අද ටෙලි නාට්‍ය කලාව දැන්වීම් කලාවේ ගොදුරක්

ප‍්‍රවීණ රූපණවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ
ජූලි 28, 2022

 



රංග ප‍්‍රතිභාවේ ඇසූ පිරූ තැන් සොයාගිය රංගවේදියකු වන මොහු වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව තුළ පෙළහර පෑ අපූර්වත්වය අදත් පේ‍්‍රක්ෂක සිත් සතන් හි සදා ජීවමානය. අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු සේම ග‍්‍රන්ථ කර්තෘවරයකු ලෙසින් ද ඔහු කලා කෙත අස්වද්දනු ලැබුවේ තම භාව පුර්ණ රංග ශිල්පයට නොදැවැනි ලෙසින්ය. විටෙක තම, වාග් ශෛලියෙන් හරවත් නැණවත් දේශනයක් තුළින් ශ‍්‍රාවක මන දොළ ප‍්‍රමුදිත කරවන මොහු තවත් විටෙක තම භාව පුර්ණ රංගනයෙන් පේ‍්‍රක්ෂක හද ප‍්‍රමුදිත කරනුයේ රංගනයේ භාවයන් තව තවත් තීව‍්‍ර කරමිනි.

අපේ දේ අගයමින් හරවත් නිර්මාණකරණයේ එදත් අදත් උඩුගංබලා පීනන මොහු කලා ක්ෂේත‍්‍රයට ඉමහත් සේවයක් කළ යුග කාරක පුරුෂයෙකි. පේ‍්‍රක්ෂක ශ‍්‍රාවක, පාඨක සැමගේ චින්තනය අවදි කරමින් කලාව ඔස්සේ තමන්ට හැකි පමණින් උත්තරීතර සමාජ මෙහෙවරක නියැළෙන කලාකීර්ති කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ හා මෙලෙස සංවාදාත්මක කතාබහක අපි එක්වෙමු.




ව්‍යාකූල සමාජ වටපිටාවක් තුළ මේ දවස්වල කලා කටයුතු කොහොමද?

මේ දවස්වල කලාකාරය ද සාමාන්‍ය කෙනා ද කියල නෑ. පක්ෂපාට ජාති භේද නැතිව කවුරුත් ජීවත් වෙන්නේ මානසික අර්බුදයක. මෙවන් වටපිටාවක් තුළ කලාකටයුත්තක් කරන්න ඒ සඳහා යන්න විදියක් නෑ. එක පැත්තකින් කලා නිර්මාණ මේ තිබෙන වටපිටාව ආර්ථික අපහසුතා ප‍්‍රවාහන අපහසුතා නිසා නිර්මාණය කරන්න අපහසු වෙලා තියෙනවා. රටේ පවතින බැරූරුම් තත්ත්වය කාට කාටත් නහරවැල්වලට කිදා බැහැල ඉවරයි. වසංගත රෝග තත්ත්ව හමුවේ රටේ පවතින අර්බුදකාරී වටපිටාව තුළ මම පොත පත වැඩිවශයෙන් පරිශීලනය කළා. ඒ වගේම පොතපත සම්පාදන කටයුතුත් සිද්ධ කළා. ඒ අතරේ රංගන කටයුතු කිසිවක් සිදුනොවුණ නිසා ටෙලි නාට්‍යයක් සඳහා තිරපිටපතක් ලිව්වා. ඒ ඇරෙන්න වෙන විශේෂයක් නෑ. දැන් ඉතින් මම ජීවිතයේ සැදෑසමය ගතකරමින් ඉන්නවා.

ඔබේ නවතම තිරනාටකය මොනවගේ තේමාවක් ඔස්සේ ද ලියැවුණේ?

