අපි මැරුණට පස්සේ මුදල් ලැබිලා මොකටද

SUMANA AMARASINGHE
ජුනි 9, 2022

 

 

සුමනා සරසවිය සමඟ කළ අවසන් සංවාදය

 

 

1975 ජෝ දේව් ආනන්ද් අධ්‍යක්ෂණය කළ සුකිරි කෙල්ල චිත්‍රපටයේ රූගත කිරිම් සිදුවෙමින් පැවතියේ සිලොන් ස්ටුඩියෝවෙහිදීය. මනාල යුවළක් විවාහපත් වන එක්තරා දර්ශනයක් රූගත වෙමින් පැවතුණි. උඩරට මනාලියක සේ හැඳ පැලඳ මාල හතක් ගෙලලා සුදෝ සුදු ඔසරිසයකින් සැරසී සිටි ඇය තම පෙම්වතා එනතෙක් බලා සිටියේ නොඉවසිල්ලෙනි. කැරලි ගැසුණු හිසකේ අපුරුවට පීරා ගෙන ඉන්දියානු ඇඳුමකින් සැරසී සිටි මේ කඩවසම් තරුණයා ද ඇයට දෙවෙනි නැත. කැමරාව ඉදිරියේ මේ යුවළ අතිනත ගත්තේ රැස්ව සිටි පිරිස් ගේ ආශීර්වාදය මධ්‍යයේය.

මේ සුරුපී තරුණියගේ රූප සොබාවට වගීකෘතව තරුණයා රූගත කිරිම් නිම වූ සැණින් මංගල ඇඳුමින් ඇය කැඳවාගෙන ගියේ මරදානේ පිහිටි විවාහ ලියාපදිංචි කරන රෙජිස්ට්‍රාර් වරයා වෙතය.

 

රෝයි ද සිල්වා වන මම සුමනා අමරසිංහ වන ඇය අද පටන් මගේ නිත්‍යනුකූල බිරිඳ ලෙස බාර ගතිමි. පවසමින් දෙදෙනාම රෙජිස්ට්‍රාර් ඉදිරියේ අත්සන් කොට විවාහ ගිවිස ගත්හ. සාක්කියට අත්සන් තැබුවේ ජෝ දේව් ආනන්ද්ය. 70 දශකයේ සිංහල සිනමාවේ යුගයක් බිහිකළ රෝයි සුමනා යුවළ 1974 අගෝස්තු 30 වැනිදා විවාහ වුයේ එලෙසිනි.

 

රෝයි ද සිල්වා අද අප අතර නොමැත. ඔහු දිවි සැරිය නිමාකොට වසර 2ක් ඉක්මගොසිනි. හබල ගිලිහුණු ඔරුවේ තනිපංගලමේ ජීවන ගංගාව තරණය කරන සුමනා අමරසිංහ නම් වූ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය, චිත්‍රපට නිෂ්පාදිකාව අද ගෙවන හුදකලා ජීවිතයට, මොහොතකට විරාමයක් තබන්නට මම ඇය මුණ ගැසෙන්නට ගියේ ඈ වෙසෙන කුලී නිවෙසටය.

 

ඔබේ ජීවන අත්වැල ගිලිහී ගොසින්. අද ඔබ තනිවෙලා කුලී නිවසක. ඇයි ඔබට නිවසක් නැද්ද?

නැහැ. රෝයි ජීවත් වෙලා සිටි කාලේ පටන් කලාකරුවන්ට රජයෙන් ලැබු වරප්‍රසාදයක් වන ඉඩමක් හෝ නිවෙසක් ලබාදෙන ලෙස අපි විවිධ රජයන්වල ජනාධිපතිතුමන්ලාට පැවසුවත් මේ වනතෙක් ඒ වරප්‍රසාදය අපට ලැබුණේ නැහැ. සිංහල සිනමාවේ අභිවෘද්ධිය පිණිස රංගනයට අමතරව තිර රචනය, අධ්‍යක්ෂණයත් චිත්‍රපට නිෂ්පාදනය යන සිව්වැදැරුම් අංශ අපි දෙදෙනා සිනමාවට දායද කළා. Box Office වාර්තා පිහිට වූ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළා. ඒ සේවාවට කෘතගුණ සැලකීමක් අප දෙපොළට සිදු වුණේ නැහැ. නමුත් කලාකරුවන් බොහෝ දෙනෙකුට ඉඩම් - ගෙවල් ලැබී තිබෙනවා. රෝයි ජීවත් වෙලා ඉන්න කාලේ අපට නිවෙසක් නොලැබීම ගැන හරිම වේදනාවෙන් හිටියේ.

