මං ජනප්‍රිය වුණේ රංගනය නිසා

කාශ්‍යප දේවින්ද
ජුනි 16, 2022

 

හැම දෙයක්ම සමබරව සාර්ථකව කරගෙන යන්නේ ඉස්කෝලේදී ලැබුණු ශක්තියෙන් තමයි.


ගුරුවරු එදා ඒ අවස්ථා නොදුන්නා නම් මේ තරම් හයියක් ජීවිතයට ලැබෙන්නේ නැහැ.

 

කාශ්‍යප දේවින්ද. මෙරට කලා ක්ෂේත්‍රයේ දක්ෂ යොවුන් ශිල්පියෙක්. කලා හැකියාවන් රැසකටම උරුමකම් කියන ඔහු ප්‍රවීණ නිවේදකයෙක්, නිෂ්පාදකවරයෙක් වන නීලක රූපතිලකගේ වැඩිමහල් පුත්‍රයා. පිය උරුමයෙන් ලද කලා හැකියාව තව තවත් වර්ධනය කර ගනිමින් කලා ලොවේ තවත් විවිධ ඉසව් කරා ගමන් ගන්නා ඔහු පසුගිය කාලයේ වැඩි ජනප්‍රියත්වයක් ලැබුවේ දෙවැනි ඉණිම ටෙලි නාට්‍ය සමඟින්.

 

කලා කටයුතුවලට දායක වෙන්න විශේෂ හේතුවක් තියෙන්න ඇති?

තාත්තා නිසා තමයි මම අද මෙතැන ඉන්නේ. අපි පොඩි කාලයේ පටන්ම දැක්කේ තාත්තා කලා කටයුතු සමඟ වැඩ කරන හැටිනේ. මියුසික් වීඩියෝ, වෙළෙඳ දැන්වීම් කරද්දි මමත් තාත්තා එක්ක යනවා. එතකාට නිතරම දකින්න ලැබෙන්නේ කලාකරුවන්. කලාකාරිනියන්. ඉතින් ඔවුන් වගේ ටීවි එකේ පෙනී ඉන්න මටත් ආසාවක් ඇති වුණා. කලා අංශයෙන් මොනව හරි කරන්න ඕනි කියන උනන්දුවත් ඇති වුණා.

ඒ නිසා පාසලේදිත් කලාව විෂයක් විදියට හදාරන්න ඇති?

මම ඉගෙන ගත්තේ කොළඹ මහානාම විද්‍යාලයෙන්. මම උසස් පෙළ අධ්‍යාපනය හැදෑරුවේ වාණිජ අංශයෙන්. ඒ වුණත් ඉස්කෝලේ කාලයේ සංගීතය, නැටුම්, නාට්‍ය හා රංග කලාව වගේ කලා අංශයේ හැම දේටම දායක වුණා. නාට්‍ය තරගවලට සහභාගි වුණා. සංගීත කවයේ ප්‍රධානියා වුණෙත් මම. ඉස්කෝලේ විවිධ ප්‍රසංග සූදානම් කළා. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම මුලින්ම ගියේ ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනයේ සංස්කරණ පාඨමාලාවකට. ඒක අවසන් වෙනවා සමඟම ජයන්ත චන්ද්‍රසිරි මහතා මෙහෙය වූ චිත්‍රපට පාඨමාලාවකට සහභාගි වුණා. නිලූ සේනානානයක හා අර්ජුන සේනානායක ළඟ මෝස්තර නිරූපණ වැඩමුළුවකටත් සහභාගි වුණා. ඒ වෙනකොට මට 'ඉන්ෆර්නෝ' නමින් සංගීත කණ්ඩායමකුත් තිබුණා. මං තමයි ඒකේ ඩ්‍රමර්. ඒ කාලයේ තිබුණු තරගයකින් අපි පළමු ස්ථායත් දිනා ගත්තා. සංගීත කණ්ඩායම සමඟ ගායකයෙක් විදියටත් කටයුතු කළා.

