තමන් ගැන පමණක් හිතන අය ගෑවුණ තැනකවත් මින් පසු වැඩ නෑ

Piyumi Botheju
ජුනි 9, 2022

දඟලනවා කියන එක නොවෙයි ප්‍රහසනය

 

තවමත් ඇයව අමතන්නේ හිමාලි නමිනි. ඒ තරමට පබා හි ඇය නිරූපණය කළ හිමාලිගේ චරිතය ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳ ගත්තේය. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව වගේම නිවේදනය හඬ කැවීම ආදී බොහෝ කලා මාධ්‍යයන් එක්ක හරඹ කරන ඇය පියුමි බොතේජු. අතළොස්සක් වූ ප්‍රහසනාත්මක ‍රංගන ශිල්පීන් අතර ඇයද තැනක් ගනී. චරිතාංග නිළියක ලෙස තමන්ට ලැබෙන චරිතයට උපරිමය කරන ඇයපසු ගිය දිනෙක රූගත කිරීම් අතරතුර අසනීප වුණා. ඒ නිසාම පියුමිගේ සුවදුක් සොයා බලන්නට සරසවිය අපි හිතුවා.

 

 

 

දැන් කොහොමද පියුමි?

තවමත් හොඳටම සුව නොවුණත් භාරගත් වැඩ කරන්න ඕන නිසා රූගත කිරීම් ආරම්භ කළා. වැඩ බොහොමයක් මඟ නතර කළා අසනීප වුණ නිසා.

 

මොකද වුණේ?

මම පොකුණුවිට රූගත කිරීමකට ගිය වෙලාවෙදි අසනීප වුණේ. කැලෑවක තමයි රූගත කිරීම් තිබුණේ. කූඩැල්ලන් වගේම කුඩා සත්තු වගයක් මාව කන්න ගත්තා. ඒ සතුන්ගේ විසක් ලේවලට ගිහින් අසනීප වුණේ.

 

ඉතින් ඒ ගැන ඔබේ නිර්මාණයේ අධ්‍යක්ෂවරයාට කිව්වේ නැද්ද?

 

මම ඔහුට කිව්වා. ඔහු කිව්වේ අපිව කන්නේ නැහැනේ කියලා. ඉතාම නරකයි ඔහුගේ හැසිරීම. අසනීප වෙලා රෝහල් ගත වුණාමවත් සොයා බැලුවේ නෑ. මට විතරක් නොවෙයි. ආරංචියේ හැටියට ඔහුගේ කාර්මික ශිල්පියෙකුªටත් ආසාධ්‍යයයි.

මේක ලොකු රිස්ක් එකක්?

 

ඔව්. රංගන ශිල්පීන් විදිහට අපේ කාර්යයේදී අපිට මොනවද කරන්න තියෙන්නේ ඒක අපි කරනවා. මඩකට වුණත් පනින්න දෙපාරක් අපි හිතන්නේ නෑ. ඒක අපේ වෘත්තීය. නමුත් පිටපතේ සඳහන් වී නොතිබුණ රූගත කිරීමක් මෙය. මේ අධ්‍යක්ෂවරයාමයි පිටපත ලියන්නේ. ඒ නිසාම ඔහුට හිතෙන හිතෙන විදිහට එය ක්ෂණයෙන් වෙනස් කරනවා. ඉතාම කලකිරීමක් ඇති වුණා. ලෙඩවීම සාමාන්‍ය දෙයක්. නමුත් එය සොයාබැලීමට වත් මනුස්සකමක් නැති මිනිස්සු එක්කයි අපි කලාව කරන්නේ. කලාව කරන්න, කලාව තුළ ඉන්න කොතරම් මනුෂ්‍යත්වයක් තියෙන්න ඕනද? තමන්ගේම වැඩ ගැනම පමණක් හිතන මෙවැනි අය ගෑවුන තැනකවත් මින්පස්සේ වැඩ කරන්නේ නම් නෑ.

 

රන්දනාවත් මඟ හැරුණා නේද?

