සකර්බර්ග් පරක්කු වෙලා ඉපදුණේ හොඳ වෙලාවට

ද ගේම් අධ්‍යක්ෂ සුරංග ද අල්විස්
ජුනි 16, 2022

 

සියලු ප්‍රශ්න විසඳෙනතුරු චිත්‍රපටයක් නිදහස් නොකර ඉන්න බැහැ

 

මම නෙවෙයි අපි කියලා හිතුවොත් සියලු දෙනාටම ජයග්‍රහණය කළ හැකියි

 

ඉන්දියාව වගේ රටවල කලාකරුවන් එකිනෙකා ගෞරවය බෙදාගන්නවා

 

සුපිරි නළු රන්ජන් රාමනායක අත්අඩංගුවට පත්වීමකට මොහොතකට පෙර රඟපෑවේ පොලිස් නිලධාරියකුගේ චරිතයකි. ඒ ‘ද ගේම්’ චිත්‍රපටය වෙනුවෙනි. අද ඒ සිනමා පටයේ මංගල දර්ශනය පැවැත්වෙන දිනයයි. මේ මොහොතකට සහභාගි වීමට බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන භූමිකාව නිරූපණය කළ ශිල්පියාට අවස්ථාව ලැබේ ද? ‘ ද ගේම්’ දිගහැරෙන්නේ කෙබඳු කතා තේමාවක් ඔස්සේ ද? අපි විමසමු එහි අධ්‍යක්ෂ සුරංග ද අල්විස්ගෙන්...

 

මේ දවස්වල ඔබට බොහොම රාජකාරී බහුලයි වගේ?

මේ දවස්වල අපේ සුපිරි තරුව රන්ජන් රාමනායක බන්ධනාගාරගත වෙන්න පෙර අවසන් වරට රඟ පෑ චිත්‍රපයට වන ‘ද ගේම්’ සිනමා පටයේ ප්‍රචාරක කටයුතු වල යෙදුණා. මොකද කොවිඩ් වසංගතය සහ පාස්කු ප්‍රහාරය නිසා කල් ගත වෙවී තිබුණු චිත්‍රපටයක් මෙය.

මෑතක චිත්‍රපටයක් වෙනුවෙන් ලද වැඩිම ශාලා සංඛ්‍යාව මට හිමි වෙලා තිබෙනවා. ශාලා 70ට ආසන්න සංඛ්‍යාවක් සියලුම මණ්ඩල එකතුව සෑම ප්‍රදේශයකටම ශාලා දෙක බැගින් ලැබෙන පරිදි ලබා දී තිබෙනවා. අද බ්‍රහස්පතින්දා සවස 6ට ලිබර්ටි සිනමාහලේදී මංගල දර්ශනය පැවැත්වෙනවා.

මණ්ඩල සියල්ල එකතු වීම සුබදායි ආරංචියක්?

ඇත්තෙන්ම දැන් එහෙම නොකර යන්න බෑ. සිනමාව එකමුතුව යා යුතු දෙයක්. කොවිඩ් වසංගතයට පස්සේ ලොකු චිත්‍රපටයක් ලෙස මණ්ඩලවලට ලැබුණේ ‘කලම්බෝ’ චිත්‍රපටය, ඉන්පසු ඒ අභියෝගය ගත්තේ ‘ආශාවරී’ එයට පසු ගේම් එන්න තිබුණත් මගේ නිෂ්පාදක අනුර සමරජීව පැවසුවේ රටේ පැවතුණු තෙල් අර්බුදය සහ විදුලි අර්බුදය හමුවේ ප්‍රදර්ශනය ටිකක් ප්‍රමාද කරමු කියලයි. ඒ නිසා හැපි බර්ත්ඩේ චිත්‍රපටය ඉස්සර වුණා. ඊට පසු අපි හිතුවා දැන් හිටියා ඇති කියලා. ඒ නිසා තවත් ප්‍රශ්න උග්‍රවනතුරු නොඉඳ චිත්‍රපටය මුදා හරින්න තීරණය කළා. මොකද අර්බුදයක් මැද පේ‍්‍රක්ෂකයන් බලන්න කැමැති චිත්‍රපටයක් ශාලාවට ගෙන ඒමයි ප්‍රධාන අරමුණ වුණේ. ඉතින් පවතින අර්බුද හමුවේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා වැහෙන්න යන ශාලා කීපයක් බේරගන්නත් පුළුවන් වුණොත්, චිත්‍රපටය ප්‍රදර්ශනයට අමතරව සිනමා කර්මාන්තයට සුළු හෝ සේවයක් කරන්න ලැබුණා. කියන සතුට මට ඉතිරි වෙයි.

