකුත් ඇති වුණා. පිට රට යන සිතිවිල්ල වෙනස් වෙලා සංගීතය පිළිබඳ අරමුණක් සිතෙහි පහළ වෙන්න ගත්තා. ඒ නිසා සති අන්තයේ නිවාඩුවට බී. වික්ටර් පෙරේරා සර්ගෙ සංගීත පන්තියට සහභාගී වුණා. කේමදාස මාස්ටර්ගේ සංගීත මංජරියට ගියා. පණ්ඩිත් අමරදේවයන් ප‍්‍රංශ තානාපති කාර්යාලයේ පවත්වාගෙන ගිය පන්තියට සහභාගී වුණා. සෝමලතා (සුබසිංහ) මිස්ගේ වැඩමුළු, නන්දා මාලිනියගේ පන්තිවලට සහභාගී වුණා.
ඔබ මුලින්ම කල එළි දකින්නේ කරළියෙන් ?
ඔව්.රෙජිනෝල්ඞ් ජයමාන්න මහත්මයා අපේ රැකියා ආයතනයේම ඉහළ තනතුරක් දැරුවේ. ඔහු මගේ මේ ස්වභාවය දැකලා ඔහුගේ ‘විකල් සමයම‘ නාට්‍යයේ මිත‍්‍රසේනගේ චරිතය රඟපාමින් ගීතයක් ගායන කරන්න කැමැතිද ඇහුවා. කෝකිලානි බෙනරගම තමයි මා එක්ක රඟපෑ නිළිය. රේණුක වෙලබඩ තමයි සංගීතවත් කළේ. ‘මගේ පුංචි ලෝකේ‘ කියන ගීතය තමයි මම ගැයුවේ.
ඒ අතර අපි ක‍්‍රියාශීලීව කටයුතු කළා. මහජන පුස්තකාලයේ එකතු වෙලා නිර්මාණ සංවාද කුලකය පිහිටුවා ගත්තා. මහාචාර්ය සුචරිත ගම්ලත්, පියසීලි විජේගුණසිංහ වැනි අය මුල්කරගෙන අලූත් දේවල් කතා කරන්න මඟක් හැදුවා. ඒ සමඟ විකල්ප පුවත්පත්වල බිහිවීම අලූත්ම සමාජ සංස්කෘතික මැදිහත්වීමක් බවට පත් වුණා.
මහාචාර්ය සරච්චන්ද්‍රයන්, ගුණදාස අමරසේකරයන් කරන විවේචන අහන්න ලැබුණා. පසුව ගුවන්විදුලියේ නාඩගම් ගී ගායනයෙන් බී ශ්‍රේණියේ සාමර්ථ්‍යයක් ලබාගත්තේ සරච්චන්ද්‍රයන්ගේ සිංහල ගැමි නාටකය පොත ඇසුරින් බව කීවාම ඔහු මගෙන් ‘භවකඩතුරාව‘ට සම්බන්ධ වෙන්න කැමතිද කියා ඇසුවා. මම ගියේ මගේ කලා දැනුම වැඩිදියුණු කරගන්න. අවසානයේ මනමේ, සිංහබාහු, ලෝමහංස, පෙමතො ජායතී සොකො, මහාසාර වගේ නාට්‍යවල අවුරුදු හතක් පමණ සින්දු කියන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ නාට්‍ය තිබුණේ සති අන්තවල නිසා රැකියාවත් බේරගෙන නාට්‍යවලටත් සහභාගී වෙන්න පුළුවන්.