 

ඔව්. ඇත්තටම මම කියන්න ඕන අසනීප වීම නිසා මං වෙනුවෙන් බලාගෙන ඉන්න වුණා අනෙක් නිර්මාණකරුවන්ට. විශේෂයෙන්ම බන්ධනා, අමරබන්දු රූපසිංහ වගේ නිර්මාණවල රූගත කිරීම් නතර කරන්න වුණා. ඒ නිසාමයි තවමත් හරිහැටි සුවයක් නැතත් රූගත කිරීම් කරන්න එන්න හිතුවේ.

 

රන්දනාට බන්ධනා ලැබෙන්නේ කොහොමද?

බන්ධනා එක්ක සම්බන්ධ වෙන්නේ බුද්ධිනී ජයවර්ධන හරහා. බුද්ධිනි කියන්නේ මගේ ළඟම හිතවතියක්. බුද්ධිනි මාව විශ්වාස කරලා මේ චරිතය මට ලබා දෙනවා. අද වන විට එයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද මම බොහෝ වෙලාවට ප්‍රහසනාත්මක චරිතවලටම කොටු වුණා පසුගිය කාලේ. බුද්ධිනීගෙම මේ මමයි ටෙලිනාට්‍ය හරහා එය වෙනස් වුණා. ඒ වගේම රන්දනා හරහාත් වෙනසක් ඇතිවෙලා තියෙනවා. මම කැමැතියි විවිධ චරිත නිරූපණය කරන්න. මම දන්නවා මගේ රංගන පරාසය තුළ ඕනෑම චරිතයක් කරන්න පුළුවන් කියලා.

 

පිටපතේ හිටපු රන්දනාට පණ දෙන්න මොනවද කරන්න වුණේ? කොහොමද මේ චරිතය කියවගත්තේ?

 

මට මුළු පිටපතම ලැබුණේ නැහැ. නමුත් මම බුද්ධිනී එක්ක වැඩේට කලින් කතා කළා රන්දනා මොනවගේ කෙනෙක්ද කියලා. පිටපතෙන් අපිට ලැබෙන්නේ චරිතයක තුනෙන් එකක් වගේ. ඇය සමඟ කතා කරනවිට රන්දනා මෙන්න මේ විදිහ වෙන්න ඕන. නංගිට අසීමිතව ආදරය කරන කෙනෙක්. අම්මා තාත්තා නැති වුණාම නංගිට අම්මා වෙන්නේ ඇය. ඒ කාරණා මම බුද්ධිනි එක්ක බෙදා ගත්තා. එයට මගෙන් එකතු කරන්න ඕන අඩුමකුඩුම ටිකත් එකතු කරලා මේ වැඩේ කරගෙන යනවා.

 

තවත් කෙනෙක්ව හිනස්සවන්න හැමෝටම බෑ. ඔබ ඒ කාර්යය හොඳටම කරන කෙනෙක්?

 

ප්‍රහසනය වෙනම විලාසිතාවක්. ඒ තුළ තියෙනවා ඕවර් ඇක්ට් එකක්. අපේ ඇතැම් අයට වෙන්නේ ඒ ඕවර් ඇක්ට් එක උපරිමයෙන් දෙන්න ගිහින් ඕවර් ඇක්ට් එකක් බවට පත්වෙනවා. දඟලනවා කියන එක එක නොවෙයි ප්‍රහසනය. මෙය අධ්‍යයනයක් එක්ක කළ යුතු දෙයක්. අපි දන්නවා අපේ ලංකාවේ රංගනය ඉගෙන ගන්න තැන් නැහැනේ. නමුත් අපිට රංගනය අධ්‍යයනය කරන්න ඕනෑ තරම් ඇවිදින විශ්වවිද්‍යාල තියෙනවා. ඒ අයව අද නවක ශිල්පීන්ට නොපෙනීම ගැන මම දුක් වෙනවා. මම ඉගෙන ගන්නේ එවැනි අයගෙන්. ප්‍රහසනය ගැන මම ඉගෙනගන්නේ ප්‍රියන්ත සෙනෙවිරත්න හා ගිරිරාජ් කෞශල්‍යගෙන්. ඒ දෙන්නත් එක්ක එකතුවෙලා උත්සව අවස්ථාවල අපි ඉදිරිපත් කිරීම කරනවා. ඒ හරහා මම බොහෝ දේ ඒ අයගෙන් ඉගෙන ගත්තා. අනෙක් කාරණය ප්‍රහසනයෙදි එකිනෙකාට අප් වෙන්න යනවා. එතකොට ඒ වැඩේම දියාරු වෙනවා.