 

හතළිස් වසරක කාලයක් සිනමාවේ නියැළි සිටි ඔබ වෘත්තියෙන් සිනමා නිළියක්. චිත්‍රපට නිෂ්පාදකවරියක් Box Office වාර්තා පිහිට වූ සිනමා අධ්‍යක්ෂණවරයකු ගේ බිරියක්. ඔබ මෙතෙක් හරි හම්බ කරගත් මුදල්වලට මොකද වුණේ?

ඔබ ඇසු ප්‍රශ්නයට දිය හැක්කේ මෙවැනි පිළිතුරක් සිනමාවේ සතළිස් වසරක් නියැළුණු වෘත්තිය නිළියකට මුදල් අහේනියක් ඇති වන්නේ නැහැ. එය සත්‍යයක්. අපි දෙන්නා හරි හම්බ කරගත් මුදල් එක්තරා මුල්‍ය ආයතනයක තැන්පත් කළා. ඒ මුල්‍ය ආයතනය අපි තැන්පත් කළ මුදල අපට ලබා නොදී මඟ හැරියා. අපි හරි හම්බ කරගත් මුළු මුදලම දැන් අපට අහිමි වෙලා. අපට මුදල් ලබා නොදීම ගැන රෝයි ඉතාමත් කනස්සල්ලෙන් වේදනාවෙන් ජීවත් වුණේ. රෝයි මානසිකව කඩා වැටුණා. කොපමණ වාරයක් මුදල් ඉල්ලුවත් ලබා දුන්නේ නැහැ. ඒ වේදනාව දරාගන්නට බැරුව තමයි රෝයි හෘදයාබාධයක් හැදිලා හදිසියේ මිය ගියේ. රෝයිගේ ආත්මය වෙනුවෙන් දානයක් පිංකමක් කරන්නට අවශ්‍ය මුදල්වත් මේ මුල්‍ය ආයතනයෙන් අපට ලබාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා. අපි මැරුණට පස්සේ මුදල් ලැබිලා මක් කරන්නද?

 

ඔබ සැලෝන් සුමනා නමින් රූපලාවණ්‍යාගාර කිහිපයක් පවත්වාගෙන ගියා නේද? එයින් ආදායමක් ලැබෙන්නේ නැද්ද?

මම ජීවමෝපාය වශයෙන් මොරටුව, තලාහේන, රාජගිරිය යන නගර තුනේම සැලෝන් සුමනා රූපලාව්‍යාගාර පවත්වාගෙන ගියා. පසුව මේ සියල්ල වසන්න සිද්ධ වුණා. සැලොන්වල මට නැවතී කටයුතු කරන්නට නොහැකි වීම හේතුවෙන් ප්‍රශ්න ගොඩක් පැණ නැගුණා. රෝයි ජීවත්ව සිටි කාලෙමයි සැලොන් තුනම වසා දැම්මේ.

 

ජීවන අරගලයට ඔබ දැන් තනිවම මුහුණ දෙන්නේ කොහොමද?

රෝයි සහ මම කාටවත් අතපාල ජීවත් වන්නට කැමැති අය නොවෙයි. අපට සිදුවුණු අපරාධය නිසා මම අද විශාල ගැටලුවකට මුහුණ දීලා තිබෙන්නේ අනාගතයේ ආර්ථික සුරක්ෂිතතාවයකට මුහුණ දීමට ගත් පියවර තමයි. අපිව විනාශ මුඛයට ඇදලා දැම්මේ. ජීවන අරගලයට මුහුණ දීමට නොහැකිව අන්තිමේ දී කාර් එක විකුණුවා. ඒ මුදලින් තමයි අද මම ජීවත් වෙන්නේ. ඒ මුදලත් ඉවර වෙන්න ළඟයි.කුලී නිවෙසේ ජීවත් වීමේදී මුහුණ දෙන අනිත් ගැටලුව කලින් කලට ගෙවල් මාරු කිරිමට සිදුවීම. අපි දැන් වයස නිසා එය අපහසු කටයුත්තක්.

