වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
ඉන්දියාවේ හෙලන් වෙනුවට නැඟී ආ අපේ හෙලන් කුමාරි

ඔහු මගෙන් ඉල්ලීමක් කළා. සිනමාවෙන් ඉවත් වන්නට කියා මම සිනමාවෙන් ඉවත් වුණා
ආදරේ හිතෙනව දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඞ්ඩක් ඉන්න සුදෝ
මං එනවා ළඟටම දැන් හොඳයි
දැන් මතකද චිත‍්‍රපටයට එච්.ආර්.ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ මෙම ගීිතය නොඇසූ කෙනෙක් අද ලංකාවේ සිටිනවා දැයි සොයා ගැනීම පවා දුෂ්කර වන තරමටම අදටත් මෙම ගිතය අතිශයින් ජනප‍්‍රියත්වයට පත්ව ඇත. සුරූපී යෙවන නර්තනවේදිනියක් ඩොමී ජයවර්ධන සමඟ මෙම ගීතයට අපූරු නර්තනයක් ඉදිරිපත් කළේ පේ‍්‍රක්ෂක මනසේ සදා නොමියෙන ගීතයක් බවට මෙම ගීතය පත් කරවමිනි. එපමණක් නොව ඇය මෙම චිත‍්‍රපටයේ නර්තන අධ්‍යක්ෂිකාව ද වූවාය. අද අපේ කතා නායිකාව වන්නේ ඇයයි.
සිංහල සිනමාවේ අතිශයින් ජනප‍්‍රිය නර්තන ශිල්පිනියක ලෙස කිරුළු පලන් ඇය නර්තන ශිල්පිනියක පමණක් නොව චිත‍්‍රපට 10ක පමණ සංඛ්‍යාවක නර්තන අධ්‍යක්ෂවරිය ද වන්නීය. දෙමළ ජාතික කාන්තාවක් වුවද ඇය සිංහල සිනමාව බැබළ වූයේ හෙලන් කුමාරි ලෙසිනි.
අරුල් මේරී එස්තර් ප‍්‍රනාන්දු හෙවත් ඔබ අප කවුරුත් හඳුනන හෙලන් කුමාරිගේ නිජබිම කොටහේන, ජින්තුපිටිය වීදියයි. පියා අරුල් ප‍්‍රනාන්දු රැකියාව කළේ වරායේ ය. මව ත‍්‍රීසා ප‍්‍රනාන්දුය. සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ ඇය තෙවැන්නාය.
හෙලන් කුමාරි අධ්‍යපනය හැදෑරුවේ ඇගේ නිවසට නුදුරු විවේකානන්ද හිල් හි පිහිටි ශාන්ත ආනා බාලිකා විදුහලෙනි. නර්තනයට උපතින් ලද සහජ හැකියාව අනාගතයේ නර්තන ශිල්පිනියක වීමේ පෙර නිමිති පළ කිරීමට සමත් විය. දෙමළ සහ හින්දි ගීතවලට ඇය කැඩපත ඉදිරියේ දැක්වූ රැඟුම් අතිශයින් චමත්කාර විය. ඇගේ නර්තනය දුටු දෙමව්පියන් සහ හිතවතුන් ඇගේ දක්ෂතා පිළිබඳ විස්මයට පත් වූයේ මෙතරම් ළාබාල දැරිවියක වුවද ඇගේ නර්තනයෙ තිබූ සුවිශේෂී හැඩතල තුළින් පෙන්නුම් කළේ ප‍්‍රවීණ නර්තන ශිල්පිනියකගේ නර්තන අංගයන්ය. ඈ විසූ බංගලාවත්තේ හිතවතුන්ගේ ඥාතීන්ගේ මංගල උත්සව, ප‍්‍රිය සම්භාෂණවලට නර්තන ඉදිරිපත් කිරීම සඳහා ඇයව කැඳවාගෙන යෑම සුලභ සිද්ධියකි. වයස අවුරුදු 5,6 වන විට මේ හුරුබුහුටි දැරිවිය හිතවතුන්ගේ උත්සවවල දී ඉදිරිපත් කරන ආකර්ෂණීය නර්තන සියල්ලම මවිතයට පත් කළා පමණක් නොව පාසලේ ගුරුවරුන්ගේ කන්‍යා සොහොයුරියන්ගේ ආදරයට ප‍්‍රසාදයට ලක් වූ දැරියක් වූවාය. ඇය තුළ තිබූ මේ සුවිශේෂ වූ නර්තන කෞශල්‍යය හේතුකොට ගෙන ගුරුවරුන් නිතරම ඈ පිළිබඳ ප‍්‍රශංසා මුඛයෙන් අභිමානයෙන් කතා කළේ පාසලේ සියලූම නර්තන ප‍්‍රසංගවල හෙලන් කුමාරි නැතුවම බැරි නර්තන ශිල්පිනිය වූ බැවිනි.