ඔය අතර සරත්චන්ද්‍ර වල්පොළගේ කෙටි නාට්‍යයක සංගීතය කරන්න මට ලැබුණා. ඒ අතරම දීප්ති කුමාර ගුණරත්න විරාගය සහ පිටස්තරයා චරිත දෙක ඇසුරින් කළ ‘නිරුවත‘ වේදිකා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරන්න මට කතා කළා. මම මගේ සියලූ දැනුම යොදවලා සංගීතය නිර්මාණය කළා. ඉන්පසු මට වේදිකා නාට්‍ය සියයක පමණ සංගීත අධ්‍යක්ෂණයට අවස්ථාව ලැබුණා. ආචාර්ය ජයලත් මනෝරත්නගේ ”කනේරු මල්” නාට්‍යයේ සංගීතය නිර්මාණය කෙරුණේ ජන සංගීතය ඇසුරින්. ”සුදුරෙදි හොරා” සන්දේශ කාව්‍ය ඇසුරින්. ‘ලෝකය තනි යායක්‘ නිර්මාණය වුණේ මහගමසේකරයන්ගේ පොත් ඇසුරින් කවියකුගේ සමාජීය ගමන් මඟ පෙන්නුම් කරන්න. ‘හඬ නිහඬ‘ ග‍්‍රැමෆොන් යුගය ගැන. ඔහු අවසාන වශයෙන් කළේ ‘වන ළැහැබ‘. එය වේදිකාගත වන්න කලින් ඔහු මෙලොවින් සමු ගත්තා. මේ සියල්ලටම කළ සංගීතය නිසා මාව යම් ඇගැයීමකට ලක් වුණා. ඒ සියල්ලට මගේ සංගීත අධ්‍යාපනය වගේම පී.වී. නන්දසිරි, ජයන්ත අරවින්ද, හර්ෂ මාකලන්ද, රෝහණ වීරසිංහ, එම්. ආර්. චූලසිංහ වැනි සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සහාය සංගීත අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් ලැබූ ප‍්‍රායෝගික දැනුම හේතුවුණා.
ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවකත්, චිත‍්‍රපටවලත් සංගීත අධ්‍යක්ෂණයට අවස්ථාව ලැබුණා?
ඔව්. මේ වෙද්දි ටෙලි නාට්‍ය දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට සංගීතය සපයලා තිබෙනවා.
මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස යසනාත් ධම්මික බණ්ඩාර මුණගැසීම හඳුන්වන්න පුළුවන්. ඔහු තමයි ‘සුවඳ මල් රේණු පිසගෙන‘ ගීතයට සංගීතය කරන්න මට කීවේ. ඒ වගේම මට ඒ වැඩවලින් මිදෙන්න ඉඩනොදී ලොකු බලපෑමක් කරලා ආපසු අල්ලගෙන ඉන්නේ ඔහු. ‘ගාන තෙල් සඳුන්‘, ‘වලාකුළු පෙළින් බසින්න‘, ‘අර මෝදු වෙලා එන‘ ගීත හතරම එකපිට ජනප‍්‍රිය වුණා. ඒ එක්කම උපුල් ශාන්ත සන්නස්ගල ලියූ ‘ඔබ එන්න‘, අශෝක හඳගම ලියූ ‘දැන් ඉතින් වෙන කුමක් කරන්නද‘ වැනි කතාවක ස්වරූපයේ ගීතවලට යෙදු තනු ජනප‍්‍රිය වුණා. මේ වන විට ගීත තුන් දහසකට පමණ සංගීතය සපයා තිබෙනවා.
ඒ එක්කම මට මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ඞී.බී. නිහාල්සිංහ, සුමිත‍්‍රා පීරිස් මහත්මිය වැනි අය පවා මුණ ගැහුණා. මම පොඩි කාලෙ චරිත ලෙස අධ්‍යයනය කළ අය සමඟ එකට වැඩ කරන්න ලැබීම දෛවයේ හාස්කමක් වගේ. ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, අනුරුද්ධ ජයසිංහ, ඉනෝකා සත්‍යාංගනී, චන්ද්‍රරත්න මාපිටිගම හතරදෙනාම මට එකම කාලෙක චිත‍්‍රපටවලට සංගීත අධ්‍යක්ෂණයට කතා කළා. ඉන් ඉස්සර වුණේ ඉනෝකාගේ සුළං කිරිල්ලී. ඊට පසු චිත‍්‍රපට හතළිහක පමණ සංගීතය කරන්න අවස්ථාව ලැබුණා. වේදිකා, ටෙලි නාට්‍ය, චිත‍්‍රපට සංගීතය සඳහා සම්මාන ලැබුණා. මේ සියල්ල මම මුලින් සඳහන් කළ අධ්‍යාපනයට සම්බන්ධයි. අපට බලෙන් පැටවූ අධ්‍යාපන ක‍්‍රමය නිසා ළමයින්ට තමන් අකැමැති දේ ඉගෙන ගන්න සිදු වෙලා තිබෙනවා. ඒත් තමන්ගේ අනාගතය දීප්තිමත් බව පැහැදිලි වන අධ්‍යාපන ක‍්‍රමයක් තරුණ පිරිස්වලට තිබෙනවා නම් වර්තමානයේ පවතින අර්බුද, අරගල හට ගන්නේ නැහැ. අද පරිගණකය සහ ඉංග‍්‍රීසි ඉහළින් වැජඹීමත් සමඟ සංගීතයේ පවා වර්ධනයන් තිබෙනවා. දේශපාලනයේත් අලූත් කියවීම් දක්නට ලැබෙනවා. අපේ පරම්පරාවලට එය අත්පත් කරගන්න ලැබුණේ නෑ. අපි හැමදාම කඳුළු ගෑස් කන, බැටන්පොලූ පහර කන, හිරගෙවල්වල ලගින තුවාලකරුවන් බවට පත් වුණා. එයට හේතුව එකිනෙකා පක්ෂ පාට අනුව බෙදී සිටීම. අපේ පරම්පරාවන් දේශපාලනයට පාවිච්චි වුණා. වම කියන්නේ සම්පූර්ණයෙන් වෘත්තීය සමිති සහ ඉල්ලීම් කරන පිරිසක් මිස අලූත් විදිහට හිතන පිරිසක් බවට පත් වුණේ නැහැ.