 

රෝයි ද සිල්වා අවසන් වරට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය තවමත් තිරගත වුණේ නැහැ නේද?

රෝයි අවසන් වරට අධ්‍යක්ෂණය කළ ‘සිහින ලොවක්’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ මම සහ ඇන්ඩි සමරසේන. චිත්‍රපටය නිම කළේ 2019 කතාව - තිර රචනයත් රෝයිගේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ රූගත කිරීම් සිදුකළේ. රෝයිගේ ටොම් පචයෝ චිත්‍රපටයත් තවම තිරගත කිරීමට නොහැකි වුණා. රෝයි ජීවත්ව සිටිද්දී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ගත් උත්සාහය නිශ්ඵල වුණා. පසුව කොරෝනා ප්‍රශ්න නිසා තිරගත කිරීමට නොහැකි වුණා. මේ චිත්‍රපටි දෙක තිරගත කිරිමේ බර දැන් මගේ කරපිට. රෝයි වෙනුවෙන් මම කෙසේ හෝ චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා. විශේෂයෙන් රට කොරෝනා උවදුරින් මිදුණු පසු චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමටයි මම අදහස් කරන්නේ.

 

ඔබ දෙපොළ සිනමාවේ පුනරුදයට අමිල මෙහෙවරක් ඉටු කළ යුවළක්. චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කළා. සිනමාවෙන් ඇත් වූ පේ‍්‍රක්ෂකයන් නැවත සිනමා ශාලාවට කැන්දගෙන එන්නට රෝයිගේ ‘රෑ දනියෙල් දවල් මිගෙල්’ චිත්‍රපට මාලාව සමත් වුණා. ඒ අතීතය ගැන කතා කරමුද?

සිනමාව කියන්නේම රෝයිගේ සහ මගේ ජීවිතය. වාණිජ සිනමාව හාස්‍යෝත්පාදක සිනමාව, කලාත්මක සිනමාව. මේ තෙවැදැරුම් නිර්මාණකරණයේ රෝයි සතු සුවිශේෂ නිර්මාණකරණ හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔහු කළ සෑම නිර්මාණයක්ම පාහේ සාර්ථක වුණා. හාපුරා කියා රෝයි අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කළේ ‘තණ ගිරවි’ මම එම චිත්‍රපටයේ ද්විත්ව රංගනයේ යෙදුණා. රෝයි අධ්‍යක්ෂණය කළ සුදු පිරුවට නිෂ්පාදනය කළේ මම. හිත හොඳ කොල්ලෙක්, ටොම් පචයා, චෙරියෝ ඩාලිං නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළා. රෝයිට අවශ්‍ය වුණ ඉංගී‍්‍රසි බසින් චිත්‍රපටයක් කරන්නට ධ්ඊ’ච ර්චබබඥප ධට බඪථඥ තමයි. රෝයිගේ ප්‍රථම ඉංගී‍්‍රසි චිත්‍රපටය සංගීතා වීරරත්න සිනමාවට හඳුන්වා දුන්නේ මේ චිත්‍රපටයෙන්. ධ්ඊ’ච ර්චබබඥප ධට ඹ්ධමඥ නමින් තවත් චිත්‍රපටයක් කළා. තිලක් අතපත්තු නිෂ්පාදනය කළ චෙරියෝ ඩොක්ටර් චෙරියෝ කැප්ටන්, ඔක්කෝම කණපිට, හාසෝ්‍යීපාදක චිත්‍රපටත් ජ්ඪතථ ඹ්ධජචබඪධද එකට ඹ්ධමඥ 2002 චිත්‍රපට නිර්මාණය කළේත් රෝයි. අතුල අධිකාරී - ඉන්දිකා උපමාලි සිනමාවට හඳුන්වලා දුන්නෙත් රෝයිගේ ‘සැලමුතු පින්න’ චිත්‍රපටයෙන්.