 

මොකක්ද මේ අර්බුදයක් අතර ජනතාව බලන්න කැමති චිත්‍රපටයක් කියන්නේ?

පවතින අර්බුදකාරී වාතාවරණය යටතේ මිනිසුන්ට තිබෙන්නේ ලොකු පීඩනයක්නේ. හැබැයි මොන මානසික පීඩනය තිබුණත් කොටස් දෙකකට මේ සමාජය බෙදිලා තිබෙනවානේ. එකක් මුදල් ඇති සහ අනෙක මුදල් නැති වශයෙන්. මුදල් තිබෙන කොටසත් තව කොටස් කීපයකට බෙදෙනවා. මුදල් තිබෙන කොටස්වලනුත් චිත්‍රපට නරඹන්නේ කොටසක් විතරයි. මුදල් නැති කොටස් තමයි ඉස්සර ඉඳන්ම වැඩි වශයෙන් චිත්‍රපට නරඹලා තිබෙන්නේ. ඕඩීසී වල එහෙම පිරිලා හිටියේ සාමාන්‍ය දුප්පත් මිනිස්සු. අද තිබෙන විශාල මානසික පීඩනය පිට කර ගැනීමට මිනිසුන් විවිධ දේ කරනවා. ආර්ථික ප්‍ර‍්‍රශ්නවලට මිනිස්සු ටික කලක දී හැඩ ගැහෙනවා. ඒ නිසා සියලු ප්‍රශ්න විසඳෙනතුරු චිත්‍රපටයක් නිදහස් නොකර ඉන්න බැහැ. ඒ වගේම ඉදිරියට එන්න නියමිත චිත්‍රපට කීපයක් හරි විදිහට පෙළ ගැසුණොත් සිනමාවේ අර්බුදයක් යම් විදිහකට විසඳෙයි කියන සිතිවිල්ල මට ඇති වුණා.

අනෙක මණ්ඩල කීපයක් එකතුව තිබුණු සාකච්ඡාවකදී තමයි තීරණය වුණේ පවුලේ සියලු දෙනාම නැරඹිය හැකි ගීත, සටන්, හාස්‍ය කොටස් සහිත චිත්‍රපටයක් දෙකක් මේ මොහොතේ මුද්‍රා හැරිය යුතුයි කියලා. ඒ නිසයි මේ වෙලාව සුදුසුයි කියලා අපි තීරණය කළේ. මෙය සුදුසුම වේලාව නොවෙයි වුණත් මෙයත් එක් අතකින් සුදුසු වෙලාවක්.

 

රන්ජන් රාමනායක රංගවේදියාට මේ චිත්‍රපටය බලපාන්නේ කොහොමද?

ඇත්තෙන්ම රන්ජන් අයියාගේ රංගන දිවියේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යක් ලෙස මෙය කියන්න පුළුවන්. එය චිත්‍රපටය නරඹන ඕනෑම රසිකයකුට තේරුම් ගන්න පුළුවන් වෙයි. මට තිබෙන කනගාටුව මේ වනතුරු ඔහුට තමන්ගේ චිත්‍රපටයේ එක දර්ශනවයක්වත් දකින්න ලැබී නොතිබීම ගැනයි.

