සුසුම් රස්තියාදුවේ නිරෝෂා

-දුෂ්‍යන්ති සුරවීර
ජුනි 16, 2022

 

කලාවට හිතැති නිසාම දුෂ්‍යන්ති සුරවීර තෝරා ගත්තේ රංගනයයි. මේ දිනවල ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සුසුම් රස්තියාදුව ටෙලි නාට්‍යයේ නිරෝෂා නම් චරිතයෙන් ඔබ හමුවට එන ඇයගේ බලාපොරොත්තුව රංගන ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක නියැළිමයි. දුෂ්‍යන්ති කලාව තෝරා ගන්නේ පාසල් අධ්‍යාපනය සමඟින්. අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලෙන් අධ්‍යාපනය හැදෑරු ඇය කලා විෂය ධාරාව යටතේ උසස් පෙළට තෝරා ගත්තේ නාට්‍ය හා රංග කලාව නර්තනය හා ඉතිහාසය විෂයන්.
රංගනයට පිවිසීම ගැන ඇය පැවසුයේ මෙවැන්නක්.

 

"මම පොඩි කාලයේ පටන්ම කලාවට ආසා කළා. ඒ නිසාම ටවර්හෝල් විභාගයත් කළා. ප්‍රසාද් සූරියබණ්ඩාර සර්ගේ ඉන්ෆාස් එකේ ඩ්‍රාමා කෝස් එක කළා. ඒක අවසන් කරලා මම යූත් එකේ ඩ්‍රාමා ඩිප්ලෝමා එකත් කළා. ඒකේ අවසානයට අපි එල්ෆින්ස්ටන් එකේ ලයිසිස්ට්‍රාටා නමින් වේදිකා නාට්‍යයක් කළා. සචිත්‍ර රාහුබද්ධ තමයි ඒක අධ්‍යක්ෂණය කළේ මගේ රංගන ජීවිතයේ පළමු වේදිකා නාට්‍ය විදියට ඒක ගොඩක් සුවිශේෂයි. ග්‍රීක ජාතික ඇරිස්ටොෆානිස්ගේ ලයිසිස්ට්‍රාටා වේදිකා නාට්‍යයේ ඉන්දිය පිටපතෙන් තමයි එය නිර්මාණය කළේ. ඒ අනුව පළමු නිර්මාණයේ මිරීන් චරිතය ඉන්දීය නිර්මාණයේදී භක්ෂි වුණා. මම නිරූපණය කළේ භක්ෂි නම් චරිතයයි. ඊට අමතරව එහි අධ්‍යක්ෂණ කටයුතු වගේම ඇඳුම් නිර්මාණ අංශයටත් දායක වුණා. ඉම්පාස් එකේදී ප්‍රියන්ත අයියා හමු වෙලා සකර්ම ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාවක් දුන්නා. සුසුම් රස්තියාදුව ටෙලි නාට්‍යයේ නිරෝෂා වුණේ ඊට පස්සේ".

 

රංගනය ගැන හැදෑරීමක් කළ නිසා පළමු රංගනය පහසු වෙන්න ඇති?

ඉගෙන ගත්තට කැමරාව ඉදිරියේ පළමු රංගනය ගොඩක් විශේෂයි. සකර්ම දර්ශන තලයේදී මම ගොඩන් දේ ඉගෙන ගත්තා. ප්‍රියන්ත ප්‍රනාන්දු කියන්නේ ගොඩක් හොඳ දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. පළමු රංගනයේදී ගොඩක් බැණුම් ඇහුවා. ඒ වුණත් රංගනය පහසුවෙන් කරන්න අවස්ථාවක් ලැබුණා.

 

මේ වන විට ඔබේ වෘත්තිය රංගනයද?

රංගනයට කැමැති වුණත් වෘත්තිය විදියට රංගනයේ නිරත වෙන්න අපහසුයි. ඒ නිසා මම පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා. මට කාන්තා නිමි ඇඳුම් ව්‍යාපාරයක් තියෙනවා. දැනට කුරුණෑගල සාප්පු කිහිපයකටම මගේ ඇඳුම් නිර්මාණ ලබා දෙනවා. ඒ ඇඳුම් මෝස්තර නිර්මාණය කරන්නෙත් මම. ඒ වගේම රූපලාවන්‍ය පිළිබඳවත් හදාරණවා. ව්‍යාපාර කටයුතු සමඟ කලා කටයුතු සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

 

වැඩියෙන් කැමැති ටෙලි නාට්‍යවලටද?

ටෙලි නාට්‍යවලට වගේම චිත්‍රපටවලටත් මම කැමැතියි. ඒ හැමදේටම වඩා කැමැති වේදිකා නාට්‍යවලට. මට මගේ ජීවිතයේ ඒ වෙනුවෙන් අවස්ථාවක් ලැබුණා. විශාල වේදිකාවක ප්‍රේක්ෂකයන් රැසක් ඉදිරියේ කළ ඒ රංගනය ඉතාම වැදගත්. ඉදිරියේදී හොඳ චරිතයක් එක්ක චිත්‍රපටයක් ලැබුණොත් මගේ උපරිම දායකත්වය ලබා දෙනවා.

 

දුෂ්‍යන්ති කැමැතිම නිළිය කවුද?

උමාලි තිලකරත්න අක්කාගේ රංගනය විශේෂයි. සකර්ම ටෙලි නාට්‍යයේ ඇයගේ චරිතයට ගොඩක් කැමැතියි. දමිතා අබේරත්න අක්කත් මං කැමැතිය නිළියක්. සුසුම් රස්තියාදුව ටෙලි නාට්‍යයේදි මගේ චරිතය නිතරම සම්බන්ධ වෙන්නේ අනුරාධා එදිරිසිංහ අක්කා එක්ක. රංගනයේ අඩුපාඩු හදා ගන්න ඇය මට ගොඩක් උදව් කරනවා.

 

ගී පද රචිකාවක් ලෙස ප්‍රසිද්ධයි නේද?

ලියන්න කියලා ලොකු අදහසක් තිබුණේ නැහැ. දැනට මම ගීත තුනක් රචනා කරලා තියෙනවා. ඒ ගීත තුනම සුසුම් රස්තියාදුව ටෙලි නාට්‍යයට එකතු වෙලා තියෙනවා.

 

පවුලේ තොරතුරුත් කියමු...

මගේ පවුලේ අම්මයි අප්පච්චියි නංගියි. අපේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ රංගන ක්ෂේත්‍රයට එනවාට මුලදී ගෙදර අයගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. දැන් නම් ඔවුන් ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න