මොකද උනේ ඇහුවාම සමහර දේශපාලකයන් මට ගහන්නත් හැදුවා

HASITHA WIJEWARDENA
ජුනි 9, 2022

 

රූපවාහිනි අතුරු මිතුරු වැඩසටහන තුළින් ළමා නිවේදකයකු ලෙස මාධ්‍ය ලෝකයට අවතීරණ වන ඔහු පුංචිවුන්ගේ සිත් ඇද බැඳගත් පුද්ගලයකු විය. විවිධ පළාත්වලින් අතුරු මිතුරු වැඩසටහනට සම්මුඛ පරීක්ෂණයට සහභාගි වූ ළමයින් අතරින් කැපී පෙනුණු දක්ෂයකු වූයේ මොහුය. එවකට අතුරු මිතුරු වැඩසටහන් නිෂ්පාදිකා වන ශ්‍රීමති ලියනගේ තෝරාගත් ළමා නිවේදකයන් වර්තමානයේ ඇගේ නම ගෞරවයෙන් සටහන් කරන්නේද ඒ මඟපෙන්වීම නිසාවෙනි. නිවේදන කටයුතුවලට අමතරව ළමා නළුවකු වන හේ පාසල් මාධ්‍ය කවයේ නාට්‍ය කණ්ඩායමේ කැපී පෙනුණු චරිතයකි.

කොළඹ තර්ස්ටන් විදුහලෙන් අධ්‍යාපනය ලබන මොහු උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු තාත්තාගේ මඟපෙන්වීමෙන් හා හිතමිතුරුකම නිසා එවකට දෙරණ මාධ්‍යය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා යටතට පුහුණු නිවේදකයකු ලෙස එකතු වන්නේය. පුහුණු කාලය අවසන් වීමෙන් පසු ක්‍රීඩා වාර්තා නිවේදකයකු ලෙස වසර 3ක් පමණ ක්‍රීඩා අංශයේ කටයුතු කරනු ලබයි. අනතුරුව විවිධ පැතිකඩ ඔස්සේ ප්‍රවෘත්ති වාර්තාකරණය කරන්නට තම සහජ දක්ෂතාවය උපයෝගී කර ගන්නේය. මේ දිනවල දේශපාලන වේදිකාවේ විවිධ චරිතවලට “මොකද වුණේ” කියලා සොයා බලන අතර විශේෂ සිදුවීමක් සිදුවෙද්දී එය ක්ෂණිකව “ ඔන් ටොපික්” වාර්තාකරණය කරන ඔහු නමින් හසිත විජේවර්ධනයි. මේ ඔහු සමඟ සරසවියට කළ කතාබහයි.

ප්‍රවෘත්ති වාර්තාකරණයට එන්න ඕනේ කියලා හිතුවේ ඇයි?

මම ඉගෙන ගත්තේ කොළඹ තර්ස්ටන් විදුහලෙන්. මගේ පියාගේ දැඩි ඉල්ලීම මත මා උසස් පෙළ අවසන් වීමෙන් පසු පියාගේ මඟපෙන්වීම යටතේ දෙරණ නාලිකාවේ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂව සිටි වර්තමානයේ උපසභාපති ලෙස කටයුතු කරන ලක්සිරි වික්‍රමගේ මහතා ළඟ නිවේදකයකු ලෙස මාස 8ක් පුහුණු වෙනවා. ඉන් අනතුරුව මම ක්‍රීඩා නිවේදකයෙකු ලෙස බඳවා ගන්නවා. වසර 3ක් පමණ ක්‍රීඩා අංශයේ සේවය කරන අතර විවිධ ඉසව් ඔස්සේ මගේ වැඩකටයුතු කරන්නට නාළිකාවෙන් මාව යොමු කරනවා. ඊට පසු මට මේ ක්ෂේත්‍රයේ නියළෙන්නට වෙනදාට වැඩි ආශාවක් හා අහුමුළුවල තියෙන සැඟවිච්ච දේවල් සොයන්නට ඕන කියලා හිතුණා. ඒ නිසා මම මගේ රැකියාව මේ දේ විය යුතුයි කියලා හිතුවා.

 

තර්ස්ටන් විදුහලෙන් ලැබූ අත්දැකීම් කොහොමද?

