ඔහු විවාහ වූදා මා තනිවම ඉන්න තීරණය කළා

-උදුලා දාබරේ
ජුනි 30, 2022

 

 

මට අවශ්‍ය වුණේ කාටත් අතනොපා මගේ ජීවිතේ අවසාන භාගය ගෙවීමට

 

උඩ දැමු කාසියේ වාසිය හිමිවූයේ උදුලා දාබරේටය. ඒ වාසනාව සමඟ උදුලා දාබරේට හා පුරා කියා වරද කාගෙද චිත්‍රපටයේ රඟපෑමේ අවස්ථාව හිමි විය

රුක්මණී දේවි මගේ හොඳ යෙහෙළියක්

 

 

නංගී මට කැලැ හඳ චිත්‍රපටයේ රඟපාන්නට ඉන්දියාවට යන්නට අවස්ථාවක් තියෙනවා. මගේ තනියට ඔයාටත් එන්න පුළුවන්ද? මේ දෙබස ඇති වුයේ මිලී කහඳවල සහ උදුලා දාබරේ නැමැති ඥාති සොහොයුරියන් දෙදෙනා අතරය.

1953 මැයි විසි එක් වැනිදා තිරගත වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ගේ කැලෑහඳ චිත්‍රපටයේ ජයපාල මැතිනියගේ චරිතයට පණ පෙව්වේ මිලී කහඳවලය. මිලී කහඳවල ගේ තනි නොතනියට ඉන්දියාවට ගියේ අද අපේ කතා නායිකාව වන උදුලා දාබෙර්ය. මිලී කහඳවලගේ සොයුරිය සමඟ විවාහ වී සිටින්නේ උදුලා දාබරේ ගේ වැඩිමල් සොහොයුරාය. නෑදෑ හිතවත්කම් මත අම්මගේ අවසරය උදුලාට ලැබුණි. මිලී කහඳවල ගේ තනියට ඉන්දියාවට ගිය උදුලා දාබරේ චිත්‍රපට කණ්ඩායම සමඟ ඉතා සුහදව කටයුතු කිරිමට අවස්ථාව ලැබුණු අතර ඇය කිසිදාක බලාපොරොත්තු නොවූ වාසනාවක් ඇයට පෑදුණි. කැලෑහඳ චිත්‍රපටයේ එක්තරා දර්ශනයකට නිළියක අවශ්‍යව සිටි මොහොතේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න උදුලා දාබරේ දැක ඇයව එම දර්ශනයට සහභාගී කර ගැනීමයි.

සුළු දර්ශනයක් වූවද උදුලා දාබරේ නැමැති ප්‍රවීණ රංගන ශිල්පිනියගේ සිනමාවේ සමාරම්භය වුයේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ගේ කැලෑ හඳ චිත්‍රපටය යි. එවකට පාසල් ශිෂ්‍යාවක් වුවද කැලෑහඳ චිත්‍රපටයේ රඟපෑම සමඟම චිත්‍රපට නිළියක් වීමේ ආශාව ඇය තුළ ක්‍රමයෙන් මෝදු විය.

පාසල් වියේ දඟකාර හුරුබුහුටි දැරියක වූ උදුලා දාබරේ ළමා පිටියේ ගීත ගැයීම පමණක් නොව ගුවන් විදුලි නාට්‍ය කිහිපයකම දායක වූ දැරියකි. මේ දැරිවියගේ දස්කම් කරුණාරත්න අබේසේකරයන් ගේ දැඩි අවධානයට ලක් වූවා පමණක් නොව ඇගේ හැකියාවන් ඔහු ප්‍රශංසාවට ලක් කළේය.

සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම්ට වරද කාගේ ද චිත්‍රපටයට විකට ගීතයක් ගයමින් රඟපෑමට නිළියක් අවශ්‍ය වී තිබුණි. වරද කාගේ ද චිත්‍රපටයේ ගීත ප්‍රබන්ධය කළ කරුණාරත්න අබේසේකරයන්ට එකවර මතකයට ආවේ උදුලා දාබෙර්ය. ගීතමය දර්ශන ඇතුළත් හෙයින් උදුලා චරිතයට ගැළපේ යැයි ඔහු සිතුවේය. කරුණාරත්න අබේසේකරයන් මේ බව ගුණරත්නම්ට පැවසීමත් සමඟ චිත්‍රපටියේ රඟපෑමට ආරාධනා කිරීම සඳහා කරුණාරත්න අබේසේකර සමඟ සිනමාස් කණ්ඩායම ඇය සොයා පාසලට ගියහ. පාසල නිම වී පොත් මිටිය තුරුලු කරන් පැමිණි උදුලා දුටු ගුණරත්නම් චිත්‍රපටියට ඇය තෝරා ගැනීමට අදිමදි කළේ ඇය එවකට කුඩා පාසල් දැරියක වූ බැවිනි.