රට තුළ පවතින කාලීන ප‍්‍රශ්නයක් පාදක කරගෙන තමයි මම මේ තිරනාටකය ලිව්වේ. කොටස් පණහක ටෙලි නාට්‍ය පිටපතක් කාබනික පොහොර රසායනික පොහොර, මත්ද්‍රව්‍ය කියන සමාජය තුළ කතාබහ කෙරෙන මාතෘකා තුනක් සම්බන්ධ කරගෙන තමයි මම මේ පිටපත ලිව්වේ. සාධාරණ හා අසාධාරණ ව්‍යාපාරයක් නිසාවෙන් ඇති වන ගැටුමක් ආදරයත් එකතු කරන් ගලා යන ආකාරයට තමයි මම පිටපත ලිව්වේ. රටට ආදර්ශයක් දෙන කෘෂිකර්මාන්තය පැත්තෙන් ජනමතය දැනුම්වත් කෙරෙන අභියෝගාත්මක පණිවිඩයක් සමාජගත කෙරෙන ආකාරයෙන් තමයි මේ ටෙලි නාට්‍යයේ පිටපත මම රචනා කළේ. විශේෂයෙන් කියන්න ඕනේ මේ පිටපත කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආදර්ශවත් කතාවක්. මේ නිර්මාණයේ තියෙන දෙබස් ජීවිතය පිළිබඳ දැනුමක් ලබාදෙන අයුරින් කෙනෙකුගේ මානසික බුද්ධියට රචනා කරල තියෙන්නේ. එක චරිතයක් ගමක් වෙනස් කරල රටට දෙන පණිවිඩයක් මේ නිර්මාණය තුළ තියෙනවා. මේ වගේ තේමාවක් ඔස්සේ මම ටෙලි පිටපතත් රචනා කළේ අපේ රටේ විශාල වශයෙන් කතාබහට ලක් වූ කාබනික පොහොර ප‍්‍රශ්නය පිළිබඳ කලාකරුවකු වශයෙන් මම කටයුතු කළ යුත්තේ කෙසේ ද කියා මට දැනුණ ආකාරය සමාජ ගත කරන්න.

ඔබ කාලීන සමාජ සත්කාරයක් අරමුණුකොට රචනා කළ තිරනාටකය නම් කළේ?

සත්මඟ අරුණලූ නමින් මේක කොටස් පණහක ටෙලි පිටපතක්

පිටපත කොතරම් කාලීන වුණත් ඔබගේ උත්සාහය පිටපතට පමණක් සීමා වෙයි ද?

මට නිෂ්පාදනය පැත්තෙන් මේ සඳහා කවුරුන් හෝ ඉදිරිපත් වෙනවා නම් මම ලෑස්තියි. පිටපත රූප රචනයක් බවට පත්කරන්න. ඒත් මේ දවස්වල තියෙන රටේ වාතාවරණයත් එක්ක හැම අතින්ම ඒ කාර්ය දුෂ්කර වෙලා තියෙනවා.

සාරධර්මවලින් පිරි හරවත් නිර්මාණ රැසක් පුංචි තිරය හරහා පේ‍්‍රක්ෂකයාට දායාද කළ නිර්මාණකරුවකු වශයෙන් අද පුංචි තිරයේ ගමන් මඟ ගැන ඔබට මොකද හිතන්නේ?

අපි කියන පුංචි තිරය එහෙම නැත්තම් රූපවාහිනී මාධ්‍යය අද පාවිච්චි කරන්නේ වැරදි පැත්තට. පුංචි තිරය රටේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න බොහෝ බලපෑමක් එල්ල කරන්න පුළුවන් මාධ්‍යයක්. අද එවැනි ප‍්‍රබල මාධ්‍යයකින් සිද්ධ වෙන්නේ ජනමනස විකෘති කිරීමක්. අසූව අනූව දශකවල අපේ ටෙලි නාට්‍ය කලාව තිබුණ තැනයි අද තියන තැනයි හරියට අහසට පොළව වගේ. අද තියෙන්නේ දැන්වීම් කලාවක්. ටෙලි නාට්‍ය කලාව මේ දැන්වීම් කලාව විසින් ගොදුරු කරගෙන. එදා තිබුණේ පැය භාගයක ටෙලි නාට්‍ය විකාශ කාලයක්. විනාඩි 24ක් ටෙලි නාට්‍ය සඳහා, විනාඩි 6ක් දැන්වීම් සඳහා. අද ටෙලි නාට්‍ය සඳහා විනාඩි 15ක් නැත්තම් ඊටත් වඩා අඩුයි. ඉතිරි ඔක්කොම දැන්වීම්වලට අද ටෙලි නාට්‍ය කියලා හදන බො‍හෝ නිර්මාණ වාණිජ පරමාර්ථය මුල්කරගෙන තනන දේවල්. සමහර ටෙලි නාට්‍ය නාළිකාවලට ඕනෙ විදිහට ටෙලි නාට්‍යයක මුල, මැද, අග නෑ. ටෙලි නාට්‍ය ගුණය එහෙම පිටින්ම නැතිවෙලා ගිහින්.