ඇත්තටම හරියම වටිනවා. මොකද එදා පාසලේ සියලු වැඩසටහන් මාධ්‍ය කවය තුළින් කරන්නේ. ඒ දේවල් සියල්ල නිවේදන කටයුතු සිදු කළේ එවකට මාධ්‍ය කවයෙන්. ඒ හැම වැඩකටයුත්තකදීම මම මුල් වෙලා වැඩකටයුතු කළා. මගේ ගමනට එයින් ලැබූ පන්නරය තමා ගොඩක් පිටුවහලක් වුණේ. පාසලෙන් බිහිවුණු අයියලත් එක්ක අද වැඩ කරන්න ලැබීමත් සතුටක්. මගේ නාළිකාවේ දැනට ඉන්න චතුර අල්විස්, දිලීප හෙන්නායක හා සාරංග දිසාසේකර වැනි ජේ්‍යෂ්ඨයන්ගේ ආභාසය මගේ ගමන් මඟට ගොඩක් රුකුලක් වුණා.

 

ප්‍රවෘත්ති වාර්තාකරණයට ආපු ඔබ නිවේදකයෙකු වුණේ කොහොමද?

කවදාවත් නිවේදකයකු වන්න හිතාගෙන නොවේ ආවේ. ළමා කාලයේ රූපවාහිනියේ නිවේදකයකු වුණාට මෙහේ ආවේ ප්‍රවෘත්ති වාර්තාකරණයට. කොහොම හරි ඒ ගමන්මඟට අවතීර්ණ වෙන්නට ඉඩ ප්‍රස්ථාව නාලිකාවෙන් සලසා දුන්නා. මම ඒ ගැන හරිම සතුටින් ඉන්නේ. මුල් කාලයේ ටිකක් ප්‍රශ්න තිබුණා. ඒත් සාමාන්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය අධ්‍යයනය කරන්නට පටන් ගෙන පොත් පත් වැඩි වශයෙන් කියවන්නට ගත්තා. ලෝකයේ විවිධ ප්‍රවෘත්ති නාලිකා ගවේෂණාත්මක වාර්තාකරණය, ක්ෂණික වාර්තාකරණය හා සාමාන්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ මම තොරතුරු ගවේෂණය කළා. ඒ නිසා මට ගැටලු මතු වුණේ නෑ. පසුව සාමාන්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ යම් දැනුමකින් යුතුව වැඩකටයුතු සිදු කරන්නට පෙලඹුණා. ඔය ආකාරයට තමයි මම නිවේදකයෙකු වෙන්න ගමන් මඟ සැකසුණේ.

දේශපාලන වැඩසටහන් ගැන මොනවාද කියන්නට තිබෙන්නේ?

දේශපාලන වැඩසටහන් කරන්න ලෑස්ති වන විට මම ව්‍යවස්ථාව දැනගෙන හිටියෙත් නෑ,

 

කියවල තිබුණෙත් නෑ. මම ආවේ ක්‍රීඩා වාර්තාකරණයට. මම එතැනින් ඉදිරියට යන්න තමයි කල්පනා කළේ. එහෙත් මම ආපු ගමන් මඟ සම්පූර්ණයෙන් වෙනස් වුණා.

දේශපාලන වැඩසටහන් කරන්න ලෑස්ති වෙනකොට මට ලොකු සැකයක් ඇති වුණා මේ වැඩේ කරගන්නට පුළුවන් වෙයිද කියලා. එහෙත් නාලිකාව දුන් අභියෝගය මම භාරගත්තා. සාමාන්‍ය ප්‍රවෘත්තිවාර්තාකරණයේ අග මුල හරිම ගැඹුරට වටහා ගත යුතුයි.

 

ඊටත් එහා ගිය වැඩසටහනක් තමයි දේශපාලනය සම්බන්ධව කරගෙන කරන වැඩසටහන. දේශපාලන විද්‍යාව පිළිබඳ මම හදාරල තිබුණේ නෑ. පසුව මම පොත් පත් ගොඩක් කියවන්න ගත්තා. අනතුරුව තමයි වැඩසටහනට අවතීර්ණ වුණේ. ඇත්තටම මේ දේශපාලන වැඩසටහන් කරද්දී නොයෙක් තොරතුරු හරියට දැනගන්න ඕනේ. මොකද මෙය දැලි පිහියෙන් කිරි කනවා වැඩක්.

දැනට මොනවාගේ වැඩසටහන්ද ආවරණය කරන්නේ.