තිලක් අතපත්තුට නිර්මාණය කළ චිත්‍රපට අතිශයින් සාර්ථක වූ නිසා සෝමා එදිරිසිංහ රෝයිගෙන් ඉල්ලීමක් කළා. ඡ්ඒර්‍ථ එකට චිත්‍රපට කිහිපයක් කරලා දෙන්න කියා. එම චිත්‍රපට තමයි ‘රෑ දනියෙල් දවල් මිගෙල් 1- 2 - 3’ යන චිත්‍රපට ත්‍රිත්වය. කතාව - දෙබස් - තිරරචනය - අධ්‍යක්ෂණය රෝයිගේ චිත්‍රපට අතිශයින් සාර්ථක වුණා. වාර්තා පිට වාර්තා පිහිටේව්වා. විශාල මුදල් කන්දරාවක් සෝමා එදිරිසිංහට සොයා දුන්නා. රෑ දනියෙල් දවල් මිගෙල් නිසා සිනමා ශාලා අතුරු සිදුරු නැතිව පිරී යන්නට පටන් ගත්තා. සිනමාශාලා නවීකරණය වුණා. ආසන, ප්‍රොජෙක්ටර් සහ සියලුම අඩුපාඩු අලුත් වැඩියා වුණා. මහා ජන ගඟක් මෙම චිත්‍රපට නරඹන්නට පැමිණි නිසා සිනමාශාලා අතුරු සිදුරු නැතිව පීරි ගියා. සෝමා එදිරිසිංහ නිතරම කිව්වා දෙයක් තමයි කලාත්මක චිත්‍රපට කරන්න රෝයි තමයි මට මුදල් සොයා දුන්නේ කියා.

සුකිරි කෙල්ල රූගත කිරීම් අතරතුර නේද ඔබ කාටත් හොරා විවාහ වුණේ?

ඔව් ෂුටිං නතර කළ කෑම පැයේදී තමයි අපි රෙජිස්ට්‍රාර් ළඟට ගිහින් විවාහ වෙලා කිසි දෙයක් නොවුණු ගානට නැවත රූගත කිරිම් කළේ. සැමටම හොරා විවාහ වුණත් හොරේ අහුවුණේ අපි දෙදෙනා ‘හනීමුන්’ ගත කරන්නට කැනඩාවට ගිය විටයි. කැනඩාවේ මාසයක් හනිමුන් ගිය බව දැනගත්තම තමයි කට්ටියට මේ බව ආරංචි වුණේ. හනිමුන් එක නිසා චිත්‍රපට ගණනාවක රඟපෑම අපට අහිමි වුණා. ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හිතුවේ අපි ආපසු ලංකාවට එන්නේ නැහැ කියා.

 

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ රෝයි - සුමනා යනු යුගයක් බිහි කළ ජනකාන්ත තරු දෙකක්. ඒ යුගය ගැන සිහිපත් කළොත්?

ඒ ස්වර්ණමය යුගය අතිශයින් චමත්කාරයී. ගාමිණී - මාලිනී, විජය මාලීනි වගේම රෝයි - සුමනා පේ‍්‍ර්ක්ෂක ආදරය නොඅඩුව ලබාගත් යුවළක්. සුනේත්‍රා, සුකිරි කෙල්ල, ඔබයි මමයි, මේ දෑස කුමටද, ටොම් පචයා, මගේ නංගී ශ්‍යාමා, ශීලා, සමනල කුමරියෝ, සැනසුම යනාදී චිත්‍රපට ගණනාවක පෙම්වතා සහ පෙම්වති වුණේ අපි දෙදෙනා. මට තව විශේෂ වරප්‍රසදායක් ලැබුණා. රුක්මණී දේවිය රඟපෑ කඩවුණු පොරොන්දුවේ ඇගේ චරිතය නිරූපණය කිරීමට ඒ අවස්ථාව මට හිමිකර දුන්නේ රෝයි. කඩවුණු පොරොන්දුව නව නිර්මාණ තිරපිටපත ලියා අධ්‍යක්ෂණය කළේ රෝයි මා සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරතුංග එය මගේ රංගන දිවියේ අමරණීය සිහිවටනයක්.