රටේ පවතින යම් යම් දේශපාලන පසුබිම් සහ නීති ප්‍රශ්න නිසා අප ඒ සඳහා ගත් සෑම වෑයමක්ම අසාර්ථක වුණා. හැබැයි මීට පෙර බන්ධනාගාර ගත වූ අයට කලාත්මක කටයුතුවලට සහභාගි වෙන්න අවස්ථාව දුන් පූර්වාදර්ශ තිබෙනවා.

වෙන රටවලත් එවැනි අවස්ථා ලබා දී තිබෙනවා. නීතිය දැඩිව තිබෙන සිනමාව ඉහළින්ම වැජඹෙන ඉන්දියාවේ සල්මන් ඛාන්, සංජේ දත් වගේ අයට තමන්ගේ චිත්‍රපටය වෙනුවෙන් සහභාගී වන්න අවස්ථාව ලබා දී තිබුණා. ඒ නිසා අපේ රටේ විතරක් අමුතු ක්‍රමයක් තිබෙන්න විදිහක් නෑ. ඒ නිසා මංගල දර්ශනයට ගෙන්වා ගන්න බැරි වුණොත් බන්ධනාගාර තුළට හෝ චිත්‍රපටය ගෙන ගොස් රන්ජන් අයියාට පෙන්වනවා.

 

චිත්‍රපටය අවසන් වන විටම ප්‍රධාන නළුවා අත්අඩංගුවට ගැනුණා. එය නිර්මාණයට බලපෑවේ කෙසේද?

අපේ ජීවිතවල දී දෛවයේ හාස්කම් යම් යම් අවස්ථාවල අත්විඳින්න සිදුවෙනවා. මේ චිත්‍රපටයත් ඒ වගේ අවස්ථා කීපයක් අපට දැක් වූ නිර්මාණයක්.

ඇත්තෙන්ම චිත්‍රපටයේ කූටප්‍රාප්තිය රූගත කරද්දී අපට හරි මහන්සියි. රන්ජන් අයියා සාමාන්‍යයෙන් රූපගත කිරීම් වලට එන්නේ ටිකක් පරක්කු වෙලා. ඉතින් රෑ දෙක විතර වෙද්දී අපි හැමෝම හෙම්බත් වෙලා. මම කීවා රන්ජන් අයියේ අපි රූපගත කිරීම් නවත්තලා අනිද්දාට පටන් ගමු කියලා. අයියා කිව්වා “උඹට මහන්සිද? උඹ ෆිට් ද? එහෙනම් මල්ලී එළි වෙනකල් හරි ෂුටිං කරමු. කොයි වෙලාවේ මම ඇතුළට යයිද දන්නේ නැහැ මල්ලී’ කියලා.

අපි එක දිගටම ෂුටිං කළා. වැඩ ඉවර වෙලා රන්ජන් අයියා ගියා. අපි පාදුක්කේ තිබුණ පොඩි කඩේකින් තේකකුත් බීලා සතුටින් කතා කර කර ඉද්දි ආරංචිය ආවා දවස් හතළිස් එකකට රිමාන්ඩ් කළා කියලා. එදා එක දිගට ෂුට් නොකළා නම් අදටත් හිතා ගන්න බෑ මේ චිත්‍රපටයට මොනවා වෙයි ද කියලා.

ඊට පස්සේ රන්ජන් අයියා ආවේ හිසමුඩු කරලා එහෙම වෙනස් වෙලා. අයියා ආ ගමන් අපි හඬ කැවීම් අවසන් කළා විතරයි. ආයේ රිමාන්ඩ් කළා. තව තිබුණා ගීතයක් ඉතුරු වෙලා. අපි ඒක නොකර හිටියත් කමක් නෑ කියන තැන හිටියේ. ඒත් අයියා ආපහු ආව ගමන් අපි ඒ සින්දුවත් ෂුට් කරලා ඉවර කළා. පහුවෙනිදා අවුරුදු හතරකට රන්ජන් අයියා හිරේ ගියා. හැම අවස්ථාවේම දෛවය මාව අනුනවයෙන් බේරුවා.