කොටහේන ජින්තුපිටිය විසූ දක්ෂ කලා ශිල්පියෙකු වූ රාජෙන්ද්‍ර මාස්ටර් මනෝ රංජිද ගාන සභා නැමති කලායතනය පවත්වාගෙන ගියේ වසර ගණනාවක පටන්ය. ඔහුට කනින් කොනින් හෙලන් කුමාරි ගේ නර්තන හැකියාවන් පිළිබඳව තොරතුරු අසන්නට ලැබුණි. දිනක් ඔහු හෙලන් කුමාරි සොයා ඇගේ නිවසට ගියේය. මේ ගෙදර ලස්සනට නටන්න පුළුවන් පුංචි දරුවෙක් ඉන්නවලූ.
ඔව් ඉන්නවා.
ඇයගේ මව පැවසුවාය.
දුව පොඞ්ඩක් එක්කගෙන එන්න
හෙලන් කුමාරි කිසිදු සබකෝලයක් නොමැතිව රාජෙන්ද්‍ර මාස්ටර් ඉදිරියට පැමිණියාය.
දුව පොඞ්ඩක් නටලා පෙන්නවද?
ඇය හින්දි ගීතයක් ගායනා කරමින් නර්තනයක් ඉදිරිපත් කළාය. රාජෙන්ද්‍ර මාස්ටර් මවිතයට පත්විය. මම දුවව අපේ කලායතනයට බඳවා ගන්නවා. හැමදාම පුහුණුවීම්වලට එන්න. ඇයට මේ ලැබූ ආරාධනය හිසේ මලක් පිපුණා මෙන් විය. මාස්ටර් ගේ ආරාධනය පරිදි දිනපතා හෙලන් කුමාරි කලායතනයට යෑමට පටන් ගත්තාය. එහිදී රාජෙන්ද්‍ර මාස්ටර් විසින් ඇයට නර්තනය, ගීත ගායනය රඟපෑම, ආදි සියල්ලක්ම ම පුරුදු පුහුණු කළේය. ඈ ලද පුහුණුවත් සමඟ හෙලන් කුමාරිට හා පුරා කියා වේදිකා නාට්‍යයක රඟ පෑමේ වරම හිමිවිය. වේදිකා නාට්‍යය දෙමළ නාට්‍යයකි. වේදිකාගත වුණේ ජින්තුපිටිය මෝඩි ශාලාවේදීය. ඇයට රඟපෑම ද සිදුවුයේ අවුරුදු අසූවක් වයසැති මවකගේ චරිතයකි. ඇය මියගිය තම පුතු ඇකයේ හොවාගෙන කඳුළු සලමින් හඬා වැටෙමින් මිනිත්තු 10ක පමණ කාලයක් පුරා දෙබස් කාණ්ඩ සහිතව රඟපෑවේ පේ‍්‍රක්ෂක ඔල්වරසන් හඬ මධ්‍යයේය. නාට්‍ය නිමාවත් සමඟ පේ‍්‍රක්ෂකයෝ කුතුහලයෙන් යුතුව අවුරුදු 80ක් වයසැති මවගේ චරිතය රඟපෑ නිළිය කවුදැයි සෙවූහ. එවිට ඔවුන් දුටුවේ අවුරුදු 15ක් පමණ වයසැති හිරිමල් වියේ පසු යෞවනියකි. ඇගේ රඟපෑමේ තිබූ ප‍්‍රශස්ත මට්ටම ගැන පේ‍්‍රක්ෂකයෝ මවිතයට පත්වූහ. පසුව ඇය දමිළ බසට පරිවර්තනය කරන ලද වේදිකා නාට්‍ය කීපයක ද රඟපෑවාය. නාට්‍ය දර්ශන වේදිකාගත වුයේ කොළඹ අවට ප‍්‍රදේශවල පමණක් නොවේ. යාපනය, මුලතිව් ආදී උතුරුකරයට මාස්ටර් නාට්‍ය රැගෙන ගියේය. යාපනයේ දී නාට්‍ය රඟ දැක්වීමෙන් අනතුරුව හෙලන් කුමාරිට හොඳ ඉල්ලමක් පැදුණි. ඒ භරත නාට්‍ය හැදෑරීම සඳහාය. මාස හයක කාලයක් පුරා ඇය පාසල් නොපැමිණ යාපනයේ දී නාට්‍ය හැදෑරුව ද පාසැලට නොපැමිණීම පිළිබඳව පාසලේ කන්‍යා සොහොයුරියන් විරුද්ධවයක් පෑවේ නැත.