දේශීයත්වය රැකගත් අපේ සංස්කෘතික ගුණාංග ඉස්මතු වන කලා නිර්මාණ බිහි කිරීමට වැඩි නැඹුරුවක් ඔබගේ නිර්මාණ ගමන් මෙ`ග් කැපි පෙනෙනවා නේද?

කලාකරුවන් වශයෙන් අපි අපේ දේශීය දේ අගයන්න ඕනේ. කලාකරුවෝ හැටියට රටේ කාලීන ප‍්‍රශ්න ගැන අපි කතා කළ යුතුයි. දේශීය දේ අගයන්නේ නැති කාල වකවානුවක කලා නිර්මාණ තුළින් අපි මේ ප‍්‍රශ්න ගැන කතා නොකළොත් කවුද මේ ගැන කතා කරන්නේ.

හතු පිපෙන්නා සේ හරසුන් ටෙලි නාට්‍ය තැනෙන වකවානුවක ආගමික පසුබිම, සංස්කෘතිය පදනම් කරගත් හරවත් නිර්මාණකරණයේ නියැළීම ඔබට අභියෝගයක් නොවන්නේද?

ගඟ පහළට ගැලූ‍වත් මම පීනන්නේ උඩු ගංබලා ඒ මගේ හැටි. මම පුංචි කාලේ ඉඳල හැදුණු වැඩුණෙ හොඳ සමාජ වටපිටාවක් තුළ සංස්කෘතික බැ`දීමක් ඇතුව. එවැනි සමාජ පසුබිමක හැදුණ වැඩුණ මට හරසුන් දේ මොකක්ද කියන දේ පිළිබඳ මනාවැටහීමක් තියෙනවා. මොන ගණයේ ටෙලි නාට්‍ය හැදුවත් මට ප‍්‍රශ්නයක් නෑ. හොඳ ටෙලි නාට්‍යයක් කළොත් රසිකයෝ වැලඳ ගන්නවා. ඒක මම අත්දැකපු කෙනෙක්. මම කළ හැම ටෙලි නාට්‍යයකින්ම පේ‍්‍රක්ෂකයෝ මාව දිරිමත් කළා. මොන දේ ආවත් හොඳ දේ තමයි මිනිස්සු ගන්නේ.



නිර්මාණ කාර්යේ දී ඔබ විනෝදාස්වාදය අමතක කරනවාද?

විනෝදාස්වාදය අවශ්‍යයි කියන තැන මම ඉන්නවා. ඒක බැහැර කරන්නේ නෑ. නමුත් මම ආගමික සංස්කෘතික පසුබිමට තමයි මුලිකත්වය දෙන්නේ. මිනිසුන් දැනුම්වත් කිරීම තමයි මගේ අංක එක. ප‍්‍රඥාවට තමයි මගේ නිර්මාණවල ඉඩ හරසර වෙන් කෙරෙන්නේ.

අනුග‍්‍රාහකයන්ට, නාලිිකාවන්ට අවශ්‍ය විධියේ නිර්මාණකරණයේ නියැළෙන අධ්‍යක්ෂවරයෙක් ද ඔබ?

කොහොත්ම නෑ. කාටවත් ඕනෙ විදියට නිර්මාණ කරන්න මම බැදිච්ච පුද්ගලයෙක් නොවෙයි. මම ස්වාධීන කලාකාරයෙක්. හැබැයි හොඳ කෙළින් තියෙන කශේරුකාවක් කියන වැලයන අතට මැස්ස ගහන කලාකාරයෙක් නෙමේ මම. මම කවදත් කළේ නිර්මාණයක් කිරීමේදී මැස්ස ගහල වැල මට ඕනේ විදියට අරින එක. රටේ ඕනෙ තරම් අද ඔය වගේ දේවල් සිද්ධ වුණාට මේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන කෙනෙක් නොවෙයි.

ඔබ හැම විටම කතා කරන්නේ ඔබ ගැන මහත් අභිරුචියෙන්?