වරද කාගෙද චිත්‍රපටයේ රඟපෑම සඳහා මේ වන විට තරුණියක තෝරාගෙන තිබුණි. ඒ හේතුªවෙන් උදුලා දාබරේට රඟපෑමේ අවස්ථාව අහිමි වී යාමට බොහෝ සේ ඉඩ තිබුණු අතර චිත්‍රපට කණ්ඩායමේ පිරිසක් තෝරාගත් නිළියට වැඩි කැමැත්තක් නොදැක්වු නිසා අවසානයේ ගුණරත්නම් කාසියක් උඩ දමා සුදුසුම නිළිය තෝරා ගැනීමට තීරණය කළේය. උඩ දැමු කාසියේ වාසිය හිමිවූයේ උදුලා දාබරේටය. ඒ වාසනාව සමඟ උදුලා දාබරේට හා පුරා කියා වරද කාගෙද චිත්‍රපටයේ රඟපෑමේ අවස්ථාව හිමි විය. එම චිත්‍රපටයේ රඟපෑ ජොලිය නැමැති විකට ගීතය ගායනා කරමින් ඇය ඉදිරිපත් කළ රංගනය අතිශයින් ජනප්‍රසාදයට ලක් විය. කොටින්ම පැවසුවොත් එක රැයකින් ඇය ජනපි‍්‍රය වුවාය.

උදුලා හා පුරා කියා රඟපෑවේ එවකට සිනමාවේ ජනපි‍්‍රය නළුවකු ව සිටි බර්ට්‍රම් ප්‍රනාන්දු සමඟය.

ටී.ආර්. සුන්දරම් අධ්‍යක්ෂණය කළ වරද කාගෙද චිත්‍රපටය තිරගත වුයේ 1954 අපේ‍්‍රල් 9 වැනිදා ය. උදුලාගේ තෙවැනි චිත්‍රපටය වුයේ රදල පිළිරුව චිත්‍රපටයයි. ඇය රඟපෑවේ ක්‍රිස්්ට් ලෙනාඩ් සමඟිනි. දොස්තර, දුප්පතාගේ දුක, ගැහැනු ගැට, නළඟන, පිරිමියෙක් නිසා, සුවිනීත ලාලනී, දරුවා කාගෙද, සීගිරි කාශ්‍යප, සුලලිත සෝබනී, සූරයන්ගෙත් සූරයා, දැන් මතකද, සැලී ආදී චිත්‍රපට ගණනාවක ඇය රංගනයෙන් දායක වී ඇත.

ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ක්‍රිස්ට් ලෙනාඩ් පෙරේරා, එල්.එම්. පෙරේරා, රවීන්ද්‍ර රූපසේන, ඇන්තනී සී. පෙරේරා ආදී එවකට සිනමාවේ දැවැන්තයන් සමඟ රඟපෑමේ විශේෂ වරප්‍රසාදය ඇයට හිමිවිය. උදුලා දාබරේට බොහෝවිට රඟපාන්නට අවස්ථාව හිමිවූයේ උප ප්‍රධාන චරිත වූවද එහි ගීතමය ජවනිකා ඇතුළත් වීම නිසා පේ‍්‍රක්ෂක මතකයේ රැඳෙන චරිත ඉදිරිපත් කිරීමට ඒවා රුකුලක් විය. ඇතැම් සිනමාපටවල උදුල රඟපෑවේ විකට චරිතය. ඒ සිනමාවේ ජ්‍යෙෂ්ඨතම ශිල්පීන් ජෝ අබේවික්‍රම, ඇන්තනි සී පෙරේරා වැනි ප්‍රවීණයන් සමඟය.