මම විශේෂයෙන් ප්‍රවෘත්ති අංශයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. එහි මට පවරන කාර්යභාරයන් සියල්ල මම ඉටු කරනවා. ඒ වගේම මම පාර්ලිමේන්තු ආවරණය, දේශපාලන වැඩසටහන්, ඔන් ටොපික් වැඩසටහන වගේම සංස්කෘතික හා සමාජීය වටිනාකමකින් යුතු වැඩසටහන් හා විශේෂ ප්‍රවෘත්ති වාර්තාකරණ මේ වනවිට සිදු කරනවා. ඒ විවිධ වැඩසටහන් මේ වනවිට නරඹන සියලු දෙනාම වැලඳගෙනයි සිටින්නේ. මේ සියල්ල කරගෙන යන්න මගේ අධ්‍යාපනය හා අගය එකතු කරගෙන තිබෙනවා. එක වැඩසටහනකට කොටු නොවූ මා සෑම අංශයකම වාර්තාකරණය මේ වනවිට සිදු කරනවා.

මොකද වුණේ වැඩසටහන ගැන මොකද කියන්නේ?

ඇත්තටම මොකද වුණේ වැඩහටහන 2015 වසරේ ආරම්භ කළේ්. මේ දක්වා කරගෙන එද්දී සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මේ වැඩසටහන රෙකෝඩඩ් නිසා හොඳයි. නැත්තම් මම මෙලහකට උසාවි ගිය වාර අනන්තයි. “මැති ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගෙන් බැනුම් අහල තිබෙනවා. සමහර ප්‍රශ්න අහද්දී කේන්ති ගිහින් ගහන්න හදලත් තියෙනවා.” මේ වැඩසටහන රෙකෝඩඩ් නිසා අපි වගකිව යුතු නාලිකාවක් නිසා කිසිදිනක එවැනි අවස්ථා ප්‍රචාරය කරල නෑ. ඒ වගේ දේවල් ගැන අපි සියලුදෙනා සතුටු වෙනවා වගේම කොහොම වෙතත් මෙම වැඩසටහනට සහභාගි වන දේශපාලඥයන් හරි කැමැත්තෙන් මොකද වුණේ වැඩසටහනට සහභාගි වෙන්නේ. හැම වෙලේම මොවුන් වැඩසටහන අගය කරනවා. වැඩසටහන නරඹන සියලුදෙනාගෙන්ම හොඳ ප්‍රතිචාරත් ලැබිලා තිබෙනවා. එයට හේතුව තමයි දේශපාලනඥයන්ට මාධ්‍යවේදීන් ඕනේ. මාධ්‍යවේදින්ට දේශපාලනඥයන් ඕනේ. පෞද්ගලික දේවල් උදෙසා නෙවේ ඔවුන් ඕන වෙන්නේ ප්‍රවෘත්තිවාර්තාකරණ වැඩසටහන්වලට දේශපාලනඥයන්ගේ රඳා පැවැත්මක් තිබෙන්නේ මාධ්‍ය මත බව ඔවුනුත් දන්න නිසයි.

 

'ඔන් ටොපික්' වැඩසටහන ගැන මොකද කියන්න තියෙන්නේ.