 

ලංකාවේ මුදා හැරීමට සමගාමීව විදේශ රටවලත් චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවාද?

ඔව්. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර 24 වැනිදා ප්‍රදර්ශනය කෙරෙනවා. නවසීලන්තය, ඇමෙරිකාව, ඉතාලිය ආදී තවත් රටවල් රැසක මෙය ප්‍රදර්ශනයට කටයුතු යොදා තිබෙනවා. ඒ සංවිධායකයන් සූම් තාක්ෂණය ඔස්සේ චිත්‍රපටය නරඹා ඉතා සුබදායි ප්‍රතිචාර දැක්වුවා.

‘ගේම්’ කියන වචනය මේ කාලේ බොහොම ජනපි‍්‍රයයි. මොකක්ද ඔබේ ‘ගේම්’ එකේ තේරුම?

මෑත කාලයේ අපට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක කිසිවකුට හෙළි නොවු පැතිකඩක් තමයි ‘ද ගේම්’ ඔස්සේ දිග හැරෙන්නේ.

ඉන්දියාවේ මුම්බායිවල ප්‍රහාරයේදී විදේශීකයන් හිර කරගෙන පැය ගණනක් යනතුරු ඉන්දීය පොලීසිය ඔවුන් බේරගන්න ආවේ නෑ. ඒත් අපේ 8.45ට පළමු ප්‍රහාරය එල්ල වුණේ. දවල් එක වෙද්දී සහරාන්ගේ ගෙදරත් වට කර අවසන්. ඒ තරම් ප්‍රබල බුද්ධි අංශයක් අපට තිබෙනවා. ඒ ගැනත් මෙහි යම් කොටසක් කතා කෙරෙනවා.

මෙහි රන්ජන් රාමනායකගේ භූමිකාව කුමක්ද?

විජය කියන පොලිස් නිලධාරියකු ලෙසයි ඔහු රඟපාන්නේ. ඔහුගේ හොඳම යාළුවා අජය. ඒ වගේම නව තාක්ෂණය කෙසේ ද මේ ප්‍රහාරකයන් යොදා ගන්නේ වගේ දේවල් මෙහි කතා වෙනවා. ඒ වගේම ලෝකේ මිනී මැරුම් ක්‍රමවේද තිබෙන්නේ 430යි. ඕනෑම මිනී මැරුමක් ඔය ක්‍රම අතරින් එකකට අයත් වෙනවා. ඒ නිසා තමයි මෑතක සිදු වූ සියලු මිනී මැරුම් පාහේ අල්ලා ගන්න පුළුවන් වුණේ.

 

ඔබ හිතන්නේ සිනමාවේ වීරයන්ට තවමත් පේ‍්‍රක්ෂකයන් කැමැතියි කියා ද?

