ගුණාදරී ලැබුණේ පෙර පිනකට

-වොල්ගා කල්පනී
ජූලි 28, 2022




ප‍්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ දිගු නිහැ`ඩියාව බිඳිමින් නිර්මාණය කළ ”මාණික්කාවත” ටෙලි නාට්‍යය සති අන්තයේ ස්වාධීන රූපවාහිනී නාලිකාවෙන් විකාශය වෙනවා. එහි එන චරිත අතර ඇය විශේෂයි. ඇය ගුණාදරී. මේ චරිතය නිරූපණය කරන වොල්ගා කල්පනී සමඟ සරසවිය අපි කතා කළා. ඇය ගුණාදරී ගැන වගේම නිර්මාණය ගැනත් කතා කළේ මෙලෙසින්.


වොල්ගාට වසන්ත කාලය උදාවෙලා?

(ඇය සිනාසෙයි) හාත්පස වෙනස් නිර්මාණ දෙකක් එකවර විකාශය වෙනවා. ඔව් ඔයා හරි වසන්ත කාලය තමයි. එය මගේ මුහුණෙනුත් පේනවා කියලා බොහෝ දෙනෙක් මට කියනවා.

ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් වන සුදත් රෝහණගේ කාලෙකට පසුව නිර්මාණය කළ මාණික්කාවත ටෙලි නාට්‍යයේ ප‍්‍රධාන භූමිකාව ඔබ නිරූපණය කරන්නේ. මාණික්කාවතට සම්බන්ධවීමට ලැබීම කොහොමද දැනෙන්නේ?

මේක මම පෙර කළ පිනක්. මෑත කාලයේ කිසිම රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට නොලැබුණු අවස්ථාවක් මට ලැබුණේ. මම වාසනාවන්ත වුණා සුදත් රෝහණ මහත්මයා සමඟ වැඩ කරන්න තරම්. මට ලැබුණු ලොකු අවස්ථාවක්. ඇත්තටම පෙර පිනකට ලැබුණු චරිතයක් මට මෙය.



ගුණාදරී පේ‍්‍රක්ෂක අපේ හදවතේ රඳවන්න වොල්ගා මොනවද එකතු කළේ?

සුදත් රෝහණ මහත්මයා මාව යොමුකළා ඇස් අන්ධ සුගත් මහත්මයා හා ඔහුගේ බිරිඳ එක්ක කාලය ගත කරන්නට. මේ දෙන්නාටම ඇස් පේන්නේ නෑ. මම ඒ අයගේ ගෙදර ගිහින් උදේ සිට හවස් වෙනකම් ඉඳලා ඒ අය කොහොමද වැඩ කරගන්නේ කියලා බලලා ඔවුන් ඇවිදින කනබොන ආකාරය මේ සියල්ලම ඉගෙන ගත්තා. මේ චරිතය වෙනුවෙන් පුහුණුවීම් වැඩිපුර කළා. නිතරම චරිතය ගැන සකච්ජා කළා. අපි හැමෝම මේක බෙදාගෙන කළ වැඩක්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ අංගරචනා ශිල්පියාව. ඔහු ගුණාදරිගේ බාහිර පෙනුම නිර්මාණය කළා හරි අපූරුවට. මම සෑම දර්ශන වාරයකටම කලින් ඇස් දෙක පියාගෙන ඒ අවස්ථාව සිතින් හදාගන්නවා.

වෝල්ගා වැඩිය තිරයේ පේන්න නැති වුණාට නිරූපණය කරන සෑම චරිතයක්ම පාහේ පේ‍්‍රක්ෂකයා ග‍්‍රහණය කරගන්නවා. කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?