ඔන් ටොපික් වැඩසටහන පළමුව අපි කළේ ලංකාවේ සංවර්ධන කටයුතු ගැනයි. එහෙමත් නැතිනම් ලංකාවේ නම ජාත්‍ය්‍යන්තරයට රැගෙන ගිය අවස්ථාවකයි. එයට අලා වැඩසටහන් කිරීම තමයි ඔන් ටොපික් හරහා පළමුව අපි දියත් කළේ. පසුව නාලිකාවේ විධායක අධ්‍යක්ෂක මාධව මඩවල මහතා කීවා මේක කරනවා නම් බ්රෑන්ඩ් නේම් එකක් යටතේ කරන්න කියලා. පසුව අපේ නිෂ්පාදක කණ්ඩායම ඔන් ටොපික් වැඩසටහන බ්රූන්ඩ් නේම් එකක් යටතේ කරන්න පටන් ගත්තා. මාතෘකා පිළිබඳ කතා කරන වැඩසටහනක් බවට පත් වුණා. මේ නිසා රටේ විවිධ අප්‍රසිද්ධ දේවල් ජනතාවට පෙන්වන්න කතා කරන්න ගත්තා. උදාහරණයක් ලෙස මා පැහැදිලි කළොත් ලෝකයේ ලොකුම නැව ලංකාවට ආපු වෙලාවේ එහි සියලුම දේවල් රූප රාමු එක්ක විස්තරාත්මකව පෙන්වන්න ගත්තා. රිදියගම සෆාරි උද්‍යානයේ අලුතින් ඉපදුණ සිංහ පැටව් ගැන මෙවැනි දේවල් ගැන කතා කරන්න ගත්තාම ඔන් ටොපික් කියන වැඩසටහන පේ‍්‍රක්ෂයන් අතරට කෙටි කාලයක් තුළ ජනපි‍්‍රයත්වයට පත් වුණා. මේ හරහා ප්‍රථම වතාවට ප්‍රවෘත්තිකරණයට ඩ්‍රෝන කැමරාකරණය අපට ගේන්න පුළුවන් වුණා. ඒකත් මේ වැඩසටන ජනපි‍්‍රයත්වය කරා ගෙන යන්නට පිටිවහලක් වුණා. ලංකාවේ වැඩසටහන් හා ප්‍රවෘත්ති වාර්තාකරණයට ඩ්‍රෝන භාවිතය පිටරටවල් එක්ක සංසදනය කරන විට ඉතා අඩුවෙන් භාවිතා කරන්නේ. ඩ්‍රෝන භාවිතය නිසා විවිධ කැමරා කෝණ ඇතුළත් කරලා වැඩසටහන අලංකාර දර්ශන පේළියක් එකතු කිරීම තුළින් හා සංස්කණයෙන් ජනතාව බලාපොරොත්තු වන දේවල් දීමට හැකි වුණා. ඔන් ටොප්ක් වැඩසටහන නිසා කොටින්ම කියනවා නම් සුවිශේෂී වැඩසටහනක් කොහේහරි වෙනවා නම් අපට කතා කරලා ගෙන්න ගන්න තැනට අද ජනපි‍්‍රයත්වයට පත් වෙලා තිබෙනවා. සමහර දවස්වලට අපිට යන්නත් බැරි වෙනවා. එදාට වෙන වැඩසටහන් භාරගෙන තිබෙනවා. අපි සියලුදෙනාම මේ වැඩසටහන කරන්නේ හරිම ආශාවෙන්.

 

දැනට ලංකාවේ බලන වැඩිම නිව්ස් වැඩසටහන මොකක් කියලා හිතලද ඔබ හිතන්නේ..

දැනට බලන වැඩිම නිව්ස් වැඩසටහන වන්නේ යූ ටියුබ්වල ඔන් ටොපික් වැඩසටහනයි. මම එසේ කියනවාට නෙමේ ඕනෙම කෙනෙකුට යූ ටියුබ් නාලිකාවට ගිහින් මේ තාක්කල් වැඩිම වාර සංඛ්‍යාවක් බලපු වැඩසටහන පරීක්ෂා කරල බැලුවොත් මම කියන දේ නිවැරැදි බව වටහා ගනී. දැන් ලංකාවේ සිදුවන සුවිශේෂි වැඩසටහන් සියල්ලම ඔන් ටොපික් හරහා බලන්නට ජනතාව පුරුදු වෙලා ඉවරයි.

සංස්කෘතිය, සිනමාව, ටෙලිනාට්‍යය කලාව පිළිබඳ මෑතක සිට කතා කරන්න පටන් ගත්තේ මොන පදනමකින්ද?

ඇත්තටම සියලුම විෂය පථයන් පිළිබඳ අපි ඉගෙන ගැනීම හා එහි ගැඹුර හා නව සොයා ගැනීම් අලුතින් නිර්මාණය වන සංස්කෘතික අංගයන් හෝ සිනමාව ,ටෙලිනාට්‍යය පිළිබඳ කතා කළ යුතු කාල පරිච්ඡේදයක තමයි මේ වැඩේට මුල පිරුවේ. අපේ සංස්කෘතිකමය පැත්ත ගොඩක් කතා කරනවා අඩු නිසා ජාත්‍යයන්තරයට ඒ පිළිබඳව දැනුවත් කිරීම් අඩුවන නිසාත් කොතනින් හෝ පටන් ගන්න ඕන කියලා හිතුවා. අද ඊස්රායල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රිය ලංකාවට ඇවිත් තිබෙනවා, ඔවුන් අපේ දර්ශන තලයන් උපයෝගී කරගෙන මෙම කරන අලුත් අරුගම්බේ චිත්‍රපටය අපි ප්‍රචාරයක් දිය යුතු නිසාත් ලංකාවේ සංචාරක කර්මාන්තයට එය බෙහෙවින් පිටිවහලක් වෙන නිසා මෙම නම ජාත්‍යන්තරයට ගෙන යන බැවින් මේ ගැන අප වැඩසටහනෙන් කතා කළා.