එහෙම කතා කරන්නේ මට එහෙම කතා කරන්න පුළුවන් නිසා. කාගෙවත් අතකොලූ‍වෙලා තුට්ටු දෙකේ පහත් වැඩ මම නොකළ නිසා මට මම ගැන මහත් අභිරුචියෙන් කතා කරන්න පුළුවන්. කාටවත් මට ඇඟිල්ල දික් කරන්න බෑ කියලා මම දන්නවා. මම නිවැරදි නිසා මගේ අත් පිරිසිදුයි. හිත පිරිසිදුයි. වැඩ නිවැරදියි. මම දෙයක් කළේ දෙයක් කිව්වේ හිතට එකඟවයි. හරි දේ කරන්නත් බිම ඉදගන්නත් බයවෙන්න දෙයක් නෑ.

ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය මෙන්ම චිත‍්‍රපටත් ඔබ අතින් අධ්‍යක්ෂණය වුණා වගේම නිෂ්පාදනය වුණා. නේද?

ටිකිරි නිලමේ, නාමල් ගොල්ල, ගිරිකුල අන්දරය, නිසල විල්තෙර ටෙලි නාට්‍ය මම නිෂ්පාදනය කළා. කෝකිල ගින්න, සත්මහල, බෝපත් සාක්කිය, සවුසිරි උයන, සුවඳපද්ම, දිය වඩන මළුව, මොනරවිල ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළා. මල්වර නැකත, අදුරෙන් එළියට ඒකාංගික ටෙලි නාට්‍ය දෙකක් ද අධ්‍යක්ෂණය කළා.

බකතපස්, අත්තික්කාමල් පිපිලා, හොටබරි යුද්ධය, තහංචි, අපායේ අවුරුදු, අනංගරාළ ආදී වේදිකා නාට්‍ය හයක් නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළා. මාතර ආච්චි, ශ‍්‍රී මදාරා, රජගෙදර පරවියෝ, අධිෂ්ඨාන, සතර දිගන්තය, වදුල චිත‍්‍රපට හය අධ්‍යක්ෂණය කළා. මෙයින් මාතර ආචිච්, අධිෂ්ඨානය චිත‍්‍රපට දෙක සඳහා නිෂ්පාදනයෙන් ද දායක වුණා. සතර දිගන්තය චිත‍්‍රපටය සඳහා සම නිෂ්පාදනයෙන් ද දායක වුණා.

වේදිකාවට නිර්මාණ එකතු කළ වේදිකාව රංගනයෙන් හැඩ කළ ඔබ සදහටම වේදිකාවට සමුදුන්නා ද?

තරුණ කාලය වේදිකාව වෙනුවෙන් කැප කළා. අද දක්ෂයින් ඕනෙ තරම් ඉන්නවා. වේදිකාව තුළ නිර්මාණ කරන්න. මගේ වයසත් එක්ක වේදිකාවේ හරඹ දැන් මටත් ප‍්‍රශ්නයක්. වේදිකාව තුළ මම නාට්‍ය නිර්මාණ කළා. විවිධ නාට්‍ය නිර්මාණ ඔස්සේ චරිත නිරූපණය කළා. පසුකලෙක මගේ වැඩි නැඹුරුවක් දකින්න තිබුණේ ටෙලි නාට්‍ය පැත්තට රංගනය වගේ නිෂ්පාදනය, අධ්‍යක්ෂණය පැත්තෙන් මම ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන ගමනක් ආවා. ඒ ගමනත් එක්ක වේදිකාව මගෙන් ටිකෙන් ටික ඈත් වුණා.

අද තැනෙන ටෙලි නාට්‍ය බොහොමයක් ඒ වායේ දිගහැරෙන කතා තේමාව නරඹන පේ‍්‍රක්ෂකයාගේ මනස විකෘති කරනවා නේද?