ජයප‍්‍රකාෂ් ශිවගුරුනාදන් මහත්තයා මාව මේ ක්ෂේත‍්‍රයට ගේන්නේ. ඔහුගේ නිර්මාණවල මම දිග පළල හොයන්නේ නෑ. ඔහුගේ නිර්මාණ හැර වෙනත් නිර්මාණවලට ඇත්තටම මම සම්බන්ධවනවා අඩුයි. මම ගොඩක් තෝරාබේරාගෙන කලා කටයුතු කරන්නේ. ඇත්තටම මම ක්ෂේත‍්‍රයේ බොහොම අඩුවෙන් වැඩ කරලා තියෙන කෙනෙක්. බොහෝ දෙනෙක්ට වෝල්ගාව දැක්කම හිතෙන්නේ හරිම සෙල්ලක්කාර චරිතයක් කියලා. සුදත් රෝහණ මහත්මයා මට දුන් මේ අවස්ථාව එක්ක පේ‍්‍රක්ෂකයා විශ්වාස කරන්න පටන්ගත්තා මං ගැන. එය ඇත්තටම ලොකු සතුටක්. මම සම්බන්ධවෙලා කොටස් කිහිපයයි තවම විකාශය වෙලා තියෙන්නේ. මේ කෙටි කාලයට මට ආදරය කරන්න පටන් අරන් තියෙනවා. පිටරට ඉන්න අයගෙන් ගොඩක් ප‍්‍රතිචාර ලැබුණා. මේ කතාව ඇතුළේ තියෙන අප්පච්චිගෙයි දුවගෙයි ආදරය මිනිසුන්ට ගොඩක් දැනෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහොමයකගෙන් හොඳ ප‍්‍රතිචාර ලැබුණා.

මාණික්කාවත නවකතාව කී පාරක් කියෙව්වද? නවකතාව සහ පිටපත අතර වෙනස කොහොමද දැනුණේ?

මම මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල මහතා ලියූ නවකතාව අට පාරකට වඩා කියෙව්වා. මේ නවකතාව කියවද්දි පළවෙනි දවසේ මගේ ඇෙඟ් හිරිගඩු පිපුණා. ඒ හිරිගඩු පිපීම ඒ විදිහටම වුණා අන්තිමට කියවද්දිත්. සුදත් රෝහණ මහත්තයා තමයි මේ පොත මේ තරම් කියවන්න මාව පෙලඹවූයේ. පිටපත ලියන්නෙත් නවකතාව ලියූ මහින්ද මහතාමයි. පිටපත කියවද්දි ගුණාදරීගේ චරිතය වඩාත් හොඳින් අවබෝධ කරගන්න හැකි වුණා.

රූගත කිරීම් අතරතුර මතක් කරලා හිනාවෙන්න පුළුවන් සුන්දර අකරතැබ්බ එහෙම වෙන්නැති?

රූගත කිරීම් කළේ කළුතර ප‍්‍රදේශයේ කඳු තියෙන කැලෑවක් තියෙන සුන්දර පරිසරයක. කවුරුහරි මාව අල්ලගෙන ගියේ නැත්නම් අනිවාර්යයෙන්ම මම වැටෙනවා. ඒ වගේම එක දවසක් මට මතකයි එක රූගත කිරීමක් තිබුණා ඒකට කෘති‍්‍රමව වැසි වස්සලා කරන්න තිබුණේ. එදා ඇත්තටම වැස්සා. අපි හැමෝම උදේ පාන්දර ඉ`දලා හවස හය හත වෙනකම්ම හොඳටම තෙමුණා.

අධ්‍යක්ෂ සුදත් රෝහණ ඇතුළු මාණික්කාවත කණ්ඩායම ගැන කතා කරමු?

සුදත් රෝහණ මහත්තයා සමඟ වැඩ කරන්න ඕන කියලා මගේ හිතේ හීනයක් තිබුණා. ඒ හීනය හැබෑ වුණා කිව්වොත් හරි. නිර්මාණයට ඔහු සමීප වුණා සේම නිර්මාණයෙන් පසුවත් ඔහු ජීවිතයට බොහොම සමීප වුණා. ක්ෂේත‍්‍රයේ ජීවිතයට සමීප අය ඉන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. මේ නාට්‍යය ඇතුළේ අධ්‍යක්ෂවරයාගේ සිට තේ එක හදන කෙනාට එනකම් හැමෝම එක හා සමානව මහන්සි වුණා. කිසිම බෙදීමක් තිබුණේ නැහැ. සමහර වෙලාවට අපේ දර්ශන තලවලට කිලෝමීටර් දෙක තුන පයින් යන්න වෙනවා ඒ පාරවල්වල වාහන යන්න බැරි නිසා. ඒ වගේ වෙලාවට අපි ඔක්කොම බඩු උස්සන් යනවා. විශේෂයෙන්ම අපේ නිෂ්පාදකවරයා අපි කැලෑවේ රූගත කිරීම් කළා කියලා නෑ කිසිම අඩුවක් නොවෙන්න අපි සියලූ‍ දෙනාම බලාගත්තා.