ක‍්‍රමයෙන් හෙලන් කුමාරි ඉගෙනීමට වඩා ලොල් වූයේ නර්තනයටය. කලාවට දැක් වූ ඇල්ම නිසා ඇගේ පාසැල් ගමනට නැවතීමේ ලකුණ තැබිණ. වරක් ඇය නර්තනයෙන් දායක වූ නාට්‍යයක් නැරඹීමට චිත‍්‍රපට අධ්‍යක්ෂක එම්.වී.බාලන් පැමිණ සිටියේය. ඇගේ නර්තනය දැක ඇය සිනමාවට සම්බන්ධ කරගැනීමට එම්.වී.බාලන් සිතුවේය.
අලූත් චිත‍්‍රපටයක් අපි නිෂ්පාදනය කරනවා. රඟපාන්නට ඔයාට අවස්ථාවක් දෙන්න පුළුවන්?
බාලන් හෙලන් කුමාරි ගෙන් විමසූ නමුත් හෙලන් කුමාරි එතරම් කැමැත්තක් දැක්වුයේ නැත. මම කැමැතියි ඉන්දියන් චිත‍්‍රපටවල රඟපාන්න.
ඇගේ පිළිතුර විය.
අපි ඉස්සෙල්ලා ලංකාවේ එකක් කරමු. ඊට පස්සේ ඉන්දියාවේ චිත‍්‍රපටයක රඟපාන්නට පුළුවන්. බාලන් ගේ පෙරැත්තය මත හෙලන් කුමාරි රඟපෑමට එකඟ විය.
‘ඔක්කොම හරි’ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක වන ජෙම්ටෝන් කැසට් ව්‍යපාරයේ මෙන්ම විසාකාමාල්ස් අධිපති වූ විජේපාල හෙට්ටිආරච්චිට බාලන් විසින් හෙලන් කුමාරි හඳුන්වා දෙනු ලැබීය.
නම කවුද?
විජේපාල හෙට්ටිආරච්චි විමසීය.
අරුල් මේරී එස්තර් ප‍්‍රනාන්දු
නම සිනමාවට ගැළපෙන්නේ නැහැ. අපි නම වෙනස් කරමු.
හින්දි සිනමාවේ හොඳ නර්තන ශිල්පිනියක් ඉන්නවා. ඇගේ නම හෙලන්. අපි ඔයාට දාමු හෙලන් කුමාරි කියලා. ඔන්න ඔහොමයි මගේ උප්පැන්නේ නම වෙනස් වුණේ. විජේපාල හෙට්ටිආරච්චි මගේ නම වෙනස් කළේ හෙලන් කුමාරි කියලයි.
හෙලන් කුමාරිගේ සිනමා ප‍්‍රවේශය 1967 තිරගත වූ විජේපාල හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කළ ඔක්කෝම හරි චිත‍්‍රපටියයි. එදා පටන් 1985 වන තෙක් ඇය සිංහල සිනමා ක්ෂේත‍්‍රය තුළ නොමැකෙන ලාංඡුනයක් තැබූ නර්තන ශිල්පිනියකි.
ඔබ බටහිර නර්තන ශෛලිය හැදෑරුවේ රොනල්ඞ් මාස්ටර් ගෙන් නේද?