සමසමාජ පක්ෂෙ තරුණ සමිතිවල වැඩකරලා අත්දැකීමෙන් මම මේ කියන්නේ. මේක ලොකු කතාවක්. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වරක් අපට කියා දුන්නා ව්‍යසන අවස්ථාවක අඩුම වියදමකින් ශරීර සෞඛ්‍ය පවත්වා ගන්නේ කොහොමද කියලා. එහෙම නැතිව ව්‍යසනයකදි සෞඛ්‍ය අමාත්‍යාංශයට පහර දෙන එක නෙවෙයි විය යුත්තේ.
ඔබේ ප‍්‍රසංග සහ සන්ධ්වනි ගැනත් දැනගන්න කැමැතියි?
මට සංගීත අධ්‍යක්ෂණය කරන්න කියා ආරාධනා කළ කිසිම කෙනකු සමඟ ඊට පෙර මගේ කිසිම දැනහැඳුණුම්කමක් තිබිලා නෑ. ඒ සියල්ලන් මට අහම්බෙන් හමු වුණේ. මම කිසි කෙනකුගෙන් වැඩ ඉල්ලගෙන යන්න කැමැති නැහැ. ඉතින් මම ඔහොම වැඩ කරගෙන යද්දි නාට්‍යවලට සම්බන්ධ සඳරුවන් සේනාධීරයි, විශේෂයෙන් අමිත්ත වීරසිංහයි, ධම්මික පෙරේරායි, කුමාර ලියනගේයි, රොහාන් සමරදිවාකරයි, ඉමාන් පෙරේරායි එකතුවෙලා මගේ නිර්මාණවලින් ප‍්‍රසංගයක් කරමු කීවා. මගේ ළඟ සල්ලිත් නැහැ. හැබැයි මට වැඬේ ‘නීට් එකටත්‘ ඕනෙ. ඉතින් අමිත්ත තමයි හැම දෙයක්ම ඉවසගෙන ‘සඳ එළියෙන් දෝතක්‘ ප‍්‍රසංගය සැබෑවක් කළේ. මාව මවිතයට පත් කරමින් මම වැඩ කළ නාට්‍යවල සියලූ දෙනා මා වෙනුවෙන් ඒ ප‍්‍රසංගයට සහභාගී වුණා.