වීරයන්ට මිනිස්සු ආසයි. හැබැයි එහෙම ආසා වන්නේ කතාවේ ඉදිරිපත් කිරීමේ ක්‍රමය මතයි. මම හිතනවා ෆේස්බුක් එක හොයාගත්තු කෙනා පරක්කු වෙලා ඉපදුණේ හොඳකට කියලා. මොකද එයා හැත්තෑගණන්වල ඉපදුණා නම් විජය කුමාරතුංග කෙනෙක් නෑ. ගාමිණි ෆොන්සේකා කෙනෙකුත් නෑ. ඒ අය කලින්ම විනාශ කරලා දානවා. වර්තමානයේ වෙලා තිබෙන්නේ හැම දෙයක්ම, හැම කෙනකුම වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වීම. චිත්‍රපටවලටත් එහෙමයි. චිත්‍රපටයක් මුහුරත් උලෙළේ සිට රැඟුම් පාලක මණ්ඩලය දක්වා ගොස් අනුමැතිය ගන්නා තුරු එය කෘතියක්. ඒත් අනුමැතිය ලැබුණු මොහොතේ සිට එය වෙළෙඳ භාණ්ඩයක්. ඔය කාරණය තේරුම් ගෙන ඕනේ අප ක්‍රියා කරන්න. අද නළු නිළියන්ට ආකර්ෂණයක් නැති වන්න හේතුව සීමාව අබිබවා අලෙවි වීම. තමන්ගේ ආදායම් මට්ටම වෙනත් විධියකින් හෝ සකසාගෙන තමන්ගේ අභිමානය රැකෙන පරිදි ඉන්න පුළුවන් නම් හුඟාක් වටිනවා. අපි ඉස්කෝලෙ ගිය කාලේ 80 දශකයේ එහෙම වීරයාට විසිල් එක වැදුණා. අද වගේ කියලා දම්මලා ගස්සගත්ත විසිල් නෙවෙයි ඒවා. මම ඇසින් දැකලා තියෙනවා විජය කුමාරතුංග එද්දි විසිල් ගහන හැටි. ඊට පස්සේ විසිල් පාරක් වැදුණේ ජීවන් කුමාරතුංගට. ඉන්පසු මොකක් හෝ අවාසනාවකට එය ඉදිරියට ගියේ නෑ.

මම හිතන්නේ ඒකට එක හේතුවක් දේශපාලනික වශයෙන් කලාකරුවන් බෙදි යෑම. අනෙක තරු ගුණය තිබෙන්නේ වාණිජ සිනමාවේ. ඒ චිත්‍රපට යම් කාලයක් පුරා ලංකාවේ හොඳින් තිබුණා. පසු කාලීනව අපට තිබුණු ඒ සිනමා සම්ප්‍රදාය වෙනස් වූ පසු අපේ විචාරකයන් එකම සම්ප්‍රදායක් හිසමත තබාගෙන අපේ කතාවලින් හැදෙන චිත්‍රපට පහත් කොට සලකන්න ගත්තා. වාණිජ ගණයට වැටෙන චිත්‍රපට ‘පජාත’ සිනමාවක් ලෙස සලකන්න ගත්තා.

ඉතිං සිනමාව වැටෙන්න ගත්තා. ඒ අතර ආයෙත් යසපාලිත තුෂාරා වගේ චිත්‍රපට හදන්න ගත්තා. ඒවාටත් විචාරකයෝ බැන්නා. එහෙම බැනලා, බැනලා බැනලා විචාරකයෝ මොකද කළේ සිනමාව නැත්තටම නැති කළා. ඒ වගේම සම්මාන උලෙළවලදී වාණිජ චිත්‍රපට ඇගයීමට ලක් වුණා නම් අපේ අයත් හොඳට ඒ චිත්‍රපට කරනවා. නළු නිළියොත් බිහි වෙනවා.

 

මේ කියන විදිහට ඔබ කොයි ආකාරයෙන් ද සිනමාව වර්ග කරන්නේ?

දේශීය සිනමාව හා ජාතික සිනමාව වශයෙන්. ජාතික සිනමාවෙන් තමයි අපි ජාත්‍යන්තරය ආක්‍රමණය කරන්නේ. දේශීය සිනමාව දෙකට වෙන් කරගෙන ඉන්නවා. වාණිජ හා සම්භාව්‍ය වශයෙන්. එහෙම එකක් නෑ. තිබෙන්නේ දුවන චිත්‍රපට හා නොදුවන චිත්‍රපට නැත්තම් හොඳ චිත්‍රපට හා නරක චිත්‍රපට විතරයි. ඔය ටික තේරුම්ගන්න බැරුව කට්ිටිය අඳුරේ අතපත ගානවා.

 

දුවන නොදුවන බව තීරණය වන්නේ මොන සාධක මතද?