මම යාපනයේ දී වෙලානන්ද ගුරුතුමාගෙන් භාරත නැටුම් ප‍්‍රගුණ කළා. නමුත් සිංහල චිත‍්‍රපට සඳහා භාරත නැටුම් පමණක් ප‍්‍රමාණවත් නොවන නිසා චිත‍්‍රපට නර්තන අධ්‍යක්ෂක රොනාල්ඞ් මාස්ටර් මට බටහිර නර්තන ශෛලිය. හොඳින් ඉගැන්වුවා. ‘සුළි සුළං’ චිත‍්‍රපටයෙන් තමයි ඔහු මට නර්තනය ඉගැන්වීම ආරම්භ කළේ. ඇත්තටම මං ඔහුට ගරු කරනවා. ඔහු නොසිටින්නට මට සිනමාවේ බටහිර නර්තන යෙදෙන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔහු අපගේ නිවසට පැමිණ මට නර්තනය කියා දුන්න. විශේෂයෙන් රාත‍්‍රී සමාජශාලා දර්ශනවල ඇතුළත් වන්නේ බටහිර නර්තන ශෛලිය මම සිනමාවේ ජනප‍්‍රියත්වයට පත්වුණේ බටහිර නර්තන ශිල්පිනියක ලෙස. රොනල්ඞ් මාස්ටර් ගෙන් ලත් උපදෙස් මත සියලූ අඩුපාඩුකම් හදාගෙන නර්තන අධ්‍යක්ෂකවරියක් වන්නට තරම් මම සුදුසුකම් ලැබුවා. ඒ සඳහා මං ඔහුට ස්තූතිවන්ත වෙනවා.
ඔබ නර්තන අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපට මොනවාද?
මට ඒ අවස්ථාව හිමි වුණේ ලෙනින් මොරායස් නිසා. මම නර්තනයේ යෙදෙන චිත‍්‍රපටවල ඉදිරියට නර්තන අධ්‍යක්ෂණය කරන්නට කියා ඔහු මට ආරාධනා කළා. එදත් සූරයා අදත් සූරයා, චිත‍්‍රපටයේ ගාමිණී සහ මාලිනීට, සූරයන්ගෙත් සූරයා චිත‍්‍රපටයේ සෝනියා දිසාට, සූකිරි කෙල්ල චිත‍්‍රපටයේ සුමනා අමරසිංහට, ශාන්ති චිත‍්‍රපටයේ නීටා ප‍්‍රනාන්දුට, රහසක් නැති රහසක් චිත‍්‍රපටයේ ශ‍්‍රියානි අමරසේන සහ විජය කුමාරතුංගට ආදී සිනමාවේ ප‍්‍රධාන දහරාවේ නළු නිළියන්ට මම නර්තනය අධ්‍යක්ෂණය කළා. ‘පේනවා නේද’
චිත‍්‍රපටයට මම ඔස්වල්ඞ් ජයසිංහ සමඟ උප ප‍්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව හිමි වුණා. එම චිත‍්‍රපටයේ අතිශයින් ජනප‍්‍රිය ගීතයක් තිබුණ ‘මිනි මිනි ගවුම්’ කියලා. මේ ගීතයට නර්තනයක් ඉදිරිපත් කළේ මම. ඒ කාලේ විලාසිතාව කොට ගවුම. කොටට ඇඳගෙන තමයි මම රඟපෑවේ. මම ජෝතිපාල සමඟ ‘ශාන්ති’ චිත‍්‍රපටයේ නර්තනයක යෙදුණා. ‘ශාන්ති’ චිත‍්‍රපටයේ නර්තන අධ්‍යක්ෂිකාව මමයි. ටොනි රණසිංහ සමඟ ‘සුනේත‍්‍රා’ චිත‍්‍රපටයේ නර්තනයක් ඉදිරිපත් කළා. මම චන්ද්‍රකලා සහ ජෝතිපාලයි තිදෙනාම චිත‍්‍රපටවල නර්තන ඉදිරිපත් කළ අවස්ථා තිබෙනවා.
ඔබ රඟපෑ චිත‍්‍රපට?
ඔක්කොම හරි. දැන් මතකද, සුළි සුළං, නෑදෑයෝ, එදත් සූරයා අදත් සූරයා, සූකිරි කෙල්ල, හතර දෙනාම සූරයෝ, පේනවා නේද, රහසක් නැති රහසක්, සුනේත‍්‍රා, රජ දවසක්, අජාසත්ත ආදි චිත‍්‍රපට ගණනාවක රඟපෑවා.
කොහොමද ඔබේ පෞද්ගලික ජීවිතේ?