පනාමුරේ ඇත්ගාල ප‍්‍රතිසංස්කරණ කටයුතු කළ ශ‍්‍රී ලංකා පොලීසියේ සේවය කළ සමන් රත්නායක සමඟ එහි ගිය වෙලාවේ මට දැනෙන්න ගත්තා වනාන්තරයෙන් අපට දැනුම එන බව. බුදු හාමුදුරුවොත් වැඩ හිටියේ කැලයක, මේ දේවල්වලට ඇතාගේ තිබෙන සම්බන්ධය ගැනත් හිතෙන්න ගත්තා. ආපසු එන අතරෙදි හුස්ම, කැලය සහ ඥානය කියන කරුණු තුන එකතු වුණු සංධ්වනියක් හිතේ මැවෙන්න වුණා. ඒක තමයි ‘පනාමුරේ කුංචනාද‘ ලෙස බොහොම වෙහෙස මහන්සියෙන් එළි දැක්වුයේ. ඒත් ඒ වකවානුවේ රටේ තිබුණු තත්ත්වය නිසා එය නිසි අයුරින් ප‍්‍රචලිත කරන්න බැරිව ගියා. කොහොම වුණත් මගේ ගමන් රේඛාවෙදි ආත්ම තෘප්තිය වෙනුවෙන් කළ දෙයක් එය. ආචාර්ය රත්නශ‍්‍රී විජේසිංහ, සුනිල් විජේසිරිවර්ධන, මනුබන්ධු විද්‍යාපති, ආරියවංශ ධම්මගේ, සුනීතා පෙරේරා ඇතුළු බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් වෙහෙස වුණා.
ඒ වගේම සිදුහත් කුමාරෝත්පත්තියේ සිට බුදු හිමියන්ගේ පරිනිර්වාණය දක්වා ජයන්ත චන්ද්‍රසිරි කළ ‘ධම්ම‘ නිර්මාණයටත් මට සංගීත අධ්‍යක්ෂණයට අවස්ථාව ලැබුණා. ඒ හා සමානවම දිලීප අබේසේකර අන්තර්ජාතික වෙසක් වැඩසටහනට පිටරැටියෙක් ගුවන් තොටුපළේ සිට සංචාරයක නිරත වෙද්දි ‘බුදුන් දැකීම‘ සිදුවන ආකාරය දක්වන්නට රචනා කළ මුද්‍රානාට්‍යය සංගීතවත් කළා. එහි නර්තන වින්‍යාසය රවිබන්ධු විද්‍යාපතිගේ.
ඔබ සංගීත ගුරුවරයෙක්?
හොරණ ශ‍්‍රී පාලි මණ්ඩපයේ සංගීතය පිළිබඳ දේශන පවත්වන අතර විශ්වවිද්‍යාලවල අධ්‍යයනයට සුදුසු ලිපි ආදිය සැකසීමෙන් අධ්‍යාපන ක‍්‍රමවේදයේ යම් වෙනසක් කරන්න හැකි වීම සතුටක්. ඒ වගේම ඇගලූම් ක්ෂේත‍්‍රයේ නියැළි පිරිසට රියැලිටි ක‍්‍රමයේ වැඩමුළු කරන අතර අධ්‍යාපනය ලබා දීමට හැකි වීමත් හිතට සතුටක් ගෙනෙනවා.
වර්තමානයේ භාවිත වන ස්වාභාවික සංගීත භාණ්ඩ හා තාක්ෂණික සංගීතය පිළිබඳ මොකද හිතන්නේ?
මූලිකවම ස්වාභාවික භාණ්ඩ හා තාක්ෂණික භාණ්ඩ ලෙස වෙන් නොකර මිනිස් හැඟීම් උද්දීපනය කරන්න ඒවා මුසු කරගන්නා ආකාරයයි සිතන්න ඕනෙ. සංගීතය සිතට දැනෙන ලෙස නිර්මාණය කිරීම සීමා වෙන්නේ නිෂ්පාදන සීමාවෙදි. චිත‍්‍රපට, ටෙලි නාට්‍ය ආදියෙදි නිෂ්පාදකවරුන්ගේ සීමාවලට සියලූ ක්ෂේත‍්‍ර කොටු වනවා. මම එහිදී කරන්නේ ඒ සීමාවේ නොරැඳී තාක්ෂණය සහ ස්වභාවික භාණ්ඩ ආදි සියල්ල එකතු කර මගේ සිතේ උපදින ශබ්දය කෙසේ හෝ නිර්මාණයට ගෙන ඒමයි. නිදසුනකට වයලීන විස්සක් අවශ්‍ය අවස්ථාවක ඒ සඳහා නිෂ්පාදන සීමා එනවා නම් මම එයට තාක්ෂණය යොදාගෙන මට ලබා දිය හැකි උපරිමයටත් එහා දායකත්වයක් සපයනවා. සමහර විට නිෂ්පාදක අංශයෙන් එය තේරුම්ගෙන සාධාරණයක් කරන අවසථා තිබෙනවා. මම සංගීතය නිර්මාණයේ හැඟීමට බද්ධ කරන්නේ යාන්ත‍්‍රිකව නෙවෙයි. යම් කිසි දැනුම් පද්ධතියක් සමඟයි.