ජීවිතේ සැඳෑ සමය ගෙවන උදුලා දාබරේට දැන් වයස අවුරුදු 82කි. තවමත් තනිකඩ දිවියක් ගත කරන ඇයගේ තනි නොතනියට ඈට ඇප උපකාර කිරීමට සිටින්නේ ඇයගේ සොහොයුරාගේ දියණිය වන මල්ලිකාය. ඇගේ නිවසේ වසර තුනක කාලයක පටන් උදුලා දාබරේ වෙසෙයි. පසුගිය කාලයේ උදුලා අසනීප තත්ත්වයෙන් පසු වුවද ඇයට දැන් තරමක් ගුණය. සැදෑ සමයත් සමඟ උදුලා ගේ මතකය ක්‍රමයෙන් අඩු වී තිබුණ ද ඇගේ තොරතුරු ලබාගැනීමට හැකි පමණ උත්සාහ ගත් අතර ඇගේ සොහොයුරියගේ පුත් ඡායාරූප ශිල්පී උපුල් නිශාන්තගේ සහාය ලැබිණි.

අපි පුංචි කාලෙ පදිංචිය නාරාහේන්පිට මහවත්තේ, නාරාහේන්පිට මහවත්ත කනිෂ්ඨ විදුහලෙන් අධ්‍යාපනය හැදෑරුවා. දෙමව්පියන්ට අවශ්‍ය වුණේ අපට ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලබා දීමට පසුව මරදාන සාන්ත ලෝරන්ස් පාසැලෙන් මම ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබුවා. පියා ලුවිස් දාබරේ මව ඇලිසා ඩයස් පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනයි. මම සයවැනියා. අයියයි බාල නංගි හැරුණු කොට කිහිප දෙනෙක් පොඩි කාලෙම මිය ගියා. මම සිනමාවට පිවිසි සමයේ පදිංචිව සිටියේ නුගේගොඩ කන්දෙවත්ත කුලී ගෙදරක. රුක්මණී දේවි මගේ හොඳ යෙහෙළියක්. ඩේසි අක්කා, එඩී ජයමාන්න පමණක් නොවේ මගේ සමකාලීන කලාකරුවන් නිතරම අපේ ගෙදර ආවා ගියා. බොහෝ වෙලාවට සති අන්තයේ අපේ හිතවත් කලාකරුවෝ කට්ටිය එකතු වෙලා පාටි දානවා. එවැනි සුන්දර අතීතයක් අපට තිබුණා.

මට තාම මතකයි වරද කාගෙද චිත්‍රපටය රඟපෑමට අපේ අම්මත් එක්ක ඉන්දියාවේ මොඩර්න් චිත්‍රාගාරයට ගිය හැටි චිත්‍රපටය නිම වී ලංකාවට පැමිණි පසු සිනමාස් සමාගම සමඟ මම වසර දෙකකට චිත්‍රපට රඟපෑම සඳහා ගිවිසුම් අත්සන් කළා. සිනමාස් සමාගම මූල්‍යමය වශයෙන් අපට හොඳට සැලකුවා.

 

මගේ මතකය හරි නම් ඔබ වේදිකා නාට්‍යවල ටෙලි නාට්‍යවල රඟපෑ නිළියක්?

ඔව් මම සිවම්මා ධනපාල, බල්ගිස්නෝනා ආදී වේදිකා නාට්‍ය කිහිපයක සහ එළිවනතුරු, ගඟුලෙන් එතෙරට, වසන්තය නිමාවිය. යන ටෙලි නාට්‍යවල රඟපෑවා. රිදී රැයක් ප්‍රසංගයේදී ජීවිතයට එක්වරක් ලැබෙන සම්මානය මට හිමිවුණා. ඊට අමතරව සිල්වර් ස්ක්‍රීන් සංවිධානය මඟින් උපහාර සම්මානයත් ඇතුළු සම්මාන කිහිපයක් මට ලැබුණා.

ජීවිතයේ සැදෑ සමය ගෙවන ඔබ දරුවෙක් මල්ලෙක් නැති තනිකඩ ජීවිතේ ගැන මොකද හිතන්නේ?

ඒක මගේ දෛවය වෙන්න ඇති මම තරුණ කාලේ එක්තරා වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් සමඟ පේ‍්‍රම සම්බන්ධකම් පැවැත්තුවා. එයා ඕස්ටේ‍්‍රලියාවට යන්නට ශිෂ්‍යත්වයක් ලැබුණා. මට කතා කළා විවාහ වෙලා එයා සමඟ ඕස්ට්‍රේලියාවට යන්න. අම්මා කැමති වුණේ නෑ. එයා ඕස්ට්‍රේලියාවට ගිහින් වසර දෙකක් මම එනතෙක් බලාපොරොත්තුවෙන් සිටියා. අම්මා බලාගන්න කෙනෙක් නැති නිසයි මම නොගියේ. අවසානයේ එයා වෙන කෙනෙක් සමඟ විවාහ වුණා. ඔහුගේ අහිමිවීම මගේ ජීවිතේට දුන්න වේදනාවක්. එදා පටන් මම තීරණය කළා තනිකඩව ජීවත් වන්නට.