අතළොස්සක් ටෙලි නාට්‍ය හැරුණු කොට හුඟාක් ටෙලි නාට්‍ය කියාගන්නා පතරංග හරසුන් දේවල්. සමහරු මේ වගේ නාට්‍ය හදන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය එකතු කරලා. තමන්ගේ පෞද්ගලික අසික්කිත, අසීලාචාරකම් තමන්ගේ නිර්මාණය ඔස්සේ සාධාරණය කරමින්. මිනිස්සුන්ගේ සිත්වලට ඇතුල් කරන්න, සමහරු උත්සාහ ගන්නවා. අද ටෙලි නාට්‍යකරුවන් කියාගන්නා අය නිර්මාණ හරහා ගෙදර මැද සාලයට ගෙනත් දෙන්නේ මොනවද? පවුල් අවුල් කරන හැටි, මිනී මරන හැටි, හොරකම් කරන හැටි, සමාජ ¥ෂණයන් කරන හැටි, දික්කසාද වෙන හැටි, අනියම් සම්බන්ධතා ගොඩන`ගන හැටි මෙන්න මේව තමයි ගෙදර මැද සාලයට අද ටෙලි නාට්‍ය ගේන්නේ. මේවා කට ඇරගෙන තලූ‍මර මර, කාලෙ කකා බලන උදවියත් අපේ සමාජයේ ඉන්නවා. මේකද අපේ රටට අවශ්‍ය. සමාජ ශෝධනයට හරි මඟක් නැති කොට කවද මේවා නිවැරදි මාවතකට ගමන් කරයි ද කියලා කාට කියන්න පුළුවන් ද?

සිනමාව තුළ කලක් රැදී සිටි ඔබ පසුකලෙක එයින් දුරස් වුණා?

සිනමාවේ ස්වර්ණමය යුගයක් පසුකළ කලාකාරයෙක් මම. රංගනය පැත්තෙන් වගේම සිනමා නිර්මාණ පැත්තෙනුත් ඒ වකවානුවේ මම සිනමාව තුළ රැඳී සිටියා. සිනමා නිර්මාණ මගෙන් පසු කලෙක බිහි නොවීමට හේතු වුණේ එදා චිත‍්‍රපටවලට තිබුණු ඉල්ලූ‍ම අද චිත‍්‍රපටවලට නොතිබීම. චිත‍්‍රපටයක් කිරීම හරියට සූදු කෙළීමක් වගේ දෙයක්. වියදම් කළ මුදලවත් ආපහු සොයාගැනීම සැක සහිතයි. චිත‍්‍රපටයක් කළත් පෙන්නා ගැනීමට නිෂ්පාදකයකුට අභියෝගයක්. ආරාධනාවක් ලැබුණොත් චිත‍්‍රපට සඳහා රංගනයෙන් දායක වීමක් හැරුණු කොට නිර්මාණයක් වෙනුවෙන් කාලය යොදන්න මගේ කැමැත්තක් නෑ.

ඔබගේ කලා දිවියේ ආරම්භයට සිත්යොමු කළොත් ඒ ලස්සන අමරණීය මතකය කොයි වගේ ද?

කැලණිය ධර්මලෝක විද්‍යාලයේ මම ඉගෙන ගන්න කාලයේ සෑම සිකුරාදාවකම අන්තිම පීරියඞ් එකේ පන්තියට විතරක් සීමා වූ විවිධ ප‍්‍රසංගයක් තිබුණා. ඒ කාලේ මම පස්වන ශ්‍රේණියේ කුඩා දරුවෙක්. මම ඔය පන්තියේ ප‍්‍රසංගයේදී එඞී ජයමාන්න මහත්තයා ගායනා කරන ”කොළොම් පුරේ ශ‍්‍රියා....” ගීතය ගායනා කලා. මගේ පාසලේ හිටියා රණතුංග කියල ගුරුවරියක්්. එතුමිය මගේ මේ හැකියාව දැකල මගේ හිස අතගාල අපූරු අනාවැකියක් කිව්වා. එදිරිසිංහ ඔබ කවදාහරි මේ රටේ හොඳ නළුවෙක් කලාකාරයෙක් වෙනවා කියල මෙන්න මේ කියමන මගේ හිතට එදා කාවැදුණා. රණතුංග ගුරුතුමිය මට දුන්න ඒ අගනා එන්නත මගේ කලා ජිවිතය පටන් ගන්න හොඳ පන්නරයක් වුණා. මමත් ගුරුතුමියගේ ඒ ආශිර්වාදාත්මක කියමන ඔස්සේ මගේ ගමන යන්න අරමුණු කර ගත්තා.