අද ගීපද රචනා ගැන ඔබේ අදහස?
බොහෝ දුරට අද ගීතරචනාවලදි අත්දැකීම සහ වස්තු විෂයය හොඳ වුණාට භාෂාව සහ ආකෘතිය සම්බන්ධ ගැටලූ පවතිනවා. අනෙක අද බොහෝ දුරට තේමා වන්නේ ආදරය විරහවම පමණයි. ඉන් එහා ගිය දාර්ශනික සංකල්ප මතු වන්නේ නෑ. එයට හේතුව පෙර පරම්පරාවල සිටි මානවසිංහලා, සේකරලා වැනි අය කවියෙන් පෝෂණය වූවා. අද නවකයන් හිතේ තිබෙන දේ ලියාගන්න ගියාම සංකල්ප රූප ව්‍යංග්‍යාර්ථ ආදියෙහි භාෂාව ගැළපීමේදී යම් තැනක හිර වෙනවා. එය අභ්‍යාසය සහ අධ්‍යයනය මඟින් දියුණු කළ යුත්තක්.
අනෙක බොහෝ අය ගීත ලියන්නේ නව මාධ්‍යවල. ඒවාට ලැබෙන ප‍්‍රතිචාරවලින් සැබෑ විචාරයක් නිර්මාණයට සිදු වන්නේ නෑ. හොඳ නිර්මාණ තිබෙන්නේ අඩු ප‍්‍රතිශතයක්. අනෙක් බහුතරයක් තිබෙන්නේ කුලල් කා ගන්න මට්ටමේ. අනෙක අපි තේරුම් ගන්න ඕනෙ විව්ස් ගාණයි මාර්කට් එක කියන දේයි අගයන විදිහක් තිබෙන බව. විව්ස්, රේටිං, කමෙන්ට්ස් වැඩි වුණාම මමයි ගායකයා, මමයි ගීත රචකයා කියන සිතිවිල්ලට ඇවිත් පිළිගැනීම වැඩියි කියා හිතනවා. හැබැයි ඔවුන්ගේ ගී පෙළ ගත්තාම තිබෙන්නේ හතරයි පහයි. ඒත් ජෝතිපාලලාගේ ගීත දහස් ගණනක් තිබෙනවා. එනිසා මේ දේවල් මම දකින්නේ අපේ අධ්‍යාත්මය, අපේ ඇතුළාන්තය විනාශ කරන්න ආ දේවල් හැටියටයි. අද සියලූ සන්නිවේදන පද්ධතිවල තිබෙන දේවල් රටේ දේශපාලනයට පවා බලපානවා. කිසිම දෙයක් පිළිබඳ නිසි විමසීමක් මාධ්‍ය මඟින් කෙරෙන්නේ නෑ. එයින් සිදු වන්නේ සත්‍ය අසත්‍ය අතර දෝලනය වෙමින් ජනතාව විනාශයට යන එකයි.
රියැලිටි වැඩසටහන්වලින් බොහෝ ගායක ගායිකාවන් බිහිවන යුගයක් මෙය?
අද රියැලිටි වැඩසටහන් තිබෙනවා. ඒ වගේම ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනයත් තිබෙනවා. එයින් තරගකාරීව බිහිවන්නේ සංගීතය පිළිබඳ ශාස්ත‍්‍රීය අධ්‍යාපනයක් ලැබූ අයද රියැලිටි පරපුරේ අයද යන්න අප විමසිය යුතුයි. මගෙන් තනු නිර්මාණය කරගත් පන්දහසක් පමණ දෙනා ගෙන බැලූවොත් සමහරු ත‍්‍රීරෝද රථ රියැදුරන්, විනිසුරුවරුන්, වෛද්‍යවරුන්, සල්ලිබාගේ ඇති අය, ඈත පළාත්වල ගුරුවරු, වෙදමහත්වරු, පිටරට වෙසෙන අය, ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයන් වැනි වෙනත් ක්ෂේත‍්‍රවල අයයි. එයින් පෙනෙන්නේ කලාව සෞන්දර්යය පිළිබඳ ඔවුන්ට ආශාවක් තිබෙන බවයි. ඒත් මේ අතරින් කලාවිෂයයන්ට අදාළ විශ්වවිද්‍යාලවලට සම්බන්ධ අය ඉන්නේ පස්හය දෙනයි. මොකක්ද එයින් පැහැදිලි වන්නේ.