කතා තේමාව. රංගන ශිල්පීන් හා ගුණාත්මක බව මත. අපි දන්නවා විශාල පිරිවැයකින් කරන චිත්‍රපටයක් ලස්සනයි කොහොමත්. සමහරු කියනවා නව තාක්ෂණය නිසයි සිනමාව බිමට වැටුණේ කියලා. මගේ මතය අනුව සිනමාව බිම දාන්න වගකිව යුතු එක්කෙනයි ලංකාවේ ඉන්නේ. ඒ සිනමා අධ්‍යක්ෂවරයා. තමන්ගේ ඔළුවේ අමාරුවට මිසක් පේ‍්‍රක්ෂකයන්ගේ අවශ්‍යතාවට ගැළපෙන චිත්‍රපට ඔවුන් හැදුවේ නැහැ. ප්‍රධාන ප්‍රශ්නය අන්තර්ගතයක් නැතිකම, සිකුරු හතේ, පාර්ලිමන්ට් ජොක්ස්, හිරිපොද වැස්ස, පත්තිනි වගේම රීමීක්ස්වලින් ධර්ම යුද්ධය වගේ චිත්‍රපට මිනිස්සු බැලුවේ නැද්ද?

මායා, ප්‍රවේගය, හෝ ගානා පොකුණ, බැලුවේ නැද්ද ලංකාවේ අවුරුද්දකට අඩු වශයෙන් චිත්‍රපට තුනක් බොක්ස් ඔෆිස් වෙනවා. සිරි පැරකුම් ආදායම් වාර්තා තිබ්බා. දුවන චිත්‍රපට හැම එකක් ලක්ෂ දහස පන්නලා ආදායම් ලබනවා. ඒ වගේ චිත්‍රපට තුනක් කියන්නේ ලක්ෂ තුන්දහසක්. පාස්කු ප්‍රහාරය වනතුරු සිනමාව ලක්ෂ තිස්දහසකට වැඩි ආදායම් වසරකට ලබන කර්මාන්තයක්. ලෙසයි තිබුණේ.

මිනිහෙක් චිත්‍රපටයක් බලන්න කලින් නාන්න ඕනේ. ඇඳුම් ඇඳගෙන ළමයි බිරිඳ ලෑස්ති කරගෙන දුර ගෙවා ගෙන ඇවිත් පොප් කෝන් එකක්, අයිස් චොක් එකක් කාලා බීම එකක් බීලා චිත්‍රපටය බලන්න ඕනේ. එච්චර කැප කිරීමක් කරලා ඇවිත් කළුවර කාමරේ ඇතුළෙදි පෙන්නන්නේ බඩ කඩිත්තුවක් නම් ඒ මනුස්සයා ආයේ ශාලාවක් තියෙන පැත්තකින්වත් යයිද? අනෙක ලෝකේ චිත්‍රපටයක් දින 100න් දුවන කොට වෙනත් වේදිකාවලට යොමු කරලා අමතර ආදායම් හොයනවා. අපේ අය මුලින්ම කරන්නේ අමතර ආදායම්වලට ගැළපෙන පිරිවැයක් හදාගෙන ගුණාත්මක බවින් අඩු චිත්‍රපට හදන එකයි. ඒක බල්ලෙක්වත් බලන්නේ නැති වුණාම එක්කෝ ටී.වී. එකේ දානවා. ඉන්ටනෙට්, ඇප්ස් මොනවට හරි දානවා. එතකොට ශාලාවේ සිනමාව අතහැරි මනුස්සයා අර වේදිකා ටිකත් අතහරිනවා.

අධ්‍යක්ෂවරයාට පසු සිනමාව පහත හෙළන්න දායක වන්නේ සිනමා ශාලා හිමියෝ. සිනමා ශාලා නිසි ලෙස යාවත්කාලීන නොකිරීම තමයි දෙවැනි හේතුව පේ‍්‍රක්ෂකයා සිනමාව අතහැරීමට.

2016 වෙද්දී හොඳ සිනමා ශාලා නිර්මාණය වුණා. මොකද ලක්ෂ 50ට අධික පිරිසක් ඒ වෙද්දී සිනමාව නරඹමින් සිටි නිසා. ඒත් පාස්කු ප්‍රහාරයෙන් ඒකත් නැති වුණා.