දශක හයක් පුරා දිගහැරෙන ඔබගේ කලා ජීවිතයේ තිඹිරිගෙය ගැන සිහි කැදවීමක් සිද්ධ කළොත්?

මමත් පාසල් වේදිකාව ඔස්සේ අත්පොත තැබූ කලාකාරයෙක්. තරුණවියට එළැඹීමෙන් පසුත් කලාව තුළ නියැළීමට තිබූ දැඩි කැමැත්ත නිසාම 1961 දී මගේ වැඩිමල් සහෝදරයා වූ ධර්මසිරි එදිරිසිංහ මාව කලාකරුවකු වූ ජේ.ඞී.ඒ. පෙරේරා මහතාට හඳුන්වා දෙනු ලැබුවා. ඒ වෙන කොට එතුමා නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ වෙස්සන්තර නාට්‍යය අධ්‍යක්ෂණය කරමින් හිටියා. ඒ නාට්‍යයේ එඞී ජයමාන්න, රුක්මණී දේවි එහෙමත් ඒ වෙන කොට රඟපෑවා. මට එතුමා වෙස්සන්තර නාට්‍යයේ රටවැසියකු ගේ චරිතයක් රඟපාන්න දුන්නා. මේ චරිතයේ වචන අටයි මට කියන්න තිබුණේ. සුමානයට දවස් තුන ගානේ මාස අටක් නාට්‍ය පුහුණු වීම් සිද්ධ කළා. නාට්‍යය පෙන්නන්න පටන් ගත්තට පස්සේ මගේ තිබුණු දැඩි කැපවීම නිසාම පසුව මට නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් වූ ”ජූජක බමුණගේ” චරිතය රඟපාන්න ලැබුණා.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ කලා ලෝකයේ දැවැන්ත වෘක්ෂයෙක් කිව්වොත්?

වෙන්න පුළුවන්. පේනකෙනාට, දකින කෙනාට තමයි මාව එහෙම හඳුන්වන්න පුළුවන්.

මේ දැවැන්ත වෘක්ෂයේ මුල පද්ධතියේ රහස මොකක්ද?

වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය මාධ්‍යයේ කටයුතු කරන මම දේශකයෙක්, ගත්කතුවරයෙක් වශයෙනුත් ක්ෂේත‍්‍රයේ නියැළී සිටිනවා. මේ සා විශාල වැඩ කොටසක් මට කරන්න ශක්තිය ලැබුණේ මගේ ගෙදරින්. ඕනෙම කෙනෙක්ගේ ජීවිතයට තමන්ගේ ගෙදර හරි වැදගත්. ඕනෑම කෙනෙක්ගේ පළමු පන්ති කාමරය මව්කුස. පළවෙනි ගුරුතුමිය තමයි අම්මා. පළවෙනි පාඩම තමයි තාලය. ඒ කියන්නේ අම්මාගේ හෘද ස්පන්දනය. ඒ හෘද ස්පන්දනය නිවැරැදිව තියෙන දරුවෙක්. දුවෙක් හෝ පුතෙක් ඔවුන් හරි දක්ෂයි. අපේ මුල්ම ගෞරවය ලැබිය යුත්තේ මවට. ඒ ගෞරවය තාත්තාටත් යනවා. අපේ වැඩිහිටියන්ටත් යනවා. අපි කුඩා අවධියේ යමක් කළොත් ඒක අගය කළා. අන්න ඒක ඉතා වැදගත්. තක්සේරු කරුවන් නැති රටක මුතු මැණික්වලින් වැඩක් නෑ. විවේචනයට වඩා අගය කිරීම හරි වටිනවා. මෙන්න මේ මුලින් ආපු පන්නරය අපිට ගොඩක් වැදගත් වෙනවා අපි තුළ ලොකු අභිරුචියක් ඇති වෙන්න. අපේ පවුලේ අයගෙන් ලැබුණු සහය, සහජ උපන් කුසලතාවය, පාසලෙන් හා සමාජයෙන් ලැබුණු පන්නරය කියන මේ සියලූ‍ කාරණා සියල්ලේ එකතුවක් තමයි මගේ මුල පද්ධතියේ රහස.

ඔබේ සාර්ථක ජීවිතයේ තවත් කඩඉමක් ඔබේ බිරිය?