වර්තමාන ටෙලි නාට්‍ය, සිනමාව සහ වේදිකාව ඔබ දකින්නේ කොහොමද?
නොහැකියාවන් ඇති අය කර්මාන්ත තුළට ඇවිත් පැවැත්ම සඳහා අඩු මිලට ගුණාත්මකබවින් අඩු යමක් කළාම ජීවිතයට යමක් කියා නොදෙන රූප පෙළක් පමණයි ඉතිරි වන්නේ. ටෙලි නාට්‍ය ගැන කියන්න තිබෙන්නේ ඒකයි.
සිනමාවත් ඇද වැටිලා තිබෙන්නේ ශාලා පද්ධති දියුණු කරගෙන නැති නිසා. කොළඹට පමණක් සීමිත ප‍්‍රජාවකට පෙන්වලා සිනමාවක් හැදෙන්නේ නෑ. එවිට සිනමාව සංස්කෘතියක් ලෙස ගිලිහෙනවා. කළ යුතුව තිබෙන්නේ ඒ සංස්කෘතිය යළි ඇති කිරීම මිස අතීතකාමය විකුණාගෙන කෑම නොවෙයි.
වේදිකා නාට්‍ය දේශපාලන තේමාවලින් ඉතාමත් සීමිත චරිත යොදාගෙන කරන්න උත්සාහ කරනවා. ඉස්සර සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ධර්මසිරි බණ්ඩාරනායක වැනි අය වේදිකා නාට්‍ය කරද්දි විශාල පිරිසක් චරිත නිරූපණය කළා. අද ස්ත‍්‍රීවාදී කෑල්ලක් හෝ පවුල් සංස්ථාවේ පොඩි කෑල්ලක් අසම්මතරූපි ආකාරයට රූපණය කරන්න ගියාම ජීවිතාවබෝධය ඇති නොවී ක්ෂේත‍්‍රයම විනාශයට යනවා. කවිය පමණයි යන්තම් හෝ ඉතිරි වී තිබෙන්නේ.
ඉදිරියේදි ඔබේ සංගීතයෙන් හැඩවුණු චිත‍්‍රපට කීපයක් ප‍්‍රදර්ශනයට නියමිතයි. ඊට අමතරව රසිකයන්ට ලබාදෙන ඔබේ අනාගත නිර්මාණ මොනවාද?
මට මෑතකදි දැනුණු දෙය නම් මේ පවතින ආර්ථික ප‍්‍රශ්න හා අයහපත් තත්ත්වය සමඟ හෙළි වුණ මිනිස් හැසිරීම් හිතාගත නොහැකි තරම් යන්නයි. මිනිස් ගති යටපත්ව මෘග ගති ඉස්මතු වුණා. සැබෑ ස්වභාවය පෙන්වීම ගැන එක අතකින් සතුටු විය යුතුයි. එය බෞද්ධ දර්ශනයටවත්, දේශපාලන න්‍යායකටවත්, සංස්කෘතියටවත් සම්බන්ධ නෑ, නොදියුණු මිනිස් ලක්ෂණයක් පමණයි. එනිසා ඉදිරියට යමක් කළත් මම කරන දේවල් ඔය සංස්කෘතියට ගැළපෙන්නේ නෑ. ඒ නිසා බොරුවට දේවල් කරලා වැඩක් නෑ. එහෙම කරන්නත් බෑ. එනිසා කළ යුත්තේ අප නතර වූ තැනින් ආපසු ආරම්භ කරන එකයි. එහි තේරුම අතීතයට යා යුතුයි කියන දේ නොවෙයි. නැවතුණු තැනින් පටන්ගෙන නූතන තැනකට යා යුතුයි. ඒ සඳහා සමස්ත රට වැසියාම ගැළපෙන අධ්‍යාපන ක‍්‍රමයක් දියුණු කරන වැඩපිළිවෙළට පෙළ ගැසිය යුතුයි.
ඡායාරූප නිශ්ශංක විජෙරත්න