අම්මා තාත්තා වයසට ගියාම අම්මා තාත්තාව බලාගන්න කවුරුත් නොසිටි නිසා මම ලංකාවේ ජීවත් වන්නට තීරණය කළේ. තනිකඩ ජීවිතේට මම කැමැතියි. ඒක හරිම නිදහස්. අම්මා මැරෙනකම් මම අම්මා බලා ගත්තා. ඒක මට ලොකු සතුටක්.

 

ඔබ අමුත්තන් පිළිගැනීමේ නිලධාරිනියක ලෙස රැකියාවක් කළා නේද?

ඔව් ජාතික ලොතරැයි මණ්ඩලයේ අමුත්තන් පිළිගැනීමේ නිලධාරිනියක ලෙස රැකියාවට බැඳුණේ 1977, 1995 වන තෙක් අවුරුදු දහ අටක් එහි රැකියාව කළා.

 

බොහෝ අය රංගනය නිසා රැකියාවෙන් ඉවත් වෙනවා. නමුත් ඔබ රංගනයට පිවිසීමෙන් පසුවයි රැකියාවකට සම්බන්ධ වන්නේ ඒ ඇයි?

ලෝක ධර්මතාවය අනුව අපි හැමෝම වයසට යනවා. ක්‍රමයෙන් මට ලැබුණු චිත්‍රපට සංඛ්‍යාව අඩු වන්නට පටන් ගත්තා. මගේ අම්මත් මැරුණා. මම තනි වුණා. චිත්‍රපට නිසා ලැබෙන ආදායමත් අඩුයි. මම කිසිවෙකුට අත පාන්නට කැමැති නැහැ. අවසානයේ මගේ ජීවනෝපාය සඳහා මම රැකියාවක් කිරීමට තීරණය කළා. ද ශාන්ත ලෝරන්ස් පාසලින් ලද ඉංගී‍්‍රසි අධ්‍යාපනය වටිනාකම මට තේරුණේ ලොතරැයි මණ්ඩලයේ රැකියාව කරද්දී. මම නිවාඩු නොගෙන රැකියාව කළ කෙනෙක්. රැකියාවට මුල් තැන දුන්නා. ඒ අතරතුර රඟපෑමක් විටින් විට කළා. නිවාඩු නොලබා වැඩ කිරීම නිසා මට වසර අවසානයේ දී බෝනස් ලැබුණා. ඒ සියලුම මුදල් බැංකුවේ එකතු කර මම මත්තේගොඩ නිවාස සංකීර්ණයෙන් ගෙයක් මිලදී ගත්තා. මට අවශ්‍ය වුණේ කාටත් අතනොපා මගේ ජීවිතේ අවසාන භාගය ගෙවීමට මූල්‍යමය ශක්තියක්. ඒ සඳහා මා කළ රැකියාව මට පිහිට වුණා. මගේ නිළි ජීවිතයට වගේම මම රැකියාවටත් ආදරෙයි.

මං බොහෝ විට පන්සල් ආශි‍්‍රතව වැඩ කටයුතුවල සම්බන්ධ වී කටයුතු කළා. මට ලැබුණු ඇතැම් මුදල් බෞද්ධ කටයුතු පින් අතේ වැඩ සඳහා යොමු කළා. පිං අතේ වැඩ කරන්න මම කොහොමත් කැමතියි.

නිළියක වුවද ඇය ගැහැනියකි. කාහටත් අත නොපා දෙපයින් නැගී සිටීමේ ආත්ම අභිමානය ඇය ජීවිතයට ලබාගත් හොඳම දායාදයයි. සිය මව රැක බලා ගැනීමේ අරමුණ අරභයා සිය විවාහ ජීවිතය පවා කැප කළ ඇය ජීවිතේ සැඳෑ සමයේ දනට පිනට යොමු වී සියලු බැඳීම් වලින් තොර නිදහස් ජීවිතයක් ගත කරයි. ඇය සිතන පතන ආකාරයට එයත් එක්තරා වාසනාවක් නොවේද?