මගේ බිරිය ශ‍්‍රියා එදිරිසිංහ. ඇය තමයි මගේ ටෙලි නාට්‍ය වල නිෂ්පාදන විධායකවරිය. මගේ කලාකටයුතුවල නිෂ්පාදන කාර්යයේ වගකීම් දැරුවේ ඇය. ශ‍්‍රියාව මට හම්බවෙන්නේ පාසල් අවධියේ. ඒ අවධියේ අප දෙදෙනා අතර හඳුනා ගැනීමක් හැරුණු කොට පේ‍්‍රම සම්බන්ධයක් ඇතිවෙලා තිබුණේ නෑ. මම පාසල් කාලයේ නාට්‍ය කළා. ඇය මම කළ නාට්‍යවල රඟපෑවා. සුදෝ සුදු නාට්‍යයේ ඇතුළු නාට්‍ය බොහොමයක රඟපෑවා. අපි දෙන්නාගේ පාසල් ජීවිතය අවසන් වී එළියට ගියත් අප අතර යාළුමිත‍්‍රකම එලෙසම පැවතියා. ඒ මිත‍්‍රකම පසුව ආදරයකට පේ‍්‍රමයකට පෙරළු‍ණා. අවසානයේ විවාහයෙන් අපේ ආදරය පේ‍්‍රමය ජයගත්තා. ඇය මාව හඳුනාගෙන මම ඇයව හඳුනාගෙන දැන් බොහෝකල්. මම හිතන්නේ 1957 විතර අපි හඳුන ගත්තේ. දැන් මගේ විවාහ ජීවිතයට අවුරුදු 57ක්. මම රංගන ශිල්පියෙක්. තවමත් මම ජීවත් වන්නේ එක නෝනා කෙනෙක් එක්ක. ඒ තමයි ශ‍්‍රියා එදිරිසිංහ. හුඟ දෙනෙකුට බැරි දෙයක් හැබැයි මේක.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ දැන් රංගනය පැත්තකට දාල අනාවැකි කියන්න පටන් අරන් කියල කතාවක් තියෙනවා. ඒක ඇත්තක්ද?

අනාවැකි කියන එක ඔය භූත ශාස්ත‍්‍රඥයෝ කියන එකක් නොවෙයි. මට අංක විද්‍යාව ගැන පොතක් හමුවෙලා තියෙනවා. ඒක මම අධ්‍යයනය කරමින් ඉන්නවා. උපන් දිනය අනුව මට ටිකක් ගති පැවතුම් කියන්න පුළුවන්. හැබැයි තවම කවුරුවත් මේ ගැන මගෙන් අහන්න උත්සාහ ගන්න එපා. නමුත් මම ඒ අනාවැකි කියන්න පුළුවන් කෙනෙක් බවට පත්වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. පුද්ගලයාගේ උපන් දිනය බැලූ‍වා නම් ඔහුගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් උපදෙස් මොනවද? දුර්වලකම් මොනවද? දක්ෂතාවය මොකක්ද කියලා කියන එක තමයි මට කරන්න පුළුවන්. අධ්‍යාත්මික ගුරුවරයෙක් වෙන්න තමයි මම කැමති.

ඔබේ සුවඳ පද්ම සමාජ සත්කාරක වැඩපිළිවෙළ දැන් නතර වෙලා ද?