මම විවාහකයි මගේ සැමියා ආර්.රාජසේකරන්. ඔහු රැකියාව කළේ ජැෆර්ජි බ‍්‍රදර්ස් ආයතනයේ. මට ඔහු හමුවුණේ අහම්බෙන්. ඔහු ‘කදම්භන්‘ නැමැති දෙමළ පුවත්පතට ලිපි සපයන නිදහස් මාධ්‍යවේදියෙක්. දිනක් ඔහු පැමිණියා මගෙන් පුවත්පත් සාකච්ඡුාවක් ලබා ගැනීම සඳහා. පසු අපි දෙදෙනා හිතවත් මිතුරන් වුණා. හේතුව ඔහු නාට්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්. ඔහු යාළුවෙක් සමඟ එකතු වී නාට්‍ය නිෂ්පාදනය කළා. නමුත් ඔහුගේ යහළුවා රට හැර ගියා. ඒ නිසා ඔහු මට ආරාධනා කළා ඔහු සමඟ එකතු වී නාට්‍ය නිෂ්පාදනය කරන්නට. මේ අප අතර ආදර සම්බන්ධතාවයක් ඇති වුණා. ඔහු හින්දු භක්තිකයෙක්. මම කතෝලික. දෙපාර්ශ්වයම අපේ සම්බන්ධතාවයට අකමැති වුණා. අවසානයේ දී අප දෙදෙනා හින්දු කෝවිලේ දී විවාහ වුණා. අපේ අම්මා පැමිණියේ නැහැ. අපි විවාහ වී අලූත් කඬේ පදිංචියට ආවා. මේ අතරතුර ඔහු මගෙන් ඉල්ලීමක් කළා. සිනමාවෙන් ඉවත් වන්නට කියා. මම සිනමාවෙන් ඉවත් වුණා. 1985 දී. එදා පටන් මේ වන තුරු මම කිසිදු චිත‍්‍රපටයක රඟපෑවේ නැහැ. අප දෙදෙනාට දුවෙකුයි පුතෙකුයි සිටිනවා. දුව විවාහ වෙලා මහත්තයා කටාර් වල ඉන්නේ. මට මුණුපුරෙක් ඉන්නවා. පුතා විවාහ වෙලා. දැන් වසර 20 පුරා අපි පදිංචිය වෙලා ඉන්නේ මාලිගාවත්තේ තට්ටු නිවාසවයක. මගේ පුතයි ඔහුගේ බිරිඳ සමඟ අපි දෙදෙනා ජීවත් වෙන්න.
ඔබ විවාහයෙන් පසු සිනමාවට මෙන්ම කලාවටත් ආයුබෝවන් කීවාද?
නැහැ. මගේ සැමියා සහ මම එක් වී වේදිකා නාට්‍ය නිෂ්පාදන කිරීමට පටන් ගත්තා. අපට කලායතනයක් තිබුණා. එහි සභාපති මම සැමියා ලේකම් අපගේ කලායතන මඟින් වේදිකා නාට්‍ය ගණනාවක්ම වේදිකාගත කළා. මම වේදිකා නාට්‍ය අතිශය ජනප‍්‍රිය වුණා. දර්ශන වාර 15ක් 20ක් පමණ පැවැත්වීමට අප දෙදෙනාට හැකිවුණා. නාට්‍යවල ප‍්‍රධාන චරිත රඟපෑවේ මම. වේදිකා නාට්‍යවලට මගේ නර්තන අංගයක් ඉදිරිපත් කිරීමට මම කටයුතු කළා මගේ මහත්තයයි මමයි කොටහේන සිංහ සමාජයට සම්බන්ධ වී කටයුතු කරනවා. කොටහේන සිංහ සමාජයේ ආරම්භක සාමාජිකයා මගේ මහත්තයා. සමහර අවස්ථාවලදී සිංහ සමාජය විසින් අපගේ නාට්‍ය වේදිකාගත කරනවා. එවිට ලැබෙන සියලූ මුදල් අපි සිංහ සමාජයට දෙනවා. මගේ මහත්තයා විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ටාර් වරයෙක්. ඔහුට මුද්‍රණාලයක් තිබෙනවා වික‍්‍රම් නමින්.
නර්තන හැකියාව මගේ ජීවිතයට ලැබුණු ලොකුම ආශීර්වාදයක්, නිළියක්, නර්තන ශිල්පිනියක්, නර්තන ආචාර්යවරියක්, බිරිඳක්, මවක්, මිත්තණියක් ලෙස ජීවිතේ දෙස හැරී බලද්දී මම තෘප්තිමත් කාන්තාවක් කියා මට සතුටු විය හැකියි. මගේ සැමියාගේ සෙනෙහස දරුවන්ගේ ආදරය මධ්‍යයේ මගේ සැදෑ සමය මම සතුටින් ගෙවනවා.
සේයාරූ-නිශ්ශංක විජෙරත්න