 

ලේක්හවුසියේ ජනතා පුවත්පත සංවිධානය කළ ලස්සන මුහුණු තරඟයෙන් ඔබ ප්‍රථම ස්ථානය දිනා ගත්තා. තරඟය විනිශ්චය කිරීමට පැමිණි රුබී ද මෙල් ඔබව ඇයගේ ‘පිපෙන කුමුදු’ චිත්‍රපටයට තෝරා ගත්තා. මගේ මතකය හරිද?

ඔව් මම පාසල් යන අවදියේ තමයි ලස්සන මුහුණ තරඟය තිබුණේ.. මටත් හොරෙන් මගේ යෙහෙළියක මගේ පින්තුරයක් යවලා. අන්තිම 25 දෙනාට මාව තේරිලා. සුදර්ශීයට එන්න කියලා. දැනුම් දුන්නට පස්සේ මට මේ වගක් දැන ගත්තේ. එදා විනිශ්චය මණ්ඩලයේ හිටියේ සන්ධ්‍යා කුමාරි, ජීවරාණී, රූබී ද මැල්, ඩොමී ජයවර්ධන. මම ප්‍රථම ස්ථානයට තේරුණාට පස්සේ මට චිත්‍රපට කිහිපයකට රඟපෑමට අවස්ථාව උදාවුණා. මුල් ආරම්භය රුබී ද මෙල්ගේ පිපෙන කුමුදු, විමලදාස පෙරේරා සමනල කුමරියෝ චිත්‍රපටයට මාව තෝරා ගත්තා. සුගතපාල සිල්වා ගේ නිල් කට්රොල් මල් වේිදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්නට මට ලැබුණා. ඒ ටෝනි රණසිංහ සමඟ. ඩී.බී. නිහාල්සිංහ ‘බීනරමලී’ චිත්‍රපටයේ ‘බිනරමලී එක්ක එන්න’ ගීතයට රඟපාන්නට මාව තෝරා ගත්තා. දහසක් සිතුවිලි චිත්‍රපටයේ මම රඟපෑවේ ජෝ අබේවික්‍රම සමඟ.

 

ඔබ හිටි හැටියේ අසනීප වී අසාධ්‍ය තත්ත්වයට පත්වුණා නේද?

ඔව්. මගේ ජීවිතය බේරුණේ අනුනවයෙන්. වෛද්‍යවරු වගේම රෝයි විශාල සටහනක් කළා. මගේ ජීවිතය ගලවා ගන්නට. චිත්‍රපටය සඳහා බාරයක් වන්නට ඉන්දියාවේ තිරුපති ගියා. එහිදි ආහාරයක් විෂ වී හොඳට අමාරු වෙලා ලංකාවට ගෙනාවා. ගුවන් තොටුපොළින් මාව කෙළින්ම ගෙනාවේ රෝහලට. මම සිහිසුන්ව දවස් කිහිපයක් හිටියා. වෛද්‍යවරු විශාල සටහනක් කරලා. මගේ දිවි ගලවා දුන්නා. රෝයි මම වෙනුවෙන් ඇඬු කඳුළින් හිටියේ ඇත්තට මට මතක් වෙනකොට දැනෙන වේදනාවේ නිමක් නැහැ. රෝයි මගේ ජීවිතය බේරලා දීලා. එයා මාව දාලා ගියා. අපි දෙන්නා ගහට පොත්ත වගේ. හැමදේටම රෝයිට මම නැතුව බැහැ. මට රෝයි නැතුව බැහැ. එත් අද මං තනිවෙලා..පාළුව, තනිකම, වේදනාව තුරුලු කර දී සදාතනික පේ‍්‍රමයේ ආදරණීය සෙනෙහස ඇගේ නෙතු අග කඳුළක රදවා ඔහු යන්නම ගියේය. අඩ සිය වසරක් ඇගේ දිවි මංසල ආලෝකවත් කළ පහන් ටැඹ අද නිවී ගොසිනි.මතු භවයේ ඔහු ඇගේම වන්නට ප්‍රාර්ථනා පෙරදැරීව ඇය ඔහුගේ රුව ඉදිරියේ නෙතු දල්වා බලා සිටින්නේ ඔහුට බැඳී ආදරයේ සෙනෙහසිනි.

 

 

සේයාරු - දයාන් විතාරණ