රැකියාව ගැන තෘප්තිමත්ද?

ඇත්තටම මම හරිම තෘප්තිමත්. ලෝකයේ කරන්න පුළුවන් හොඳම රැකියාව ලෙස මම දකින්නේ මාධ්‍යවේදියකු වීමයි. මට නම් ජීවිතේ පුදුමාකාර අද්දැකීම් සම්භාරයක් රැකියාවෙන් ලබාගෙන තිබෙනවා. ඒ සියලු දේවල් මගේ ජීවිතයට හරියට ගහට පොත්ත වගේ බැඳිල තිබෙනවා. මේ වනවිට ලංකාවේ නොගිය තැනක් නෑ. ලෝකයේ රටවල් ගණනාවකට යන්න ලැබුණේ මාධ්‍යවේදියකු වීම නිසා. ඒක සාමාන්‍ය ජීවිතයේ ඉන්න පුද්ගලයකුට අත්විදීමට නොහැකි දෙයක්. ජනාධිපතිවරයාගේ සිට පාරේ අතුගාන අම්මා තාත්තා දක්වාම ඔවුන් හමුවෙනවා දුක, සතුට, වේදනාව මම දන්නවා. “පැල්පතේ සිට රජමන්දිරය දක්වා දුකත්, සැපත්, සතුටත් මේ රැකියාව කරන මමයි ඔබයි තරම් වෙන අය දන්නෙ නැතුව ඇති කියලා මම හිතනවා. ඒ නිසා මම මේ රැකියාව තමයි කෙනෙකු කළ යුතු හොඳම රැකියාව ලෙස මම දකින්නේ.

මේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්?

මගේ ගමනට යෝධ ශක්තියක් වන්නේ අම්මයි, තාත්තයි දෙන්නා. අම්මා පිටිපස්සේ ඉඳන් නිතරම මාව දිරිමත් කරනවා. වැරදි අඩුපාඩු පෙන්වනවා. සමහර වේලාවට මම එකම සන්ග්ලාස් එක වැඩසටහන් තුන හතරක දාගෙන ඉදල තිබෙනවා. ඒව පෙන්වලා දෙන්න වෙන කවුරුත් නෑ මට අම්මා තමයි ඉන්නේ. තාත්තා තමයි මේ ගමනට මාව යොමු කළේ. තාත්තා ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රීඩා අංශයේ හා ඉංගී‍්‍රසි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළා. ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ලෙස කටයුතු කළා. ඔහු නමින් වජිර විජේවර්ධනයි. ඔවුන් දෙපළගේ එකම පැතුම වුණේ මමත් මාධ්‍යවේදියකු වනවා දැකීමයි. ඒ අරමුණ මම ඉෂ්ඨ කළා.

අනාගතය ගැන අපි කතා කරමු

මාධ්‍යවේදියකු ලෙස මගේ ගමන මම යනවා. සමාජයට යම් මෙහෙවරක් කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. රැකියාව කරන අතරතුර සුළු ව්‍යාපාර කටයුතුවලද නිරත වෙනවා. මේ රැකියාවට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ටික මේ යන ගමනේ හිමීට කරගෙන යනවා. ලොකු බලාපොරොත්තු මගේ ළඟ නෑ. මම හිමින් ගමනක් ආපු කෙනෙක්. ඒ නිසා හැමෝටම උදව් කරගෙන අපෙන් පසුව එන පරම්පරාවට මේ මාවත පෙන්වා දීම තමයි මාගේ බලාපොරොත්තුව.

විවාහ ජීවිතය ගැනත් යමක් පැවසුවොත්

ආයතනයේ සියලු දෙනාටමත් හිතමිත්‍රාදීන්ටත් තිබෙන වැඩියෙන්ම කතා කරන මාතෘකාව විවාහය. විවාහ වෙන්න ගිහින් පැරදුණ මට දෙපාරක් හිතන්න වෙනවා මේ ගැන. ආදරයට ආදරය කරන මිනිස්සු නැහැ. එහෙම හොයා ගන්නත් බැහැ. මාව තේරුම් අරගෙන මාගේ රැකියාව අවබෝධ කරගත්ත කෙනෙක් ඉදිරියේදී මුණගැසුණොත් සිය දහස් වාරයක් හිතලා තීරණයක් ගන්නවා.