ක්ෂේත‍්‍රයේ අවුරුදු ගණනක් විවිධ නිර්මාණ ඔස්සේ විවිධ චරිත තුළින් පේ‍්‍රක්ෂක හදවතට කතා කළ ඔබට ගුණාදරීගේ චරිතය වෙනස්ම අත්දැකීමක්. මේ චරිතය අභියෝගයක් වුණාද?

ඇස් පේන මම ඇස් නොපෙනෙන කෙනෙක් විදිහට රඟපෑමයි අභියෝගය. මනුස්සකම අතින් ඇස් පේන මිනිහට වඩා ඇස් නොපෙනන මිනිහා ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් හරිම නිර්ව්‍යාජ මිනිස්සු. ගතිගුණ අතින් ඉහළයි. ඇස් පේන කෙනාට වඩා ඇස් නොපෙනෙන කෙනාට දැනෙනවා වැඩියි. උදේට දර්ශන තලයට ගිහින් සෙරෙප්පු දෙක ගලවගත්තම ආයෙත් මම සෙරෙප්පු දෙක දාන්නේ රූගත කිරීම් ඉවර වුණාම. ඒ කාලය ඇතුළත මම හැම මොහොතකම උත්සාහ කළේ ටික කාලකට මම වොල්ගා කල්පනීව මරලා දානවා. මම ගුණාදරීම තමයි කියලා මම ජීවත් වුණේ.

එහෙනම් ගුණාදරීට ඇස් පේන මිනිස්සුන්ට දෙන්න තියෙන පණිවුඩය මොකද්ද?

මම ගුණාදරී වෙලා කතා කළොත් හැම වෙලේම ඇස් පේන්නේ නැති කෙනා හිතනවා ඔවුන් තරමටම අන් සියලූ‍ දෙනාම කාරුණිකයි කියලා. මට ඉල්ලීමක් කරන්න තියෙන්නේ කවදාවත් ඒ මිනිස්සු දිහා අනිසි විදිහට බලන්න එපා. අයුතු ප‍්‍රයෝජන ගන්න එපා. බොහොම සාමාන්‍ය සර්ව සාධාරණීය මිනිස්සු ඔවුන්. ඇස් නොපෙනෙනවා කියලා විශේෂ අනුකම්පාවක් නොවෙයි ඔවුන්ට අවශ්‍ය. අනුකම්පා කරන්න දෙයක් නැහැ ඇස් නොපෙනුණාට ඔවුන් අංග සම්පුර්ණ මිනිස්සු. අපි සියලූ‍ දෙනාම එක සමානාත්මතාවයෙන් සලකමු කියලා තමයි කියන්න තියෙන්නේ.

ගුණාදරීගේ චරිතය ගොඩනඟන්න වොල්ගා කැපකිරීම් කළා?

අපි ගුණාදරීගේ හැත්තෑව අසූව වගේ වයස් කාලයේ රූ ගත කිරීම් කළානේ. එවිට මම ජගත් චමිල අයියා උමා අසේනී අපි තුන් දෙනාම මාසෙකට කිට්ටු කාලයක් බත් කෑවේ නෑ. අපි කෑවේ එළවළු, කඩල, මුංඇට වගේ දේවල්. නිෂ්පාදන කණ්ඩායම අපිව හොඳට බලාගත්තා.

උනහපුලූ‍වාට උගේ පැටියා මැණිකක් වගේ කෙටිහාමිට ගුණාදරී මැණිකක්. මේ පිය- දියණි සම්බන්ධතාවය?