 

එතකොට රංගනයට යොමු වුණේ මොන කාලයේදීද?

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ පාඨමාලාව අවසන් වෙනවා එක්ක මට ටෙලි නාට්‍ය රංගනයන් වෙනුවෙන් ආරාධනා ලැබෙන්න පටන් ගත්තා.

මං ජනප්‍රිය වුණෙත් රංගනය නිසා. මුලින්ම ලැබුණේ ශිවගුරුනාදන් මහත්මයාගේ නිර්මාණයක්. ස්වර්ණවාහිනියේ 'හදවතේ කතාවේ' හසිත නම් චරිතය නිරූපණය කරන්න ආරාධනා ලැබුණේ එයින් පසුවයි. ගොඩක් කල් මම ඒ චරිතය සමඟ හිටියා. ඊට පසුව සිරස ටීවි ඔස්සේ විකාශය වූ 'අපි අපේ' ටෙලි නාට්‍යයට දායක වෙන්න අවස්ථාව ලැබුණා. රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක තමයි ඒ වෙනුවෙන් ආරාධනා කළේ. සාරංග මෙන්ඩිස් සහ චාමිකා මෙන්ඩිස් 'දෙවැනි ඉණිම' ටෙලි නාට්‍යයට අවස්ථාව ලබා දුන්නේ එයින් පසුවයි. අශේන් සේනාරත්න කියන චරිතයට තමයි මම පණ පෙව්වේ. ඒ චරිතය ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඉදිරියේදී විකාශය වෙන්න නියමිත ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ 'නන්නත්තාර' ටෙලි නිර්මාණයේදීත් මගේ රංගනය දැක ගන්න පුළුවන්.

 

නිවේදන කටයුතුවලත් ඔබේ නම ජනප්‍රියයි...

මම වෘත්තිය නිවේදන කටයුත්තක් විදියට මුලින්ම ඉදිරිපත් කළේ ස්වර්ණවාහිනියේ 'රිදම් ෆෝ ලන්ච් මියුසික් ෆැක්ට්‍රි' නම් සංගීත වැඩසටහනයි. ඒ වෙනුවෙන් අවස්ථාව ලබා දුන්නේ සචිනි වික්‍රමසිංහ සහ මුදිත විජේසුන්දර. පාසලේදි නිවේදන කටයුතු කරලා මට හොඳ පුහුණුවක් තිබුණා. එයින් පසුව ස්වර්ණවාහිනියේ උදෑසන වැඩසටහන් කිහිපයක් කළා. ඒ කාලයේත් මම නිදහස් නිවේදන ශිල්පියෙක් විදියට තමයි වැඩ කළේ. ඒ සමඟ ටීඑන්එල් නාලිකාවේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් එහි 'රිද්ම තරංග' නම් සංගීත වැඩසටහනත් ඉදිරිපත් කළා. ඒ අතරතුර රූපවාහිනි නාලිකාවලින් බැහැරව තවත් නිවේදන කටයුතු රැසකට මගේ දායකත්වය ලබා දුන්නා. මම වැඩියෙන් ජනප්‍රිය විනෝදාස්වාද සංගීත වැඩසටහන් වෙනුවෙන් වුණත් බෞද්ධ වැඩසටහනුත් මෙහෙයවලා තියෙනවා.

 

කාශ්‍යප සිනමාවට එන්න අදහසක් නැතිද?

සිනාමාවට එක් වෙන්න ලැබීම වාසනාවක්. ඒක ඕනෑම නළුවෙකුගේ නිළියකගේ හීනයක්. සිනමාවට එන්න මමත් ආසයි. මේ දවස්වල චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. රැකියාවේ වගකීම් සමඟ ඒ ගැන හිතලා බලන්න ඕනි.

 

ඔබේ වෘත්තීය ජීවිතය ගැනත් කියමු...