 

කලාකරුවන් එකමුත් වුණොත් මෙය ජයගන්න පුළුවන් නේද?

ඉන්දියාව වගේ රටවල කලාකරුවන් එකිනෙකාට ගෞරවය බෙදාගන්නවා. අපේ මුණට හිනාවෙලා පිටිපස්සෙන් ඇවිත් පොරවෙන් කොටනවා. මේකට හේතුව දූපත් මානසිකත්වය. මහපොළොවේ පයගහලා ජීවත් වෙලා සුහදත්වය වර්ධනය කරගෙන ආදරය කරුණාව බෙදා නොගත්තොත් සිනමාව විතරක් නොවෙයි රටත් ප්‍රපාතයට යනවා. මම ඉන්දියාව හැම තිස්සෙම උදාහරණයට ගන්නේ ඒ රටේ හැදූ චිත්‍රපටවලින් කොපි ලෙස අසු ගණන්වල තැනුණු අපේ චිත්‍රපට හින්දි චිත්‍රපටයට සමාන ගුණාත්මකභාවයක් තිබුණා. ඒවා අපේ වෙලා තිබුණා. ඒත් අද ඉන්දියානු සිනමාව කොහෙද අපි කොහෙද? ‘

 

‘ද ගේම්’ ඔස්සේ ඔබ ඔය අභියෝගය ජය ගත්තා ද?

මේ කතාව අපි ලියන්න පටන් ගත්තාම වස්තු බීජය ඔස්සේ ඉදිරියට ගියා. අවසානයේ අපි දැක්කා අඩුපාඩු තිබෙනවා. මොනවද? රන්ජන් රාමනායක නැත්තම් රන්ජා කියන නළුවා ඉන්නවා. ගොන්ජා නෑ. ඉතින් ඒ අඩුව මැකෙන විදිහට අපි ජෝක්ස් ටිකක් ඇතුළත් කළා. ඊට පස්සේ වටේ තිබෙන චිත්‍රපට අධ්‍යයනය කරලා අනෙක් අඩුපාඩුකම් පුරවා දැම්මා. අපි තුන්දෙනෙක් ඒ කියන්නේ නිශාන්ත වීරසිංහ, නදීෂ ඩයස් අරුණ ශාන්ත එකතු වෙලා තමයි මෙය ගොඩනැඟුවේ. මෙය අපේ රටේ කතාවක්. පේ‍්‍රක්ෂකයන් තීරණය කරයි ඉතිරි ටික.

 

ඔබේ පෙර චිත්‍රපට පෙළ ගැස්මේදී ගුණාත්මකභාවය පිළිබඳ සෑහීමකට පත් වෙනවාද?

මගේ මුල්ම චිත්‍රපටය රජහොරු. එය ඉන්දියානු චිත්‍රපට අනුකරණයෙන් කළ මසාලා චිත්‍රපටයක්. ඊට හේතුව මම හැදෙන්නේ වැඩෙන්නේ මගේ පියා (සරත් ද අල්විස්) අතිශය ජනපි‍්‍රය පුද්ගලයකු වන්නේ හේමසිරි සෙල්ලප්පෙරුම සුනිල් සෝම පිරීස් සහ යසපාලිත නානායක්කාර වැනි අය ඇසුරේ නිසා. මම ඇසුරු කළේ ඒ අය සහ ඔවුන්ගේ දෙවැනි පරම්පරාව වන ඔවුන්ගේ පුතුන්, අපේ ඇඟේ දුවන්නේ මේ රසය, රජ හොරු සාර්ථකව තිරගත වෙද්දී මා එක්ක දිව්වේ සමනළ සංධ්වනිය, රජහොරු උඩට එද්දී සමනළ සන්ධවනියේ මගේ නොවන මගේම ආදරයක් ගීතය ජනපි‍්‍රය වුණා. ඉතින් මාව පහළට වැටුණා. ඊළඟට මම කළේ මයිනේම් ඉස් බන්දු ඒ සමඟ ගියේ ඇඩ්‍රස් නෑ. හැබැයි මගේ චිත්‍රපටය දින 75 දුවද්දී සුහද කොකා අතිශය ජනපි‍්‍රය වනවා. ඒ නිසා මම එක තැනක නැවතිලා හිටියත් චිත්‍රපටය දෙරණ සිනමා සම්මාන උලෙළේ හොඳම විකට නළුවාට නිර්දේශ වෙනවා. මම පියවරක් ඉහළට එනවා.