ජගත් චමිල අයියාව මම පොඩි කාලයේ ඉ`දලම දන්නවා. මම නාට්‍යයේ උදාහරණයකින්ම ඒ ගැන කියන්නම්. මාව කසාද බන්දන්න එනවිට මම කියනවා මට උඹලා දිහා බලාගෙන මට ජීවත්වෙන්න ඕන. උඹලව මට පෙනි පෙනී ඉන්න ඕන කියලා. ඒ දර්ශන වාරයෙන් පසුව චමිල අයියා සෑහෙන වෙලාවක් මාව බදාගෙන ඇ`ඩුවා. මුළු කණ්ඩායමම ටික වෙලාවක් කතා නොකර හිටියා. චමිල අයියාටත් දුවෙක් ඉන්නවා. ඔහු සමහර වෙලාවට කියනවා අනේ මට මගේ කෙල්ලව මතක් වෙනවා කියලා. දුවෙකුට ජීවිතේ කොන්දේසි විරහිතව ආදරේ කරන්නේ තමන්ගේ තාත්තා පමණමයි.

ගුණාදරීගෙන් ටුටුට ආවම එය වෙනමම එකක්?

ඔව්. ජයප‍්‍රකාෂ් ශිවගුරුනාදන් මහත්තයාගේ පාරදිගේ ටෙලි නාට්‍යයේ ටුටූගේ චරිතය හාත්පස වෙනස් එකක්. මොකද්දෝ පිනකට මට කතා කරන්නේ තිරයේ බොළඳ පෙම්වතිය වෙන්න නොවෙයි. මම හරි වාසනාවන්ත වුණා මේ නිර්මාණ දෙකම එකවර විකාශය වෙන්න. ගුණාදරීව ටුටූගේ කිට්ටුවෙන්වත් තියන්න බැරි චරිතයක්. ටුටු වගේ වොල්ගාත් ආදරේ මත්තේ නැහෙන අසාධාරණය පෙන්නන්න බැරි චරිතයක්. ගුණාදරිට තියෙනවා දේවගති. මම හිතන්නේ වොල්ගා කල්පනීට ගුණාදරීගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.

වොල්ගා ගැන හොයන බලන පේ‍්‍රක්ෂක ආදරය කොහොමද දැනෙන්නේ?

මම කිසිම වෙලාවක පේ‍්‍රක්ෂකයාට දොස් කියන්නේ නෑ මම ගැන හොයනවාට. මොකද හේතුව ඔවුන් කැමැතියි මගේ පෞද්ගලික තොරතුරු දැනගන්න. ඒ දැනගන්න කැමැති ඒ අය මට ආදරේ නිසා. අපි ආදරේ වැඩි අය ගැනනේ වැඩියෙන් හොයන්නේ. ඒ වගේම මම දික්කසාද වුණ කාන්තාවක්නේ. දික්කසාද වුණ රංගන ශිල්පිනියන්ට ලැබෙන ප‍්‍රතිචාරවලට වඩා හාත්පස වෙනස් ප‍්‍රතිචාර මට ලැබුණේ. ඔවුන් හැමදාම මගේ පැත්තේ හිටියා. ඒකට මම පේ‍්‍රක්ෂකයාට ගෞරව කරනවා වගේම අනිවාර්යයෙන් මම කියනවා දිගටම ඉන්න කියලා. මගේ බොරුවක් නැහැ. ජීවිතේ ගත්ත ගන්න කිසිම තීරණයකට කවදාවත් පසුතැවෙන කෙනෙක් නොවෙයි මම. මම විශ්වාස කරනවා මම හැමදාම හරි තීරණ ගත්තේ. පෞද්ගලික මම කිසිම කෙනෙක් එක්ක තරහා නෑ. ජීවිතේ අලූ‍තින් ලස්සනයි කියනවා නොවෙයි ඒ තිබුණ ලස්සන ඒ විදිහටම හැමදාම තියෙනවා.

ඉදිරි නිර්මාණ ගැනත් කියමු?

නිර්මාණ කිහිපයකට ආරධනා කළා. රටේ පවතින තත්ත්වය පහව ගිය පසු ඒවට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා.



 

සේයාරුව-  දිලූෂ දේවින්ද