මම ඉම්පීරියල් ටී එක්ස්පෝර්ට්ස් ආයතනයේ විධායක තේ රස පරීක්ෂකවරයෙකු ලෙසින් සේවය කරනවා. කලා කටයුතුවල නිරත වෙන්න ආයතනයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. නමුත් වෘත්තියට බාධාවක් නොවෙන්න කලා නිර්මාණ තෝරා ගෙන දායක වෙනවා. ආයතනයේ ප්‍රධානින් වන ජයන්ත කරුණාරත්න, ජාලින්ද කරුණාරත්න මහත්වරුන් එහිදී විශේෂයෙන් සිහිපත් කරනවා.

 

මේ දවස්වල කලා කටයුතුවල අලුත්ම විස්තර මොනවාද?

මගෙන් මේ දවස්වල සංගීත අංශයට ලැබෙන දායකත්වය වැඩියි.

මං මුලින්ම සංගීත අධ්‍යාපනය ලැබුවේ විශාරද ස්වර්ණලතා කවීශ්වර ගුරුතුමිය සහ ආචාර්ය සනත් නන්දසිරි ගුරුතුමා යටතේයි. මම තබ්ලා විශාරද සමත්. මම තමයි සනත් නන්දසිරි සර් ළඟ ඉගෙන ගත්තු ලංකාවේ දෙවැනි ළාබාලතම සංගීත විශාරද උපාධිය ගත් සිසුවා. ඉස්කෝලෙදි විෂය බාහිර හැම කලා කටයුත්තකටම දායක වුණා. පාසල් කාලයේදී පළාත් සහ සමස්ත ලංකා මට්ටමේ හැම තරගයකටම සහභාගි වුණා.

මේ දවස්වල සංගීත නිර්මාණ කටයුතු වගේම ගායන කටයුතු කරගෙන යනවා. මගේ පළමු ගීතය "සඳ දෙව් දූ". ඒක තාත්තා රචනා කළ ගීතයක්. එහි තනු නිර්මාණය කළේ මම. සංගීත නිර්මාණය කළේ ශෙහාන් මද්දුමගේ. ඒ වෙනුවෙන් ඉදිරියේදී රූප රචනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි ගීතයත් රචනා කළේ තාත්තා. "බුදු සමිඳේ" නම් වූ එය කොරෝනා වසංගත තත්ත්වය වෙනුවෙන් කළේ. තවත් ගීත නිර්මාණ කිහිපයක් එළිදක්වන්න සූදානම් කරලා තියෙනවා. රටේ පවතින තත්ත්වය නිසා ඒවා ටිකක් කල් දාන්න වුණා.

 

කාශ්‍යපගේ පවුලේ විස්තරත් කියමු...

මගේ තාත්තා නීලක රූපතිලක ප්‍රවීණ නිවේදකයෙක් වගේම රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදකවරයෙක්. කලා කටයුතුවලට ඔහුගෙන් ලැබෙන්නේ විශාල සහයෝගයක්. මගෙයි මල්ලිගෙයි නංගිගෙයි අධ්‍යාපන කටයුතු පිටුපසින් ඉන්නේ අපේ අම්මා. කලා කටයුතුවලට සහයෝගය දුන්නත් ඇයට වුවමනා වුණේ අපි අධ්‍යාපනයෙන් ඉහලට ගිහින් රැකියාවක නිරත වෙනවා දකින්නයි.

හැම දෙයක්ම සමබරව සාර්ථකව කරගෙන යන්නේ ඉස්කෝලේදී ලැබුණු ශක්තියෙන් තමයි. ගුරුවරු එදා ඒ අවස්ථා නොදුන්නා නම් මේ තරම් හයියක් ජීවිතයට ලැබෙන්නේ නැහැ. සනත් නන්දසිරි සර්, මල්කාන්ති මිස්, ස්වර්ණලතා කවීශ්වර මිස්, ශාන් වික්‍රමසිංහ, ජයන්ත චන්ද්‍රසිරි, අර්ජුන සේනානායක මහත්වරුන්, නිලූ සේනානායක මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ ගමනට දුන් සහයෝගය විශේෂයෙන් සිහිපත් කරනවා.

 

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න