නෑ. අදටත් නිහඬව කෙරීගෙන යනවා. කලාකාරයා කියන්නේ මානවදයාවේ සංකේතයක්. මට සමාජ සත්කාරක වැඩසටහන් කරන්න ආදර්ශයක් දුන්නේ. ඒ සඳහා මට ආදර්ශවත් චරියක් වුණේ මගේ තාත්තා. තාත්තා කළ ඒ හොඳ වැඬේ අපේ පවුල වෙනුවෙන් මම කරන්න පටන් ගත්තා. සතිස්චන්ද්‍ර සංස්කෘතික සංසදය හරහා තරුණ තරුණියන්ට නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඉගැන්වීමක් සිද්ධ කළා. ජීවිත දැනුම කියල දුන්නා. ඊට පස්සේ සප්ත කලාපීය මහවැලි බලකාය හැදුවා. ඒ හරහා විශාල පිරිසකට කලා ක්ෂේත‍්‍රයේ ඉඩහරසර විවර කර දුන්නා. මීට වසර දොළහකට පෙර මිහිදු සංස්කෘතික පදනම සුවඳ පද්ම නමින් ආරම්භ කළා. මේ මඟින් රටට දැයට විශාල සේවයක් කළ කලාකරුවන් විශාල පිරිසක් ඇගැයීමට ලක්කළා. වසර අටක් මම එක දිගට මේ වැඩසටහන කරගෙන ආවා. කොරෝනා වසංගතය රටේ තිබෙන තත්ත්වයක් නිසා මේ සමාජ මෙහෙවර තාවකාලිකව නතර වෙලා තියනවා. ඒත් මම ළමයින්ට පුළුවන් විදියට ශිෂ්‍යත්ව දෙනවා, උපකාර කරනවා. මේ සඳහා මගේම මුදල් නොවෙයි යොදවන්නේ. මගේ හිතමිත‍්‍රයින් පිටරටවල ඉන්න උදවියගේ දායකත්වයක් ලබාගෙන මේ සමාජ මෙහෙවර මේ දවස්වල නිහඬව කරගෙන යනවා. විනිවිදභාවයකින් මම මේ කරන සත්ක‍්‍රියාවට මට උදව් කරන හැමෝම බොහොම සංතෝසයෙන් එකතු වෙලා ඉන්නවා. හොද්දයි හැන්දයි තියනවා නම් කරන්න තියෙන්නේ බෙදන එක තමයි.

ඔබ නිතර කියන ජප කරන වචනයක් තියනවා මිනිස්සු වැඩ කරන්න ඕනේ මිනිස්සුන්ට කියලා.

මිනිස්සු හිතන් ඉන්නවා ඔවුන්ට හුඟාක් වැඩ කරන්න තියනවා කියලා. නෑ ඒක වැරදියි. මිනිස්සුන්ට කරන්න තියෙන්නේ. එක වැඩයි. ඒ මිනිස්සුන්ට වැඩ කිරීම. මම මිනිස්සුන්ට වැඩ කරන මිනිහෙක්. මිනිස්සුන්ට තනියෙන් කරන්න පුළුවන් වැඩ දෙකයි තියෙන්නේ. ඒ උපදින එකයි මැරෙන එකයි. ඒ ඇරෙන්න වෙන කිසිවක් තනියෙන් කරන්න බෑ. මම සතුටු වෙන්නේ තව කෙනෙක් සතුටු වෙනවා දැකීමෙන්.

සම්මානනීය ඇගැයුම් පැසසුම් ගැන ඔබ දරන්නේ කවර අදහසක්ද?

මිණිකැට යටවෙලා ගෝමරිටි උඩ එන කාලවකවානුවක සම්මාන ගැන කවර කතාද? සම්මාන ලැබිය යුතු නිර්මාණවලට සම්මාන නොලැබෙන සම්මානයට පාත‍්‍රවිය යුතු පුද්ගලයන් සම්මානනීය නොවීම අපිට දකින්න තියන සුලබ දසුනක්. ඇති පදන් ජනතා සම්මාන ලැබුණාත් සම්මාන ලැබිය යුතු නිර්මාණයන්ට නිර්මාණකරුවන්ට සම්මාන නොලැබීම මේ රටේ මහා ඛේදවාචකයක්.

ඔබගේ ප‍්‍රථම සිනමා අධ්‍යක්ෂණය වූ මාතර ආච්චි චිත‍්‍රපටයට අවුරුදු පණහක් සපිරෙන්නත් ආසන්නයි නේද?

ලබන වසරේ ජනවාරි 11 වැනිදාට මගේ මුල්ම චිත‍්‍රපට අධ්‍යක්ෂණය වූ ”මාතර ආච්චි” චිත‍්‍රපටයට අවුරුදු පණහක් සපිරෙනවා. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් කරන්නත් මගේ අදහසක් තියෙනවා.

දශක හයක කලාජිවිතය තුළ ඔබ මේ පසුකර යන්නේ ජීවන රඟමඩලේ කිනම් සංධිස්ඨානයද?

අසූ එක්වන වසර.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ කලාකරුවාණෙනි ඔබට තව තවත් මේ කලාකෙත පෝෂණය කරන්නට දීර්ඝායුෂ ලැබේවා.!