තවමත් පියුමිට වඩා හිමාලි කියලයි ඔබට ආමන්ත්‍රණය කරන්නේ? පබා ආයෙත් විකාශය වෙද්දි නැරඹුවද? මොකද හිතුණේ ඒ කාලේ පියුමි දකිද්දි?

 

ඔව්. පබා හි හිමාලි කියන චරිතය නිරූපණයට මට ආරාධනා කළේ එහි දර්ශන වාර දාහතරකට. මං හා කියලා යන වැඩක්. ටෙලිකාස්ට් වෙලා දවස් දෙකෙන් ඒ චරිතය දිගු වෙනවා. හේතුව මම එය ඉදිරිපත් කළ විදිහ. පසුගිය දවස්වල බොහෝ වෙලාවට දවල්ට කෑම කද්දි තමයි පබා බැලුවේ. මම අම්මටත් කිව්වේ ඒ කාලෙත් මම හොඳට ඇක්ට් කරලනේ කියලා. මට ලැබෙන කිසිම චරිතයක් ඔහේ අතගාලා දාන්නේ නෑ මම. ඒ චරිතය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය මම කරනවා.

 

ඔබේ පරම්පරාව හොයලා බලලා අතපත ගාලා හොයාගෙන හිගින් අහගෙන ඉගෙනගත් අය. අද පරම්පරාව ගැන මොකද කියන්නේ?

 

ඔබ කිව්වා වගේම අදටත් මම නිරූපණය කරන චරිතය ජීවමාන කරන්න හොයාගෙන යනවා ඒ චරිතය. මට ලැබෙන දෙබස්ටික ඔහේ කියලා එන එක නොවෙයි රංගනය. හැම මොහොතකම ඊට කලින් සීන් එකේ මොකද්ද තිබුණ අවස්ථාව කියන එක ගැන වැටහීමක් තියෙන්න ඕන. අනේ... දැන් එහෙම එකක් නෑ. සමහර වෙලාවට ගෙදර ඉඳලා බලනකොට ලැජ්ජ හිතෙනවා. කිසිසේත්ම ගැළපෙන්නේ නැති මූඩ් එකක් තමයි ඒ අවස්ථාවට හදාගෙන ඉන්නේ. එය නළු නිළියන්ගේ වරදක්ම නොවෙයි. පිටපත් රචකගේ සිටම එයට වගකිවයුතුයි. දක්ෂ අය ඉන්නවා නව පරපුරේ. නමුත් ඒ අය අල්ලගෙන තියෙන්නේ හරි තැනින් නොවෙයි.

 

පවතින තත්ත්වය එක්ක වේදිකාව මඟහැරිලා නේද?

 

මම දකින විදිහට වේදිකා ශිල්පීන් තරම් මහන්සි වෙන පිරිසක් නෑ. එක නිර්මාණයක් වෙනුවෙන් මාස තුනක් හතරක් මහන්සි වෙනවා. සමහර වෙලාවට ඒ මහන්සියේ ප්‍රතිඵලයක් නෑ. එය ඔවුන්ට වන් ලොකු අසාධාරණයක්. එයත් කලාවේ එක පැත්තක්. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව ගත්තොත් රංගන ශිල්පීයෙක්ට ළමයි තුන්දෙනෙක් වගේ. මේ තුනටම මම එක වගේ ආදරෙයි. වේදිකාව හරහා තමයි රංගනය ඉගෙනගන්න ලැබෙන්නේ. අද වනවිට වේදීකාවට හොඳ තැනක් මේ රටේ තිබුණා නම් මම හිතනවා නවක ශිල්පීන්ට එය හොඳ තැනක් වේවි ඉගෙනගන්න.

ක්ෂේත්‍රය තුළ යම් තැනක ඉන්න ශිල්පිනියක් ඔබ. රංගනය වෘත්තීය කරගෙන ජීවත්වෙන්න පුළුවන්ද ඔබට අනුව?