තුන්වැනි චිත්‍රපටය හොරා පොලිස්. ඒ සමඟ එක පැත්තකින් පත්තිනි සහ අනෙක් පැත්තෙන් ආදරණීය කතාවක්. ඒ තරම් දෙයක් වෙලත් හිරු ගෝලඩන් එවෝඩ්ස්වලදී මහේන්ද්‍ර පෙරේරාට හොඳම විකට නළුවා සම්මානය හිමිවෙනවා. මම තවත් පියවරක් ඉහළට එසවුණා කියා මම හිතනවා. හතරවැනි චිත්‍රපටය ‘කිඩ්නැප්’ එය තිරගත වන්න තිබියදී තමයි පාස්කු ප්‍රහාරය එල්ල වන්නේ. එය කල් යනවා. මගේ ඔළුවෙනුත් එය තරමක් මඟ හැරෙනවා. ද ගේම් හදන්නේ ඊට පසුවයි. කිඩ්නැප් චිත්‍රපටය මෙයින් පසු එළියට එයි. ඒත් මම හිතන්නේ නිර්මාණකරුවකුගේ නිර්මාණ පිළිවෙළින් මුදා හැරුණොත් තමයි ඔහුගේ ගමන විනිශ්චය කරන්න පහසු. ඒත් දැන් කරන්න දෙයක් නෑ. මම හිතන්නේ ගේම් වලින් පසු ආ යුත්තේ කිඩ්නැප් නෙවෙයි කියලයි. ඒත් චිත්‍රපටයක් මුදා නොහැර ඉන්න බැරි නිසා මුදා හරින්න වෙනවා.

 

ඔබ අධ්‍යක්ෂවරයෙක් පමණක්ම නොවෙයි?

ඔව් වර්තමානයේ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධාන කුලුණු තුන වන නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් සහ ප්‍රදර්ශකයෙක් කියන මුල් කණු තුනම නියෝජනය කරන එකම පුද්ගලයා මම. ඒ නිසා මට කාටවත් බොරු කරන්න බෑ. මම අධ්‍යක්ෂ සංසදයෙන් භාණ්ඩාගාරික නිසා ඒ පැන නගින ප්‍රශ්නත් දන්නවා. අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපටයක් මුදා හරින විට අනෙක් අය එයට සහාය දිය යුතුයි. එක අධ්‍යක්ෂවරයකු චිත්‍රපටයක් නිදහස් කළාම අනෙක් අයත් ඒ අතරට නොආ යුතුයි. හැම අධ්‍යක්ෂවරයාම දිනුමක් ලැබිය යුතුයි කියන තැන ඉඳගෙන මම නෙවෙයි අපි කියලා හිතුවොත් සියලු දෙනාටම ජයග්‍රහණය කළ හැකියි. මෑත ඉතිහාසයේ සිනමා පේ‍්‍රක්ෂක සංඛ්‍යාව ලක්ෂ පහකට පහළ බැහැලා. එය කනගාටුදායක තත්ත්වයක්. මේ අයට කතා කරන්න බැරි අය ද සිනමාව කරන්නේ. මේ ලක්ෂ පහ බෙදා ගන්න බැරුවද අපි පොර කන්නේ. ඒ නිසා ඒ ලක්ෂ පහට සාධාරණය ඉෂ්ට කරන්න. එවිට සිනමාවත් දිනුම් අපිත් දිනුම්.

 

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න