 

මගේ වෘත්තීය රංගනය. එය තියෙන්නේ කලාව තුළ. විටෙක මම රංගන ශිල්පිනියක්. විටෙක නිවේදිකාවක්. විටෙක හඬ කැවීම් ශිල්පිනියක්. ඉවෙන්ට්ස් තව එකක්. අද වනවිට නළුනිළි වටිනාකම අඩුවෙලා තියෙන්නේ මූණ පෙන්නගන්න ඕන නිසා සොච්චම් මුදලට රඟපාන අය නිසා. මම හැමදාමත් මගේ ජීවිතේ හරි පිළිවෙළට පෙළගස්වා ගත් කෙනෙක්. මම ගෙදර හදන කාලේ එයටයි වියදම් කළේ ඇඳුමකටවත් වියදම් කළේ නෑ. වාහනේට ගෙවන්න තියෙන විට එයට තමයි ලැබෙන මුදල් මුලින්ම වෙන් කරන්නේ. මගෙ එක්ක මගෙ අම්මයි තාත්තයි ඉන්නේ. ඒ දෙන්නම විශ්‍රාමිකයි. මම හොඳ කළමනාකරණයක් හා සැලසුමක් ඇතුව වැඩ කරන කෙනෙක්. හොඳට ගෙදර මේන්ටේන් කරන්න පුළුවන් කෙනෙක්.

 

ඒ වුණාට ඔබේ ශරීරය නම් මේන්ටේන් වෙන්නෑ වගේ?

( සිනාසෙයි)

නිළියකට ශරීරය මේන්ටේන් කරන එක මාර වැදගත් වෙන්නෑ. ස්ක්‍රීන් එකට අපේ පොඩි ඕවර් ලුක් එකක් තියෙනවා. මේ සමාජය තුළ කෙට්ටුම චරිත නෙවෙයිනේ මහත අයත් ඉන්නවනේ. ඒ චරිත නිරූපණය කරන්නේ කවුද අපි වගේ අය නැති වුණොත්? ( නැවත සිනාසෙයි)

 

යාළුවෝ තුන්කට්ටුව ගැන කතා නොකරම බෑ?

 

ජාතික රූපවාහිනියේ වැඩ කරන කාලේ නිරෝෂා විරාජිනිගේ අළුපාට හැන්දෑවේ සින්දුව විෂුවල් කරන්න යනවා. මම එහි ඇසිස්ටන්ට් විදිහට වැඩ කළේ. එතකොට පියුමි බොතේජු කියලා නමක් නෑ. මම ඇසිස්ටන්ට් පමණයි. හැබැයි නිරොයි මමයි එදා යාළු වුණා. ඒ යාළුකම අදටත් එහෙමම තියෙනවා. මම ඇයට ආදරේ කරන්නේ ඇයගේ නිහතමානීකමට. ජයනි අක්කව ( ජයනි සේනානායක) හම්බෙලා දැන් අවුරුදු දාහතක්. නිරෝ හම්බෙලා 19 ක්. මගේ පළවෙනි නාට්‍යය හිට් ටිකට් හි මගේ අම්මා වෙන්නේ ඇය. ජයනි අක්කා ඉස්සර මාව දකිනවිට කියන්නේ ඔන්න ඇණේ එනවා කියලා. එච්චරට මම එයාගෙන් ඒ නාට්‍යය ප්‍රශ්න කරනවා. නමුත් මගේ තිබුණ උනන්දුව ඇය හැමවෙලේම අගේ කළා. අපි තුන්දෙනාම එකවගේ අදහස් ඇති අය. ඒ නිසාමයි අපි එකට ඉන්නේ.

 

සිනමාවට එන්නේ නැද්ද ආයෙම?

අන්තිමට මම කබඩි ෆිල්ම් එක තමයි කළේ. ඒකටත් පිටරට අයගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ යාළුමාලූ, කතුරුමිතුරු, රන්ජා වගේ ෆිල්ම් කළා. ඒ වගේම බොනිකර තරු කියලා ටෙලිනාට්‍යය දැන් විකාශය වෙනවා.